නවතම පුවත්

ගෝලීය බලවතුන් තම ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දීය සාගරය ආශ්‍රිත රටවලට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පසුගිය සිකුරාදා (9) පැවති 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

ඉන්දීය සාගරය ආශ්‍රිත රටවල සහ එම සාගරය බහුලව භාවිත කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාෂ හා ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරෙන ඉන්දීය සාගර සමුළුවේ 7 වැනි සමුළුව පසුගිය 9 සහ 10 දෙදිනදී පැවැත්විණි. ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඉන්දීය පදනම ඔස්ට්‍රේලියා රජය සමඟ එක්ව සංවිධානය කර තිබූ මෙවර සමුළුවේ තේමාව වූයේ ‘ස්ථාවර සහ තිරසර ඉන්දීය සාගරයක් කරා’ යන්නයි. ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොං, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජායිශංකර්, සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහත්ම මහත්මීහු සහ ඉන්දීය සාගර ආශ්‍රිත රටවල විදේශ අමාත්‍යවරුන් සහ නියෝජිතයන් මෙන්ම ඉන්දීය පදනමේ සභාපති රාම් මාධව් මහතා ඇතුළු නියෝජිතයෝ සමුළුවට එක්ව සිටියහ.

ජනාධිපතිවරයා සමුළුව අමතමින් මෙසේද ප්‍රකාශ කළේය:

“හත්වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීම සඳහා පර්ත් නුවරට පැමිණීමට ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා. ඒ වගේම අප සියලු දෙනා වෙත පිරිනමන ආගන්තුක සත්කාර වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රජයට මා ස්තුතිවන්ත වනවා. එමෙන්ම මෙම සමුළුව සංවිධානය කිරීම පිළිබඳ ඉන්දීය පදනමට ස්තුතිවන්ත වනවා.

“ඉන්දීය සාගරය සහ දකුණු පැසිෆික් සාගරය යන දෙකටම මායිම්ව ඔස්ට්‍රේලියානු මහාද්වීපය පිහිටා තිබීම ඉතා සුවිශේෂ වනවා. ඒ වගේම පර්ත් නගරය ඉතිහාසයේ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියානු සබඳතා වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. දෙවැනි ලෝක සංග්‍රාමයේදී රාජකීය කැනේඩියානු ගුවන් හමුදාව සහ කැටලිනා පියාසර බෝට්ටු, ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරය සහ ශ්‍රී ලංකාවේ කොග්ගල ගුවන් කඳවුර සම්බන්ධ කරමින් ඉන්දීය සාගරය හරහා ගමන් කළා.

“ඉන්දීය උප මහාද්වීපය සහ ඔස්ට්‍රේලියාව අතර ඇති එකම ගුවන් සම්බන්ධතාව ‘හිරු උදාවන් ද්විත්වයක් දකින පියාසැරි’ (flights of the double sunrise) ලෙස හඳුන්වනු ලැබූ අතර, එය දෙවැනි ලෝක සංග්‍රාමයේදී මිත්‍ර පාක්ෂිකයන් සඳහා තීරණාත්මක ගුවන් ගමන් වෙනුවෙන් සංඥා සබඳතා රහිතව පැය 32ක් දක්වා නොනවතින ගුවන් සංචාර ක්‍රියාත්මක කළා. 1942 වර්ෂයේ අප්‍රේල් මාසයේදී ඉන්දීය සාගරයට, විශේෂයෙන් ලංකාවට එල්ල වූ ජපන් ප්‍රහාර යුද්ධයේ භයානකම අවස්ථාව ලෙස, වින්ස්ටන්ට් චර්චිල් සඳහන් කළ අතර, ඒ මඟින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ඉන්දීය සාගරයේ වැදගත්කම පෙන්වා දුන්නා. බ්‍රිතාන්‍ය නාවික ප්‍රහාරක යාත්‍රාවලට ජපාන ජාතිකයන් ප්‍රහාර එල්ල කර ගිල්ලා දැමුවා මිස, වෙනත් සරල කාරණයක් හේතුවෙන් ඉන්දීය සාගරය තුළ නාවික ප්‍රහාරක යාත්‍රාවලට ප්‍රහාර එල්ල නොවූ බව ආචාර්ය බාලක්‍රිෂ්ණන් මහතා සමඟ කතා කරමින් සිටි අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළා.

“ඒ වගේම ඔබ සිදු කරන සාකච්ඡා සඳහා වැදගත් වනු ඇතැයි මා සිතන වැදගත් ප්‍රවණතා කිහිපයක් සඳහන් කිරීමට මම කැමතියි. පළමුව: ඓතිහාසික පසුබිම පිළිබඳ සඳහන් කළ හොත් ඉන්දීය සාගරය බහුධ්‍රැවීය වන අතර, එය තනි බලයක ආධිපත්‍යයට එරෙහි වී තිබෙනවා. මේ බහුධ්‍රැවීයතාව ඉන්දීය සාගර කලාපයේ සහ එහි ජනතාවගේ සාරය පිළිබිඹු කරනවා.

“ආසියාව යටත්විජිතවාදයෙන් මිදෙන අවස්ථාවේ ආසියාවේ අලුතින් ස්වාධීන රටවල් වූ එනම්, ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, බුරුමය සහ පාකිස්තානය එක්ව 1955දී යටත්විජිතවාදයට සියලු ආකාරවලින් විරුද්ධ වීමේ අරමුණින් බැන්ඩුං සමුළුව කැඳවූවා. මහා බලවතුන්ගේ එදිරිවාදිකම්වලට විරුද්ධ වීමේ මෙම සමුළුවේ ප්‍රකාශය අනතුරුව නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය නිර්මාණය කළා. එතැන් සිට ඉන්දීය සාගර කලාපය බැන්ඩුං ප්‍රකාශය මත පිහිටා කටයුතු කරනු ලැබුවා. එය කිසි දිනෙක දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ආසියා පැසිෆික් කලාපයේ එක්සත් ජනපදය විසින් අනුගමනය කරන ලද සන්ධාන ජාලයේ (US Hub and Spoke System) කොටසක් වී නැහැ.

“පසුගිය දශක දෙක තුළ ඉන්දීය සාගර කලාපයේ රටවල විවිධ රාමු බිහි වීම සහ විවිධ ප්‍රතිපත්තිමය ස්ථාවරයන්, නැඹුරුතා සහ රාමු සකස් කරමින් සිදු වන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකාරකම් රැල්ලක් දැකගැනීමට හැකි වුණා. එමඟින් කිසිදු තනි, පරමාදර්ශී භූ දේශපාලන ව්‍යූහයක් මතු වී නැති බව පැහැදිලිව පෙනෙන අතර, ඒ වෙනුවට අපට ඉතිරිව ඇත්තේ විවිධ අර්ථ නිරූපණයන් සහිත මතභේදාත්මක දර්ශනයකි. මෙසේ මතු වී ඇති ප්‍රධාන රාමුවලට අමතරව ඉන්දය සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA), ඉන්දු පැසිෆික් (Indo-Pacific), එක් තීරයක් එක් මාවතක් වැඩසටහන (BRI), පංච බල ආරක්ෂක ගිවිසුම, ක්වාඩ් (QUAD) සහ බ්‍රික්ස් (BRICS) යන සංවිධානද ඊට ඇතුළත්. ආසියාන් කලාපීය සංසදය (ASEAN Regional Forum), ආසියානු සහයෝගිතා සංවාදය (ACD), බිම්ස්ටෙක් (BIMSTEC), සාර්ක් (SAARC), ගල්ෆ් සහයෝගිතා සභාව (GCC), අරාබි ලීගය, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC), දකුණු අප්‍රිකානු සංවර්ධන ප්‍රජාව (SADC), නැඟෙනහිර අප්‍රිකානු ප්‍රජාව (EAC) සහ ෂැංහායි සහයෝගිතා සංවිධානය (SCO) ඇතුළු කලාපීය සංවිධානද පිහිටුවා තිබෙනවා. ඊට අමතරව අපට ආසියාවේ මුහුදු කොල්ලකෑම් හා සන්නද්ධ මංකොල්ලකෑම්වලට එරෙහිව සටන් කිරීමේ කලාපීය සහයෝගිතා ගිවිසුම (ReCAAP), ඉන්දීය සාගර නාවික සම්මන්ත්‍රණය (IONS), ජිබුටි චර්යාධර්ම සංග්‍රහය (Djibouti Code of Conduct), ඉන්දීය සාගරයේ ටූනා කොමිෂන් සභාව (IOTC), ඉන්දීය සාගර කොමිෂන් සභාව (IOC), MASE, කලාපීය තොරතුරු සම්මිශ්‍රණ මධ්‍යස්ථාන හතරක් (සිංගප්පූරුව, ඉන්දියාව, සීෂෙල්ස් හා මැඩගස්කරය) සහ සෝමාලියාවේ වෙරළට ඔබ්බෙන් මුහුදු කොල්ලකෑම් පිළිබඳ සම්බන්ධතා කණ්ඩායම (CGPCS) ඇතුළු විශේෂිත සහයෝගිතා ක්ෂේත්‍ර සම්බන්ධ මෙහෙයුම් විධිවිධාන තිබෙනවා.

“මේ රාමු සහ කණ්ඩායම් සමඟ, බල තුලනය සහ සන්ධාන නැවත අර්ථකථනය කරන ඉන්දීය සාගරයේ මිලිටරිකරණයෙහි වැඩි වීමක්ද අපට දක්නට ලැබෙනවා. සමුද්‍රීය අවකාශය තුළ ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සවුදි අරාබිය සහ චීනය සමඟ නාවික ක්‍රියාකාරකම්වල ගොඩනැඟීමක් අපට දක්නට ලැබෙනවා. එබැවින් මහා බලවතුන් අතර සමබරතාව පවත්වාගැනීම වඩවඩාත් සංකීර්ණ කාර්යයක් බවට පත් වෙමින් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, මුහුදුබඩ රාජ්‍ය සඳහා උපායශීලි වීමට පවතින ඉඩකඩ වේගයෙන් අඩු වෙමින් පවතින අතර, ඉන්දීය සාගර කලාපයේ මේ එදිරිවාදිකම් තීව්‍ර වෙමින් දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් තීරණ ගැනීම දක්වා එය විහිද යනවා.

“එක් දෙයක් වෙනුවට තවත් දෙයක් තෝරාගැනීමේ ප්‍රශ්නය නිරන්තරයෙන් අප වෙත පවතිනවා. දෙවනුව, භූදේශපාලනික වර්ධනයන් නිසා බටහිර ඉන්දීය සාගරයේ උපායමාර්ගික වැදගත්කම වසර හතරකට පෙර නොසිතූ ලෙස වැඩි වී තිබෙනවා. මේ නිසා භූදේශපාලන අවධානය ඉන්දීය සාගරය දෙසට යොමු වෙනවා.

යුක්රේන යුද්ධය සහ රුසියාවට එරෙහිව බටහිර විසින් පැනවූ සම්බාධක නිසා චීනයේ සහ බටහිර ඉන්දීය සාගරයේ සම්පත්වලින් පොහොසත් ආර්ථිකයන් තුළ නව වෙළෙඳපොළවල් සොයාගැනීමට හේතු වී තිබෙනවා. උදාහරණයක් වශයෙන් රුසියානු බොරතෙල් පිරිපහදු කරනු ලබන්නේ ගල්ෆ් කලාපයේ පිරිපහදුවලයි. ලන්ඩන්හි පැවති ඒකාධිකාරීන්ගේ මූල්‍ය මධ්‍යස්ථානය ඩුබායි වෙත විතැන්ව තිබෙනවා. රුසියාව ඉරානය සමඟ සමීප මිත්‍රත්වයක් ගොඩනඟාගෙන තිබෙන අතර, එය ඩ්‍රෝන යානා සපයන වැදගත් මූලාශ්‍රයක් වෙනවා. රුසියාව මියන්මාරය සහ දකුණු අප්‍රිකාව ඇතුළු ඉන්දීය සාගරයේ රටවල් සමඟ නාවික අභ්‍යාස සිදු කරනවා. ඉරානය සහ සවුදි අරාබිය අතර විරසකය සුව කිරීමට චීනය ක්‍රියාකාරි භූමිකාවක් ඉටු කර තිබෙනවා. ඉරානය සහ එහි මිත්‍ර රටවල් බටහිර ආසියාවේ වැදගත් සක්‍රිය රටවල් බවට පත්ව තිබෙනවා. ෂැංහායි සහයෝගිතා සංවිධානය එහි සාමාජිකයන් ලෙස ඉන්දියාව, පාකිස්තානය සහ ඉරානය සිටින නිසා එහි පිටත සීමා ලෙස බටහිර ඉන්දීය සාගරය පවතිනවා. ගාසා යුද්ධයට සහාය දීමේදී එක්සත් ජනපදයේ අවවාදාත්මක විනිශ්චය එහි බලපෑම අඩු කරනවා.

“ඉන්දීය සාගරයේ ඉස්ලාමීය ආරුක්කුව බිහි කළ රටවල් අතර ඇති සතුරුකම, අමෙරිකා එක්සත් ජනපදය සහ මිත්‍රශීලි රජයන් අතර සමීප සබඳතාවක් ඇති වීම කෙටි කලකට වළක්වනු ඇත. රුසියානු, චීන සහ ඉරාන උපාය මාර්ග සාර්ථකව එක්සත් ජනපද ආධිපත්‍යයට පහර දෙමින් සිටින අතර, එමඟින් එක්සත් ජනපදය තවදුරටත් දුර්වල කරයි. එබැවින් ඉන්දීය සාගරයේ ස්ථාවරත්වය සඳහා වසර 5ක් ඇතුළත ස්වාධීන පලස්තීන රාජ්‍යය පිහිටුවීම සහ ඊශ්‍රායල් රාජ්‍යයේ ආරක්ෂාව සහතික කිරීම යන ක්‍රියාමාර්ග ඔස්සේ ගාසා යුද්ධය ඉක්මනින් අවසන් කිරීම අවශ්‍ය වෙනවා.

“තෙවනුව: යේමනය පදනම් කරගත් හවුති කැරලිකරුවන් විසින් වාණිජ යාත්‍රාවලට මෑතකදී එල්ල කරන ලද ප්‍රහාර නාවික ගමනාගමනයේ නිදහසට අභියෝගයක් වනවා. අප සූවස් ඇළ, රතු මුහුද, බබ්-එල්-මැන්ඩෙබ් සහ ඒඩන් බොක්ක සඳහා ප්‍රවේශ වීම සහ ඒ හරහා ගමනාගමනය සහතික කළ යුතුයි. ඊට අමතරව, අපට නැවත වරක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට මුහුණ දීමට සිදු වී තිබෙනවා. මුහුද යට කේබල්වල ආරක්ෂාව සහ වැදගත් යටිතල පහසුකම්ද තර්ජනයන්ට ලක් වී තිබෙනවා. ඉන්දීය සාගරය තුළ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ජාවාරම් ඉහළ ගොස් තිබෙනවා. නීති විරෝධි, වාර්තා නොකළ සහ නියාමනය නොකළ (IUU) මසුන් ඇල්ලීම තවමත් සිදු වනවා. මේ තර්ජන නාවික ගමනාගමනයේ නිදහසට අභියෝග එල්ල කරනවා. ඉන්දීය සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස පිළිබඳ අප නැවත අවධානය යොමු කළ යුතු අතර, ඉන්දීය සාගරයට අයත් රටවල නිදහස පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වෙනවා.

“සිව්වැනි කාරණය: සම්බන්ධතාව පුළුල් කිරීමයි. 2050 වසර වන විට ඉන්දියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල දළ දේශීය නිෂ්පාදිතය අට ගුණයකින් ඉහළ යනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා. දකුණු සහ බටහිර ආසියාවේ අනෙකුත් සමහර රටවලද මෙවැනිම වර්ධනයක් සිදු විය හැකි බව අපේක්ෂිතයි. මේ නිසා අතිරේක වරාය ධාරිතා මෙන්ම නව ප්‍රවාහන මාර්ගද අවශ්‍ය වෙනවා. සූවස් ඇළද ප්‍රමාණවත් නොවනු ඇති. මේ නිසා ඉන්දියාවේ නව සම්බන්ධතා මුලපිරීම් ද්විත්වය පිළිබඳ අප සතුටු වෙනවා. ඉන් පළමුවැන්න: ඉන්දියාවේ මුම්බායි සිට ඉරානය හරහා රුසියාව දක්වා යන තීරය සහ ඉන්දියාවේ මුම්බායි සිට මැදපෙරදිග හරහා යුරෝපය දක්වා යන තීරයයි. මීට සමානව බෙංගාල බොක්ක ආශ්‍රිතවද සම්බන්ධතා මුලපිරීම් සිදු වෙමින් පවතිනවා. බටහිර චීනයට ප්‍ර‍වේශ වීමේ අවකාශය සලසමින් චොංක්විං සහ ක්‍යවුක්ෆියු දක්වා දිවෙන තීරයේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. ක්‍රාහ් ගොඩබිම් පාලම ඔස්සේ සියම් බොක්ක සහ බෙංගාල බොක්ක අතර සම්බන්ධතාව ඇති කිරීමට තායිලන්තය සැලසුම් කරමින් සිටිනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, දකුණු ඉන්දියාවට කොළඹ සහ ත්‍රිකුණාමල වරාය සමඟ සම්බන්ධ විය හැකි වන අයුරින් ශ්‍රී ලංකාව කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා රටවල් දෙක අතර ගොඩබිම් සම්බන්ධතාව පිළිබඳ ශක්‍යතා අධ්‍යයන ආරම්භ කර තිබෙනවා.

“මේ වසරේ ඉන්දීය සාගර සමුළුවේ තේමාව බවට පත් වී ඇති ‘වඩාත් ස්ථාවර හා තිරසාර ඉන්දියානු සාගරයක් කරා’ යන්න අපගේ අවධානය යොමු විය යුතු ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ඉස්මතු කරනවා.

“මා පෙර විස්තර කළ ආකාරයට ප්‍රධාන වශයෙන් කලාපයේ ස්ථාවරත්වය පවත්වාගෙන යෑම ඉතා වැදගත්. ඒ හා සමානව බරපතළ, වඩාත් කඩිනමින් විසඳුම් සෙවිය හැකි කාරණයක් බවට දේශගුණික අර්බුදය පත්ව තිබෙනවා. ඉන්දීය සාගරය ලොව පුරා අනෙකුත් සාගරවලට වඩා ඉහළ වේගයකින් උණුසුම් වෙමින් පවතින බව විශේෂඥයන් අනාවරණය කර තිබෙනවා. මේ තත්ත්වය පැසිෆික් සාගරයට වඩා තුන් ගුණයකින් වැඩි වන බව ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය සාගර කලාපය පුරා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු මට්ටම අඛණ්ඩව ඉහළ යන අතර, දරුණු වෙරළ ඛාදනයකට ලක් විය හැකියි. ඉන්දීය සාගරයේ ජල මට්ටමද වාර්ෂිකව මිලිමීටර් 3.7ක මට්ටමකින් ඉහළ යමින් පවතින අතර, එමඟින් ඇති වන මුහුදු විපත් වැළැක්විය නොහැකි වනු ඇති. ඉන්දීය සාගර කලාපයෙහි පවතින දූපත් රාජ්‍ය අවදානමට ලක් විය හැකි අතර, දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා ඒ රාජ්‍යයන්ට ප්‍රමාණවත් සම්පත් සැපයිය යුතුයි. මුහුදේ සිදු වන වෙනස්වීම් මෝසම් සංවහන රටා කෙරෙහිද බලපාන අතර, ඉන්දීය සාගර කලාපය තුළ පවතින කෘෂිකර්මාන්තය හා ආහාර සුරක්ෂිතතාව කෙරෙහිද බලපානවා. එක් අතකින් ඒවා ජෛව විවිධත්වය කෙරෙහිද අනෙක් අතට මුහුදුබඩ ප්‍රදේශවල ජනතාවගේ ආහාර සහ ජීවනෝපාය කෙරෙහිද බලපානවා.

“ඉන්දීය සාගරය පරිසර විද්‍යාව සම්බන්ධයෙන්ද අවස්ථා නිර්මාණය කර තිබෙනවා. කාබන් සඳහා අපගේ විශාලතම අවශෝෂක ප්‍රදේශය ලෙස පමණක් නොව, එය වෙරළබඩ සුළං, සූර්ය සහ තරංග ශක්තිය හරහා දේශගුණික අර්බුදය අවම කිරීමේ හැකියාවද සපයනවා. මුහුදු පැළෑටි වගාව සහ කඩොලාන වගාව මඟින් අපට කාබන් අවශෝෂණය වැඩි කළ හැකියි. සාගරය අපගේ අනාගතය නිර්මාණය කරන බැවින් අපගේ සාගර සම්පත් තිරසර ලෙස ප්‍රයෝජනයට ගැනීම අපගේ පැවැත්ම සඳහා ඉතා වැදගත් වෙනවා.

“COP 28හිදී ශ්‍රී ලංකාව ප්‍රධාන මුලපිරීම් තුනක් යෝජනා කළා. ඉන්දීය සාගරයද ඇතුළත් වන නිවර්තන කලාපීය මුලපිරීම, ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය සහ දේශගුණික යුක්ති සංසදය එම යෝජනා 3යි. ඉන්දීය සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) වත්මන් සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාව ඉන්දීය සාගරය සහ දේශගුණික විපර්යාස අතර පවතින අන්තර් රඳා පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරනවා.

දේශගුණික යුක්ති සංසදය මඟින් හානි හා පාඩු සඳහා මූල්‍යකරණය වේගවත් කිරීම අරමුණු කරන අතර, සමස්ත විසඳුමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ණය සාධාරණත්වය ඇතුළත්. දේශගුණික විපර්යාස අවම කිරීම් සහ අනුවර්තන මැදිහත්වීම් සඳහා වන ඕනෑම යෝජනාවකදී දේශගුණික අවදානමට ලක් විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ණය සංරචකය සැලකිල්ලට ගත යුතුයි.

“අද අප සියලු දෙනා ජීවත් වන්නේ අවිනිශ්චිත කාලයකයි. දෙවැනි ලෝක සංග්‍රාමයේ සහ සීතල යුද්ධයේ අවසානයේ සිට අප විසින් ලබාගෙන තිබූ ස්ථාවරත්වය බිඳවැටෙමින් තිබෙනවා. බහුපාර්ශ්විකත්වය මෙන්ම ගෝලීයකරණයද අභියෝගයට ලක්ව තිබෙනවා.

දේශගුණික අර්බුදය ලොව පුරා වෙළෙඳාම සහ ආර්ථික සංවර්ධනය සඳහා වූ අපේක්ෂාවන්ට බලපානවා. එය ආහාර සුරක්ෂිතතාව, ජීවනෝපාය, සැපයුම් දාම, ජෛව විවිධත්වය සහ සමුද්‍රීය ප්‍රවාහනයටද බලපානවා. එක් පසෙකින් ගෝලීය වර්ධනයන් අපගේ ඉරණම තීරණය කරන තෙක් බලා සිටිය හැකියි. නැත හොත් අපට අපගේම ගමන් මඟ සකස් කරගැනීමට හැකියාව පවතිනවා. ඉන්දීය සාගරය භාවිත කරන්නන් අතර විශ්වාසය සහ පුරෝකථනය කිරීමේ හැකියාව ගොඩනැඟීම මෙන්ම සාගර තත්ත්වය පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම මඟින් ආරක්ෂිත සාගර පරිසරයක් නිර්මාණය කිරීම ඉන්දීය සාගරයේ සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ප්‍රධාන වෙනවා. මේ වැදගත් කාර්යය භාර ගත හැකි ප්‍රධාන වේදිකාව වන්නේ ඉන්දීය සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) යි.

“සාමකාමි සහ ආරක්‍ෂිත ඉන්දීය සාගරයක් සහතික කිරීම, වෙරළබඩ සහ මුහුදුබඩ රාජ්‍යයන්වල ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ සඳහා සාගර තිරසර ලෙස භාවිත කිරීමට පහසුකම් සපයනවා. එමෙන්ම ඉන්දීය සාගරය තුළ පවතින තීරණාත්මක ගැටලු විසඳාගැනීමට හැකි පුළුල් සැලැස්මක් අවශ්‍ය වෙනවා.

එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (1982) සහ ජාතික අධිකරණ බලයෙන් පිටත හෝ විවෘත සාගර ගිවිසුමෙන් පිටත සාගරයේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම හා තිරසරව භාවිත කිරීම පිළිබඳ 2023දී සම්මත කරන ලද ගිවිසුම (BBNJ) ඇතුළුව එවැනි ව්‍යූහයක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන පදනම දැනටමත් පවතිනවා.

“නාවික හා ගුවන් ගමනාගමනයේ නිදහසට බාධාවක් සිදු නොවන වාණිජ්‍යමය කටයුතු පිළිබඳ චර්යාධර්ම සංග්‍රහයක් මෙන්ම දේශගුණ අර්බුදය සමඟ කටයුතු කිරීම හා ඉන්දියන් සාගරයේ තිරසර භාවිතය සම්බන්ධයෙන් සමාන මාර්ගෝපදේශ මූලධර්ම අවශ්‍ය වෙනවා. මේ පියවර ඉන්දීය සාගර කලාපය සඳහා පුළුල් කලාපීය සැලැස්මක් නිර්මාණය කිරීමට පරිවර්තනය කර ඇති බව සහතික කිරීම ඉන්දීය සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) නායකයන්ට පමණක් කළ හැකි වෙනවා. ඒ වගකීම අප සතුව පවතිනවා.”

සත් වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීමට ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සංචාරයක යෙදුනු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක පෙරේදා (10) නිරත විය.

කොන්සල් කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සහ ප්‍රියංකා ගමගේ මහත්මිය විසින් ගෞරවයෙන් පිළිගනු ලැබීය. අනතුරුව ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ඇතුළු එහි කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහකට එක් වූ අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැඟීමේ ක්‍රියාවලියේදී ඔවුන්ට දැක්විය හැකි සක්‍රිය දායකත්වය පිළිබඳව එහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණි.

කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සිහිවටන තිළිණයක්ද පිළිගන්වනු ලැබීය. අනතුරුව ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ඇතුළු කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාද මේ අවස්ථාවට එක් වී සිටියේය.

සමුළුවට එක්වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දීය පෙට්‍රෝලියම් හා ස්වභාවික වායු හා නිවාස හා නාගරික සබඳතා ඇමැති ශ්‍රී හර්දීප් එස් පුරි (Shri Hardeep S Puri) මහතා මුණගැසුණු අවස්ථාව. ඉන්දියානු විදුලි මෝටර් රථ කර්මාන්තයේ සුවිසල් දියුණුවේ ප්‍රතිලාභ ලංකාවට අත්පත් කර දිය යුතු යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ඉන්දීය වාණිජ හා කර්මාන්ත පාරිභෝගික සබඳතා ඇමැති පියුශ් ගොයාල් (Piyush Goyal ) මහතාගේ විශේෂ ආරාධනය පරිදි, ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැති “2024 භාරත් ජාත්‍යන්තර සංචරණ ප්‍රදර්ශනයේ (Bharat Mobility Expo 2024)” විශේෂ ආරාධිතයකු වශයෙන් එක් වූ ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

තෙදිනක් පුරා පැවැති මෙම ප්‍රදර්ශනයට ඉන්දියානු සහ ජාත්‍යන්තර මෝටර් රථ වාහන නිෂ්පාදන සහ ව්‍යවසායක ක්ෂේත්‍රයේ ආයෝජකයන්, නව නිපැයුම්කරුවන් ඇතුළු විශාල පිරිසක් තම නිෂ්පාදන සහ නිර්මාණ ඉදිරිපත් කර තිබිණි.

සංචරණයේ අනාගතය උදෙසා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් එකම වේදිකාවක් තුළට ගැනීමේ සංකල්පය යටතේ මෙම ප්‍රදර්ශනය හා සමුළුව සංවිධාන කෙරුණු අතර ඒ සඳහා මෝටර් රථ වාහන හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ නිරත අටසීයකට අධික ප්‍රදර්ශකයන් පිරිසක් එක්ව සිටි අතර විදේශීය ප්‍රදර්ශකයන් පනහකට අධික පිරිසක් ද එක්ව සිටියහ. ප්‍රදර්ශනයට සමගාමීව විවිධ තේමාවන් ඔස්සේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ගේ සහභාගිත්වයෙන් සමුළු 20ක්‌ සංවිධාන කර තිබිණි.

මෝටර් රථ වාහන ක්ෂේත්‍රයේ තාක්ෂණික විසඳුම්, ඉදිකිරීම් උපාංග උපකරණ දෙමුහුන් හා විද්‍යුත් රථවාහන ඇතුළු අංග රැසක් යටතේ මේ වෙනුවෙන් ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කර තිබූ අතර මෝටර් රථ වාහන ක්ෂේත්‍රයට අදාළව ඉන්දියාව ලබාගෙන ඇති සාර්ථකත්වය ලොවට විදහා දැක්වීමද මෙම ප්‍රදර්ශනයේ තවත් අරමුණක් විය.

අනාගත මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රයට ගැළපෙන ආකාරයෙන් ඉදිරිපත් කරන ලද තොරතුරු තාක්ෂණ සහ මෘදුකාංග නිෂ්පාදන රැසක් ද මෙහි දී එළිදැක්විනි.

එළැඹෙන මාර්තු මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සංචරණ ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනයට එක්වූ ඉන්දීය සහ විදේශීය ආයෝජකයන්, නිෂ්පාදකයන් සහ ව්‍යවසායකයන් දායක කර ගැනීමද ඊට එක්වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ අරමුණක් විය.

ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල සිය මෝටර් රථ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයෝජන සිදු කර ඇති සමාගම් රැසක අති නවීන මගී ප්‍රවාහන බස් රථ ඇතුළු නව නිෂ්පාදන නිරීක්‍ෂණයටද එක්වූ අතර ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක ප්‍රධානීන් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා මහා මාර්ග ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථාවන් පිළිබඳ ප්‍රදර්ශනයට එක් වූ ඇමැතිවරයා සාකච්ඡාවල ද නිරත විය.

 
 
 
 

පළමු ජය­ග්‍ර­හ­ණය රට බංකො­ලො­ත්භා­ව­යෙන් මුදා ගැනීම – ජන­පති දඹු­ල්ලේදී කියයි

දෙවැන්න අස්වැ­සුම / තෙවැන්න රාජ්‍ය සේව­ක­යන්ට වැටුප් වැඩි කිරීම

ඉඩම් අයි­තිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වුවද විප්ල­ව­ය­කින් තොර­වම මෙරට ජන­තා­වගේ ඉඩම් අයි­තිය ලබා දීමට හැකි­වීම වත්මන් ආණ්ඩුව ලැබූ සුවි­ශේෂී ජය­ග්‍ර­හ­ණ­යක් බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැවැ­සීය.

වත්මන් ආණ්ඩුව ලැබූ පළමු ජයග්‍රහණය රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලක්ෂ 20ක ජනතාවට ප්‍රතිලාභ සැලසෙන “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කට වැටුප් වැඩි කිරීම අනෙකුත් ජයග්‍රහණ බව ද පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ කොටසකගේ පමණක් සහාය ඇතිව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙවන් පුළුල් වැඩකොටසක් ඉටු කිරීමට ආණ්ඩුව සමත් වූවා නම් පාර්ලිමේන්තුවේ සියලුදෙනාගේ සහාය ඇතිව රට ඔසවා තැබිය හැක්කේ කුමන ස්ථානයකට ද කියා සියලුදෙනා සිතා බැලිය යුතු බව ජනාධිපතිවරයා පැවැසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ උරුමය වැඩසටහනේ පළමු අදියරට අදාළව නිදහස් ඔප්පු 10, 000ක් ගොවි ජනතාව වෙත ප්‍රදානය කිරීමට ඊයේ (05) පස්වරුවේ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති උත්සවය අමතමිනි.

රජයේ ඉඩම් ආඥා පනත යටතේ එදා විදේශිකයන්ට ඉඩම් ලබා දුන්නා නම් ජනතාවට එම අයිතිය ලබාදීමට කිසිදු බාධාවක් තිබිය නොහැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2024 අය-වැය යෝජනා අතර 08 වන යෝජනාව වූයේ “උරුමය වැඩසටහන මඟින් 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවීන් වෙත බලපත්‍ර හා කොන්දේසි සහිත දීමනාපත්‍ර මත බැහැර කර ඇති රජයේ ඉඩම්වල පූර්ණ අයිතිය ගොවි ජනතාව වෙත ලබාදීමට අපේක්ෂා කර ඇත” යන්නයි.

ඒ අනුව මෙරට ජනතාවගේ දීර්ඝකාලීන අපේක්ෂාවක් ඉටු කරමින් තමා භුක්තිවිඳින ඉඩමේ සින්නක්කර අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙවැනි ගොවි පවුල් ලක්ෂ 20ක ප්‍රමාණයක් අපේක්ෂිත ප්‍රතිලාභීන් ලෙස හඳුනාගෙන ඇත. උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් 2024 අය-වැය යෝජනා යටතේ උරුමය රුපියල් බිලියන 02ක් වෙන් කර ඇත.

උරුමය වැඩසටහන යටතේ ඉඩම්වල පූර්ණ අයිතිය ඉල්ලුම් කරන අයදුම්කරුවන් සඳහා ප්‍රධාන අදියර 03ක් යටතේ නිදහස් දීමනාපත්‍ර ලබාදීමට නියමිතය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රජාව වෙතින් ඉදිරිපත් වන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින් මෙහෙයවීමේ යන්ත්‍රණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ උරුමය මෙහෙයුම් ලේකම් කාර්යාලයක් ද ස්ථාපිත කර තිබේ.

සංකේතාත්මකව ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු බෙදාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙහිදී සිදු විය.

සහජ දක්ෂතාවන්ගෙන් හෙබි මෙරට ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික කණ්ඩායම නියෝජනය සඳහා සමාන අවස්ථා ලබා දීමේ අරමුණින් දියත් කළÓජාතික ක්‍රිකට් සංවර්ධන ගමන් මඟÓ ජාතික වැඩසටහනට සමගාමීව දඹුල්ල ක්‍රීඩාංගණයේ ස්ථාපිත කළ ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය” විවෘත කිරීමද මේ හා සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු විය.

එමෙන්ම දඹුල්ල ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ඉදිකළ නව පිහිනුම් තටාකය විවෘත කළ ජනාධිපතිවරයා පිහිනුම් තටාකයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ද එක් විය.

නව්‍යකරණය කරන ලද ක්‍රීඩාංගණ විදුලි ආලෝක පද්ධතිය විවෘත කෙරුණේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි.

මේ අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය’ මාධ්‍ය මධ්‍යස්ථානයට, නව ප්‍රේක්ෂකාගාරයට සහ ගෘහස්ථ ක්‍රීඩාගාරය ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මේ මගේ රටයි, මා ඉපදුණ රටයි, මගේ උරුමය තහවුරු කළ රටයි. අද අප මෙතනට රැස් වී සිටින්නේ මේ රටේ ජනතාව ඉඩම් අයිතිය ලබා ගැනීමට කළ අරගලය අවසන් කිරීමටයි. ඒ වගේම අද අප මේ සහභාගි වන්නේ විප්ලවීය අවස්ථාවකට. ලක්ෂ 20කට ඉඩම් අයිතිය ලබාදීම අද සිදු වෙනවා. මම මෙය විප්ලවයක් කියා හඳුන්වන්නේ ඒ නිසයි. මෙම විප්ලවය භුක්ති විඳින්නේ රටේ ජනතාව. මේ ඉඩම් අයිතිය ලැබුණු විට ඔබ කිසිවකුට යටත් විය යුතු නැහැ. මන්ත්‍රීවරු, නිලධාරීන් පසුපස ගිහින් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නැහැ. ඉඩම තමන්ට අවශ්‍ය පරිදි සංවර්ධනය කළ හැකි අතර කිසිවකුට ඊට බලපෑම් එල්ල කරන්න බැහැ.

තමන්ට ලැබෙන මෙම අයිතිය ආරක්ෂා කර ගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. මෙම අයිතිය තමන්ට පමණක් නොව තමන්ගේ දරුවන්ටත් හිමි විය යුතුයි. මෙයින් නිසි ප්‍රයෝජන ලබා ගන්න ඔබ කටයුතු කළ යුතුයි. ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව ගණනාවක් ඇති වී තිබෙනවා. අද මේ රටේ කිසිදු විප්ලවයක් නොමැතිව ජනතාවට ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා.

බොහෝ දෙනෙක් සිතුවේ මෙය කළ නොහැකි දෙයක් ලෙසයි. නමුත් අපේ ආණ්ඩුව ඒ තීරණය ගෙන කටයුතු කළා. විශේෂයෙන්ම ගොවිතැන් කළ අයට මෙන්ම නිවාස ඉදි කරගත් සියලුදෙනාට ඒ ඉඩම් අයිතිය හිමි වෙනවා. ගොවිතැන් කටයුතුවල නිරතවන ඔබ සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමනවා. මේ රටේ ආර්ථිකය ගොඩගැනීමට පසුගිය මහ කන්නයේත්, යල කන්නයේත් ඔබෙන් ලැබුණු සහයෝගය අමතක කරන්න බැහැ. අස්වැන්න සාර්ථක වුණා. ඒ තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් වුණා. ඒ වගේම මේ ඉඩම්වල නිවාස ඉදිකරගත් පිරිස ඉන්නවා. මම ඔවුන්ටද ස්තූතිවන්ත වෙනවා. මේ සියලුදෙනාට අපේ ස්තූතිය පිරිනමන්නේ මේ සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම මඟින්.

මෙය ඓතිහාසික අවස්ථාවක්. සිංහල රජ සමයේත් ඔප්පු ක්‍රමයක් තිබුණේ නැහැ. ප්‍රභූවරුන්ට, නිලමේවරුන්ට සන්නස් මඟින් ඉඩම් ලබා දුන්නා. අනෙක් අයට වගා කටයුතු සඳහා ඉඩම් ලබා දුන්නා. ජනතාවට ස්ථීර ඔප්පු තිබුණේ නැහැ. මුඩු බිම් පනත යටතේ මේ සියල්ලම රජයට අයත් වුණා. වතු වෙනුවෙන් ඇතැම් ඉඩම් සුදු ජාතිකයන්ට පවරා දුන්නා. ජනතාවට කිසිවක් හිමි වුණේ නැහැ.

නමුත් ඩී.එස්. සේනානායක මැතිතුමා 1935 ඉඩම් සංවර්ධන ආඥා පනත මඟින් ගොවිතැන් කටයුතු සඳහා ජනතාවට ඉඩම් ලබාදීමට පියවර ගත්තා. ඉඩම් අත්පත් කරගැනීමේ පනත සමඟ ගම්මාන ව්‍යාප්ත කිරීමට ඉඩම් අත්පත් කර ගත්තා. නමුත් ඉඩමේ අයිතිය කිසිවකුට හිමි වූයේ නැහැ.

ඉන් පසුව වියළි කලාපවල ජනතාව පදිංචි කළා. ඒ සමඟ වී වගාව ආරම්භ කළා. වැඩියෙන්ම කුඹුරු තිබුණේ තෙත් කලාපයේ එම කුඹුරු දියුණු කිරීමට පිලිප් ගුණවර්ධන මැතිතුමා කුඹුරු පනත ගෙනාවා. එම අවස්ථාවේත් විශාල විරුද්ධත්වයක් ඇති වුණා. නමුත් එය ඉදිරියට ගෙන ගියා.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මහවැලි ව්‍යාපාරයෙන් තවත් අක්කර ලක්ෂ ගණනක් ජනතාවට ලබා දුන්නා. දැන් අප මෙම වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා.

පසුගිය කාලයේ ගයන්ත කරුණාතිලක මහතා මේ වැඩපිළිවෙළ ආරම්භ කළ අවස්ථාවේ අලුත් නීතියක් ගේනවා කියලා එතුමාට විරුද්ධව නඩු දැම්මා. නමුත් මෙවර අලුත් නීති බලන්න ගියේ නැහැ. රජයේ ඉඩම් ආඥා පනතින් සුදු ජාතිකයන්ට ඉඩම් ලබා දුන්නා නම්, ආයෝජකයන්ට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දුන්නා නම් ජනතාවට එම අයිතිය ලබා දීමට නොහැකි ඇයි.

එදා ආයෝජකයන්ට ඉඩම් ලබා දීමට භාවිත කළ ආඥා පනතින් අපි අද ඔබ සියලුදෙනාට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා. නැවත අධිකරණයට යන්න අවශ්‍ය නැහැ. මෙම වැඩපිළිවෙළ ඓතිහාසිකයි. විප්ලවවාදීයි. ආසියාවේ ඉඩම් අයිතිය ලබා දී තිබෙන්නේ ජපානය සහ දකුණු කොරියාව පමණයි. අද අපේ රටේ ජනතාවට එම අයිතිය ලබා දී තිබෙනවා.

මේ වැඩ කටයුත්ත සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මම උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා පක්ෂ භේදයකින් තොරව එකතුවන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ ආණ්ඩුව ලංකාවේ මෙතෙක් බිහි නොවූ ආණ්ඩුවක් බව කිව යුතුයි. අසීරු කාලයේ වගකීම් ගත හැකි සියලුදෙනා ඒ සමඟ එකතු වුණා. විවිධ පක්ෂ ඒ අතර සිටියා. අපි කොටසක් එක්ව ආණ්ඩුව හැදුවා. හැම පක්ෂයකම කොටසක් කැඩී වෙනත් පක්ෂවලට ගියා. එලෙස ගොඩනඟාගත් ආණ්ඩුවක් මඟින් රට ගොඩනැ‍ඟීමේ අභියෝගයට අප මුහුණ දුන්නා.

අපේ රට දැන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. මේ රටේ ජනතාව දුක් විඳි බව මම පිළිගන්නවා. තවමත් සමහරු දුක් විඳිනවා. මේ සියලු ජනතාවට අපට හැකි අයුරින් සහන ලබා දුන්නා. ඒ සඳහා අපි අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කළා. අප තවම බංකොලොත්භාවයෙන් නිදහස් වුණා විතරයි. තෙවන පියවර ලෙස ජනතාවට මෙම සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කර තිබෙනවා. මේ ආර්ථික අසීරුතාවයන් හමුවේ අප මෙම කටයුතු සිදු කරනවා නම් ඉදිරියේදී රටේ ආර්ථිකය ශක්තිමත් වීමෙන් පසු කළ නොහැක්කේ මොනවද කියලා මම අහන්න කැමතියි.

අපි ආරම්භ කළ මේ ගමන ඉදිරියට ගිය හොත් 2025 වසරේ දී 5%ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. අපි සියලුදෙනා එකතු වුණේ රට බේර ගන්න. එහිදී අප පක්ෂ දේශපාලනයක නිරත වුණේ නැහැ. එහෙම වුණා නම් මෙම සාර්ථකත්වය ලබා ගන්න බැහැ. මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ වැඩකටයුතු කරගෙන යාමට අප සමඟ එකතු වෙන්න කියලයි.

අපි හිතන්න ඕන අපි ගැන නෙවෙයි. රටේ ජනතාවගේ අනාගතය පිළිබඳයි. අපි එකතුවෙලා රටේ ජනතාවගෙන් ලක්ෂ 20කට ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. තවත් ලක්ෂ 20කට අස්වැසුම ප්‍රතිලාභ ලබා දී තිබෙනවා. ලක්ෂ 15කට වැටුප් වැඩිකර තිබෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කර ආදායම් මාර්ග ඇති කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ එක් කණ්ඩායමක් ලෙස මෙතරම් විශාල වැඩකොටසක් කළ හැකි නම් පාර්ලිමේන්තුවේ සියලුදෙනා එකතු වුණොත් මොනවද කරන්න බැරි කියලා සියලුදෙනා සිතිය යුතුයි. අප එම මාර්ගයේ යා යුතුයි.

ඉදිරියේ දී මේ රට දියුණු කිරීමට අවශ්‍ය තවත් නීති ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. අපි සියලුදෙනා එකතුව ඉදිරියට යමු. කෘෂි කර්මාන්තය නවීකරණය කිරීම හරහා දැවැන්ත කෘෂි විප්ලවයක් රටේ සිදු වෙනවා.

අපිට නැවත ණය වෙන්න බැහැ. අපට නැවත හිඟන ජාතියක් වෙන්න බැහැ. අපේ අභිමානය ආරක්ෂා කරගත යුතුයි. අපි සියලුදෙනා එක්ව මේ ගමන යා යුතුයි.

අද ඔබ මේ රටේ අයිතිකරුවන්. ඒ බව මතක තබා ගනිමින් අභිමානයෙන් කටයුතු කරන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමින් මම ඔබ සියලුදෙනාට සුබ පතනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

මාතලේ කැරැල්ලෙන් පසුව මෙරටට පැමිණි විදේශීය පාලකයන් අපේ ඉඩම් උදුර ගත්තා. අපේ ස්වයංපෝෂිත ආර්ථිකය එයින් කඩා වැටුණා. එයින් නැඟිටින ගමනකට අපේ රටේ නිදහස් සටන් භූමිය පෙරමුණ ගත්තා. මේ උදාවී තිබෙන්නේ එවැනි අභියෝගාත්මක උරුමයක් දිනා ගැනීමේ සටනෙන් පටන් ගත් උරුමය යළිත් ලක්ෂ විස්සක ජනතාවට ලබාදීමේ අවස්ථාවයි. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමාගේ අරමුණු සාක්ෂාත් කිරීමට එක් වුණු ඉඩම් අමාත්‍යවරයා ඇතුළු සියලු නිලධාරීන් මහඟු කර්තව්‍යයක් ඉටුකළා.

දඹුලු පුරවරයේ ඓතිහාසික බව ඉතිහාසයට පමණක් නොව ලොවට අසමසම ලෙස කියාපාන්නට පුළුවන්. දඹුල්ල, සීගිරිය වැනි කේන්ද්‍රවලින් පෝෂණය වූ මෙම භූමිය අද මෙම වැඩසටහන ආරම්භ කිරීමට තෝරාගැනීමෙන් යළිත් සිහිපත් කරන්නේ අපේ ඒ උරුමයයි. දේශයේ අභිමානයයි.

රට පුරා ජනතාව ආහාර හිඟයෙන් පෙළුණු මොහොතක ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් හා මැදිහත්වීමෙන් ‌ගොවි ජනතාව යළි මේ රට ස්වයංපෝෂිත කිරීමට දායක වුණා.

රජයේ ඉඩම් ලබා දී ඔබගෙන් බලාපොරොත්තු වන්නේ ඒ උත්තුංග කර්තව්‍ය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමටයි. ඒ වෙනුවෙන් කැපවීම ඔබ සියලුදෙනාගේ වගකීමයි. අද මේ ලබාගන්නා ඔප්පුව සුළු දෙයක් කොට තකන්න එපා.

සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා

හිටපු ඉඩම් අමාත්‍යවරුන් සියලුදෙනා මම මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරනවා. එහිදී ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම පිළිබඳ 2015 ආණ්ඩුවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ අද එය මල්ඵල ගැන්වී තිබෙනවා. එබැවින් අද දිනය මෙරට ඉතිහාසයේ ලියවිය යුතු දිනයක් බව මම ප්‍රකාශ කරන්න කැමතියි.

එදා ඩී.එස්. සේනානායක මැතිතුමා මේ රටේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කළේත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ජනතාවට ඉඩම් ලබා දුන්නෙත් රටේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමේ වැදගත්කම හඳුනාගත් නිසයි.

ඒ වගේ නිදහසින් පසු ජනතාව විශාල පිරිසකට එකවර සින්නක්කර ඉඩම් අයිතිය හිමිවූ එකම අවස්ථාව ලෙස මෙම අවස්ථාව සඳහන් කළ හැකියි. මේ සඳහා කැපවී කටයුතු කළ සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස්, ඩග්ලස් දේවානන්දා මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රංජිත් සියඹලාපිටිය, රෝහණ දිසානායක, චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්. එම්. චන්ද්‍රසේන, වඩිවේල් සුරේෂ්, වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, නාලක කෝට්ටේගොඩ, මාතලේ එජාප ප්‍රධාන සංවිධායක ප්‍රියාන් විජේරත්න යන මහත්වරුන් ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ඇතුළු ආණ්ඩුකාරවරුන් ද, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ඉඩම් කොමසාරිස් ජනරාල් බන්ධුල ජයසිංහ, ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සහ ඉඩම් ඔප්පුලාභීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

ශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් උළෙලේ විශේෂ අමුත්තා වශයෙන් සහභාගි වූ තායිලන්ත අගමැති ශ්‍රෙත්ථා තවිසින් මහතා සාර්ථක සංචාරයකින් අනතුරුව ඊයේ (04) පස්වරුවේ මෙරටින් නික්ම ගියේය. පෙරේදා (03) පස්වරුවේ මෙරටට පැමිණි තායිලන්ත අගමැතිවරයා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කෙරෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමට එක්වූ අතර අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති කාර්යාලයේදී ද්වීපාර්ශ්වික සාකච්ඡාවකට ද සහභාගි විය. එහිදී දෙරට අතර වෙළෙඳ, ආයෝජන, සංස්කෘතික, ආර්ථික, ගුවන් සේවා, නාවික ඇතුළු ක්ෂේත්‍ර රැසක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ අතර දෙරටටම වාසි සැලසෙන අයුරින් එක් එක් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම ද සිදුවිය. මීට අමතරව, දෙපාර්ශ්වය, 1950 වසරේදී දෙරට අතර අත්සන් තැබුණු ගුවන් සේවා ගිවිසුම අලුත් කළ අතර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. තායි අග්‍රාමාත්‍යවරයා සමඟ එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා වාණිජ අමාත්‍යවරයා, නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා, විදේශ ලේකම්වරයා හා තායි රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ මෙන්ම ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කළහ. තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ වාණිජ අමාත්‍ය ෆුම්තාම් වෙචයචායි සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් ඓතිහාසික ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තබනු ලැබීම තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ සහ ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කිරීම සඳහා මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ශක්තිමත් පිටිවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂිතය.

ථෙරවාද බුදුසමයෙන් සවිමත් වන පොදු ඓතිහාසික හා සංස්කෘතික සබඳතා පිළිබඳ අවධානය යොමු කළ දෙපාර්ශ්වය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ගිවිස ගත්හ. සමුද්‍රීය සම්බන්ධතා විෂයෙහි, තායි බිම් සේතු ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකාවේ වර්තමාන වරාය සංවර්ධන වැඩ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ භූක්‍රමෝපායික පිහිටීම් සම්බන්ධයෙන් සලකා බලන කල, සමුද්‍රීය සම්බන්ධතා වැදගත් අනාගත සහයෝගිතා ක්ෂේත්‍රයක් වශයෙන් සැලැකිල්ලට ගැනිණි. සිය සංචාරය අවසන් කොට ශ්‍රී ලංකාවෙන් පිටව යන අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින් මහතාට සහ නියෝජිත පිරිසට, විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මහතා ගුවන්තොටුපොළේදී උණුසුම් ලෙස සමු දුන්නේය.

බහු-ධ්‍රැවීය ලෝකය යනු මෙතෙක් ගලා ආ ලෝක සංවර්ධන ඉතිහාසයේ නවතම ප්‍රවණතාව පමණක් නොවේ. එය ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අභිලාෂයේ ද පිළිබිඹුය.

2023 දෙසැම්බර් 27-28 දිනයන්හි, බීජිං හි පැවති, විදේශ කටයුතු සම්බන්ධ මධ්‍යම සමුළුව, වර්තමාන සහ අනාගත යන කාල ද්විත්වය සම්බන්ධයෙන්, චීනයේ බාහිර ලෝක සම්බන්ධතා පිළිබඳව පුළුල් සැලසුම් සකස් කළේය. චීනයේ විදේශ සබඳතා සහ බාහිර කටයුතු ගැන සැලකිලිමත් වන සියලුම මිතුරන් මෙම කතිකාවත හේතුවෙන් ලොව පුරා වේගවත්, විශාල පරිවර්තනයක් සිදු වනු ඇතැයි අනුමාන කරන බව මම විශ්වාස කරමි.

අපේ කාලයේ ලෝකයේ, ඓතිහාසික වෙනස්කම් රාශියක් පෙර නොවූ විරූ ලෙස දිග හැරෙමින් තිබේ. ලෝකය, කැලඹිලි සහ නව පරිවර්තනයේ කාල පරිච්ඡේදයකට දැන් අවතීර්ණ වී ඇත.

අද ලෝකය මුහුණ දෙන ප්‍රධාන ගැටලු සහ අභියෝග මාලාව සැලකිල්ලට ගෙන, ජනාධිපති ෂී ජින් පිං ගේ තීක්ෂණ නායකත්වය යටතේ චීනය සිය මාර්ගය තුළ බහු ධ්‍රැවීය ලෝකයක් සඳහා ප්‍රවේශයක් මේ අනුව සපයා අවසන්ය.

බහු ධ්‍රැවීයතාව

බහු ධ්‍රැවීයතාව යනු ලෝක සංවර්ධනයේ සමස්ත ප්‍රවණතාවය වේ. එය සංවර්ධනය වෙමින් පවතින රටවල හෝ ගෝලීය දකුණේ නැඟී එන බලපෑමෙන් පිළිබිඹු වේ. දශක තුනකට වැඩි කාලයකට පෙර සීතල යුද්ධයේ අවසානයෙන් පසු, සිදු වන වර්ධනයන් පෙන්නුම් කරන්නේ, සංවර්ධනය වෙමින් පවතින රටවල් වැඩි වැඩියෙන් ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන්, අදහස් දැක්වීමට දැඩි උනන්දුවක් දක්වන බැවින්ය.

ඔවුන් බහු ධ්‍රැවීය ලෝකයක, සිය ඉලක්කය හඹා යන අතර ඒක පාර්ශ්විකත්වයට සහ බල දේශපාලනයට විරුද්ධ වෙති. බල ගැටුම් අඛණ්ඩව පැවතීම, ජාත්‍යන්තර සබඳතා සඳහා තනි ප්‍රවේශය හෙවත් එය කෙළිබිමක් බවට පත් කර ගැනීම, අපේක්ෂා නොකරන්නේය. විශේෂයෙන්ම යුද්ධ සහ ගැටුම් හෙළා දැකීම ද තුන්වෙනි ලෝකයේ සිරිතය. කෙසේ වෙතත්, දැනට ලෝකයේ සිදුවන පුළුල් වෙනස්කම් හමුවේ බහු-ධ්‍රැවීය ලෝකයක් ගොඩනඟා ගන්නේ කෙසේද යන්න පිළිබඳව තවමත් එකඟතාවයක් නොමැත. මෙම පසුබිමට එරෙහිව මුලපුරමින්, චීනය ලෝක බහු ධ්‍රැවීයතාව සඳහා නිවැරදි දිශාව පෙන්වා දෙයි.

අපි සමාන බහු-ධ්‍රැවීය ලෝකයක් වෙනුවෙන් පෙනී සිටිමු, එයින් අදහස් කරන්නේ ප්‍රමාණය හෝ දේශපාලන බලය නොසලකා සියලු රටවල් සමාන ලෙස සැලකීම, අධිපතිවාදය සහ බල දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම, රටවල් කිහිපයක ජාත්‍යන්තර කටයුතුවල ඒකාධිකාරය ප්‍රතික්ෂේප කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය සැබවින්ම ජාත්‍යන්තර සබඳතා තුළ ප්‍රවර්ධනය කිරීමය. ජාත්‍යන්තර කටයුතු සියලු රටවල් විසින් උපදේශනයෙන් විසඳා ගත යුතු අතර, ලෝකයේ අනාගතය සහ ඉරණම සියලු රටවල් විසින් තීරණය කළ යුතුය.

බහු ධ්‍රැවීයතාව යන්නෙන් අදහස් කරන්නේ විශාල සහ බලවත් රටවල් කිහිපයක් පමණක් යන සාම්ප්‍රදායික ආඛ්‍යානය බිඳ දමමින්, සෑම රටකටම හෝ රටවල් සමූහයකට ගෝලීය බහු ධ්‍රැවීය පද්ධතිය තුළ තමන්ගේම ස්ථානයක් සොයාගත හැකි වීමය. ඉතිහාසයේ ප්‍රවණතාවලට එරෙහිව යමින්, සීතල යුද මානසිකත්වයට ඇලී සිටීම සහ ආධිපත්‍යය පවත්වා ගැනීමේ උමතුව, ඒක පාර්ශ්විකවාදය පසුපස හඹා යාම, කඳවුරු ගැටුම් ඇවිස්සීම සහ වෙනත් රටවල් පාලනය කිරීමට යෑම සහ මර්දනය කිරීම වැනි අසාර්ථක මූල ධර්ම මෙම සංකල්පයෙන් බිද වැටේ.

අපි ක්‍රමවත් බහු-ධ්‍රැවීය ලෝකයක් වෙනුවෙන් පෙනී සිටිමු, එයින් අදහස් කරන්නේ බහු-ධ්‍රැවීයතාවේ ප්‍රගතිය ස්ථායී සහ නිර්මාණාත්මක ලෙස තබා ගැනීමයි. බහුධ්‍රැවීය ක්‍රියාවලිය ගෝලීය අස්ථාවරත්වය සහ ‘අක්‍රමිකතා’ ගෙන එනු ඇති බවට සමහර රටවල දක්වන උත්සුකයන් සඳහා අපගේ ප්‍රතිචාරය එයය.

ඓතිහාසික ක්‍රියාවලිය

බහු ධ්‍රැවීය ක්‍රියාවලිය යනු බෙදීමට වඩා එකමුතුකමේ, ගැටුමට වඩා සංවාදයේ, අරගලයට වඩා සහයෝගීතාවය ගුරු කොට ගත්තකි. මෙය හරසුන් එකතුවක් නොවේ. ලෝක ජයග්‍රහණය සඳහා වන ඓතිහාසික ක්‍රියාවලියකි. මෙම පොදු අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා, එක්සත් ජාතීන්ගේ (UN) ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම, සියල්ලන් විසින් පිළිපැදිය යුත්තේය. ජාත්‍යන්තර සබඳතා පාලනය කරන විශ්වීය වශයෙන් පිළිගත්, මූලික සම්මතයන්, සියල්ලන් විසින් පිළිපැදිය යුතුය. සෑම විටම සැබෑ බහු පාර්ශ්විකත්වය ප්‍රගුණ කළ යුතුය.

ජාත්‍යන්තර ප්‍රජාවේ කැමැත්තට පටහැණිව, ස්වකීය ප්‍රමුඛතාවය සඳහා අනුගත වූ, සියල්ල ජයග්‍රහණයෙන් කෙළවර වේ යැයි සිතන, ආරක්ෂණවාදය ප්‍රවර්ධනය කරන, ‘කුඩා අංගණ සහ උස් තාප්ප’ගොඩනඟන පිරිස මේ සඳහා හානිකරය. ලද සෑම අවස්ථාවකදීම වෙනත් රටවලට බලපෑම් කරන සහ සම්බාධක පනවන්නා වෙත මෙහිදී අනාගතයක් නැත.

බිලියන අටකට වඩා වැඩි මුළු ගෝලීය ජනගහනයක් සහිත ලෝකයේ, රටවල් 200 කට ආසන්න සංඛ්‍යාවක් ඇත. සියලුම රටවල් එක දේශපාලන ආකෘතියක් සහ ‘විශ්වීය වටිනාකමක්’ අනුගමනය කරන ලෝකයක් ගැන සිතීම දුෂ්කරය. එවැනි ලෝකයක්, එක් බලයක් හෝ කණ්ඩායමක් විසින් ආධිපත්‍යය දරනු ඇතැයි සිතීම ද දුෂ්කරය.

සමාන හා ක්‍රමවත් ලෝක බහු ධ්‍රැවීයතාවක් වෙනුවෙන් පෙනී සිටීම සියලුම රටවල ජනතාවගේ පොදු අභිලාෂයන්ට අනුකූල වේ. සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩ නැඟීම ප්‍රවර්ධනය කිරීම වනාහි සමස්ත ලෝක ප්‍රජාව වෙත සාධාරණ ලෝකයක් ගොඩනැඟීම සඳහා වැදගත් මාවතක් සපයයි. මානව වර්ගයා සඳහා ඒකාධිකාරී බලහත්කාරකමක් වෙනුවට, සාධාරණ අනාගතයක් වෙනුවෙන් මෙම කර්තව්‍යය අත්‍යාවශය. ලෝකයේ බහුතර කැමැත්ත මෙය වේ. එය මානව සංවර්ධනයේ ආපසු හැරවිය නොහැකි ප්‍රවණතාවයකි.

චීනය සහ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය විශ්වාසයේ සහ සහයෝගයේ අවංක මිතුරන් වන අතර පොදු සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා හවුල්කරුවන් වේ. ශ්‍රී ලංකාවට එහි ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව තහවුරු කිරීම සඳහා ස්ථිර ලෙස, චීනය සහාය දෙන අතර, ශ්‍රී ලංකාව එහි ජාතික තත්ත්වයන්ට ගැළපෙන සංවර්ධන මාවතක් ස්වාධීනව තෝරා ගැනීමට චීනය ගරු කරයි.

සැමට ප්‍රතිලාභ ගෙන දෙන සමාන හා ක්‍රමවත් බහු-ධ්‍රැව ලෝකයකට සහ ආර්ථික ගෝලීයකරණයකට සහාය දැක්වීමට, වඩාත් සාධාරණ දිශාවකට ගෝලීය පාලනය ප්‍රවර්ධනය කිරීමට සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අවශ්‍යතා සහ නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට සූදානම්ය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති

කී ශෙන්හොං

 

  • ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අගමැති එක් වෙයි.
  • ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, තුන්වන චාල්ස් රජු ඇතුළු ලෝක රාජ්‍ය නායකයන්ගