අමාත්‍ය මණ්ඩල තීරණ -2025.12.15







සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය නිපුණත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අඛණ්ඩව විශේෂ ඩිප්ලෝමා පාඨමාලා හා පුහුණු වැඩසටහන් සංවිධානය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
හෘද ප්‍රතිකාර සහ සත්කාර සේවාවේදී වෘත්තීය ප්රමිතීන් වර්ධනය කිරීම සඳහා මෙවැනි විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලා බෙහෙවින් ඉවහල් වන බවත්, මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ අතුරු වෛද්‍ය සේවා වෘත්තියට අයත් හෘද ඛන්තු රේඛන ශිල්පීන්ගේ දැනුම, ආකල්ප ප්‍රවර්ධනයට, නවීකරණයට සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් ක්‍රියාත්මක කරන මෙවැනි වැඩසටහන් ඉතා වැදගත් බවත් ඇමැතිවරයා පැවසුවේය.
අමාත්‍යවරයා මෙම කරුණු දැක්වීම සිදු කරනු ලැබුවේ හෘද තාක්ෂණය පිළිබඳව උසස් ඩිප්ලෝමා පාඨමාලාව (2025) සාර්ථකව නිම කළ හෘද ඛන්තු රේඛන ශිල්පීන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම වෙනුවෙන් පසුගියදා කොළඹ වෛද්‍ය පීඨ නව ගොඩනැඟිලි ශ්‍රවණාගාරයේදී පැවති උත්සව සභාව අමතමිනි.
හෘද තාක්ෂණය පිළිබඳව උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ හෘද ඛන්තු රේඛන ශිල්පීන් 351කට මෙහිදී සහතිකපත් ප්‍රදානය කෙරිණ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ අංශය මෙම හෘද තාක්ෂණය පිළිබඳව උසස් ඩිප්ලෝමා පාඨමාලාව (2025) සංවිධානය කළ අතර එම පාඨමාලාව වසරක අධ්‍යයන කාලයකින් සමන්විත වේ. එම පාඨමාලාව සඳහා මෙරට රජයේ රෝහල්වල සේවයේ නියුතු හෘද ඛන්තු රේඛන ශිල්පීහු 351ක් සහභාගි වූහ.
ECG, ව්‍යායාම ECG, Holtor, කැතීටකරණ, Tilt Table, Pace maker යනාදී පරීක්ෂණ මෙන්ම pharmacological Stress Test, Ambulatory Blood pressure Monitoring යන කාර්යයන් ප්‍රමුඛ කර ගනිමින් හෘද ඛන්තු රේඛන ශිල්පීන් රෝගී සත්කාර සේවාවන්ට අවශ්‍ය සහාය ලබාදෙයි. මේ වනවිට 500කට ආසන්න හෘද ඛන්තු රේඛන ශිල්පීහු සංඛ්‍යාවක් මෙරට රෝගී සත්කාර සේවාවේ නිරතව සිටිති.
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අඛණ්ඩ වෘත්තීය නිපුණත්වය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් අඛණ්ඩව මෙවන් විශේෂ ඩිප්ලෝමා පාඨමාලා මෙන්ම පුහුණු වැඩසටහන් සංවිධානය කළ අතර, මේ තුළින් සෞඛ්‍ය සේවාවේ වෘත්තීය ප්රමිතීන් වර්ධනයට, දැනුම – ආකල්ප ප්‍රවර්ධනයට මෙවැනි පාඨමාලා බෙහෙවින් ඉවහල් වන බවද ඇමැතිවරයා පැවසුවේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු සහ පර්යේෂණ අංශය මඟින් සෞඛ්‍ය සේවාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් නිරතුරුවම වෘත්තිකයන් දැනුමින් සවිමත් කිරීම විශිෂ්ට කරුණක් බවත්, ඒ තුළින් වෘත්තිකයන්ගේ දූරදර්ශීභාවය, නායකත්වය සහ නොපසුබට කැපවීම ඉස්මතු වේ. මෙම දැනුම ප්‍රවර්ධන පාඨමාලා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පවත්වන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
රට පුරා රජයේ රෝහල්වල සේවයේ නියුතු සෞඛ්‍ය වෘත්තිකයන් මෙවැනි පාඨමාලාවලින් වෘත්තීය දැනුමින් සන්නද්ධ වීමෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහලට පැමිණෙන රෝගියාට විශිෂ්ට, කාර්යක්ෂම සේවාවක් ලැබෙන බවත්, මෙම උසස් ඩිප්ලෝමා පාඨමාලාව අනාගතයේදී උපාධි පාඨමාලාවක් දක්වා වර්ධනය විය යුතු අතර අනාගතයේදී සිය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වීමටද එය බෙහෙවින් ඉවහල් වන බවත් ඇමැතිවරයා කීය.
මෙම උසස් ඩිප්ලෝමා පුහුණු වැඩසටහනේ අධ්‍යයන කටයුතු සිදු කළ හෘද රෝග විශේෂඥයන්, විෂය විශේෂඥයන්, සායනික පුහුණු අධීක්ෂකවරුන්, අධ්‍යයන කණ්ඩායම් ඊට අදාළ අධ්‍යයන ආයතනය සහ පාසල්වල සියලු කාර්ය මණ්ඩලය මේ වෙනුවෙන් සිදු කරන කැපකිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් කෘතඥතාව පළ කර සිටින බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුරංග දොලමුල්ල, වෛද්‍ය සමන්ත රණසිංහ (පුහුණු), ඛන්තු රේඛන ශිල්පී පුහුණු පාසලේ විදුහල්පතිනි නිලූපා සුබසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළුව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ උපදේශක හෘද රෝග විශේෂඥයන්, ජ්‍යෙෂ්ඨ උපදේශක හෘද විද්‍යුත් භෞතවේදීන්, ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූවන්ගේ පවුල්වල සාමාජිකයෝ ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට ආපදා කටයුතු ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන ලද සහාය අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල් මහත්මිය පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල් මහත්මිය (Union Minister of State for Health and Family Welfare Anupriya Patel) අතර හමුවක් (19) උදෑසන ඉන්දියාවේ නවදිල්ලි හීදී පැවැත්විණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන ගෝලීය සමුළුවට (The World Health Organization (WHO)’s Second Global Summit on Traditional Medicine) සමගාමීව මෙම හමුව සිදුවිය.
මෙම හමුවේ දී දෙරට අතර අඛණ්ඩ රාජ්‍ය තාන්ත්‍රික සහ සෞඛ්‍ය සහයෝගීතාව මෙන්ම ඉදිරි වසරවල දී දෙරට අතර පවතින සහයෝගීතාව තවත් ඉහළ නැංවීමට ගත යුතු ක්‍රියාමාර්ග සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විශ්වාසදායක හවුල්කරුවන් ලෙස කැපවී කටයුතු කිරීම පිළිබඳව ද අවධානය යොමු කරමින් අදහස් හුවමාරු කර ගන්නා ලදි.
ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල් මහත්මිය මෙහිදී කියා සිටියේ ඉන්දියාවේ අසල්වැසි රාජ්‍යයන් පළමුව යන ප්‍රතිපත්තියේ කේන්ද්‍රීය ස්ථානය ශ්‍රී ලංකාව බවයි. දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රි ලංකා රජය පශ්චාත් ආපදා කටයුතු ශක්තිමත් කිරීම සඳහා ගෙන යන ලද වැඩපිළිවෙලට ඉන්දියාව ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදුන් බව ද ඉදිරියටත එම සහයෝගය අඛණ්ඩව ලබාදෙන බව ද අවධාරණය කරන ලදි.
ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් බවත් දෙරට අතර අන්තර්ක්‍රියා අතරතුර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජයේ කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කෘතවේදීත්වය පිරිනමන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අවධාරණය කරන ලදී.
මෙරටට බල පෑ හදිසි ආපදා තත්ත්වය අවස්ථාවේ ඉන්දීය රජය දැක්වූ සහයෝගීතාවය මෙහි දී අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක් වූ අතර, ආපදා තත්ත්වයෙන් පසු නැවත රට ගොඩනැගීමේ ඉදිරි වැඩපිළිවෙලට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ද, මෙරට සෞඛ්‍ය සේවාවේ මෙන්ම රජයේ ඉදිරි කටයුතු ශක්තිමත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණ වැඩපිළීවෙල තවත් ශක්තිමත් කිරිම සඳහා සහාය ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටින ලදි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන ගෝලීය සමුළුව පසුගිය (17) ආරම්භ වූ අතර (19) එම සමුළුවේ අවසන් දිනයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය, ඉන්දීය රජයේ ආයුෂ් අමාත්‍යාංශය (Ministry of Ayush) සමඟ ඒකාබද්ධව සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සඳහා සාක්ෂි, ඒකාබද්ධ කිරීම සහ නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම සමුළුවට රටවල් 100 කට වැඩි ගණනක රජයේ අමාත්‍යවරුන්, විද්‍යාඥයින්, ස්වදේශික නායකයින් සහ වෘත්තිකයන් එක්ව සිටී.
අමාත්‍ය මණ්ඩල තීරණ -2025.12.15







ශ්‍රී ලංකාවේ පැරණිතම ජාතික පුවත්පත ලෙස විරාජමාන ‘දිනමිණ’ අද (17) වසර 116 සපුරයි. දිනමිණ 1909 සිට රට, ජාතිය වෙනුවෙන් ඉටු කරන ලද මෙහෙය අතිමහත්ය. එදා මෙදා තුර යුග ගණන් පසු කර පැමිණි ‘දිනමිණ’ කාලයේ තාලයට ගැළපෙන අයුරින් සිය මාධ්‍ය ශෛලිය වැඩිදියුණු කරගෙන තිබේ. රටේ අර්බුද, ව්‍යසන ඇතුළු සියලු අභියෝගාත්මක අවස්ථාවලදී දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය ජාතියට මඟ කියමින් ‘දිනමිණ’ නොපිරිහෙළා තම වගකීම ඉටු කරන ලද්දේය.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ගරු රෙමි ලැම්බර්ට් මහතා (H.E. Rémi Lambert) ඇතුළු ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් ද එක් විය. ඔවුන් අතර කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මැතිව් ජෝන් මහතා (Mr. Matthieu John), සහයෝගීතාව සහ සංස්කෘතිය පිළිබඳ උපදේශක ඔලිවියා බෙලෙමියර් මහත්මිය (Ms. Olivia Bellemere), දේශපාලන චාන්සලරියේ අභ්‍යාසලාභිනි මැලීන් ක්‍රෙපින් මහත්මිය (Ms. Maéline Crepin), සහ මාධ්‍ය උපදේශක සහ පරිවර්තක දිනූෂා ඉලෙයිපෙරුම මහත්මිය ද විය
මෙරට විදත් මාධ්‍ය සන්නිවේදනයේ පුරෝගාමියා ලෙස සැලකෙන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියවස් සැමරුම අදට (16) යෙදී තිබේ.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් හා සියක් නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට කටයුතු කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් මෙන්ම සංස්ථාවේ ප්රගමනයට දායක වූ සම්භාවනීය මාධ්‍යවේදීන්, ඉංජිනේරු අංශය, ප්‍රවීණයන් විද්වතුන් මෙන්ම සංස්ථා කාර්ය මණ්ඩලයද සහභාගි වෙති.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සිට ගරුතර ස්වාමීන් වහන්සේ පා ගමනින් මුතුකුඩ යටින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට වැඩම කිරීමට ද නියමිතය.
බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර හියු ක්ලිෆර්ඩ් මහතාගේ මුලිකත්වයෙන් 1925 දෙසැම්බර් 16 වැනිදා මෙරට ගුවන්විදුලි සේවා නිල වශයෙන් ආරම්භ කෙරිණි. ආරම්භයේ දී විදුලි සන්දේශ දෙපාර්තමේන්තුව යටතේ පැවැති ගුවන්විදුලි සේවය 1949 ඔක්තෝබර් 01 වැනිදා රේඩියෝ සිලෝන් යන නමින් නව දෙපාර්තමේන්තුවක් ලෙස ප්‍රතිස්ථාපනය කෙරිණි. ජෝන් ඒ. ලැම්ප්සන් මහතා ගුවන්විදුලි දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්යක්ෂවරයායි. 1967 ජනවාරි 05 වැනිදා ලංකා ගුවන්විදුලි දෙපාර්තමේන්තුව සංස්ථාවක් ලෙස යළි ප්‍රතිස්ථාපනය කෙරුණු අතර, නෙවිල් ඩී. ජයවීර මහතා එහි ප්‍රථම සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා විය. මේ වනවිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දේශීය වශයෙන් සිංහල සේවා තුනක් දෙමළ සේවා දෙකක් සහ ඉංග්‍රීසි සේවයක් ප්‍රචාරය කරයි. විදේශීය සේවා පහක් ප්‍රචාරය කෙරේ. රජරට රුහුණ, කඳුරට, වයඹ හඬ, යාපනය, ඌව ගුවන්විදුලිය හා පිරෙයි එෆ්.එම්. සංස්ථාව සතු ප්‍රාදේශීය සේවා වෙයි. දඹාන රේඩියෝව ප්‍රජා ගුවන්විදුලියක් ලෙස ක්‍රියාත්මකයි. ආසියාවේ ප්‍රධානතම ගී තැටි පුස්තකාලය ජාතික ගුවන්විදුලිය සතුව ඇත. ඉන්දියාවේ ද සොයාගත නොහැකි ඉතාමත් දුර්ලභ හින්දි ගී තැටි ජාතික ගුවන්විදුලිය සතුය. ලෝකයේ විවිධ ජන නායකයන්ගේ හඬ කොටස් ඇති එකම පුස්තකාලයටද ජාතික ගුවන්විදුලිය හිමිකම් කියයි.
ආසියාවේ පළමු ගුවන් විදුලි සේවය වශයෙන් ආරම්භ වූ ජාතික ගුවන් විදුලිය ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ජාතික අනන්‍යතාව රැකගැනීම උදෙසා කළ මෙහෙවර අද්විතීයය. මෙරට භාෂාව සාහිත්‍යය නාට්‍ය ආධ්‍යාත්මික ගුණ වගා, සෞඛ්‍යය, කෘෂිකර්මය, ජාතික සංවර්ධනය, ජාතික සමඟිය හා සංහිඳියාව උදෙසා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාත්‍රයෙන්ම වැඩසටහන් ප්‍රචාරය කරමින් ජාතිය පෝෂණය කිරීමට ජාතික ගුවන්විදුලිය සමත් විය.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිවුස්වීක් සමඟ සංවාදයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනටමත් බිඳවැටෙන සුලු වූ ආර්ථිකයකට මරණය සහ අහිමිවීම් ඉතිරි කළ විනාශකාරී සුළි කුණාටුවකින් පසු තම ජාතිය මුහුණ දෙන යථාර්ථය පැහැදිලි කළේය.
අර්බුදය අතරතුර කලාපීය අසල්වැසියන්ගේ සිට ගෝලීය බලවතුන් දක්වා ජාත්‍යන්තර හවුල්කරුවන් මැදිහත් වූ ආකාරය සහ ඉදිරියේ ඇති අභියෝගයේ විශාලත්වයට මුහුණදීම පිළිබඳ මෙන්ම විනාශ වූ භෞතික දේ නැවත ගොඩනැඟීම පමණක් නොව, දේශගුණික කම්පන යුගයේ ශ්‍රී ලංකාවේ අනාගතය නැවත පරිකල්පනය කිරීම සහ ණය සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ නියමයන් නැවත අර්ථ දැක්වීම පිළිබඳව ඔහු විස්තර කළේය.
නිවුස්වීක්-
විරෝධතා ව්‍යාපාරවල සිට 2024 මැතිවරණයේදී සිදු වූ පරිවර්තනීය වෙනස දක්වා ශ්‍රී ලංකාව මෑත කාලයේදී තීරණාත්මක දේශපාලනික වෙනස්කම්වලට භාජන වී තිබෙනවා. ඔබගේ රජය බලයට ගෙන ඒමට පසුබිම් වූ ජනතා අපේක්ෂා ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?
ජනපති- 2022 වසරේ විරෝධතා ඇතිවීමට හේතු වූයේ විදුලි කප්පාදුව, ඉන්ධන සහ ඖෂධ සඳහා ඇති වූ දිගු පෝලිම් පමණක් නෙමෙයි. දූෂණය, අසමානතා සහ විනිවිදභාවය හෝ වගවීමකින් තොරව ගනු ලැබූ තීරණ පිළිබඳ බලවත් කලකිරීමත් ඊට හේතු වුණා. 2024 වන විට, ඒ ජනතා කලකිරීම වෙනස් ආකාරයක නායකත්වයක් සඳහා වන ප්රජාතන්ත්රවාදී ඉල්ලීමක් බවට පරිවර්තනය වී තිබුණා. අප විසින් ලැබූ ජයග්‍රහණය පිරිසුදු පාලනයක්, ආර්ථික සාධාරණත්වයක් සහ පැවති දේශපාලන සංස්කෘතියේ වෙනසක් සඳහා කැඳවීමක් වුණා.
ජනතාවට අවශ්‍ය වූයේ සත්‍යය පවසන සහ වගකීම භාර ගන්නා සාමාන්‍ය මිනිසුන් බඳු නායකයන්. අපගේ ජනවරම මම දකින්නේ අවදානමට ලක්විය හැකි අයව අත් නොහැර ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා විශ්වාසය මත වූ ගිවිසුමක් ලෙසයි. ආයතන අල්ලා ගැනීමට වඩා ආයතන ප්‍රතිසංස්කරණය කිරීමට සහ ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට අලුත් විය හැකි බව ඔප්පු කිරීම පිළිබඳ ගිවිසුමක් ලෙසයි. ජනතාවගේ විශ්වාසය නිෂ්ඵල එකක් නොවන බව අපි ඔවුන්ට පෙන්විය යුතු වෙනවා.
නිවුස්වීක්-
චීනය විසින් ගොඩනඟන ලද යටිතල පහසුකම්, ඉන්දියානු කලාපීය බලපෑම සහ එක්සත් ජනපද ආර්ථික බලපෑමේ සන්ධිස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා තිබෙනවා. සැබවින්ම, ශ්‍රී ලංකාව කොතරම් දුරට තම උපායමාර්ගික ස්වාධීනත්වය පවත්වා ගන්නේද? සහ ඔබ මේ සබඳතා තුලනය කරන්නේ කෙසේද?
ජනපති- ඉන්දියාව ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා වන අතර ඉන්දියාව කිලෝමීටර් 24ක පමණ මුහුදු තීරයකින් ශ්‍රී ලංකාවෙන් වෙන් වී තිබෙනවා. අපට ඉන්දියාව සමඟ ශිෂ්ටාචාරමය සම්බන්ධතාවක් තිබෙනවා. ශ්‍රී ලාංකාවේ සංස්කෘතියේ ඕනෑම අංශයක් කෙසේ හෝ ඉන්දියාවට සම්බන්ධ නොවනවා නම් එය ඉතා අල්ප වශයෙන්. ඒ වගේම ශ්‍රී ලංකාව දුෂ්කරතාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම ඉන්දියාව පළමුව ප්‍රතිචාර දැක්වූවා. ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ හවුල්කරුවාද, විශාලතම සංචාරක ප්රභවය මෙන්ම සුවිශේෂී ආයෝජකයකුද වෙනවා.
චීනය, අපගේ සමීපතමයකු සහ උපායමාර්ගික හවුල්කරුවකුද වෙනවා. අපට රාජ්‍ය මට්ටමින් සහ දේශපාලන පක්ෂ මට්ටමින් දීර්ඝ ඉතිහාසගත සබඳතාවක් තිබෙනවා. අපගේ වෙළෙඳ, ආයෝජන සහ යටිතල පහසුකම් පිළිබඳ හවුල්කාරිත්වය ඉතා ශක්තිමත්.
එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතරත් ගැඹුරු සහ බහුවිධ සබඳතා පවතිනවා. අමෙරිකා එක්සත් ජනපදය යනු අපගේ විශාලතම වෙළෙඳපොළයි.
අපටම අනන්‍ය වූ ප්රජාතන්ත්රවාදී වටිනාකම් සහ නීතිය මත පදනම් වූ පාලනයක් සඳහා වන කැපවීමක් තිබෙනවා. අපි අවධානය යොමු කරන්නේ මේ වැදගත් රටවල් සමඟ අපගේ සබඳතාවල අඩු වැඩි ලෙස තුලනයක් පවත්වා ගැනීම ගැන නොවේ. මේ සෑම සම්බන්ධතාවක්ම අපට වැදගත්. සෑම විටම එකම අරමුණක් ඇතිව එනම් ‘ශ්‍රී ලාංකිකයන්ට වඩා හොඳ ලෝකයක්, සැමට වඩා හොඳ ලෝකයක්’ උදා කිරීම වෙනුවෙන් අපි සෑම කෙනෙකු සමඟම වැඩ කරනවා.
නිවුස්වීක්-
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති භුමිකාව සහ වෙනස් වන ලෝක පිළිවෙළ තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය වෙනස් කෙරෙන ආකාරය ඔබ දකින්නේ කෙසේද?
ජනාධිපති- ශ්‍රී ලංකාව සඳහා සාර්ථකත්වය යන්නෙන් අදහස් වන්නේ වෙළෙඳපොළ ප්‍රවේශය සහ නව්‍යකරණය වූ ආයෝජන ප්‍රවාහය. ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපයේ ස්ථාවර සහ විශ්වාසදායක හවුල්කරුවෙකු සහ ඉන්දියානු සාගර කලාපයේ මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට අපට අවශ්‍යයි.
නිවුස්වීක්-
ශ්‍රී ලංකාවට වොෂින්ටනයෙන් නිශ්චිතවම අවශ්‍ය වන්නේ කුමක්ද? ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙරළා ලබාදීමට අපේක්ෂා කරන්නේ කුමක්ද?
ජනාධිපති- අපගේ අපනයන සඳහා වෙළෙඳපොළ ප්‍රවේශය අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන් රෙදිපිළි සහ අගය එකතු කරන ලද නිෂ්පාදනවලට. අපට දේශගුණික මූල්‍යකරණ අරමුදල් සහායද අවශ්‍යයි. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අපට ඩොලර් බිලියන ගණනක් අහිමි වුණා. සැබෑ හානිය තක්සේරු කිරීමට අපට සති කිහිපයක් ගත වේවි. දේශගුණික තත්ත්වයන්ට හැඩගැසීම සඳහා අපට ප්‍රදානයන් සහ සහයෝගය අවශ්‍යයි. විශේෂයෙන් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, ඔරොත්තු දෙන යටිතල පහසුකම්, වෙරළබඩ ආරක්ෂාව ආදී තාක්ෂණය සහ ආයෝජන අවශ්‍යයි. අමෙරිකානු සමාගම්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම්, නිෂ්පාදන සහ පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ශක්‍යතා පවතින සෑම ක්ෂේත්රයකම ආයෝජනය කිරීම අපි අපේක්ෂා කරනවා.
අපට තාක්ෂණික හුවමාරුව අවශ්‍ය වෙනවා. අපි ඔවුන්ට පෙරළා පිරිනමන්නේ ඉන්දු-පැසිෆික් කලාපයේ උපායමාර්ගිකව ස්ථානගත කළ, ස්ථාවර, ප්රජාතන්ත්රවාදී හවුල්කරුවෙක්. අපි නාවික නිදහසට කැප වී සිටිනවා. අපි වරාය සහ සැපයුම් පිළිබඳ සහයෝගීතාවකටද උනන්දුවක් දක්වනවා. සමුද්‍රීය ආරක්ෂණය පිළිබඳ සහයෝගීතාව, ත්රස්තවාදයට එරෙහිවීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැනි අන්‍යෝන්‍ය වශයෙන් පොදු ගැටලු සම්බන්ධයෙන් අපගේ සහයෝගීතාව ශක්තිමත් හා ගැඹුරු කිරීමටද අපි බලාපොරොත්තු වෙනවා.
නිවුස්වීක්-
රාජ්‍ය ණය තවමත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 100% ට වඩා ඉහළින් පවතින බැවින්, මේ තත්ත්වයට විසඳුම් සෙවීමට සහ දිළිඳුම අයට වන බලපෑම වළක්වා ගනිමින් යළි ණය පැහැර හැරීමක් සිදු වීම වළක්වා ගැනීමට ඔබ සැලසුම් සකස් කර ඇත්තේ කෙසේද?
ජනාධිපති- අපි ඓතිහාසික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් අවසන් කළා. තවත් ව්‍යසනයකට මුහුණ දුන්නා – දිට්වා සුළි කුණාටුව. මූලික ඇස්තමේන්තුවලින් පෙනී යන්නේ සිදු වූ හානිය අපේ රට විඳ දරාගත් ඕනෑම ස්වාභාවික විපතකට වඩා වැඩි විය හැකි බවයි. එනිසා දේශගුණික ආපදා තත්ත්වයෙන් නැවත රට ගොඩනඟන අතරතුර අපට ණය ගෙවීමට සිදුව තිබෙනවා. දේශගුණික විපර්යාසවලට ගොදුරු විය හැකි රටවල් සඳහා ණය තිරසරභාවය පිළිබඳ රාමු වෙනස් විය යුත්තේ ඒ නිසයි.
අපගේ ආර්ථිකයේ දශක ගණනාවක් තිස්සේ පැවති දුර්වලතා මඟහරවා ගැනීම සඳහා අපි අපනයනය මූලික කරගත් ආර්ථික වර්ධනයක් කරා යොමුව සිටිනවා. ඩිජිටල්කරණය මඟින් අපගේ බදු පදනම පුළුල් කරමින්ද සහ සමාජ වියදම් සුරක්ෂිත කරමින්ද, අපි රජයේ ආදායම ඉහළ නංවා ගනිමින්ද සිටිනවා. දිට්වා සුළි කුණාටුවෙන් 20,000කට අධික පිරිසකට තම නිවාස අහිමි වුණා. සියල්ල අහිමි වූ ජනතාව මත අපට බර පැටවිය නොහැකියි. අපි අත්‍යවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා සහනාධාර ලබා දෙමින්, කෘෂිකාර්මික කටයුතු යළි යථා තත්ත්වයට පැමිණවීම සඳහා ආයෝජනය කරමින්, නිවාස, පාසල්, රෝහල් සහ පොදු යටිතල පහසුකම් නැවත ගොඩනඟමින් සහ ඒ වෙනුවෙන් අක්මුදල් සැපයීම් පුළුල් කරමින් සිටිනවා. IMF වැඩසටහනේ පරාමිතීන් තුළ ක්‍රියාත්මක වන අතරතුර අපි මෙයද සිදු කළයුතු වෙනවා. අපගේ හවුල්කරුවන්ගෙන් සහ ජාත්‍යන්තර සංවිධානවලින් අපට සහාය අවශ්‍යයි.
නිවුස්වීක්-
ශ්‍රී ලංකාව 2024දී 5% ක ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළා. 2025 දී ප්‍රාථමික ගිණුමේ 2.3% ක අතිරික්තයක් ඉලක්ක කරනවා. IMF රාමුවේ හිඳිමින්, ඉදිරි මාස 12-18 කාලයේ අඩු ආදායම්ලාභී පවුල්වලට දැනෙන සුලු සහන ලබා දිය හැකි ප්‍රතිපත්තිමය මැදිහත්වීම් මොනවාද?
ජනපති- දිට්වා සුළි කුණාටුවෙන් මිලියන දෙකකට ආසන්න ජනතාවකට හානි සිදු වුණා. ආසන්න වශයෙන් නිවාස 55,000කට හානි සිදු වී ඇති අතරම සමහර නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. මේ පවුල්වලට කඩිනම් ක්ෂණික සහන ලබාදීමට අවශ්‍යයි. පළමුව – ගංවතුරට ඔරොත්තු දෙන නිවාස ඉදිකිරීමට සහාය දීමට සිදු වෙනවා. මෙයින් එම පවුල් ආරක්ෂා කරන අතරම ඉදිකිරීම් අංශයේ රැකියා නිර්මාණය වෙනවා. දෙවනුව – අපට කුඹුරු අක්කර 273,000ක් පමණ අහිමි වුණා. ගොවීන්ට නැවත වගා කළ හැකි වන පරිදි බීජ, උපකරණ සහ තාක්ෂණික සහාය ලබා දිය යුතුයි. කෘෂිකර්මාන්තය යථා තත්ත්වයට ගෙන ඒම සඳහා පමණක් අපට විශාල මුදලක් අවශ්‍ය වෙනවා. මෙය ආපදාවෙන් යළි ගොඩඒමට පමණක් නොවේ. ආහාර සුරක්ෂිතතාව පවත්වා ගැනීම සඳහාද අවශ්‍ය වෙනවා. තෙවනුව – දුප්පත් පවුල් වැඩිපුර සිටින ප්‍රදේශවල ඖෂධ, ඉන්ධන, මූලික ආහාර ද්‍රව්‍ය ආදී සහනාධාර සැපයීම් අපි පවත්වාගෙන යනවා. සිවුවනුව – යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම තුළ රැකියා නිර්මාණය වෙනවා.
නිවුස්වීක්-
ඔබගේ රජය මෑතකදී මහා පරිමාණ විදේශ ආයෝජන යෝජනා නැවත පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ප්රාග්ධනය යෙදවීමට සුදුසු ස්ථානයක් බව විදේශීය ආයෝජකයන්ට ඒත්තු ගන්වන්නේ කෙසේද?
ජනපති- පාරිසරික සහ දේශගුණික ඔරොත්තු දීමේ ප්රමිතීන්, ආර්ථික ශක්‍යතාව, තාක්ෂණ හුවමාරුව සහ දේශීය ධාරිතා සංවර්ධනය, ශ්‍රම සහ සමාජ සුරක්ෂාව සහ ජාතික සංවර්ධන ඉලක්ක සමඟ පෙළගැස්වීම යන පැහැදිලි නිර්ණායක සහිත විනිවිද පෙනෙන, නීති මත පදනම් වූ ඇගයීම් ක්‍රමවේදයක් අපි ස්ථාපිත කරමින් සිටිනවා. විදේශීය ආයෝජකයන්ට සුපැහැදිලි බව, අනුකූලතාව සහ විශ්වාසය යන කරුණු තුන අවශ්‍ය වෙනවා.
අපි ආයෝජකයා සහ ශ්‍රී ලාංකික ජනතාවගේ අවශ්‍යතා යන දෙකම ආරක්ෂා කරන පිරිසුදු, පුරෝකථනය කළ හැකි ආයෝජන පරිසරයක් නිර්මාණය කරමින් සිටිනවා.
පළමුව, ප්‍රමාදය අවම කිරීම, සැඟවුණු බලපෑම් ඉවත් කිරීම සහ පැහැදිලි තීරණ ගැනීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම සඳහා එකම ස්ථානයකින් සියලු සේවා සපයන මධ්‍යගත (තනි කවුළු) ආයෝජන අනුමත කිරීමේ පද්ධතියක් අපි හඳුන්වා දී තිබෙනවා.
කාල රාමු, අවශ්‍ය ලියකියවිලි සහ වගකිවයුතු නිලධාරීන් කවුද යන්න ඇතුළුව සම්පූර්ණ ක්‍රියාවලියම මාර්ගගතව නිරීක්ෂණය කිරීමට ආයෝජකයන්ට හැකි වෙනවා. ඊට අමතරව, ආයෝජකයන්ට සාධාරණත්වය, නීතිමය නිශ්චිතතාව සහ නීතිය බලාත්මක කළ හැකි අයිතිවාසිකම් සහතික කරලීම සඳහා අපි නව ආයෝජන ආරක්ෂණ පනතක් කෙටුම්පත් කරමින් සිටිනවා. දෙවනුව, සෑම මහා පරිමාණ ව්‍යාපෘතියක්ම විනිවිද පෙනෙන, නීති මත පදනම් වූ ඇගයීමකට භාජන කෙරෙනවා. ඒ කියන්නේ ප්‍රමිතිගත ටෙන්ඩර් ක්‍රියා පරිපාටි සහ පූර්ව-නිශ්චිත තිරසරභාවය පිළිබඳ වූ නිර්ණායක මත. අභ්‍යන්තර හෝ දේශපාලනික සබඳතා ඇති කණ්ඩායම්වලට කියා විශේෂ සැලකිලි නැහැ. එය ආයෝජකයන් දිගු කලක් තිස්සේ ඉල්ලා සිටි දෙයක්. තෙවනුව, අපි මේ සඳහා වන නීති සහ නියාමන රාමුව ශක්තිමත් කරමින් සිටිනවා. ඩිජිටල් ප්‍රසම්පාදන ක්‍රියාවලි, වත්කම් පිළිබඳ ප්‍රකාශන අනිවාර්ය කිරීම සහ ස්වාධීන අධීක්ෂණ යන්ත්‍රණ ස්ථාපිත කිරීම මේ සඳහා අප ගන්නා පියවරවලින් කිහිපයක් පමණයි.
මෙයින් පෞද්ගලික සබඳතා මත නොව, උචිත බව, ශක්‍යතාව සහ ජාතික වශයෙන් ලැබෙන ප්රතිලාභ මත අයෝජන සඳහා අනුමැතිය ලබාදීම සහතික කරනවා. අවසාන වශයෙන්, අපි ආයෝජක විශ්වාසය දිනා ගැනීම සඳහා වන වැදගත්ම සංඥා දෙක, එනම්, දේශපාලන ස්ථාවරත්වය සහ නීතියේ ආධිපත්‍යය පවත්වා ගන්නවා. හදිසියේ ප්‍රතිපත්ති වෙනස් කරන හෝ විනිවිදභාවයෙන් තොර තීරණ සහිත යන්ත්රණයකට වඩා දිගුකාලීන ආර්ථික සැලසුම්කරණය කෙරෙහි යොමු වූ ස්ථාවර රජයක් බොහෝ ආකර්ෂණීයයි. කෙටියෙන් කීවොත්, ශ්‍රී ලංකාව ආයෝජන සාදරයෙන් පිළිගන්නවා. නමුත් අපට අවශ්‍ය වන්නේ විනිවිද පෙනෙන, පුරෝකථනය කළ හැකි සහ ඵලදායී ආයෝජනයි. ආයෝජකයන් නීතිය පිළිබඳ දැනුවත් විට සහ එම නීති හදිසියේ වෙනස් නොවන බව විශ්වාස කරන විට, ඔවුන් වැඩි ප්‍රාග්ධනයක් යොදවනවා. තාක්ෂණය රැගෙන එනවා මෙන්ම රැකියා නිර්මාණය කරනවා. අපි ගොඩනඟන්න උත්සාහ කරන්නේ එම පරිසරයයි.
නිවුස්වීක්-
හම්බන්තොට සහ වරාය නගරය චීනයට දිගුකාලීනව බදු දීම පිළිබඳ සලකා බලන විට, මේවා ශ්‍රී ලංකාව කළමනාකරණය කළයුතු උපායමාර්ගික අවදානම් ලෙස ඔබ දකිනවාද?
ජනපති- මේ ව්‍යාපෘති අප බුද්ධිමත්ව කළමනාකරණය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලු වරාය පර්යන්ත මෙන්ම හම්බන්තොට වරායද උපරිම විනිවිදභාවයෙන් ක්‍රියාත්මක වෙනවා.
එහි පාලනය පවතින්නේ අපගේ නාවික හමුදාව සහ රේගුව යටතේ. එය රැකියා උත්පාදනය සහ කලාපීය සංවර්ධනයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්රතිලාභ සඳහා දායක වන අතරම එයින් රටේ ආරක්ෂාවට අවදානමක් ඇති කරන්නේ නැහැ. මේ බදු දීම වාණිජමය පදනමකින් සිදු වූවක් විනා හමුදාමය කටයුතු සඳහා ලබා දුන්නක් නොවේ. කිසිදු විදේශීය හමුදා කඳවුරක් එහි ස්ථානගත කිරීමට අවසර නොමැති බව අපි පැහැදිලිව පවසා ඇති අතර, අපි එය එලෙසම ක්‍රියාත්මක කරනවා. වරාය නගරය මූලික වශයෙන් වාණිජ සංවර්ධන ව්‍යාපෘතියක්.
එය රැකියා නිර්මාණය කරනවා, ආයෝජන ආකර්ෂණය කර ගන්නා අතරම, ආදායම් උත්පාදනය කරනවා. එහි මෙහෙයුම් අප විසින් අධීක්ෂණය කළයුතු වෙනවා. ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව ක්‍රියාත්මක විය යුතු අතරම, වත්කම් භාවිතයේදී අපේ ස්වෛරීභාවය පවත්වා ගත යුතු වෙනවා.මේ ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ අවශ්‍යතා පිළිබඳ පැහැදිලි තක්සේරුවකින්. එනම්, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වන්නේද යන්න විමසා බලා, අනතුරුව අප විසින් කළමනාකරණය කළ යුතු යථාර්ථය වෙනවා. මෑතකාලීන ගංවතුර සහ සුළි කුණාටුවෙන් පෙන්නුම් කළේ ශ්‍රී ලංකාව ආන්තික කාලගුණික තත්ත්වයන්ට මුහුණදීමට අදාළව තව බොහෝ දේ කළයුතුව ඇති බවයි.
නිවුස්වීක්-
රජය ව්‍යසනයට මුහුණ දුන් ආකාරය පිළිබඳ එල්ල වන විවේචනවලට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?
ජනපති- දිට්වා සුළි කුණාටුව ව්‍යසන තත්ත්වයක් ඇති කළා. ජීවිත අහිමි වුණා. ගම්මාන ජලයෙන් යට වුණා. යටිතල පහසුකම් විනාශ වුණා. අපගේ හමුදා සහ පළාත් පාලන ආයතන කඩිනමින් අවශ්‍ය කටයුතු සඳහා යෙදවීම නිසා ව්‍යසනය සඳහා අපගේ ප්‍රතිචාරය කඩිනම් සහ වේගවත් වුණා. මීට අපගේ හවුල්කරුවන්ද මැදිහත් වුණා. මේ මොහොතේ ප්‍රමුඛතාව වන්නේ සියල්ලන් එක්ව වැඩ කිරීම සහ ශ්‍රී ලංකාව යළි නඟා සිටුවීම සහතික කිරීමයි. ඒ අතරම ඒ සඳහා අපට මඟපෙන්වීමට සාධනීය විවේචන අවශ්‍ය වෙනවා. මෙවන් තත්ත්වයකට මුහුණ දීම සඳහා වූ සූදානම, ඉඩම් පරිහරණ ප්‍රමිති බලාත්මක කිරීම සහ සහන සැලසීමේ වේගය ආදී යන්ත්‍රණ තුළ දිගුකාලීන දුර්වලතා දක්නට ලැබුණා.
අපි රජය ලෙස කටයුතු කරන අතර මේ ගැටලු නිරාකරණය කිරීමට අපට අවශ්‍යයි. අපගේ ආපදා කළමනාකරණ පද්ධති පිළිබඳ පුළුල් සමාලෝචනයක් අපි සිදු කරමින් ඉන්නවා. ශ්‍රී ලංකාවේ පූර්ව නිරීක්ෂණ සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වැඩිදියුණු කළ යුතුයි. විශේෂයෙන්ම ඒ ඒ මොහොතේම කාලගුණ තත්ත්ව හඳුනාගැනීමේ සහ ප්‍රජාවට අනතුරු ඇඟවීමේ යන්ත්‍රණ. බලපෑමට ලක් වූ සෑම දිස්ත්‍රික්කයකම හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. මුදාගැනීමට සහ සහන සැලසීමට සියලුම හමුදා සහ පොලීසි යොදවා තිබෙනවා. අප වෙත කඩිනම් සහාය දැක් වූ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර තිබෙනවා.
අපි අවශ්‍ය සම්පත් සහ අධිකාරිය සහිත ජාතික ආපදා කළමනාකරණ අධිකාරියක් නිර්මාණය කරමින් සිටිනවා. වඩා හොඳ රේඩාර් ආවරණයක් මගින් අපි අපගේ පුරෝකථන වැඩිදියුණු කරන්නට කටයුතු කරනවා. අපි අධි-අවදානම් සහිත ප්‍රදේශවල මුදාගැනීමේ උපකරණ සහ අවශ්‍ය සැපයුම් පූර්ව ස්ථානගත කිරීම සිදු කරනවා. මධ්‍යම කඳුකරයේ නාය යෑමේ අවදානම් සහිත ප්‍රදේශ අපි සිතියම්ගත කරමින් සිටිනවා. ඇත්ත වශයෙන්ම මේ දිස්ත්‍රික්ක මින් පෙරද නායයෑම්වලට මුහුණ දී තිබෙනවා.
දේශගුණික විපර්යාස හේතුවෙන්, කාලයත් සමඟ මෙවන් විනාශයක් අපේක්ෂා කළ යුතුව තිබුණා. එහෙත් වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ලෙස ඒ සඳහා සූදානම් වීමට අපොහොසත් වී තිබෙනවා. අවම වශයෙන් දැන්, අපගේ රජය සියලු හවුල්කරුවන් සමඟ එක්ව ඵලදායී, කාර්යක්ෂම සහ වගකිවයුතු පද්ධති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. අපි ශ්‍රී ලංකාව පෙරට වඩා හොඳින් යළි ගොඩනැඟිමට කටයුතු කරනවා.
නිවුස්වීක්-
දේශගුණික ආපදා තත්ත්ව විසින් රට නැවත නැවතත් වසර ගණනාවක් පසුපසට ඇද දමන ආකෘතියක ශ්‍රී ලංකාව සිර වී සිටිනවාද? ඔබේ දිගුකාලීන සැලැස්ම කුමක්ද?
ජනපති- අපි දැන්ම ක්‍රියා නොකළොත් අපි කොටු වෙනවා. මේ උගුල අප විසින්ම නිර්මාණය කරන ලද්දක් නොවේ. ශ්‍රී ලංකාව ගෝලීය වායු විමෝචනයට දායක වන්නේ නොසැලකිය යුතු කුඩා ප්‍රමාණයකින්. නමුත් වසර ගණනක අප විසින් අත්පත් කරගත් ප්‍රගතිය එක රැයකින් විනාශ කළ හැකි දේශගුණික කම්පනවලට අපි මුහුණ දෙමින් සිටිනවා. අපි මේ චක්‍රය බිඳ දැමිය යුතුයි. සෑම ගංවතුරකටම, සෑම සුළි කුණාටුවකටම, සෑම නියඟයකටම අපව නැවත අප මුලින්ම ආරම්භ කළ ස්ථානයට ගෙනයෑමට ඉඩ දිය නොහැකියි. එනිසා මේ උගුලෙන් ගැලවීමට සැලැස්මක් සකසා ගැනීමට අපට සහාය වන ලෙස අපි අපගේ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
දේශගුණික තත්ත්වයන්ට ප්‍රතිරෝධී යටිතල පහසුකම් ගොඩනැඟීමට අපට උපකාර කරන්න. මෙය මුලදී වැඩි පිරිවැයක් දැරුවත්, නැවත නැවත කරන්නට සිදුවන ප්‍රතිසංස්කරණවලින් අපව ගලවා ගනීවි. දේශගුණික-අවදානමට ලක්විය හැකි අංශවලින් අපගේ ආර්ථිකය, ඩිජිටල් ආර්ථිකය, තොරතුරු තාක්ෂණ සේවා, සරල නිෂ්පාදන සහ දේශගුණික-ප්‍රතිරෝධී කර්මාන්ත වැනි අංශ වෙත අපගේ ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට අපට උපකාර කරන්න.
ආපදා ඇතිවීමට පෙර ජනතාව ඉවත් කිරීමට සහ වත්කම් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් කාලය ලැබෙන පරිදි තාක්ෂණය අප සමඟ බෙදා ගන්න. කඩොලාන ප්‍රතිෂ්ඨාපනය, වන වගාව සහ තෙත්බිම් සංරක්ෂණය ආදිය ඇතුළු ස්වාභාවික දේශගුණික විපර්යාස අවම කිරීමේ යටිතල පහසුකම් ගොඩනැඟීමට අපට උපකාර කරන්න.
නිවුස්වීක්-
ආපදා තත්ත්වයට ප්‍රතිචාර දැක්වීමේදී වඩාත්ම විශ්වාසවන්ත හවුල්කරුවන් වූයේ කවුද? ශ්‍රී ලංකාවේ අනාගතයට අත්‍යවශ්‍ය වන රටවල් මොනවාද?
ජනපති- අපට සහාය වීමට බොහෝ රටවල් ඉදිරිපත් වුණා. ඉන්දියාව සාගර් බන්ධු මෙහෙයුම සමඟ කඩිනමින්ම ප්‍රතිචාර දැක්වූවා. ඔවුන් ගුවන් යානා, හෙලිකොප්ටර්, ගුවන් යානා ප්‍රවාහක INS වික්‍රාන්ත් ඇතුළු නාවික යාත්‍රා සහ ඔවුන්ගේ ජාතික ආපදා ප්‍රතිචාර බළකායේ නිලධාරීන් ඒ සඳහා යෙදවූවා. අපගේ අසල්වැසි පාකිස්තානය සහ මාලදිවයින ද අපට මිල කළ නොහැකි සහයෝගයක් ලබා දුන්නා. ඔවුන්ගේ සහයෝගීතාව මෙන්ම අපගේ සියලු අසල්වැසි රාජ්‍යයන් අපට ලබා දුන් සහයෝගීතාව අපි බෙහෙවින් අගය කරනවා. ලොව පුරා සිටින අනෙකුත් සියලුම රටවල්, ජාත්‍යන්තර හවුල්කරුවන් සහ පුද්ගලයන්ට ද අපි බෙහෙවින් කෘතඥ වෙනවා.
යටිතල පහසුකම් ගොඩනැඟීම, ආර්ථික සංවර්ධනය, දේශගුණික අනුවර්තනය සහ තාක්ෂණය සඳහා අපි සියලුම හවුල්කරුවන් සමඟ, එනම්, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ලෙස එක්ව කටයුතු කරනවා. ඔබගේ පැනයට ලබා දිය හැකි අවංක පිළිතුර නම් – අපට තනි හවුල්කරුවෙකු මත පමණක් යැපීමට හැකියාවක් නැහැ. අපගේ අනාගතය රඳා පවතින්නේ අප රටේ තිරසර සංවර්ධනය, ප්‍රගතිය සහ සමෘද්ධිය සඳහා දායක වන සියලුම හවුල්කරුවන් සමඟ ඵලදායී සබඳතා ගොඩනඟා ගැනීම සහ පවත්වාගෙන යෑම මතයි.
නිවුස්වීක්-
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සීමා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ නීතිය වැනි නීති යටතේ ශ්‍රී ලංකාව පුළුල් බලතල රඳවා ගන්නවා. මේ නීති සම්බන්ධයෙන් ඔබේ සැලැස්ම කුමක්ද?
ජනපති- අතීතයේදී මේ නීති මර්දනයේ මෙවලම් ලෙස භාවිත කර තිබෙනවා. ඒවා ප්රජාතන්ත්රවාදය තුළ විතැන් වී තිබෙනවා. නමුත් අපි පුළුල් ප්රතිසංස්කරණයකට කැප වී සිටින අතරම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කර සිවිල් නිදහස සමඟ නීත්‍යනුකූල ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු තුලනය කරන නීති මගින් එය ආදේශ කිරීමට කැප වී සිටිනවා. මෙයින් අදහස් කරන්නේ අවිනිශ්චිත ලෙස රඳවා තබා ගැනීම අවසන් කිරීම, සියලු රඳවා තබා ගැනීම් සඳහා අධිකරණ අධීක්ෂණයක් ස්ථාපිත කිරීම, නීති උපදෙස් ලබා ගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම සහ ත්‍රස්ත විරෝධී නීති ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කිරීමයි. ප්‍රචණ්ඩත්වයට සහ ළමුන් සූරාකෑමට මුල් වන වෛරී ප්‍රකාශන වැනි සැබෑ හානි පිළිබඳ අවධානය යොමු කරන අතරම ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා අපි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටිනවා.
මෙහිදී අවධානය යොමු වන්නේ සැබෑ හානිය වැළැක්වීමට මිස පවතින විවේචන නිහඬ කරලීම පිළිබඳව නෙමෙයි. මේ ආදේශන නීති කෙටුම්පත් කිරීම සඳහා සිවිල් සමාජය, ජාත්‍යන්තර මානව හිමිකම් විශේෂඥයන් සහ බලපෑමට ලක් වූ ප්‍රජාව සමඟ කටයුතු කිරීමට අපට අවශ්‍යයි. කඩිමුඩියේ සම්මත කරන නරක නීති නව ගැටලු නිර්මාණය කරනවා – අපි මෙය අතීතයේදීත් අත්විඳ තිබෙනවා. ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් රජය කෙරෙහි විශ්වාසය රඳවා ගැනීමට මේ ප්‍රතිසංස්කරණ සිදු කිරීම අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳව අපි ක්‍රියා කරනවා. ඉක්මනින් ක්‍රියා කරනවා.
නිවුස්වීක්-
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ නීති නිර්-ලිබරල් රාජ්‍යයක නීතිවලට සමාන වන විට අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් හවුල්කරුවන්ට එය විශ්වාස කළ හැක්කේ කෙසේද?
ජනපති- විශ්වාසය ක්‍රියාවෙන් උපයා ගන්නා දෙයක්. පෙර සිටි රජයන් කළ කී දෑ දැන් අපට උරුම වී තිබෙනවා. ඒවා වෙනස් කිරීමට කාලය ගත වෙනවා. අයිතිවාසිකම් පිළිබඳ දැනුම්වත් හවුල්කරුවන් අපගේ ක්‍රියා දෙස බැලිය යුතුයි.
අපි දේශපාලන සිරකරුවන් ක්‍රමානුකූලව නිදහස් කරමින්, අනීතිකව මර්දනකාරී නීති යටතේ පුද්ගලයන් රඳවා තබා ගත් අවස්ථා සමාලෝචනය කරමින්, සාමකාමී විරෝධතා සඳහා ඉඩ හසර ලබා දෙමින් සහ අධිකරණය, මානව හිමිකම් කොමිසම සහ දූෂණ විරෝධී ආයතන ආදී ස්වාධීන ආයතන ශක්තිමත් කරමින් සිටිනවා. අපි මේ ආයතනවලට අවශ්‍ය සම්පත් සපයන අතර මර්දනකාරී නීති අවලංගු කිරීමේ සහ සංශෝධනය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටිනවා. දශක ගණනාවක් තිස්සේ ගොඩනඟා ඇති මෙවැනි මර්දනකාරී පද්ධති විසුරුවා හැරීමට අපි උත්සාහ කරමින් සිටිනවා. පාලනය පිළිබඳ පැවති දේශපාලන සංස්කෘතිය සහ ආයතනික පුරුදු එක රැයකින් වෙනස් වන්නේ නැහැ. එයට අනවරත උත්සාහය අවශ්‍ය වෙනවා. අපි නිවැරදි දිශාවට ගමන් කරනවාද සහ අපගේ ප්‍රතිසංස්කරණ වැදගත්ද යන්න දෙස අපගේ හවුල්කරුවන් බැලිය යුතුයි.
එසේම, අපි පසුබෑමකට ලක් වෙනවාද නැතහොත් ඉදිරියට යනවාද යන්න විමසා බැලිය යුතුයි. වගකිවයුතු සහ අයිතිවාසිකම් මත පදනම් වූ පද්ධති ගොඩනැඟීමට ඔවුන් අපට උදව් කළ යුතු වෙනවා. අයිතිවාසිකම්වලට ගරු කරන ප්රජාතන්ත්රවාදයක් ගොඩනැඟීම සඳහා අප කැප වන අතර, එම ක්‍රියාවලියට සහාය දෙන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
නිවුස්වීක්-
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා ස්වාධීන විශේෂ උපදේශකයකු සහිතව විශේෂ අධිකරණ යන්ත්‍රණයක් නිර්දේශ කර තිබෙනවා. ඔබ ඊට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?
ජනපති- අතීතයේ සිදු වූ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සඳහා වන සංක්‍රාන්තික යුක්තිය සංකීර්ණයි. එම පවුල්වලට සත්‍යය, වගවීම, යුක්තිය සහ වන්දි ලැබිය යුතුයි. අපගේ ජාතියට සංහිඳියාව අවශ්‍යයි. ශ්‍රී ලංකාව විසින් මෙහෙයවනු ලබන ක්‍රියාවලියක් මගින් අතීතයේ සිදුවූ මේ උල්ලංඝනය කිරීම් සඳහා වගවීමේ වැඩපිළිවෙළකට අපි සහාය දෙනවා. විශ්වසනීය දේශීය ක්‍රියාවලියක් කුමන ආකාරයේ විය යුතුද යන්න පිළිබඳව තීරණය කිරීමට අපි දැනට වින්දිතයන්ගේ කණ්ඩායම්, සිවිල් සමාජ සංවිධාන, දේශීය සහ ජාත්‍යන්තර විශේෂඥයන් සමඟ කටයුතු කරමින් සිටිනවා.
නිවුස්වීක්-
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම දේශපාලනික වුවමනාවෙන් සිදු වූවක් බවත්, මුල් බැසගෙන ඇති දූෂණයට එරෙහිව සැබෑ පියවර නොගන්නා බවත් විචාරකයෝ පවසනවා. ඔබ එයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?
ජනපති- දූෂණ විමර්ශන කටයුතු දේශපාලනික වුවමනා මත සිදු නොකළ යුතු අතර සාක්ෂි මත පදනම් විය යුතුයි. සාක්ෂි මත නඩු පැවරීමට අවශ්‍ය නම්, දේශපාලන තත්ත්වය මත මුක්තිය ලබා නොදිය යුතුයි. එවැනි කාරණා සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීමක් නොතිබිය යුතුය. වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම යුක්ති සහගතද නැද්ද යන්න සාක්ෂි මත රඳා පවතින අතර, මාධ්‍ය හෝ දේශපාලන බලපෑම මත නොව, එය නිසි අධිකරණ ක්‍රියාවලියක් මගින් පරීක්ෂා කළ යුතුයි.
ආයතනගත දූෂණය සම්බන්ධයෙන් වඩාත් පුළුල් ලෙස ගත්තොත්, ඔව්, අපි තවමත් ප්‍රමාණවත් ලෙස ක්‍රියා කර නොමැති බව පෙනෙන්න පුළුවන්. එසේ පෙනෙන්න හේතුව, දූෂණය දශක ගණනාවක් තිස්සේ ගොඩනඟන ලද ආයතනවල ගැඹුරින් මුල් බැස තිබීමයි. මෙයින් අදහස් කරන්නේ දේවල් නිවැරදි කිරීම සඳහා අත්අඩංගුවට ගැනීම පමණක් නොව පද්ධතිමය වෙනසක් අවශ්‍ය වන බවයි. අපි දූෂණය පිටුදකින ආයතන ශක්තිමත් කරමින් සිටිනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ස්වාධීනත්වය, සම්පත් සහ දේශපාලන නිදහස අවශ්‍යව තිබෙනවා. අපි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය ස්ථාපිත කරමින් සිටිනවා. රජයේ කොන්ත්‍රාත්, විශේෂයෙන්ම විශාල යටිතල පහසුකම් සඳහා වූ ව්‍යාපෘති, විනිවිද පෙනෙන, තරගකාරී ක්‍රියාවලියකින් සිදු විය යුතුයි.
අල්ලසට ඇති අවස්ථා අවම කිරීම සඳහා අපි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඩිජිටල්කරණය කරමින් සිටිනවා. අපි වත්කම් බැරකම් ප්‍රකාශන සහ ලැදියාවන් අතර ගැටුම් පිළිබඳ නීති ශක්තිමත් කරමින් සිටිනවා. අපි ප්‍රධාන අල්ලස් හෝ දූෂණ වරදවල් සම්බන්ධයෙන් නඩු පැවරීමට ක්‍රියා කරමින් සිටිනවා. අනාගතයේදී දූෂණය වැළැක්වීම සඳහා වන ආයතනික ප්‍රතිසංස්කරණ අපි ස්ථාපිත කරමින් සිටින අතරම වගවීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපි කැප වී සිටිනවා. විශ්වසනීයත්වය පැමිණෙන්නේ ක්‍රියාවෙන් මිස පෞරුෂයෙන් නොවන බව අපි විශ්වාස කරනවා.
ශ්‍රී ලංකාවේ යුක්තිය පාලනය විය යුත්තේ කරුණු, සාක්ෂි සහ නිසි ක්‍රියාපටිපාටි මගින්. අප ක්‍රියාත්මක වන්නේ ඊට අනුවයි. මේ යන්ත්‍රණ ශක්තිමත් කිරීම, ඒවායේ අඛණ්ඩතාව සහතික කිරීම සහ වගවීම යන කරුණු පාලනයේ ස්ථිර ලක්ෂණ බවට පත් කිරීම සඳහා අපි පස් අවුරුදු දූෂණ විරෝධී සැලැස්මක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.
නිවුස්වීක්-
2024දී ශ්‍රී ලාංකිකයන් 300,000කට අධික සංඛ්‍යාවක් විදේශ රැකියා සඳහා පිටත්ව ගියා. තරුණ විරැකියාව තවමත් 20%ට වඩා වැඩියි. නිපුණතා ඇති වයස අවුරුදු 25ක තරුණයකුට ශ්‍රී ලංකාවේ රැඳී සිටිය යුතු යැයි ඒත්තු ගැන්විය හැකි රජයේ ප්‍රතිසංස්කරණ මොනවාද?
ජනපති- තරුණයන්ට අවස්ථාවන්ගෙන් පිරුණු දීප්තිමත් අනාගතයක් සහිත රටක් අප නිර්මාණය කළ යුතු වෙනවා. මේ සඳහා මූලික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් අවශ්‍යයි. කෙටියෙන් කීවොත් – සම්බන්ධතාවලට වඩා කුසලතාවලට මූලිකත්වය දීම, ව්‍යවසායකත්වයට හිතකර පරිසරයක්, තරගකාරී වැටුප් සහ අවස්ථා, ගුණාත්මක අධ්‍යාපනය සහ කුසලතා පුහුණුව, මෙරටට නැවත පැමිණෙන අයට නව ජීවන මාර්ග, ජීවත්විය හැකි නගර සහ යහපත් ජීවන තත්ත්වය, දේශගුණික වශයෙන් ඔරොත්තු දීමේ හැකියාව ආදිය දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගෝලීය ආර්ථිකය සමඟ බාධාවකින් තොරව සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය නියාමන රාමු සහ ජාත්‍යන්තර හවුල්කාරිත්ව ඇති කර ගැනීමටත් අපට අවශ්‍යයි. එයින් අපගේ ජනතාවට දැනට පවතින සීමාමායිම් පුළුල් වෙනවා. ඒ වුණත් මේ සියලු ප්‍රතිසංස්කරණ සිදු වුවත්, ඇතැම් අය රට හැර යාවි. මෙහි කටුක සත්‍යය එයයි. ගෝලීයකරණය වූ ලෝකයක යථාර්ථය මෙයයි. අපට කළ හැක්කේ සහ අප ඉටු කිරීමට කැප වී සිටින්නේ ප්‍රමාණවත් අවස්ථා නිර්මාණය කිරීමයි. එමඟින් ශ්‍රී ලංකාවේ රැඳී සිටීම තරගකාරී තේරීමක් මිස කැපකිරීමක් නොවෙනු ඇති. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ ප්‍රගතියට දායක විය හැකි ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ ශක්තිමත් සම්බන්ධතා පවත්වා ගැනීමට ද අපට අවශ්‍යයි. දක්ෂතා ඇති වයස අවුරුදු 25ක තරුණයකු ශ්‍රී ලංකාවේ රැඳී සිටිය යුතු වන්නේ ඔහුට ශ්‍රී ලංකාවේ සාර්ථක වෘත්තීමය තත්ත්වයක් ගොඩනඟා ගත හැකි බවත් රටේ ප්‍රගතියට අර්ථවත් ලෙස දායක විය හැකි බවත් ඔහු විශ්වාස කරන නිසා. අපි නිර්මාණය කිරීමට කටයුතු කරන්නේ එයයි. එනම්, සැමට සමෘද්ධිමත් විය හැකි ස්ථාවර, සාමකාමී, සංහිඳියාවෙන් යුතු පොහොසත් ශ්‍රී ලංකාවක්.
නිවුස්වීක්-
ඔබේ රටේ අතීතයේ සිදු වූ සියලු අයහපත් දෑ ඔබට ÒජයගතÓ හැකි යැයි ඔබ සිතනවාද?
ජනපති- නැහැ. මෙහිදී අවංක වීම වැදගත්. ගැටුම්වලින් ජීවිත දහස් ගණනක් අහිමි වීම ජය ගන්න බැහැ. අතුරුදන් වීම්, වධහිංසා පැමිණවීම්, එම පවුල්වලට දැනුණු කම්පනය සහ පරම්පරා ගණනකට කැලැල් ඇති කළ අතීතයේ සිදුවීම් අපට ජය ගැනීමට බැහැ. වැරදි ආර්ථික කළමනාකරණය සහ බිඳවැටීම නිසා ඇති වූ දුක් වේදනා අපට ජය ගැනීමට බැහැ. මරණ සහ ඛේදවාචක ජය ගැනීමට බැහැ. අපට කළ හැක්කේ සහ අප කළයුත්තේ, අතීතයේ සිදු වූ මේ භීෂණ නැවත ඇති නොවන බව සහතික කිරීමයි. ඒවා කිසි විටෙකත් නැවත සිදු නොවන බව තහවුරු කිරීමයි. ආදරණීයන් අහිමි වූ මිනිසුන්ගේ වේදනාව නව රජයක් හෝ නව නීතියක් ඇති වූ පමණින් අතුරුදන් වන්නේ නැහැ.
අපට කළ හැකි හොඳම දෙය නම් වේදනාව පවතින බව පිළිගැනීම සහ මෙවැනි දේවල් නැවත සිදු නොවන බවට වග බලා ගැනීමෙන් එම වේදනාව නිෂ්ඵල එකක් නොවන බව සහතික කිරීමයි. ජය ගැනීම යන්නෙන් ඇඟවෙන්නේ අපට අතීතයට ගොස් අමතක කළ හැකි බවයි.
ඒත් අපට අතීතය මකා දැමිය නොහැකියි. අපට අතීතය අමතක කරන්න බැහැ. අපි අතීතය පිළිගෙන, ඒ මතකයන් සහ වේදනාකාරී අත්දැකීම්, ඒවා නැවත ඇති නොවීම සහතික කිරීම පිණිස වඩා හොඳ, සියලු දෙනා අන්තර්කරණය කර ගත් ජාතියක් ගොඩනැඟීම සඳහා වන පෙළඹවීමක් බවට පත් කර ගත යුතුයි. මගේ මතකයට එන පැනය නම්, අපට නරක දෙයක් ජය ගත හැකිද යන්න නොවෙයි. එම වේදනාකාරී අත්දැකීම් ඇති කළ චක්‍රය බිඳ දැමිය හැකිද යන්නයි. ජනවාර්ගිකත්වය, භාෂාව හෝ ආගම යන භේද නොසලකා සෑම කෙනෙකුම ආරක්ෂා කරන ආයතන අපට ගොඩනඟා ගත හැකිද යන්නයි.දේශපාලනමය වෙනස්කම් ප්‍රචණ්ඩත්වයට හේතු නොවන බව අපට සහතික කළ හැකිද? පුරවැසිභාවය සමාන වන, සියලු ප්‍රජාවට තමන් සමාන බව හැඟෙන රටක් අපට නිර්මාණය කළ හැකිද? සෑම කෙනෙකුටම වගකීම පැවරෙන ශක්තිමත් ආයතන සහිත රටක් අපට නිර්මාණය කළ හැකිද? මෙය සාක්ෂාත් කර ගත හැකි ඉලක්කයක්යැයි මම සිතනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය වන්නේ අතීතයට අවංකව මුහුණදීම මිස එය ජය ගැනීමට බොරු මවාපෑමක් නොවේ. සුළුතර අයිතිවාසිකම් ආරක්ෂා කරන සහ සමාන පුරවැසිභාවය සහතික කරන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ එයට අවශ්‍ය වෙනවා. එයට ප්‍රජාව සවිබලගැන්වීම සහ අවදානමට ලක් විය හැකි අය ආරක්ෂා කිරීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා සියලු දෙනාට සමාන ආර්ථික අවස්ථා සැලසීමට අවශ්‍ය වෙනවා. එයට සියලු දෙනාට ගෞරවය ලබාදීම අවශ්‍යයි. අපට අතීතය ජය ගත නොහැකියි. එහෙත් අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන එම අයහපත් දේ අනාගත පරම්පරාවන් වෙත භාර නොදීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙන් එම අයහපත් දේ නැවත ඇති වීම ප්‍රතික්ෂේප කළ හැකියි.
නිවුස්වීක්-
ශ්‍රී ලංකාවට දැනට පවතින විශාලතම අභියෝගය කුමක්ද?
ජනපති – අපගේ විශාලතම අභියෝගය වන්නේ එකිනෙක ගැටෙන අර්බුද සමඟ කටයුතු කරන අතරතුර තිරසර සහ සාධාරණ සංවර්ධනයක් අත්කර ගැනීමයි. අපි දැන් ඓතිහාසික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් සම්පූර්ණ කර තිබෙනවා. ඩොලර් බිලියන 25ක ණය ප්‍රතිව්‍යුහගත කර තිබෙනවා. ඩොලර් බිලියන 3ක ණය කපා හැර තිබෙනවා. එහෙත්, දැන් අපට අපගේ පාලනයෙන් ඔබ්බට ගිය අර්බුදයකට මුහුණ දීමට සිදු වෙලා. දිට්වා සුළි කුණාටුව අපගේ අභියෝග තවත් බරපතළ කර තිබෙනවා. අපි පියවර දෙකක් ඉදිරියට තබන විට, අපගේ පාලනයෙන් ඔබ්බට ගිය දෙයක් අපව පියවර තුනක් පසුපසට තල්ලු කර ඇති බව පෙනෙනවා. එහෙත් අපගේ ජනතාවට අසාමාන්‍ය දරා ගැනීමේ හැකියාවක් තිබෙනවා.
අපගේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 100% ට වඩා වැඩියි. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අපට හැකි වුණත්, අපගේ ආර්ථිකය තවමත් බිඳවැටෙන සුළුයි. මේ මොහොතේ මිලියන දෙකකට අධික ජනතාවක් ව්‍යසනයකින් පීඩාවට පත්ව සිටිනවා. ඔවුන්ට කඩිනම් සහාය අවශ්‍යයි. යම් අර්බුදයක් පැන නැඟී අපව වසර කිහිපයකින් පසුපසට ඇද දමන, සෑම ජයග්රහණයක්ම තාවකාලික තත්ත්වයක් පමණක් වන චක්‍රයෙන් ඔබ්බට යෑමට අපට සිදු වෙනවා. මම හිතන්නේ මෙය අපගේ විශාලතම අභියෝගයයි. ශ්‍රී ලංකාවේ දරා ගැනීමේ හැකියාව අපි ඔප්පු කළ යුතුයි. අපට දේශගුණික විපත්වලට ඔරොත්තු දිය හැකි බව අපි ඔප්පු කළ යුතුයි.
තරුණයන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට සිතෙන සරු අනාගතයක් ඔවුන්ට ලබා දිය හැකි බව අපි ඔප්පු කළ යුතුයි. ණය කළමනාකරණය, ආපදා සඳහා පෙර සූදානම, ආර්ථික ප්‍රතිසංස්කරණ, තරුණයන්ට රැකියා, දේශගුණික අනුවර්තනය ආදී අනෙක් සියල්ල ගලා එන්නේ ශ්‍රී ලංකාවට තිරසර අනාගතයක් ඇති බව ඔප්පු කිරීම පිළිබඳ වන කේන්ද්‍රීය අභියෝගයෙන්. අපගේ ජනතාවට විශ්වාසය නැවත ගොඩනැංවීම සහ සියලු අභියෝගයන්ට ඔරොත්තු දෙන, සාමකාමී, සංහිඳියාවෙන් යුත් සහ සමෘද්ධිමත් ජාතියක් ලෙස අපගේ ජාතිය ගොඩනැඟීමේ වගකීම භාර ගැනීමට ඔවුන්ව දිරිගැන්වීම සහ පෙළඹවීමට මම හදවතින්ම කැප වී සිටිනවා.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන් එක්ව සිය පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 3.6ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ. ඉන්දුනීසියානු තානාපති Dewi Gustina Tobing මහත්මිය විසින් ඊට අදාළ චෙක්පත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා වෙත පසුගියදා (11) අමාත්‍යාංශයේදී භාර දෙන ලදි. කොළඹ සිටින තානාපතිවරු සහ මහකොමසාරිස්වරු නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ කොරියා තානාපති Lee Miyon, ස්විට්සර්ලන්ත තානාපති Dr. Siri Walt, පලස්තීන තානාපති Ihab I.M. Khalil, මාලදිවයින් මහ කොමසාරිස් Masood Imad, ඕමාන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී Said Al Harbi, ඉතාලි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Alberto Arcidiacono මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් 10 දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර, මහත්වරුන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (11) පැවති මාධ්‍ය හමුවට එක්වූයේ මෙලෙසිනි.
විදේශ අමාත්‍යාංශයට ත්‍රිකුණාමලයෙන් ඉඩමක්
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා විශ්වවිද්‍යාල විද්‍යායතනය සඳහා වෙන් කර ඇති ඉඩම සහ ඉදිකිරීම් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත පැවරීමට අනුමැතිය පළ වේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය මේ යෝජනාව ඉදිරිපත් කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලය මාලදිවයින් රජය සමඟ අවබෝධතා ගිවිසුමක්
කොළඹ විශ්වවිද්‍යාලය සහ මාලදිවයින් ජනරජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ශාස්ත්‍රීය සහයෝගිතාව අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුමකට එළඹීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වේ.
මහවැලි ආයෝජනයකට ADB අරමුදල්
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන අදියර 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අරමුදල් සලසා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වේ.
එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 536.5ක් වන ඇස්තමේන්තුගත පිරිවැයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් ආසියානු සංවර්ධන බැංකුව හරහා මූල්‍යකරණය කර ගැනීමට යෝජනා වී තිබේ. ඒ අනුව, එකී ණය මුදල ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ ණය ගිවිසුමකට එළඹීමට අදාළව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ යෝජනාව ඉදිරිපත් කර තිබේ.
නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩමක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ 03, කොල්ලුපිටියේ පෙරහර මාවතෙහි පිහිටි ඉඩම් කොටසක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීමට අනුමැතිය හිමි වේ.
ඒ අනුව, රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත පදනම්ව අදාළ ඉඩම් කොටස 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරි ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා යෝජනා කර තිබේ.
ක්‍රීඩා සංවර්ධනයට මාලදිවයින සමඟ ගිවිසුමක්
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ක්‍රීඩා සහ තරුණ සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමි වේ.
තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා මේ යෝජනාව ඉදිරිපත් කර ඇත.
සමුද්‍ර පරිසරය සංවර්ධනයට සැලසුම්
ශ්‍රී ලංකාවේ වෙරළබඩ සහ සමුද්‍ර පරිසර පද්ධතිවල ස්වාභාවික ප්‍රාග්ධන වටිනාකම් තිරසර සංවර්ධන සැලසුම් හා ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමි වේ.
එකී ව්‍යාපෘතියෙහි ක්‍රියාකාරකම් ගාල්ල, මන්නාරම, පුත්තලම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි හඳුනාගත් වෙරළබඩ ප්‍රදේශයන්හි වසර 04ක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2.66ක මූල්‍ය ප්‍රදානයක් ලැබීමට නියමිතය. ගෝලීය පරිසර පහසුකම විසින් ලබා දෙනු ලබන මූල්‍ය ප්‍රදානය භාවිත කොට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා වන එකඟතා ගිවිසුම පරිසර අමාත්‍යාංශය සහ සොබාදහම සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තර සංගමය අතර අත්සන් තැබීමටත් පරිසර ඇමැති වෛද්‍ය දම්මික පටබැඳිගේ මහතා විසින් කරන ලද යෝජනාව මෙසේ අනුමත වී තිබේ.
යාපනය-කැලණිය-කොළඹ සරසවිවල වැඩ නිම කෙරේ
07- යාපනය, කැලණිය, කොළඹ සහ වයඹ යන විශ්වවිද්‍යාලවල ඉදිකිරීම් වැඩ නිම කිරීමටත්, ඒ සඳහා යෝජිත පරිදි මුළු පිරිවැය ඇස්තමේන්තු සංශෝධනය කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ අබලි යකඩ ටෙන්ඩරය
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින අබලි ලෝහ බැහැර කිරීමේ ටෙන්ඩරය ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාර්ථකව ප්‍රතිචාර දක්වන ලද වැඩිම මිලගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති ලංසුකරුවන් වන M/s. Melwire Rolling (Pvt) Ltd වෙත රුපියල් මිලියන 721.257ක (වැට් සහිත) මුදලකටත්, M/s. S R Steel (Pvt) Ltd වෙත රුපියල් මිලියන 167.507ක (වැට් සහිත) මුදලකටත් ප්‍රදානය කිරීමට අදාළව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා කළ යෝජනාව අනුමත කර තිබේ.
පොලිඇක්සියල් එම්ආර්අයි අනුකූල මිලදී ගැනීමේ ටෙන්ඩරය
කොඳුඇටපෙළ ආශ්‍රිතව සිදු කරන සැත්කම්වලදී භාවිතයට ගනු ලබන පොලිඇක්සියල් එම්ආර්අයි අනුකූල (ටයිටේනියම්/කොබෝල්ට්-ක්‍රෝම්) ලම්බර් පෙඩිකල් ඉස්කුරුප්පු 48ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය ලංකාවේ Avenierr Pharma (Pvt) Ltd. (Manufacturer: Miraclus Orthotech (Pvt) Ltd., India) වෙත මුළු පිරිවැය ශ්‍රී ලංකා රුපියල් මිලියන 136.32ක මුදලකට පිරිනැමීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇනුමැතිය පළ වේ.
ඩෙස්ෆෙරිඔක්සමින් මෙසිලේට් වයල් මිලදී ගැනීම
රුධිර පාරවිලයනය කරන රක්තහීනතාවයෙන් පෙළෙන හෝ තැලසීමියා රෝගීන්ගේ ශරීරයෙන් අතිරික්ත යකඩ ඉවත් කිරීමට භාවිත කරනු ලබන ඩෙස්ෆෙරිඔක්සමින් මෙසිලේට් ඖෂධයෙන් වයල් 540,000ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය ශ්‍රී ලංකාවේ ABC Pharma Services (Pvt) Ltd. (Manufacturer: Gland Pharma Limited, India) වෙත මුළු පිරිවැය රුපියල් මිලියන 791.1ක මුදලකට පිරිනැමීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇනුමැතිය පළ වේ.
මන්නාරමේ සුළං විදුලි බලාගාර 2ක්
මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයෙහි මෙගාවොට් 50 බැගින් වන සුළං විදුලි බලාගාර 2ක් ස්ථාපිත කිරීමට අනුමැතිය හිමි වේ.
එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජකයන් හත් දෙනකු විසින් යෝජනා ඉදිරිපත් කර තිබූ අතර ඒ අතරින් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, Consortium of Vidullanka PLC & David Pieris Motor Company (Lanka) Limited වෙත සහ WindForce PLC වෙත අදාළ සුළං බලාගාර ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට නියමිතය.
බලශක්ති ඇමැති ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මේ යෝජනාව ඉදිරිපත් කර තිබුණි.
නේපාලයේ ත්‍රිභුවන් විශ්වවිද්‍යාලයේ (TU) මාධ්‍ය හා ජන සන්නිවේදන දෙපාර්තමේන්තුවේ (CDJMC) ප්‍රධානී මහාචාර්ය කුන්දන් ආර්යල් සහ යුනෙස්කෝ වැඩසටහන් නිලධාරී සහ සන්නිවේදන හා තොරතුරු ප්‍රධානී නිර්ජනා ෂර්මා මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් දෙසැම්බර් 08 වන දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය හමු වූහ.
මෙම හමුවේදී, නේපාල නියෝජිත පිරිස විසින් එරට වත්මන් මාධ්‍ය භාවිතය හා එහි හැසිරීම් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරිය දැනුවත් කරන ලදී. ඊට ප්‍රතිචාර වශයෙන් නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් මාර්ගගත සුරක්ෂිත භාවය පිළිබඳ පනත ප්‍රතිසංස්කරණයට අදාළ ක්‍රියාමාර්ග ඇතුළුව ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදි.
විශේෂයෙන්ම, දුස් තොරතුරුවලට එරෙහිව සටන් කිරීම සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම අතර පවතින සියුම් සමතුලිතතාවය නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා ය.
තවද, ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ නේපාලය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය ශක්තිමත් කළ හැකි විභව ක්ෂේත්‍ර පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා විය. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සඳහා නව තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධ පුහුණු වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා නේපාලයෙන් සහාය අවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළා ය.
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ චිත්‍රපට හා රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණ අංශයේ ප්‍රධානී ගයාන් මධුශංක මහතා සහ යුනෙස්කෝ ව්‍යාපෘතියේ පර්යේෂක, විශ්ලේෂක සහ වාර්තා රචක කිෂාන් අමරසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
සුරක්ෂිත හා තිරසර බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 9,000ක (අමෙරිකානු ඩොලර් මිලියන 30ක) ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ.
ශ්‍රී ලංකාව සඳහා සුරක්ෂිත, දැරිය හැකි සහ තිරසර බලශක්ති ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් මේ මූල්‍ය ආධාරය ලබා දීමට පියවර ගෙන තිබෙන අතර මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර සංවර්ධන අරමුදල අතර මූල්‍ය ගිවිසුම අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ලෝක බැංකු සමූහයේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ ඩේවිඩ් එන්. සිස්ලෙන් මහත්වරු ඊට අත්සන් කර තිබේ.
ජාල ධාරිතාව පුනර්ජනනීය බලශක්ති භාවිතයට බාධාවක් වී ඇති අතර එය සැලකිය යුතු තාක්ෂණික අභියෝග ඉදිරිපත් කරන අතර, එබැවින් 2030 වන විට රටේ විදුලියෙන් සියයට 70ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ජනනය කිරීම අරමුණු කරගත් රජයේ විදුලිබල අංශ ප්‍රතිපත්තියට අනුකූලව පුනර්ජනනීය බලශක්ති ජාල ඒකාබද්ධ කිරීම පහසු කිරීම සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම යෝජිත ව්‍යාපෘතිය සකස් කර ඇත.
ලෝක බැංකු සමූහය විසින් ණයදෙන උපකරණ ගණනාවක් හරහා පුනර්ජනනීය බලශක්ති පරිවර්තනය සඳහා ලෝක බැංකු සමූහය විසින් යෝජිත ගෙවීම් ඇපකර පහසුකම මඟින් මෙම ආයෝජනය තවදුරටත් ක්‍රියාත්මක වෙයි.
එබැවින් ශ්‍රී ලංකාව සඳහා සුරක්ෂිත, දැරිය හැකි සහ තිරසර බලශක්ති ව්‍යාපෘතිය, පුනර්ජනනීය බලශක්ති භාවිතය පුළුල් කිරීම, සුරක්ෂිත සහ දැරිය හැකි විදුලිබල සැපයුමක් සහතික කිරීම සඳහා ජාලක යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, පෞද්ගලික අංශයේ සහභාගීත්වය බළමුළු ගැන්වීම සහ දිගුකාලීන අංශ ප්‍රතිසංස්කරණ පවත්වා ගැනීම සඳහා ආයතනික ධාරිතාව වැඩි දියුණු කිරීම වැනි ප්‍රධාන අරමුණු ඉදිරියට ගෙන යයි.
මෙහි මුළු ව්‍යාපෘති පිරිවැය අෙමරිකානු ඩොලර් මිලියන 60ක් වන අතර, එයින් අෙමරිකානු ඩොලර් මිලියන 30 ක් ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස ලෝක බැංකුව විසින් සපයනු ලබන අතර ඉතිරි මිලියන 30 දෙවන අදියර ලෙස ලෝක බැංකුවෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. එම පහසුකම ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට අපේක්ෂා කරන අතර මෙම ව්‍යාපෘතිය බලශක්ති අමාත්‍යාංශය වැනි අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරයි.
අත්‍යවශ්‍ය අවස්ථාවේ ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීම පිළිබඳව තමා අෙමරිකා එක්සත් ජනපදයට සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.
කඩිනමින් C-130 යානා යෙදවීම සහ ඩොලර් මිලියන දෙකක හදිසි ආධාර ලබාදීම සමීප සබඳතාවන් තවදුරටත් ශක්තිමත් සම්බන්ධතාවන් පිළිඹිබු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි. X පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එසේ ස්තුතිය පළකර සිටී.

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05
011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498
secretary@media.gov.lk