නවතම පුවත්

වසර 8කට පසු ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එක්වූ නවතම ගුවන්යානය ඊයේ (04) පෙරවරු 9.00ට පමණ මෙරටට ළඟා විය.

එයාර්බස් 330 – 200 මෙම ගුවන්යානය මෙරටට පැමිණියේ ප්‍රංශයේ පැරිස් නුවර සිට වන අතර ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන්යානා බලඇණිය 10 දක්වා ඉහළ යනු ලැබීය.

මෙම ගුවන්යානය ප්‍රංශයේ එයාර්බස් ගුවන්යානා නිෂ්පාදනය කරන ෂටරූ (Chateauroux) ගුවන්තොටුපොළේ සිට පැය 11ක ගුවන් ගමනක යෙදෙමින් ප්‍රධාන ගුවන් නියමු රජීන් රණතුංග මහතා විසින් පදවාගෙන පැමිණි අතර ගුවන්යානා කාර්ය මණ්ඩලය ලෙස තවත් ඉංජිනේරුවරුන් ඇතුළු 10 දෙනකු ද සහාය දක්වා තිබිණි.

මෙම ගුවන්යානය මෙරට ජනතාවට පළමු වරට දැක ගැනීම සඳහා කටුනායක සිට කොළඹ අහසේත් කොළඹ වරාය නගරය දකුණ දෙස සිට පානදුර දක්වා අහසේත් අඩි 1,500ක් තරම් පහළින් පියාසර කෙරුණු අතර මෙම දුර්ලභ අවස්ථාව සිය නෙතින් දැක ගැනීමට මෙන්ම සිය කැමරා කාචයේ ද සටහන් කර ගැනීමේ අරමුණින් ගාලුමුවදොර පිටියට සහ උස් තැන් බොහෝමයක විශාල ජනතාවක් රැඳී සිටිනු දක්නට ලැබිණි.

අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාව ඉහළ තලයකට ඔසවා තැබීම සඳහා මෙලෙස ගුවන්යානය පියාසර කරවීමට පියවර ගත් බව ද ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ආයතනික් සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1202 දරන මෙම ගුවන්යානය උදෑසන 10.00ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වීමෙන් පසුව, ජල ආචාර (Water Salute) පවත්වා, පිළිගෙන, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ බෝයිං – 747 හැංගරය වෙත, රැස්ව සිටි විශාල පිරිසකගේ අත්පොළසන් නාදය මැද සම්ප්‍රාප්ත විය.

මේ දිනවල රට තුළ පැතිර යන කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පැලඳීම, පොදු ප්‍රවාහන සේවාවල ගමන් කර පැමිණීමෙන් පසුව සබන් යොදා දෑත් සේදීම යනාදී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙයි.

ඉන්දියාවේ සහ මැලේසියාවේ මේ දිනවල පැතිර යන කොවිඩ් අනු ප්‍රභේදයන් මෙරට ද පැතිර යන බවට වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදු කළ පරීක්ෂණවලින් තහවුරු වී ඇත. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස් රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ජානකී අබේනායක මහත්මිය සිදු කළ පර්යේෂණ අනුව ශ්‍රී ලංකාවේ පැතිර යනුයේ කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයේ LF.I සහ NB 1.8.1 නමැති අනු ප්‍රභේද බව තහවුරු කර ගෙන තිබේ.

ඉන්දියාව, මැලේසියාව ඇතුළු රටවල් 22 ක NB.1.8.1 වයිරසය පැතිර යන බවට අනාවරණය වී තිබේ.

NB.1.8.1 හා සම්බන්ධ රෝග ලක්ෂණ පෙර COVID-19 රෝග ලක්ෂණවලට සමාන වන අතර උගුරේ අමාරුව, තෙහෙට්ටුව, උණ, කැස්ස, මාංසපේශි වේදනාව යනා දී රෝග ලක්ෂණ මෙහි දී හටගනියි. මෙම වයිරසය හඳුනා ගැනීම සඳහා සම්මත PCR සහ වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කළ යුතු බව වෛද්‍ය මතය වේ.

කොවිඩ් රෝග ලක්ෂණ පවතින්නේ නම් ජනාකීර්ණ හෝ සංවෘත ස්ථානවල ගැවසීමෙන් වැළකිය යුතුය. දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග වැනි නිදන්ගත රෝග පවතින්නේ නම් හෝ ගර්භණී නම් හෝ වයස අවුරුදු දෙකට අඩු නම් හෝ විශේෂයෙන් මෙම වයිරසයෙන් ආරක්ෂා විය යුතු බව වෛද්‍යවරු දැනුම් දෙති. මෙම වයිරසය ඔවුන්ට ආසාදනය වීමෙන් ජීවිත අවදානම පවා ඇති වේ.

ජූනි 05 වැනිදාට යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන් නම්කර ඇති ජාතික පරිසර සතියට සාපේක්ෂව අද (02 ) දිනය ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය ලෙස නම් කර ඇත.

ජෛව විවිධත්ව සංරක්ෂණ දිනයට සමගාමීව අද (02) දිනයේදී ගාල්ල, කෑගල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවලට අයත් වනාන්තර පහක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය.

එම ගැසට් නිවේදනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ කොට්ටව, මොනරාගල දිස්ත්‍රික්කයේ නිල්ගල වනාන්තරය‍, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට අඩවිය ආශ්‍රිතව පිහිටි උඩලියද්ද වනාන්තරය‍, කෑගල්ල දිස්ත්‍රික්කයටම අයත් කෑගල්ල අඩවියේ හෙක්ටයාර් 46ක භූමියක් ආවරණය වන පරිදි පිහිටා ඇති තුල්හිරිකන්ද වනාන්තරය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රදේශයේ හෙක්ටයාර් 37ක භූමියක් තුළ ව්‍යාප්ත වේරැහැන්කන්ද වනාන්තරය මෙලෙස රක්ෂිත ලෙස නම් කෙරේ.

ජගත් පරිසර දින ජාතික වැඩසටහනට සමගාමීව සිදුකරන මෙම වනාන්තර රක්ෂිත බවට පත්කිරීම වෙනුවෙන් අද (02) දින විශේෂ උත්සවයක්ද සංවිධාන කර ඇති අතර එම වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් බිබිල රතුගල ආදිවාසි ජනඋරුම මධ්‍යස්ථානයේදී පෙරවරු 8.30ට පැවැත්වේ.

නිල්ගල වනාන්තරයේ ප්‍රධානතම වන සංරක්‌ෂණ කොටස බිබිල අඩවිය වේ. මැදගම, බිබිල, නිල්ගල හා ඉඟිනියාගල වශයෙන් වන සංරක්ෂණ බීට්‌ටු හතරක් මෙම වනයට අයත් වේ. ඒ අනුව නිල්ගල ප්‍රදේශයට හෙක්ටයාර 40,683ක රක්ෂිතයක් හිමිවේ.

එමෙන්ම ජෛව විවිධත්ව සංරක්ෂණය සම්බන්ධයෙන් පාසල් දරු දැරියන් දැනුම්වත් කිරීම වෙනුවෙන් අද දිනයේ දී වැඩසටහන් මාලාවක්ද සිදුකිරීමට පරිසර අමාත්‍යාංශයට අයත් අදාළ ආයතන විසින් සැලසුම් කර ඇත. එමෙන්ම මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානය, මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව රුක් රෝපණ වැඩසටහනක්ද සංවිධාන කර ඇත. උද්‍යානයේ දක්ෂිණ පිවිසුමේ සිට බංගලාව දක්වා කුඹුක් පැළ, කහ මාර පැළ සිටුවීමට ද තීරණය කර ඇත.

එමෙන්ම වඳවී යාමේ තර්ජනයට හසුවී ඇති බන්දුලපෙතියා මත්ස්‍යයා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත් කිරීම අද (02) දිනයේ දී දහවල් 12.00 ට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ දී පැවැත්වේ. මෙම වැඩසටහන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු කරනු ලබන අතර බන්දුලපෙතියා සංරක්ෂණය පිළිබඳ ගලපිටමඩ ප්‍රදේශයේ ජනතාව සඳහා දැනුම්වත් කිරීමේ වැඩසටහන්, බන්දුලපෙතියා වෙසෙන ජලාශ ආශ්‍රිත රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මෙන්ම මෙම වැඩසටහනට සමගාමීව සංවිධාන කර තිබූ චිත්‍ර තරගාවලියේ ත්‍යාග ප්‍රදානයන් ද සිදු කිරීමට නියමිතය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සහ පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ සියලු ආයතනයන්ගේ සහයෝගයෙන් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා කෑගල්ල නගර ශාලාවේදී ප්‍රදර්ශන කුටි සකසා ඇති අතර විශේෂයෙන් වඳවී යන සතුන් පිළිබඳ ප්‍රජාව දැනුම්වත් කිරීම සහ පරිසර සංරක්ෂණය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා මෙම කුටි සංවිධාන වනු ඇත. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරු 2.00ට එම වැඩසටහන පැවැත්වීමට නියමිතය.

නව කොවිඩ් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේ දැයි සොයාබැලීම සඳහා රට පුරා PCR පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානමක් නැතත් ආසියාවේ කොවිඩ් රෝගීන් වර්ධනය වීම හේතුවෙන් මෙරට ජනතාවගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව ජනතාව මේ අවස්ථාවේ බිය විය යුතු නැතත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මුඛ ආවරණ පැලඳීම සිදු කරන ලෙස ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පෙරේදා (28) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව ලේකම්වරයා පැවසීය.

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ ද කීවේය.

“අපි නැවතත් වසංගත විද්‍යා අංශය ඇතුළු කණ්ඩායම් රැස් කරලා, ප්‍රධාන සාකච්ඡාව පැවැත්වූවා. අපිට කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ ජනතාව බිය වීමට තරම් කාරණයක් නෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ ශ්‍රී ලංකාවට මේක එන්නේ නෑ කියලා.

ආසියාවේ කොවිඩ් වැඩි වීමක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් මහනුවර, ගාල්ල, ජාතික රෝහල් දෙකෙහි සහ PCR තියෙන රෝහල්වල PCR කිරීම වැඩි කළා.

කොහොමත් තියෙනවා උණ ගැන අවේක්ෂණ පද්ධතියක්. එකක් බාහිර රෝගීන් සම්බන්ධයෙන්, අනෙක අභ්‍යන්තර රෝගීන් සම්බන්ධයෙන්. ඒ දෙකම කරනවා. ඒ හරහා අපි කොවිඩ් තියෙනවා ද කියලා අපි හඳුනාගන්නවා. ඔබට උණ, හෙම්බිරිසාව හැදුණොත් මුඛ ආවරණයක් පාවිච්චි කරන්න ඒක අනිත් අයටත් හොඳයි.”

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් අවධානය යොමුකර තිබෙනවා.

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග මේ දිනවල රටේ වැඩි වශයෙන් පවතිනවා. එය මර්දනය කිරීමට පූර්ණ අවධානය යොමු කරලයි තියෙන්නේ.

මෙම රෝග බෝවීම සිදු වන්නේ එකම මදුරු වාහකයෙක් මඟිනි. මෙම රෝග බෝවීමට ප්‍රධාන හේතුව වන්නේ පාරිසරික සෞඛ්‍ය ගැටලුයි. මදුරුවන් බෝවීම වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීම ඉතා වැදගත්. මේ පිළිබඳ වගකීමක් පවතින ප්‍රධාන ආයතනයක් ලෙස සැලකෙන්නේ පළාත් පාලන ආයතනයි. දැනට මේ සඳහා පළාත් පාලන ආයතනවලින් ලබාදෙන අවධානය අඩු වී තිබෙනවා.

යෝජිත ජාතික මාධ්‍ය ප්‍රති­ප­ත්තිය මඟින් පුද්ගල නිද­හස, අන­න්‍ය­තාව සහ ගරු­ත්වය පද­නම් කර­ගත් ජන­මාධ්‍ය නිද­හ­සක් පිළි­බඳ ප්‍රමු­ඛ­තම අව­ධා­නය යොමු විය යුතු බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය නලින්ද ජය­තිස්ස මහතා සඳ­හන් කළේය.

එම ජාතික මාධ්‍ය ප්‍රති­ප­ත්තිය එළ­ඹෙන සැප්තැ­ම්බර් මාසය වන විට එළි­දැ­ක්වී­මට කට­යුතු කරන බව ද අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

අමාත්‍ය නලින්ද ජය­තිස්ස මහතා මෙම අද­හස් පළ කළේ ජාතික මාධ්‍ය ප්‍රති­ප­ත්ති­යක් සකස් කිරීම සඳහා වන පනත් කෙටු­ම්පත පිළි­බඳ මාධ්‍ය සංවි­ධාන නියෝ­ජි­ත­යන් සහ එහි කමිටු සාමා­ජි­ක­යන් අතර කොළඹ පද­නම් ආය­ත­න­යේදී පැවති සාක­ච්ඡා­ව­ක­දීය. ජාතික මාධ්‍ය ප්‍රති­ප­ත්ති­යක් සකස් කිරීම කාලීන අව­ශ්‍ය­තා­වක් වන බවත් භාෂ­ණයේ සහ ප්‍රකා­ශ­නයේ නිද­හස තහ­වුරු කිරීම එහි ප්‍රමු­ඛ­තම අව­ශ්‍ය­තා­වක් බවත් ඔහු සඳ­හන් කළේය.

මීට පෙර පැවති ආණ්ඩු­ව­ලදී රාජ්‍ය මාධ්‍ය­ව­ලින් බර­ප­තළ ලෙස පුද්ගල අයිති අභි­යෝ­ග­යට ලක් වුවත් වර්ත­මා­න­යේදී සියලු මාධ්‍ය­ව­ලින් පුද්ගල නිද­හස හා අන­න්‍ය­තාව ගෞර­ව­යට ලක් වන බව ද අමා­ත්‍ය­ව­රයා පෙන්වා දුන්නේය.

ජාතික මාධ්‍ය ප්‍රති­ප­ත්ති­යක් සකස් කිරීමේ ගෞර­වය තමන්ට හෝ තම රජ­යට අවශ්‍ය නොවන බවත් වත්මන් රජය මඟින් කරනු ලැබුවේ සකස් කරන ලද පනත් කෙටු­ම්පත සක්‍රිය කර­වීම සඳහා පහ­සු­කම් සැප­යීම බවත් අමාත්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

දැනට ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

පසුගිය සති කිහිපයේ දී ආසියානු රටවල් කිහිපයක COVID – 19 ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණු බවත්, මෙම තත්ත්වයට ප්‍රජාව තුළ රෝගයට මුහුණ දීමේ ඇති හැකියාව අඩුවීම ඇතුළු සාධක කිහිපයක් හේතු විය හැකි බවත්, මෙය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික මට්ටමින් සූදානම් වීම සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ත්‍රීව්‍ර කර ඇති බවත්, අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

ලේකම්වරයාගේ නිවේදනයට අනුව COVID – 19 සඳහා සායනික සාම්පල පරීක්ෂා කරනු ලබන ඒකාබද්ධ ශ්වසන ආවේක්ෂණය රට පුරා තෝරාගත් රෝහල් වල අඛණ්ඩ ව සිදුවෙමින් පවතී. එමෙන්ම ආවේක්ෂණයට අනුව දැනට. COVID 19 රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් නොකරයි. තවද ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි වසංගත තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීමට අවශ්‍ය රසායනාගාර ආවේක්ෂණ පද්ධතිය ද සක්‍රීයව ක්‍රියාත්මක වන බව ද නිවේදනයේ දක්වා ඇත.

කලින් කලට අනෙකුත් ශ්වසන රෝග (උදා: ඉන්ෆ්ලුවෙන්සා) මෙන්ම, COVID-19 රෝගීන්ගේ වැඩිවීමක් ඇතිවිය හැකි බව ද, දැනට සාමාන්‍ය ජනතාවට ඇති අවදානම අඩු මට්ටමක පවතන බව ද කෙසේ වෙතත්, වැඩිහිටියන්, ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයින් වැනි වැඩි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි විශේෂ අවධානයකින් සිටීම වැදගත් බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

නිතර අත් සේදීම, කැස්ස සහ කිවිසුම් යන විට නාසය සහ මුඛ ආවරණය කිරීම ඇතුළු මූලික සනීපාරක්ෂක පිළිවෙත් සහ ශ්වසන ආචාර විධි නිරන්තරයෙන් පවත්වා ගත යුතු බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කර ගනිමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවැරදි සහ කාලීන තොරතුරු මහජනතාවට ලබාදීම සඳහා මනා සුදානමකින් පසුවන අතර, ඇති විය හැකි වසංගත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා රෝහල් පද්ධතිය ද සූදානම් කර ඇත.

COVID-19 තත්ත්වයේ කාලයත් සමග සිදුවන වෙනස්කම් පිළබඳ සෞඛ්‍ය බලධාරීන් අවධානයෙචන් සිටින අතර, ඔවුන් නිල වශයෙන් ලබාදෙන තොරතුරු කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙස ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ජනතාවගේ ශක්තියත්, ගෝලීය සුහදතාව හා සහායත් ඇතිව ශ්‍රී ලංකාවේ මෑතකාලීනව ඇති වූ අර්බුදවලින් ගොඩඑමින් සිටින අතර ඒ සඳහා ගෝලීය ක්‍රියාකාරීන්ගෙන් ලැබෙන සහයෝගය බෙහෙවින් අගය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දී ඇති “සෞඛ්‍යමත් ලොවක්” යන තේමාවෙන් යුත් වැඩසටහනට ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාවට නංවන බවත් තිරසර සංවර්ධන ඉලක්ක කරා නැවත එළඹීමට සාමූහික ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව පවතින බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වැනි වාර්ෂික මහා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ඇමැතිවරයා මේ බව එහිදී පෙරේදා (20) පැවසීය. “එකම සෞඛ්‍යමත් ලොවක්” තේමාව කර ගනිමින් මේ සමුළුව පසුගියදා (19) සිට 27 වැනිදා දක්වා පැවැත්වේ.

සෞඛ්‍ය සේවයට තිරසර මූල්‍ය පහසුකම් සැපයීමේ අවශ්‍යතාව මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේය. මෙවර සමුළුවට ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇතුළත් සියලු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගි වන අතර ඒ සියලු රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පන්දහසකට අධික සංඛ්‍යාවක් මේ සමුළුවට එක්ව සිටිති. ශ්‍රී ලංකාවටත් සෙසු ලෝක ප්‍රජාවටත් වැදගත් වන “එකම සෞඛ්‍යමත් ලොවක්” යන කාලෝචිත තේමාව පෙරදැරිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය පළ කරන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් තෙගුණයක් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට බාහිර රෝගී ප්‍රතිකාර අංශවලට 2023 වසරේදී පැමිණි බවත්, කිසිවකු මඟ නොහැරීමට “පුළුල් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ” ආරම්භ කර ඇති අතර මේ ප්‍රතිසංස්කරණයන්හි ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සැපයීමේ දී අභියෝගයක් වන ප්‍රාථමික සෞඛ්‍ය සේවා සැපයීම මඟ හැරීම වැළැක්වීම බවත් ඇමැතිවරයා පැවසීය.

සෞඛ්‍ය ශ්‍රම බළකායේ සංක්‍රමණ මෙරටට ගැටලුවක්ව ඇති බවත්, ඒ හේතුවෙන් ගෝලීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන ගැටලු විසඳීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි. 2022 සිට 2025 වසර දක්වා කාලයේ විශේෂඥ වෛද්‍යවරුන් 726ක්, හෙද හෙදියන් 2800ක් හා වෛද්‍ය නිලධාරීන් 1116ක් වෙනත් රටවලට සංක්‍රමණය වී ඇති බවත් මූල්‍ය අතින් එය මෙරටට දැවැන්ත පාඩුවක් බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයා මෙහිදී පැවසීය.

සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා කෙරෙන ආයෝජනවල මූල්‍ය අලාභයන් විඳ ගැනීමට සිදු වී ඇති බවත්, සංක්‍රමණික ගමනාන්ත වූ රටවල් ද මේ සම්බන්ධව වඩාත් වගකිවයුතු බවට අප විශ්වාස කරන බවත් ඇමැතිවරයා පැවසීය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර බඳවා ගැනීම් සංග්‍රහය ඵලදායී හා ශක්තිමත් අන්දමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බව ද ඇමැතිවරයා සමුළුව අමතමින් පැවසීය.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ණය, ලෙඩරෝග හා අවප්‍රමාණය යන අභියෝගයන්ට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැඟීම සඳහාත්, සෞඛ්‍ය වෙනුවෙන් තිරසර මූල්‍යකරණයක් අත්කර ගැනීම උදෙසාත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන ඉහළ නැංවීම අවශ්‍ය වන බවත්, රජය විවිධ අංශ සහ විෂයන් සමඟ සහයෝගයෙන් යුතුව කටයුතු කරන අතරම ශ්‍රී ලංකා රජය ජාතියේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට ඇප කැප වී සිටින බවත් ඇමැතිවරයා පැවසීය.

සමුළුවට එක්වන සියලු පිරිස්වල සහභාගිත්වයෙන් මෙහිදී පුළුල් කථිකාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එහිදී ඉදිරිපත් වන යෝජනා, අදහස් හා පර්යේෂණ දත්ත ආශ්‍රයෙන් ඉදිරි වසර තුළ ලොව පුරා සෞඛ්‍ය තත්ත්වයන් නඟා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන සහ තීරණ ගැනීමටත්, ඊට අදාළ ඉදිරි සැලසුම් සකස් කිරීමටත් පියවර ගෙන ඇත.

මේ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට අමතරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාං‍ශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනීවාහි පළමු ලේකම් නිශාන්තිනි වික්ටර් මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද සහභාගි වී සිටිති.

රී ලංකා ජනරජ දිනය අද (22)යි.

1815දී උඩරට ගිවිසුම හරහා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කර ගැනුණු අතර එතැන් පටන් මෙරට පරමාධිකාරී බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙත පැවරිණි. එතැන් සිට රට පාලනය කෙරුණේ බ්‍රිතාන්‍යයේ සිහසුන දරන තැනැත්තා හෝ තැනැත්තිය විසින් පත්කර එවනු ලැබූ ආණ්ඩුකාරවරයකු මඟිනි. 1948 පෙබරවාරි 4 වැනි දින ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණු ද එය ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් විය. තවදුරටත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත්කරන ලද අග්‍රාණ්ඩුකාරවරයාය. මෙරට ඇතැම් කරුණු පිළිබඳ අවසන් බලය පැවරී තිබුණේ එංගලන්තයේ ආයතනයන්ටය. බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් අග්‍රාණ්ඩුකාරවරයා අත්සන් කරනතුරු පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරන පනතක් වුවද නීතිගත වූවේ නැත. විශේෂයෙන්ම මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කර හදිසි නීතිය පැනවූ අවස්ථාවේදී සන්නද්ධ සේනාවන්හි සේනාධිනායක වූයේ ආණ්ඩුකාරවරයායි. එසේම ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ බලය පැවතියේ ද එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයටය.

මෙම තත්ත්වයෙන් මිදී ශ්‍රී ලංකාව මුළුමනින්ම නිදහස්, පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූයේ 1972 මැයි 22 දිනයි. ඒ එවකට සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ප්‍රමුඛ රජය මඟින් සම්මත කර ගත් ජනරජ ව්‍යවස්ථාව මඟිනි. ඒ අනුව ශ්‍රී ලංකාව ජනරජයක් බවට ප්‍රකාශයට පත් කර අදට වසර 53ක් සපිරෙයි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දමිළ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ලෙසත්, ශ්‍රී ලංකා රූපවාහිනී සංසථාවේ දමිළ පුවත් ඉදිරිපත් කරන්නෙකු ලෙසත් කටයුතු කළ ජෙෂ්ඨ මාධ්‍යවේදී වී. එන්. මදිඅලහන් මහතා විසින් රචිත "වී.එන්. මදිඅලහන් කියන පුවත්"  සහ "දමිළ විකාශනයේ ස්වර්ණමය යුගයේ සටහන්" නැමති දමිළ ග්‍රන්ථ ද්විත්වය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදු කෙරිණ.

වී.එන්. මදිඅලහන් මහතාගේ සහෝදරිය වන ආනන්ද ලක්ෂ්මී ධර්මශීලන් විසින් මෙම කෘති ආග්‍රාමාත්‍යවරිය වෙත පිලිගැන් වූ අතර දැනට යාපනය විශ්ව විද්‍යාලයේ මාධ්‍ය පිලිබඳ හදාරණ විද්‍යාර්ථින්ගේ පර්යේෂණ සඳහා භාවිතයට ගැනෙන මෙම කෘති පාසල් දරුවන්ට පරිහරණය කළ හැකි පරිදි පාසල් පුස්තකාල 1000 ක් වෙත ලබා දීමට සැළසුම් කර ඇති බව වී.එන්. මදිඅලහන් මහතාගේ සහෝදරිය පැවසුවාය.

මෙම අවස්ථාවට වී.එන්. ආනන්ද ලක්ෂ්මීගේ පුත්‍රයා වන අදිත්‍යන් සහ ඔහුගේ දියණිය  තිරිනේට්ට්‍රි යන දෙපළ ද සහභාගී විය.

මෙරට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රවල ඉදිරි අභියෝග ජය ගැනීමට චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ අත්දැකීම් යොදා ගැනීමට ඇති හැකියාව සොයා බැලිය යුතු බව වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙම කරුණු සඳහන් කළේ චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ (China International Communications Group - CICG) සභාපති ඩූ ෂැන්යුවාන් මහතා ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමු වූ අවස්ථාවේ දී ය.

මෙරට සෞඛ්‍ය  සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයන් හි අභිවෘද්ධිය වෙනුවෙන් චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහයේ අත්දැකීම් සහ මෙරට ඊට අදාළ ක්ෂේත්‍ර සම්බන්ධව අන්‍යෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමත්, දැනුම හුවමාරු කර ගැනීමත් මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

ශක්තිමත්, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය වන මානව සම්පත් සංවර්ධනය සහ ඊට අදාළ විශේෂඥ දැනුම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, මුල්‍ය ආධාර ලබාගැනීම, ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ සහ නවීන තාක්ෂණයෙන් යුත් වෛද්‍ය උපකරණ භාවිතය, රෝහල්වල භෞතික සම්පත් සංවර්ධනය මෙන් ම සෞඛ්‍ය සේවාවේ අභිවෘද්ධිය උදෙ‍සා  සන්නිවේදන ක්ෂේත්‍රයේ භාවිතාවන් වැනි කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙහි දී දීර්ඝ ව සාකච්ඡා සිදු කෙරිණි.

දරිද්‍රතාවය තුරන් කිරීමේ චීනයේ ජයග්‍රහණ සහ දකුණු ආසියානු සහයෝගීතා ආධාර අරමුදල මෙන් ම විවිධ  ව්‍යාපෘති මුලපිරීම් හරහා සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වීමට ඇති කැපවීම පිළිබඳව මෙහි දී පෙන්වා දුන් චීන ජාත්‍යන්තර සන්නිවේදන කණ්ඩායමේ සභාපති ඩූ ෂැන්යුවාන් මහතා චීනයේ සංවර්ධනය ලොවට හඳුන්වා දීම සහ ජාත්‍යන්තර හුවමාරු ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද වැඩබලන අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා දැනුවත් කරන ලදි. එමෙන් ම දරිද්‍රතාවය අඩු කිරීම සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳ චීන-දකුණු ආසියානු සංසදය 2025 පිළිබඳව ද අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කරන ලදි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති  චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා සමග මීට ඉහත දී මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබඳ ව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ සාකච්ඡා සිදු කරනු ලැබු බව සඳහන් කළ වෛද්‍ය හංසක විජේමුණි මහතා, දකුණු ආසියාවේ සංවර්ධනය සඳහා කලාපීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන චීනයේ සංවර්ධනය ලොවට හඳුන්වා දීම සහ ජාත්‍යන්තර හුවමාරු ප්‍රවර්ධන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කරන බව ද සඳහන් කළේ ය. එමෙන් ම මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි අභියෝග ජය ගැනීමට චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහ විශේෂඥතාවයන් මහෝපකාරි වනු ඇති බව ද මෙහි දී විශේෂයෙන් සඳහන් කරනු ලැබී ය.

චීන ජාත්‍යන්තර සන්නිවේදන සමූහය (CICG) 1949 ඔක්තෝබර් මාසයේ දී ආරම්භ කර ඇති අතර, එතැන් සිට එය චීනයේ සංවර්ධනය ලොවට හඳුන්වා දෙමින් සහ ජාත්‍යන්තර හුවමාරු ප්‍රවර්ධනය කරමින් සිටී.

CICG අනුබද්ධිත ආයතන 21 කින් සමන්විත වන අතර, ජාතික සංගම් දෙකක් පරිපාලනය කරන අතර රටවල් සහ කලාප 14 ක විදේශීය ශාඛා 26 ක් ඇත. වාර්ෂිකව, එය භාෂා 40 කට වැඩි ගණනකින් පොත් සහ වාර සඟරා 3,000 ක් පමණ ප්‍රකාශයට පත් කරනු ලබන අතර, එහි ප්‍රකාශන රටවල් සහ කලාප 180 කට වැඩි ගණනක බෙදා හරිනු ලබයි. එහි මාර්ගගත ප්‍රේක්ෂකයින් ද ලොව පුරාම විහිදී සිටී.

යුද්ධයක් ඇතිවීම සඳහා කිසිදු සාධකයක් නොසැපයූ, ඒ වෙනුවෙන් වැඩ නොකළ අපේ ගම්වල සාමාන්‍ය මවුපියවරුන්ගේ දරුවන් යුද්ධයෙන් මිය ගියා. යුද්ධය යනු ඛේද කයක් කියා අප ඉතා දැඩිව තේරුම් ගත යුතුයි.

විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම, බලය ආරක්ෂා කර ගැනීම සහ බලය තර කර ගැනීම වෙනුවෙන් මෙන්ම අපරාධ වසන් කර ගැනීම සඳහාත් මෙම යුද ගැටුම්, ජාතිවාදය සහ අන්තවාදය උපයෝගි කර ගැනීම සිදු වෙනවා. එසේ නොවන්න ෆීල්ඩ් මාර්ෂල් වසර දෙක හමාරකට වැඩි කාලයක් සිරගතව සිටීමට හේතුවක් නැහැ.

කිසිවකුගේ ගෝරනාඩුවට බිය නොවී රටේ පූර්ණ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 16 වැනි ජාතික රණවිරු සැමරුමට සහභාගී වෙමින් ඊයේ (19) ප්‍රකාශ කළේය.

දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය අවසන් කරමින් ලැබූ ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියසදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ අභිමානවත් අන්දමින් පැවැත්විණි.

අපි යටත්විය යුත්තේ සත්‍යයට, මානවවාදයට, මිනිස්කමට මිස ගෝරනාඩුවට නොවන බව කී ජනාධිපතිවරයා, රටක් ජාතියක් ලෙස සැමදෙනා සැමදා යුද්ධය වෙනුවෙන් කැපවීම් කළ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ, ග්‍රාමාරක්ෂක බළකායේ නිලධාරීන්, සොල්දාදුවන් සැමදා අනුස්මරණය කළ යුතු බවත් රට හැමදාමත් ඔවුන්ට ණයගැති බවත් ප්‍රකාශ කළේය.

“මවුපියනි ඔබ ඔබේ දරුවා, බිරින්දෑවරුනි ඔබේ ස්වාමියා, මේ මාතෘභූමියේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කැප කළා. ඔබ ශ්‍රේෂ්ඨ මාතාවන්. ඔබ ශ්‍රේෂ්ඨ බිරින්දෑවරුන්. එහෙත් එහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද? ඔබගේ දරුවාට, ඔබගේ ස්වාමියාට, ඔබගේ මිතුරාට, ඔබගේ ඥාතියාට ඉටු කළ හැකි ඉහළම සාධාරණත්වය වන්නේ මේ රටේ සාමය ස්ථාපිත කිරීමයි. මෙම ස්මාරකය ඉදිරිපිට සිට ඊට නිසි ගෞරවය පුද කිරීම යනු යළි රට තුළ ගැටුමක් ඇතිවීමට ඉඩ නොතබා, වෛරය සහිත සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් සහ ප්‍රේමයෙන් යුතු සමගිය පිරි සමාජයක් නිර්මාණය කිරීමට සූදානම් බවට වන පණිවිඩය ශපථ කිරීම යැයි” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා –

අද ඉතා වැදගත් හා ඓතිහාසික දිනයක්. වසර ගණනාවක යුද්ධය අවසන් කිරීම සඳහා අපේ සොල්දාදුවන් විශාල පිරිසක් ජීවිත පරිත්‍යාග කළා. මෙම පුවරුව පිරෙන්න ඔවුන්ගේ නම් තිබෙනවා. මේ පුවරුවලින් පෙන්නුම් කරන්නේ යුද්ධය අවසන් කිරීම සඳහා ඔවුන් සිදු කරන ලද කැපවීමයි. ඒ වගේම සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් සදාකල් ආබාධිත තත්ත්වයට පත් වුණා. අදත් අප අතර ජීවත්ව සිටිය යුතු විශාල පිරිසක් යුද්ධය අවසන් කිරීම සඳහා සිය ජීවිත පරිත්‍යාග කළා. තවත් පිරිසක් තමන්ගේ ඇස්, අත්, පා, ශරීර අවයව සියල්ල පරිත්‍යාග කළා.

“යුද්ධය” යන වචනයට තිබෙන්නේ “යුද්ධය” යන්නම පමණයි. යුද්ධය විශාල ඛේදවාචකයක්. යුද්ධය විශාල විනාශයක්. මටත් වඩා වැඩියෙන් එය යුද බිමේ සටන් කළ ඔබ දන්නවා, යුද්ධය මොනතරම් ඛේදවාචකයක් ද විනාශකාරී ද කියා.

හැමදෙනාම යුද්ධ කළේ සාමය අපේක්ෂාවෙන්. යුද්ධය මොනතරම් ඛේදවාචකයක් ද?

පියවරු අහිමිවූ දරුවන්, දරුවන් අහිමිවූ මාපියන්, ස්වාමියන් අහිමිවූ බිරින්දෑවරුන් මේ මාතෘභූමියේ තවමත් සුසුම් හෙළනවා. ඔවුන් අභිමානයක් සහිතව එහෙත් වේදනාවෙන් තමගේ ඥාතින් සිහිකරනවා.

යුද්ධය යනු ඛේදවාචකයක්. එවන් විශාල ඛේදවාචකයකට මුහුණදුන් රටක් ලෙස වර්තමානයේ ජීවත්වන අපගේ වගකීම වන්නේ යළි එවැනි පන්නයේ යුද්ධයක් රට තුළ ඇතිවීම වැළැක්වීමයි. යුද්ධ කරන රටක් වෙනුවට ගැටුම් ඇති නොවන, සැකය, කෝපය වෛරය වෙනුවට සහෝදරත්වයේ බැඳීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් නිර්මාණය කළ යුතුයි.

දකුණේ පමණක් නොවෙයි, උතුරේ ජනතාවත් ඡායාරූපයක් මහ මඟ තබාගෙන තමන්ගේ ස්වාමියා, තමන්ගේ දරුවා පිළිබඳ විලාප දෙනවා. සෑම දෙමාපියෙකුටම තමන්ගේ දරුවා දරුවෙක්. “උණහපුළුවාට තමන්ගේ දරුවා මැණිකක්” එසේ නම් එවන් විශාල ඛේදවාචකයකට මුහුණදුන් රටක් ලෙස වර්තමානයේ ජීවත්වන අපේ වගකීම වන්නේ යළි එවැනි පන්නයේ යුද්ධයක් අපේ රට තුළ ඇතිවීම වැළැක්වීමයි.

අපේ පරම්පාරව යුද්ධ කර තිබෙනවා. අපේ පරම්පරාව අතර වෛරය, ක්‍රෝධය, සැකය පැතිරී තිබෙනවා. නමුත් අපි අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ නොකරන රටක්, ගැටුම් ඇති නොවන රටක්, සැකය, කෝපය වෛරය වෙනුවට සහෝදරත්වයේ බැඳීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් නිර්මාණය කළ යුතුයි.

යුද්ධයේ අත්දැකීම් අපට පෙන්වා දෙන්නේ යුද්ධයෙන් තොර රාජ්‍යයක් ඇති කිරීමයි.

මෙම යුද ස්මාරකය ඉදිරිපිට අප සිටගෙන ඔවුන්ට නිසි පරිදි ගෞරවය ඉටු කරනවා යනු යළි ගැටුමක් ඇති වීමට ඉඩ නොතබා වෛරයක් සහිත සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් ආදරය සමගිය පිරි සමාජයක් නිර්මාණය කිරීමට සූදානම් කියන පණිවිඩය මෙය ඉදිරියේ තබා ශපථ කිරීමයි.

විශේෂයෙන් තමන්ගේ දෙපය බිම තබා ඇවිදිය නොහැකි සොල්දාදුවන් අද මා ඉදිරිපිට සිටිනවා. මා අද උදෑසන ඔවුන් බලන්න ගියා. ඉතා දිගු කාලයක් පුරා ඇතැම් අය 1996 සිට අවුරුදු 30කට ආසන්න කාලයක් ඇඳක පමණක් තම ජිවිතය ගත කරනවා. එක් අයෙක් 1988 සිට එලෙස සිටින බව පැවසුවා. ඔවුන් තමන්ගේ සිතිවිලි වචන බවට පෙරළා ගත නොහැකිව කඳුළු පිරි දෙනෙතින් ඒ දුක් පෙන්නුම් කරනවා.

එහෙත් අද රට තුළ සිදුව තිබෙන්නේ විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම, බලය ආරක්ෂා කර ගැනීම සහ බලය තර කර ගැනීම වෙනුවෙන් මෙම යුද ගැටුම්, ජාතිවාදය සහ අන්තවාදය උපයෝගි කර ගැනීමයි. මේ කිසිවක් ස්වභාවිකව ඇති වූවක් නොවේ. විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම සහ බලය ආරක්ෂා කර ගැනීම සඳහාත්, තමන් විසින් කරන ලද අපරාධ වසන් කර ගැනීම සඳහාත් උපයෝගි කරගෙන තිබෙනවා. එසේ නොවන්න ෆීල්ඩ් මාර්ෂල් වසර දෙකහමාරකට වැඩි කාලයක් සිරගතව සිටීමට හේතුවක් නැහැ. එම අවදියේ ඔහු සහ මම ඉතා සමීපව ඇසුරු කළා. එහි තිබුණේ බලය මිස නීතිය හෝ යුක්තිය නොවෙයි. ඒ අයුරින් ඉතිහාසය මේ ගැටුම් සහ යුද්ධ බලය ලබා ගැනීම සහ බලය ශක්තිමත් කර ගැනීම සඳහා උපයෝගී කරගෙන තිබෙනවා. එහි වින්දිතයන් බවට උතුරෙත්, දකුණෙත් අපේ දරුවෝ පත්වී තිබෙනවා.

