'පිරිපුන් මවුබිමක් - අභිමන් හෙට දිනක්' තේමාව යටතේ මෙවර පැවැත්වෙන 67වැනි ජාතික නිදහස් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරාවරි 04 දින පෙරවරු 8ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පැවැත්වීමට රජය සියලු කටයුතු සූදානම් කර ඇත.

ඉතා චාම් අයුරින් අවම පිරිවැයක් යටතේ මෙවර නිදහස් උත්සවය සැමරීමට කටයුතු කෙරේ. මේ උත්සවය ආරම්භයට‍ පෙර පෙරවරු 7.30ට යෙදෙන සුබ මොහොතින් කොළඹ 07 නිදහස් චතුරශ්‍රය අබියස පිහිටි දේශමාන්‍ය ඩී.එස්. සේනානාක මහතාගේ පිළිරුවට පුස්පෝහාර පැවැත්වීමට ඩී.එස්. ගුණ සමරු කමිටුව කටයුතු යොදා ඇත.

මෙවර ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය, ජාතික ශිෂ්‍ය භට බළකාය සහ යොවුන් සේනාංකය, යනාදී අංශ වෙතින් නිලධාරීන් පන්දහස් නමසිය විසි දෙකක් ද, සංස්කෘතිකාංග හයසීයයක් ද සහභාගි කර ගැනේ.

නිදහස් උත්සවයට සමගාමීව පෙබරවාරි 02 සඳුදා රාත්‍රී නිදහස් චතුරශ්‍රයේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පෙබරවාරි 03 දින මරදාන ශ්‍රී ලංකා මහා පිරිවෙනේ සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වේ.

පෙබරවාරි 04 උදේ 7ට බෞද්ධාගමික වැඩසටහන් සහ සර්වාගමික වතාවත් සිදු කෙරේ. ජාතික නිදහස් උත්සවයට සමගාමීව ප්‍රාදේශීය වශයෙන් නිදහස් සමරු උළෙලවල් රට පුරා පැවැත්වීමට රජය මේ වන විටත් චක්‍රලේඛන නිකුත් කර තිබේ.

ඊයේ (26) ස්වදේශ කටයුතු හා ධීවර ඇමැති ජෝසප් මයිකල් පෙරේරා මහතා විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී මේ කරුණු අනාවරණය කළේය. මේ අවස්ථාවට ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා ද සහභාගි විය.