“සියවසක් සමරන මකුටාරාම විහාරස්ථානය බුරුම – ශ්‍රී ලංකා ආගමික, සංස්කෘතික, සම්බන්ධතාවයේ සංකේතයක්” යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
කොළඹ, දෙමටගොඩ පිහිටි මකුටාරාම මියන්මාර් බෞද්ධ විහාරස්ථානයට වසර සියයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු ශත වර්ෂ පූර්ණ සමරු වැඩසටහන ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවති අතර වැඩසටහනේ ප්‍රධාන ගිහි ආරාධිතයා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක් වෙමින් එසේ පැවසීය.
ගෞරවනීය මහා සංඝරත්නය විසින් සාම්ප්‍රදායික ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සමරු වැඩසටහනට සුබපැතුම් එක් කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“මකුටාරාම මියන්මාර බෞද්ධ විහාරස්ථානයේ සියවස් සමරුව වෙනුවෙන් මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ආරාධනා කිරීම පිළිබඳ මාගේ ගෞරවනීය ස්තූතියි ඔබ සියලු දෙනාට පිරිනමනවා. අතිපූජ්‍ය යූ විනයාලංකාර නාහිමියන් විසින් 1924 වසරේ ආරම්භ කරන ලද මෙම විහාරස්ථානය ඉතිහාසයේ සනිටුහන් වන සුවිශේෂී සන්ධිස්ථානයක් බවට මෙම සමරු උලෙළ පත්වනු ඇති.
ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර සියවස් ගණනාවක් පුරා දිවෙන දිගුකාලීන ඓතිහාසික, ආගමික හා සංස්කෘතික සබඳතා රැසක් පවතී. ත්‍රිකුණාමලයේ තිරියායේ පිහිටි ඉපැරණි බෞද්ධ විහාරස්ථානයක් වන ගිරිහඬු සෑය, මෙරට ප්‍රථම බෞද්ධ ස්ථූපය ලෙස සැලකෙන අතර එය බුරුම වෙළෙන්දන් දෙදෙනෙකු වූ තපස්සු සහ භල්ලුක විසින් ඉදිකරන ලද බව සැලකේ. මෙම ස්ථූපයේ සහ ශ්වෙදගොන් පගෝඩා විහාරස්ථානයේ ස්ථූපයේ මෙම වෙළෙන්දන් විසින් ගෙන ආ බුදුන් වහන්සේගේ කේශ ධාතූන් තැන්පත් කර ඇතැයි සැලකෙන බැවින් විශේෂ ගෞරවයට සහ වන්දනා මානයට පාත්‍ර වේ.
1803දී අමරපුර නිකාය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ මියන්මාර් දේශයෙන් වන අතර එම නිකායේ ප්‍රථම මහානායක ස්වාමීන් වහන්සේ වූයේ මහාදාම රාජාධි රාජගුරු වැලිතර ඤාණවිමල තිස්ස මහානායක ස්වාමීන් වහන්සේයි. වර්තමානයේ අමරපුර මහා සංඝ සභාවේ සභාපති හා අමරපුර මහා නිකායේ මහානායක ධුරය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක ස්වාමීන් වහන්සේ විසින් හොබවනු ලබයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෞද්ධ නිකාය තුනෙන් එකක් වන රාමඤ්ඤ නිකාය 1880දී, අඹගහවත්තේ ඉන්ද්‍ර සභාවර ඤාණසාමි මහා නාහිමියන් බුරුමයේ උපසම්පදාව ලබා ආපසු ලංකාවට වැඩම කිරීමත් සමඟ ආරම්භ විය. අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානායක ස්වාමීන් වහන්සේ මේ වන විට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ උත්තරීතර මහානායක ධුරය හොබවනු ලබයි.
මියන්මාරය නිදහසින් පසු ශ්‍රී ලංකාව නේවාසික තානාපති කාර්යාල ස්ථාපිත කළ රටවල් කිහිපය අතරින් එකක් වෙයි. මියන්මාරයටද කොළඹ තානාපති කාර්යාලයක් පැවතිණි.
දෙරටේම යහපත් කාලවලදී මෙන්ම අභියෝගාත්මක කාලවලදී ද මෙම මෙම සබඳතා ඉතාමත් ශක්තිමත්ව පැවතීම අගය කළ යුතු කරුණකි.
දෙරට අතර ආගමික සබැඳියාවේ සුවිශේෂී අවස්ථාවක් ලෙස මේ අවස්ථාවට දායක වීමට ලැබීම ඉතාමත් සතුටට කරුණක් වේ. ඒ වෙනුවෙන් මෙරටට පැමිණි ගිහි, පැවිදි සම්භාවනීය සියලු දෙනා ඉතාමත් සාදරයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පිළිගනු ලබනවා.
මෙම ආගමික මිත්‍රත්වය තුළින් දෙරටේ මිත්‍ර සබඳතාව තවත් ශක්තිමත් වන බව විශ්වාස කරනවා. මිත්‍ර, සහෝදර රටවල් වශයෙන් ශ්‍රී ලංකා සහ මියන්මාරය අතර සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම විහාරස්ථානයේ දායකත්වය මහෝපකාරී වනු ඇති බව මා විශ්වාස කරනවා.”
මියන්මාරයේ සිට වැඩම කළ සංඝරාජ ගෞරවනීය සිටගු සයර්දව් ස්වාමීන් වහන්සේ, සංඝ මහානායක ක්‌යුක් මේ සයර්දව් ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේ, කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නය, මියන්මාරයේ සංස්කෘතික සහ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ටින් ඌ ලවින් මහතා, ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති දව්මාර්ලාර් තැන් හ්ටිකේ මහතා ඇතුළු ගිහි පැවිදි අති විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.