අමාත්ය මණ්ඩල තීරණ - 2026.05.11







ශ්රී බුද්ධ වර්ෂ 2570 ක් වූ 2026 වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ පූර්ව සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (11) දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
“අභිත්ථරේථ කල්‍යාණේ” තේමාව යටතේ 2026 මැයි 27 සිට ජුනි 01 දක්වා මාතර නගරය සහ තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් “දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍යය සංවිධානය කරනු ලැබ තිබේ.
ශ්‍රී ලාංකේය බෞද්ධ පුනරුදයේ ප්‍රබලතම කේන්ද්‍රස්ථානයක් වන මාතර පුරවරය සම්බුදු සසුන ආලෝකමත් කළ මහා යතිවරයන්වහන්සේ රැසක් බිහිකළ පින්බිමක් වන අතර මාතර පුරවරය කවියෙන් සහ ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරෙන් ජාතියට දායාද කළ දහම් පණිවිඩය අදටත් සජීවිව පවතී. එබැවින් අතීත බෞද්ධ උරුමයේ අසමසම අභිමානය ලොවට විදහා දැක්වීමටත්, එම ප්‍රෞඩ ආධ්‍යාත්මික පණිවිඩය යළිත් ජාතියට සිහිපත් කිරීමත් අරමුණු කර ගනිමින් මෙවර ජාතික වෙසක් මංගල්‍යය සඳහා මාතර පුරවරය තෝරා ගැනීම විශේෂත්වයකි.
“දක්ෂිණා ප්‍රභා” ජාතික වෙසක් මංගල්‍යය ප්‍රතිපත්ති පූජා කලාපය සහ ආමිස පූජා කලාපය යනුවෙන් වෙසක් කලාප දෙකකින් සමන්විත අතර, මාතර ඓතිහාසික කොටු පවුර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිපත්ති පූජා කලාපය සහ මාතර නගරය සහ වෙරළ උද්‍යානය ආශ්‍රිතව ආමිස පූජා කලාපය පැවැත් වේ.
ප්‍රතිපත්ති පූජා කලාපය තුළ සර්වඥ ධාතු ප්‍රදර්ශනය, ප්‍රවීණ දේශකයන් වහන්සේලා සහභාගී වන ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මෙන්ම, කවි බණ සහ, දාන, ශීල භාවනා වැඩසටහන්ද සංවිධානය කරනු ලැබ ඇත.
කොටු පවුර සහ නගර මධ්‍යයේ ඉදිවන දැවැන්ත තොරණ, මාතර වෙරළ උද්‍යානයේ පැවැත්වෙන නිර්මාණාත්මක පහන් කූඩු තරඟය සහ පරෙවි දූපත අසල මුහුදු වෙරළේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඉදිරිපත් කරන භක්ති ගීත ප්‍රසංග සහ දකුණේ සාම්ප්‍රදායික කලාව ප්‍රදර්ශනය කෙරෙන රූකඩ සංදර්ශන සහ සංස්කෘතිකාංග රැසකින් ආමිස පූජා කලාපය සමන්විතය.
එමෙන්ම සුවිශේෂී ආකර්ෂණීය අංග කිහිපයකින්ද මෙය විචිත්‍රවත් කෙරෙන අතර අහසේ මැවෙන බෞද්ධ සංකේත සහ රටා සහිත AI තාක්ෂණය යොදා ගනිමින් සිදු කෙරෙන නවීන තාක්ෂණික සංදර්ශනය, දකුණට ආවේණික රූකඩ කලාව මගින් ජාතක කථා ඉදිරිපත් කිරීම, LED තිර ප්‍රදර්ශන මගින් නගරය පුරා ඩිජිටල් ජාතක කථා සහ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සිදු කිරීමට නියමිතය.
වෙසක් කුඩු තරගය විවෘත, පාසල් වශයෙන් සහ භක්ති ගීත රාජ්‍ය අංශය සහ පාසල් අංශය යටතේ පැවැත්වෙන අතර නිර්මාණශීලිත්වය සහ ගුණාත්මකභාවය ඇගයීම සඳහා ප්‍රවිණ විනිශ්චය මණ්ඩලයක් මගින් ජයග්‍රාහකයින් තෝරා ගැනේ.
මැයි 27 වන දින රාජ්‍ය වෙසක් උත්සවය ආරම්භ වන අතර මැයි 30 දිනට යෙදෙන වෙසක් පොහෝ දින දාන, සීල, භාවනා සහ ආගමික වැඩසටහන් පැවැත්වේ. ජූනි 01දායින් රාජ්‍ය වෙසක් උත්සවයේ සමාප්තිය සනිටුහන් කෙරේ.
