නවතම පුවත්

හරවත් සහ ගුණාත්මක ටෙලි නාට්‍ය නිර්මාණ ප්‍රේක්ෂකයන්ට දායාද කිරීම අරමුූණ කර එම ක්ෂේත්‍රයේ නිරත වුවන්ගේ දැනුම, හැකියාව සහ නිර්මාණශීලීත්වය ප්‍රවර්ධනය කිරීමට වැඩසටහන් සම්පාදනය කිරීම මෙන් ම, ටෙලිනාට්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් සේවා උපරිම අයුරින් සම්පාදනය කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මෙම කරුණූ අනාවරණය කළේ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ (ටෙ.ලි.නි.ස) විධායක සභිකයින් සමග පසුගිය දා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවක දී ය. 1993 වර්ෂයේ දී ආරම්භ කර ඇති ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය එම ක්ෂේත්‍රයේ නිරත රංගන, නිර්මාණ සහ කාර්මික ශිල්පීන් දහස ඉක්ම වු පිරිසක් සාමාජිකත්වය දරන මෙරට ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රබලම සංවිධානයකි.

දේශීය ටෙලිනාට්‍ය නිර්මාණවේදීන් සහ එම ක්ෂේත්‍රයේ නිරත වු නිෂ්පාදන පාර්ශවය වර්තමානය වන විට මුහුණ දී සිටින ගැටලු පිළිබඳ විධිමත් ව විමසා බැලීමත්, එම ගැටලුවලට සාධාරණ විසඳුම් ලබා දීමත්, එමෙන් ම දේශීය ටෙලි නාට්‍ය නිර්මාණ ක්ෂේත්‍රයට අදාළ ව රජයේ නව යෝජනා සහ සැලසුම් දියත් කිරීම පිළිබඳ ව අදහස් හා යෝජනා ලබා ගැනීමත් අරමුණු කර දේශීය ටෙලි නාට්‍ය නිර්මාණවේදීන්ගේ සංවිධාන සමඟ පවත්වනු ලබන සාකච්ජා මාලාව යටතේ මෙම සාකච්ඡාව පැවැත්විණි.

ජන මනස පුබුදුවාලන, අර්ථවත්, ගුණාත්මක ටෙලි නාට්‍ය නිර්මාණ බිහිකිරීම උදෙසා මෙහි දී අමාත්‍යවරයා සහ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ විධායක සභිකයින් අතර ඉතා දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර එහි දී ටෙලි නිර්මාණ නියාමනය කිරීමට ආයතනයක් පිහිටුවීම, සියළුම නිෂ්පාදන ආයතනය ප්‍රමිතිගත ක්‍රියාදාමයක් තුළට ගෙන ඒම සහ යම් අධිකාරියක් යටතේ මෙම සියළු කටයුතු අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සැකසීම මෙහි දී මුලික වශයෙන් සාකච්ඡා විය.

මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්, ටෙලි නාට්‍ය රූපගත කිරීමේ දී අවශ්‍ය වන රාජ්‍ය ආයතන සතු දර්ශන තලයන් ඉතා සහනදායී ගාස්තුවකට ලබා දීම, ටෙලි නාට්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භයේ සිට ම යම් ප්‍රමිතිගත ක්‍රමවේදයකට සිදු කිරීම සහ ටෙලි නාට්‍ය සමාජ මාධ්‍ය තුළින් විකාශය කිරීමේ දී උපයන ආදායමෙන් යම් සාධාරණ ප්‍රතිශතයක් නිෂ්පාදන පාර්ශවය වෙත ලබාදීම යන කරුණූ ක්‍රියාත්මක කිරීමට අදාළ ව කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු කරන බව සඳහන් කළේ ය.

එමෙන් ම කොළඹට නුදුරු තදාසන්න ප්‍රදේශයක අලුතින් ටෙලි සිනමා දර්ශන තල ගම්මානයක් ඉදිකිරීමට අදාළ ව ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය ගෙන ආ යෝජනාව පිළිගත් අමාත්‍යවරයා ඒ සඳහා ඉතා කඩිනමින් ක්‍රියාත්මක වන බව පැවසී ය. තව ද, ටෙලි නාට්‍ය කර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සහ ටෙලිනාට්‍ය නිර්මාණ ක්ෂේත්‍රයේ නිරතවුවන්ගේ වෘත්තිකත්වය බල ගැන්වීම උදෙසා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ක්‍රමවේදයකට නිර්මාණ සහ කාර්මික ශිල්පීන් ඇතුළත් කර ගැනීම යන කරුණු පිළිබඳ මෙහි දී ඉතා දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර එම කරුණු ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අදාළ කඩිනම් සැලැස්මක් සකස් කිරීම සඳහා අමාත්‍යවරයා එම මොහොතේ දී ම නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා ලොව නවීන තාක්ෂණ ප්‍රවණතා හමුවේ මෙරටට සුදුසු සහ යෝග්‍යතම තාක්ෂණ ක්‍රියාදාමයක් තුළට මෙරට රූපවාහිනී විකාශන සහ අනෙකුත් නිර්මාණ ක්‍රියාදාමයන් ඇතුළත් කිරීමට රජය මේ වන විටත් සැලසුම් කර ඇති බව සඳහන් කළේ ය.

එමෙන් ම, ටෙලි නාට්‍ය නිර්මාණ ක්ෂේත්‍රයට අදාළ සියළු සැලසුම් සකස් කිරීමේ දී, ප්‍රේක්ෂක රසඥතාවය වර්ධනය කරමින් ඉහළ රසාස්වාදයක් ප්‍රේක්ෂකයන්ට ලබාදීම ප්‍රමුඛ කාර්යය වියයුතු බවත්, ඒ සඳහා සියළුම නිර්මාණවේදීන් තම උපරිම කැපවීම සහ දායකත්වය ලබාදීය යුතු බව ද මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

මෙම සාකච්ඡාව සඳහා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ වත්මන් සභාපති චන්දන ලියනගුණවර්ධන, ප්‍රධාන ලේකම් සුනිල් කොස්තා, ප්‍රධාන සංවිධායක රාජා රණසිංහ, උප සභාපති පරාක්‍රම නිරිඇල්ල, විධායක සභිකයින් වන රවීන්ද්‍ර ගුරුගේ මහතා ඇතුළු නිර්මාණවේදීන් පිරිසක් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් සහභාගී වුහ.

මානව ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක සිටිමින් , පෙර නොවූවිරූ ගෝලීය සහයෝගීතාවයක් ඉල්ලා සිටින මොහොතක පැවැත්වෙන මේ සුවිශේෂී සමුළුව ඇමතීමට ලැබීම මා හට ඉමහත් සතුටක්.

මගේ රට අපූර්ව ඉතිහාසයකිනුත්, අනාගතය පිළිබඳව සුභ සිහින දකින වර්තමානයකිනුත්, පුළුල් දේශපාලන සහ සමාජ දැනුමකිනුත් සන්නද්ධ පුරවැසියන්ගෙන් සමන්විත සුන්දර දිවයිනක්. ලෝකයේ ඕනෑම රටක සිදුවන සිදුවීමක් පිළිබඳව සහකම්පනයක් මගේ රටේ ජනතාව තුළ තිබෙනවා. ඔවුන් සම්ප්‍රදායට ආදරය කරනවා සේම, වෙනස් විය යුතු තැන ඉතා සබුද්ධිකව වෙනස්වීමට තරම් පුළුල් සමාජ දැනුමකින් පිරිපුන්.

ඒ වගේම ඔබ මේ මොහොතේ අතේ තිබෙන ජංගම දුරකතනයෙන් “ලොව වැඩියෙන්ම ඇස් පරිත්‍යාග කරන රට කුමක්ද?” කියා අන්තර්ජාලය පරීක්ෂා කර බැලුවොත් ඔබට හමුවන්නේ ඉන්දියානු අර්ධද්වීපයේ කෙලවර තියෙන මා නියෝජනය කරන රටයි. ඒ ශ්‍රී ලංකාවයි.

එවැනිම පරාර්ථකාමී , උනුසුම් හදවත් තියෙන පුරවැසියන් ජීවත්වෙන රටක් නියෝජනය කරමින් ඔබව ආමන්ත්‍රණය කිරීමට ලැබීම පිළිබඳව මගේ රටේ පුරවැසියන්ගේ නාමයෙන් මම ආඩම්බර වෙනවා.
මානව වර්ගයා සම්බන්ධ වැදගත් අංශවල අනාගත උපායමාර්ග සහ සැලසුම් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් පැවැත්වෙන මේ සමුළුව අනාගත ලෝකයේ යහපැවැත්ම උදෙසා ඉවහල් වෙතැයි මා තරයේ විශ්වාස කරනවා.
වර්තමානයේදී අප, රටවල් මට්ටමෙනුත්, කලාපීය මට්ටමෙනුත්, ලෝක මට්ටමෙනුත් මුහුණ දෙන ගැටලු අති විශාලයි. ඒ වගේම සංකීර්ණයි.

මේ ප්‍රශ්න, මායිම් නොකරන සමහරු, තමන්ගේ ආත්මාර්ථකාමී චාරිකාවේ යාත්‍රා කරනවා. එහෙත් අද දවසේ හුදකලා ප්‍රශ්න, හෙට දවසේ මුළු ලෝකයේම දොරටුවලට තට්ටු කරන ප්‍රශ්න බවට පත්වන විට තම තමන්ගේ හුදකලා චාරිකාව අවසන් කරනවා.
ඒ නිසා දේශසීමා ඉක්මවා යන අභියෝගවලට මුහුණ දීම සඳහා අපි ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව මම යළිත් ඔබගේ අවධානයට යොමු කරනවා.
මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා සාමූහික ගෝලීය ක්‍රියාමාර්ගයක සහ ඒකාබද්ධ පෙරමුණක අවශ්‍යතාව තිබෙනවා.

පාලනයේ වගවීම සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම අනාගත ලෝකය වෙනුවෙන් අත්‍යාවශ්‍ය වෙනවා. එය පුරවැසියන් තනි තනිව සාමූහික ප්‍රයත්නයක් දක්වා රැගෙන ඒමට හුරුකළ යුතු දෙයක්.

රාජ්‍ය ආයතන ව්‍යූහය සහ නිලධාරී තන්ත්‍රය තම ක්‍රියාවලියන් ගැන වගකීමේ සහ වගවීමේ අවශ්‍යතාවය අනාගත ලෝකයට තීරණාත්මකව බලපානවා .

සමාජ සාධාරණත්වය සහ නීතියේ ආධිපත්‍යය ප්‍රමිතිගත රාජ්‍යකට මෙන්ම කෘතහස්ත ලෝකයකට බෙහෙවින්ම වැදගත් වෙනවා. ගිවිසුම් සහ නීති විධිමත් ආකාරයට ක්‍රියාත්මක කිරීමත්, අඩු ආදායම්ලාභීන්ට සහ අස්ථායී ප්‍රජාවන්ට ක්‍රමවත් සහයෝගය සැලසීමත්, නිලධාරීන්ගේ වගවීම තහවුරු කිරීම සඳහා නිදහස් මාධ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන්ට ඉඩප්‍රස්ථා සැලසීමත් මෙහිදී ඉතා වැදගත් වෙනවා.

1948 මානව හිමිකම් න්‍යාය පත්‍රයේ නොතිබූ, ඩිජිටල් ප්‍රවේශ අයිතිවාසිකම්, පාරිසරික අයිතිවාසිකම් සහ නව අයිතිවාසිකම් සහ වෙනස් වන දේශපාලන පද්ධති මතුවීම මානව හිමිකම් පිළිබඳ යාවත්කාලීන විශ්ව ප්‍රකාශනයක අවශ්‍යතාවය වත්මන් සමාජය ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳව සංවේදී වීම සහ මැදිහත් වීමේ අවශ්‍යතාවය මේ මොහොතේ මා සිහිපත් කරනවා.

තිරසාර වටිනාකම් මත පදනම් වූ ලෝක ප්‍රජාවක් ගොඩනැගීමේදී, ලෝකයේ විවිධ සංස්කෘතික සම්ප්‍රදායන් කෙරෙහි ගෞරවය පවත්වා ගැනීම වැදගත් වෙනවා.

එසේම දුප්පත්ම රටවලින් සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් ණය අර්බුදයක හෝ ණය අර්බුදයේ ඉහළ අවදානමක සිටින තත්ත්වයක් තුළ අනාගතය සහ ගෝලීය ආර්ථිකය පිළිබඳව ඔවුන් බරපතළ සුසුමක් හෙළනවා. ගෝලීය මූල්‍යකරණ කොන්දේසි දැඩි වීම, අනාගතයේදී ගෙවීමට නියමිත විශාල ණය ගෙවීම් සහ පුළුල් ස්වෛරී ණය අර්බුදයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වී තිබෙනවා. නූතන ලෝකයට සාධාරණ ලෙස ගලපාගත හැකි මුල්‍ය සංශෝධනයන්ට පරිවර්තනය වීම මේ මොහොතේ ඉතාම වැදගත් කරුණක් වෙනවා.

මේ අතරම දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ දැඩි දූෂණය වැනි පාලනයකින් තොරව කාර්මික වර්ධනයේ දරුණු ප්‍රතිවිපාක වෙත අප ගමන් කරමින් තිබෙනවා. ඒවා ආලෝක වර්ෂ ගණනක වේගයෙන් පෘථිවිය වෙත එන බිහිසුණු ග්‍රාහකයකට වඩා බියජනකයි. සංවර්ධිත රටවල් ඓතිහාසිකව කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් හතරෙන් තුනකට දායක වී ඇතත්, ඒවා දේශගුණික විපර්යාසවල බලපෑමට නිරාවරණය වන්නේ ඉතා අඩුවෙන්. සංවර්ධණයේ කිරුළ බොහෝ දුර වුවත්, ස්වභාවිකව සුන්දර යම්යම් අඩු ආදායම්ලාභී රටවල් රැසකම චමත්කාරය වෙනත් පාර්ශවයන්ගේ අපද්‍රව්‍යවලින් වැනසී යමින් තිබෙනවා. එවැනි රටවල් සහ දූපත් සතු සුන්දර වෙරළ තීරයන් ඒ ව්‍යසනයන්ගේ ගොදුරු බවට පත්ව තිබෙනවා. ජීවිතයේ යම් දිනක ඔබ අපේ රටේ සංචාරය කළහොත් රට වටා ඇති මුහුදු තීරය පිළිබඳව ඔබ විශ්මයට පත් වෙනවා. අපේ රටේ වෙරළ තීරය සුන්දර ලෙස ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රටක් ලෙස අපි සුවිශාල ආයාසයක නිරතවනවා.

ඩිජිටල් විප්ලවය දැනටමත් මිනිසුන් ජීවත් වන ආකාරය, වැඩ කරන ආකාරය සහ සන්නිවේදනය කරන ආකාරය වෙනස් කර තිබෙනවා. බිලියන සංඛ්‍යාත ජනතාවට සතුටින්, සෞඛ්‍ය සම්පන්නව සහ වඩාත් ඵලදායී ජීවිත ගත කිරීමට උපකාර කිරීමේ හැකියාව ඇති එම තාක්ෂණයන්ම ලොව පුරා පුරවැසියන්ට සහ රජයන්ට නව අභියෝග නිර්මාණය කරන බවත් අප අමතක කළ යුතු නැහැ. ඉතාම සරලව, පරිගණක වෛරසයක් ගැන සිතන්න. එය තුවක්කු බැරලයකින් කරන වෙඩි තැබීමකට හෝ ගුවන් යානයකින් හෙළන බෝම්බයකට හෝ ඉකුත් සමයේ න්‍යෂ්ටික ප්‍රහාරවලට වඩා බරපතළ තර්ජනයකට වර්තමානයේ සයිබර් ප්‍රහාර හරහා අප මුහුණ දී තිබෙනවා. ආයුධ සහිත සම්ප්‍රදායික යුද්ධවලදී සිවිල් වැසියන් ඉලක්ක කිරීම වැනි දේවලට එරෙහිව ජාත්‍යන්තර නීති සංග්‍රහ කර තිබෙනවා., සයිබර් යුද්ධවලට එවැනි නීතියක් අවශ්‍ය නොවේද?

මේ අතර, ඉදිරි දශක දෙක තුළ, ජනගහන වර්ධනය, නාගරීකරණය සහ ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය හේතුවෙන් සෞඛ්‍ය අභියෝග කිහිපයක් දිගටම පැවතීමට සහ පුළුල් වීමට ඉඩ තිබෙනවා.

මිනිසුන් වශයෙන්, අපි නොවැලැක්විය හැකි ලෙස අප අතර අන්තර් සබදතා පවත්වනවා. වසරකට වැඩි කළක් වයිරසයක් විසින් අති බහුතරයක් මානවයින්ගේ මුහුණු, මුව ආවරණ මගින් වසා දමන්නට කටයුතු සිදු කළා. එය ලෝකයේ බලවත්ම රාජ්‍යයේ සිට දුප්පත්ම රාජ්‍යය දක්වා එකසේ බරපතළ පීඩනයක් ඇති කළා.

එසේම 2024 දී බෝවන රෝග කිහිපයක වැඩිවීමක් හෝ නැවත පැමිණීමක් දක්නට ලැබුණා.
බෝ නොවන රෝග අතර පිළිකා රෝගය ජීවිතවලට අසාමාන්‍ය ලෙස බලපෑමක් සිදුකර තිබෙනවා. මේ මොහොතේත් ජීවිතය සහ මරණය අතර සැරිසරන මිලියන ගණනක පිලිකා රෝගීන් සිටිනවා. හෘද රෝග, දේශසීමා නොතකා ජීවිතවලට කඩා වදින අතර එය බිහිසුණු ව්‍යසනයක් වී තිබෙනවා. 2030 වර්ෂය වන විට දී, ලොව පුරා මානසික රෝග සඳහා වන ආර්ථික පිරිවැය ඩොලර් ට්‍රිලියන 16 ඉක්මවිය හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් පුරෝකථනය කරනවා.

දේශගුණික අර්බුදය හේතුවෙන් 2050 වන විට තවත් මරණ මිලියන 14.5ක් විය හැකි බවට පුරෝකථනය කරනවා.

ඩිජිටල් සෞඛ්‍ය, නව තාක්ෂණ සහ නවීන සෞඛ්‍ය උපකරණ, පාරිසරික සෞඛ්‍ය හා තිරසාරභාවය, ආර්ථිකව අවදානම් සහිත රටවල් සඳහා සෞඛ්‍ය මූල්‍යමය සහයෝගය පිළිබඳව මූලිකව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වෙනවා.

ගෞරවනීය අමුත්තනි,

ඔබ ඇතැම්විට මැදපෙරදිග නියෝජනය කරනවා වෙන්නට පුළුවන්. එසේම අප්‍රිකාව, ආසියාව, යුරෝපය හෝ බටහිර රාජ්‍යයන් ඔබේ නියෝජනය කරනවා වන්නට පුළුවන්. එහෙත්…,අපි සියලු දෙනා මුහුණ දෙන ප්‍රශ්න වගේම අපේ හදවත්වලින් නැගෙන “ලබ් ඩප්” නාදය ආයාචනා කරන්නේ එකට එක්වී ලෝකය ගොඩනගමු යන්නයි.

“අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුය”, කියා මාර්ටින් ලූතර් කිං වරක පවසා තිබෙනවා.

අපි අපේ රටේ ජනතාවට අරමුණක් එක් කළා. ඒ “ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” හදන්න එකතු වෙමු කියා. ඉතිහාසගත ලෙස ඔවුන් එය අනුමත කළා.

මෙම ඓතිහාසික සමුළුවේදී මම ඔබට ආයාචනා කරනවා “අපි එකට එකතු වී ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කරමු”

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (10) දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩුබායි හි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතය.

ලෝක රාජ්‍ය නායක සමුළුවෙහි ප්‍රධාන අරමුණ වනුයේ අනාගතවාදී ප්‍රවේශය, තාක්ෂණික නවෝත්පාදනය ආදී මාතෘකා කෙරෙහි අවධානය යොමු කරමින් ගෝලීය සංවාදයක් ගොඩනැඟීම සඳහා රාජ්‍ය නායකයින් එක් සාකච්ඡා මණ්ඩපයකට එක් රැස් කිරීමයි. මෙම සමුළුවේදී මානව වර්ගයා දැනට මුහුණ දෙන ගැටලු, අනාගත ප්‍රවණතා සහ නව අවස්ථා පිළිබඳ රාජ්‍යයන් අතර දැනුම හුවමාරු කර ගැනේ. මෙයට රටවල් 150ක් නියෝජනය කරමින් 4000කට අධික පිරිසක් සහභාගී වෙති.

ලෝක රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගි වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ ආණ්ඩුවල ප්‍රධානීන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා අතර ද ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එමඟින් දෙරට අතර ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.

මෙම තෙදින නිල සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් යන මහත්වරු හමුවීමටද සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, බලශක්ති, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය අංශවල ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල විධායක නිලධාරීන් ගණනාවක් සමඟද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර අපි සමරන්නෙ සුවිශේෂී නිදහස් දිනයක්. අතීතය දෙස බලාගෙන සැමරූ නිදහස් දිනයන් වෙනුවට මෙවර අපි නිදහස් දිනය සමරන්නෙ අනාගතය දෙස බලාගෙන. උතුරේත්, දකුණේත්, නැගෙනහිරත්, රට මැදත් ජනයා අනාගත පොහොසත් ශ්‍රී ලාංකීය රජ්‍යයක් ගැන, නූතන ශ්‍රී ලාංකීය ජාතියක් ගැන එකාවන්ව සිහින දකින මොහොතකයි අපි අද නිදහස සමරන්නෙ.

1948 පෙබරවාරි 4 වන දා අපේ රටට, අප වෙනුවෙන් තීරණ ගැනීමට අවශ්‍ය දේශපාලන නිදහසක් හිමි වුණා. ඒ නිදහස සීමිත වුණත් ඒක වැදගත්. ඒ තමයි අපි දේශපාලන ස්වාධීනත්වය ලැබීමේ ඉතිහාසයේ පළමුවෙනි මොහොත. 1505 සිට කොටස් වශයෙන් බටහිර අධිරාජ්‍යවාදීන්ට යටත් වුණ මේ දිවයින 1815 සමස්තයක් ලෙසම බ්‍රිතාන්‍ය යටත්විජිතයක් බවට පත් වුණා. එයින් මිදී මීට වසර 77කට පෙර ඉන්දියන් සාගරයෙන් වට වූ මේ දූපත ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටීමට අවශ්‍ය දේශපාලන කොන්දේසි සැපිරීම ආරම්භ කරන්නෙ අද වැනි දවසක. ඒ නිසා ඒක අපි සැමරිය යුතු දවසක්.

මේ දවස උදා කිරීම වෙනුවෙන් ආත්මීය පරිත්‍යාගයන් කළ සියලු වීරෝධාර මිනිසුන්ට අපේ ආචාරය පුද කළ යුතු දවසක් අද. ඒ වගේම ඒ නිදහස පූර්ණ වශයෙන් අත්පත් කර ගැනීම වෙනුවෙන් ඔවුන් ලබා දුන් ඒ යෂ්ටිය රැගෙන 1948න් පසුවත් තවත් වීරෝධාර මිනිසුන් කඳුපල්ලම් සහිත මාවතක අපේ නිදහස වෙනුවෙන් ගමන් කළා. කිරීටයෙන් පූර්ණ දේශපාලන නිදහස ලබන 1972 වසරත් පසු කරමින් ඒ යෂ්ටිය රැගෙන 77 වන නිදහස සමරන මේ මෙහොත දක්වා අප දීර්ඝ ගමනක් පැමිණ තිබෙනවා. ඒ ගමන තුළ අප දන්නා අප සමරන වීරයන් වීරවරියන් සේම අප නම් නොදන්නා අපේ නිදහස වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ සුවහසක් වීරෝධාර මිනිසුන්ගේ ලේ කඳළු දහදිය මතින් අද දක්වා අප පැමිණ සිටිනවා. ඒ සියලුදෙනාට මේ මොහොතේ අපගේ ආචාරය හිමි වනවා.

අද මම මේ රාජ්‍යයේ මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයා ලෙස මේ නිදහස් චතුරස්‍රයේ මේ අභිමාවනවත් ජාතික ධජය ඉදිරියේ සිටගන්නේ නිදහසේ අනාගත අපේක්ෂාවන් නියෝජනය කරන ඒ ඓතිහාසික බර දරා ගත් ඔබගේ සහෝදරයා ලෙසයි. මා ලෙසම මේ බර දරා ගෙන මේ මොහොතේ ඔබත් මා සමඟ මා අසල එක්ව සිටගෙන සිටිනා බව මා විශ්වාස කරනවා.

අපට අපේ ආර්ථික නිදහස වෙනුවෙන්, අපට අපේ සමාජ සංස්කෘතික නිදහස වෙනුවෙන්, කොටින්ම නූතන පුරවැසියන් ලෙස අභිමානවත්ව මේ රට තුළ ජීවත් වීමට අවශ්‍ය නිදහස නිර්මාණය ගැනීම වෙනුවෙන්, එක්ව යා යුතු ගමනක් තිබෙනවා. කාලාන්තරයක් තිස්සේ යටත්වැසියන් ලෙස අප බෙදා වෙන් කර පාලනය කළ ජනවාර්ගික බේද, ආගමික බේද, කුල බේද පමණක් නොවේ, දේශපාලන නියෝජිතයන් සහ ජනතාව අතර, ආයතන ප්‍රධානීන් හා ආයතන කාර්ය මණ්ඩල අතර, මගීන් සහ පොදු ප්‍රවාහනය මෙහෙයවන්නන් අතර, රජයේ සේවකයන් සහ තම වුවමනා ඉටු කිරීමට එන පොදුජනයා අතර, ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර මේ ආදී මේ සෑම තැනකම මුල් බැස ගෙන ඇති අගතීන් සෝදා හැර මේ සමාජය පවිත්‍ර කර කළ යුතුව තිබෙනවා සේම නූතන ලෝකයට උරුම මානව ගරුත්වය, ආදරය සහ දයාව සියලු මිනිස් සබඳතාවන්ගේ පදනම බව අප අපටම අවධාරණය කර ගත යුතුව තිබෙනවා. එසේම මේ රටේ පුරවැසියන් ලෙස මනුෂ්‍යයෙකුට හිමි වන ගෞරවය හෝ ආදරය ආබාධිතබව නිසා, වයෝවෘධබව නිසා, රෝගී බව නිසා හෝ එවැනි කිසිදු නොහැකියාවක් මත සීමා වීමට අප ඉඩදිය යුතු නැහැ.

යටත්විජිතවාදයෙන් මිදී වසර 77ක් සපිරෙන විට රටක් ලෙස නිදහස ගැන අපට අලුතෙන් සිතිය හැකි වන්නේ එවිටයි.

මේ නිසා අප මතක තබා ගත යුතුයි රටට ආර්ථික, සමාජයීය, සංස්කෘතික නිදහස පූර්ණ ලෙස දිනා ගැනීමේ මෙහෙයුම තුළ ඔබ අප සියලු දෙනා එකම අරගලබිමක අරගලකරුවන් වන බව. අප සියලු දෙනා එකාවන්ව මේ මාතෘභූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් තිබෙනවා.

මේ මෙහෙයුම තුළ අපේ ජාතියට ආහාර නිෂ්පාදනය කරන ගොවියන් සහ ධීවරයන් ලෙස ඔබට එහි භූමිකාවක් තිබෙනවා, අපේ ජාතියට දැනුම නිෂ්පාදනය කරන ඒ දැනුමින් අනාගත පරම්පරාවන් පෝෂණය කරන ගුරුවරුන් ලෙස ඔබට එහි කාර්යභාරයක් තිබෙනවා, අපේ ජාතියේ නිරෝගීබව සුරකින සෞඛ්‍ය සේවයේ ක්‍රියාධරයන් ලෙස ඔබට එහි කාර්යභාරයක් තිබෙනවා, අපේ පුරවැසි ආරක්ෂාව සහතික කරන පොලිසිය සහ ආරක්ෂක අංශ ලෙස ඔබට එහි වගකීමක් තිබෙනවා, අපේ රට තුළ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟන, අපේ රට කාර්මීකරණය කරා ගෙන යන, අපේ රටේ සේවා ආර්ථිකය ශක්තිමත් කරන ඔබ සියලු දෙනාට එහි සුවිශේෂී භූමිකාවක් තිබෙනවා, ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ සිට කඳුකරයේ තේදලු නෙලන ගැහැනුන්ගේ මිනිසුන්ගේ සිට, අපෙන් දුරස්ව සිටිමින් දුරු රටවල අප වෙනුවෙන් වෙහෙසෙන්නන්ගේ සිට, තොරතුරු තාක්ෂණයෙන් අපේ රට ඉහළට ගෙන යාමට වෙර දරන, සංචාරක කර්මාන්තයෙන් අපේ රට ඔසවා තබන්නට වෙහෙසෙන ඔබ සැමට එහි භූමිකාවක් තිබෙනවා.

ගෝලීය ආර්ථික පද්ධතිය තුළ දුබලයෙකු නොවී එහි සෑම චලනයකින්ම තැලෙන පෑගෙන යටත්වැසියෙකු නොවී ආර්ථික තලය තුළ අපේ නිදහස සාක්ෂාත් කර ගන්නට නම් අප සියලුදෙනා එක් ව මේ මාතෘභූමිය වෙනුවෙන් කැප විය යුතු ව තිබෙනවා. ඒ ආර්ථික නිදහස වෙනුවෙන් අප කරන අරගලය තුළ අපේ සමාජයීය සංස්කෘතික නිදහස කිසිසේත්ම දෙවැනි කර තැකීමට අප සූදානම් නැහැ.

ඒ නිසා කලාකරුවන් ලෙස, ලේඛකයන් ලෙස, ජනමාධ්‍යවේදීන් ලෙස, ශාස්ත්‍රඥයන් ලෙස වෛරයෙන් ක්‍රෝධයෙන් අපවිත්‍ර කරනු ලැබූ අපේ ජාතික ආත්මය පවිත්‍ර කරන්නට සුවපත් කරන්නට ඔබට ඇත්තේ අත්හැරිය නොහැකි වගකීමක්. එහිදී ආගමික නායකයන් වෙත සුවිශාල වගකීමක් පැවරී තිබෙනවා.

එසේම මේ රටේ අනාගත පරපුර හදා-වඩා ගන්නා සුවහසක් ආදරණීය මව්වරුන් ලෙස ආදරණීය පියවරුන් ලෙස ඔබටත් එහි ඇත්තේ සුවිශේෂී කාර්යභාරයක්.

ඒ වගේම හෙට දින මේ රට භාරගැනීමට සූදානමින් අද දින සිප්සතර හදාරන දුවා-දරුවන් ලෙස ඔබට එහි අද්විතීය භූමිකාවක් තිබෙනවා.

මේ රටට අසීමිත ලෙස ආදරය කළ මිනිසුන්ගේ ආත්ම පරිත්‍යාගයන්, ලේ කඳුළු දහදිය මතින් මේ රට අනාගතය වෙත ගෙන යන වගකීමේ යෂ්ටිය අප වෙත භාර වූ පරිද්දෙන් අප විසින් ඒ ගෞරවනීය වගකිීම මතු දිනයකදී ඔබට භාර කරනු ලබනවා. එහෙත්, 2025 පෙබරවාරි 4 වන දා, යටත් විජිතකරණයෙන් නිදහස් වී වසර 77 කට පසු ජාතික නිදහස සමරන අද දිනයේ ඔබට මා එක දෙයක් සපථ කර කිව යුතු ව තිබෙනවා. ඔබට අප විසින් බාර දෙනු ලබන ඒ රට අපට ඉතිහාසය විසින් භාර දුන් රට නොව ඔබ විශ්වව්‍යාපී පුරවැසියෙක් ලෙස ජීවත් වීමට ආසා කරන, ඔබේ පුරවැසි අභිමානය ගරු කරන, දියුණු සංස්කෘතික මනුෂ්‍යත්වයක් සහිත රටක් වන බවයි. එසේම මානව ශිෂ්ටාචාරය මේ වන විට අත් කර ගෙන ඇති විද්‍යාත්මක, තාක්ෂණික සහ චින්තනමය ජයග්‍රහණ මේ ශ්‍රී ලාංකීය රාජ්‍යයේ පුරවැසියෙකු ලෙස අත්විඳීමට ඔබට ඇති හිමිකම තහවුරු කරනු ලැබූ රටක් වන බවයි.

මා ස්ථිරසාර ලෙස අද ඔබ ඉදිරියේ මෙසේ පවසන්නේ ඉතිහාසය විසින් අපට උරුම කර දී ඇති මේ මහඟු අවස්ථාව මඟහැර යාමට අපට කිසිදු යුක්තිසහගත අයිතියක් නොමැති වන නිසයි. අප එසේ නොකළ බවට අනාගතය සාක්ෂි දරනු ඇති. එසේම අප විසින් ඔබ හට බාර දෙන අපේ මේ ආදරණීය මාතෘභූමිය අපටත් වඩා වැඩි සෙනෙහසකින්, අපටත් වඩා වැඩි ජවයකින් ඔබ විසින් අනාගතය වෙත ගෙන යන බව මට විශ්වාසයි.

මිනිසුන් ලෙස මේ පොළොවේ උපදින අපට ඇති අත් හැරිය නොහැකි වගකීම වන්නේ මේ ලෝකය වඩා උසස් මනුෂ්‍යත්වයක් සහිත තැනක් බවට පත් කිරීමයි. එසේම ඒ උසස් මනුෂ්‍යත්වය සමානව උකහා ගැනීමට සියලු මිනිසුන්ට අවකාශ සලසා දීමයි. නිදහස වෙනුවෙන් වන අරගලය බැඳී ඇත්තේ මෙන්න මේ උත්තුංග අරමුණ සමගයි.

මේ නිසා ඒ නිදහසේ සිහිනය එක්ව දකිමු ඒ සිහිනය එක් ව සැබෑ කර ගනිමු.

සමහර විට ඔබ සහ මම, අපි සියලුදෙනා එක්ව මේ ගමන් කරමින් සිටින්නේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නූතන දේශපාලන ලෝකයේ නොමැකෙන ආදර්ශයක් බවට අපේ මාතෘ භූමිය, මේ ශ්‍රී ලංකා රාජ්‍යය පත් කරන ගමනක් විය හැකි බවද මතක තබා ගන්න. අපට නියත ලෙසම මේ ලෝකයේ ධනවත්ම රට බවට පත් විය නොහැකි නමුත් අප උත්සාහ කළොත් අපට මේ ලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය දරා ගත් සමානාත්මතාවයේ හා නිදහසේ ආදර්ශ රාජ්‍යය බවට පත් විය හැකියි.

වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ නිසා ලෝකයේ රටවල ආයෝජන ආකර්ෂණය ශ්‍රී ලංකාව වෙත යොමු වෙනවා

ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක්) ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබේ.

මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) සිදු වූ අතර ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මහත්මිය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊට අත්සන් තබන ලදී.

මෙම ප්‍රදානය මගින් පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණයෙහි ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා කසල ප්‍රවාහනයට කම්පැක්ටර් රථ 28ක් සපයනු ලබන අතර, ඉන් බස්නාහිර පළාතට රථ 14ක්, නැගෙනහිර පළාතට රථ 08ක් සහ උතුරු පළාතට රථ 06ක් බැගින් ලබා දීමට නියමිතය.

වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ නිසා ලෝකයේ රටවල ආයෝජන ආකර්ෂණය ශ්‍රී ලංකාව වෙත යොමු වෙමින් තිබෙන බව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මහත්මිය මෙහිදී සඳහන් කළාය. දූෂණ විරෝධී කටයුතු සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට ඉදිරියටත් ජපාන රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බවද උප අමාත්‍යවරිය සඳහන් කළාය.

ජපාන අගමැතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයද උප අමාත්‍යවරිය මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වූවාය.

ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් කැප වී කටයුතු කිරීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ජපාන රජය වෙත ස්තුතිය පළ කළේය.

වත්මන් රජය විසින් ක්‍රියාවට නංවා තිබෙන දූෂණ විරෝධී වැඩපිළිවෙළ කිසිදු අයුරකින් පළුදු නොකර ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ජපාන රජයේ ආධාර ඇතිව මෙරට ආරම්භ කර අතරමග නැවතුණු සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද ජපාන රජය වෙත ස්තුතිය පළ කළේය. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජපාන රජය ලබා දුන් සහාය වෙනුවෙන්ද කෘතවේදීත්වය පළ කළේය.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීම පිළිබඳව ජපාන රජය වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ඉදිරියේ දී එම අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහාය ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය නංවාලීම සඳහා ජපාන ආධාර සහිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙසත් ජපාන රජයෙන් ඉල්ලීමක් කළේය.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක , ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ,
ජපාන තානාපති අකිඕ ඉසෝමතා (ISOMATA Akio), ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍යවරයාගේ ලේකම් සයිතෝ ජුන් (SAITO Jun), ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ මුරොතානි මසකත්සු (MUROTANI Masakatsu) , විදේශ ආධාර සැලසුම් අංශයේ II වන අධ්‍යක්ෂ හිරෝසි අකිකෝ(HIROSE Akiko), නිරිතදිග ආසියානු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉවාසෙ කිචිරෝ (IWASE Kiichiro) යන මහත්ම මහත්මිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චීන මාධ්‍ය සමූහය (China Media Group) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
දෙපාර්ශවය අතර ඇති කරගන්නා එකඟතාවය මත චීන මාධ්‍ය සමූහයේ තාක්ෂණය සහ විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවට චීන සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීමටත්, ශ්‍රී ලංකාව ප්‍රමුණ ගමනාන්තයක් බවට තහවුරු කිරීමේ අරමුණෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන බවද වැඩිදුරටත් පැවසුවේය.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය. 

මෙම හමුවේදී මෙරට සංවර්ධන ප්‍රමුඛතා සඳහා  JICA ආයතනයේ සහය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනිණ. සාකච්ඡාවට ලක් වූ ප්‍රධාන ක්ෂේත්‍ර අතරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිම කිරීම සහ දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳවද ඇතුළත් විය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ශ්‍රී ලංකාවට ජපානයෙන් ලබාදෙන සහයෝගය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ අතර, "clean sri lanka " වැඩසටහන සමඟින් දරිද්‍රතාවය පිටුදැකීම සහ ඩිජිටල්කරණය කෙරෙහි රජයේ ප්‍රමුඛතාව ලබාදී ඇති බවද සඳහන් කළාය.

මෙම රැස්වීමට ජපානයේ තානාපති Akio Isomata මහතා සහ ජපාන තානාපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් හා ආර්ථික සහයෝගිතා ප්‍රධානී Kenji Ohashi මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, විදේශ කටයුතු අමාත්‍යංශයේ මැදපෙරදිග සහ අප්‍රිකානු අතිරේක ලේකම් යසෝජා කේ ගුණසේකර මහත්මිය, එම අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාවේ සහකාර අධ්‍යක්ෂ රවීන් උබේසේකර මහතා සහ මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ. 

Clean Sri Lanka වැඩසටහන පිළිබඳව ජනවාරි 21 සහ 22 යන දෙදින පාර්ලිමේන්තු විවාදයක් පවත්වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Clean Sri Lanka වැඩසටහන  මුල්කරගනිමින් ඇතැම්  ආයතන සිදුකරන වැඩසටහන් , එහි මුඛ්‍ය අරමුණ තේරුම් නොගෙන  සිදු කරන බවත්, ඒ සම්බන්ධයෙන් , පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය  මේ බව සඳහන් කළාය.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.

මෙම සංකල්පය ක්‍රියාත්මක කරගෙන යාමේදී යම් යම් අඩුපාඩු සිදුවෙන්න පුළුවන්. මෙය බලෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩසටහනක් නෙවෙයි. මෙය අලුත් වැඩක්. නීතියක් ගෙනත් මෙහෙම කරන්න කියන වැඩසටහනක් නෙවෙයි. අපිටත් මෙය අලුත් වැඩක්. අපිත් මෙය නිවැරදි කරමින් යනවා. ජනවාරි 21 සහ 22 යන දෙදින මේ සම්බන්ධයෙන් දින දෙකක් ලබා දෙනවා. රාජ්‍ය නිලධාරීන් දේශපාලන අංශ මේ සම්බන්ධයෙන් තේරුම් ගෙන කටයුතු කළ යුතුයි.

පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව අරඹන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (01) ආරම්භ කෙරෙයි.

පක්ෂ පාට භේදයකින් තොරව පුළුල් ජාතික වැඩසටහන ඔස්සේ ආකල්පමය, හැසිරීමේ සහ ගුණාත්මක වෙනසක් ඇති කර අලුත් වටිනාකමක් සහිත රටක්, ලස්සන ජීවිතයක් සමස්ත පුරවැසියන්ට උරුම කර දීමට මෙම වැඩසටහන ක්‍රියාත්මකය.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ නිර්මාණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව නව වසරේ රාජකාරි ආරම්භ කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් මඟින් ද දැනුම් දී තිබේ.

මහජන අභිලාෂ සම්පූර්ණ කිරීමට, මහජනතාවට කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය සේවාවක් ලබා දීම හා සමස්ත රාජ්‍ය සේවයම තිර අදිටනින් කැප විය යුතු බැවින් ඊට සමගාමීව සියලු රාජ්‍ය ආයතනවල හා කාර්යාලවල එකම වේලාවට එකම න්‍යායපත්‍රයක් යටතේ වැඩ ඇරඹීමේ උත්සවය පැවැත්වෙයි.

එම උත්සවයේදී උදේ 8.30ට ජාතික ධජය එසවීම, ජාතික ගීය ගායනා කිරීම හා රට වෙනුවෙන් මිය ගිය සියලු දෙනා සැමරීමට මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීම හා උදේ 9.00ට ජනාධිපති කාර්යාලයේ සිට ජනමාධ්‍ය ඔස්සේ විකාශනය කෙරෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන සමඟ සම්බන්ධ වෙමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ප්‍රතිඥාව දීමේ අවස්ථාවට සජීවීව සම්බන්ධ විය යුතු බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

 

ශ්‍රී ලාංකික අප 2025 නව වසරට පා තබන්නේ රටත්, ජනතාවත් දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්ඵල ගැන්වෙන නව යුගයක උදාවත් සමගිනි.
දිවයිනේ උතුර, නැගෙනහිර, බටහිර හා දකුණ යන සතර දිසාවන් යා කරමින්, සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ගොඩනැගීමට 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපට හැකි විය. ඒ අනුව ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍යය ගොඩනැගිම වෙනුවෙන් පැවති දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදු කරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටු කිරීමට මේ වන විට අපි යුහුසුළුව කටයුතු කරමින් සිටිමු.

ග්‍රාමීය දිළිදු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම රටෙහි ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස අපි හඳුනාගෙන සිටිමු. සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් ඔස්සේ සමාජය වඩා දියුණු තලයකට ඔසවා තැබීම අරමුණු කර ගත් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන නව වසරේ උදාවත් සමඟ ක්‍රියාවට නැංවෙන්නේ ඒ පසුබිම අනුවයි.

මෙකී පරිවර්තනාත්මක සංවර්ධන ව්‍යායාමය සමඟ රටක් ලෙස අප 2024 වසරේදී ලබා ගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කර දීම වෙනුවෙන් නව ආකල්ප පුබුදුවා, නව අධිෂ්ඨානයක් සිත් දරා සහෘදත්වයත් සමඟ පෙරට පැමිණීමට 2025 නව වසර උදාව මහඟු අවස්ථාවක් ජනිත කර ඇති බව මම තරයේ විශ්වාස කරමි.

නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාහිතෛෂී පාලනයක් ඇති කරමින් සියලු ජනතාව එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය යථාර්ථයක් කිරීමේ අවස්ථාව දැන් ඔබට, අපට හිමිව ඇත. අත්හළ නොහැකි මෙම භාරදූර වගකීම අප සියලුදෙනාගේ දෙවුර මත පැටවි තිබේ. ඒ වගකීම පිළිබඳ මනා අවබෝධයක් අපට ඇත. මේ සියවසේ මඟහැරුණු ජයග්‍රහණ යළි රටට අත්කර දීමටත්, එකී ජනතා සිහින යථාවක් කිරීමටත් 2025 නව වසරේදී තවත් වීර්යයෙන් සහ සද්- අධිෂ්ඨානයෙන් යුතුව අපි කැප වී ක්‍රියා කරන්නෙමු.

සෞභාග්‍යය, එකමුතුබව සහ නව අපේක්ෂා සපිරි සුබ නව වසරක් වේවා !’යි, සාමය සහ ප්‍රගමනය උදෙසා අප හා එක්ව ප්‍රයත්න දරන ඔබ සැමට මම ප්‍රාර්ථනා කරමි.

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 ජනවාරි 01 වන දින

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter