වැරදි ආහාර භාවිතය හේතුවෙන් ඇති වෙන ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීමට දේශීය ආයුර්වේද ක්ෂේත්‍රයට වාර්ෂිකව වැය කරන මුදල මෙන් හතළිස් ගුණයට වඩා වැඩි වියදමක් දැරීමට රජයට සිදුව ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

ජාතික ඔසු වගා ව්‍යාපෘතිය සහ ඔසු එකතු කිරීමේ වැඩසටහන යටතේ ආයුර්වේද දෙපාර්තමේන්තුව මහනුවර දිස්ත්‍රික්කයේ පල්ලේකැලේ “ජනසවිගම” පිහිටුවා ඇති “පර්යේෂණ හා ව්‍යාප්ත සේවා ඔසු උයන” නිරීක්ෂණයට එක් වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සෞඛ්‍ය යනුවෙන් හඳුන්වන්නේ ප්‍රතිකාර කිරීම පමණක් නොවේ. එසේම ආහාර එම වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන කොටසක් බව ද හෙතෙම සඳහන් කළේය.

තවද රෝග වැළැක්වීමට කටයුතු නොකර ඖෂධ සහ ප්‍රතිකාර වෙනුවෙන් කොතරම් මුදල් වියදම් කළ ද ඉන් ඵලක් නොවන බවද හෙතෙම ප්‍රකාශ කර සිටියේය.

ආයුර්වේද ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන ඖෂධ නිෂ්පාදන ජාලය ශක්තිමත් කිරීමට ජාතික ඔසු වගා ව්‍යාපෘතියක් සහ ඔසු එකතු කිරීමේ වැඩසටහනක් ඉදිරි වසර 5ක කාලය ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා මෙහිදී කීවේය.

දැනට ආයුර්වේද දෙපාර්තමේන්තුව සතුව ඇති පර්යේෂණ ඔසු උයන් 7කි. ගිරාඳුරුකෝට්ටේ, පල්ලෙකැලේ, හල්දුම්මුල්ල, පින්නදූව, පටිටිපොළ, කන්නෙලිය, නාවින්න ඔසු උයන් ඒ අතර වේ.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යටතේ නිකවැරටිය, මැදවච්චිය, දංගොල්ල හා අඹන්පොළ ඔසු උයන් පිහිටුවා ඇති බවද ඒ මහතා පැවසුවේය.

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ දේශීය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමට මෙරට ඔසු උයන් ජාලය ශක්තිමත් කරමින් දේශීයව ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.

දේශීයව ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඖෂධීය අමුද්‍රව්‍ය 130කට අධික ප්‍රමාණයක් විදේශයන්ගෙන් මෙරටට ආනයනය කරනු ලබන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බවද පැවසීය.

විදේශයන්ගෙන් ආනයනය කරන ඖෂධීය අමුද්‍රව්‍ය වර්ග අතුරින් විශාල ප්‍රමාණයක් මෙරට වගා කළ හැකි ඖෂධ වන බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම නිරීක්ෂණ චාරිකාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී.එස්. අබේකෝන්, මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් ඩබ්.ඩී.සී. වික්‍රමතිලක, ආයුර්වේද කොමසාරිස් ආචාර්ය වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් සෞඛ්‍ය ලේකම් ජගත් අධිකාරි, පර්යේෂණ හා ව්‍යාප්ත සේවා ඔසු උයනේ අධීක්ෂණ වෛද්‍ය නිලධාරි .ආර්.ආර්.එම්.ආර්.වී.ඩබ්.කේ. මැදගම යන මහත්ම මහත්මීන් සහ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.