මීට අදාළ සංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ස්වේච්ඡා සංවිධානවල සහයෝගය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.
රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු සියලුදෙනා දායක කර ගනිමින් මෙම වෙසක් මහෝත්සවය සාර්ථක කර ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපති ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා සංඝරත්නයද, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්කම් ඉල්යාස්, ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න යන මහත්වරුන්ද, මාතර දිස්ත්‍රික්කයේ අදාළ රාජ්‍ය නිලධාරීන්, වෙළෙඳ ප්‍රජාව සහ අනුග්‍රාහක භවතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මාලදිවයිනේ මාලේ නුවර ඊයේ (12) දින පැවැති 21 වන ආසියානු මාධ්ය සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී විය.
“Maldives 2.0: From Tradition to Tech” යන තේමාව යටතේ මෙවර සමුළුව සංවිධාන කර තිබූ අතර, වේගයෙන් වෙනස් වන ගෝලීය මාධ්‍ය ප්‍රවණතා හමුවේ වෘත්තීයවේදීත්වය සහ සත්‍යගරුකභාවය සුරකිමින් ඉදිරියට යන ආකාරය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ නව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීම සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙහිදි සමුළුව දැනුවත් කරන ලදී.
සම්ප්‍රදායික මාධ්‍ය සහ ඩිජිටල් මාධ්‍ය යනු එකිනෙකා සමඟ තරග කරන්නන් නොවන බවත්, සත්‍ය සහ වගකීම් සහගත පුවත් ජනතාව වෙත ගෙනයාමේදී එම ක්ෂේත්‍ර ද්විත්වයම ඉතා වැදගත් බවත් ඔහු අවධාරණය කළේය.
අප හඳුන්වා දෙන නව ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් මාධ්‍ය නිදහස තහවුරු කිරීම, ඩිජිටල් යුගය තුළ පෞද්ගලිකත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීම මෙන්ම මාධ්‍යවේදීන් සඳහා වරලත් ආයතනයක් පිහිටුවීම ඔස්සේ වෘත්තීයවේදීත්වය ශක්තිමත් කිරීම යන මූලික කරුණු මත පදනම් වේ.
කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණික මෙවලම්වල වර්ධනය පිළිබඳව අදහස් දක්වමින්, මෙම නවෝත්පාදනයන් දෙස බියෙන් නොබැලිය යුතු බවත්, මානව පරිණාමයේ ස්වාභාවික පියවරක් ලෙස ඒවා වගකීම් සහගතව වැළඳගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම රජය මගින් පනවනු ලබන දැඩි නීතිරීතිවලට වඩා, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සක්‍රීය මැදිහත්වීමෙන් සිදුවන ස්වයං-නියාමනය වඩාත් ප්‍රතිඵලදායක බව සිය විශ්වාසය බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අපගේ අවසන් ඉලක්කය වන්නේ මානව හිමිකම් සහ නීතිමය රාමුවට ගරු කරමින්, තාක්ෂණික දියුණුව මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා උපරිමයෙන් යොදාගැනීම බවද ඔහු කියා සිටියේය.
බංග්ලාදේශයේ තොරතුරු සහ විකාශන අමාත්‍ය මොහොමඩ් අලි අරෆත් මහතා, ටිමෝර් ලෙසතෝ රජයේ සමාජ සන්නිවේදන පිළිබඳ රාජ්‍ය ලේකම් එක්ස්පෙඩිටෝ ලෙමොස් ලයිට් මැග්නෝ මහතා සහ මාලදිවයිනේ තොරතුරු හා කලාව පිළිබඳ අමාත්‍ය ඉබ්‍රාහිම් ඉෂාම් මහතා ද මෙහිදී අදහස් දැක්වූහ.
මීට අමතරව බිම්ස්ටෙක් (BIMSTEC) මහලේකම් ඉන්ද්‍ර මණි පාන්ඩේ මහතා සහ සාර්ක් (SAARC) මහලේකම් එම්.ඩී. ගොලාම් සර්වර් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අමාත්ය මණ්ඩල තීරණ - 2026.05.11







මෙරට දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය වන “ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ 2026 අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 23,000ක සංවර්ධන ව්‍යාපෘති මේ වන විටත් අනුමත කර ඇති බව අනාවරණය වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.
දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර තුනක් කෙරෙහි අවධානය යොමු කර ඇත:
ජීවනෝපාය සංවර්ධනය: පවුල් ඒකකවල ආදායම් මාර්ග ඉහළ නැංවීම.
නිෂ්පාදන ආර්ථිකය: ග්‍රාමීය මට්ටමින් නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම.
ආහාර සුරක්ෂිතතාව: දේශීය ආහාර නිෂ්පාදනය දිරිගැන්වීම.
මෙම සියලු ව්‍යාපෘති ප්‍රජා සංවර්ධන සභා මගින් ප්‍රමුඛතාගත කර ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි.
ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම අරමුණු කරගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 13,977 ම ආවරණය වන පරිදි ප්‍රජා සංවර්ධන සභා පිහිටුවීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇත. මෙමගින් තීරණ ගැනීමේ බලය ගම් මට්ටමටම ලබා දී ඇති අතර, වැඩසටහනේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනයට ද රජය පියවර ගෙන ඇත.
වැඩසටහන සාර්ථකව ජනතාව අතරට ගෙනයාම වෙනුවෙන් දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි නිලධාරී පුහුණු වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක වේ. රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රජා නායකයින් ඒකාබද්ධව මෙම සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙහෙයවීම මෙහි අරමුණයි.
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් තිරසාර සංවර්ධනයක් කරා රට ගෙන යාම සඳහා වූ රජයේ දැඩි කැපවීම මෙම “ප්‍රජා ශක්ති” වැඩසටහන හරහා තහවුරු වන බව මෙම ප්‍රගති සමාලෝචනයේදී අවධාරණය කෙරිණි.
2026 ලෝක මාධ්ය නිදහස් දර්ශකයේ ශ්රී ලංකාවේ ඉදිරියට යෑම පිළිබඳ විශ්ලේෂණාත්මක කියවීමකි.)
මාධ්ය නිදහස යනු හුදෙක් මාධ්‍යවේදීන්ට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පමණක් නොවේ. එය සමාජයක ප්රජාතන්ත්රවාදය, විනිවිදභාවය, වගවීම සහ පුරවැසියාගේ දැනගැනීමේ අයිතිය නිරූපණය කරන මූලික හා අත්‍යවශ්‍ය දර්ශකයකි. නිදහස් මාධ්‍යයක් නොමැති සමාජයක සත්‍යය ක්‍රමයෙන් අඳුරු වන අතර, බලය ජනතා පරීක්ෂාවෙන් තොරව ක්රියාත්මක වීමේ අවදානම ඉහළ යයි. එවැනි පරිසරයක පුරවැසියා තීරණ ගන්නා දැනුවත් පුරවැසියකු නොව, පාලිත තොරතුරු ප්රවාහයකට යටත් භාවිතකරුවකු බවට පත්වේ.
ලෝක මාධ්ය නිදහස් දර්ශකය
RSF ලෝක මාධ්ය නිදහස් දර්ශකය යනු සංඛ්‍යා ලැයිස්තුවකට පමණක් සීමා නොවන, රටවල් අතර මාධ්ය නිදහස සංසන්දනය කරන සංකීර්ණ ජාත්‍යන්තර මිනුම් දණ්ඩකි. එය රටක ප්රජාතන්ත්රවාදයේ යහපත් සෞඛ්ය තත්ත්වය, විනිවිදභාවය සහ වගවීම විමර්ශනය කරන විද්‍යාත්මක හා විශ්ලේෂණාත්මක මෙවලමක් ලෙස සැලකේ.
මෙම දර්ශකය සකස් කිරීම සඳහා ලොව පුරා සිටින මාධ්ය විශේෂඥයන්, නීතිවේදීන්, පර්යේෂකයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් ලබාගත් විස්තීර්ණ දත්ත භාවිත කෙරේ. මෙය හුදෙක් ශ්‍රේණිගත කිරීමක් නොව, රටක ප්රජාතන්ත්රවාදී ගුණාත්මකභාවය මැන බලන සංකේතාත්මක “සෞඛ්ය පරීක්ෂණයක්” ලෙස ද සැලකිය හැකිය.