මෙවැනි යුද්ධයක් ඇතිවීම සඳහා කිසිදු සාධකයක් නොසැපයූ, ඒ වෙනුවෙන් වැඩ නොකළ අපේ ගම්වල සාමාන්‍ය මවුපියවරුන්ගේ දරුවන් මිය ගියා. ඒ නිසා යුද්ධය යනු ඛේදවාචකයක් කියා අප ඉතා දැඩිව තේරුම් ගත යුතුයි. යුද්ධය යනු විනාශයක්. නමුත් ඇතැම් අය නැවත නැවත පරාජිත සහ ප්‍රතික්ෂේප වූ කණ්ඩායම් හිතනවා යුද්ධය යනු ආශ්වාදයක් කියා. යුද්ධය යනු මිහිරි අත්දැකීමක් කියා ඔවුන් සිතනවා. නමුත් පොදු සමාජයට එසේ නොවෙයි. එසේ නම් මේ බොල් හඬට අපි තවදුරටත් බිය විය යුතුද. අපි සැමදෙනා එකවිට නැඟිට සාමය අවශ්‍ය බවට හඬ නැඟිය යුතුයි. අපේ හදවත, අපේ ප්‍රකාශයන් සහ අපේ ප්‍රවේශය යන සියල්ල අපි සාමය වෙනුවෙන් පෙළගැස්විය යුතුයි.

මේ වෙලාවේ බයිනේත්තුව අතේ තබාගෙන යුනිෆෝම් එකක් ඇඳගෙන නීතියට ගරු කරමින් ඉන්න හැම සෙබළාගේම හැම නිලධාරියාගේම අපේක්ෂාව තමන්ගේ අතේ තිබෙන ගිනිඅවිය කුමන මොහොතකවත් පාවිච්චි කිරීමට නොලැබේවායි කියන ප්‍රාර්ථනයයි. අපේ ස්ථාවරය වන්නේ ඔබ සතුව තිබෙන ගිනිඅවිය තවත් මිනිසෙකුට එරෙහිව ඔහුගේ පපුවට තබා වෙඩි තැබීම සඳහා එසවීමට අවස්ථාවක් නොලැබෙන සමාජයක් නිර්මාණය කිරීමයි.

ගෝරනාඩුවට කිසි කෙනෙක් යටත් විය යුතු නැහැ. අපි යටත් වන්නේ සත්‍යයට. අපි යටත් විය යුතුයි මානවවාදයට. මිනිසත්කමට. නමුත් අපි ගෝරනාඩුවට යටත් විය යුතු නැහැ අත්දැකීම් අනුව යමින් යළි යුද තත්ත්වයක් අපේ රටේ ඇතිවීම වැළැක්විය යුතුයි.

හැමකෙනාම අවි අතට ගෙන ඉදිරියට ගියේ සාමය වෙනුවෙන්. යුද්ධය වෙනුවෙන් යුද්ධ කරන්නේ නැහැ. යුද්ධ කරන්නේ සාමය වෙනුවෙන්. එසේ නම් අපට තවත් දිගු ගමනක් යා යුතුව තිබෙනවා. යුද්ධය අවසන් වීම, එහි ඊළඟ පියවර සාමය ස්ථාපිත කිරීමයි. එසේ නොමැති නම් අපි අර්ධ ජයග්‍රාහකයෝ වෙනවා. පූර්ණ ජයග්‍රාහකයෝ නෙවෙයි.

අපිට පූර්ණ ජයග්‍රාහකයෝ බවට පත් විය හැකි වන්නේ මේ රටේ සාමය නිර්මාණය කිරීමෙන් පමණයි. ඒ නිසා ගෝරනාඩුවලට බිය නොවී අපි සාමය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගැනීමට සූදානම්.

අවි අත දරා සිටින සෑම සොල්දාදුවෙකුගෙන්ම, සෑම නිලධාරියෙකුගෙන්ම මා ඉල්ලා සිටින්නේ ඔබ හැමවිටම අපේ රටේ සාමය වෙනුවෙන් වැඩ කළ පිරිසක්, ඔබ අනාගතයේද අපේ රටේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් වැඩ කරන පිරිසක් බවට පත්වන ලෙසයි. රටට සිදු කළ හැකි හොඳම සාධාරණත්වය වන්නේ මේ රටේ සාමය ස්ථාපිත කිරීමයි. අදත් ලෝකයේ කුමන ස්ථානයක හෝ කුඩා හෝ ගැටුමක් ඇති වුණොත් එය අපේ රටේ ආර්ථිකයට, ජන ජීවිතයට බලපෑමක් ඇති කරයි කියන බිය තිබෙනවා. අප නිදහස් ද? අපි අද ආර්ථික වශයෙන් ස්වෛරීභාවය අහිමි කර ගත් ජාතියක්. අපිට අපේම වූ ආර්ථික තීරණ ගැනීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් නොමැති ජාතියක්. එනිසා අපේ මාතෘභූමිය ලෝකය ඉදිරිපිට අභිමානවත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට නම් මේ ආර්ථික පරිවර්තනය අත්පත්කර ගත යුතුයි.

නීතියේ විධානයේ ආධිපත්‍යය කුමන දුෂ්කරතා මත හෝ මේ රාජ්‍ය තුළ ස්ථාපිත කළ යුතුයි. මේ රටේ රාජ්‍ය පාලනය පිළිබඳව ලෝකය ඉතාමත් ප්‍රශංසා මුඛයෙන් කතා කළ යුතුයි. අප රට අපරාධ, කුඩු වසංගතවලින් තොර රාජ්‍යයක් ලෙස නිර්මාණය කළ යුතුයි. යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කළ සෙබළුන්ට, සදාකාලික ආබාධිතභාවයට පත්වූවන් හැමදාමත් අප අපේ හදවත් තුළ සමරනවා. ඔබ පෙන්වාදී තිබෙන කැප කිරීම, පරිත්‍යාගය, අප්‍රතිහත ධෛර්යය මේ රට ගොඩනැඟීම සඳහා අපට විශ්වාසයක් බවට පත් වේවි. ඒ වෙනුවෙන් අපි සෑම දෙනාම එක්ව නව සටනක් දියත් කරමු.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter