අමාත්‍ය මණ්ඩල තීරණ 2026.01.19






අමාත්‍ය මණ්ඩල තීරණ 2026.01.19






ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2025 වසරේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී, මුදල් නෝට්ටු රහිත ආර්ථික කටයුතු (Cashless Economy) ප්‍රවර්ධන වැඩසටහන්වල සැලසුම් සහ ප්‍රගතිය පිළිබඳ විශේෂ අවධානය යොමු විය.
ඒ අනුව, රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය, QR ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම, ක්ලවුඩ් (Cloud) යටිතල පහසුකම් මධ්‍යස්ථානය පිහිටු වීම, අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් (BroadBand) පහසුකම ලබා දීම සඳහා වූ ජාතික වැඩසටහන, Single window (තනි කවුළු) පහසුකම් ලබා දීම, ඩිජිටල් හැඳුනුම්පත ලබා දීමේ ව්‍යාපෘතිය සහ දඩ මුදල් ගෙවීම ඩිජිටල්කරණය (Traffic Spot Fine) සඳහා වූ ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු රහිත ආර්ථිකයක් ප්‍රවර්ධනය වෙනුවෙන් රජය සැලසුම් කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ග්‍රාමීය ජනතාවගේ ආර්ථික කටයුතු බොහෝමයක් අවිධිමත් ක්ෂේත්‍ර ලෙස පවතින අතර එම කටයුතු විධිමත්ව ලේඛනගත කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරි ආර්ථික සහ සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී එය අත්‍යවශ්‍ය බවද අවධාරණය කළේය.
එමෙන්ම, ශ්‍රී ලංකා සර්ට් (CERT) ආයතනය, දත්ත ආරක්ෂණ අධිකාරිය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) ඇතුළු ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ක්‍රියාකාරිත්වය, ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්ද මෙහිදී විමසා බැලිණි.
රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ආරම්භ කෙරුණු GovTech ආයතනයේ වත්මන් තත්ත්වය සහ නව බඳවා ගැනීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජයසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ඒ යටතේ ඇති ආයතනවල ප්‍රධානීහුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේ ඊයේ (15) පැවති උතුරු පළාත් තෛපොංගල් උත්සවයට සහභාගිවූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංස්කෘතිකාංගයක නිරතවූ දැරියන් සහ ඔවුන්ගේ ගුරුවරුන් සමඟ සුහද කතාබහක නිරතවූ අයුරු.
ශ්‍රමයේ අභිමානය සහ සොබාදහමෙන් ලද රැකවරණයට කෘතඥතාව පළ කරන උදාර සංස්කෘතික සම්ප්රදායක් සනිටුහන් කරමින්, ලෝකවාසී හින්දු ජනතාව සමරනු ලබන තෛපොංගල් උත්සවයේ ජාතික සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් අද (ජනවාරි 15) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය කාර්යාලය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙම සැමරුම සංවිධානය කර තිබුණි.
මෙහිදී තෛපොංගල් චාරිත්‍ර වාරිත්‍ර අග්‍රාමාත්‍යවරිය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ මූලිකත්වයෙන් ඉටු කෙරුණු අතර, හින්දු සංස්කෘතිය හා සම්ප්රදාය විදහා දක්වන විචිත්‍රවත් සංස්කෘතික අංග රැසකින් උත්සවය සමන්විත විය.
ජනාධිපතිවරයාගේ තෛපොංගල් සුබපැතුම් පණිවුඩය ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙසේ පැවසීය:
"මෙම අවස්ථාව හින්දු ජනතාවගේ ඉතා වැදගත් ආගමික උත්සවයක්. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු අංශ රැසක දායකත්වයෙන් සංවිධානය වූ මෙම ඓතිහාසික තෛපොංගල් සැමරුම අප සැමට මහත් සතුටක්. විශිෂ්ට ලාංකේය අනන්‍යතාව විදහා දක්වන මෙම මොහොතේ, ශ්‍රී ලංකාව ගොඩනැගීමේ ප්‍රාර්ථනය පෙරදැරිව සිටින සමස්ත ශ්‍රී ලාංකිකයන්ට සහ ලෝකවාසීන්ට මෙම තෛපොංගල් දිනයේ ආශිර්වාදය ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා."
සැමරුම් උළෙල අමතමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, මෙවර තෛපොංගල් දිනයේදී සමගිය, අන්‍යෝන්‍ය ගෞරවය සහ සෑම ප්රජාවකගේම සංස්කෘතික හා ආගමික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මත පදනම් වූ ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කිරීමට සියලු ශ්‍රී ලාංකිකයන්ට ඇරයුම් කරන බවයි.
තෛපොංගල් සැමරුමේ මූලික හරය වන උත්සාහය, ඉවසීම සහ පරිසරයට ගරු කිරීම වැනි ගුණාංග පෙරදැරිව රටක් ලෙස ඉදිරියට යාමේ වැදගත්කම ද ඇය අවධාරණය කළාය.
රට නව යුගයක් වෙත ගමන් කරමින් සිටින මේ මොහොතේ, රජයක් ලෙස ප්‍රතිපත්තිමය හා ආකල්පමය ප්‍රතිසංස්කරණ මඟින් රට යථා තත්ත්වයට පත් කිරීමේ වගකීම භාරගෙන ඇති බවත්, එය අභියෝගාත්මක වුව ද අත්‍යවශ්‍ය කාර්යයක් බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
"තෛපොංගල් දිනය තුළින් සාමූහිකත්වයේ වැදගත්කම, සොබාදහම සමඟ ඇති බැඳීම සහ එදිනෙදා කටයුතුවලදී කෘතඥපූර්වක වීමේ අගය අපට සිහිපත් කර දෙනවා. අද දින මෙම ජාතික උත්සවය මෙලෙස සැමරීමට ලැබීම පිළිබඳව මා සතුටු වන අතර, මෙයට සහභාගී වූ ඔබ සැමටත් සමස්ත හින්දු ජනතාවටත් සුබ තෛපොංගල් දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා."
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය සහ හින්දු ආගමික පූජකවරුන් ඇතුළු සර්වාගමික නායකයින් ද, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, සම්භාවනීය ආරාධිත අමුත්තන්, හින්දු බැතිමතුන් සහ පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සහ උද්යෝගයෙන් සමරන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.’
සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට සහාය වූ හිරු දෙවියන්ටත්, ගව මහේෂාධී සත්වයන්ටත්, සොබාදහමටත් කෘතවේදීත්වය පිරිනැමීම තෛපොංගල් උත්සවයේදී සිදු කෙරේ.
සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් ආරම්භ කිරීමටද ආරාධනා කෙරෙන අවස්ථාවකි.
මෑතකාලීනව මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්‍යසනයෙන් අනතුරුව, ජාතියක් ලෙස යළි ගොඩනැඟීමේ අපේක්ෂා දල්වාගෙන, මහත් පරිශ්‍රමයකින් සහ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්රයත්නයට අපි එක්ව උර දී සිටින්නෙමු. එකී වැඩපිළිවෙළ සමග තව තවත් ශක්තිමත්ව ඇත්වැල් බැඳ ගැනීමට පෙරට එන ලෙස සශ්‍රීකත්වයේ අපේක්ෂා පෙරදැරි කරගත් මෙම තෛපොංගල් දිනයේදී මම සියලු දෙනාගෙන් යළි ඉල්ලා සිටිමි.
එසේම, සොබාදහමට වඩාත් සමීප වීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව දැනෙමින් තිබෙන මේ මොහොතේ, සොබාදහම සමඟ ගැඹුරින් බැඳුණු තෛපොංගල් උත්සවය අපගේ ජීවිතවලටත්, සමාජයටත් මහඟු අරුතක් එක් කරන බව මෙහිලා සිහිපත් කිරීමට කැමැත්තෙමි.
ඕනෑම අන්ධකාරයකට පසුව ආලෝකයක් ඇති බව අප දැඩිව විශ්වාස කරමු. තිර අදිටනින් සහ එකමුතුව අභියෝග ජය ගනිමින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීමට යන ගමනට මෙවර තෛපොංගල් සැමරුම මහඟු ආශිර්වාදයක් වේවා’යි ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන සියලු දෙමළ ජනතාවට සෞභාග්‍යවත් සුබ තෛපොංගල් සැමරුමකට ශුභාශිංසන එක් කරමි.
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 ජනවාරි 15 දින
අමාත්‍ය මණ්ඩල තීරණ 2026.01.12











ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඊයේ (13) පෙරවරුවේ පැවැති ‘Rebuilding Sri Lanka’ සමාරම්භක උත්සවයේදී චන්ද්‍රා කුසුමාවතී එවරිට්, ජී.රසංග ප්රගීන් ප්‍රනාන්දු, පී.නිමේෂා මධුමාදලී සිරිවර්ධන සහ ඩී.එම් සමන්ත සරත් ආනන්ද යන මහත්ම මහත්මීන් විසින් ඉඩම් පරිත්‍යාග සිදු කරනු ලැබීය.
ඒ අනුව
• සැවැන්දන, වදාකඩ පදිංචි චන්ද්‍රා කුසුමාවතී එවරිට් මහත්මිය විසින් කුරුණෑගල අලව්ව ප්‍රදේශයෙන් අක්කර 02 පර්. 29.5ක්ද
• වෑකඩ, පානදුර පදිංචි ජී.රසංග ප්රගීන් ප්‍රනාන්දු මහතා විසින් කළුතර, බණ්ඩාරගම ප්‍රදේශයෙන් පර්චස් 70ක් ද
• වැවගෙදර, කුරුණෑගල පදිංචි පී.නිමේෂා මධුමාදලී සිරිවර්ධන මහත්මිය වීසින් කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයෙන් පර්චස් 64ක්ද,
• ඕවත්ත, හිඟුල පදිංචි ඩී.එම් සමන්ත සරත් ආනන්ද මහතා විසින් කුරුණෑගල මාස්පොත ප්‍රදේශයෙන් පර්චස් 15ක්ද වශයෙන් පරිත්‍යාග කරන ලදී.
මහා භාණ්ඩාගාරය 2025 වසරට තැපැල් දෙපාර්තමේන්තුවට ලබා දුන් ආදායම් ඉලක්ක ඉක්මවා යමින් එම වසරේදී රුපියල් මිලියන 13,100ක ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ.
මෙය තැපැල් සේවාව ලැබූ සුවිශේෂි ජයග්‍රහණයක් බවත්, පසුගිය වසරේදී දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ගත් පියවර රැසක ප්‍රතිඵලයක් ලෙස මේ ජයග්‍රහණය හිමි වූ බවත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.
පසුගිය වසරේදී තැපැල් සේවාවේ යටිතල පහසුකම් සහ මානව සම්පත සංවර්ධනය සඳහා රජය සුවිශේෂි මැදිහත්වීමක් සිදු කළ බවත්, ඒ යටතේ විවිධ වෘත්තීන් සඳහා නව බඳවා ගැනීම් ස්ථිර කිරීම, නව තැපැල් කාර්යාලය ස්ථාපිත කිරීම, නව ගොඩනැගිලි ඉදිකිරිම මෙන්ම මහජන සේවාව වඩාත් සමීප කිරීම සඳහා විවිධ සැලසුම් සකස් කිරීම ප්‍රධාන වන බවත් හෙතෙම කීවේය.
2025 ජුනි මාසයේදී ශ්‍රී ලංකා තැපැල් සේවාවේ උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378ක් සඳහා ස්ථීර පත්වීම් දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර, එම ස්ථීර කිරීම 2020 වර්ෂයෙන් පසුව සිදු වූ පළමු උප තැපැල් ස්ථානාධිපතිවරුන් ස්ථීර කිරීම යැයි ද ඒ මහතා කීවේය.
2022 වර්ෂයෙන් පසු තැපැල් සහායකවරුන් 1000කගේ පත්වීම් ස්ථීර කිරීමට පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මස කටයුතු කළ බවත්, තැපැල් සේවා නිලධාරීන් 600ක් විවෘත පදනම යටතේ බඳවා ගැනීමට කටයුතු කෙරෙන බවත් පැවසුවේය. එම බඳවා ගැනීම් මේ වර්ෂයේ පෙබරවාරි මාසයේ දී සිදු කිරීමට නියමිතයි.
ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ III වැනි ශ්‍රේණියේ තැපැල් රියැදුරු (විවෘත) තනතුරු 40ක් සම්පූර්ණ කිරීමට පසුගිය වර්ෂයේ නොවැම්බර් මාසයේ දී පත්වීම් පිරිනැමිණි. එම පත්වීම් දීම 2018 වර්ෂයෙන් පසුව සිදු කෙරුණු අතර, 2021 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට ස්ථිර තැපැල් සහායක බඳවා ගැනීම් සිදු කර නොතිබිණි. අදාළ පුරප්පාඩු සංඛ්‍යාවෙන් 1000ක් බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කළ ඉල්ලීමට ඇමැති මණ්ඩල අනුමැතිය දී තිබෙන බවත් තැපැල්පතිවරයා කීවේය. තැපැල් දෙපාර්තුමේන්තුවේ ආදේශක සේවකයන් ලෙස ලියාපදිංචි වී සිටි නිසි සුදුසුකම් සම්පූර්ණ කළ පිරිස අතරින් 731 දෙනකු පසුගිය වර්ෂයේ බඳවා ගැනීමට ද කටයුතු කර ඇත. විධිමත් කාර්යක්ෂම තැපැල් සේවාවක් ජනතාවට දීමේ අරමුණින් පසුගිය වර්ෂයේ දී දෙපාර්තමේන්තුවට පරිගණක යන්ත්‍ර 225ක්, උප තැපැල් ස්ථානාධිපතිවරුන් සඳහා ටැබ් පරිගණක 1500ක්, මුද්‍රණ යන්ත්‍ර 500ක්, ලේසර් මුද්‍රණ යන්ත්‍ර 32ක් මිලදී ගෙන ඇත.
ශ්‍රී ලංකා තැපැල් සේවාව කාර්යක්ෂමව නව මානයකට රැගෙන යෑමේ අරමුණින් ප්‍රවාහන පහසුකම් සංවර්ධනය කිරීමට ද පසුගිය වර්ෂයේ කටයුතු කර ඇති අතර, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට විශාල ප්‍රමාණයේ නව ලොරි රථ 10ක්, නව කෘෘ කැබ් රථ 20ක් තැපැල් ප්‍රවාහනය සඳහා යොදාගැනීමට නියමිතයි. QSF අරමුදල යටතේ දුන් $ 500,000 මුදල උපයෝගී කරගෙන විදත් කාගෝ ත්‍රීරෝද රථ 20ක් සහ විදත් යතුරුපැදි 165ක් මිලදී ගැනීමට ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර තිබෙන බවත් හෙතෙම කීවේය.
USPS ප්‍රදානයක් ලෙස ඩොලර් 100,000 මුදලක් ලැබී තිබෙනවා. එම මුදලින් විදත් කාගෝ ත්‍රීරෝද රථ 15ක් මිලදී ගැනීමට නියමිතයි. රජය විසින් මිලදී ගැනීමට නියමිත කැබ් රථවලින් 21ක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට දීමට නියමිතයි. 2018 වර්ෂයෙන් පසු තම දෙපාර්තමේන්තුවට වාහන මිලදී ගැනීමක් සිදු කර නැතැයි ද හෙතෙම කීවේය.
තැපැල් සේවාව නවීකරණය කරමින් ඉදිරි වසර තුළ තවදුරටත් මහජනතාවට ගුණාත්මක සේවාවක් සැපයීම සිය අරමුණ බව රුවන් සත්කුමාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පෙර පාසල් අධ්‍යාපනය එක රාමුවකට අනුව පවත්වාගෙන යාමටත්, පෙර පාසල් අධ්‍යාපනය එක් විෂය මාලාවකට අනුගත කිරීමටත්, ගුරු පුහුණුව ක්රමාණුකූලව පවත්වා ගැනීමට හා ගුණාත්මකභාවය තහවුරු කිරීමටත් රජය විසින් කටයුතු ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය UNICEF ආයතනය සහ Clean Sri Lanka වැඩසටහන එක්ව මුල් ළමාවිය දරුවන්ගේ සමාජ සහ චර්යාත්මක වෙනසක් උදෙසා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන ජාතික වැඩසටහන (SBCC) එලිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් (10) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන කළාය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීවාය.
පූර්ව ළමා විය සංවර්ධනය, රටේ මානව සංවර්ධනයටත්, රටේ අනාගත අභිවෘද්ධියටත් ප්‍රධාන ලෙස බලපානවා. දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ පූර්ව ළමාවිය සංවර්ධනය මත බව අප සියලු දෙනාට පිළිගත හැකි සත්‍යයක්. දරුවාගේ වර්ධනයට අත්යවශ්යා බොහෝ දේ වයස අවුරුදු පහ දක්වා කාලය තුළදී දරුවා තුළ සිදුවෙනවා. ඒ කාලය තුළ දරුවා ලබන අත්දැකීම්, රැකවරණය, ලබන ආදරය තීරණාත්මකයි.
දරුවා වැඩිහිටියෙකු ලෙස ගොඩනැගීමට කුඩා කාලයේ ලබන සමාජානුයෝජන බලපෑම, අන්තර් සම්බන්ධතා, පරිසරයේ බලපෑම පාදක වෙනවා. පුද්ගලයෙකු වැඩිහිටියෙකු වූ පසු වෙනස් කිරීමට නොහැකි තරමට පූර්ව ළමාවිය සංවර්ධනය ජීවිතයට බලපානවා,
දරුවන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව වැඩිහිටියන් දක්වන ප්‍රතිචාර ඔවුන් සමග ගනුදෙනු කරන ආකාරය ඔවුන්ට දක්වන රැකවරණය සියල්ල අතිශයින් වැදගත්. එබැවින් දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය දෙමව්පියන්ගේ වගකීමක් පමනක් ලෙස අපි කිසිවිටක සලකන්නේනේ නැහැ. එය සියලු පුරවැසියන්ගේ සාමූහික වගකීමක්.
අපට තනිව දරුවකු යහපත් පුරවැසියෙකු දක්වා ගොඩනැගී නොහැකියි. අපගේ ජීවිත දෙස බැලුවත් අපගේ දෙමව්පියන් වගේම අපේ ජීවිත වලට බලපෑම් සිදු කළ විශාල පිරිසක් සිටිනවා. අපට ආදරය දැක්වූ අපට රැකවරණය සැපයූ බොහෝ පිරිස් සිටිනවා. ඒ සියලු දෙනා දැක්වූ අනුග්‍රහය නිසා අද අපි මේ තත්ත්වයට පත් වී තිබෙන්නේ. දරුවන්ට රැකවරණය ලබාදීම සමාජ වගකීමක් ලෙස අපේ රජය දකිනවා. දරුවෙක් ගොඩනැගීම, රැකවරණය සැපයීම, ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් ලබාදීම සමාජ වගකීමක් බව ජනතාවට සන්නිවේදනය කිරීමට ක්ලින් ශ්‍රී ලංකා මැදිහත්වීම ඉතාමත් වැදගත්.
දරුවන් වෙනුවෙන් පෙර පාසල් ගුරුවරුන් විශේෂ කාර්යයක් සිදු කරනවා. දරුවන්ට එම අවධියේදී ලැබෙන ආදරය රැකවරණය මෙන්ම දරුවනට ඇහුම්කන් දීම ඔවුන්ට දක්වන ප්‍රතිචාරය දරුවන්ගේ වර්ධනයට තීරණාත්මකයි. දරුවන්ගේ ජීවිත තුළ ඔබ සිදු කරන්නේ තීරණාත්මක මැදිහත්වීමක්. පූර්ව ළමා විය සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැලසුම්කර තිබෙනවා. UNICEF ආයතනය මේ සඳහා අපට තාක්ෂණික සහයෝගය ලබා දෙනවා. පෙර පාසල් අධ්‍යාපනය එක රාමුවකට අනුව පවත්වාගෙන යාමට කටයුතු කරමින් යනවා. පෙර පාසල් අධ්‍යාපනය එක් විෂය මාලාවකට අනුගත කිරීමටත්, ගුරු පුහුණුව ක්රමාණුකූලව පවත්වා ගැනීමටත්, ගුණාත්මකභාවය තහවුරු කිරීමටත් රජය විසින් කටයුතු ආරම්භ කර තිබෙනවා.
පූර්ව ළමා විය සංවර්ධනය අධ්‍යාපනය තුළ විශේෂ ක්ෂේත්රයක් බව හඳුනාගෙන ඒ වෙනුවෙන් මැදිහත්වෙන බවද අගමැතිතුමිය ප්‍රකාශ කළාය .
කාන්ත හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මැතිනිය අදහස් දක්වමින්
කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය 2026 වර්ෂයේ මූලික ඉලක්කය ලෙස මුල් ළමාවිය සංවර්ධනය ප්‍රමිතිගත කිරීම සහ සංවර්ධනය කිරීමයි. මවගේ තුරුලෙන් වෙන්වී පියාගේ උරහිසෙන් මිදී පෙර පාසල් ගුරුවරු වෙත පැමිණෙන දරුවාට මවගෙන් පියාගෙන් ලැබුවා වූ ඒ උණුසුම ආදරය ගුරුවරුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ගුරුවරුන්ගේ බැල්මෙන් ඔවුන්ගේ වචනයෙන් ඒ ආදරය දැනීමට සැලැස්වීම ගුරුවරු සතු කාර්යයක්, දරුවෙක් පරිසරයට ආදරය කරන්නත් අන් අයට ගරු කරන්නත් ඔවුන්ට ලැබෙන ඒ ආදරය හා ආරක්ෂිත පරිසරය බලපානවා.
මේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද මෙසේ අදහස් පළ කළේය.
අප බලාපොරොත්තු වන්නේ අනාගතයේ මේ රට භාර ගැනීමට ඉන්න පරම්පරාව, අද අපි මුහුණ දෙනා විවිධාකාර බාධක දුක් කම්කටොලු ආදී ප්‍රශ්නවලින් තොර ලස්සන පරම්පරාවක් බවට පත් කිරීමටයි .ඒ සඳහා සුදුසුම කණ්ඩායම මේ ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙනවා .
අපේ රටේ ජනතාව නීරෝගී පරපුර ලෙස ගොඩනැගීම අභියෝගයක් ලෙස බාරගන්නේ නම් විශේෂයෙන්ම බෝ නොවන රෝග වලින් දුරස් කිරීම අවශ්‍ය වෙනවා. අද අවුරුදු තුනක් පහත් අතර දරුවන්, 2040 වනවිට අවුරුදු 18 ත් 20 ත් අතර පරම්පරාවක්. මෙම පරම්පරාව බෝ නොවන රෝගවලින් ගලවා ගැනීම සඳහා මෙවැනි අඛන්ඩ වැඩපිළිවෙළක් අවශ්‍යයි. මේ සඳහා ළමා වියටත් පෙර පූර්ව ජන්ම අවධියේදී ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන අවස්ථාද තිබෙනවා. පෙර පාසැල් හා මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල ගුරුවරු ලෙස ඔබ භාරගන්නේ අනාගතයේ මේ රටේ දැවැන්ත පරිවර්තනයක් සඳහා සිදු කළ යුතු දවැන්ත කාර්යභාරයක්.
සබරගමු පළාත් ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න මහත්මිය, ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතීඥ කපිල ජයසේකර මහතා, උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස මහතා, වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා, කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (Unicef) ශ්‍රී ලංකාවේ නියෝජිත Emma Brigham මහත්මිය, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාණායක මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය සහ ආර්ථික කටයුතු) රසල් අපොන්සු මහතා, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) එස්. පී. සී. සුගීෂ්වර මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විෂයානුබද්ධ අමාත්‍යාංශ නිලධාරීන්, පළාත් සභා නිලධාරීන්, පෙරපාසල් ගුරුවරුන්, පෙරපාසල් දරු දැරියන් සහ දෙමව්පියන් එක්ව සිටියහ.
ශ්‍රී ලාංකේය මාධ්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ ඉතිහාසයට නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එම්එම්සී – අයිටීඑන් කැම්පස් සහ චීනයේ ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක් වන ෂෙන්යැන්ග් සිටි විශ්වවිද්‍යාලය අතර නව ආකාරයේ අධ්‍යාපන සහයෝගීතාවන් සහ ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සඳහා මුල් පියවර තැබීම 07වන දා)අයිටීඑන් පරිශ්‍රයේදී සිදු විය.
මෙරට මාධ්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ දිගු කාලයක් පවතින්නා වූ වෘත්තීය හා ප්‍රායෝගික පුහුණුවේ හිඩැසක් පුරවාලීමේ අරමුණින් පසුගිය වර්ෂයේ මුල් භාගයේදී ආරම්භ කරන ලද එම්එම්සී – අයිටීඑන් කැම්පස් මේ වනවිට සහතික පත්‍ර පාඨමාලා 5ක් ක්‍රියාත්මක කරමින් සිටී. වසර 47කට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියන මෙරට පුරෝගාමී හා ප්‍රමුඛතම මාධ්‍ය ජාලයක් වන අයිටීඑන් මාධ්‍ය ජාලයේ අත්දැකීම් හා සම්පත් මෙහි අධ්‍යාපන කටයුතු සඳහා උපරිම ලෙස යොදා ගැනීම විශේෂත්වයකි.
මෙම වසරේ සිට එම පාඨමාලාවන් ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා සහ උපාධි මට්ටම් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ අනුව ලබන මාර්තු මස අගදී නව ඩිප්ලෝමා පාඨමාලා තුනක් ආරම්භ කිරීමට නියමිත අතර මෙහිදී විෂය කරුණු න්‍යායාත්මක දැනුමට පමණක් සීමා නොව, සියයට සියයක් ම ප්‍රායෝගික පුහුණුව මගින් සිසුන් සන්නද්ධ කිරීම මෙම ආයනයෙහි මූලික දැක්ම ලෙස හැඳින්විය හැකි ය.
එම්එම්සී – අයිටීඑන් කැම්පස්හි අධ්‍යයන කටයුතු ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමේ අරමුණින්, විදෙස් විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන සමඟ සහයෝගීතාව වර්ධනය කිරීම ද මෙහි ප්‍රධාන උපායමාර්ගයකි. එහි සමාරම්භය සනිටුහන් කරමින්, ෂෙන්යැන්ග් සිටි විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් අද අයිටීඑන් පරිශ්‍රයට පැමිණියේ ය.
එම නියෝජිත පිරිස පිළිගනු ලැබුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය සහ අයිටීඑන් මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා විසින් ය. ඉන් අනතුරුව දෙරට නියෝජනය කරන පාර්ශ්වයන් අතර, එම්එම්සී – අයිටීඑන් කැම්පස් සහ ෂෙන්යැන්ග් සිටි විශ්වවිද්‍යාලය අතර අධ්‍යාපන සහයෝගීතා, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සහ අනාගත අධ්‍යයන සැලසුම් පිළිබඳ ව විස්තරාත්මක සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම අවස්ථාවේදී නියෝජිත පිරිස එම්එම්සී – අයිටීඑන් කැම්පස්හි අධ්‍යයන පහසුකම්, සිසුන්ගේ ප්‍රායෝගික පුහුණු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමත්, අයිටීඑන් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර විශේෂයෙන් ම සිසුන් ප්‍රායෝගික මාධ්‍ය නිෂ්පාදන ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ කරගන්නා ආකාරය ඔවුන්ගේ ඉහළ පැසසුමට ලක්විය.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, අයිටීඑන් මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා, මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා සහ ෂෙන්යැන්ග් සිටි විශ්වවිද්‍යාලයේ චිත්‍රපට හා කලා පීඨයේ සහකාර පීඨාධිපති චාඕ ෂූ මහත්මිය ඇතුළු නිලධාරීන් සහ ආරාධිත පිරිසක් එක්ව සිටිය හ.
රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ විශේෂ පිඟානකින් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රනීත ආහාර වේලක් ලබා දීමේ නියමු ව්‍යාපෘතිය ඊයේ (06) මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ විය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන මෙන්ම අනෙකුත් අමාත්‍යාංශ, ආයතන, ව්‍යාපාරික ප්‍රජාව, පොදු ජනතාව සහ ජන මාධ්‍ය ඇතුළු සියලු දෙනාගේ සම්බන්ධීකරණයෙන් බෝනොවන රෝග සදහා වන කාර්ය සාධක බලකායක් මේ වන විට ආරම්භ කරමින් පවතින බවත්, එහි මුලික සාකච්ජා මෙම සතියේ පැවැත්වෙන බවත් මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පිළිකා රෝග, හෘද රෝග, වකුගඩු රෝග, ශ්වසන පද්ධතියට අඳාළ රෝග සහ දියවැඩියාව වැනි රෝග කෙරෙහි මුලික අවධානය යොමු කරමින් ඊට අඳාළව දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ ද සම්න්ධීකරණය කර ගනිමින් මෙම කාර්ය සාධක බලකාය පිහිටුවා ඒ ඔස්සේ අඛණ්ඩව බෝ නොවන රෝග පාලනය කර මෙරට ජනතාවගේ ජීවිත බේරා ගැනීමට ක්‍රියා කරන බව ද පැවසීය.
ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සහ පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහයෝගීතාවයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මේ යටතේ තනි පිඟානකට හොදි, එළවළු, මාළු, මස් යනාදිය බෙදූ ආහාර පිඟානක් වෙනුවට බත්, එළවළු, මැල්ලුම්, මස්, මාළු, බිත්තර, යනාදිය වෙන වෙන ම බෙදා තිබෙන ප්‍රියමනාප පිඟානක (Customise Plate) අදාළ ආහාර වේල රෝගියාට පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගය වේ. එබඳු පිඟානකට බෙදූ ආහාර වේලක් දුටු සැණින් රෝගියාට ආහාර ගැනීමට රුචියක්, ප්‍රියතාවක් ඇති වන බව විෂයට අඳාළ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
රුහුණු මහා කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයන් සහිතව ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් ලක්ෂ 100කට ආසන්න මුදලක් වැයකර ඉදිකළ එකවර 2000 කට ආහාර පාන සැකසීම සදහා අංග සම්පූර්ණ නවීන පහසුකම්වලින් සමන්විත මුළුතැන්ගෙය ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම ව්‍යාපෘතියට සමගාමීව අපේක්ෂා රෝහලේ දී අද විවෘත කරන ලදී.
එම මුළුතැන්ගෙය, කුස්සිය හෙවත් ‘kitchen’ යන නාමය වෙනුවට ආහාරපාන දෙපාර්තමේන්තුව (Food and Beverages Department) ලෙස මෙහි පරිවර්තනය කර ඇති අතර නවීන ආකාරයට ආහාර පාන සැකසීම සහ පිළිගැන්වීමට ඒ සදහා අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ද ලබා දී තිබේ.
මහරගම අපේක්ෂා රෝහලේ පාලන අධිකාරිය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සහ පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකවන මෙම විශේෂ වැඩසටහනට රුහුණු මහා කතරගම දේවාලය, ශ්‍රී ලංකා යුධ හමුදාව, ලේඩි ජේ ආයතනය, හයිඩ්රාමනි ආයතනය සහ ග්‍රෑන්ඩ් මොනාක් (ප්‍රයිවෙට්) ලිමිටඩ්, හෝටලය, සුමනදිසි සමූහ ව්‍යාපාරය, නෝර් ලංකා මැනුෆැක්චරින් කලම්බෝ ලිමිටඩ් එක්ව මෙම ව්‍යාපෘතිය සදහා සහයෝගීතාවය ලබා දී ඇත.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන්, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිලිණ මදුසංක, හිටපු බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර, මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, නියෝජ්‍ය අධ්යක්ෂ ඒ.අයි.කුලකුලසුරිය, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජයනි තෙන්නකෝන්, රෝහල් කමිටු සභාපති බිනර ජයවර්ධන යන මහත්ම මහත්මින් මෙන්ම පරිත්‍යාගශීලීන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ.
දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ නිවාස නැවත ඉදිකිරීම සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ 50ක දීමනාව ජනවාරි දෙවැනි සතිය වන විට ලබාදීම ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා ලබාදෙන රුපියල් 25,000ක දීමනාව මේ වන විට සියයට 92කට වඩා ගෙවා අවසන් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 2026 ජනවාරි 05 වන විට ගෙවීමට සුදුසු නිවාස ඒකක 452,658කින් 415,818කට මෙම දීමනාව ලබාදී අවසන් කර ඇත.
කළුතර, හම්බන්තොට, මහනුවර, යාපනය, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල රුපියල් 25,000ක දීමනාව සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇති අතර, අනෙක් දිස්ත්‍රික්කවලද ගෙවීම් වැඩි ප්‍රතිශතයකින් අවසන් කර ඇත. නොගෙවූ නිවාස ඒකක 36,840කින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ පවතින බවත්, තහවුරු කිරීමේ කටයුතු අවසන් කර ඉක්මනින් ගෙවීම් සිදුකරන බවත් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම රුපියල් 50,000ක දීමනාව සඳහා 2026 ජනවාරි 05 වන විට අයදුම්පත් 146,475ක් ලැබී ඇති අතර, එයින් නිවාස ඒකක 92,697කට දීමනාව ගෙවා අවසන් කර ඇත. කළුතර, ගාල්ල, හම්බන්තොට, මාතර, නුවරඑළිය, යාපනය, අම්පාර, කිලිනොච්චිය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල මෙම දීමනාව සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇති බවද සඳහන් කෙරිණි. තවත් නිවාස ඒකක 53,000කට පමණ මෙම දීමනාව ගෙවීමට නියමිතය.
ආපදා බලපෑමට ලක් වූ දරුවන් සඳහා ලබාදෙන රුපියල් 15,000ක දීමනාවට අමතරව ජනාධිපති අරමුදලින් රුපියල් 10,000ක අතිරේක දීමනාවක්ද ලබාදෙන බව අමාත්‍යවරයා පැවසීය. 2026 ජනවාරි 05 වන විට මේ සඳහා අයදුම්පත් 200,541ක් ලැබී ඇති අතර, දෙසැම්බර් 31 වන විට දරුවන් 113,581කට ගෙවීම් සිදුකර අවසන් කර ඇත.
ආපදා හේතුවෙන් ජීවිත හානියක් සිදුවී ඇති අවස්ථාවලදී මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතියා වෙත හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයා වෙත රුපියල් ලක්ෂ 10ක දීමනාව ලබාදෙන අතර, එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ක්‍රියාත්මක කෙරේ.
පූර්ණ වශයෙන් හානි වූ නිවාස 6,056ක් මේ වන විට හඳුනාගෙන ඇති අතර, පූර්ණ හානි සිදු නොවුණද නැවත ඉදිකිරීමට නොහැකි නිවාස ඇතුළුව සාමාන්‍යයෙන් නව නිවාස 25,000ක් පමණ ඉදිකළ යුතු බව රජය ඇස්තමේන්තු කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05
011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498
secretary@media.gov.lk