රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කළ නිසා වරාය නගරයේ මූල්‍ය කටයුතු ඇරඹීමට හැකි වුණා.

  • අප ආරම්භ කළ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගිය හොත් රටට යහපත් අනාගතයක් උදා වෙනවා.
  • IMF සහ මෙරට විදෙස් ණය හිමියන් සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම් සංශෝධනය කිරීමට ගියහොත් ඉදිරිය ගැන බලාපොරොත්තු තබාගත නොහැකියි – ජනපති.
  • වරාය නගරයේ මුල්‍ය කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය රෙගුලාසි පාර්ලිමේන්තුව ඊයේ සම්මත කළා- ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා.

කොළඹ වරාය නගර පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (05) පස්වරුවේ විවෘත කෙරිණ.

මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වන අතර භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල් වලින් එය සමන්විත වේ. මේ සාප්පු සංකීර්ණයෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව ප්‍රකට තීරුබදු රහිත වෙ‍ළෙඳ සැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිත අතර ඒ සමඟ කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇත.

සමරු ඵලකය නිරාවරණය කර, සාප්පු සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, මීට වසර දෙකකට පෙර වරාය නගරය මේ අයුරින් දියුණු කිරීමට හැකි වනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා නොකළ බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව තම රජය විසින් රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කළ බැවින් අද වන විට වරාය නගරයේ මූල්‍ය කටයුතු ආරම්භ කිරීමට හැකි වූ බවත්ය.

සමාගම් 100ක් පමණ අද වන විට වරාය නගරය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත්, ඉන් සමාගම් 74ක් මෙම වසර අවසන් වන විට වරාය නගරයේ ආයෝජන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ද සඳහන් කළ ජනාධිපතිවරයා, මෙරට විදෙස් ණය හිමියන් සමඟ එළැඹි ගිවිසුම් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මක කළහොත් රටට යහපත් අනාගතයක් උදාවන බවද පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

අද වරාය නගරයේ මෙම තීරු බදු රහිත මධ්‍යස්ථානය ආරම්භ කිරීම ඉතා වැදගත් අවස්ථාවක් බව කිවයුතුයි. අපේ සංචාරක ව්‍යාපාරය මේ වන විට ගෝලීය මට්ටමට පැමිණ තිබෙනවා. මෙම තීරුබදු රහිත සාප්පු සංකීර්ණය නිසා සංචාරකයන් මෙහි පැමිණෙනවා. ඔවුන්ට භාණ්ඩ ලබාගත හැකි ආකාරයට සාප්පු සංකීර්ණ ඉදිකර අප මෙම වරාය නගරය සංවර්ධනය කර තිබෙනවා. මෙය වරාය නගරයේ ආරම්භයයි.

මීට වසර දෙකකට පෙර වරාය නගරය මේ අයුරින් දියුණු කිරීමට හැකි වනු ඇතැයි අපට කිසිදු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන අප රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කළ නිසා අද මේ වැඩකටයුතු කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම අපට ණය ලබාදුන් රටවල් 18ක් සමඟ අපි ගිවිසුමකට එළැඹ තිබෙනවා. එම ගිවිසුම් වෙනස් කරන්නේ නැතිව ඉදිරියට ගියහොත් අපේ රටට හොඳ අනාගතයක් තිබෙනවා. එම ගිවිසුම් සංශෝධනය කිරීමට උත්සහ කළොත් මේ ඉදිරි කටයුතු ගැන අපට බලාපොරොත්තු තබා ගත නොහැකියි.

විශේෂයෙන්ම සමාගම් 100ක් පමණ අද වරාය නගරය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. එයින් සමාගම් 74ක් මේ වසර අවසන් වන විට ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මීට අමතරව අපි කොළඹ කොටුවේ අලුත් සංචාරක කලාපයක් ආරම්භ කරනවා. ඒ සමඟ මෙම ස්ථාන වෙත පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය වැඩි වෙනවා.

පොලිස් මූලස්ථානය එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා, ඒ වගේම විදේශ අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලක් වෙත ගෙන යනවා. ජනරජ චතුරශ්‍රය අලුත්වැඩියා කර එහි මධ්‍යයේ නව ගොඩනැගිලි ඉදිකර මෙම ප්‍රදේශය සංචාරක කලාපයක් බවට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සමඟම පැරණි තැපැල් ගොඩනැගිල්ල ද සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් යොදා ගැනීමට අපට අවස්ථාව තිබෙනවා. පැරණි වරාය සහ එහි ජැටියත්, පැරණි රේගු ගොඩනැගිල්ලත් ඒ සියල්ලම සංචාරක ව්‍යාපාරය සඳහා යොදා ගන්නවා.

නාවුක හමුදා මූලස්ථානය දැන් අකුරේගොඩට ගෙන ගොස් තිබෙන නිසා එම ස්ථානයේ නව හෝටල් ඉදිකිරීමට හැකියාව තිබෙනවා. වර්තමාන ජනාධිති මන්දිරය ද සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා යොදාගනිමින් පුළුල් සංචාරක කර්මාන්තයක් මෙහි ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ රට දියුණු කිරීමට නම් සංචාරකයන් වැඩි පිරිසක් ගෙන්වා ගත යුතුයි. ඒ වගේම එමගින් උපයා ගන්නා ආදායම ද ඉහළ නංවාගත යුතුයි.

වසර දෙකක් තුළ මෙවැනි සාප්පු සංකීර්ණයක් ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳ අප අඩම්බර විය යුතුයි. වර්ග මීටර් 7000ක් ඇතුළත ලෝකයේ ප්‍රසිද්ධ සමාගම් 03ක් මෙහි ස්ථාපිත කර තිබෙනවා. තවත් සමාගම් පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටිනවා. රටේ ආර්ථික ස්ථාවරභාවය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගොස් මෙම වරාය නගරය ලෝක ප්‍රසිද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කර ගැනීමට කටයුතු කරමු.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතින් මෙරට පළමුවරට නගර මධ්‍යයේ ඉදි කරන ලද තීරුබදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කිරීම අද දින අප සැමට ඓතිහාසික වශයෙන් වැදගත් අවස්ථාවක් බව කිව යුතුයි. මෙය යථාර්ථයක් බවට පත් කිරීමට සම්බන්ධ වූ සියලු දෙනාටම මගේ කෘතඥතාව පල කරනවා.

ජනාධිපතිතුමනි, මේ ක්‍රියාවලිය කොච්චර අභියෝගාත්මකද යන්න ඔබතුමාට වැටහෙනවා. පවතින රෙගුලාසි තුළ කටයුතු කිරීම, විශේෂයෙන් මෙරට ප්‍රථම වතාවට සිදු කළ කටයුත්තක් නිසා එය පහසු වූයේ නැහැ. ජයගන්න තිබුණු බාධක පිළිබඳව කාටත් වඩා මගේ සභාපතිතුමා දන්නවා. අපි පවතින රාමු තුළ වැඩ කරමින්, පැරණි නීති සහ රෙගුලාසිවලට අනුගතව කටයුතු කළා.

දිනේෂ් වීරක්කොඩි මහතාගේ නොපසුබට උත්සාහයට මෙන්ම අපගේ අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. නයිමුදීන් මහතාට සහ මගේ අතිරේක ලේකම්වරුන් දෙදෙනාට ද ඔවුන් දැක්වූ සහයෝගය පිළිබඳ විශේෂ ස්තූතියක් පුද කළ යුතුයි. ඇත්ත වශයෙන්ම, මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ගත් වෙහෙස පිළිබඳ, මම රෙවාන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයාට ද ස්තූතිවන්ත විය යුතුයි.

අපි දැන් නව අදියරකට පිවිසෙමින් සිටිනවා. ඊයේ දිනයේදී, වැදගත් බැංකු රෙගුලාසි ද ඇතුළත්ව කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් අවශ්‍ය වන සියලුම රෙගුලාසි පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූවා. ඒ අනුව කොළඹ වරාය නගරය මෙතැන්සිට සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වන අතර ව්‍යාපාරික කටයුතු සඳහා සූදානම් බව කිව යුතුයි.

අර්බුද සහිත කාලසීමාවක, වැදගත් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය අවස්ථාවක, මෙවැනි විශිෂ්ට ගණයේ සාප්පු සංකීර්ණයක් විවෘත කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය සකස් කරදීම ලබාදුන් නායකත්වය පිළිබඳ ජනාධිපතිතුමාට නැවත වරක් මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොන්ග් මහතා ඇතුළු මහ කොමසාරිස්වරුන් හා තානාපතිවරුන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. නයිමුදීන්, චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී සැංග් කුයිෆෙන්ග් යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.