සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත්, අස්වනු නෙළා අවසන් කර සොබාදහම සමඟ බැඳුණු වසන්ත උදාව සනිටුහන් කිරීමත් සංකේතවත් කරමින්, පුරාතනයේ සිට ශ්‍රී ලාංකේය ජනතාව මහත් අභිමානයෙන් සමරන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදා වී තිබේ.
අලුත් අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් පමණක් නොව, එය අපේ සංස්කෘතික හර පද්ධතීන් තුළ පවතින සෞභාග්‍යය, සමගිය, සහජීවනය සහ අන්‍යෝන්‍ය සබඳතාවල නව පුනරුදයකි.
පවුලේ සාමාජිකයින් සහ ඥාතීන් සමඟ එක්ව සුබ නැකතට වැඩ අල්ලමින් මෙම අලුත් අවුරුද්ද සමරන සියලුම ශ්‍රී ලාංකේය ජනතාවට සාමය, සතුට සපිරි සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවායි මම පළමුව ප්‍රාර්ථනා කරමි.
අප අලුත් අවුරුද්දේ දකින සුවිශේෂීත්වය හා අපගේ අනන්‍යතාවය වන්නේ එකම නැකතකට චාරිත්‍ර සමූහයක් හරහා මුළු රටක් එකම රිද්මයකට පෙළගැසීමයි. විවිධ කාර්යබහුලත්වයන් සහ අභියෝග හමුවේ වුවද, පවුලක් ලෙස සහ රටක් ලෙස නව බලාපොරොත්තු ඇතිව ඉදිරියට යාමට මෙම කාලය අපට වටිනා අවස්ථාවක් ලබා දෙයි.
අලුත් අවුරුද්දේ සැබෑ ආශිර්වාදය වන්නේ සිත් තුළ පවතින වාදභේද සහ අමනාපකම් දුරු කොට, සහෝදරත්වයෙන් සහ සුහදත්වයෙන් යුතුව අලුත් ආරම්භයක් ලබා ගැනීමයි. විශේෂයෙන්ම වර්තමාන ගෝලීය අර්බුද හමුවේ වුවද, පසුගිය කාලසීමාවන්හිදී අප ජාතියක් ලෙස විවිධ ස්වභාවික සහ ආර්ථික අභියෝගයන්ට අභීතව මුහුණ දුන් ආකාරය ලෝකයටම ආදර්ශයකි. එම සාමූහික ශක්තිය ඉදිරියටත් පවත්වා ගැනීම අපගේ වගකීමකි.
මෙම සුබ මොහොතේදී, විදෙස්ගතව සේවය කරමින් සිය පවුලේත්, රටේත් අනාගතය වෙනුවෙන් කැපවන ලාංකේය සහෝදර සහෝදරියන් සියලු දෙනාම මම ගෞරවයෙන් සිහිපත් කරමි. විශේෂයෙන්ම මැදපෙරදිග ඇතුළු ලොව පුරා විසිරී සිටින ඔබ සැමට ආරක්ෂාකාරී සහ සුවදායක හෙට දවසක් ප්‍රාර්ථනා කරමි.
පැමිණෙන සියලු බාධක ජයගෙන, වඩාත් යහපත් වූත් සෞභාග්‍යමත් වූත් දේශයක් ගොඩනැගීමට අපි සැවොම අලුත් සිතිවිලිවලින් යුතුව අදිටන් කරගනිමු. දැවැන්ත සමාජ සහ දේශපාලනික පරිවර්තනයක කොටස්කරුවන් ලෙස, සැබෑ සතුට සහ සැනසිල්ල උදාවන අනාගතයක් වෙනුවෙන් අපි නොනැවතී කැපවෙමු.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමරන ඔබ සැමට වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!
ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරටේ තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්රයේ සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා වූ විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී.
මෙම අත්සන් තැබීම සිදුවූයේ දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වියට්නාම් ජනාධිපති ටෝ ලාම් (To Lam) මැතිතුමා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව, දෙරට අතර අත්සන් තැබුණු සහයෝගීතා ගිවිසුම් 05ක කොටසක් වශයෙනි.
ගිවිසුමට අත්සන් තැබීම
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ වියට්නාමයේ සංස්කෘතික, ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශය අතර ඇති කරගත් මෙම ගිවිසුම සඳහා:
-
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ද,
-
වියට්නාමය වෙනුවෙන් එරට සංස්කෘතික, ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය හෝ අන් ෆොන්ග් (Ho An Phong) මහතා ද අත්සන් තැබූහ.
ක්ෂේත්රයේ වර්ධනයට නව ප්‍රවේශයක්
මෙම අවබෝධතා ගිවිසුම හරහා දෙරට අතර තොරතුරු හුවමාරුව, සන්නිවේදන තාක්ෂණයන් බෙදාහදා ගැනීම සහ මාධ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයින් අතර සහයෝගීතාව වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම නවීන සන්නිවේදන උපායමාර්ග සහ සංස්කෘතික ප්රවර්ධනයන් සඳහා ජනමාධ්‍ය භාවිත කරන ආකාරය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙහිදී අවධානය යොමු වී ඇත.
මෙම අවස්ථාවට දෙරටේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සහභාගී වූහ. මෙම නව සබඳතාව හරහා ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්රයට නව අවස්ථා රැසක් උදාවනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.












