නවතම පුවත්

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා රැගෙන යාමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව, රාජ්ය සේවය ඩිජිටල්කරණය කිරීම සහ නිලධාරීන්ගේ තාක්ෂණික කුසලතා සංවර්ධනය කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) පැවැත්විණි.
මෙහිදී රාජ්ය සේවකයන් සඳහා ඊ-ඉගෙනුම් පද්ධතියක් හඳුන්වාදීම, ඩිජිටල් සාක්ෂරතාව අනිවාර්ය කිරීම, සයිබර් ආරක්ෂණ දැනුම වර්ධනය කිරීම සහ ජංගම දුරකථන ඔස්සේ Micro-learning ක්රමවේදයක් ක්රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමු කෙරිණි.
රාජ්ය සේවය පුද්ගලයන් මත පදනම් වූ ක්රමවේදයකින් පද්ධති මත පදනම් වූ නවීන සේවා ව්යුහයක් බවට පරිවර්තනය කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ වේ.
මෙම වැඩසටහන තෙවැදෑරුම් සැලැස්මක් යටතේ ක්රියාත්මක කිරීමට නියමිත අතර, දැනට සේවයේ නියුතු නිලධාරීන් පුහුණු කිරීම, නව බඳවා ගැනීම් සඳහා ඩිජිටල් සාක්ෂරතාව අත්යවශ්ය කිරීම සහ පාසල් හා විශ්වවිද්යාල විෂය මාලා ඩිජිටල් ආර්ථිකයට ගැළපෙන අයුරින් සංවර්ධනය කිරීම එහි ප්රධාන අරමුණු වේ.
මෙහි පළමු අදියර ලෙස සයිබර් ආරක්ෂාව පිළිබඳ මූලික දැනුවත් කිරීමේ පාඨමාලා සහ රජයේ නිල විද්යුත් තැපැල් හා සහයෝගීතා මෙවලම් භාවිතය පිළිබඳ ප්රායෝගික පුහුණුවක් රාජ්ය නිලධාරීන්ට ලබාදීමට සැලසුම් කර ඇත.
ඩිජිටල් ආර්ථික අමාත්යාංශය, රාජ්ය පරිපාලන අමාත්යාංශය සහ අනෙකුත් අදාළ ආයතන ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට නියමිත අතර, අදාළ පාර්ශ්ව සමඟ වැඩිදුර සාකච්ඡා කර විද්යාත්මක ව්යාපෘති යෝජනාවක් සකස් කිරීමට ද තීරණය කෙරිණි.

ග්‍රාමීය ජන­තා­වගේ බහු­මාන දරි­ද්‍ර­තාව තුරන් කිරීම අර­මුණු කර­ගත් ‘පූජා ශක්ති’ ජාතික ව්‍යාපා­රය යටතේ ක්‍රියා­ත්මක වන “පූජා ශක්ති – ගම් දහ­සක වැඩ දහ­සක්” වැඩ­ස­ට­හන අද (02) ඇරඹේ.

මෙම වැඩ­ස­ට­හන යටතේ හඳු­නා­ගත් ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරීම සඳහා රුපි­යල් මිලි­යන 25,000ක මුද­ලක් වෙන් කර ඇති අතර, සමා­ර­ම්භක අදි­යර ලෙස ව්‍යාපෘති 1,000ක් දිව­යින පුරා එක­වර ආරම්භ කිරී­මට සැල­සුම් කර තිබේ. එහි සමා­ර­ම්භක උත්ස­වය ගම්පහ දිස්ත්‍රි­ක්කයේ මහර ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට අයත් අඹ­ග­ස්පි­ටිය ග්‍රාම නිල­ධාරි වසමේ පිංවල ප්‍රදේ­ශ­යේදී ග්‍රාමීය සංව­ර්ධන, සමාජ ආර­ක්ෂණ සහ ප්‍රජා සවි­බල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නි­ලගේ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පෙ.ව. 9ට ආරම්භ කෙරෙයි. මේ අයු­රින් දිව­යින පුරා දිස්ත්‍රික් මට්ටමේ ප්‍රධාන වැඩ­ස­ට­හන් දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමිටු සභා­ප­ති­ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් ආරම්භ කිරී­මට නිය­මි­තව ඇති අතර ගම්පහ දිස්ත්‍රි­ක්කය කේන්ද්‍ර කර­ග­නි­මින් ක්‍රියා­ත්මක මෙම ප්‍රධාන වැඩ­ස­ට­හන යටතේ පිංවල අමුණ ප්‍රති­සං­ස්ක­ර­ණය සහ එහි පැති බැමි බැඳීම සිදු කෙරෙයි. මීට අම­ත­රව සෑම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­ය­කම අවම වශ­යෙන් ව්‍යාපෘති 3ත් 5ත් අතර සංඛ්‍යා­වක වැඩ ආරම්භ කිරී­මට ද කට­යුතු සූදා­නම් කර ඇත.‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපා­රය යටතේ සියලු ග්‍රාම නිල­ධාරි වස­ම්වල පිහි­ටුවා ඇති ප්‍රජා සංව­ර්ධන සභා මඟින් හඳු­නා­ගත් නිෂ්පා­දන ආර්ථි­කය, ආහාර සුර­ක්ෂි­ත­තාව සහ ජීව­නෝ­පාය සංව­ර්ධ­නය ශක්ති­මත් කරන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රති­පා­දන දිස්ත්‍රික්ක වෙත නිද­හස් කර ඇති බව ග්‍රාමීය සංව­ර්ධන, සමාජ ආර­ක්ෂණ සහ ප්‍රජා සවි­බල ගැන්වීම් අමා­ත්‍යාං­ශය සඳ­හන් කරයි. ප්‍රජා සංව­ර්ධන සභා සාමා­ජි­ක­යන්, රාජ්‍ය නිල­ධා­රින් සහ සහා­යක ආය­ත­න­වල නියෝ­ජි­ත­යන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් මෙම ව්‍යාපෘති ක්‍රියා­ත්මක කෙරෙන අතර, ග්‍රාමීය ජන­තා­වගේ ආර්ථික සහ සමා­ජීය සවි­බල ගැන්වීම සඳහා මෙය වැද­ගත් පිය­ව­රක් වනු ඇතැයි අමා­ත්‍යාං­ශය පෙන්වා දෙයි.

සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් උත්සවය ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවගේ උතුම්ම මංගල්‍යයයි. බෞද්ධ උරුමයන්ගෙන් සුපෝෂිත ප්‍රෞඪ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය ජනතාව ලෝකවාසී බෞද්ධයන් සමඟ එක්ව මෙම උතුම් තෙමඟුල බැතියෙන් සමරති.

බුදු දහම යනු සමස්ත ලෝකයටම ප්‍රායෝගික වූත්, සර්වකාලීන වූත් සාමයේ පණිවිඩය රැගෙන ආ ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඉගැන්වීමකි. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සමස්ත ධර්මස්කන්ධයම ගොඩනැගී ඇත්තේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණයන් මූලික කරගනිමිනි.

එමෙන්ම සාමය, සහජීවනය සහ සංහිඳියාව පිළිබඳ පරමාදර්ශී පාඩම බුදුන් වහන්සේ මෙන්ම සියලු ශාස්තෘන් වහන්සේ අනුදැන වදාළ ධර්මයයි. බාහිර ලෝකයේ සාමය ස්ථාපිත කිරීම සඳහා ප්‍රථමයෙන් පුද්ගලයාගේ අභ්‍යන්තර ආධ්‍යාත්මික සාමය තහවුරු විය යුතු බව බුදු දහම පෙන්වා දෙයි. පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජය පෙළගැසීමට බුදු දහමින් පෙන්වා දෙන මෙම අභ්‍යන්තර සාමකාමී ප්‍රවේශය අන් කවරදාටත් වඩා අදට අදාළ වන බව අප පසක් කොටගත යුතුය. පසුගියදා මෙරට පාද යාත්‍රාවේ නිරත වු වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින්ද ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූයේ එම පණිවිඩය බව මම විශ්වාස කරමි.

එමෙන්ම, වෙසක් සැමරුම ආගමික උත්සවයක් මෙන්ම වසර දහස් ගණනක් පුරා ශ්‍රී ලාංකේය අනන්‍යතාව, සාමූහිකත්වය සහ කලාත්මක නිර්මාණශීලීත්වය විදහා දක්වන විශිෂ්ට සංස්කෘතික මංගල්‍යයක්ද වේ. වෙසක් සැමරුම හා සමගාමීව ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සංවිධානය කෙරෙන දාන, ශීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් මෙන්ම ආමිස පූජාවන්ට මුල් තැන දෙමින් සංවිධානය කෙරෙන දන්සැල්, බොදු බැති ගී, අලංකාරවත් පහන් කූඩු, දර්ශනීය තොරණ, සැරසිලි ආදිය බෞද්ධයන් පමණක් නොව සියලු ආගම් වලට අයත් ලාංකිකයන්ගේ එකමුතුවෙන් විචිත්‍රවත් වේ. ඒ අනුව සියලු ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, එකමුතුව සහ සහජීවනය වර්ධනය කෙරෙන වෙසක් සැමරුම සංහිඳියාවේ සංකේතයක් බවද අවිවාදිතය.

අවිහිංසාව, දයාව සහ සියලු සත්වයන් කෙරෙහි පවතින අප්‍රමාණ මෛත්‍රිය පෙරදැරි කරගත් සම්බුදු දහමේ හරයන් තවදුරටත් අප ජීවිතවලට එක් කර ගැනීමට සියලු දෙනාට ආරාධනා කරමින් සදහම් සිසිලෙන් සැම සිත් නිවී සැනසෙන අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා'යි ශුභාශිංසනය කරමි.

අනුර කුමාර දිසානායක

ජනාධිපති

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2026 මැයි 30 දින

සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින් ඊයේ (28) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය මෙන්ම රජයේ මුද්‍රණාලය ඇතුළු රජ්‍ය මාධ්‍ය ඇතුළත් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත‍මේන්තුව සඳහන් කරයි.

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇතිවූ පසු ආපදා තත්ත්වය සලකා සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් පහත උපලේඛනයේ සඳහන් සේවා අත්‍යවශ්‍ය සේවා බවට මෙම නියමයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

ජනාධිපතිවරයාගේ නියෝග පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් ඊයේ (28) රාත්‍රීයේදී මෙම අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එම අත්‍යවශ්‍ය සේවා මෙ‍ෙස්ය.

01. විදුලි බලය සැපයීම සම්බන්ධව සියලු සේවා.

02. ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම.

03. රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම හා පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා, වැඩ හෝ ශ්‍රමය.

04. මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා.

05. මංමාවත්, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය හා දුම්රිය මාර්ග ඇතුළුව, මංමාවත්, දුම්රිය මාර්ග හෝ ගුවන් මගීන් ගමනාගමන සේවා, සංචාරක සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යෑම.

06. ජලය සැපයීම සහ ජලාපවහනය සම්බන්ධ සියලු සේවා.

07. ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, ආරක්ෂා කිරීම හා බෙදාහැරීම සම්බන්ධ සියලු සේවා.

08. සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන්, ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ කේන්ද්‍රීය කණ්ඩායම් නිලධාරීන් ඇතුළු සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් විසින් ඉටු කළ යුතු වන්නා වූ හෝ ඉටු කිරීමට අවශ්‍ය වන්නා වූ කවර වුව ස්වභාවයේ සියලුම සේවා, වැඩ හෝ ශ්‍රම දායකත්වය.

09. ගිලන්රථ සේවා.

10. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු.

11. ජලය සැපයීම, විදුලි බලය, ජලාපවහනය සහ කසළ කානු ක්‍රමය, ගිනි නිවීමේ හා ගිලන් රථ සේවය, (අසූචි ගෙන යෑම හා බැහැර කිරීම ඇතුළුව) කසළ ශෝධනය සහ කුණු ඉවත් කිරීම සඳහා යම් පළාත් පාලන ආයතනයක් මඟින් කරගෙන යනු ලබන යම් කාර්යභාරයක් සහ පළාත් පාලන ආයතන මඟින් සිදු කරන සියලුම සේවා.

12. වාරිමාර්ග සම්බන්ධ සියලු සේවා.

13. දුරකතන, විදුලි සංදේශ හා මාධ්‍ය සම්බන්ධ සියලු සේවා.

14. පහත්බිම් ගොඩකිරීම හා සංවර්ධනය කිරීම සම්බන්ධ සියලුම සේවා.

15. කෘෂි සහ කෘෂි රක්ෂණ සේවා සම්බන්ධ සියලු සේවා.

 
 
 
 

 
ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන ඊදුල් අල්හා හජ් උත්සවය අදට යෙදී තිබේ. ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්රාහිම් නබිතුමන්ගේ භක්තිය සහ අසමසම පරිත්යාගය සංකේතවත් කරන හජ් සැමරුම සුවිශේෂ වන්නේ ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකෙන මක්කම වන්දනාව හේතුවෙනි.
වියවුලෙන් වියවුලට පත් ලොවක අන්යෝන්ය වශයෙන් මිනිසුන් තුළ පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳ පුළුල් ආදර්ශයද හජ් උත්සවයෙන් සැපයේ. ජාතිය සහ පුද්ගල තරාතිරම් නොතකා ලොව නන් දෙසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් එක්ව ආගමික වතාවත් ඉටු කරන මෙම අවස්ථාව සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ මහඟු ආදර්ශය ලෝකයට ගෙන යන බව මම විශ්වාස කරමි.
එමෙන්ම, මැද පෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝකයම මුහුණදී සිටින අසීරුතාව හමුවේ පවා මක්කම වන්දනාවේ යන ඉස්ලාම් බැතිමතුන් එක්ව සමරන්නේ ඊබ්රාහිම් නබිතුමාණන් සිය දිවිය තුළ සිදු කළ අසීමිත පරිත්යාගය සහ කැපකිරීමයි.
අප රජයේ අරමුණ වන්නේද ආත්මාර්ථකාමීත්වය වෙනුවට පරාර්ථකාමීත්වය රජයන සාමයෙන්, සමගියෙන් පිරි සහකම්පනයෙන් යුත් ජන සමාජයක් ගොඩනැගීමයි. එම ගමනේදී සාමය, සහෝදරත්වය සහ පරිත්යාගය සංකේතවත් කරන හජ් සැමරුමේ මගපෙන්වීම් තව තවත් අප ජීවිතවලට සමීප කර ගනිමු'යි මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.
ආධ්යාත්මික වටිනාකම්වලින් ශ්රී ලාංකික සමාජය තව තවත් පෝෂණය කොට සැමට ප්රතිලාභ හිමි වන සංවර්ධිත රටක් ගොඩනැගීමට සහෝදරත්වයෙන් පෙරට යාමට සියලු දෙනාට ආරාධනා කරමින් මෙරට සහ ලෝකවාසී මුස්ලිම් ප්රජාවට උතුම් ඊදුල් – අල්හා සැමරුමක් වේවා'යි ප්රාර්ථනා කරමි.
ඊද් මුබාරක් !
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය
2026 මැයි 28 දින

ශ්‍රී සම්බුද්ධ තෙමඟුල සිහි කරමින් 2026 රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හෙට (27) ආරම්භ වේ. රාජ්‍ය වෙසක් උත්සවයේ ප්‍රධාන උළෙල මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව මැයි 27 සිට ජුනි 02 දක්වා කාලය “වෙසක් සතිය” ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

වෙසක් සතිය තුළ දිවයින පුරා ආගමික, සමාජීය හා පරිසර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව මැයි 28 දා සෞඛ්‍ය වැඩසටහන්, 29 දා සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, 30 දා ශීල හා භාවනා පින්කම්, 31 දා භික්ෂු හා සිල්මාතා පුහුණු වැඩසටහන්, ජුනි 01 දා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සහ ජුනි 02 දා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමී පරිසර සංරක්ෂණ වැඩසටහන් පැවැත්වේ.

මෙවර වෙසක් සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කර ඇත. වෙසක් කලාප, තොරණ හා භක්ති ගී ප්‍රසංග පැවැත්වෙන ප්‍රදේශවල විශාල ජනකායක් එක්වනු ඇති බැවින් ආරක්ෂාව තර කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගි වී සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ජපානයේ නිපෝන් පදනමේ (The Nippon Foundation) පදනමේ සභාපති යෝහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා හමුවී විශේෂ ද්විපාර්ශ්වීය සාකච්ඡාවක නිරත විය. නිපෝන් පදනම විසින් අරමුදල් යොදවා මෙරට ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘති පිළිබඳවත්, රෝහල් සංවර්ධන ව්‍යාපෘති කෙරෙහිත් විශේෂ අවධානයක් යොමු කරමින් මේ සාකච්ඡාව සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආබාධිත ප්‍රජාවගේ සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා දායක වීම සහ මෙරට සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවක් වන ග්‍රාමීය දරිද්‍රතාවට පිළියම් යෙදීම අරමුණු කරගත් විශේෂ ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය සෞඛ්‍ය සමුළුවේ සභාපති, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කලාපයේ ප්‍රමුඛ රටවල ක්‍රියාත්මක ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික සෞඛ්‍ය සේවා සහ ක්‍රමවේද පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරමින් මේ සාකච්ඡාව පැවැත්වීම ද විශේෂත්වයකි.

නිපෝන් පදනම (The Nippon Foundation) යනු සමාජ සුබසාධනය, ගෝලීය සාගර සංරක්ෂණය සහ මානුෂීය ආධාර වෙනුවෙන් ක්‍රියාකරන ජපානයේ පිහිටි ලොව ප්‍රමුඛතම පෞද්ගලික පදනමකි. ලාදුරු රෝගය තුරන් කිරීම, ආබාධිත ප්‍රජාවට සහය වීම, ගෝලීය අධ්‍යාපන සහ කෘෂිකාර්මික ව්‍යාපෘති ආදී මානුෂීය සහ සමාජ සුබසාධන සේවා නිපෝන් පදනම විසින් ක්‍රියාවට නංවනු ලබයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිව සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම නිපෝන් පදනමේ නියෝජිතයන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
 
 
 

ඇතැම් සිවිල් සංවි­ධාන හා ඇතැම් ජන­මාධ්‍ය සංවි­ධා­න­ව­ලට මර්ද­න­කාරී ප්‍රචණ්ඩ රාජ්‍ය­ය­කින් තොරව පැවැ­ත්මක් නොමැති බවත් ඔවුන් ඉල්ලා සිටින්නේ එවැනි වූ ප්‍රච­ණ්ඩ­කාරී, ත්‍රාඩ, දුෂ්ට රාජ්‍ය­යක් වුවද ජාතික ජන­බ­ල­වේ­ගය ආණ්ඩුව යටතේ එවැනි වට­පි­ටා­වක් නිර්මා­ණය නොවන බව ජන­මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරි­ය­රත්න මෙනවිය පසුගිය (20) පාර්ලි­මේ­න්තුවේ දී ප්‍රකාශ කළාය.

අද වන­විට නිද­හස් හා සාම­කාමී වට­පි­ටා­වක් සහිත රටක් නිර්මා­ණය වී ඇති බවත්, ජන­මාධ්‍ය සමා­ජය හා තොර­තුරු කොමි­සම ආදිය වෙනු­වෙන් ආණ්ඩුව සිදු­ක­රන සියලු ක්‍රියා­වන් දැන දැනත් වැරදි මත­වාද සමා­ජ­ගත කිරී­මට ඇතැම් සංවි­ධාන උත්සාහ දරන බවත්, නියෝජ්‍ය ඇමැ­ති­ව­රිය සඳ­හන් කළාය.

නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරි­ය­රත්න මෙනවිය මේ බව සඳ­හන් කළේ පාර්ලි­මේ­න්තු­වේදී පසුගිය (20) දින­යේදී පැවැති විවා­දය අත­ර­තුර අද­හස් දක්ව­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රිය සඳ­හන් කළේ එක්තරා මාධ්‍ය සංවි­ධා­න­යක් විසින් තමන් සිදු­කළ ප්‍රකා­ශ­යක් විකෘති කර­මින් මාධ්‍ය නිවේ­ද­න­යක් නිකුත් කර තිබූ බවයි. මෙය අහ­ම්බ­යෙන් සිදු­වූ­වක් නොවන බව ද නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රිය සඳ­හන් කළාය.

බුද්ධ රශ්මි වෙසක් කලාපය පිළිබඳ අවසන් සාකච්ඡාව ඊයේ (20) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

එහිදී ප්‍රධාන වශයෙන් බුද්ධ රෂ්මි වෙසක් කළාපයේ සංවිධාන කටයුතු සහ වෙසක් කලාපය පැවැත්වෙන කාලය තුළ බලශක්ති භාවිතය පිළිබඳ සාකච්ඡා කෙරිණි.

ඉන්ධන හා විදුලිය භාවිත කිරීම සඳහා රජය මගින් පනවා තිබූ රෙගුලාසි වෙසක් උත්සවය වෙනුවෙන් ලිහිල් කිරීම පිළිබඳව මෙහිදී දැනුවත් කළ අතර වෙසක් කලාපයේ කටයුතු සාර්ථකව සංවිධානය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම උදෙසා පත්කළ කමිටුවල නිලධාරීන්ගේ තොරතුරු ලබා ගැනීම ද මෙහිදී සිදුවිය.

පවතින අර්බුධය හේතුවෙන් පෙර වසරවලට සාපේක්ෂව ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට මෙවර තීරණය කර ඇති අතර ඒ අනුව අවම ඉන්ධන හා විදුලි පිරිවැයක් සහිතව ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජාවෙන් සැදැහැවතුන්ගේ සිත්පහන් කරවන පරිදි වෙසක් අසිරියෙන් අලංකාර කිරීමට බුද්ධ රෂ්මි වෙසක් කලාපය තුළ කටයුතු කර තිබෙන බවත්, මෙවර වෙසක් කලාපය රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා පැවැත්වීමට කටයුතු කරන බවත් කොළඹ ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ පැවසූහ.

මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා බලශක්ති අමාත්‍යාංශය , ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වෙනි 2026 වර්ෂයට යෙදී ඇති රාජ්‍ය වෙසක් මහෝත්සවය මැයි 27 වනදා ජනපතිගේ ප්‍රධානත්වයෙන් මාතර තිහගොඩ මිදෙල්ලවෙල පුරාණ විහාරයේදී ඇරඹෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී රාජ්‍ය වෙසක් මහෝත්සවය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ජුනි 02 දක්වා සතියක කාලයක් මුලු මහත් මාතර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි අතිවිශාල වැඩසටහන් සම්භාරයක් සංවිධානය කර ඇතැයිද පැවසූ අමාත්‍යවරයා මෙවර වෙසක් රාජ්‍ය මහෝත්සවයේ තේමාව යහපත පිණිස වහ වහා පෙළගැසෙමු යන්න බවද අවධාරණය කළේය.

මෙවැනි පසුබිමක මෙය අපට අවශ්‍යම වන තේමාවක් බව පැවසූ අමාත්‍යවරයා වාර්ෂිකව අඛණ්ඩව රාජ්‍ය අනුග්‍රහය යටතේ  බුද්ධශාසන අමාත්‍යංශයේ මෙහෙයවීම හා ශාසනාරක්ෂක මණ්ඩලයේ සංවිධානය සහිතව මෙම රාජ්‍ය  වෙසක් මහෝත්සවය සිදුකෙරෙන බවද පෙන්වා දුන්නේය.

සම්බුදු තෙමඟුල පිණිස සිදුවන මෙම මහෝත්සවය තරම් වූ වෙනත් උත්සවයක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සදහා මෙවර මාතර දිස්ත්‍රික්කයේ විශාල වැඩසටහන් රැසක් සූදානම් කර ඇතැයිද ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය හිමිවන බවද පැවසුවේය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

info@media.gov.lk

secretary@media.gov.lk


facebook
twitter