අරගලයෙන් පසු ඇති වූ වෙනස
2022 ආර්ථික හා දේශපාලන අර්බුදය ශ්රී ලංකාවේ මාධ්ය පරිසරය තුළ ගැඹුරු ව්‍යූහාත්මක වෙනසක් ඇති කළ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකි. එම කාලය තුළ රටේ සාම්ප්‍රදායික මාධ්ය ආකෘති – විශේෂයෙන් රූපවාහිනී, පුවත්පත් සහ රාජ්‍ය මාධ්ය මධ්‍යස්ථාන – සමාජය තුළ තිබූ ‘තොරතුරු ඒකාධිකාරය’ ක්‍රමයෙන් අහිමි වීමට පටන් ගත්තේය. එම හිස්තැන වේගයෙන් පිරවූයේ සමාජ මාධ්‍ය සහ පුරවැසි මාධ්‍යකරණයයි. Facebook, YouTube, TikTok සහ X වැනි වේදිකා ඔස්සේ ජනතාවම සිදුවීම් සජීවීව වාර්තා කිරීමට, විවේචනය කිරීමට සහ විශ්ලේෂණය කිරීමට ඉදිරිපත් වූහ. මෙය තොරතුරු නිෂ්පාදනයේ බලය ජනතාව වෙත පැවරූ නව තත්ත්වයක් විය.
එමඟින්, රාජ්‍යයට හෝ සාම්ප්‍රදායික මාධ්ය ආයතනවලට තොරතුරු ප්‍රවාහය සම්පූර්ණයෙන් පාලනය කිරීම අපහසු විය. එහි ප්‍රතිඵලයක් ලෙස “ජාලගත පොදු සංවාද අවකාශයක්” (networked public sphere) ක්‍රමයෙන් ව්‍යාප්ත විය.
ජර්ගන් හබර්මාස්ගේ මහජන කක්ෂය (Public Sphere) න්‍යාය අනුව, ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වන්නේ විවෘත, නොයෙකුත් පාර්ශ්වයන්ගේ හඬ සහ විවේචනාත්මක සංවාදයක් ඇති අවකාශයකය. ශ්රී ලංකාවේ අරගල සමයේ එවැනි අවකාශයක් සීමිත කාලයකට වුවද සක්‍රියව පවතින ආකාරය දැකගත හැකි විය. එය ජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවීමටත්, මාධ්ය නිදහස පිළිබඳ ගෝලීය අවධානය වැඩි කිරීමටත් දායක වූ අතර, අවසානයේ 2026 මාධ්ය නිදහස් දර්ශකයේ දක්නට ලැබෙන සාපේක්ෂ ඉදිරියට යෑමට සමාජීය පදනමක් සැපයීය.
සාපේක්ෂ ජයග්‍රහණය
දකුණු ආසියානු කලාපය ලෝකයේ මාධ්ය නිදහස සම්බන්ධයෙන් අතිශය සංකීර්ණ සහ අසමතුලිත භූගෝලීය අවකාශයකි. බොහෝ රටවල් තවමත් දේශපාලන අස්ථාවරතා, නෛතික සීමා, ආරක්ෂක පීඩන සහ මාධ්‍යවේදීන්ට එල්ල වන විවිධ ආකාරයේ තර්ජන හේතුවෙන් නිදහස් මාධ්ය පරිසරයක් ස්ථාපිත කර ගැනීමට අරගල කරමින් සිටියි. එබැවින්, මෙම කලාපය තුළ මාධ්ය නිදහස මැනීමේදී රටවල් අතර විශාල පරතරයක් පැවතීම සාමාන්‍ය ලක්ෂණයකි.
මෙම පසුබිම තුළ ඉන්දියාව 157 වැනි ස්ථානයට පහත වැටීම විශේෂ අවධානයට ලක්ව ඇත. ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යය ලෙස සැලකෙන ඉන්දියාව තුළ මාධ්‍යවේදීන්ට එල්ල වන නෛතික හිරිහැර, “lawfare” ලෙස හැඳින්වෙන නඩු පද්ධතිමය පීඩනය, දත්ත පාලන නීති ව්‍යාප්තිය සහ විවේචනාත්මක හඬවල් මත දේශපාලන සහ ව්‍යාපාරික බලපෑම් මෙයට ප්‍රධාන හේතු ලෙස දැක්වේ. මෙය කලාපීය පමණක් නොව ගෝලීය මට්ටමින් ද මාධ්ය නිදහස පිළිබඳ ගැටලු තවමත් බරපතළ බව පෙන්වයි.
ඊටත් වඩා බරපතළ තත්ත්වයක් ඇෆ්ගනිස්ථානය තුළ දැකිය හැකිය. 175 වැනි ස්ථානයට එරට පත්වීම එහි මාධ්ය නිදහස සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවට සංකේතාත්මක පෙන්වීමකි. ස්වාධීන මාධ්ය ආයතන වසා දැමීම, මාධ්‍යවේදීන්ට
එල්ල වන දැඩි සීමා සහ විශේෂයෙන් කාන්තා මාධ්‍යවේදිනියන්ගේ වෘත්තිය ක්ෂේත්රයෙන් ඉවතට තල්ලු වීම මෙහිදී කැපී පෙනේ.
මෙයට විරුද්ධව ස්කැන්ඩිනේවියානු රටවල්, විශේෂයෙන් නෝර්වේ, ඩෙන්මාර්කය සහ ස්වීඩනය දිගටම ලෝකයේ ඉහළම ස්ථාන හිමි කරගෙන සිටී. එම රටවල මාධ්ය ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ මාධ්යවේදීන් සඳහා ඇති ආරක්ෂිත වෘත්තීය පරිසරය ඉතා ශක්තිමත්ය. රාජ්‍යය සහ මාධ්‍ය අතර සම්බන්ධතාව විනිවිදභාවයෙන් යුත් සහ වගවීමෙන් පිරුණු එකක් වන අතර, එය ප්රජාතන්ත්රවාදයේ මූලික අංගයක් ලෙස ක්‍රියා කරයි.
මෙවැනි ගෝලීය අසමතුලිත පසුබිමක ශ්රී ලංකාව 134 වැනි ස්ථානයට පැමිණීම කලාපීය සන්දර්භය තුළ සාපේක්ෂ වශයෙන් යම් ප්‍රගතියක් ලෙස දැකිය හැකිය. එය දකුණු ආසියාවේ ඇතැම් රටවල් දැඩි පසුබැසීම් දක්වන අවස්ථාවක, ශ්රී ලංකාව යම් ස්ථාවරත්වයක් සහ සීමිත ඉදිරි ගමනක් පෙන්වීමක් ලෙස අර්ථ දැක්විය හැකිය. එහෙත් මෙම “සාපේක්ෂ ජයග්‍රහණය” අතිශයෝක්තියට ලක් කළ නොහැකියි. 134 වැනි ස්ථානය තවමත් “දුෂ්කර” (difficult) කාණ්ඩය තුළ පවතින අතර, එය සම්පූර්ණ, ස්ථාවර හෝ ආරක්ෂිත මාධ්ය නිදහසක් නිරූපණය නොකරයි. දේශපාලන බලපෑම්, ආර්ථික පීඩන සහ නෛතික අවදානම් තවමත් ශ්රී ලංකාවේ මාධ්ය පරිසරය තුළ ව්‍යුහාත්මක අභියෝග ලෙස පවතියි.
ව්‍යූහාත්මක ගැටලු
ශ්‍රී ලංකාවේ මාධ්ය පරිසරය පිළිබඳව සංඛ්‍යාත්මක ප්‍රගතියක් කතා කළද, එහි යටින් දිවෙන ව්‍යූහාත්මක ගැටලු කිහිපයක් තවමත් දැඩි ලෙස පවතියි. ඒ අතර ප්‍රධානතම ගැටලුවක් වන්නේ මාධ්ය හිමිකාරිත්වය කේන්ද්‍රගත වීමයි. රටේ ප්රධාන
රූපවාහිනී නාළිකා, පුවත්පත් සහ ඩිජිටල් මාධ්ය ආයතන බොහොමයක් දේශපාලන බලවතුන් හෝ ඔවුන්ට සමීප ව්‍යාපාරික ජාලයන් සතු වීම, පුවත් වාර්තාකරණයේ ස්වාධීනත්වය සෘජුවම සීමා කරයි. එවැනි ව්‍යූහයක් තුළ මාධ්‍යය බොහෝ විට “පොදු අවකාශයක්” ලෙස නොව, බලය හා ආර්ථික වුවමනා අතර ගැටෙන යානයක් ලෙස ක්‍රියා කරයි.
මෙයට අමතරව තවත් බරපතළ ගැටලුවක් වන්නේ “දඬුවම් නොලැබීමේ සංස්කෘතිය” (culture of impunity) යි. ශ්‍රී ලංකාවේ මාධ්ය ඉතිහාසය තුළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සහ තවත් මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර වැනි සිදුවීම් අද වන තුරුත් සම්පූර්ණ හා සාධාරණ නීතිමය විසඳුමකට ලක්වී නැත. මෙවැනි නොවිසඳුණු සිදුවීම් මාධ්ය ක්ෂේත්‍රය තුළ දැඩි දැවෙන ප්රශ්නකාරී බලපෑමක් (chilling effect) ඇති කරමින්, විවේචනාත්මක වාර්තාකරණයෙන් ඉවත්වීමට හෝ ස්වයං වාරණයට යොමු වීමට බොහෝ මාධ්යවේදීන් පොලඹවයි.
ඒ සමඟම නව නීතිමය රාමු ද අවධානයට ලක්වෙමින් පවතියි. විශේෂයෙන් අන්තර්ජාල ආරක්ෂණ පනත වැනි නීති, ව්‍යාජ පුවත් පාලනය කිරීමේ නාමයෙන් හඳුන්වා දුන්න ද, ඒවා අනාගතයේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සහ ඩිජිටල්
මාධ්ය ක්ෂේත්රයට සෘජු හෝ වක්‍ර බලපෑම් එල්ල කළ හැකි බවට විවේචන පවතියි. එබැවින්, තවමත් දිස්වන මාධ්ය නිදහසේ ප්‍රගතියට යටින්, මාධ්ය නිදහස සම්බන්ධයෙන් ව්‍යූහාත්මක අවදානම් රැසක් සැඟවී පවතින බව පැහැදිලිය.
ආර්ථික පීඩනය සහ මාධ්‍යවේදියා
මාධ්ය නිදහස යනු නීතිමය ආරක්ෂාව සහ ප්‍රතිපත්තිමය රාමුවක් පමණක් නොව, ගැඹුරු ආර්ථික සාධක සමඟ සෘජුව බැඳී ඇති සමාජ, වෘත්තීය යථාර්ථයකි. එම නිසා මාධ්‍යවේදියාගේ ස්වාධීනත්වය විග්‍රහ කිරීමේදී ඔහුගේ ආර්ථික තත්ත්වය අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සැලකිය යුතුය. ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍යවේදීහු අඩු වැටුප්, අස්ථාවර සේවා කොන්ත්‍රාත් සහ සීමිත වෘත්තීය ආරක්ෂාව යටතේ සේවය කරති. මෙවැනි පරිසරයකදී ඔවුන්ගේ වෘත්තීය තීරණ බොහෝ විට ආර්ථික අවශ්යතා මත බලපෑමට ලක් වේ. දිගුකාලීන ආදායම් ස්ථාවරත්වයක් නොමැති වීම නිසා මාධ්‍යවේදියාගේ විවේචනාත්මක ස්වාධීනත්වය ක්‍රමයෙන් දුර්වල විය හැකියි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික පීඩනය, මාධ්යවේදීන් දේශපාලන හෝ ව්‍යාපාරික බලපෑම්වලට යටත් වීමේ අවදානම ඉහළ නංවයි. දැන්වීම් ආදායම් මත පදනම් වූ මාධ්‍ය ආර්ථික ආකෘතිය, විශේෂයෙන් සංවේදී දේශපාලන හෝ ආර්ථික විවේචන වාර්තාකරණයේදී ස්වයං වාරණයට (self-censorship) පෙලඹවීමක් ඇති කරයි. එබැවින් මාධ්ය නිදහස යනු හුදෙක් අදහස් ප්‍රකාශ කිරීමේ නීතිමය අයිතියක් නොව, ආර්ථික ස්ථාවරත්වය, වෘත්තීය ආරක්ෂාව සහ සමාජීය පිළිගැනීම සමඟ සම්බන්ධ වූ සංකීර්ණ වෘත්තීයමය අයිතිවාසිකමකි. මාධ්‍යවේදියා ආර්ථික වශයෙන් ආරක්ෂිත නොවන්නේ නම්, ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය ස්වාධීනත්වය ද සම්පූර්ණයෙන්ම ආරක්ෂා කළ නොහැකි බව මෙම යථාර්ථය පැහැදිලි කරයි.
අනාගත දිශානතිය
ශ්රී ලංකාවේ මාධ්ය නිදහස තිරසරව ශක්තිමත් කිරීමට නම්, පවතින ව්‍යූහාත්මක දුර්වලතා හඳුනාගෙන ඒවාට පිළිතුරු දෙන ගැඹුරු ප්‍රතිසංස්කරණ අවශ්ය වේ. වර්තමාන තත්ත්වය තුළ දක්නට ලැබෙන සාපේක්ෂ ප්‍රගතිය ස්ථාවර කිරීම සඳහා, නීතිමය, ආයතනික සහ සමාජීය මට්ටම් තුනම එකට සම්බන්ධ වූ ප්‍රවේශයක් අත්‍යවශ්‍යය.
පළමුව, ස්වාධීන මාධ්ය නියාමන යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය පියවරකි. එවැනි ආයතනයක් රජයේ සෘජු බලපෑමෙන් තොරව, මාධ්යවේදීන්, නීති විශේෂඥයන්, විද්වතුන් සහ සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් සමන්විතව ක්‍රියා කළ යුතුය. එහි ප්‍රධාන කාර්යය වන්නේ මාධ්ය ආචාරධර්ම, විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීමත්, මාධ්ය නිදහස ආරක්ෂා කිරීමත්ය.
දෙවනුව, මාධ්යවේදීන්ගේ ආරක්ෂාව සඳහා ශක්තිමත් නීතිමය සහ ක්ෂණික විමර්ශන ක්‍රමවේදයක් අවශ්ය වේ. මාධ්‍යවේදීන්ට එල්ල වන තර්ජන, පහරදීම් හෝ බාධා සම්බන්ධයෙන් වේගවත් පරීක්ෂණ සිදු කරන විශේෂිත යන්ත්‍රණයක් නිර්මාණය කළ යුතුය. දඬුවම් නොලැබීමේ සංස්කෘතිය අවසන් කිරීම මෙහි ප්රධාන අරමුණ විය යුතු අතර, එය මාධ්‍ය ක්ෂේත්රයේ විශ්වාසය නැවත ගොඩනැඟීමට දායක වේ.
තෙවනුව, පාසල් මට්ටමින් මාධ්ය සාක්ෂරතාව (media literacy) හඳුන්වා දීම දිගුකාලීනව ඉතා වැදගත් පියවරකි. ව්‍යාජ පුවත් හඳුනාගැනීම, තොරතුරු විශ්ලේෂණය කිරීම සහ විවේචනාත්මක චින්තනය වර්ධනය කිරීම තුළින් දැනුවත් පුරවැසි සමාජයක් බිහි කළ හැකිය. එවැනි සමාජයක් මාධ්ය නිදහස ආරක්ෂා කිරීමට ස්වාභාවිකවම දායක වේ.
මෙම ප්‍රතිසංස්කරණ එකට ක්රියාත්මක නොකළහොත්, වර්තමානයේ අපට දක්නට ලැබෙන ප්‍රගතිය දීර්ඝකාලීනව තහවුරු කර ගැනීම අපහසු වේ. එබැවින් මාධ්ය නිදහස යනු හුදෙක් නීතිමය හෝ තාක්ෂණික ප්‍රශ්නයක් නොව, පුරවැසි සමාජයක් ලෙස රටේ ප්රජාතන්ත්රවාදී පරිණාමයේ මූලික අභියෝගයක් ලෙස ද සැලකිය යුතුය.
සංඛ්‍යාත්මක ජයග්රහණයෙන් එහා
2026 ලෝක මාධ්ය නිදහස් දර්ශකයේ ශ්රී ලංකාව ලබා ඇති ඉදිරියට යෑම වැදගත් සහ නොසලකා හැරිය නොහැකි සංඥාවකි. එය දකුණු ආසියානු කලාපීය සන්දර්භය තුළ බලන විට සාපේක්ෂ වශයෙන් යම් ප්‍රගතියක් නිරූපණය කරන අතර, වසර කිහිපයක් තුළ ඇති වූ සමාජ, දේශපාලන පරිවර්තනවල ප්‍රතිඵලයක් ලෙස ද කියවිය හැකිය. විශේෂයෙන්ම 2022 අර්බුදයෙන් පසු මාධ්ය පරිසරයේ ඇති වූ විවෘතකරණය සහ ඩිජිටල් සංවාද අවකාශයේ ව්‍යාප්තිය මෙම ඉදිරියට යෑමට පසුබිමක් සපයා ඇත.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරටේ තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා වූ විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී.
මෙම අත්සන් තැබීම සිදුවූයේ දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වියට්නාම් ජනාධිපති ටෝ ලාම් (To Lam) මැතිතුමා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව, දෙරට අතර අත්සන් තැබුණු සහයෝගීතා ගිවිසුම් 05ක කොටසක් වශයෙනි.
ශ්රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්යාංශය සහ වියට්නාමයේ සංස්කෘතික, ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශය අතර ඇති කරගත් මෙම ගිවිසුම සඳහා:
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජනමාධ්‍ය නියෝජ්ය අමාත්ය ආචාර්ය කෞෂල්යා ආරියරත්න මහත්මිය ද,
වියට්නාමය වෙනුවෙන් එරට සංස්කෘතික, ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය හෝ අන් ෆොන්ග් (Ho An Phong) මහතා ද අත්සන් තැබූහ.
මෙම අවබෝධතා ගිවිසුම හරහා දෙරට අතර තොරතුරු හුවමාරුව, සන්නිවේදන තාක්ෂණයන් බෙදාහදා ගැනීම සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් අතර සහයෝගීතාව වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම නවීන සන්නිවේදන උපායමාර්ග සහ සංස්කෘතික ප්‍රවර්ධනයන් සඳහා ජනමාධ්‍ය භාවිත කරන ආකාරය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙහිදී අවධානය යොමු වී ඇත.
මෙම අවස්ථාවට දෙරටේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සහභාගී වූහ. මෙම නව සබඳතාව හරහා ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රයට නව අවස්ථා රැසක් උදාවනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය මාධ්‍ය ඒකකය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළුව ඊයේ (29) සෞඛ්‍ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
සමාජයේ පෙර ගමන්කරුවකු වෙමින් වෘත්තීයයක් ලෙසින් ජනමාධ්‍යවේදීන් ඉටුකරන කාර්යභාර්‍යය ඉතා වැදගත් වන බවත්, ජනමාධ්‍යවේදීන් දැනුමෙන් සන්නද්ධ වීම සමාජ ප්‍රගමනයට මෙන්ම ජනමාධ්‍ය වෘත්තියට ද ඉවහල් වන බව වැඩසටහනෙහි පිළිගැනීමේ කතාව සිදුකරමින් කළුතර මහා දිසාපති එච්.එම්.එස්.පී හේරත් මහතා පැවසීය.
දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම මෙන්ම, දෛනිකව මාධ්‍ය කටයුතු කිරීමේදී මුහුණ පෑමට සිදුවන අභියෝග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.
"ජනමාධ්‍යවේදියාගේ වෘත්තීයභාවය හා නෛතික පසුබිම" මැයෙන් නීතිඥ ජගත් ලියනාරච්චි මහතා ද, මාධ්‍ය කර්මාන්තය හමුවී ඇති අභියෝග සහ නව ප්‍රවණතා සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ටී.එම්.ජී චන්ද්‍රසේකර මහතා විසින් ද දෙසුම් ඉදිරිපත් කරමින් වැඩසටහන සඳහා සම්පත් දායකත්වය දැක්වූහ.
ජනමාධ්‍යවේදීන් ඉටුකරන කාර්යභාරය ඇගැයීමට ලක්විය යුතු බවත්,සඳහා ඉදිරියේදී සුවිශේෂී වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා විසින් පැවසීය.
වැඩමුළුව සඳහා සහභාගී වූ සියලු මාධ්‍යවේදීන් වෙනුවෙන් වැඩසටහන අවසානයේ සහතික පත්‍රයක් ලබාදීම ද සිදුවිය.
කලුතර දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයට සම්බන්ධ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ නිලධාරීන් රැසක් වැඩසටහන සඳහා සම්බන්ධ වූහ.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන/ තාක්ෂණික සේවා ගණයේ III ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරී තනතුර සඳහා නිලධාරීන් 326 දෙනෙකු හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ගරු සෞඛ්‍ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 අප්‍රේල් 28 වන දින පෙරවරුවේ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ අරමුණින්, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සේවා නිලධාරී තනතුරු 600ක් සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබුණි. ඒ අනුව, පසුගිය වර්ෂයේ අගභාගයෙදී පැවැත්වූ තරග විභාගයෙන් සමත් වී, සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වී නිසි සුදුසුකම් සම්පූර්ණ කරන ලද 326 දෙනෙකු හට පළමු අදියර යටතේ මෙලෙස පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
නව පත්වීම් ලැබූ මෙම නිලධාරීන් දිස්ත්‍රික් මට්ටමින් බඳවා ගැනීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. පළාත් මට්ටමින් ස්ථාපිත කර ඇති තැපැල් අභ්‍යාස ආයතනවල ලබාදෙන සති දෙකක විශේෂ පුහුණුවකින් අනතුරුව අදාළ රාජකාරී කටයුතු සඳහා ඔවුන්ව දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල වෙත අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබේ.
උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මැතිතුමා අවධාරණය කර සිටියේ, වර්තමාන රජය යටතේ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්වලදී කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීමක් සිදු නොවන බවයි. ඒ සඳහා අමාත්‍යවරයාගේ නාම ලේඛන හෝ බලපෑම් නොමැති බවත්, සියලුම බඳවා ගැනීම් පිරිසිදුව සුදුසුකම් මත පමණක් සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය නියෝජ්ය අමාත්ය ආචාර්ය කෞෂල්යා ආරියරත්න, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දීපා ලියනගේ, තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පතිවරුන් වන එච්.එම්. ප්‍රේමචන්ද්‍ර හේරත්, තුසිත හුලංගමුව, චමීෂා ද සිල්වා යන මහත්ම මහත්මීන් සහ පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05
011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498
secretary@media.gov.lk