නවතම පුවත්

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ඇති කිරීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ආරම්භ කෙරුණු “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ 2025 මූල්‍ය වර්ෂයට අදාළව නව ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇත.

අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල සහ ආයතන විසින් ක්‍රියාත්මක කෙරෙන එම ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (17) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඒ අනුව විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවගේ පරිහරණ පහසුව සඳහාම නිම වූ බස් රථ 10ක් පානදුර, කඩවත සහ අවිස්සාවේල්ල යන නගරවල සිට කොළඹ ජාතික රෝහල දක්වා ධාවනය කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව මෙහිදී සඳහන් කෙරිණි. මෙවැනි වැඩපිළිවෙළක් මෙරට ක්‍රියාත්මක වන්නේ පළමු වරට වීමද විශේෂත්වයකි.

මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් අථත්‍ය නගරයක් (Virtual City) නිර්මාණය කිරීමටද සැලසුම් කර ඇති අතර, මෙය වසරක් තුළ නිම කිරීමට අපේක්ෂා කෙරේ. නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහනෙන් දළදා මාළිගා පරිශ්‍රයද ආවරණය කෙරෙන අතර, ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන50කි.

දෙස් විදෙස් සංචාරකයින් ඉලක්ක කර ගනිමින් මෙරට සියලු ජන වර්ගවල සංස්කෘතික වටිනාකම් විදහා දැක්වෙන තෙදින සංස්කෘතික ප්‍රසංගයක් කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ගාලු මුවදොර ඇතුළු ස්ථාන16කදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සංචාරක කලාප ආශ්‍රිතව ප්‍රමිතගත හා නවීන පහසුකම් සහිත වැසිකිළි 500ක් ඉදිකිරීමටද සැලසුම් කර තිබෙන අතර මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 525කි.

දෙවසරක් තුළ මෙරට ප්‍රධාන වෙරළ කලාප දෙකකට අන්තර්ජාතික පිළිගැනීමක් ඇති නිල් කොඩි (Blue Flag) සහතිකය ලබා ගැනීමට තිරසාර වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර තිබේ. උණවටුන හා හිරිකටුව වෙරළ තීර ඒ සඳහා යෝජනා කර ඇති අතර මෙම ව්‍යාපෘතිය යටතේ වෙරළ රැකබල ගන්නන් 450කට අධික සංඛ්‍යාවක් පත් කිරීමට නියමිතය.ඒ අතරින් 250කට මේ වන විටත් පත්වීම් ලිපි ලබා දී ඇත.

රුපියල් මිලියන 300ක වියදමින් අපජලය බැහැර කිරීමේ ව්‍යාපෘතියක්ද දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අතර නගරාශ්‍රිතව ගලා යන ඇළ දොළවල ජලය පිරිසිදුව තබා ගැනීම හා නඩත්තුව එමගින් අපේක්ෂා කෙරේ. කොළඹ නගරයේ සාමාන්‍ය ඇළ මාර්ග පද්ධතිය නඩත්තුව තිරසර ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100ක වියදමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මහවැලි ගඟේ ජල දූෂණය අවම කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක නියමු ව්‍යාපෘතිය මහවැලි ගඟේ ඉහළ ඉස්මත්ත ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරේ.

එසේම, රුපියල් මිලියන 500ක වියදමින් පළාත් පාලන ආයතන සඳහා කොම්පෝස්ට් බහාලුම් (Compost Dumpbin) ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකය. ප්‍රථම අදියරේදී රුපියල් මිලියන 150ක බහාලුම් ලබා දීම සිදු කෙරෙන අතර එයද මෙම වසරේදී ක්‍රියාත්මක කෙරේ.

රුපියල් මිලියන 120ක වියදමින් මාර්ග ආරක්ෂාව සඳහා වූ වැඩපිළිවෙළ දැනටමත් ක්‍රියාත්මක වන අතර දෛනිකව සිදු වන රිය අනතුරු ප්‍රමාණය අවම කර ගැනීම එහි අරමුණයි. මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු අපචාර වැළැක්වීම සඳහා ආදර්ශ ගම්මාන කිහිපයක් දිවයින පුරා ස්ථාපනය කිරීමටද අවධානය යොමු කර ඇත.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනින් අපේක්ෂිත අරමුණු අමාත්‍යාංශ හා ආයතනික මට්ටමින් සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙම ව්‍යාපෘති සාර්ථකව අවසන් කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරුද, අමාත්‍යාංශ නියෝජනය කරමින් ලේකම්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගෝලීය ආහාර සුර­ක්ෂි­තතා දර්ශ­කය (GFSI) වැනි දර්ශ­ක­ව­ලින් මෙරට ආහාර සුර­ක්ෂි­ත­තා­වෙහි සමස්ත තත්ත්වය නිවැ­ර­දිව නොවන සහ පව­තින දත්ත මත පිහිටා නිසි ප්‍රති­ප­ත්ති­මය තීන්දු ගැනීම දුෂ්කර වී ඇති නිසා මෙර­ටට අනන්‍ය වූ ආහාර සුර­ක්ෂි­තතා දර්ශ­ක­යක් ඉදිරි මාස තුනේදී නිර්මා­ණය කිරී­මට රජයේ අව­ධා­නය යොමුව ඇත.

ඉදිරි වසර පහක කාලයේ මෙරට ආහාර සුර­ක්ෂි­ත­තා­වට අදාළ ප්‍රමු­ඛතා සහ ඉලක්ක හඳුනා ගනි­මින් නිවැ­රදි ප්‍රති­ප­ත්ති­මය තීන්දු තීර­ණ­ව­ලට එළැ­ඹීම වෙනු­වෙන් මේ නව ආහාර සුර­ක්ෂි­තතා දර්ශ­කය නිර්මා­ණය කෙරේ.

එහි ආර­ම්භක පිය­ව­රක් ලෙස ‘ශ්‍රී ලංකා­වට සුදුසු ආහාර සුර­ක්ෂි­තතා දර්ශ­ක­යක් හඳුනා ගැනීම හා උපා­ය­මාර්ග සැලැ­ස්මක් සම්පා­ද­නය කිරීම’ පිළි­බඳ වැඩ­මු­ළු­වක් කොළඹ සිටි සෙන්ට­ර්හිදී ඊයේ (17) පැවැ­ත්විණි.

ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නය (FAO) සහ ලෝක ආහාර වැඩ­ස­ට­හන (WFP) සමඟ සහ­යෝ­ගි­තා­වෙන් ආහාර සුර­ක්ෂි­තතා විද්වත් කමි­ටුව විසින් මේ වැඩ­මු­ළුව සංවි­ධාන කර තිබිණි.

එම වැඩ­මු­ළුවේ ආර­ම්භක දේශ­නය කර­මින් ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ අති­රේක ලේකම් කපිල ගුණ­රත්න මහතා පැවැ­සුවේ මෙර­ටට අනන්‍ය වූ නිවැ­රදි දර්ශ­ක­යක් නිර්මා­ණය වීම රටේ ආර්ථික ස්ථාව­ර­ත්වය සහ ආහාර සුර­ක්ෂි­ත­තාව සඳහා අත්‍ය­වශ්‍ය පිය­ව­රක් බවයි.

ආහාර සුර­ක්ෂි­ත­තා­වෙහි මූලික සංර­චක වන සුල­භ­තාව, ප්‍රවේ­ශය, භාවි­තය සහ ස්ථාව­රය යන අංශ ඔස්සේ ආහාර සුර­ක්ෂි­ත­තා­වෙහි දිශා­න­තිය පිළි­බඳ අව­බෝ­ධ­යක් ගැනී­මට මේ වැඩ­මු­ළු­වේදී අව­ධා­නය යොමු කෙරුණු අතර, එම­ඟින් ජාතික ආහාර සුර­ක්ෂි­තතා දර්ශ­ක­යක් ගොඩ­නැං­වී­මට අවශ්‍ය මාර්ගෝ­ප­දේශ සකස් කිරීම මේ වැඩ­මු­ළුවේ අර­මු­ණයි.

මේ අව­ස්ථා­වට ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය බුද්ධි මාරඹේ, ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය ජීවිකා වීර­හේවා, ආහාර සුර­ක්ෂි­තතා විද්වත් කමිටු සාමා­ජි­ක­යන්, රාජ්‍ය ආය­තන, විශ්ව­වි­ද්‍යාල, ආහාර හා කෘෂි­කර්ම සංවි­ධා­නය, ලෝක ආහාර වැඩ­ස­ට­හ­නෙහි සහ පෞද්ග­ලික අංශ­යෙහි නියෝ­ජි­ත­යන් ඇතුළු පිරි­සක් එක්ව සිටි­යහ.

සෑම විදුහල්පතිවරයෙක්ම තම පාසලේ Clean Sri Lanka වැඩසටහන රටටම ආදර්ශයක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත්,  Clean Sri Lanka  වැඩසටහන රටේ සියලුදෙනාගේ  lifestyle එක විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  මහත්මිය පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අරලියගහ මන්දීරයේ දී, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ Clean Sri Lanka වැඩසටහනේ නිලධාරීන් සමඟ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී  නිලධාරීන් තම අත්දැකීම් නිදසුන් ද සහිතව අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කළහ.

වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

‘‘අපි මේ කරන්න හදන්නේ අදින් වසර පනහකට පමණ පෙර කළ යුතුව තිබු දේවල්. ඒ නිසා මෙය තවත් එක් ව්‍යාපෘතියක්  ලෙස කඩිමුඩියේ කරන්න අවශ්‍ය නෑ.  අපට තව කල් තිබෙනවා.

Clean Sri Lanka කියන්නෙ නිකම්ම නිකං Clean කිරීමක් නෙවෙයි. Clean Sri Lanka කියන්නේ අප හිතන පතන විදිහ, ආකල්ප, චර්යාවන් එක්කම අපි ජීවත්වෙන පරිසරයත් Clean ව පවත්වාගෙන යාමයි.

Clean Sri Lanka අපි හැමෝගෙම lifestyle එක විය යුතුයි. ඒකට  අපේ අනාගත පරපුර, විශේෂයෙන්ම ශිෂ්‍ය ප්‍රජාව හුරු කර ගැනීමට අවශ්‍ය නිසයි අපි Clean Sri Lanka වැඩසටහන පාසලට හදුන්වා දනේනෙ.

මේ වන විටත් පාසල් දරුවන්, දෙමව්පියන් සහ ත්‍රිවිධ හමුදාව වගේම Clean Sri Lanka වැඩසටහනට ස්වේච්ඡාවෙන්ම සහාය දෙන තවත් පාර්ශ්ව ගණනාවක් සම්බන්ධ කරගෙන විශාල වැඩසටහන් ප්‍රමාණයක් සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙනවා.

පාසල් මුල් කරගෙන ක්‍රියාත්මක කරන මේ වැඩසටහන් අනිත් අයත් දැනුවත් වන අන්දමින් ජනතාව අතරට ගෙන යාමට ජනමාධ්‍ය‍යේ සහාය අවශ්‍යයි.

අනිත් වැදගත්ම කාරණය වන්නේ, අවශ්‍ය හැම වෙලාවෙම අපි පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන Clean Sri Lanka වැඩසටහනට විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අවශ්‍යතා ගැන අදාළ පාර්ශ්වයන්ගේ උපදෙස්  සහ මගපෙන්වීම ලබා ගැනීමයි.

විශේෂයෙන්ම මේ වැඩසටහන යටතේ පාසල්වල ඇති කරමින් යන වැසිකිළි කැසිකිළි පහසුකම්වල දී ආබාධිත ප්‍රජාවන්ගේ පහසුව සහ අවශ්‍යතා පිළිබඳ අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතුයි.

ඒ වගේම මෙම වැඩසටහන යටතේ ඉදිකෙරෙන වැසිකිළි කැසිකිළි ඇතුළු හැමදේකම එකම ආකෘතියක් පවත්වාගත යුතුයි. එක එක තැන්වල එක එක විදිහේ වෙන්න බෑ.

Clean Sri Lanka පාසල්වල ක්‍රියාත්මක කිරීමේදී, ඇතැම් විට ඊට අවශ්‍ය මුදල සපයා ගැනීමේ අපහසුතා මතුවෙනවා.  ඒ සඳහා කඩිනමින්ම විසඳුම් ලබා දීමට අපිට පුලුවන්කම තිබෙනවා.

Clean Sri Lanka පාසල්වලින් ඔබ්බට කාර්මික විද්‍යාල, ගුරු විද්‍යාල සහ විශ්වවිද්‍යාල තුළටත් ගෙන යා යුතුයි.  මෙය තනි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ඉලක්ක කරගත් තාවකාලික වැඩසටහනක් නොවෙයි. සමස්ත රටම ඉලක්ක කරගත් දැවැන්ත ජාතික වැඩසටහනක ආරම්භක අවධිය.

අපි මේ ලබන අත්දැකීම්වලින් ඉගෙන ගනිමින් වැරදි අඩුපාඩු හදාගනිමින් ඉදිරියට යමු” යැයි අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළා ය.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ Clean Sri Lanka වැඩසටහනේ නිලධාරීන්  පිරිසක් එක්ව සිටියහ.

ගරු සේවා­වක් වශ­යෙන් උප තැපැල් කාර්යාල 6ක් මුල්කර ගනි­මින් ඇරැඹි උප තැපැල් ස්ථානා­ධි­පති සේවාව මේ වන විට රට පුරා තැපැල් කාර්යා­ලය 3410ක් දක්වා ව්‍යාප්තව ඇතැයි සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැව­සුවේ ශ්‍රී ලංකා තැපැල් දෙපා­ර්ත­මේ­න්තුවේ මානව සම්පත ඉහළ නැංවී­මට අවශ්‍ය උප තැපැල් ස්ථානා­ධි­ප­ති­වරු 378 දෙන­කුට ස්ථිර පත්වීම් ලිපි පිරි­නැ­මීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලයේ පැවති උත්ස­වය අම­ත­මිනි.

සම්මුඛ පරී­ක්ෂණ මඟින් තෝරා­ගත් වැඩ බලන උප තැපැල් ස්ථානා­ධි­ප­ති­ව­රුන් 378 දෙනකු සඳහා ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් දීමට විශේෂ අමාත්‍ය මණ්ඩල අනු­මැ­ති­යක් ගැනී­මෙන් අන­තු­රුව මෙම පත්වීම් පිරි­නැ­මී­මට කට­යුතු යොදා තිබිණි.

එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.

උප තැපැල් කාර්යාල පව­ත්වා­ගෙන යෑම සඳහා ගොඩ­නැ­ඟිල්ල උප තැපැල් ස්ථානා­ධි­ප­ති­ව­රුන් සොයා­ගත යුතු අතර, ඒ සඳහා දීර්ඝ කාල­යක් රජ­යෙන් ගෙවනු ලැබූයේ රුපි­යල් 1500ක සුළු දීම­නා­වකි. 2025.04.01 වැනි දින සිට එම දීම­නාව ඔවුන් උප­යන ආදා­යම ද පද­නම් කර ගනි­මින් රු.7500 දක්වා වැඩි කිරී­මට නව රජය කට­යුතු කළ බව ද පැවසූ අමා­ත්‍ය­ව­රයා උප තැපැල් ස්ථානා­ධි­ප­ති­ව­රුන්ගේ බඳවා ගැනීම් පටි­පා­ටි­යෙහි පැවති ගැටලු සහිත කරුණු සංශෝ­ධ­නය කර යෝග්‍යතා ඇගැ­යීමේ සම්මුඛ පරී­ක්ෂ­ණ­ය­කින් බඳවා ගැනී­මට අවශ්‍ය සංශෝ­ධන සිදු කර ඇති බව ද පැව­සීය.

මෙම සම්මුඛ පරී­ක්ෂණ ක්‍රමය අනු­මත වීමට පෙර වැඩ බැලී­මට යොද­වනු ලැබූ 196 දෙනාට ස්ථිර පත්වීම් දීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේ­ශ­යක් මේ වන විටත් ඉදි­රි­පත් කර ඇති බවත් ඒ සඳහා ලැබෙන අමාත්‍ය මණ්ඩල තීර­ණය අනුව ඔවුන්ට ස්ථිර පත්වීම් දීම නුදුරු කාල­යේදී සිදු කිරී­මට අද­හස් කරන බව ද අමා­ත්‍ය­ව­රයා පෙන්වා දුන්නේය.

යමෙක් නොස­ලකා හැරී­මට හෝ පළි ගැනී­මට අවශ්‍ය නම්, තැපැල් අමාත්‍ය ධුරය දීමේ යුග­යක් තිබුණු බවත් තැපැල් අමාත්‍ය ධුරය භාර ගැනී­මට බොහෝ අය අකැ­මැති වුවත් තමන් තැපැල් අමාත්‍ය ධුරය භාර­ගෙන වැඩ කිරී­මට ඉම­හත් කැමැ­ත්තක් දක්වන බවත් හෙතෙම පැව­සීය.

තැපෑ­ලට වටි­නා­ක­මක් දිය යුත්තේ විෂ­ය­භාර අමා­ත්‍ය­ව­ර­යාගේ සිට බව ද කී ඒ මහතා අනා­ග­තයේ අමාත්‍ය ධුර ගැසට් කරන විට සෞඛ්‍ය, ජන­මාධ්‍ය හා තැපැල් යනු­වෙන් එක් කිරීම වඩාත් සුදුසු බවට තමා යෝජනා කරන බව ද පැව­සීය.

තැපෑල සංව­ර්ධ­නය කිරීමේ ක්‍රියා­ව­ලිය ශක්ති­මත් කිරී­මට සියලු වෘත්තීය සමි­ති­වල දාය­ක­ත්වය දෙන ලෙස මෙහිදී අමා­ත්‍ය­ව­රයා විවෘත ඉල්ලී­මක් කරනු ලැබීය. වෘත්තීය සමිති අතර තිබෙන තර­ගය නිසා හෝ මීළඟ වසරේ තන­තුරු ගැනීමේ අර­මු­ණින් සාම්ප්‍ර­දා­යික ලෙස තැපැල් සේවා කඩා­ක­ප්පල් කිරී­මට, ක්‍රියා කිරීම තේරු­මක් නොමැති බවත් සේවාවේ විශ්වාස පළුදු කර ගැනී­ම­කින් තොරව ක්‍රියා කරන ලෙසත් අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේය.

තැපැල් සේවාව නවීන තාක්ෂ­ණික ක්‍රම­වේද ඔස්සේ ව්‍යාප්ත කර­මින් තැපෑල දියුණු කිරී­මට සැම­දෙනා එක්වන ලෙස ද මෙහිදී අමා­ත්‍ය­ව­රයා වැඩි­දු­ර­ටත් ඉල්ලා සිටි­යේය.

තැපැ­ල්පති රුවන් සත්කු­මාර, සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහ­ත්වරු ද අද­හස් පළ කළහ.

මේ අව­ස්ථා­වට නියෝජ්‍ය තැපැ­ල්පති (පාලන) චමීෂා ද සිල්වා, කොළඹ දිස්ත්‍රික් අති­රේක ලේකම් එම්.ඒ.එස්. කාංචනා ගුණ­ව­ර්ධන, උප තැපැල් කාර්යාල අධි­කාරි එච්.එම්.ඒ.ජේ බණ්ඩාර යන මහත්ම මහ­ත්මීන් මූල­ස්ථාන නියෝජ්‍ය තැපැ­ල්ප­ති­ව­රුන්, තැපැල් දෙපා­ර්ත­මේන්තු මාණ්ඩ­ලික නිල­ධා­රීන් ඇතුළු පත්වී­ම්ලා­භීහු එක්ව සිටි­යහ.

ශ්‍රී ලංකා ආර්ථි­කය යථා තත්ත්ව­යට ගෙන ඒමට සහ රජයේ ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ වැඩ­පි­ළි­වෙ­ළට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ අඛණ්ඩ සහාය ලබා­දෙන බව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ (IMF) නියෝජ්‍ය කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපි­නාත් මහ­ත්මිය ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා හමුවේ ඊයේ (16) අව­ධා­ර­ණය කළාය.

ශ්‍රී ලංකා­වට පැමිණි ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ (IMF) නියෝජ්‍ය කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපි­නාත් මහ­ත්මිය ඇතුළු දූත පිරිස ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී ඊයේ (16) පෙර­ව­රුවේ ජනා­ධි­ප­ති­ව­රයා හමු­වූහ. එහිදී ඇය පැව­සුවේ දැඩි අර්බු­ද­කාරී තත්ත්ව­යක සිට ශ්‍රී ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රග­තිය පිළි­බ­ඳව ඉතා­මත් සතුටු වන බවයි.

නව ආයෝ­ජන ආක­ර්ෂ­ණය කර­ගැ­නී­මට සහ ජන­තාව කේන්ද්‍ර කර­ගත් ආර්ථික න්‍යාය පත්‍ර­යක් ඉදි­රි­යට ගෙන යෑම සඳහා කැප­වන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙහිදී කියා සිටි­යේය. ශ්‍රී ලංකා­වට මෑත කාලීන මූල්‍ය අර්බු­ද­යෙන් ගොඩ ඒම සඳහා මඟ­පෙ­න්ව­මින් දැක්වූ අඛණ්ඩ සහ­යෝ­ගය පිළි­බ­ඳව ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල වෙත සිය කෘත­ඥ­තාව පළ කළේය.

මෑත­කදී එක්සත් ජන­ප­දය විසින් පන­වන ලද තීරු­බදු පිළි­බ­ඳව සඳ­හන් කළ ජනා­ධි­ප­ති­ව­රයා, ශ්‍රී ලංකාවේ සමස්ත අප­න­ය­න­ව­ලින් 25%ක් පමණ, එක්සත් ජන­ප­ද­යට අප­න­ය­නය කරන බැවින්, එසේ තීරු බදු ඉහළ නැංවීම තුළින් ඇති විය හැකි බල­පෑම පිළි­බ­ඳව ද සඳ­හන් කළේය.

ගෝලීය වශ­යෙන් පව­තින අර්බුද හේතු­වෙන් ශ්‍රී ලංකා­වට එල්ල වන අභි­යෝග සහ එයින් ඇති විය හැකි අහි­ත­කර ප්‍රති­ඵල ද මෙහිදී ජනා­ධි­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය.

කෙසේ වුවත්, මෙම අව­දා­නම් ඵල­දායී ලෙස කළ­ම­නා­ක­ර­ණ­ය­ටත්, ඒවායේ බල­පෑම අවම කිරී­ම­ටත් සුදුසු පිය­වර ගනි­මින් සිටින බව ජන­ප­ති­ව­රයා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නියෝ­ජිත පිරි­සට මෙහිදී පැව­සීය.

ශ්‍රී ලංකාව යුරෝපා සංග­මය සමඟ පව­ත්වන වෙළෙඳ සබ­ඳ­තාව, විශේ­ෂ­යෙන්ම මෙරට අප­න­ය­න­ව­ලින් 23%කට යුරෝපා සංග­මයේ වෙ‍ෙළ­ඳ­පො­ළ­ව­ලට ප්‍රවේ­ශය ලබා දෙන GSP+ වෙළෙඳ සහ­නය පිළි­බ­ඳව ද මෙම සාක­ච්ඡා­වේදී අව­ධා­නය යොමු කෙරිණි.

ආයෝ­ජන අවස්ථා පුළුල් කිරීම සඳහා රජයේ කැප­වීම මෙහිදී අව­ධා­ර­ණය කළ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ආයෝ­ජ­ක­යන්ගේ විශ්වා­සය තහ­වුරු කිරීම, ආර්ථි­කය යළි යථා තත්ත්ව­යට ගෙන ඒමට රුකු­ලක් වනු ඇති බව ද පැව­සීය. වත්මන් පාල­නය ජන­තාව කේන්ද්‍ර කර­ගත් බවත්, මහ­ජන අභි­ලාෂ සමඟ සම­පාත වෙමින් රට ඉදි­රි­යට ගෙන යෑමට රජය කැපවී සිටින බවත් ජන­ප­ති­ව­රයා මෙම අව­ස්ථාවේ යළි අව­ධා­ර­ණය කළේය.

රටේ ආර්ථික ප්‍රග­තිය පිළි­බිඹු කර­මින් ලබා ඇති ආර්ථික වර්ධ­න­යත්, ඉතා ඉහළ උද්ධ­මන අග­යක සිට පහළ අග­යක් දක්වා උද්ධ­මන අගය අඩු වීමත් ගැන අද­හස් දැක්වූ ආචාර්ය ගීතා ගෝපි­නාත් මහ­ත්මිය, පසු­ගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව ලබා ඇති කැපී­පෙ­නෙන ප්‍රග­තිය ඇග­යී­මට ලක් කළාය.

ශ්‍රී ලංකා­වේදී තමාව උණු­සුම් ලෙස පිළි­ගැ­නීම පිළි­බඳ ගෝපි­නාත් මහ­ත්මිය මෙහිදී ජනා­ධි­ප­ති­ව­ර­යාට ස්තූතිය පළ කළ අතර, මහ­මැ­ති­ව­ර­ණය සහ පළාත් පාලන මැති­ව­ර­ණය යන දෙකෙ­හි­දීම රජ­යට ලැබුණු සවි­මත් ජන­ව­රම අත්‍ය­වශ්‍ය ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ත්මක කිරී­මට රජ­යට ශක්ති­යක් වන බව සඳ­හන් කළාය.

එසේම, රාජ්‍ය පාලන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලදී රජය ලබා ඇති ප්‍රග­තිය අගය කළ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ (IMF) නියෝජ්‍ය කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­රිය මෙම උත්සා­හ­යන් තිර­සර බවට පත් කිරීමේ සහ පුළුල් කිරීමේ වැද­ග­ත්කම මෙහිදී අව­ධා­ර­ණය කළාය. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල ශ්‍රී ලංකාවේ ප්‍රති­සං­ස්ක­රණ සහ ප්‍රති­සා­ධන ක්‍රියා­ව­ලියේ ස්ථිර හවු­ල්ක­රු­වෙකු ලෙස කට­යුතු කරන බවට මෙහිදී ගෝපි­නාත් මහ­ත්මිය සහ­තික වූවාය.

කම්කරු ඇමැති සහ ආර්ථික සංව­ර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක, මහ බැංකු අධි­පති ආචාර්ය නන්ද­ලාල් වීර­සිංහ, ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ ආර්ථික උප­දේ­ශක දුමින්ද හුලං­ග­මුව, මුදල් අමා­ත්‍යාං­ශයේ ලේකම් මහින්ද සිරි­ව­ර්ධන, ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ අති­රේක ලේකම් රසල් අපොන්සු මහ­ත්වරු ද මෙම අව­ස්ථා­වට සහ­භාගි වූහ.

වසර 2028 වන විට රට විසින් ගෙවිය යුතු විදේශ ණය ස්වශක්තියෙන් ගෙවීමට හැකි වන ආර්ථික වර්ධනයක් සහ ස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ආර්ථික බිඳ වැටීමක් තුළ රාජ්‍යයක ස්වාධිපත්‍ය හා ස්වෛරිත්වය රඳා නොපවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අවසන් ප්‍රතිඵලය විය යුත්තේ ජාතියක් ලෙස ස්වාධිපත්‍යය සහ  ස්වෛරීභාවය අත්පත් කර ගැනීම බවද අවධාරණය කළේය.

ඒ වෙනුවෙන් ඉතා වෙහෙසකර සහ අත්නොහරින ව්‍යායාමයක තමා ප්‍රමුඛ රජය නිරතව සිටින අතර රාජ්‍ය නිලධාරින් සහ පුරවැසියන් ලෙස සියලුදෙනාගේ සහායද ඊට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ “ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනය: ණය සහ පාලනය” (Sri Lanka’s Road to Recovery: Debt and Governance) මැයෙන් අද (16) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

රට තුළ මතුපිට තලයේ ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය වි පැවතියද, එම තත්ත්වය ශක්තිමත් ලෙස ස්ථාවර කර ගනිමින් ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට නව ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අත්‍යවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

වත්මන් රජය යටතේ ඉතා කෙටි කලක් තුළ රටට ආර්ථික ජයග්‍රහණය රැසක් අත්කර දී තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම වැඩපිළිවෙළ ඉදිරියටම ක්‍රියාත්මක කරමින් රට ආර්ථික, දේශපාලන සහ සාමාජයීය වශයෙන් ජයග්‍රහණය කරවීම තම රජයේ අරමුණ බවද සඳහන් කළේය.

ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ අත්දැකීම්, උගත් පාඩම් සහ ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ප්‍රගතිය සහ ඉදිරි අභියෝග සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද මෙහිදි අදහස් දැක්වූහ.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව

මීට වසර කිහිපයකට පෙර අපේ රටේ ආර්ථිකයේ ඇති වු ගැඹුරුතම අර්බුදයේ ප්‍රතිවිපාකවලට අපි රටක් ලෙස මුහුණ දුන්නා. එහිදී අපිට තෝරා ගැනීමට මාවත් දෙකක් තිබුණා. පැරණි අසාර්ථක විනාශකාරි මාවතේම යනවද, එසේ නොමැතිව අපේ රට යළි ජයග්‍රහණය කරවීම සඳහා නව මාවතක් තෝරා ගන්නවාද  යන කරුණු දෙක අපි හමුවේ පැවතුණා.

අප විසින් තෝරා ගත් මාවත රටට විශාල ජයග්‍රහණය ගෙන දී තිබෙන බව අද අපි සියලුදෙනාට සතුටින් ප්‍රකාශ කළ හැකියි. එහිදී දේශපාලන අධිකාරියට වගකීමක් සහ බැඳීමක් තිබෙනවා. ඒ වගේම මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය වැනි රාජ්‍ය  ආයතනවලට විශාල වගකීමක් පැවරී තිබුණා. එසේම මෙහි විශාලතම පංගුව තිබුණේ මෙම ප්‍රතිසංස්කරණවලදී පීඩාවට පත්වූ ජන ප්‍රජාව සතුවයි. ඔවුන් මේ අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා විශාල කැපකිරීමක් සහ දරා ගැනීමක් සිදු කර තිබෙනවා.

අද අප රටක් ලෙස ආර්ථික වශයෙන් ස්ථාවරත්වයක් අත්පත් කර ගෙන සිටිනවා. අපිට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරිමට හැකියාව ලැබී තිබෙන අතර සැලකිය යුතු කාලයක් ඩොලරය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වී තිබෙනවා. ඒ වගේම අපි අපේක්ෂා කරන රාජ්‍ය ආදායම උපයා ගැනීමටත්, අපේක්ෂා කරන විදෙස් සංචිත ගොඩනගා ගැනීමටත් හැකියාව ලැබි තිබෙනවා. මේ අයුරින් මතුපිට තලයේ ආර්ථික සාධකවල අපි ඉතා ශක්තිමත් ස්ථාවරත්වයක් පෙන්නුම් කරනවා. එහෙත් අර්බුදයේ ගැඹුරු තුවාල තවමත් සුව වී නැහැ. අර්බුදය තවමත් අභ්‍යන්තරව අවසන් වී නොමැති බව අපි තේරුම්ගත යුතුයි.

එසේනම්, මතුපිට තලයේ ස්ථාවරත්වයක් නිර්මාණය වී පැවතියද, එම තත්ත්වය ස්ථාවර කර ගැනීමටත්, ආර්ථිකය තිබෙන තැනින් ඉහළට ඔසවා තැබීමටත්, ආර්ථික දේහයේ නව ප්‍රතිසංස්කරණ සහ වෙනස්වීම් අනිවාර්යයෙන් සිදු කළ යුතු වෙනවා. එහිදී වැදගත් සාධක කිහිපයක් කෙරෙහි මම අවධානය යොමු කිරීමට කැමතියි.

අපේ රටේ ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කිරීම සහ මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. එහෙත් එම රාජ්‍ය සේවය වෙනුවෙන් අපි දරන පිරිවැය විශාලයි. අපි නොදැරිය යුතු පිරිවැයක් අද අපි දරමින් සිටිනවා. ඒ නිසා ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනගන අතරම පුරවැසියන්ට අවම පිරිවැයකින් එම සේවාව ලබා දීම අපේ අපේක්ෂාවයි. එහිදී අපි දැනටමත් තීරණය කර තිබෙනවා ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමිය යුතුයි කියලා. එම රාජ්‍ය ආයතන ගොඩනැගුනේ එදා තිබු සමාජ ආර්ථික තත්ත්වයට අවශ්‍ය වන පරිදියි. අද එම ආර්ථික සහ සමාජ තත්ත්වය වෙනස් වී තිබෙනවා. ඇතැම් ආයතනවල පැවැත්ම පවා අවලංගු වී තිබෙනවා. ඒ නිසා අපි එය කළ යුතුයි. ඒ වගේම එකම කාර්යය වෙනුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක්  තිබෙනවා. අපි එම ආයතන ඒකාබද්ධ කළ යුතුයි.

ඒ වගේම ඇතැම් රාජ්‍ය ආයතනවල අරමුණ සහ ඉලක්ක වෙනස් කළ යුතුයි. එනිසා මේ ස්ථාවරභාවය ඉදිරියට ගෙන යෑමට රාජ්‍ය දේහයේ ශක්තිමත් පරිවර්තනයක් අවශ්‍යයි. එය ඉතා ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා  අප කැප වී සිටිනවා. අපේ රාජ්‍ය යාන්ත්‍රණය පුරා පැතිරී තිබෙන අකාර්යක්ෂමතාවය, විශේෂයෙන්ම දූෂණය, අල්ලස පිටුදැකිය යුතුයි. මෑත කාලයේ වාර්තා වන පුවත් දෙස බැලීමේදී අපේ රට කොතැනද තිබෙන්නේ කියා ඔබට සිතා ගැනීමට පුළුවන්.

පොලිස්පතිවරයා පොලිසියට බයේ හැංඟෙනවා. බන්ධනාගාර කොමසාරිස්වරයා බන්ධනාගාරගත වෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට පත් වෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට පත් වෙනවා. එහෙනම් අපේ රාජ්‍ය දේහය කොතැනද තිබෙන්නෙ? අකාර්යක්ෂමතාවය, අල්ලස, දූෂණය මේ අර්බුදයට විශාල මාවතක් නිර්මාණය කළා. අල්ලස ඒ මොහොතේ සිදුවන ගනුදෙනුවක් නෙමෙයි. අල්ලස හා දූෂණය විසින් ඒ නිශ්චිත මොහොතේ අවශ්‍ය ව්‍යාපෘති සිදුකළේ නැහැ. අනික් පසින් අල්ලස හා දූෂණය විසින් අපට අනවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. අදත් ඒවා අපට බරක් වී තිබෙනවා. එනිසා මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීමත්, අල්ලස හා දූෂණය තීරණාත්මක ලෙස පරාජය කිරීමත් අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් රාජ්‍යයක් ලෙස අප කැපවී සිටිනවා.

අපේ රාජ්‍ය ආයතනවල විශේෂයෙන්ම ආර්ථිකයත් සමඟ සංවේදී ක්ෂේත්‍ර යම් ප්‍රමාණයක් රජය සතුව තබාගත යුතුයි කියා අපි විශ්වාස කරනවා. අපේ බලශක්ති වෙළෙඳ  පොළ හා මූල්‍ය වෙළෙද පොළ ඉතා කුඩා වෙළඳපොළක්. එනිසා අපේ රට වැනි රටක ඒකාධිකාරය නිර්මාණය වීමේ අනතුර තිබෙනවා. ඒකාධිකාරය නිර්මාණය විමේ අනතුරට මුහුණ දීමට නම් ඇතැම් කේෂ්ත්‍රවල රජයේ පංගුවක් නියෝජනය කළ යුතුයි කියන ස්ථාවරයේ අප සිටිනවා. නමුත්, ඒ නියෝජනය කරන ආයතන කිසිසේත්ම මහජනතාවට බරක් නොවිය යුතුයි. විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි ආයතන ආර්ථිකයත්, ජනතාවගේ දෛනික ජනජීවිතය සමඟ ඉතා සමීපව ගැටගැසී තිබෙනවා. ඒ ආයතනවල යම් පාලනයක් රජය සතුව තිබිය යුතුයි කියන ස්ථාවරයේ අප සිටිනවා. එම ආයතන පවත්වාගෙන යෑම වෙනුවෙන් මහජනතාව වැය බරක් නොදැරිය යුතුයි. එනිසා නිෂ්පාදන පිරිවැයට අනුරූප වන පරිදි මිල ගැළපිය යුතුයි. විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන පරිවැයට අනුව විදුලි ඒකකයක මිල තීරණය කළ යුතුයි. අප ඒ පදනම ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා.

ඒ වගේම නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමට අපි සූදානමින් සිටිනවා. පුරවැසියන් එම සේවාවන් ලැබිය යුතු වන්නේ ඒ සේවාව සඳහා පිරිවැය දැරීමෙනුයි. එහෙත්, සමහර අඩු ආදායම්ලාභී කණ්ඩායම් ඉන්න බව අපි දන්නවා. ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කර, එහි ප්‍රතිඵල ජනතාවට ගලා එන තෙක් එම ජනතාවට ඉවසාගෙන සිටින ලෙස කීමට අපට අයිතියක් නැහැ. එහි ප්‍රතිඵල ජනතාවට ගලා එන තෙක් එම ජනතාව අපි බලාගත යුතුයි. එය යුක්තිගරුක රාජ්‍යයක වගකීමක්. ඕනෑම අවස්ථාවක සමාජයේ ආර්ථික ක්‍රියාදාමයත් සමඟ සම්බන්ධ නොවන ප්‍රජාවක් සිටිනවා. වැඩිහිටි ප්‍රජාවන් වෙන්න පුළුවන්, ආබාධිත ප්‍රජාවන් වෙන්න පුළුවන්, තමන් හැදී වැඩෙන පරිසරය අනුව තමන්ට ආර්ථිකයට සම්බන්ධ වීමට නොහැකි වෙන්න පුළුවන්. මේ ආදී සාධක විසින් ආර්ථිකයට සක්‍රීයව සම්බන්ධ නොවෙන, සම්බන්ධ කරගත නොහැකි ප්‍රජාවක් නිරතුරුව සිටිනවා.

එම ජන ප්‍රජාව ආරක්ෂා කර ගැනීම රජයක වගකීමක්. එම ජන ප්‍රජාව අත්හැර ආර්ථික සංවර්ධනයක් ගැන කතා කිරීමෙන් පලක් නැහැ. එය මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයක්, යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නයක්.  එනිසා ඉලක්ක සහගත ප්‍රජාවට සහනාධාර ලබාදිය යුතුයි කියන ප්‍රතිපත්තියක අප සිටිනවා. එය කිසිසේත්ම දේශපාලනීකරණය වූ සහනාධාර වැඩපිළිවෙළක් නොවෙයි. එය නිශ්චිත වශයෙන් සමාජ යුක්තිය පිළිබඳව, සමාජ ආරක්ෂණයක් ලබාදීමේ වගකීම පිළිබඳ ප්‍රශ්නයක් ලෙස  මනින්න අපි සූදානම්. අපේ අත්දැකීම්වලට අනුව සහනාධාර වැඩසටහන් සෑම විටම දේශපාලනිකකරණය වූ වැඩසටහන් බවට පත්ව තිබුණා. මම ඔබට වගකීමෙන් කියනවා අපි කිසිම අවස්ථාවක දේශපාලනය වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ නැහැ.

අනික් පසින්, අපි ක්ෂේත්‍ර ගණනාවක ස්ථාවර ඉලක්ක සපුරාගෙන තිබෙනවා. නමුත් තවත් වේගයෙන් ඉලක්ක සම්පූර්ණ කරගත  යුතු කේෂ්ත්‍ර කිහිපයක් තිබෙනවා. පළමුව සෘජු විදෙස් ආයෝජන කැඳවා ගත යුතුයි. පසුගිය දශක ගණනාවක් දෙස බැලුවහොත්, ඒ නිශ්චිත මොහොතේ ලෝකයේ ආර්ථික ස්වභාවයත් සමඟ, ආර්ථික චලනයන් සමඟ කල්පනා කළහොත් අපි අවශ්‍ය වන ප්‍රමාණවත් සෘජු විදෙස් ආයෝජන කැඳවා ගැනීමට අසමත් වූ රාජ්‍යයක්. එනිසා අපි ප්‍රමාණවත් සෘජු විදෙස් ආයෝජන කැඳවා ගත යුතුයි. හැබැයි එය කැඳවා ගැනීම අභියෝගයක්. අප සිටින්නේ ඉතාමත් ශක්තිමත් ආර්ථිකයක් තිබෙන තැනක නොවෙයි. බිඳ වැටුණු ආර්ථිකයේ සිට යළි යථාවත් කර ගැනීම සඳහා පොර බදන තැනක සිටයි. අපේ මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ විශ්වාසය බිඳ වැටී තිබුණා. එදිනෙදා භාණ්ඩ මිලදී ගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වුණා. ඩොලර් සංචිතය ඉතා අවම මට්ටමකට පත් වුණා. අප එතැන් සිට ගොඩ එමින් සිටිනවා. එතැන් සිට යථාවත් කරගනිමින් සිටිනවා.

එහෙත් අපට ආයෝජනයන් කැඳවා ගැනීම වෙනුවෙන් එය ප්‍රමාණවත්ද? ආයෝජනයන් සඳහා යම් දිරිගැන්වීම් ලබා දිය යුතු බව මා විශ්වාස කරනවා. මේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ ආයෝජනයන්ට ආකර්ෂණීය පරිසරයක් නිර්මාණය කිරීම ඉලක්ක කර ගනිමින් සහ දිරි ගැන්වීමක් ලෙස යම් සහනයක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි යන ස්ථාවරයක අපි සිටිනවා. ඒ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අපි සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම අපි අපේ රටේ ජාතික ආර්ථිකයට සහ ජාතික නිෂ්පාදනයට යළි පණ දෙන්නේ කොහොමද? කියන ප්‍රශ්නය තිබෙනවා. පසුගිය ආර්ථික බිඳවැටීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විශාල ප්‍රමාණයක් බිඳ වැටීමකට ලක් වුණා. ඉන් 90%කට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ කළමනාකරණ දෝෂ හෝ ඔවුන්ගේ ව්‍යාපාරික දෝෂ නිසා නොව, පොදු ආර්ථිකය බිඳ වැටීමේ ප්‍රතිවිපාක භුක්ති වින්ඳා. එසේ නම් යළි ඔවුන් නඟා සිටුවීම සඳහා යම් සහනයන් අප ලබා දිය යුතුයි. මේ තිබෙන තත්ත්වයෙන් තවත් ඉදිරි පියවරක් ගැනීමට නම් මේ ක්ෂේත්‍ර කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි.

තෙවනුව අපේ රටේ ආර්ථික වර්ධනය මෙන්ම ආර්ථිකයේ ප්‍රසාරණය වැදගත් වෙනවා. ග්‍රාමීය ජනතාව ආර්ථිකයෙන් විතැන් කරන ලද , ආර්ථිකයෙන් පිටමං කරන ලද මිනිස් දූවිලි බවට පත් වී තිබෙනවා. අපට අගනගරයේ ආර්ථික වර්ධනයන් පිළිබඳ දත්ත ගැන ගොඩක් කතා කළ හැකියි. නමුත් දත්තවලින් පිළිඹිබු නොවන කරුණක් තිබෙනවා. ආර්ථික වර්ධනයේ සාධක ජනතාවට යහපත් ප්‍රතිඵල ගෙන දෙන්න නම් ආර්ථිකයේ ප්‍රසාරණය අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා ඈත ගම්වල පුරවැසියන් ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීම  සඳහා අවශ්‍ය වන සැලසුම් හා ක්‍රියාමාර්ග දියත් කළ යුතු බව මම විශ්වාස කරනවා. ඒ නිසා අද ආර්ථිකයේ ඇති වී තිබෙන සමනය ස්ථාවරභාවයට පත් කර ගැනීමටත් මෙම තත්ත්වය තවත් ශක්තිමත් තත්ත්වයකට පත් කර ගැනීමටත් විශාල කාර්යයක් අප වෙත පැවරී ඇති බව අපි විශ්වාස කරනවා.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දුන් සහායත් එමෙන්ම එහිදී යම් අගතියකට පත් වූවා නම් අපේ පුරවැසියන්ගේ දරා ගැනීමත් පිළිබඳව බෙහෙවින් ස්තූතිවන්ත විය යුතුයි. මා මීට පෙරද ප්‍රකාශ කර ඇති පරිදි අපේ අදිටන මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ විස්තීරණ ණය වැඩසටහනට පැමිණි අවසන් වැඩසටහන බවට පත් කර ගැනීමයි. ඒ පිළිබඳ අපේක්ෂාවක් අපට තිබෙනවා. වසර 2028 වන විට අප ගෙවිය යුතු ණය ස්වශක්තියෙන් ගෙවීමට අවශ්‍ය වන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් අපට තිබෙනවා.

ආර්ථිකය බිඳ වැටුණ තැනක රාජ්‍යයක ස්වාධිපත්‍ය රඳා පවතින්නේ නැහැ. ආර්ථිකය බිඳ වැටුණ තැනක රාජ්‍යයක ස්වෛරීත්වය රඳා පවතින්නේ නැහැ. අපි කැමති වුවත් අකමැති වුවත් අපට ස්වාධීපත්‍යය සහ ස්වෛරීභාවය අහිමි වී තිබෙනවා. ඒ නිසා මෙහි අවසන් ප්‍රතිඵලය බවට පත් විය යුතු වන්නේ ජාතියක් ලෙස අපි ස්වාධිපත්‍ය සහ  ස්වෛරීභාවය අත්පත් කර ගැනීමයි. ඒ වෙනුවෙන් වෙහෙසකර ව්‍යායාමයක් තිබෙනවා. අත් නොහරින ව්‍යායාමයක් තිබෙනවා. ඒ වෙනුවෙන් අවසන් කළ යුතු කාර්යයක් තිබෙනවා. ඒ කාර්යය ඉටු කිරීමට දේශපාලන අධිකාරිය ලෙස අපේ බැඳීමත් රාජ්‍ය නිලධාරීන් ලෙස ඔබට ඇති වගකීමත් මහජනතාව ලෙස ඔබේ සහයෝගයත්  මම අපේක්ෂා කරනවා.

‘ටෙලි මෙඩිසින්’ තාක්ෂණය ඔස්සේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව ලබාදීමට පහසුකම් සැලසීමට අදහස් කරන බවත්, එමෙන් ම ඉදිරියේ දී විශේෂඥ වෛද්‍යවරු ප්‍රමාණය ද ක්‍රමිකව ඉහළ නංවාගෙන මෙරට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදිය හැකි වනු ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

දකුණු පළාතේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර එ්කක සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවල අඩුපාඩු සොයා බැලීමට සහ වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු අධ්‍යනය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා දකුණු පළාතේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන කිහිපයක් නිරීක්ෂණයට ලක් කළ අවස්ථාවේදී මේ බව පැවසීය.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගන්වමින් ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමට වර්තමාන රජය ගෙනයන වැඩපිළිවෙළ යටතේ දකුණු පළාතේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර එ්කක සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවල අඩුපාඩු සොයා බැලීමට අමාත්‍යවරයා මෙලෙස එක්විය.

රජයේ නව වැඩපිළිවෙළ යටතේ දිවයිනේ තිබෙන ග්‍රාමීය රෝහල්, ප්‍රාදේශීය රෝහල් සහ දිසා රෝහල්  ප්‍රතිසංස්කරණය කර ඒවායේ රෝග පරීක්ෂණ, රසායානාගාර සහ රෝගී සත්කාරක පහසුකම් වැඩිදියුණු කෙරෙන අතර, තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් අදාළ සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉලක්ක කරගනු ලබන ප්‍රජාවගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ දත්ත ගබඩා කිරීම, ඒවා නිරතුරුව යාවත්කාලීන කිරීම, විශේෂඥ උපදෙස් ලබා ගැනීමට ජාලගත වීම සඳහා දත්ත හුවමාරුව සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු ආදිය සඳහා පහසුකම් සැලසීම ද සිදු කරනු ලබයි.

තිස්සමහාරාම බෙරලිහෙල ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර එ්කකය, මත්තල මධ්‍යම බෙහෙත් ශාලාව, කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඇතුළු මධ්‍යස්ථාන කිහිපයක් මෙහිදී  අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වු අතර  ඉදිරි සැලසුම් සකස් කිරීමේ දී එම මධ්‍යස්ථාන සවිබලගැන්වීම පිළිබඳව මූලික අවධානය මෙන් ම අභියෝග හඳුනා ගැනීමට ද මෙහිදී සිදුවිය.

මෙහිදී එම සියලු මධ්‍යස්ථාන තුළින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට ඉල්ලීමක් ලෙස ඉදිරිපත් වූ ප්‍රධාන කරුණ වූයේ වැඩ කටයුතු සිදු කිරීමේ දී අන්තර්ජාල සම්බන්ධතා නොමැතිවීම මත ඔවුන් පත්ව ඇති දුෂ්කරතාවයි.

එමෙන් ම ඉඩකඩ ප්‍රමාණවත් නොවීම, ප්‍රවාහන අපහසුතා, ඖෂධ තත්ත්වයන්, සායන රෝගීන් කළමනාකරණය, මානව සම්පත් සහ භෞතික සම්පත් පිළිබඳව ද අමාත්‍යවරයා දැනුවත් කරන ලදි. තව ද එක් එක් ආයතන විසින් දෛනිකව සිදු කරනු ලබන සායන සහ රෝගී ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වයන් පිළිබඳව ද කරුණු දැක්වීය.

මෙම සංචාරයේ දී දක්ෂිණ සුවවිරු තරඟාවලියේ ජයග්‍රහණ කිහිපයක් ලබා ඇති  තිස්සමහාරාම බෙරලිහෙල ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර එ්කකයේ රෝගී සත්කාර කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වීම ද විශේෂත්වයකි.

පුරවැසියාට කෙටි දුරකින් තම සෞඛ්‍ය සේවා සපයා ගත හැකි, ප්‍රජාව මුලික කොටගත් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් අවශ්‍ය බවත්, කිලෝ මිටර් 03 ක වපසරියක, ග්‍රාම නිලධාරි වසම් 05 ක් පමණ ආවරණය වන පරිදි  7000  පමණ වන ජනතාවක් ඉලක්ක කර‍,  එම ජනතාව රෝහලට පැමිණීම වෙනුවට වෙත  ගොස් සේවා සපයන තැනට සෞඛ්‍ය සේවාව පරිවර්තනය කරමින් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීමට බලාපොරොත්තු වන බවද ඊට අදාළ සැලසුම් සිදුකෙරෙමින් පවතින බවද අමාත්‍යවරයා මෙම නිරීක්ෂණයේ දී පෙන්වා දුන්නේය.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ මුලිකත්වයෙන් මාතෘ හා ළදරු සායන පවත්වාගෙන යනු ලබන ස්ථාන ද මෙකී වැඩපිළිවෙළ තුළ නවීකරණය කෙරෙන බවත්, එමඟින් ජනතාව රැකබලා ගන්නා සෞඛ්‍ය කණ්ඩායමක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

මෙරට සෞඛ්‍ය සේවාවේ විශේෂඥ වෛද්‍යවරු ප්‍රමාණය 2000 කට පමණ සීමාවන බැවින් ග්‍රාමීය ප්‍රදේශ  දක්වා ම විශේෂඥ වෛද්‍ය සේවාව සැපයීමේ අපහසුතාවයක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයෙක් සෑම ප්‍රාදේශීය මට්ටමේ රෝහලකට ම යොමු කිරීම අපහසු බවත් එබැවින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන වලින් ප්‍රධාන රෝහල් වෙත යොමු කරන රෝගීන්ට ‘ටෙලි මෙඩිසින්’ තාක්ෂණය ඔස්සේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව ලබාදීමට පහසුකම් සැලසීමට අදහස් කරන බවත්, එමෙන් ම ඉදිරියේ දී විශේෂඥ වෛද්‍යවරු ප්‍රමාණය ද ක්‍රමිකව ඉහළ නංවාගෙන මෙරට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදිය හැකි වනු ඇති බව ද පෙන්වා දුනි.

මෙම අවස්ථාවටන්ට කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එච්.සී.ඩබ්ලිව් අජිත් කුමාර,  තිස්සමහාරාම බෙරලිහෙල ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර එ්කකයේ  ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය වෛද්‍ය ඉරේෂා අමරසේන, මත්තල මධ්‍යම බෙහෙත් ශාලාවේ ආයතන භාර වෛද්‍ය නිලධාරී එස්.එච්.ටී ප්‍රමුදිත් යන මහත්ම මහත්මින් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

ජුනි මස 14 වැනි දිනට යෙදෙන ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය නිමිත්තෙන් සංවිධානය කළ, ජාතික සැමරුම් උත්සවය ඊයේ(14) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි

ඊට සමගාමීව රුධිර පරිත්‍යාගශීලීන් ඇගැයීමද මෙහිදී සිදු කෙරිණ.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ,

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේමාව වූයේ “Give Blood, Give Hope, Together we save lives” යන්නයි, මෙරට වාර්ෂික රුධිර අවශ්‍යතාවයෙන් 85% ක් පමණ සැපයෙන ජංගම රුධිර දාන කඳවුරු සංවිධායකයින්ග අසමසම දායකත්වයෙන් සිදු වෙනවා. මේ අවස්ථාවේ ඒකට මම ඔවුන්ට ස්තූති කරන්න කැමතියි.

ජාතික රුධිර පාරවිලයන සේවයට වාර්ෂිකව ලැබෙන රුධිර ඒකක 450,000 න්, 380,000 කට අධික ප්‍රමාණයක්, එනම් 85%ක් පමණ රැස් කරගනු ලබන්නේ මෙම ජංගම කඳවුරුවලින්, මේ සඳහා වසරකට 5,000 කට ආසන්න ජංගම රුධිර දාන කඳවුරු සංඛ්‍යාවක් සංවිධානය වෙනවා.

මෙම උපහාර උළෙල සඳහා රුධිර පරිත්‍යාගශීලීන් 1,500 ක් සහ රුධිර දාන කඳවුරු සංවිධායකයින් 1,000 කට ආසන්න පිරිසක් සහභාගී වෙනවා. කිසිදු ජාති, ආගම්, පළාත් හෝ ප්‍රදේශ භේදයකින් තොරව දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින්, ව්‍යාපාරික ආයතන, රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන, පාසල්, ආරක්ෂක අංශ සහ තනි පුද්ගලයන්ද ඇතුළු පුළුල් පරාසයක දායකයන් මෙහි දී සම්මාන ලබනවා.

මෙම සංවිධායකයින් කිසිදු පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකර, ස්වකීය ධනය, ශ්‍රමය සහ කාලය ස්වේච්ඡාවෙන් මේ සඳහා කැප කරන පිරිසක්.

ලංකාවේ පවතින මෙම අද්විතීය රුධිර දාන සංවිධාන ක්‍රමවේදය ලෝකයේ වෙනත් රටවල දක්නට ලැබෙන්නේ නැහැ.

රාජ්‍ය ආයතන සඳහා වසරේ එක් දිනක් රුධිර දානයට වෙන් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රමවත් සැලසුමක් සහිතව ඉදිරියේදී නැවත ක්‍රියාවට නැංවීමට රජය බලාපොරොත්තු වෙනවා.

පාසල් පද්ධතිය තුළද රුධිර දානය පිළිබඳ දැනුම්වත් කිරීමට වැඩි ඉඩකඩක් ලබා දිය යුතුයි. අනාගත රුධිර පරිත්‍යාගශීලීන් බිහි වන්නේ පාසල් පද්ධතියෙන් බැවින් මෙය ඉතා වැදගත්.

කොවිඩ් වසංගත තත්ත්වය වැනි අපහසුතා මධ්‍යයේ වුව ද, ඔවුන් තම වගකීම අමතක නොකර තම ජාතික වගකීම ඉටු කළා,

අද වන විට ශ්‍රී ලංකාව 100% ක් ස්වේච්ඡා රුධිර පරිත්‍යාග මගින් රුධිර අවශ්‍යතා සපුරා ගන්නා රටක් බවට පත් වී ඇත්තේ ඔවුන්ගේ විශිෂ්ට මෙහෙවර තුළින් බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහි දී පැවසුවා ය.

. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ අංශ දෙකක් වන රෝග නිවාරණ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සහ ජාතික රුධිර පාරවිලයන සේවාව ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්ව තිබෙනවා. 2010 වසරේදී ලෝක සෞඛ්‍ය සම්මේලනය විසින් 2020 වන විට සෑම රටක්ම තම රුධිර අවශ්‍යතා 100%ක් ස්වේච්ඡා රුධිර පරිත්‍යාගවලින් සපුරා ගත යුතු බවට ගත් තීරණය, ශ්‍රී ලංකාව 2014 වන විටත් සපුරා ගෙන අවසන්, මේ වන විටත් ලොව පුරා රටවල් 70ක් පමණක් මෙම තත්ත්වය ළඟා කරගෙන තිබෙනවා.

මෙම විශිෂ්ට ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවන් වන්නේ මෙරට රුධිර පරිත්‍යාගශීලීන් සහ රුධිර කඳවුරු සංවිධායකවරුන් ඔවුන් “සුපිරිසිදු හදවත් ඇති සුවිශේෂී කණ්ඩායමක්”

රුධිර පාරවිලයන සේවාව තවදුරටත් නවීකරණය කරන්න රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ඉදිරියේදී රුධිර ජනක සෛල (stem cells) සහ රුධිර ප්ලාස්මා (blood plasma) පරිත්‍යාග කිරීමට අවකාශ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරනවා වගේම , NAT testing (Nucleic Acid Amplification Test) වැනි නවීන රසායනාගාර පරීක්ෂණ හඳුන්වාදීමටත්, සියලුම රුධිර බැංකුවල තත්ත්ව පාලන ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීමටත්, ජාත්‍යන්තරව පිළිගත් AABB standard සහ GMP (Good Manufacturing Practices) වැනි ක්‍රමවේදයන් ස්ථාපිත කිරීමෙන් රුධිර පාරවිලයන සේවාව තවදුරටත් නගා සිටුවීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික රුධිර පාරවිලයන සේවාවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ රුධිර පරිත්‍යාගශීලීන් රැසක් සහභාගී වූහ.

“එළවළු පලතුරු – සුවදෙයි නිරතුරු” යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති 2025 ජාතික පෝෂණ මාසයට සමගාමී ව ජාතික සැමරුම් උත්සවය ඊයේ (11) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි.

සෑම වර්ෂයක ම ජුනි මාසය ජාතික පෝෂණ මාසය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කර ඇති අතර මෙවර තේමාව තුළ ප්‍රධාන පණිවුඩ හතරක් හඳුනාගෙන ඇත.

එම ප්‍රධාන පණිවුඩ හතර නම්,

  1. දිනකට අවම වශයෙන් එළවළු වර්ග දෙකක්, පලා වර්ගයක් සහ පලතුරු වර්ග දෙකක් පරිභෝජනය කරන්න.
  2. එළවළු සහ පලතුරු සකස් කිරීමේ දී ඒවායේ පෝෂණ ගුණය ආරක්ෂා වන අයුරින් සකස් කර ගැනීම සිදු කරන්න.
  3. සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර වශයෙන් හැකි සෑම විටම එළවළු සහ පලතුරු ආහාරයට ගන්න.
  4. දේශීයව අඩු වියදමින් ලබාගත හැකි එළවළු සහ පලතුරු තෝරා ගන්න                                          යන කරුණු වේ.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ වර්තමානයේ ළමා පරපුර එළවලු, පළතුරු පරිභෝජනයෙන් ඈත් වෙමින් යන බවත්, පරිසරයේ කෙතරම් පෝෂණීය, ගුණාත්මක දෑ දකින්නට ලැබුනත් එමෙන්ම පාසලේ, පෙර පාසලේ කෙතරම් ඒ පිළිබදව දැනුවත් කිරීම්  සිදු කළත් දරුවන් එළවලු, පළතුරු වලට ප්‍රියතාවයක් නොදක්වන බවත් ය.

තවද මේ සම්බන්ධයෙන් දෙමාපියන් සහ ප්‍රජාව අවධානය යොමුකරමින් එම තත්ත්වය වෙනස් කිරීම සඳහා ආකල්පමය වෙනසක් කඩිනමින් ඇතිකර ගත යුතුව ඇතැයි ද අමාත්‍යාවරයා පැවසී ය.

පෝෂණය සම්බන්ධයෙන් පවතින අභියෝග වලට මුහුණ දීමට සහ එම අභියෝග ජයගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුළුල් කාර්යභාරය පිළිබඳව පෙන්වා දුන් අමාත්‍යවරයා, පෝෂණය සම්බන්ධයෙන් ජනමාධ්‍ය විෂයට සැලකියයුතු කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙන බව ද,  මාධ්‍ය ආයතන මඟින්  විකාශනය කරනු ලබන ප්‍රවෘත්ති සහ විද්වත් වැඩසටහන් පමණක් නොව සියලු වැඩසටහන් තුළ පෝෂණය සම්බන්ධයෙන් නිරවද්‍ය දැනුවත් කිරීම් ජනතාව වෙතට රැගෙන යාමට රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය සියල්ලටම ආරාධනා කරන බවත්, ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර ගතයුතු බවත් සඳහන් කළේය.

එවැනි වැඩපිළිවෙළක් වසර කිහිපයක් අඛණ්ඩව දියත් කළහොත් මෙරට පෝෂණය සම්බන්ධ විෂයට අදාළව උපරිම ප්‍රතිඵල ලබා ගත හැකි බව ද  ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙනු ලැබීය.

පෝෂණය යන විෂය සෞඛ්‍ය අංශයට පමණක් සම්බන්ධ විෂයක් නොවන බවත්, එය අමාත්‍යාංශ ගනණාවක මැදිහත්වීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර කරගත යුතු විෂයක් බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසී ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ,  යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් (Mr. Christian Skoog), යන මහත්වරුන් ද , සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් පෝෂණවේදීන්,හෙද හෙදියන්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින්  පිරිසක් ද  මෙම අවස්ථාවට සහභාගි වූහ.

ජීවිත ආරක්ෂා කිරීම තම වගකීමක් ලෙස සිතා මහමග අනතුරු වළක්වා ගැනීමට වගකීමෙන් කටයුතු කළ යුතු බවත්, නීති රීති මගින් පමණක් නොව අවබෝධයෙන් යුතුව ඒ වෙනුවෙන් කැපවිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Clean Sri lanka වැඩසටහන, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ පොලීසිය එක්ව සංවිධානය කළ, ” Take Care රැකෙමු මඟතොට”  මැයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති මාර්ග අනතුරු වළක්වා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින්  අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා ය.

මාර්ග අනතුරු වළක්වා ගැනීම පිළබඳ පාසැල් සිසුන් දැනුම්වත් කිරීම ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් විසින් සිදු කළ අතර, දිස්ත්‍රික්ක විසිපහ ම ආවරණය වන පරිදි පාසැල් විසිපහක් වෙත පාසැල් රිය නියාමකයින්ට අවශ්‍ය උපකරණ බෙදා දීම ද අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් මෙහි දී සිදු කෙරිණ.

සමාරම්භක අවස්ථාව අමතමින් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

Clean Sri Lanka ව්‍යාපෘතිය මගින් කරන තවත් වැදගත් වැඩසටහනක් ලෙස මේ වැඩසටහන හඳුන්වන්න පුළුවන්.මාර්ග අනතුරු අද වන විට රටේ විශාල ව්‍යසනයක් බවට පත්වෙලා. ඛේදවාචකය කියන්නේ මේ සියල්ල අපට වුවමනාව සහ කැපවීම තියෙනවා නම් වළක්වාගන්න පුලුවන් දේවල් වීමයි.

මාර්ග අනතුරු නිසා දවසකට හත් දෙනෙක් මිය යනවා, මේ ව්‍යසනය අපි නතර කළ යුතුයි. මාර්ග අනතුරුවලින් මියගිය, අබාධිත වුණ, තුවාල වුණ සියලු දෙනා මේ රටේ පුරවැසියන්, කාගේ හරි අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, සහෝදරයෙක් සහෝදරියක් හෝ දරුවෙක් කවුරු හෝ අනතුරට පත් වෙනවා නම් ඒක මේ සියලු දෙනාටම බලපානවා. අනතුරු පිළිබඳ වාර්තා වන සංඛ්‍යා ලේඛන කියන්නෙ නිකම්ම ඉලක්කමක් විතරක් නෙමෙයි ඒ තුළ ලොකු කථාවක් තියෙනවා.

රිය අනතුරු වළක්වා ගන්නවා කින්නෙ නීතියට අවනත වීම පමණක් ම නෙමෙයි. තව කෙනෙක් ගැන හිතන, ජීවිත ආරක්ෂා කිරීම තම වගකීමක් ලෙස සිතන, සහකම්පනයෙන් යුතුව කටයුතු කරන සමාජයක් නිර්මාණය කිරීමත් අවශ්‍යයි. එවැනි ලස්සන රටක් නිර්මාණය කිරීමටයි රජය උත්සාහ කරන්නෙ.

දඬුවමට පෙර අධ්‍යාපනය, නීතිය ක්‍රියාත්මක කරන්න පෙර ආදර්ශය, චෝදනාවට පෙර සැලකිලිමත් වීම අත්‍යවශයයි. දෙමව්පියන් ආදර්ශමත් වීම, රියදුරන් ජීවිත ආරක්ෂා කිරීමට කැපවීම, දරුවන්ට මාර්ග නීති පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම වගේම පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර ජනතාව දැනුම්වත් කිරීම අවශ්‍ය බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට Clean Sri Lanka වැඩසටහන නියෝජනය කරමින් ජනාධිපති අතිරේක ලේකම් රසල් අපොන්සු, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල, රාජකීය විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන යන මහත්වරුන් ද, අධ්‍යාපන අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා පොලීසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුව, යන ආයතනවල නිලධාරීන්ද, දිවයින පුරා පාසල් නියෝජනය කරමින් ගුරුවරුන්, පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.

මෙරට ප්‍රථම රූප­වා­හිනී නාලි­කාව ලෙස ආරම්භ වූ ස්වාධීන රූප­වා­හිනී මාධ්‍ය ජාලය 100%ක් කොටස් අයි­තිය මහා භාණ්ඩා­ගා­රය සතු සමා­ග­මක් ලෙස ක්‍රියා­ත්මක වේ.

කෙසේ වුව ද, වසර ගණ­නා­වක් පැරණි පරි­ග­ණක උපාංග හා යල්පැ­න­ගිය මෘදු­කාංග භාවිත කර­මින් වැඩ­ස­ට­හන් නිෂ්පා­ද­නය කිරී­මට සිදු­වීම හේතු­වෙන් ක්ෂේත්‍රයේ තර­ග­කා­රීව කට­යුතු කර­මින් ගුණා­ත්මක බවින් ඉහළ, ආක­ර්ෂ­ණීය වැඩ­ස­ට­හන් විකා­ශය කිරීම ගැටලු සහ­ගත වී තිබේ.

එබැ­වින්, සෞඛ්‍ය සහ ජන­මාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා විසින් ඉදි­රි­පත් කළ යෝජ­නා­වක් සැල­කි­ල්ලට ගෙන, ප්‍රේක්ෂක ආක­ර්ෂ­ණය ඉහළ නංවා­ගැ­නී­මට සහ විකා­ශන කට­යුතු බාධා­ව­කින් තොරව පව­ත්වා­ගෙන යෑමට හැකි වන පරිදි ස්වාධීන රූප­වා­හිනී මාධ්‍ය ජාල­යට අත්‍ය­වශ්‍ය උප­ක­රණ කිහි­ප­යක් සපයා ගැනී­මට අවශ්‍ය ප්‍රති­පා­දන ප්‍රමු­ඛතා පද­නම මත 2026 අය-වැය මඟින් වෙන්කර දීමට ඇමැති මණ්ඩ­ලය විසින් තීර­ණය කර ඇත.

Page 1 of 204

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter