නවතම පුවත්

ප්‍රවාහන ඇමැතිවරයා ලෙස මෙයට දායක වෙන්න ලැබීම සතුටක් – ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන

මෙතෙක් පර්යේෂණ නොවූ සීතාවක, පර්යේෂකයන්ට තෝතැන්නක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

අගමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (21) සීතාවක කෞතුකාගාරය පොදු ජන අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.මේ කෞතුකාගාරය මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් මිලියන 50ක වියදමින් සහ නාවික හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් අවිස්සාවේල්ල නගරයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ගොඩනැඟිල්ලක ඉදිකර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙලෙස ද කීවේය.

“පෞඩ ඉතිහාසයක තොරතුරු අනාගත පරම්පරාවට දායාද කරන ස්ථානයක් මේ කෞතුකාගාරය. ලොව ආක්‍රමණය කරන්න සවිය තිබූ බටහිර හමුදාවන් පරාජය කළ මායාදුන්නේ සහ සීතාවක රාජසිංහ රජවරුන් ලොව සොලවපු රාජ්‍ය නායකයන්. අපේ රටට පළමුව ආවේ ලන්දේසීන්. ඔවුන්ගේ නම් ගම් ටිකක් ගත්තා මිසක් භාෂාව ඉගෙන ගත්තේ නෑ. ඊට පස්සේ පෘතුගීසින් ආවාම තරමක් භාෂාව ව්‍යාප්ත වෙලා නම් ගම් ටිකක් එකතු වුණා මිසක් ගැඹුරින් භාෂාව ඉගෙන ගත්තේ නැති නිසා ඒ භාෂාව අපේ රටින් මැකී ගියා.

ලෝකයේ පළමු වෙනි අධිරාජ්‍යයා මෙල්ල කළ අය විදියට අපි ආඩම්බරයි. සුදු ආණ්ඩුව ආවේ පස්සේ. පළමු වැනියාට ආවේ පෘතුගීසීන්. සුද්දා මේ රටට එනකොටත් අපි හැම අතින්ම දියුණු ජාතියක්. අපිව යටත් කරගන්න කොටත් දියුණු ජාතියක්. ගංගාවල්, තොටුපොළවල් හරහා රටේ ස්වාභාවික වස්තු නිෂ්පාදනය ලෝකවාසීන් සමඟ ගනුදෙනු කරන්න අපේ ආදි ජනයා පියවර ගෙන තිබුණා. ඒවා සොයාගෙන පැමිණි අය ඊටත් වැඩි ප්‍රමාණයක් අත්පත් කරගැනීමට දැරූ උත්සාහය ව්‍යක්ත කර අපේ නිදහස පිණිසයි මේ රණවිරුන්, රාජ්‍ය නායකයන් සාර්ථකව සටන් කළේ. රණවීරත්වය පමණක් නෙවෙයි, උපාය, පාලන තන්ත්‍රයේ විවිධ ක්ෂේත්‍ර සඳහා පිවිසුණු ඒ ක්‍රියාවලිය පිළිබඳව තවමත් අධ්‍යයනයක් කර නෑ. එදා ගැඹුරින් එවැනි අධ්‍යයනයක් කරන්න අපට ඕනෑකම තිබුණේ නෑ. සීතාවක කියන්නේ අපේ රටේ ඉතිහාසය ගැන ආඩම්බර විය හැකි කාලපරිච්ඡේදවලින් එකක්. මේ කෞතුකාගාරය ඒ ආඩම්බරයේ කොටසක්. සීතාවක නගර සභාව ආඩම්බරයේ මාණික්‍ය පලඳගන්න. ආඩම්බරයේ මාණික්‍ය මේ මහාචාර්යවරුන් ඔබට ගෙනත් දී තිබෙනවා.”

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

“අද සීතාවක පුරවරයට ඓතිහාසික වැදගත්කමකින් යුත් දිනයක්. අපේ රටේ දීර්ඝ කාලීන ප්‍රෞඪ ඉතිහාසයේ ගමන් මඟ ඉදිරියට ගෙනයෑමට සීතාවක රාජධානිය ඉෂ්ට කළ කාර්යය අනාගත පරම්පරාවේ දරුවන්ටත්, අධ්‍යයනය කරන අයටත් දැක බලා ගැනීමට මෙවැනි කෞතුකාගාරයක් පිහිටුවීමට දායක වූ සියලු දෙනාට අපේ ගෞරවය සහ ස්තූතිය පුද කරනවා. කෞතුකාගාරය ස්ථානගත කිරීමට ස්ථානයක් සොයා ගැනීම පිළිබඳ ගැටලුවේදී ප්‍රවාහන විෂය භාර ඇමැතිවරයා ලෙස මටත් දායකවන්න ලැබීම ගැන සතුටුයි. ලංකා ආණ්ඩුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් මේ පෞරාණික ගොඩනැඟිල්ල සහ ඉඩම් කොටස පවරාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එයින් තමයි මේ ඉඩම සහ ගොඩනැඟිල්ල මේ උතුම් කර්තව්‍ය සඳහා දෙන්න හැකි වුණේ.”

ඇමැති විදුර වික්‍රමනායක මහතා,

“අපේ කෙරුවාවල් අපිම කියන්න හොඳ නෑ. ඒක සිංහලයාගේ ගතියක් නෙමේ. අපි වැරදුණු තැන් නැවත නැවත හිතට අරගෙන නැවත වරදින් නැති වෙන්න හරි ගමනක් යන්න හරි වැඩක් කරන්න බලන්න ඕනේ. අපි හැමෝම එක මිටට ඉඳලා මේ රට මෙතැනින් එහාට ඉදිරියට ගෙන යන්න ඕනේ. ඩිජිටල් යුගයක් කරා යන ගමනේදී අපේ උරුමයන් පැත්තකට දාන්න හොඳ නෑ.”

මහා සංඝරත්නය, ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු පූජකවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන යදාමිණී ගුණවර්ධන, සුදත් මංජුල, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ඊයේ (21) පස්වරුවේ ඓතිහාසික කතරගම පුද බිම වෙත පැමිණ ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

ඓතිහාසික කතරගම පුදබිම වෙත පැමිණි සාගල රත්නායක මහතා පළමුව කිරිවෙහෙර විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව අෂ්ඨ ඵල බෝධීන් වහන්සේ අභියස පැවති ආගමික වතාවත්වලට එක් වූ ඒ මහතා කතරගම සමන් මහා දේවාලය ඇතුළු සෙසු දේවාල වෙත ද ගොස් ආශිර්වාද ලබා ගත් අතර ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ෂඩ්වර්ණ විදුලි බුබුළුවලින් ආලෝකමත් කිරීමට ද එක් විය.

කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ අවසන් දිනය වූ ඊයේ (21) දින පෙරහර ආරම්භ කරමින් සිංහරාජා හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍ය වෙනුවෙන් පුදබිම වෙත පැමිණ සිටි බැතිමතුන්ගේ තොරතුරු විමසමින් ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වීමට ද සාගල රත්නායක මහතා අමතක නොකළේය.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 75ක් සපිරීම නිමිත්තෙන් මෙරට සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසූලේ මහත්මිය (Ms. Audrey Azoulay) ඊයේ (16) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අයුරු.

 

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත් හා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්තව පුවත්පත් ලිපි තරගාවලියක් පැවැත්වීමට රජය සැලසුම් කර ඇත.

“විධිමත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණක් සහ තිරසාර ආර්ථික පරිවර්තනයක් තුළින් 2048 වන විට සංවර්ධිත මගේ රට” මැයෙන් පවත්වනු ලබන මෙම දීපව්‍යාප්ත පුවත්පත් ලිපි තරගාවලියේ ජයග්‍රාහකයින්ට හා ජයග්‍රාහී පාසල් සඳහා වටිනා ත්‍යාග හා සහතික පත් ලබාදීමට ද නිමිතය.

රජයේ සියලු පාසල් හා පිරිවෙන් විද්‍යායතන, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ අනුමත පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම භික්ෂුන් වහන්සේලා , මෙහෙණින් වහන්සේලාටද මෙම තරගය සඳහා සහභාගි විය හැකි අතර, සිංහල ,දෙමළ හා ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම අයදුම්කරුවන්ට සිය නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධනය කරන මෙම තරගාවලියේ අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ජුලි 31 වැනිදා වන අතර, තරග කොන්දේසි සහ ඉල්ලුම් පත්‍රය, නිර්මාණ ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ වැඩි විස්තර අදාළ පනත් කෙටුම්පත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ https://www.dgi.gov.lk/contact-us/public-finance-management-bill වෙබ් අඩවිය ඔස්සේ බාගත කළ හැකිය.

