(ඩී.ආර්.විජයවර්ධන මහතාගේ 139 වැනි ජන්ම දින පින්කම මේ මස 24 -25 දිනවලට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි)

අපේ රටට වරින් වර පහළ වූ යුග පුරුෂයන් අතර ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ට හිමිවනුයේ ප්‍රමුඛස්ථානයකි.නිදහස් සටනට පුවත්පතෙන් දායකත්වය සැපයූ එතුමා කොළඹ මන්දිර අතර අභිමානවත් පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ලේක්හවුස් මන්දිරයේ නිර්මාතෘවරයායි.

1886 වර්ෂයේ පෙබරවාරි මස 23 වැනි දින සේදවත්ත වලව්වේ දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම්ට ‍හා දෝන හෙලේනා විජයවර්ධන දම්පතීන්ට දාව උපත ලැබූ දොන් රිචඩ් විජයවර්ධන ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අධි නීතිඥයකු වීමේ බලාපොරොත්තුවෙන් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව අධිනීතිඥ විභාගය සමත්ව යළි මව්බිමට පැමිණ එංගලන්තයේදී ලත් දැනුම, අත්දැකීම් මත පුවත්පත් කලාවට අවතීර්ණ විය. තම යටිසිතේ තැන්පත්ව තිබූ පුවත්පත් කලාව යථාර්ථයක් කිරීමට පුවත්පත් මුද්‍රණය සම්බන්ධයෙන් කටයුතු කිරීම අරඹයා මෙතුමා විසින් 1909 දී එච්.එස්.පෙරේරා මහතා ආරම්භ කළ “දිනමිණ” පුවත්පත, පෙරේරා මහතාගේ ඇවෑමෙන් 1914 දී මිලට ගෙන මුද්‍රණය කිරීම ආරම්භ කෙරිණි.

එවකට පුවත්පත් කාර්යාලය කොළඹ බේල් වීදියේ පුංචි ගොඩනැඟිල්ලක තිබූ අතර දිනමිණ පුවත්පතට අමතරව ඉංග්‍රීසි බසින් ජාතික හැඟුමන්, නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අරමුණින් 1918 වර්ෂයේදී ඩේලි නිව්ස් පුවත්පත ආරම්භ කරන ලදි.

පත්‍ර කර්මාන්තය ශීඝ්‍ර ලෙස දියුණුවෙත්ම ඉඩකඩ ඇති නව ගොඩනැඟිල්ලක අවශ්‍යතාව මතු වූ බැවින් එංගලන්තයේදී තම මිත්‍රයකුව සිටි ආබර් කොම්බි නම් අතිවිශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියා ලවා තේජාන්විතභාවය,අභිමානවත් සිංහල දේශීය කැටයම් ශිල්පයට අනුව යමින් මහනුවර ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් ඔප්නැංවෙන ආකාරයෙන් මල්වැල්, ලියැවල් මෙන්ම ලේක්හවුස් මන්දිරයේ කුලුනු පවා නිර්මාණය කිරීමට උපදෙස් ලබා දෙමින් 1919 වර්ෂයේදී බේරේ වැව ආශ්‍රිතව පර්චස් 287ක භූමිභාගයේ ලේක්හවුස් මන්දිරය ගොඩනැඟීය.

ලේක්හවුස් මන්දිරයේ පත්‍ර මුද්‍රණය ආරම්භ කිරීමත් සමඟම ළමයින් අතර පුවත්පත් කියවීමේ රුචිය වැඩි කිරීමේ අදහසින්, ප්‍රධාන පත්‍රවල ළමා විශේෂාංග වැඩි කළේය.සිළුමිණ පත්‍රයේ කමලක්කාගේ ළමා සමාජයත්, දිනමිණ පත්‍රයේ සෙනසුරාදා ළමා උයනත් ළමයින් අතර ඉතා ජනප්‍රිය විශේෂාංග විය.

රටේ ජනතාවගේ කියවීමේ රුචිය,දේශපාලන උනන්දුව,ශාස්ත්‍රීය දැනුම වර්ධනය කිරීමට මෙතුමාගෙන් තරම් සේවයක් වෙනත් කිසිවකුගෙන් සිදු වී යැයි කිව නොහැකිය.ආගමික අංශයෙන් ද එතුමා කළ සේවය සුළුපටු නොවේ. හරවත් බෞද්ධ ලිපිවලින් අංග සම්පූර්ණ වූ වාර්ෂික දිනමිණ වෙසක් කලාපය විහාරස්ථානවලට දහම් පාසල්වලට මෙන්ම පුස්තකාලවලටත් ප්‍රයෝජනවත් ධර්ම පුස්තකයක් විය.

කැලණිය රජමහා විහාරස්ථානයේ ප්‍රධාන දායක පවුලක් වූ විජයවර්ධන පවුලේ බෞද්ධාගමට ඇති ලැදියාව මොනවට කියාපාමින් එම විහාරස්ථානයට පමණක් සීමා නොවී බම්බලපිටිය වජිරාරාමය, කොළඹ හුණුපිටිය ගංගාරාමයේත් සේදවත්ත වෙහෙරගොඩැල්ලේ විහාරස්ථානවල භක්තිමත් දායකයන් ලෙස ක්‍රියා කළ අතර අප කථානායකයාණෝ ඉතාමත් කුළුපගව ආශ්‍රය කළ පැවිදි උතුමන් අතර පැලෑනේ වජිරඥාන නායක හිමියන් හැඳින්විය හැකිය.

තම උපන් මව්බිමට කළ හැකි සෑම සේවයක්ම කිරීමේ හදවතේ ගැඹුරුම තැනින් මතුවන දේශහිතෛෂභාවය,දේශානුරාගය මත ඇතිවන සිතුවිලි ක්‍රියාවට නැංවීමේලා සමත් වූ විජයවර්ධන වර්තමානය පේරාදෙණිය විශ්වවිද්‍යාලය එම භූමිභාගයේ නිර්මාණය කළයුතු බව එකහෙළාම ප්‍රකාශ කළ පුද්ගලයා විය.ඒ අනුව යමින් පේරාදෙණිය සරසවිය ගොඩනැංවීමේදී උඩරට කලා නිර්මාණ සම්ප්‍රදාය අනුරූපීව ගොඩනැංවීමට ඔහුගේ අදහස් මහෝපකාරී විය. විශ්වවිද්‍යාල තුළ සංඝාරාමය පිහිටුවා භික්ෂුන් වහන්සේලාට උසස් අධ්‍යාපනය ලැබීමට ඉඩ සැලැස්වීමේ පුරෝගාමියා වූයේ ද අප කථානායකයන්ය.

සමාජයට හා රටේ සංස්කෘතියට නව ජීවයක් එක්කර නව ආකාරයට සිතන සමාජයක් ගොඩනැංවීමට පුරෝගාමී වූ දුර්ලභ ගණයේ යුග පුරුෂයකු වූ ඩී.ආර් විජයවර්ධන ශ්‍රීමතාණන් සිංහල භාෂාවට, දේශයේ නිදහසට හා රටට ආර්ථිකමය වශයෙන් යුග මෙහෙවරක නියැළෙමින් සිටියදී වසර 64ක ආයු කාලය නිම කරමින් ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාණෝ 1950 වර්ෂයේ ජූනි මස 17 වැනි දින ලක්මෑණියන්ගෙන් සමුගන්නට යෙදුණි.

එතුමන්ගේ අභාවයෙන් පසු ලේක්හවුස් මන්දිරය ඉදිරිපසින් තිබූ මැකලම් පාර,ජාතික වීරවරයන් සමරන ලද 1965 වර්ෂයේ නොවැම්බර් 26 වැනි දින එවකට කොළඹ පුරපතිව සිටි ඇම්. වින්සන්ට් පෙරේරා මහතා විසින් ඩී.ආර්.විජයවර්ධන මාවත ලෙස නම් කිරීමට තීරණය කරන ලදි.

එදා මෙදාතුර දහස් සංඛ්‍යාත සේවක පිරිසකට තම මහගෙදර වූ පත්තර මහගෙදර වූ ලේක්හවුස් මන්දිරය තුළට සේවය සඳහා පැමිණෙන සෑම අයෙක්ම ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ පිළිරුවට වැඳ නමස්කාර කර පැමිණීම සුලබ දසුනක් වන අතර ලේක්හවුස් බෞද්ධ සංගමය,පාලනාධිකාරිය හා සියලු සේවක මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් සෑම මසකම මහසඟරුවන වැඩමවා ධර්ම දේශනයක් පවත්වා එතුමාට පින් අනුමෝදන් කිරීම මෙන්ම මාසයේ පළමු දින කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයට දෙපාර්තමේන්තු මට්ටමින් දහවල් දානය පිරිනැමීම සිදු කරනු ලබන අතර, වාර්ෂික ලේ දන්දීමේ පින්කම් ඇතුළු බොහෝ පින්කම් බෞද්ධ සංගමය සංවිධාන කර පින් පැමිණවීම කරන අතර සෑම වර්ෂයකම මෙන් මෙවර ද එතුමාගේ 139 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මේ මස 24 වැනි දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත්වා පසුදින දහවල් 25 නමක් විෂයයෙහි සඝසතු දානමය පින්කම පැවැත්වීමට ලේක්හවුස් බෞද්ධ සංගමය පාලනාධිකාරියේ උපදෙස් මත කටයුතු සංවිධාන කර ඇත.

නිලන්ත ගුණසේකර
ලේක්හවුස් බෞද්ධ
සංගමයේ ලේකම්