ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ, පර්යේෂණ පුහුණු හා විදේශ සබඳතා අධ්යක්ෂ ඉන්දික ජයරත්න
ශ්‍රී ලාංකේය ගුවන්විදුලියේ සියවස් පූර්ණය පසුගියදා අභිමානවත් ලෙස සමරනු ලැබුවා. ගුවන්විදුලියේ සියවසක ගමන්මඟෙහි හමුවන තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වශයෙන් තැපැල් දෙපාර්තමේන්තුව යටතේ තිබූ ශ්‍රී ලංකා ගුවන්විදුලිය, සංස්ථාවක් බවට පත් වීම හඳුනාගත හැකිය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ, පර්යේෂණ පුහුණු හා විදේශ සබඳතා අධ්යක්ෂ ඉන්දික ජයරත්න සමඟ සිදු කළ සාකච්ඡාවකි.
දෙවරක් සමරන ගුවන්විදුලියේ සියවස් පූර්ණය ගැන ඔබගේ අදහස කුමක්ද ?
ගුවන්විදුලියට අවුරුදු 100ක් සම්පූර්ණ වී අවසන්. නමුත් ඒ පිළිබඳව යම් අදහස් පරස්පරතා තිබෙනවා. ශාස්ත්‍රීය විමර්ශකයන්ට අනුව පිළිගැනෙන්නේ ගුවන්විදුලිය 1924 ජුනි 27 වැනිදා ආරම්භ කළ බවයි. නමුත් බොහෝ ජනප්‍රිය මතය වන්නේ වර්ෂ 1925 දෙසැම්බර් 16 ගුවන්විදුලිය ආරම්භ කළා කියලා. නමුත් එම දිනයට අගතියක් නොවන පරිද්දෙන් කතා කළහොත්, ගුවන්විදුලිය ආරම්භය පිළිබඳව විසි වැනි සියවසේ ආරම්භයේ සිටම මේ කතිකාව ලංකා යටත්විජිතයේ තිබුණා. මෙය ලංකාවට අමතරව ඉන්දියාවත් සම්බන්ධ වෙච්ච කාරණාවක්. 1922 නොවැම්බර් 14 වැනි දින නිල වශයෙන් බ්‍රිතාන්‍ය ගුවන්විදුලි ආයතනය ආරම්භ කිරීමෙන් අනතුරුව, ආසියාවේ පළමුවැනි සහ ලංකාවේ ප්‍රථම ගුවන්විදුලි විකාශනය ලෙස ගුවන් ලංකා විදුලිය නිල වශයෙන් ආරම්භ වන්නේ 1924 ජුනි 27 වැනිදා. එය තහවුරු කරන ඓතිහාසික මූලාශ්‍ර සහ ද්විතීයික මූලාශ්‍ර තිබෙනවා. මූලික වශයෙන් අපට බැහැර කළ නොහැකි නිල ලේඛනය වන්නේ එවක තැපැල්පතිවරයාගේ පාලන වාර්තාවයි.
ගුවන්විදුලි යුග වර්ගීකරණය සඳහා පූරක භූමිකාව පදනම් කර ගැනීම සාධාරණීයකරණය කළ හැකිද?
ඔව්, ඇත්තෙන්ම ගුවන්විදුලිය කියන්නේ මානව සම්පත සහ තාක්ෂණය යන කාරණා ද්විත්වයේ සහසම්බන්ධයක්. බොහෝ දෙනා ගුවන්විදුලිය පිළිබඳව වර්ගීකරණයන් වෙත යොමු වීමේදී පදනම් කරගන්නේ තාක්ෂණික පැතිකඩ. මුල් කාලයේදී කෙටි තරංග, මධ්‍යම තරංග පද්ධතිවලින් විකාශන කටයුතු සිදුකර පසුව එෆ්. එම්. තරංගවලට එය පරිවර්තනය වෙලා තියෙනවා. වර්තමානය වන විට අන්තර්ජාල ගුවන්විදුලියත් පසුකරමින් පොඩ් කාස්ටින් දක්වා ගුවන්විදුලිය විකාශනය වෙලා තිබෙනවා. නමුත් ඒ සියල්ල එසේ සිදුවන්නේ එක් දෙයක් පදනම් කරගෙනයි. එනම් නිවේදක භූමිකාව කියන ස්වායත්ත විචල්‍ය පදනම් කරගෙන. තාක්ෂණය යනු පරායත්ත විචල්‍යයක් හෙවත් නිරන්තර වෙනස් වන සාධකයක්. නිවේදකයාගේ භූමිකාව සමාජ, ආර්ථික, දේශපාලන යන තත්ත්වයන් සැලකිල්ලට ගෙන අපට වර්ගීකරණය කරන්නට පුළුවන්.
01. පළමු යුගය – ප්රභූත්ව යුගය හෙවත් සම්භාවනීය යුගය
1924/1925 සිට 1966 දක්වා යුගය පළමුවැනි යුගය ලෙස හඳුනා ගන්න පුළුවන්. 1925 යන වර්ෂයට අගතියක් නොවන පරිද්දෙන් තමයි මා නිතරම 1924 සහ1925 යනුවෙන් සඳහන් කරන්නේ. පළමු යුගය නම් කරන්නේ ගුවන්විදුලියේ ප්රභූත්ව යුගය හෙවත් සම්භාවනීය යුගය යනුවෙන්.
එය ගුවන්විදුලිය තැපැල් දෙපාර්තමේන්තුව යටතේ සහ ගුවන්විදුලි දෙපාර්තමේන්තුව යටතේ පරිපාලනය වූ යුගයයි. ගුවන්විදුලිය 1924 දී ආරම්භ වන්නේ තැපැල් දෙපාර්තමේන්තුව යටතේ. කොළඹ CTO ගොඩනැඟිල්ලේ යම් පරිශ්රයක තමයි ගුවන්විදුලි පළමුවැනි සම්ප්‍රේෂණ කාර්යය සිදුවී තිබෙන්නේ. 1944න් පසුව තමයි වර්තමානයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තිබෙන පරිශ්‍රයේ ආරම්භව තිබෙන්නේ. මේ යුගය විශේෂයෙන්ම යටත්විජිත යුගයටත් පශ්චාත් යටත්විජිත යුගටත් අයත් වෙනවා. මේ යුගයේ ප්රභූන්ගේ පණිවිඩ දේශීය ජනතාවට ලබාදීමට ඔවුන්ට අවශ්‍ය වුණෙ සිංහල නිවේදකයෙක්. ඒ අනුව 1938 ජනවාරි 1 වැනිදා ඩී.එම්. කොළඹගේ මහතා ගුවන්විදුලියට සම්බන්ධ වෙනවා ප්‍රථම සිංහල නිවේදකයා ලෙස. ඒ අනුව මේ ප්රභූත්ව යුගයේදී පොදු මහජනතාවගේ අවශ්‍යතාවට වඩා නියෝජනය කළේ යටත්විජිත පාලකයන්ගේ සහ කොම්ප්රදෝරු ධනපති පන්තියේ අවශ්‍යතාවයි.
ගුවන්විදුලියේ පළමුවැනි නිවේදකයා, ඒ වගේම සම්භාව්‍ය යුගයේ පළමුවැනි සිංහල නිවේදකයා ඩී.එම්. කොළඹගේ මහත්මයා. ඉන් අනතුරුව 1924, 1966 අතර කාලයේදී, ලංකා ගුවන්විදුලියට සිංහල නිවේදකයන් බඳවා ගන්නවා. දෙවැනි සිංහල නිවේදකයා තේවිස් ගුරුගේ මහත්මයා. පළමුවැනි සිංහල නිවේදිකාව ප්‍රභා රණතුංග මහත්මිය. දෙවැනියට බඳවාගත් නිවේදිකාව නන්දා ජයමාන්න මහත්මිය. එච්. එම්. ගුණසේකර මහතා ආදි වශයෙන් මේ යුගයේ සිටි අය අපට හඳුනා ගන්න පුළුවන්.
02.දෙවැනි යුගය – ස්වර්ණමය යුගය හෙවත් මහජන සේවා සන්නිවේදන යුගය
මේ යුගය තමයි ගුවන්විදුලියේ ස්වර්ණමය යුගය ලෙස අපට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මහජන සේවා සන්නිවේදන යුගය ලෙසත් මේ යුගය හඳුන්වන්න පුළුවන්. 1967 සිට 1994 තෙක් මේ යුගය ගමන් කරනවා. මේ යුග සෘජුව නිශ්චිතව බෙදා වෙන් කළ නොහැකියි. ඊට හේතුව පෙර යුගය හා මේ යුගය අතර සම්බන්ධතාවක් පවතිනවා. 1966 දී හර්බට් හුළුගල්ල කොමිසම පත් කරනවා. එහි පළමු නිර්දේශය වන්නේ සාමාන්‍ය දෙපාර්තමේන්තු පරිපාලනයෙන් වෙනස්කොට කාර්යක්ෂම පරිපාලනයක් සඳහා ගුවන්විදුලිය සංස්ථාවක් බවට පත්කළ යුතුය යන නිර්දේශය. සාමාන්‍යයෙන් දෙපාර්තමේන්තුවකට වඩා සංස්ථාවක් කාර්යක්ෂමයි. ඒ අනුව 1965 ගුවන්විදුලිය සංස්ථාවක් බවට පත්වෙනවා.
ඒ 1966 අංක 37 දරන සංස්ථා පනතෙන්. ඒ දිනය 1967 ජනවාරි 05 වැනිදා. මේ කියන මහජන සේවා සන්නිවේදන යුගයේ විශේෂත්වය තමයි. එතෙක් ඉහළ සිට පහළට සිදු කෙරුණු සන්නිවේදනය වෙනුවට බිම් මට්ටමේ ජනතා අවශ්‍යතාව ඉහළට සන්නිවේදනය කිරීම. එය ජනමූල සන්නිවේදන ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන් . මෙය ශ්‍රී ලංකා ගුවන්විදුලි ඉතිහාසයේ පාලක කේන්ද්‍රීය සන්නිවේදනය ජනතා කේන්ද්‍රීය සන්නිවේදනයක් බවට පත්වූ අවස්ථාවක් ලෙස හැඳින්වුවහොත් නිවැරදියි. මේ කාලයේ ගුවන්විදුලි යන්ත්‍රයක් පොදුජනයාගේ සන්නිවේදන උපකරණයක් ලෙස හැම ගෙදරකම වගේ පාවිච්චි වෙනවා. ජනතාව විනෝදාස්වාද සහ දැනුම්වත් වීමට භාවිත කළ එකම සන්නිවේදන උපකරණය ගුවන්විදුලිය.
. ගුවන්විදුලියේ ඒකාකාරී භාවිතය ග්රාහකයාට ඇතිකරන බලපෑම පිළිබඳව සොයා බලන්න 1985 දී සරත් පෙරේරා කමිටුව පත් කරනවා. මේ කමිටුව ගුවන් විදුලියේ හැම අංශයකටම ගොස් ඔවුන් සමඟ කතාබහකොට වාර්තාව ඉදිරිපත් කරනවා. ඒ වාර්තාවේ නිර්දේශවල තියෙනවා පවතින සාම්ප්‍රදායික රටාවෙන් ග්රාහකයා පීඩාවට පත්වී තිබෙන බව. ගුවන්විදුලිය කරන්නේ මිනිස්සුන්ට තමන්ගේ අභිමතය පටවන එක කියලා. ඒ නිසා ඔවුන් ඉදිරිපත් කළා හැකිතාක් ඉක්මනින් ගුවන්විදුලිය මහජනතාවගේ වින්දනීය මාධ්‍යයක් බවට පත් කරන ලෙස. 1989 නොවැම්බර් 03 වැනිදා සිටි එෆ්. එම්. සේවය ආරම්භ වන්නේ. එය අපි මීළඟට කතා කරන ජනප්‍රිය ගුවන්විදුලි පුරක යුගයේ මූල බීජයලෙස හඳුන්වන්න පුළුවන්.
මේ යුගයේ නිවේදකයා ගුවන්විදුලිය පොදුජනයා අතරටම ගෙන ගියා.
මේ යුගයේදී බස නොමරා අලුත් දේ ආදේශ කරගෙන ජනතාවට ළෙන්ගතු ආකාරයෙන් ආමන්ත්‍රණය කළා. ස්වදේශීය සේවය යම්කිසි ඉහළ මට්ටමක රසඥතාවක් තිබෙන පිරිස් වෙත ආමන්ත්‍රණය කරන විට වෙෙළඳ සේවය සාමාන්‍ය ජනතාවට ආමන්ත්‍රණය කරන සේවාවක් බවට පත්වුණා. සමාජයේ සිදුවූ සමාජ ආර්ථික දේශපාලන වෙනස්කම් හේතුවෙන්, මුලදී ඉහළ පන්තියේ පණිවිඩ පහළ පන්තියට පැමිණියත්, ඉන් අනතුරුව, මිනිසුන් ඉල්ලන දේ ගුවන්විදුලියෙන් ලබා දෙන්නට පටන් ගත්තා. එය ඔස්සේ ග්‍රාමීය සේවය, පාසල් සේවය ආදිය ආරම්භ වූයේ බිම් මට්ටමේ ජනතාවට ඇහුම්කන් දීමේ ප්‍රතිඵලයක් වශයෙනි . මහජන සේවා යුගයේ අවසාන භාගයේ තමයි fm යුගයේ ආරම්භය සිද්ධ වෙන්නේ. 1993 දි Fm 99 සහ 1994 දී සිරස ගුවන්විදුලිය ආරම්භ වෙනවා. ලංකාවේ ජනප්‍රිය ගුවන්විදුලි යුගය තමයි මේ. ජාතික ගුවන්විදුලියේ ඒකාධිකාරය මේ සමඟ යටපත් වෙනවා. පෞද්ගලික නාළිකා ගුවන්විදුලි කර්මාන්තයට ප්රවේශවීමේ ප්‍රතිවිපාක පිළිබඳව ජාතික ගුවන්විදුලියට නිවැරදි පුරෝකථනයක් තිබ්බේ නෑ. එහි අහිතකර ප්‍රතිඵලය ගුවන්විදුලිය ආර්ථික අර්බුදයට ගමන් කිරීම. සිරස ගුවන් විදුලිය ජනප්‍රිය යුගයේ සිය ආධිපත්‍යය පැතිරුවා කියන එක තමයි නිවැරදි. ජනප්‍රිය යුගය ගුවන් විදුලි කර්මාන්තය උඩුයටිකුරු කළ අවධියයි. එය අවර ගණයේ ගුවන් විදුලි භාවිතය නිර්මාණය කළ බව කනගාටුවෙන් වුවත් කිව යුතුය. 1985 ගුවන්විදුලි වැඩසටහන් පිළිබඳ කරුණු සොයාබැලීමට පත්කළ සරත් පෙරේරා කමිටුව ශ්‍රාවක හිතකාමී ගුවන්විදුලියක් සඳහා වැදගත් යෝජනා ඉදිරිපත් කළා. නමුත් ඒ කමිටු වාර්තාවේ යෝජනා පිළිබඳව සාධාරණ අවධානයක් යොමුවුණේ නෑ. එහි අහිතකර ආදීනවලට පසුකාලීනව ගුවන්විදුලියට මුහුණ දෙන්න සිදුවුණු බව අපට පේනවා.
03.තෙවැනි යුගය – ජනප්‍රිය යුගය
ලාංකේය ගුවන් විදුලි සන්දර්භයේ ජනප්‍රිය යුගය නිර්මාණය වන අවධියේ ජාතික ගුවන්විදුලියේ අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත්වන්නේ වාමාංශික දේශපාලන දෘෂ්ටියක් සහිත ජනදාස පීරිස් මහත්මයා. ඔහු පසුව ගුවන්විදුලි සභාපති ධුරයටත් පත්වෙනවා. ඔහුගේ මනෝභාවය සකස් වෙලා තිබුණේ ජාතික ගුවන්විදුලි මාධ්‍ය භාවිතය අතිශය ලිහිල් විය යුතු බවයි. ගුවන්විදුලිය මිනිසුන්ගේ මනස සංසිඳුවන, මනස සැහැල්ලු කරන භාවිතයක් විය යුතුය යනුවෙන්. නමුත් මෙහිදී ස්වදේශීය සේවයේ කාලීන වැඩසටහන් පවතින ආණ්ඩුවේ න්‍යාය පත්‍රය අනුව සකස් වූ බව පැහැදිලිව නිරීක්ෂණය වෙනවා. ලංකා ගුවන්විදුලියේ (ස්වදේශීය ස්වයේ) වැඩි ගුවන් කාලයක් දේශපාලන අරමුණු සඳහා භාවිත කළ යුගය වෙන්නේත් මේ යුගයයි.
සුභාරතී වැනි වැඩසටහන් ඉතාම යහපත් පරමාර්ථයන්ගෙන් ආරම්භ කළත්, ඒවා පසුව දේශපාලන න්යායපත්රයට ආදේශ වන්නට පටන් ගත්තා. ගුවන්විදුලිය හා ශ්රාවකයා අතර තිබුණු භාරය (බොන්ඩ් එක) තමයි ගුවන්විදුලි බලපත්‍රය. ඒ භාරය අවසන් වෙන්නේ ගුවන්විදුලි බලපත්‍ර ක්‍රමය 2000 වර්ෂයේ අය වැය යෝජනාවලින් අහෝසි කිරීමත් සමඟ. මෙතැන් සිට ගුවන්විදුලිය වෙෙළඳපොළ අභිමුඛ කර්මාන්තයක් බවට පත්වෙනවා. තරගකරුවන් විශාල ප්‍රමාණයක් සමඟ තමයි ජාතික ගුවන්විදුලියට ක්‍රියාත්මක වන්නට සිදුවන්නේ.
මේ යුගයේදී තමයි අපිට හම්බවෙන්නේ රේටින්ග්ස් කියන වචනය. එය තමයි මෙම යුගයේදී මිනිසුන් අපිව කොයිතරම් නම් අහනවාද නැද්ද කියලා මනින ඒකකය වුණේ. මෙහිදී සියල්ල තීරණය කළේ ව්‍යාපාරිකයාගේ අවශ්‍යතාවටයි. ඒ නිසා මේ යුගයේ නිවේදකයා නිරන්තරයෙන්ම සන්තර්පණය කළේ වෙළෙන්දාගේ අවශ්‍යතාවටයි. ඒ නිසා මේ යුගයේ ග්රාහකයා යටපත් වී ඉස්මතු වූයේ ව්‍යාපාරික ප්රජාවයි. ව්‍යාපාරිකයාගේ අභිලාෂයට අනුව තමයි වැඩසටහන් නිෂ්පාදනය වුණේ.
තාක්ෂණික භාවිතය ගතික ස්වභාවයක් ගන්නවා. ඒ කියන්නේ ගුවන්විදුලි කර්මාන්තයේ තාක්ෂණය ඉක්මනින් ඉක්මනින් වෙනස්වන යුගය තමයි මේ
චන්දන තිලකරත්න, විපුල් ධර්මප්‍රිය ජයසේකර, කිංග්ස්ලි රත්නායක, මේ යුගයේ ජනප්‍රිය නිවේදකයන් වුණා. තව දෙයක් තමයි වැඩසටහන් ආකෘතිය යටපත්ව air time belt කියන සංකල්පය එන්නෙ මේ කාලයේදී. ගුවන් කාලය පිරවීමට වැඩි වශයෙන් ගීත ප්‍රචාරය කිරීම මෙහි දක්නට ලැබුණු තවත් දෙයක්. අන්තර්ගතයෙන් පෝෂණය වූ වැඩසටහන් මෙහි තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් කතාකරගෙන යනවා. ටෝක් ෂෝ එකක්. ඒ නිසා හරයාත්මක වශයෙන් වටිනාකම් අඩු වුණා. 1994 සිට 2015 දක්වා වූ දශකය අපිට මේ ජනප්‍රිය යුගය පෙන්වා දෙන්න පුළුවන් . මේ ජනප්‍රිය යුගය කියන ගර්භාශයේ ම තමයි ගුවන්විදුලි සන්නිවේදනයේ ඊළඟ කලලරූපී අවස්ථාව නිර්මාණය වෙන්නේ.
04. හතර වැනි යුගය – සමාජ මාධ්‍ය නිවේදක යුගය
මෙය විටෙක ජනප්‍රිය පූරක යුගයේ දිගුවක් ලෙස නම් කළ හැකිය. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ එෆ් එම් . තරංග මාලාවලින් නිවේදකයා ආමන්ත්‍රණය කළත් ශ්රාවකයා හෙවත් ග්රාහකයා එය ශ්‍රවණය කිරීම ගුවන්විදුලි යන්ත්‍රයකින් සිදුනොකරයි. මෙම අවධියේ ශ්රාවකත්වය සාම්ප්‍රදායික ශ්‍රාවක සමාජයක් නොවේ ඔහුගේ ශ්රාවකත්වය පවතින්නේ සමාජ මාධ්‍ය ආධාර කරගනිමිනි. එනම් ගුවන් විදුලිය ඔහු ශ්‍රවණය කරන්නේ අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය යෙදවුමක් මඟිනි. මේ යුගයේ නිවේදක කාර්යභාරයද තාක්ෂණික මෙවලම්හි සුසංයෝජනයක් ලෙස හඳුනාගැනීමට පුළුවන. සමකාලීන සමාජ මාධ්‍ය යුගයේ නිවේදකයා සිය ශ්රාවකත්ව සමාජය ආමන්ත්‍රණය කරන්නේ ද සිය ශ්රාවකයා අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය යෙදවුමක් ආධාරයෙන් ගුවන්විදුලිය ශ්‍රවණය කරන බවට උපකල්පනය කරමිනි. සමාජ මාධ්‍ය යුගයේ ගුවන්විදුලි ශ්රාවකත්වය ගුවන්විදුලි යන්ත්‍රයක් ආධාරයෙන් එය ශ්‍රවණය කරන සංස්කෘතික වටපිටාවෙන් වියුක්තව ඇත. සමකාලීන සමාජයේ බොහෝ නිවෙස්වල ගුවන්විදුලි යන්ත්‍රයක් නොමැති අතර ගෘහස්ථ වශයෙන් ගුවන්විදුලිය ශ්‍රවණය කරන ශ්‍රාවක සමාජය හීනවී තිබේ. ගුවන් විදුලි සම්ප්‍රේෂණ ක්‍රියාවලියට අනුව ගුවන් විදුලි සේවා එෆ්.එම් තරංගවලින් විකාශන කටයුතු සිදුකළ ද නූතන ශ්රාවකත්වය ඒ වෙතින් බෙහෙවින් දුරස්ථ වී තිබේ. සමකාලීන සමාජ මාධ්‍ය යුගයේ ගුවන්විදුලි මාධ්‍ය භාවිතය යනු හුදෙක් හඬ මාධ්‍යයක් පමණක් නොවේ. නූතන ගුවන්විදුලි මාධ්‍ය රූප මාධ්‍ය ගුවන් විදුලියක් හෙවත් විෂුවල් රේඩියෝවක් බවට පරිවර්තනය වී තිබේ . එයින් ගුවන්විදුලිය රූප මාධ්‍යයටම පරිවර්තනය වී ඇතැයි අදහස් නොකරයි.රූප මාධ්‍ය ගුවන්විදුලි මාධ්‍යයට සංකලනය වී ඇත්තේ ශ්රාවකයා ගුවන්විදුලිය ශ්‍රවණය කිරීමට පෙලඹුමක් ඇතිකිරීම වෙනුවෙනි .