පාසල් අධ්‍යාපනයෙන් සෞන්දර්යාත්මක විෂයන් සහ කලා විෂය ධාරා ඉවත් කිරීමට රජය කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති අතර එවැනි තීරණයක් ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තුවක්ද නැතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.කලා විෂය ධාරාවන් අධ්‍යාපනය තුළ පැවතිය යුතු බවට ලෝකයම පිළිගන්නා බව අවධාරණය කළ කැබිනට් ප්‍රකාශකවරයා ඊට වඩා පුළුල් ලෙස අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ සාකච්ඡා කරන බව පැවසුවේය.

බටහිර රටවල ආගමික විෂයන් ඉගැනුවූයේ නැති වුවද මෙරට කිසිවිටෙක ආගමික විෂය ධාරාවන් පාසල් අධ්‍යාපනයෙන් ඉවත් නොකරන බවද, නැටුම්, සංගීතය, සෞන්දර්ය, චිත්‍ර ආදී සෞන්දර්යාත්මක විෂයන් පාසල් වලින් ඉවත් නොකරන බවද ඒවා දරුවන්ට ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේදී අත්‍යවශ්‍ය දේවල් බවද වැඩිදුරටත් පැවසුවේය.

මෙරට 50%කට වැඩි පිරිසක් කලා අංශයේ විෂය ධාරාවන් හැදෑරීමෙන් විභාග සමත් ජීවිත අසමත් වන අතිවිශාල සංඛ්‍යාවක් නිර්මාණය වන බවද, උපාධිය දක්වා අධයාපනය අවසන් කර පැමිණි පසු දේශීයව සහ විදේශීයව ජීවනෝපායන් සලසාගත නොහැකි යැයිද ඔවුන් රක්ෂා සෙවුවද සිටින උගතුන්ට දීමට රැකියා නැතැයිද පවතින රැකියා සදහා අවශ්‍ය උගතුන් බිහිනොවන බවද අමාත්‍යවරයා පැවසුවේය.

මෙහිදී සේවා වියුක්තියේ ව්‍යූහාත්මක අසමතුළිතතාවයක් ඇතිවන බවද, එමනිසා කැරළි ඇතිවීම, තරුණයෝ විශාල ලෙස සමාජයට වෛර කිරීම ඉතිහාසයේ සිදුවූ බව සිහිපත් කළ අමාත්‍යවරයා මෙම යල් පැනගිය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිනිසෙකුගේ දක්ෂතා, කුසලතා, නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කර රටට ලෝකයට සම්පතක් වන දරුවෙකු නිර්මාණය නොකිරීම නිසා තමන් හැදූ වැඩූ දෙමාපියන්ව සහ මහණ කළ ගුරු හැමුදුරුවන්ව ඝාතනය කළ පිරිසක් බිහිවූ බව සදහන් කළේය.

සමාජ වෛරයක් ඇතිවූයේ මෙරට දරු පරම්පරාවට අවශ්‍ය නිසි ජීවනෝපායක් සලසාගත හැකි යහපත් අධ්‍යාපනයක් නොමැති වීමෙන් බවද, දෙවැනි ලෝක සංග්‍රාමයෙන් වැටුණු හිරෝශිමාව නැගිටවූයේ මානව දයාවෙන් බවද සිහිපත් කළේය.

සෞන්දර්ය අධ්‍යාපනය දිගටම නොනැසී තවදුරටත් සංවර්ධනය වෙමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම පිළිබඳ සිය රටේ ප්‍රශංසාව පුද කර සිටින බව නවසීලන්ත කථානායක ගෙරී බ්‍රවුන්ලී මහතා පැවැසීය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ගෙරී බ්‍රවුන්ලී මහතා අතර අරලියගහ මන්දිරයේ පෙරේදා (10) පැවැති හමුවේ දී නවසීලන්ත කථානායකවරයා මේ බව සඳහන් කළේය.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳ සඳහන් කළ අගමැතිවරයා,

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගිතාව ඉහළ නංවන ලෙසත්, කොළඹ ක්‍රමය යටතේ වැඩිදුර සහාය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

1893දී නවසීලන්තයට සහ 1931දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලබාදෙමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පරම කැපවීම පිළිබඳ සාඩම්බර වාර්තාවකට දෙරට හිමිකම් කියන බව අගමැතිවරයා සිහිපත් කළේය.

1958දී කොළඹ ක්‍රමය ප්‍රදානයක් යටතේ මහරගම ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය විද්‍යාලය පිහිටුවීම පිළිබඳ අගමැතිවරයා නවසීලන්තයට ස්තුතිය පළ කළ අතර, එය වැඩිදියුණු කිරීම සඳහා සහාය ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම පිළිබඳ ප්‍රශංසා කළ කථානායකරවයා තම රටෙහි අඛණ්ඩ සහයෝගිතාව සහතික කළේය.

සංචාරක, වරාය සහ නාවික, ධීවර හා කෘෂිකර්මය ඇතුළු ක්ෂේත්‍ර රැසක විශාල විභවයක් ශ්‍රී ලංකාවට ඇති බව කථානායකවරයා පැවැසීය.

කිරි නිෂ්පාදන අංශය, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඇති විය හැකි සහයෝගිතාව පිළිබඳ ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

මේ අවස්ථාවට නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාලෝස් වියුන්ග්, ඇන්ඩි ෆොස්ටර්, කුෂ්ලා ටැන්ගරී – මැනුවල්, ලෝරන්ස් ෂු-නැන්, නිකෝ හෙනෙවෙල්ඩ්, නවසීලන්ත පාර්ලිමේන්තු උපදේශක සහ මහකොමසාරිස් ඩේවිඩ් පයින්, රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන දෙනිපිටිය, යදාමිණි ගුණවර්ධන, අගමැති ලේකම් අනුර දිසානායක මහත්වරු එක්ව සිටියහ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මඟින් රුපියල් මිලියන 5278ක වියදමින් කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවැනි අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (11) විවෘත කෙරිණි. විවෘත කිරීමෙන් පසුව ජනාධිපතිවරයා සමඟ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිස මාර්ගය නිරීක්ෂණය කළ අයුරු.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මඟින් රුපියල් කෝටි 528ක (රු. මිලියන 5278ක) වියදමින් කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවැනි අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (11) විවෘත කෙරිණි.

දෛනික දුම්රිය ගමන්වාර 109ක් සඳහා දුම්රිය ගේට්ටු වසා තැබීම නිසා සිදුවන ප්‍රමාදය හා මාර්ග තදබදය මඟහරවා ගැනීම ඉලක්ක කර මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සිදු කරන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කළේ මාගා ඉංජිනේරු සමාගම (Maga Engineering) මඟිනි.

රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, චිත්‍රපට ශාලා ඇතුළු විවිධ ආයතනයන්ගෙන් සමන්විත ඉතා කාර්යබහුල වාණිජ නාගරික ප්‍රදේශයක් වන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දෛනිකව පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බව නිරීක්ෂණය වී තිබිණි.

ඒ අනුව මෙම ගුවන් පාලම් ව්‍යාපෘතිය නිම වීමත් සමඟ කොම්පඤ්ඤවීදියේ සිට ගාලුමුවදොර දෙසට හා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට රථ වාහන තදබදයකින් තොරව ගමන් කිරීමේ හැකියාව හිමි වන අතර වාහන තදබදය නිසා නිකරුණේ මහමඟට වැයවු‍ණු ජනතාවගේ කාලය ජාතික ආර්ථිකයට එක්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, චීනයේ නිල සංචාරයක නිරත බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මිය හමුවෙයි. එම හමුව ඊයේ (10) බෙයිජිං අගනුවර දී පැවැත්විණ. චීන-බංග්ලාදේශ සබඳතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට නායක දෙපළ එහිදී එකඟතාව පළකළහ.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව අන්‍යෝන්‍ය ගරුත්වය හා නිසි සහයෝගිතා සහිත මනා පැවැත්මක් සහතික කර ඇති බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. ලබන වසරේ යෙදෙන එම සබඳතාවයේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ සංවර්ධනය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීම චීනයේ අපේක්ෂාව යි.

2025 චීන-බංග්ලාදේශ මානව හුවමාරු වසර ලෙස නම් කර සංස්කෘතික, සංචාරක, මාධ්‍ය හා ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා ප්‍රවර්ධනය කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වයෙන් චීනය ලබා ඇති දැවැන්ත ජයග්‍රහණ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය මෙහිදී ඉහළ පැසසුමට ලක් කළාය. දරිද්‍රතාව පිටුදැකීමට චීනයෙන් ලැබුණු සහාය පිළිබඳව ද ඇය ස්තුතිය පළ කළාය. චීනයේ සංවර්ධන අත්දැකීම් අධ්‍යයනය කරමින් දෙරට ආර්ථික, වෙළඳ, යටිතල පහසුකම් හා දරිද්‍රතාව පිටුදැකීමේ සහයෝගිතා පුළුල් කිරීමට බංග්ලාදේශය සූදානමින් සිටී. එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරන තම රට තායිවාන ප්‍රශ්නය පිළිබඳ චීනයේ ස්ථාවරයට සහයෝගය දක්වන බව ද ෂීක් හසීනා මහත්මිය කියාසිටියාය.

 
 
 
 

අඩු ආදායම්ලාභී පවුල් 50,000ක් වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහන ඇරඹේ

කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම ජනපති ප්‍රධානත්වයෙන්.

මීට වසර දෙකකට පෙර මගේ නිවස ගිනිබත් කළ අවස්ථාවේ නිවසක වටිනාකම තදින් දැනුණා.
ලක්ෂ විස්සක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතියත්, ලක්ෂ දෙක හමාරක ජනතාවට නිවාසවල පූර්ණ අයිතියත් හිමි කර දීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා – ජනපති.

මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බවත්, එම වටිනාකම හඳුනා ගනිමින් කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය හිමිකර දීමේ ‍වැඩසටහන ක්‍රියාවට නැංවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහනේ පළමු අදියර යටතේ නිවාස 50,000ක අයිතිය ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ 31ක පිහිටි නිවාස 130ක හිමිකාරීත්වය ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව එම අවස්ථාවට එක් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2024 අයවැය යෝජනා මඟින් ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන සහ කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ දෙක හමාරකට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මාසිකව රුපියල් 3000 ක හෝ ඊට අඩු අගයක කුලී පදනම මත අනාගතයේ අයිතිය ලැබෙන සේ අඩු ආදායම්ලාභීන් වෙත ලබා දී ඇති මහල් නිවාස ඇතුළු සියලු නිවාස සඳහා රුපියල් 150,000ක මුදලක් ගෙවා ඇති සහ මෙතෙක් එම මුදල ගෙවා නොමැති නමුත් එම මුදල මාසයක කාලයක් තුළ ගෙවා අවසන් කරන ප්‍රතිලාභී පවුල් 50,000ක් වෙනුවෙන් පළමු අදියර යටතේ පූර්ණ නිවාස හිමිකම ප්‍රදානය කිරීම සිදු කෙරේ. මෙම වසර අවසන් වන විට ප්‍රතිලාභීන් 1070කට හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ “උරුමය” වැඩසටහන හරහා ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතියත්, ලක්ෂ දෙක හමාරක ජනතාවට නිවාසවල පූර්ණ අයිතියත් හිමි වන බවයි. ඉඩමක සහ නිවසක අයිතිය හිමිවීම මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමක් බව පැවසූ ජනාධිපතිවරයා ජනතාවට හැකි තරම් සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

අද අප එක්ව සිටින්නේ කොළඹ මහල් නිවාසවල ජිවත් වන ජනතාවට එම නිවසේ පූර්ණ අයිතිය හිමිවන අවස්ථාවටයි. ඒ වගේම උරුමය වැඩසටහන නගරයට ගෙන එන අවස්ථාව ලෙසද මෙය හැඳින්විය හැකියි. අප උරුමය වැඩසටහන ආරම්භ කළේ මේ රටේ ජනතාව පීඩාවට ලක්ව සිටි කාලයකයි. රජයට හැකි පමණින් අප එම සියලු දෙනාට උදව් උපකාර කළා.

එහිදි අප ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ ජනතාවට අයිතිය ලබා දිම වෙනුවෙනුයි. ඉඩමක අයිතිය හෝ නිවසක අයිතිය ඉතා වැදගත් වෙනවා. මෙය ජනතාවගේ බලාපොරොත්තුවක්. එම බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් අප මෙම වැඩසටහන ක්‍රියාත්මක කළා. මෙම වැඩසටහන අපට වසර දෙකක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට හැකි වුණා.

මේ සියල්ල සිදු කිරීමට පෙර රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට සිදු වුණා. ඒ වගේම රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිදු වුණා. මීට වසර දෙකකට පෙර රටේ අනාගතය පිළිබඳ සියලුදෙනා බිය වී සිටියා. නමුත් අද අප රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර තිබෙනවා. මෙම ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගත්තේ නැතිනම් අපේ රට තවත් ලෙබනනයක්, කෙන්යාවක් බවට පත් වෙනවා.

අද රට තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වයෙහි වාසිය ජනතාවට ලබාදීමට අප කටයුතු කරනවා. වසර දෙකක් තුළදී මේ රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අපට හැකි වුණා. මේ රටේ ගොවිතැන් කරන ජනතාවට ඉඩම් අයිතිය ලබාදිය යුතු බව මා කාලයක් තිස්සේ ප්‍රකාශ කළ කරුණක්. එය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අණ්ඩුවක් ලෙස අප සියලුදෙනා එක් වුණා.

මීට වසර දෙකකට පෙර මගේ නිවස ගිනිබත් වූ අවස්ථාවේ නිවසක වටිනාකම මට දැනුනා. එම පිරිස කිසිවෙකුට එම ස්ථානයට ඒමට පවා ඉඩ දුන්නේ නැහැ. ගිනි නිවීමට ගුවන් හමුදාව පැමිණියා නම් වෙඩි තැබීමට සිදු වෙනවා. වෙඩි තිබා මිනිස්සු මරන එකට මම කැමති වුණේ නැහැ. එම නිවසේ තිබු මගේ පොත් පත් ඇතුළු සියල්ල විනාශ වී ගියා.

එම අවස්ථාවේ නිවසක වටිනාකම වඩා තදින් දැනුණ නිසා ජනතාවට නිවාස අයිතිය ලබා දීම වෙනුවෙන් අප මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. ඒ නිසා උරුමය වැඩසටහන ගමට සිමා නොකර නගරයට ගෙන ඒමට අපට හැකි වුණා.ගමේ ලක්ෂ 20ක ජනතාවට උරුමය වැඩසටහන යටතේ ඉඩම් අයිතිය හිමි වෙනවා. ලක්ෂ දෙක හමාරකට කොළඹ නගරයේ නිවසක උරුමය හිමි වෙනවා. ඔබ මෙම නිවස ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම එය ලස්සනට පිරිසිදුව තබා ගත යුතුයි. ඒ තුළ ඔබේ අනාගතය ගොඩනගා ගත යුතුයි. ඒ නිසා මෙය ඔබේ ජිවිතයට ලැබෙන වටිනා අවස්ථාවක් ලෙස මම සලකනවා.

ජනතාවට හැකි තරම් සහන ලබා දීමට අප ආණ්ඩුවක් ලෙස ක්‍රියා කරමින් සිටිනවා. මේ රටේ ජනතාව අත්විඳි දුක අප සියලුදෙනා දන්නවා. එදා මම මේ රට භාර ගත් අවස්ථාවේ රට තුළ වෙනසක් සිදු කළ යුතුයි කියා මම සිතුවා. එම වෙනස කරන්නේ සටන් පාඨ කියමින් හෝ මහ පාරේ කෑ ගසා නොවෙයි. එම වෙනස සිදු කරන්නේ පෙත්සම් අත්සන් කරලා නොවෙයි. අරමුණක් තිබෙනව නම් එම අරමුණ ඔස්සේ වැඩ කළයුතුයි.

අපේ රට අද තිබෙන තත්ත්වයට ගෙන ඒමට හැකි වනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ. අප සමෘද්ධි දීමනාව වගේ තුන් ගුණයක ප්‍රතිලාභ අස්වැසුම වැඩසටහන හරහා ජනතාවට ලබා දුන්නා. ඒ වගේම රටේ වී නිෂ්පාදනය ඉහළ නංවා අඩු ආදායම්ලාභී ජනතාවට සහල් කිලෝ 10 බැගින් මාස 02ක් ලබාදීමට කටයුතු කළා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබාදුන්නා.

ඒ වගේම රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කළා. කෘෂිකර්මාන්තය දියුණු කළා. උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කළා. ඒ වගේම මහල් නිවාසවල අයිතිය එම ජනතාවට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

පැවති රජයන්ට මෙම කටයුතු සිදු කිරීමට නොහැකි වුණා. නමුත් අපට මෙම වැඩකොටස සිදු කිරීමට හැකිවූයේ කැප වී කටයුතු කළ නිසයි. ඒ නිසා මම මේ සියලු මැති ඇමතිවරුන්ට ස්තූති කළයුතුයි. අප සියලුදෙනා එක්ව මේ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුයි.

අප ලබාගත් විදේශීය ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා අපට ණය ලබා දුන් නිල ණයහිමියන් සමග, චීනය එක්සීම් බැංකුව සමඟ මෙන්ම පුද්ගලික ණය කරුවන් සමඟ අප එකඟතාවට පැමිණ තිබෙනවා. ඒ අනුව අපට ගෙවීමට තිබෙන ණයවලින් රුපියල් බිලයන 08ක් අඩු වී තිබෙනවා. ඒ වගේම 2042 වන තෙක් අපට ණය ගෙවීමට කාලය ලැබී තිබෙනවා. එසේ නම් අප මේ සමඟ ඉදිරියට යා යුතුයි. ආපසු පැරණි තත්ත්වයට යාමට කිසිවෙක් කැමතිවෙයි කියා මම හිතන්නේ නැහැ.

අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙම ගිවිසුම ආරක්ෂා කරගත්තේ නැතිනම් ඉදිරියේදී අපට රටක් ලෙස මීට වඩා අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම අපට හැමදාම ණය වෙන්න බැහැ. ඒ නිසා අප මුදල් උපයාගත හැකි අපනයන ආර්ථිකයකට යා යුතුයි. මෙම අරමුණු වෙනුවෙන් අප කැපවිය යුතුයි. කිසිවෙකුට මෙය වෙනස් කිරීමට ඉඩ දෙන්න එපා. ඔබේ අනාගතය අද පවතින්නේ ඔබේ අතෙයි. ඒ වගේම අපි තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකර දිය යුතුයි. එමෙන්ම රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීමට අපි විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.

විශ්‍රාම ගිය අයට සහනයක් ලබාදිය හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද මම මහා භාණ්ඩාගර ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා. මේ අයට සහනයක් ලබාදීම වෙනුවෙන් මේ වසර අවසන් වන විට අප මුදල් වෙන් කළ යුතුයි. ඉදිරියේදී පොළිය අඩු මට්ටමක පවත්වාගෙන යාමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර දියුණු කිරීමට නම් බැංකු පොළිය අඩු මට්ටමක පවත්වාගෙන යා යුතුයි. නමුත් පොළිය අඩු වූ විට විශ්‍රාමිකයන්ට එමඟින් අවාසියක් සිදු වෙනවා. ඒ නිසා ඒ සඳහාද වැඩසටහනක් සකස් කරන ලෙස මහා භාණ්ඩාගර ලේකම්වරයාට මා උපදෙස් දුන්නා.

ඔබට වඩා ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපට තව දිගු ගමනක් යාමට තිබෙනවා. අනාගත පරපුරට අවශ්‍ය සමාජය අප ගොඩනැඟිය යුතුයි. ඒ වෙනුවෙන් අපට කළහැකි හොඳම කටයුත්ත ජනතාවට අයිතිය ලබා දීම තුළින් අද අප සිදු කර තිබෙන බව මම විශ්වාස කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ භූතානය සඳහා ඊශ්‍රායල තානාපති නාඔර් ගිලොන් (Naor Gilon) මහතා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ඊශ්‍රායලයේ කොන්සල් දිනේෂ් රුද්‍රිගු යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter