නවතම පුවත්

රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් මැයි මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස නම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

‘අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච (අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු)’ යන තේමාවෙන් යුතුව, මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

එහි සමාරම්භක උලෙළ සහ සමාප්ති උලෙළ පිළිවෙළින් මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේ දී සහ පල්ලෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිල්ලවාන ශ්‍රී සුනන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සැලසුම් කර ඇති වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමටත්, 2024 මැයි මස 22, 23 හා 24 යන දිනයන්හි සත්ත්ව ඝාතන හා මස් මාංශ අලෙවි කරන ස්ථාන සහ සුරාසල් ඇතුළු මත්ද්‍රව්‍ය අළෙවි කරන ස්ථාන වසා තැබීමටත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

 

  • කලාශිල්පීන් සහ නිර්මාණවේදීන් නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට විදෙස් පුහුණු අවස්ථා.
  • මෙරට පළමු AI චිත්‍රපටය නිෂ්පාදනයට රාජ්‍ය අනුග්‍රහය – 2023 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී ජනපති පවසයි.

යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ පරිවර්තනයකට ලක් කරමින් එය මෙරට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සමඟම කලා ශිල්පීන් සහ නිර්මාණවේදීන් නවීන තාක්ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම සඳහා විදෙස් පුහුණු අවස්ථා සලසා දෙන බවද පැවසු ජනාධිපතිවරයා නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාමට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කලාව ද සූදානම් කළ යුතු බව පෙන්වා දුන්නේය.

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය අද ලෝක චිත්‍රපට කලාවට එක්වී තිබෙන අතර ඒ සමඟ ඉදිරියට යමින් ශ්‍රී ලංකාවේ ද පළමු AI චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (30) රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවති 20 වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙල අමතමිනි.

දිවයිනේ කීර්තිමත් ව්‍යවසායකයෙකු වන Kingdom of Raigam සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය රවී ලියනගේ මහතාගේ සංකල්පයක් මත රයිගම් ටෙලීස් මහලේකම් කාර්යාලය වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.

2023 වසරේ තිරගත වූ ටෙලි නාට්‍ය, මාධ්‍ය වැඩසටහන් මෙන්ම රූපවාහිනී ප්‍රවෘත්ති වැඩසටහන් ආදී අංශයන්ගේ විශිෂ්ටතා ඇගයීමට ලක් කරමින් කාණ්ඩ හතක් ඔස්සේ සම්මාන හැටකට අධික ප්‍රමාණයක් පිරිනැමීම මෙහිදී සිදු විය.

රයිගම් විශේෂ ප්‍රණාම සම්මාන ප්‍රදානයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වූ අතර අතුල රන්සිරිලාල් මහතා, ගිවන්ත අර්ථසාද් මහතා සහ ග්‍රේස් තෙන්නකෝන් මහත්මිය යන ප්‍රවීණ කලා ශිල්පීන් එහිදී ජනාධිපතිවරයා අතින් සම්මාන ලැබීය.

එමෙන්ම ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන “රයිගම් ප්‍රතිභා ප්‍රභා” ගෞරව සම්මානය ආචාර්ය රෝහණ වීරසිංහ මහතා වෙත පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ලෙස ප්‍රවීණ රංගනවේදී මහේන්ද්‍ර පෙරේරා මහතා ද වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය ද ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර විය.

එමෙන්ම වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය මෙන්ම වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ලෙස ප්‍රසන්න ජයකොඩි මහතා විසින් අධ්‍යක්ෂණය කළ සහ වසන්ත කන්නංගර මහතා විසින් නිෂ්පාදනය කළ “එයා දැන් බැඳලා” ටෙලි නාට්‍යය ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර විය.

වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාලිකාව ලෙස හිරු ටීවී සහ සිරස ටීවී යන නාලිකා ද්විත්වය ජනාධිපතිවරයා අතින් සම සම්මාන දිනා ගත් අතර, වසරේ සම්මානනීය ටෙලි නාට්‍ය නාලිකාව සහ වසරේ සම්මානනිය නාලිකාව යන සම්මාන ද්විත්වයම දිනාගත් ස්වාධීන රූපවාහිනි ආයතනය ද ජනාධිපතිවරයා අතින් සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම සම්මාන රාත්‍රිය ප්‍රවීණ ගායක ගායිකාවන් සහ ප්‍රවීණ රංගනවේදීන් විසින් ඉදිරිපත් කළ විශේෂාංගයන්ගෙන් වර්ණවත් විය.

සම්මානයට පාත්‍ර වූ සියලු කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සමඟ සමූහ ජායාරූපයකට පෙනී සිටි ජනාධිපතිවරයා, ප්‍රවීණ කලාකරුවන්, ගායක ගායිකාවන් ඇතුළු පැමිණි සිටි පිරිස සමඟ සුහද කතා බහකට ද එක්විය.

සම්මාන උළෙල ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

රයිගම් සමූහ ව්‍යාපාරය විසින් ආරම්භ කළ මෙම සම්මාන ප්‍රදානෝත්සවය අද 20 වන සංවත්සරය සමරනවා. මෙම සම්මාන උළෙල සඳහා ලබා දෙන දායකත්වය වෙනුවෙන් මම රයිගම් සමූහ ව්‍යාපාරය වෙත ස්තූතිවන්ත වීමට කැමතියි.

පසුගිය විසි වසර තුළ රූපවාහිනිය තුළ දැවැන්ත විප්ලවයක් සිදුව තිබෙනවා. ජංගම දුරකථනය, ලැප් ටොප් පරිගණකය සමඟ අද රූපවාහිනිය අභියෝගයකට ලක්ව තිබෙනවා. අද Netflix, Amazon සමඟ ලෝකය ඉදිරියට යනවා. අපත් මේ සමඟ ඉදිරියට යා යුතුයි. අද අනෙකුත් රටවල් භාෂා ගණනාවකින් චිත්‍රපට නිර්මාණය කරනවා. ග්‍රීසිය වැනි කුඩා රටවලද එය සිදු වෙනවා. අපත් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

ඒ නිසා යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීකරණය කර චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සංවර්ධන ආයතනයක් බවට පරිවර්තනය කිරීමට අපගේ අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාදීමට අප කටයුතු කරන බව කිවයුතුයි. රූපවාහිනිය ආරම්භ කරන විට විශාල පිරිසකට ජපානයේ පුහුණු අවස්ථා ලබා දුන්නා. එම යුගයේ යශෝරාවය වැනි නව ටෙලි නාට්‍ය නිර්මාණය වීමට එය හේතු වුණා. අප නුදුරේදීම නැවත ඒ සඳහා කටයුතු කරන බවද මෙම මෙහිදී සිහිපත් කරනවා.

ඒ වගේම කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය පසුගිය වසරේ සිට චිත්‍රපට කලාවට එක් වී තිබෙනවා. The Frost කෙටි චිත්‍රපටිය නිර්මාණ කර තිබෙන්නේ AI තාක්ෂණයෙන්. එම චිත්‍රපටවල තිර පිටපත පවා සකස් කර තිබෙන්නෙත් AI තාක්ෂණයෙන්. ඒ වගේම ඉන්දියාව Maharaja in Denims නිර්මාණය කරමින් සිටිනවා. එය ලංකාවටත් එනවා. අපත් මීට සූදානම් විය යුතුයි.

කෘත්‍රීම බුද්ධිය ලංකාවට හඳුන්වාදීම පිළිබඳ දැනට අප පත් කර තිබෙන කමිටුවට මම උපදෙස් ලබා දී තිබෙනවා මොරටුව විශ්වවිද්‍යාලය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලය සම්බන්ධ කර ගනිමින් ලංකාවේ පළමු AI චිත්‍රපටය නිෂ්පාදනය කරන්න කියලා. ඒ සඳහා රජයෙන් මුදල් ලබාදීමට කටයුතු කරන බව කිවයුතුයි.

මේ අයුරින් අපි නොසිතන ලෙස චිත්‍රපට කර්මාන්තය වෙනසකට ලක්වෙමින් තිබෙනවා. චිත්‍රපට සංස්ථාව නවීකරණය කරමින් සහ පළමු AI චිත්‍රපටය නිර්මාණය කරමින් අපි අලුත් ගමනකට මුල පුරමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ජේ. බී. දිසානායක යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද ප්‍රවීණ රංගනවේදිනී ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන්, ගායක ගායිකාවන්, කලාකරුවන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් ඇතුළු සභාවනීය ආරාධිත පිරිසක් සම්මාන උළෙලට එක්ව සිටියහ.

 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් නපුර පරදා උත්ථානය ලැබූ අවස්ථාව සිහිපත් කරමින් ලොව පුරා වෙසෙන කිතුනු ජනයා පාස්කු මංගල්‍ය සමරති.

ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් දින 40ක චතාරිය සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් සහ ආගමික වතාවත්වල නිරත වෙමින් පාස්කු මංගල්‍යයට එක් වෙති.

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අභියෝගය හමුවේ රටක් ලෙස අප සියලුදෙනා ද මහත් පීඩාවකට පත් වූයෙමු. එහෙත් දරාගත හැකි ජාතියක් ලෙස ඒ උත්ථානයේ ගමනේ ආශිර්වාදයත් සමගින් අප නැවත නැගී සිටිය යුතුය.

බහුවාර්ගික සමාජයක් ලෙස ජීවත්වන අප අද රට ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම වෙනුවෙන් එකමුතුව කටයුතු කිරිම අත්‍යාවශ්‍ය වේ. එබැවින් ශ්‍රී ලාංකිකයන් ලෙස අපගේ එකමුතුකම සහ සංහිදියාව ප්‍රවර්ධනය කළ යුතු අතර ඊට කැළලක් ඇතිකරන කිසිදු ආකාරයේ කුමන්ත්‍රණයකට හසු නොවී බුද්ධිමත්ව රටේ ආරක්ෂාව, සාමය සහ සංවර්ධනය වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ යුතුකමකි.

ශ්‍රී ලාංකේය කිතුනු ජනතාව අසීමිත ගෞරවයෙන් සහ භක්තියෙන් සමරනු ලබන පාස්කු සමය අන්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයකට වරෙක ගොදුරු විය. එම අඳුරු මතකය කිසිදා අප හදවත් තුළින් මැකී නොයන අතරම, ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ස්වාධීනව හා අපක්ෂපාතීව ක්‍රියාත්මක කිරීමට රජය අවකාශ සලසා දී තිබෙන බවත්, එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති වීමට කිසිදු ඉඩක් නොතබා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය කැපවී සිටින බවත් සිහිපත් කරනු කැමැත්තෙමි.

සියලුම කිතුනු ජනතාවට ආශිර්වාදාත්මක හා ප්‍රීතිමත් පාස්කු මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

රනිල් වික්‍රමසිංහ,
ජනාධිපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිපදවන ලද ‘චීන ජන ප්‍රවාද’ නමැති කෙටි ටෙලිනාට්‍යය විකාශය කෙරේ.

සම්පූර්ණයෙන් ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය මෙයයි.

මාර්තු 21 වැනිදාට යෙදී තිබුණු, චීන මාධ්‍ය සමූහයේ 6 වැනි සංවත්සරය නිමිත්තෙන්, ඊයේ (22) එය විකාශය කෙරිණ. ඒ, චීන මාධ්‍ය සමූහයට අයත් ශ්‍රව්‍යදෘශ්‍ය නව මාධ්‍ය වේදිකාව ඔස්සේ යි. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙං හයිෂොං මහතා ඇතුළු ආරාධිත පිරිසක් එම අවස්ථාවට එක්ව සිටිහය.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් වැඩසටහන් නිෂ්පාදනය කිරීම කෙරෙහි චීන‍ මාධ්‍ය සමූහයේ ඉහළ අවධානය යොමු ව ඇත. ඒ අධිගුණාත්මක ශ්‍රව්‍යදෘශ්‍ය දත්ත හා වෘත්තීමය මාධ්‍ය නිෂ්පාදන ශක්‍යතා පදනම් කර ගනිමිනි. එසේම, කිසියම් රූපයකට අදාළ තොරතුරු අකුරු මගින් පරිගණකයට ලබා දුන්විට, ඊට සැසඳෙන රූපය නිර්මාණය කළ හැකි නව නිපැයුම් මාදිලියක් හඳුන්වා දීම කෙරෙහි ද එම බලධාරීන්ගේ අවධානය යොමු ව තිබේ.

ලොව ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ඉහළ නංවමින් එය රටේ ආර්ථිකයට ප්‍රශස්ත අයුරින් දායක කරගැනීම සියලු දෙනාගේ වගකීම බවත්, මෙරට පුහුණු වෛද්‍යවරුන් හෝ හෙදියන් 100 දෙනකු අතුරින් 30ත් 40ත් අතර ප්‍රමාණයක් රට හැර යෑම සිදු වන අතර එය අඛණ්ඩව සිදු වීම රටට යහපත් තත්ත්වයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඔහු මේ බව පැවසුවේ නෙදර්ලන්ත රජයේ DRIVE සහන ණය ක්‍රමය යටතේ ඉදි කරන ලද පේදුරුතුඩුව මූලික රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට පසුගියදා (22) එක් වෙමිනි.

මෙරට වෛද්‍ය සහ හෙද අවශ්‍යතාව සපුරාලීම සඳහා වාර්ෂික බඳවාගැනීම් ඉහළ නංවන ලෙස තමා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයටද උපදෙස් දුන් බවත්, ඒ පුහුණු කිරීම් සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රවර්ධනය කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

හරිත සරසවියේ වෛද්‍ය පීඨය සඳහා ශික්ෂණ රෝහලක් පවත්වාගෙන යෑමේ අයිතිය දී තිබෙන බවත් ලයිසියම් කැම්පස්ද එවැනි ඉල්ලීමක් සිදු කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් කරගනිමින් නවීන වෛද්‍ය ක්‍රමයක් පවත්වාගෙන යෑම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කළේය. යාපනය සහ පේදුරුතුඩුව ජනතාව වෙනුවෙන් මේ වෛද්‍ය පහසුකම් සලසා දීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී නෙදර්ලන්ත රජයට සිය ස්තුතිය පිරිනැමීය. හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය, මූලික සත්කාර ඒකකය, විකිරණ අංශය, දැඩි සත්කාර ඒකකය, ශල්‍යාගාරය, නොමේරු ළදරු සත්කාර ඒකකය, ශල්‍ය වාට්ටුව, මාතෘ වාට්ටුව, වඳ සත්කාර ඒකකය, ඩයලිසිස් ඒකකය, රසායනාගාරය ඇතුළු පේදුරුතුඩුව මූලික රෝහලේ සංවර්ධන කටයුතු සඳහා නෙදර්ලන්ත රජයේ DRIVE සහන ණය ක්‍රමය යටතේ රුපියල් බිලියන 4ක් පිරිනමා තිබේ.

උත්සව සභාව ඇමතූ රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළේ පේදුරුතුඩුව මූලික රෝහලේ සංවර්ධන කටයුතු උතුරු පළාතේ සෞඛ්‍ය සේවාවේ ප්‍රගතියේ සුවිශේෂ සන්ධිස්ථානයක් බවයි. DRIVE ව්‍යාපෘතිය යටතේ ඒ වෙනුවෙන් අවශ්‍ය මූල්‍යමය ණය ආධාර සහාය සහ උපකාර දුන් නෙදර්ලන්ත රජයටත්, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලයටත් ස්තුතිවන්ත වන බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

පේදුරුතුඩුව මූලික රෝහල වෙත ලැබී ඇති මේ නවීන සෞඛ්‍ය සේවා පහසුකම් රටේ සෞඛ්‍ය සේවාවේ දියුණුව වෙනුවෙන් කාර්ක්ෂමව හා ඵලදායිව ප්‍රයෝජනයට ගත යුතු බව මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සඳහන් කළාය. එසේම මේ රෝහල ජනතා යහපත වෙනුවෙන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට හැකි සෑම ආකාරයකින්ම එක්ව කටයුතු කරන ලෙසද ආණ්ඩුකාරවරිය උතුරු පළාත් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.

නෙදර්ලන්ත තානාපතිනි බොනී හොබැක් (Bonnie Horbach) මහත්මිය මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ සියලු ශ්‍රී ලාංකීක ජනතාවට සමාන අයිතිවාසිකම් සලසා දීම සහ ප්‍රවර්ධනය කිරීම සංහිඳියාවේ කොටසක් බවත්, එය සෞඛ්‍යය සහ ආරක්ෂාව වැනි මූලික අයිතිවාසිකම්වලින් ආරම්භ වන බවත්ය. මීට වසර හයකට පමණ පෙර උතුරු පළාතේ රෝහල් හතරක් සංවර්ධනය කිරීම වෙනුවෙන් VAMED ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ගිවිසුමකට අත්සන් තැබු බව සිහිපත් කළ තානාපතිනිය මේ රෝහල් හතර ගොඩනැංවීමට ඇස්තමේන්තුගත මුළු වටිනාකම යුරෝ මිලියන 16ක් බවත්, එම යුරෝ මිලියන 16න් 25%ක් එනම් යුරෝ මිලියන 4ක් ප්‍රදානයක් ලෙස පිරිනැමීමට තීරණය කළ බවත් සඳහන් කළාය.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය අමාත්‍යවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්ලිංගම් සිද්ධාර්ථන්, හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්ම මහත්මීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර අලෙවිකරණ අවස්ථා පහසු කිරීම සඳහා වෙබ් යෙදුම් නිර්මාණය කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුව වෙත දුන් උපදෙස් අනුව නිර්මාණය කර ඇති ‘ෆාම් ටු ගේට්’ වෙබ් යෙදුම දියත් කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (22) පලාලි ගුවන් හමුදා කඳවුරේදී සිදු විය. මෙරට ගොවීන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විශාල වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේදී ඔවුන් වෙහෙස මහන්සි වී ලබාගන්නා ඵලදාව සඳහා හොඳම මිලක් සහ ප්‍රතිලාභ අත් කරගැනීමට ‘ෆාම් ටු ගේට්’ වේදිකාවක් වනු ඇති අතර, කුඩා ගොවීන් ගෙවතු වගාකරුවන් සහ කුඩා කර්මාන්ත ව්‍යවසායකයන් අතරමැදියන්ගේ බලපෑම්වලින් තොරව ඍජුවම පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ කරමින් සවිබල ගැන්වීම මෙමඟින් සිදු කෙරේ.

 

පාසල් සිසුන්ට විවිධ මාධ්‍ය භාවිතයන් පිළිබඳ ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් ලබා දීමේ අරමුණින් ජනාධිපති මාධ්‍ය අංශය මඟින් ක්‍රියාත්මක කරන “Kaleidoscope 2024 Screen media for Gen-Z” මාධ්‍ය වැඩසටහන අද (20) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී ආරම්භ කෙරිණි.

ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යංශය, ජනාධිපති මාධ්‍ය අංශය, රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන, විද්වතුන්, මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු නියෝජිතයන්ගෙන් සමන්විත උපදේශන මණ්ඩලයක් සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

මෙහි පළමු අදියර සඳහා සක්‍රීය මාධ්‍ය ඒකක සහිත පාසල් 31කින් සිසුන් 158 ක් තෝරාගෙන ඇති අතර, සතියකට එක් දිනය බැගින් සති 16ක වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.

Unilever ලංකා සමාගම, SLIT අධ්‍යාපන ආයතනය සහ Lanka IOC සමාගම මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙයි.

වැඩසටහන ආරම්භ කරමින් එහි පළමු අදියර ලෙස මාධ්‍ය පසුබිම පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුධීර නිලංග විතාන, ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරුන් වන විශේෂඥ ඉංජිනේරු ස්ටැන්ලි හෙට්ටිආරච්චි සහ නදීරා මඩුගල්ල යන මහත්ම මහත්මීන් විසින් සිදු කරන ලදී.

එමෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදී උදම් සතරසිංහ, ප්‍රවීණ කලාකරු සුදත් දේවප්‍රිය, ජාතික අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය අංශයේ හිටපු ප්‍රධානි බන්දුල පී. දයාරත්න යන මහත්වරු සම්පත් දායකයන් ලෙස විශේෂ දේශන පැවැත්වූහ.

මෙම වැඩසටහනේ දෙවන අදියර යටතේ කුසලතා දක්වන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ සිසුන්ට දින 06ක වැඩිදුර අධ්‍යාපනයක් ලබා දීම සිදු කෙරෙන අතර විද්වත් ආචාර්යවරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් විසින් එය මෙහෙයවනු ලබයි.

මෙරට සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන ද මෙම වැඩසටහන සමඟ අත්වැල් බැඳගෙන සිටින අතර වැඩසටහනට එක්ව සිටින සිසුන්ට එම මාධ්‍ය ආයතනවලට ගොස් දින දෙකක කාලයක් එහි ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට ද අවස්ථාව සලසා තිබේ.

ඕනෑම මාධ්‍යවේදියෙකු තමන්ගේ සන්නාමය සහ අළෙවිකරණය පිළිබඳ අවබෝධයක් ලැබිය යුතු හෙයින් ඒ සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ ඉහළම අත්දැකීම් ඇති ආයතන පරිශ්‍ර තුළ එම අත්දැකීම ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර අද පවතින ලෝකයට පමණක් නොව නව්‍යතාව සමඟ අනාගත ලෝකයට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ද මෙම වැඩසටහන මඟින් සිසු දරුවන්ට ලබා දීමට නියමිතය.

ලේක්හ­වුස් ආය­ත­නය ප්‍රකා­ශ­යට පත් කරන තින­ක­රන් පුව­ත්පතේ 72 වැනි සංව­ත්ස­රය නිමි­ත්තෙන් චාම් උත්ස­ව­යක් ආය­තන පරි­ශ්‍ර­යේදී ඊයේ (18) පැවැ­ත්විණි.

ධීවර ඇමැති ඩග්ලස් දේවා­නන්දා සහ ශ්‍රී ලංකා ගුව­න්වි­දුලි සංස්ථාවේ උප­දේ­ශක හසීම් උමාර් මහ­ත්ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් මෙම උත්ස­වය පැවැ­තිණි. ලේක්­හ­වුස් ආය­ත­නයේ සභා­පති මහා­චාර්ය හරේන්ද්‍ර කාරි­ය­ව­සම් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ­ඩ­ලය, තින­ක­රන් ප්‍රධාන කර්තෘ සෙන්දිල් වේල­වර්, ප්‍රවෘත්ති කර්තෘ අශෝක් කුමාර් ඇතුළු තින­ක­රන් කාර්ය මණ්ඩ­ලය, මෙන්ම ලේක්හ­වුස් පුව­ත්ප­ත්වල ප්‍රධාන කර්තෘ­වරු ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

එමෙන්ම තින­ක­රන් කර්තෘ මණ්ඩ­ලයේ වසර 25කට වැඩි සේවා කාල­යක් සම්පූර්ණ කර විශ්‍රාම ගිය සේවක සේවි­කා­වන් පස්දෙනෙකු ද මෙහිදී ඇගැයී­මට ලක් කෙරිණි. අවු­රුදු 37ක් කාර්යාල කාර්ය සහා­යක ලෙස සේවය කළ ඇක්මන් මහ­තාව මෙහිදී සභා­ප­ති­ව­රයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩ­ලයේ ඇගැයීමට ලක් කෙරිණි. දීර්ඝ කාල­යක් පුව­ත්පත හා සම්බ­න්ධව කට­යුත කළ ක්‍රිකට් ක්‍රීඩක මුත්ත­යියා මුර­ලි­ද­රන් මහ­තාගේ පියා වන මුත්ත­යියා මහතා ද සභා­ප­ති­ව­රයා අතින් ඇගැ­යී­මට ලක් කෙරිණි.

ලාදුරු රෝගය රටින් තුරන් කිරීම පිළි­බ­ඳව තින­ක­රන් පුව­ත්පත හා කාවේරී සමා­ජය ඒකා­බ­ද්ධව ලාදුරු රෝග මර්දන ව්‍යාපා­රයේ අංශ ප්‍රධානී වෛද්‍ය ප්‍රසාද් රණ­වීර මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ පැවැති රචනා තර­ගයේ ජය­ග්‍රා­හ­ක­යන්ට මෙහිදී මුදල් ත්‍යාග හා සහ­තිකපත් පිරි­නැ­මිනි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්ත­යියා මුර­ලි­ද­රන්ගේ පියා වන
සින්නසාමි මුත්ත­යියා මහතා ද සභා­ප­ති­ව­රයා ඇගැ­යී­මට ලක් වූ අවස්ථාව

ht
"තින­ක­රන් කර්තෘ මණ්ඩ­ලයේ වසර 25කට වැඩි සේවය කළ ඇක්මන් මහ­තාට සභාපති මහා­චාර්ය හරේන්ද්‍ර කාරි­ය­ව­සම් මහතා සමරු තිලිණයක් පිළිගන්වමින්" 

තින­ක­රන් කර්තෘ මණ්ඩ­ලයේ වසර 25කට වැඩි සේවය කළ ඇක්මන් මහ­තාට සභාපති
මහා­චාර්ය හරේන්ද්‍ර කාරි­ය­ව­සම් මහතා සමරු තිලිණයක් පිළිගන්වමින්

ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන "සතරාව දීපනී කෘතගුණ දැක්වීමේ උලෙළ" කොළඹ බණ්ඩර්ණායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අ.පො ස. උසස් පෙළ තාක්ෂණ වේදය  විෂය ධාරාව හදාරන සිසුන් 250 දෙනෙකු සඳහා දෑවුරුදු ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන යටතේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසකට සංකේතවත් ලෙස ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව පිරිනැමීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සහ හිටපු කතානායක කරු ජයසුරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
 
ආචාර්ය වන්දුල ගුණවර්ධනයන් විසින් අර්ථපතිත්වය දරණ ලද සම්භාව්‍ය,සම්මානිත චිත්‍රපට වලට සිය සුවිශේෂී නිර්මාණ දායකත්වය ලබා දුන් මාලනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ සහ රවින්ද්‍ර රන්දෙනිය යන විශිෂ්ට සිනමාවේදීන් හට සතරාවදීපනි උත්තමාචාර  සම්මාන පිරිනැමීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුරතින් සිදු කෙරිණි.
ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා විසින් වැඩසටහනේ මුඛ්‍ය දේශනය සිදු කළ අතර දේශීය සම්ප්‍රදායික හා නව නිර්මාණාත්මක කලා අංග රැසකින්ද වැඩසටහන වර්ණවත් විය.
 
මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක, සාහිත්‍යචක්‍රවර්තී, ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගෞරවණීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා , කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා,  ඉන්දියාව,රුසියාව, ජපානය ඇතුළු රටවල් රැසක මහකොමසාරිස්වරුන්, තානාපතිවරුන් ඇතුළු විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්,කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්, අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු  රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන්, ව්‍යාපාරිකයින් ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ

 

ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් දෙපළක් වන ඉරෝමි විජේවර්ධන සහ වින්ස්ටන් සුලුදාගොඩ යන මහත්ම මහත්මීන්‌ විසින් කොළඹ 07, ලයනල් වෙන්ඩට් කලාගාරයේ සංවිධානය කර තිබූ චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) පස්වරුවේ එක්විය.

ඉරෝමි විජේවර්ධන මහත්මියගේ කලා දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් ‘Celebration of women’ යන තේමාව ඔස්සේ චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කර තිබු අතර දෙස් විදෙස් චිත්‍ර ප්‍රදර්ශන පවත්වනු ලබන වින්ස්ටන් සුලුදාගොඩ මහතා තම 34 වන චිත්‍ර ප්‍රදර්ශනය ලෙස ‘භාවනාවක ශාන්තිය’ තේමාව යටතේ සිය චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි.

වසර 46ක් පුරා සිතුවම් කලා කේෂ්ත්‍රයේ නිරතව සිටින වින්ස්ටන් මහතා විදෙස් රටවල් රැසක සිය සිතුවම් සහිත ප්‍රදර්ශන පවත්වා තිබීම විශේෂත්වයකි. එදිනෙදා ජීවන සබඳතා, ගෝලීය අර්බුද, ආගමික ජීවන රටා ඇතුළු විචිත්‍රවත් සිතුවම් රැසක් මෙම චිත්‍ර ප්‍රදර්ශනවලට එක් කර තිබිණි.චිත්‍ර ප්‍රදර්ශන නැරඹීමට එක්ව සිටි පිරිස සමඟ සුහද කතාබහක ද නිරත වූ ජනාධිපතිවරයා සමූහ ඡායාරූප කිහිපයකට ද එක් විය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද සමරු තිළිණ පිළිගැන්විණි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු අමාත්‍ය රවි කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආචාර්ය දයාන් ජයතිලක, සුජාන් විජේවර්ධන, ලුසිල් විජේවර්ධන, නටාලි විජේවර්ධන, මාලන් ජයවර්ධන, රෝෂිණි ගුණරත්න, ශිරානි තේනබදු, නිහාල් තේනබදු, ප්‍රවීන කලා ශිල්පී, කලාශූරී එස්. එච්. සරත් යන මහත්ම මහත්මීහු ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

එහි ප්රායෝගික ක්රියාකාරිත්වය පිළිබඳව දැන ගැනිමට කැමතිද?
එසේනම්, පහත ක්රමවේද ඔස්සේ ඒ සඳහා ඔබටත් ඉල්ලුම් කළ හැකියි.
1. www.rupavahini.lk යන අපගේ වෙබ් අඩවියට පිවිස, එහි දක්නට ඇති #visitrupavahini සබඳතාවයට පිවිස එහි ඇති ගූගල් පෝරමය පුරවා අප වෙත යොමු කරන්න
2. ඔබගේ නිල ඉල්ලීම් ලිපිය 070 770 2523 වටස් ඇප් අංකය වෙත යොමු කරන්න.
3. . විද්යුත් ලිපිනය ඔස්සේ ද ඔබගේ ඉල්ලිම් යොමු කළ හැකියි.
වැඩි විස්තර සඳහා පහත සඳහන් වට්ස් ඇප් අංකයට පණිවිඩයක් යොමු කරන්න
070 770 2523
මහජන සම්බන්ධතා කළමණාකරණ ඒකකය
ශ්රි ලංකා රූපවාහිනී සංස්ථාව…

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter