නවතම පුවත්

“ඔබ කථා කරන දෙය මැනිය හැකි විට සහ එය සංඛ්‍යාවලින් ප්‍රකාශ කළ හැකි විට, 

ඔබ ඒ ගැන යමක් දනියි, ඔබට එය සංඛ්‍යාවලින් ප්‍රකාශ කළ නොහැකි වූ විට, 
ඔබේ දැනුම සොච්චම් සහ සෑහීමකට පත් නොවන ආකාරයේ ය; 
එය දැනුමේ ආරම්භය විය හැකිය, නමුත් ඔබ යන්තම් හෝ ඹබගේ සිතුවිලි විද්‍යාත්මක තලයකට  ගෙන ගොස් නොමැත.“
 
 

ආර්ථිකය සවිමත් කරගන්න මේ මඟෙහි තවදුරටත් යා යුතුයි

එය මල් ඇතිරූ මඟක් නොවේ

එකිනෙකා සතු වගකීම් ඉටු කොට මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගැනීමට නව වසරේ අදිටන් කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

එහි මෙසේ ද සඳහන් කර තිබේ. 2024 නව වසරට අප පියනඟන්නේ ශ්‍රී ලංකාව යළි නඟාසිටුවීමේ අභියෝගය හා අපේක්ෂාව හදැතිවයදහසකුත් එකක් පුද්ගලික අපේක්ෂාවන් අප සැම තුළ තිබුණ ද, ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් අපගේ මාතෘභූමිය වර්තමානයේ ඇදවැටී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්ය ය. පසුගිය වසර පුරා ඔබ කළ කැපවීම් සහ විඳි දුෂ්කරතා නිසා රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමේ මූලික පදනම සාර්ථක කර ගන්නට අපට හැකි විණි. නමුත් ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා මේ මඟෙහිම තවත් ඉදිරියට යා යුතු වෙයි. එය මල් ඇතිරූ සුමුදු මඟක් නොවේ. අභියෝගාත්මක දුෂ්කර ගමනකි. මෙහි දී සියලු ලාංකිකයන් වෙත වගකීමක් පැවරෙයි. රට යළි ගොඩනැංවීම වෙනුවෙන් ඉටු කළ යුතු ඒ වගකීම නිසි ලෙස හඳුනා ගැනීම අප සතු කාර්යයකි. ජනවාරි මාසයට නම් තැබුණේ ජේනස් නම් දෙවියකුගේ නමිනි. ජේනස් දෙවිඳුන්ට ඉදිරිය පමණක් නොව පසුපස ද බැලීමට මුහුණු දෙකක් වී ලු.

එහෙයින් අනාගතය දෙස පමණක් නොව අතීතය ද විමසා බලා අපි එකිනෙකාගේ වගකීම් හඳුනා ගනිමු. රට වෙනුවෙන් එම වගකීම් ඉටුකොට අපේ මාතෘභූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට මේ නව වසරේ අදිටන් කර ගනිමු. වගකීමෙන් යුතුව වෙහෙසීමෙන් හා කැපවීමෙන් කටයුතු කරමු. එමඟින් නව වසර සෞභාග්‍යවත් කර ගනිමු.

නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගමන් කරවීමට නව වසරේ අදිටන් කරගනිමු

අදින් ඇරඹෙන 2024 වසර බත බුලතින් සරු නව වසරක් වේවායි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා පවසා ඇත්තේ නවෝත්පාදන හා ව්‍යවසාය මානසිකත්වයෙන් හෙබි නවමු සංකල්පයන් තුළින් නව පරපුර සවිබල ගන්වමින්, නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගමන් කරවීමට නව වසරේ අදිටන් කර ගනිමු යන්නයි. අගමැතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ. 2024 බත බුලතින් සරු සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි. ඒ සඳහා වන, අලුත් බලාපොරොත්තු සහිත රටක් ඇති කිරීම සඳහා රජයේ ක්‍රියාදාමය දියත් කිරීමට මෙවර අය වැයෙන් අවශ්‍ය පියවර ගෙන තිබේ. ආර්ථික, දේශපාලන, සාමාජීය හා සංස්කෘතික සෑම ක්ෂේත්‍රයකම නව වකවානුවක් උදාකිරීමේ අභියෝගාත්මක වැඩපිළිවෙළ පෙරදැරිව විනයගරුක, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක් තුළ සශ්‍රීක අනාගතයක් උදෙසා ඉකුත් වසරේ මෙන්ම අප සියලු දෙනා එකාවන්ව කැපවීමෙන් කටයුතු කරමු. පසුගිය වසරේ රට මුහුණ දුන් ආහාර හා ආර්ථික අර්බුදය හමුවේ අපේ ගොවි ජනතාව අභියෝගාත්මකව කළ මෙහෙය මේ නව වසරේ කෘතවේදීත්වයෙන් සිහිපත් කරමි. පසුගිය වකවානුව අපට හිතන්නට බොහෝ දේ ඉතිරිකොට ඇත. මේ සා රෝග, ව්‍යසන, ආර්ථික හා සාමාජයීය අර්බුද මෑත ඉතිහාසයේ අප නුදුටු ඒවාය. ඒවා යළිඳු නොදකින්නට, මතු පරපුරට ඒවා ඉතිරි නොකරන්නට, නවමු සංකල්පයන් තුළින් පෝෂිත නව වසරකට පියනඟමු.

ජනතා අභිලාෂ ඉටු වන වසරක් වේවා

නව වසරේ හෝ ජනතා අභිලාෂයන් ඉටු කර ගැනීමට හැකියාව ලැබේවායි නව වසරට සුබපැතුම් එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මෙසේද කියා තිබේ. 2023 වසර අපට සිතේ සතුටු විය හැකි කිසිවක් නොලද වසරක් වන අතර…ජනතාවට ජයග්‍රහණයක සේයාවක්වත් ඒ වසර තුළ හමුවූයේ නැත. පවත්නා ව්‍යාකූල සහ බලාපොරොත්තු විරහිත අන්ධකාර සමය නිමා කළ හැක්කේ විධිමත් ජනවරමක් සහිත ආණ්ඩුවක් පත් කර ගැනීමෙන් මිස අන් කිසිවකින් නොවේ.

එබැවින් මූලික අරගලය විය යුත්තේ එළඹෙන වසරේ නව මැතිවරණයකට මඟ පාදා ගැනීමය. එය එසේ නොවන්නේ නම්, තවදුරටත් වර්තමාන පාලකයා විසින් වඩා සුරක්ෂිතව රාජපක්ෂවරුන්ව වැල් පාලමෙන් එතෙර කළ තවත් වසරක් බවට 2024 පත් වනු ඇත.

ආර්ථික සහ දේශපාලන වශයෙන් බරපතළ අවදානම් රැසකට රට මුහුණ දී ඇති මේ මොහොතේ රටේ ජනතාවගේ සාමාන්‍ය ජීවන තත්ත්වයට පවා අසාමාන්‍ය ලෙස අභියෝග රාශියක් පැමිණ තිබේ. කෘෂිකර්මාන්තය සහ ව්‍යවසායකත්වය මත පදනම් වූ ස්වයංපෝෂිත ආර්ථික රටාව වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වී තිබේ. මේ තත්ත්වය වෙනස් කිරීමට නම් පාලකයන්ගේ සුඛ විහරණය ගැන නොව ජනතාව ගැන සිතන පාලන ක්‍රමයක් රටට අවශ්‍ය වේ.

75 වසරක ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසය තුළ කිසිදු විපක්ෂයක් නොකරපු ජනතා සේවාවක් පසුගිය වසර 3ක කාලය තුළ රටේ ජනතාවාදී විපක්ෂය වූ සමගි ජන බලවේගය බලයක් නොමැතිව ඉටු කළේය. එකී සේවාව අඛණ්ඩව 2024 වසරටත් ගෙන යාම අපගේ අරමුණ යි.

එසේම ජනතාව තළා පෙළා බදු පිට බදු අය කරමින් ජන ජීවිත විනාශ කිරීමට රජය කටයුතු කර ඇති මේ මොහොතේ රටක් ලෙස අප නැවතත් එකතු විය යුතුය. මේ එළැඹෙන නව වසර ශ්‍රී ලාංකික අපට තීරණාත්මක වර්ෂයකි. එය රටේ අනාගතය තීරණය කරන මැතිවරණ රැසක් පැවැත්වීමට නියමිත වර්ෂයකි. එබැවින් මෙතෙක් අප ලබා ඇති ජයග්‍රහණයන්හි ඵල සාමකාමීව භුක්ති විඳිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගනිමින් ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට සියලු‍ දෙනාම එකට එක්වන ලෙස ඉල්ලා සිටිමි. මේ නව වසරේ හෝ ජනතා අභිලාෂයන් ඉටු කර ගැනීමට හැකියාව ලැබේවා යන්න මාගේ ඒකායන ප්‍රාර්ථනයයි.

 

2024 නව වසරට අප පිය නගන්නේ ශ්‍රී ලංකාව යළි නගා සිටුවීමේ අභියෝගය හා අපේක්‍ෂාව හදැතිව ය.

දහසකුත් එකක් පුද්ගලික අපේක්‍ෂාවන් අප සැම තුළ තිබුණ ද, ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් අපගේ මාතෘ භූමිය වර්තමානයේ ඇද වැටී ඇති අර්බුදකාරී තත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්යය.

පසුගිය වසර පුරා ඔබ කළ කැපවීම් සහ විඳි දුෂ්කරතා නිසා රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමේ මූලික පදනම සාර්ථක කර ගන්නට අපට හැකි විණි.

නමුත් ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා මේ මගෙහිම තවත් ඉදිරියට යා යුතු වෙයි. එය මල් ඇතිරූ සුමුදු මගක් නොවේ. අභියෝගාත්මක දුෂ්කර ගමනකි.

මෙහිදී සියළු ලාංකිකයන් වෙත වගකීමක් පැවරෙයි. රට යළි ගොඩ නැංවීම වෙනුවෙන් ඉටු කළ යුතු ඒ වගකීම නිසි ලෙස හඳුනා ගැනීම අප සතු කාර්යයකි.

ජනවාරි මාසයට නම් තැබුණේ ජේනස් නම් දෙවියෙකුගේ නමිනි. ජේනස් දෙවිඳුන්ට ඉදිරිය පමණක් නොව පසුපස ද බැලීමට මුහුණු දෙකක් වී ලූ.

එහෙයින් අනාගතය දෙස පමණක් නොව අතීතය ද විමසා බලා අපි එකිනෙකාගේ වගකීම් හඳුනා ගනිමු. රට වෙනුවෙන් එම වගකීම් ඉටුකොට අපේ මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට මේ නව වසරේ අදිටන් කර ගනිමු.

වගකීමෙන් යුතුව වෙහෙසීමෙන් හා කැපවීමෙන් කටයුතු කරමු. එමගින් නව වසර සෞභාග්‍යවත් කර ගනිමු.

රනිල් වික්‍රමසිංහ,
ජනාධිපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki 2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ජපාන මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි

ජපාන මුදල් අමාත්‍යවරයා ජනවාරි 09 සිට 12 දක්වා කාම්බෝජ සංචාරය සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය පවසයි

ජපාන මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාවය අවධාරණය කිරීමට නියමිත බවයි වාර්තා වෙයි

ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද ඔහු සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි

එළඹෙන 2024 වසරට අදාළ රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 2024 වසරේ නිවාඩු දින 25ක් ඇතුළත් ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අතර එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

 

මෙවර සිරිපා වන්දනා සමය උඳුවප් පුන් පොහොය දිනයත් සමඟ ඊයේ (26) ආරම්භ විය.

මෙහිදී පැල්මඬුල්ල ගල්පොත්තාවෙල රාජමහා විහාරයේ සිට සමන්ත කූටය කරා චිරාගත සම්ප්‍රදායානුකූලව ඊයේ අලුයම වැඩමවනු ලැබූ සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ඇතුළු පූජා භාණ්ඩ සිරිපා මළුවේ තැන්පත් කිරීමේ සහ ශ්‍රීපාද පද්මය සැදැහැවතුන්ගේ වන්දනාමානයට පිළියෙල කිරීමේ වතාවත් අතරතුර අවස්ථා සේයාරූවලින් දැක්වේ

දැනට භුක්තිවිඳින ඉඩම්වලට පරම අයිතිය සමඟින් ‘නිදහස් ප්‍රදාන පත්‍ර’ නිකුත් කිරීම අදියර තුනකින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය යෝජනාවලියේ සඳහන් “උරුමය” වැඩසටහන යටතේ රජයේ ඉඩම්වල පරම අයිතිය සහිත ප්‍රදාන පත්‍ර දස දහසක් ලබන වසරේ ජනවාරි මස අවසන් වන විට ලබා දීමට රජය සැලසුම් කර තිබේ. 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ අවසර පත්‍ර සහ දීමනා පත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට එම ඉඩම්වල පරම අයිතිය ලබා දීම සිදු කෙරේ. ඔවුනට එම ඉඩම්වල අයිතිය නොමැති වීමෙන් ඒවා තම අවශ්‍යතා සහ සංවර්ධන කටයුතුවලට යොදා ගැනීමේදී සහ ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමේදීත් විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුව තිබේ.

එම ගැටලු අවම කර ගොවි ජනතාව ප්‍රමුඛ ජනතාවට අවසර පත්‍ර සහ දීමනා පත්‍ර මත සංවර්ධනය කර භුක්ති විඳින ඉඩම්වල පරම අයිතිය පවතින නීති රාමුව තුළ ඉටු කිරීම අරමුණු කර ගනිමින් ජනාධිපතිවරයා උරුමය වැඩසටහන මෙවර අය වැය මඟින් ඉදිරිපත් කළේය. මෙම වැඩසටහන සඳහා පසුගියදා (11) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

ලබන වසරේ ආරම්භ කෙරෙන මෙම වැඩසටහන වසර කිහිපයක් තුළ ඉටු කිරීමට අපේක්ෂා කෙරේ. එම අනුමැතිය පරිදි උරුමය වැඩසටහන මඟින් ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ ලබා දී ඇති ඉඩම්වලට කොන්දේසි සහිතව නිකුත් කර ඇති අවසර පත්‍ර සහ දීමනා පත්‍ර වෙනුවට නිදහස් ප්‍රදාන පත්‍රයක් නිකුත් කිරීම අදියර තුනක් ඔස්සේ ක්‍රියාත්මක කෙරේ. මේ වන විටත් අයැදුම් කර ඇති අය සඳහා ලබන ජනවාරි මස ප්‍රදාන පත්‍ර නිකුත් කෙරෙනු ඇත.

මේ යටතේ සිය අවසර පත්‍ර සහ දීමනා පත්‍ර ස්වකීය කැමැත්තෙන් රජයට භාර දෙන අය සඳහා නිදහස් ප්‍රදාන පත්‍ර සකස් කෙරෙනු ඇත.

මෙම ක්‍රියාවලිය සඳහා දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාල, අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාල සහ අන්තර් පළාත් සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලවල “උරුමය ඒකක” ස්ථාපිත කෙරේ. මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා විසින් එම රජයේ ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

 

නත්තල යනු බලාපොරොත්තුවේ මංගල්‍යයයි. “කඳුළින් සුසුමෙන් පීඩිතව අන්ධකාරයේ ඇවිද ගිය ජනතාව මහත් ආලෝකයක් දුටුහ.” එම බලාපොරොත්තුව අලුත් කරන්නට අප සියලු දෙනාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරමින් රට තුළ නව බලාපොරොත්තු ඇති කරවන නත්තලක් අප සැමට උදා වේවායි පළමුව ප්‍රාර්ථනා කරමි.

දිළිඳුන් සමග වේලක් වළඳන්න’’ යන තේමාව මුල් කර ගනිමින් ගවලෙනේ උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමරන අප කිසිදා එම යථාර්ථය අමතක නොකළ යුතු වෙමු.

සකල මිනිස් වර්ගයා පවින් මුදාගනු වස් කුරුසියේ සිය ජීවිතය පූජා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරන නත්තල සැබෑ පරිත්‍යාගශීලි සමයකි. තමන්ට එරෙහි වූවන්ට, තමන්ට වින කළ වූවන්ට සමාව දෙන ලෙසත්, සියලු වෛරයන්, අමනාපයන් ඉවතලන ලෙසත් කිතුනු ආගමික ඉගැන්වීම්වලින් අපට කියා දෙයි.

නත්තල උත්සවශ‍්‍රීයෙන් සැමරීම තුළ බාහිර ආටෝපයක් දිස් වුවද, සැබෑ ලෙසින් ඇතුළාන්තයෙන්, අධ්‍යාත්මිකව අප තුළ යහපත් පරිවර්තනයක් සිදු නොවන්නේ නම් එය සැබෑ අරුත්බර නත්තලක් නොවනු ඇති බව මගේ හැඟීමයි.
අභියෝග රාශියක් තම කර මතට කඩා වැටුණු සමයක අප මෙවර නත්තල සමරන්නෙමු. රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා එක්වෙමු යැයි ආරාධනා කරමින් ලෝකවාසී සැමට සාමය, සතුට සපිරි සුබ නත්තලකට සුභාශිංසන එක් කරමි.

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

රජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශ සංචාරය නිමකර නැවත පැමිණෙන තෙක් මෙම පත්කිරීම කර තිබේ

දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දී ජනපති කියයි

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ සාධනීය වෙනසක් සඳහා පියවර ගනිමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා (15) දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ වර්ණ ප්‍රති ප්‍රදානය කිරීමේ සහ විසිර යෑමේ පෙළපාළියට සමගාමීව පැවැති අවසන් ඉදිරිපත් කිරීමේ රාත්‍රිය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

සාම සාධක කටයුතු ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ පමණක් සම්බන්ධ කිරීමේ සාම්ප්‍රදායික ප්‍රවේශයෙන් බැහැර විය යුතුයි. එම කටයුතු රටේ ආරක්‍ෂක මෙන්ම විදේශ ප්‍රතිපත්ති රාමුවේ ද අනිවාර්ය අංගයක් වෙනවා.

සාම්ප්‍රදායික දේශපාලන සබඳතාවලින් ඔබ්බට විහිදෙන ගෝලීය ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා. සාමය ආරක්ෂා කිරීම, දේශගුණික විපර්යාස සහ වෙනත් විවිධ ගෝලීය බලපෑම් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා උපාය මාර්ගයේ කේන්ද්‍රීය කුලුනු වෙනවා.

1978 දී මම යෞවන කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේ යුද හමුදාවේ විවිධ ප්‍රතිසංස්කරණ සිදු කරමින් එවක යුද හමුදාපති දිවංගත ජෙනරාල් ඩෙනිස් පෙරේරා මහතා දියතලාවේ හමුදා ඇකඩමියක් පිහිටුවීම සඳහා සහාය ලබා දෙන ලෙස මගෙන් ඉල්ලීමක් කළා.

එතුමා එවකට ආරක්ෂක ඇමැති වූ ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතාටද මේ බව දැනුම් දුන් අතර ඒ අනුව අප මෙම ඇකඩමිය ස්ථාපිත කිරීම පිළිබඳව සාකච්ඡා කළා. මම ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා දියතලාවට ලබා දිය හැකි හොඳම දේ, හමුදා ඇකඩමිය බව.

මේ අවස්ථාවේදී මෙතැන රැස්ව සිටින අනාගත නිලධාරීන් සිදු කළ ඉදිරිපත් කිරීම්වලට සවන් දෙන විට, අප එදා ගත් නිවැරදි තීරණය පිළිබඳව මෙන්ම මෙම ඇකඩමිය පිළිබඳවත් ආඩම්බර විය හැකියි .

මා මීට දින කිහිපයකට පෙර සඳහන් කළ පරිදි, හමුදාවක ගුණාත්මකභාවය පවතින්නේ එහි නිලධාරීන් සහ ඔවුන්ගේ හැකියාව තුළයි. එය ඔවුන් අත්කර ගනු ලබන්නේ මේ අයුරින් ලබන පුහුණුව තුළයි.

වෘත්තීය යුද හමුදාවක් ඇති කිරීමට නම් ආධුනික පුහුණු කඳවුරේ සිට උසස් නිලධාරීන් බිහි කරන ස්ථානය දක්වා සියලුම අංශ නිසි පරිදි නඩත්තු කළ යුතුයි. කොතරම් උසස් මට්ටමේ යුද උපකරණ තිබුණත් නිසි පුහුණුවක් නොමැති නම් එම උපකරණ තිබීමෙන් ඵලක් නැහැ.

අනෙක් අතට, උසස් උපකරණ තිබුණත් නැතත් උසස් පුහුණුවක් තිබේ නම් , එම උපකරණවල අඩුපාඩු පවා මඟහරවා ගත හැකියි. සියල්ලටම පදනම වන හොඳ අධ්‍යාපන ක්‍රමයක් තිබීම ශ්‍රී ලංකාවේ අපට විශේෂ වාසියක් වෙනවා. එම නිසා මෙතනට පැමිණෙන පිරිසත් එලෙස හොඳ අධ්‍යාපනයක් ලබා පැමිණෙන අයයි.

සාම සාධක කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් අප කටයුතු කළේ ආරක්ෂක අමාත්‍යාංශය සමඟයි. අප එය මෙරට ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්තියේ සමස්ත කොටසක් ලෙස සැලකුවේ නැහැ. මෙහිදී අප කළ වෙනස එයයි. මෙය අපේ විදේශ ප්‍රතිපත්තියේ මෙන්ම අපගේ ආරක්ෂක ප්‍රතිපත්තියේද කොටසක් විය යුතුයි.

එබැවින්, උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්තිය තුළ, මූලිකවම සාම සාධක, දේශගුණික විපර්යාස මෙන්ම ජාත්‍යන්තර සබඳතාවයන්හි අපට වැදගත් බොහෝ අංග ඇතුළත් කෙරෙනවා.

එය තවදුරටත් දේශපාලන සබඳතා හෝ දේශපාලනය පමණක් නොවේ. මේ සම්බන්ධයෙන්, අපගේ අසල්වැසියන්ට, විශේෂයෙන් මාලදිවයින සහ අප්‍රිකානු රටවලට ලබා දිය හැකි සේවාවන් පිළිබඳ දැනුවත් කරන ලෙස මම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ සේවා අණ දෙන නිලධාරීන්ට දැනුම් දුන්නා.

එසේම මම රාජ්‍ය ඇමැතිවරයා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට මේ රටවලට ගොස් අපගේ තීරණය පිළිබඳව දැනුම් දෙන ලෙස පැවසුවා.

අද ඔබ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව තුළ ශ්‍රී ලංකාවේ කාර්යභාරය පිළිබඳ ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව සුබ පතනවා. එම නිර්දේශ අනිවාර්යයෙන්ම මා අදාළ බලධාරීන් වෙත යොමු කිරීමටද කටයුතු කරනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශය නොමැති නම් මේ කිසිවක් කළ නොහැකි බව මම ඔබට මතක් කරනවා. එබැවින් මුදල් අමාත්‍යාංශයද ඇතුළත් කර මෙම යෝජනා වැඩි දියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට කැමතියි.

සාම සාධක හමුදාව තුළ ශ්‍රී ලංකාව විශාල කාර්යභාරයක් ඉටු කරනු දැකීමට මම කැමතියි. නමුත් සාම සාධක භූමිකාවම වෙනස් වෙමින් පැවතීම ප්‍රශ්නයක් වී තිබෙනවා. මෙය 1945 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවන අවස්ථාවේ කටයුතු කළ ආකාරයට වඩා වෙනස් වී තිබෙනවා .

1956 දී බ්‍රිතාන්‍යය අසාර්ථක වන තුරු එක්සත් ජනපදය, සෝවියට් සංගමය සහ බ්‍රිතාන්‍යය ලෝක බලවතුන් ලෙස පැවතුණා. එම ගෝලීය ස්ථාවරය අවසන් වීමත් සමඟම එක්සත් ජනපදය සහ සෝවියට් සංගමයේ එකඟතාව අනුව සාම බළකාය යෙදවීම වඩාත් පහසු වුණා. ඒ නිසා බොහෝ ප්‍රදේශවල සාමය ස්ථාපිත කළ හැකි වුණා.

මට මතකයි උදාහරණයක් ලෙස කොංගෝවේ සිවිල් යුද්ධය අවස්ථාවේ අප හමුදාවක් යැව්වා.

අද තත්ත්වය ඊට වඩා වෙනස්. සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු එක්සත් ජනපදය හා චීනය එකට වැඩ කළ යුගය නිම වී තිබෙනවා.සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු, සාම්ප්‍රදායික සන්ධාන විසුරුවා හැරීමට සහ ස්වාධීන කණ්ඩායම් සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් බිහි වුණා.

අද භූ දේශපාලනයේ සංකීර්ණත්වය තුළ ඇත්ත වශයෙන්ම, අප්‍රිකානු සංගමය සමහර සාම සාධක ප්‍රයත්නයන් සහ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම භාරගෙන තිබෙනවා. එය මේ වන විට තවදුරටත් ගැටලුකාරී තත්ත්වයන් ඇති කර තිබෙනවා.

ඒ වගේම අද එක් පසෙකින්, යුක්රේනයේ යුද්ධය තිබෙනවා. ආර්ථික සම්බාධක පැනවූවත් රුසියාව එයින් ඇද වැටුණේ නැහැ. කෙසේ වුවත් එයින් රුසියානු සංචාරක කර්මාන්තයේ සහ ආයෝජනවල වැඩි වීමක් පෙන්නුම් කළා.

එය දැන් මැදපෙරදිග සහ බටහිර ආසියාවට මෙන්ම අපේ රටටද පැමිණෙමින් තිබෙනවා. මෙරටට පැමිණෙන රුසියානු සංචාරකයින්ගේ වැඩි වීමත් සමඟ ඔවුන් ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට පවා උත්සාහ කරන බව පෙනෙනවා.

අනෙක් ගැටලුව ඇත්තේ තායිවානයේයි. අමෙරිකාව ස්වාධීන රාජ්‍යයකට සහාය පළ කිරීමත් සමඟ දැන් ඔවුන් ෂැංහයි ගිවිසුමෙන් ඔබ්බට ගොස් තිබෙනවා. එය තවත් සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ සමඟම ඉන්දියන් සාගරයේ චීනයේ භූමිකාව වෙනස් වෙනවා. ඒ සමඟ එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව තවත් සංවිධානයක් පිහිටුවා තිබෙනවා. ඒ සමඟ තවත් ගැටුමක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ ගාසා තීරයේ යුද්ධයයි.

එය රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් අවුළුවන ලද යුද්ධයක්. මේ යුද්ධයේදී අප දුටුව නරකම දේ නම් විශාල මිනිස් සංහාරයක් සිදු වීමයි. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒ සඳහා මැදිහත් වීමට ඇති සීමාවන්ද කනස්සල්ලට හේතු වෙනවා. මේවා තමයි අපිට තිබෙන ප්‍රශ්න.

බටහිර ඉන්දියන් සාගරයේ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් සමඟ අපට මුහුණ දීමට සිදු වී ඇති ගැටලු යුද්ධයට වඩා සංකීර්ණ වී තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් මැඬ පැවැත්වීමටද ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බව පෙනී යනවා.

ඒ අනුව දේශපාලනය පරිණාමය වන විට එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලවල ස්වභාවය ද වෙනස් වන බව පෙනෙනවා. එබැවින් සාම සාධක මෙහෙයුම් භූ දේශපාලනය අනුගමනය කරන බව සැමවිටම මතක තබා ගන්න. නමුත් භූ දේශපාලනය සාම සාධක මෙහෙයුම් අනුගමනය කරන්නේ නෑ.

ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ එය පරිවර්තනය වන ආකාරය ඔබට දකින්නට ලැබෙනු ඇතියි. නමුත් එයින් අදහස් වන්නේ අප එයින් ඉවත් විය යුතු බව නොවේ.

මෙය අවබෝධ කර ගනිමින්, 1945 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කරන විට අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් මීට සම්බන්ධ කර ගැනීමට අප සැලසුම් කළ යුතුයි. එය ඔබට භාරයි.

ඒ වගේම මෙහි සිටින අනාගත නිලධාරීන්ගෙන් එක් අයකු හෝ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලයට සම්බන්ධ වන්නේ නම් එය ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට ඉතා වැදගත් වනු ඇතියි. එය ඔබ ලබන අත්දැකීම්වලට තවත් දෙයක් එක් කර ගැනීමක් වනු ඇති. දෙවනුව, වෙනස් වන භූ දේශපාලනයට අනුව වෙනස් වන මෙහෙයුමකට ඔබ සූදානම් විය යුතුයි.

 

විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මහනුවර ජනාධිපති මන්දිරයේ දී ඊයේ (17) භාර දෙනු ලැබිණි.

අදාළ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳ ජයිකා (JICA) ආයතනය සමඟ සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ඓතිහාසික මහනුවර නගරය මනා සැලසුම් සහගත, සංවිධානාත්මක සහ පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීමට 2023 පෙබරවාරි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමි විය.

මෙම නගර සංවර්ධන සැලැස්ම සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලු ආයතන නියෝජනය වන පරිදි නිලධාරීන් සහ නගර සැලසුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් ද පත් කරන ලදී.

ඒ අනුව කටුගස්තොට, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශවල යටිතල පහසුකම්, පහසුකම් සහ සේවා වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විසල් මහනුවර සංවර්ධන සැලැස්ම සකස් කෙරිණි.

මෙම සංවර්ධන සැලැස්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමැතිවරු වෙත ඉදිරිපත් කර තවදුරටත් අදහස් හා යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කළ අවසන් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත භාරදීම සිදු විය.

සංවර්ධන සැලැස්ම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් වූ අතර මහනුවර පුරවරයේ ඓතිහාසිකත්වය සහ සංස්කෘතික උරුමය සුරකිමින් මෙන්ම ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කෙ‍ෙරහි අවධානය යොමු කරමින් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම ඉදිරියේදී මෙරට ස්ථාපිත කිරීමට නියමිත විශ්වවිද්‍යාල අතරින් කිහිපයක් ද මහනුවර පුරවරයට ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ඉදිරියේ දී අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට ද මහනුවර පත්වනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ඒ.එච්.එම්. හලීම්, එම් වේලුකුමාර්, හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මහනුවර හිටපු නගරාධිපති කේසර සේනානායක, මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක, මධ්‍යම පළාත් නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ නිශාමණී අබේරත්න යන මහත්ම මහත්මීන් ද, ප්‍රාදේශීය දේශපාලනඥයන්, අදාළ රේඛීය ආයතනවල සභාපතිවරු ඇතුළු නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මහනුවර නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවෙන් අනතුරුව අකුරණ නගර සංවර්ධනයට අදාළ සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර අකුරණ නගර සංවර්ධනයට අදාළ සම්පූර්ණ වාර්තාවක් සති 06ක් තුළ ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ 50 වෙනි සංවත්සර උත්සවයේදී ඇමැති ආචාර්ය බන්දුල කියයි

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සහතික පත් පිරිනමමින්. ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට, පාඨමාලා සමායෝජක සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ, මහාචාර්ය දිනේෂ් සමරසිංහ, පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට, මහත්වරුද මෙහි වෙති

ජාතිය සුවපත් කිරීමට නම් මාධ්‍යකරුවා වඩාත් විචක්ෂණශීලී, ප්‍රබුද්ධ මාධ්‍ය භාවිතයක් සිදු කළ යුතු යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ 50 වෙනි සංවත්සර උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

කොළඹදී ඉකුත් 8දා පැවැති මේ සංවත්සරයට සමගාමීව Òමාධ්‍ය සමීක්ෂා – VÓ ග්‍රන්ථය එළිදැක්වීම, ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවේ – IX වන කණ්ඩායමේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සහ අඩු ආදායම්ලාභී ජනමාධ්‍යවේදීන්ගේ දරුවන් සඳහා ප්‍රකාශන කට්ටල බෙදාදීම, ආයතනයේ කාර්ය මණ්ඩලය ඇගයීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

මාධ්‍ය ප්‍රගමනය සහ තාක්ෂණය: නව ප්‍රවණතාÓ මැයෙන් වැඩසටහනේ මුඛ්‍ය දේශනය මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ පීඨාධිපති, මහාවාර්ය දිනේෂ් සමරසිංහ මහතා විසින් සිදු කරන ලදි.

එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය.

ලෝකයේ අන් සියලු රටවල්වල සේම ශ්‍රී ලංකාවේද අධ්‍යතන යුගයේ පුවත්පත්වලට විශාල වගකීමක් පැවරෙනවා. අප ශිෂ්‍යයන් අවදියේ පුවත්පත් දුටුවේ විශ්වවිද්‍යාලයක් ලෙසයි. මෙරට පුවත්පත් මහගෙදර ලෙස සැලකෙන ලේක්හවුස් ආයතනය රටට නිදහස ලබා ගැනීමටත්, ඉන් අනතුරුව සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික හැඩගැස්මක් ඇති කිරීම සඳහාත් විශාල මතවාදී දායකත්වයක් දී තිබෙනවා. එවකට ලේක්හවුස් ආයතනයේ මුල්පුටු හෙබවූයේ මහා ප්‍රාඥයන්. මාර්ටින් වික්‍රමසිංහ වැනි වියතුන් කතුවරුන් ලෙස ස්වකීය කතු වැකි මඟින් සමාජයට විශාල මඟ පෙන්වීමක් කළා. Daily news පුවත්පතින් ඉංග්‍රීසි භාෂාව නිසි ලෙස හැසිරවීමට නොහැකි විශාල පිරිසකට භාෂා ගුරුවරයකු ලෙස විශාල කාර්යභාරයක් ඉටුකර ඇති බව අප අසා තිබෙනවා. සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම රට පුරා මේ දැනුම බෙදා හරින්න එවකට පුවත්පත් විශාල කාර්යභාරයක් ඉටු කළා. රටේ පැවති ප්‍රධාන විශ්වවිද්‍යාල හැරුණුවිට පුවත්පත සහ ගුවන් විදුලිය ද විශ්වවිද්‍යාල තරමටම සේවයක් කළා. අදාළ විෂයන් පිළිබඳව මනා අවබෝධයක්, පරිචයක් සහිත පිරිස් ඒ ආයතනවල සේවයේ නියුක්තව සිටීම එවැනි තත්ත්වයකට ළඟාවීමට හේතු වී තිබෙනවා.

රටේ දැනට පවතින ප්‍රධානම ජාතික ගැටලුව අප සතුව ප්‍රමාණවත් මුදල් නොමැතිවීමයි. මේ වන විට ඉතා අබලන් වී ඇති මාර්ග සංවර්ධනය කිරීමට ද මහාමාර්ග විෂය භාර ඇමැතිවරයා ලෙස මට ඇති ගැටලුව ඒ සඳහා යෙදවීමට මුදල් නැතිකමයි. මෙතෙක් කළ සියලු සංවර්ධන කටයුතු කර තිබෙන්නේ විදේශ ණය සහ ආධාර ගැනීමෙන්. මේ වන විට ඒ කිසිම ණයක් හෝ ආධාර මුදලක් අපට ලැබෙන්නේ නැහැ. ගත් ණය ප්‍රතිව්‍යුහගත කරනතුරු කවුරුන් කවදාක රජයක් ලබා ගත්තත් කිසිදු ණය මුදලක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් මෙය සරල වශයෙන් ගෙන මුදල් මුද්‍රණය කිරීමෙන් මේ ගැටලුවට විසඳුමක් ලබාදීමට හැකියාවකුත් නැහැ. නිදහසින් පසු පැවති කිසිම රජයකට රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සහනාධාර මුදල්, ණය සඳහා පොලී ඇතුළු පුනරාවර්තන වියදම් කිරීම සඳහා ප්‍රමාණවත් ආදායමක් පැවතී නැහැ. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සහනාධාර ගෙවීමෙන් පසු භාණ්ඩාගාරයේ වෙනත් කිසිදු මුදලක් ඉතිරි වන්නේ නැහැ. ණය පොලී ඇතුළු අනෙකුත් කටයුතු සඳහා විදේශ ණය ගැනීමට සිදු වී තිබෙනවා.

දේශපාලන වෙනසක් කිරීමෙන් මේ තත්ත්වය මීට වඩා වෙනස් කළ හැකි ක්‍රමයක් තිබෙනවා ද යන්න පිළිබඳ මාධ්‍යවල සංවාදයක් ඇති වී තිබෙනවා ද? මෙය අප සියල්ල විසින් පිළිගත යුතු ශාස්ත්‍රයක්. මේ පිළිබඳ අර්ථ ශාස්ත්‍රමය සත්‍යය ප්‍රකාශ කළොත් විශාල ජනතා විරෝධයක් මතු වෙනවා. මේ පිළිබඳ විෂයානුබද්ධ අවබෝධයක් නැති පිරිස් විසින් සත්‍යය යටපත් කොට විකෘතියක් මතු කිරීම සඳහා මාධ්‍ය භාවිත කිරීමේ ප්‍රතිඵල භුක්ති විඳීමට මට ද සිදුවුණා.

මා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ ගුරු විද්‍යා පීඨවල පුහුණුව ලබන විද්‍යාර්ථින් වෙනුවෙන් ආහාරපාන ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා දිනකට වෙන්වූයේ රුපියල් 83ක මුදලක්. මසකට රුපියල් 2500ක්. මේ තත්ත්වය පිළිබඳ එම ගුරු ශිෂ්‍යයන් විසින් මා වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කෙනකුට නොමැරී ජීවත්වීමට මේ 2500 ප්‍රමාණවත් වුවත් එය තවත් රුපියල් 500කින් වැඩි කරන ලෙස මා එවකට කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා . එදා පටන් මේ වනතුරුත් රු. 2500කින් කෙනෙකුට ජීවත් විය හැකි බව ප්‍රකාශ කළ බව පවසමින් වෙනම මුද්‍රා තැබීමක් සියලු මාධ්‍ය විසින් සිදු කරනු ලැබුවා. මැයි නව වැනිදා සිදුවූ ඉතා අවාසනාවන්ත සිදුවීම් මාලාවේදී මගේ නි‍ෙවසට ගිනි තැබීමට පැමිණි පිරිස් ප්‍රකාශ කළේ ද එලෙස හුවා දැක්වූ කරුණයි.

ඉතිහාසයේ කිසිදු දිනයක මා ඇමැති නිල නිවසක් භාවිත කර නැහැ. ගෙවල් කුලී, විදුලි බිල්, ජල බිල් ලබාගෙන නැහැ. වැටුප් ලබාගෙන නැහැ. හොරකම්වලට, කොමිස් ලබා ගැනීමට සම්බන්ධ වී නැහැ. ගුරුවරයකු ලෙස මා උපයා ගත් වත්කම්වලට ගිනි තැබීම සඳහා සමාජ වෛරය නිර්මාණය කිරීම සඳහා රුපියල් 2500කින් කෙනෙකුට ජීවත් විය හැකි බවට වූ ප්‍රචාරය ඒ ආකාරයෙන් බලපෑවා.

මාධ්‍යකරුවන් ලෙස කටයුතු කරන සියලුදෙනා මනුෂ්‍යත්වය පෙරදැරි කරගනිමින්, මානව දයාවෙන් යුතුව මාධ්‍ය භාවිත කිරීම අතිශයින් වැදගත්. වෛරයෙන් මුසපත්ව තමන් දන්නා දේ පමණක් නිවැරදි බව විශ්වාස කරමින් කටයුතු කිරීම කිසිසේත් සාධාරණ වන්නේ නැහැ. එම නිසා මාධ්‍යයට එක්වන නව තරුණ පරපුර වැඩි වැඩියෙන් කියවීමට යොමු විය යුතුයි. අධ්‍යයනයට යොමු විය යුතුයි. බහුශ්‍රැත පිරිසක් බවට පත්ව මාධ්‍ය මෙහෙයවීම සූකිරි බටිල්ලන්ගේ මාධ්‍ය කලාව වෙනුවට අවශ්‍ය බව මා විශ්වාස කරනවා.

අපි දශක ගණනාවක් පුරාවට ජාති, ආගම්, කුල, පන්ති වශයෙන් ඇති කළ වෛරය තුළ, යකඩ ගැටෙන අමිහිරි ශබ්දය, උණ්ඩයේ අමිහිරි සුවඳ, දුක, වේදනාව අත්විඳීමට සිදු වූ ජාතියක්. ජාතිය සුවපත් කිරීමට නම් මාධ්‍යකරුවා වඩාත් විචක්ෂණශීලී, ප්‍රබුද්ධ මාධ්‍ය භාවිතාවක් කළ යුතු බව මා විශ්වාස කරනවා. ඇතැම් අවස්ථාවල ලෝකය පුරාමත් මානුෂීය මෙහෙයුමක් වෙනුවට දමිළ සංහාරයක් කළ බවට මතයක් රැගෙන යමින් ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ චෝදනා පවා එල්ල කළා.

මාධ්‍ය භාවිතය තුළ පුද්ගල ජීවිතවල ඇතිවන ඛේදවාචක සම්බන්ධයෙන් අප විසින් නිෂ්පාදනය කළ ‘ද නිවුස් පේපර්’ චිත්‍රපටය දේශීය හා විදේශීය වශයෙන් විශාල ලෙස සම්මානයට හා ඇගයීමට පාත්‍ර වුණා. මෙලෙස සිතනවාට වැඩිපුර යමක් සිතමින්, පෙනෙනවාට වඩා වැඩිපුර යමක් දකින්නට හැකිනම්, ඇසෙනවාට වඩා යමක් අසමින් නිර්මාණාත්මක අලුත් යමක් ලෝකයට දිය හැකිනම් ලෝකය දිනන්නට හැකියාව ලැබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ, පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට, පාඨමාලා සමායෝජක, සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්වරුන් ද, පුවත්පත් මණ්ඩලයේ හිටපු සභාපතිවරුන් ඇතුළු හිටපු නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter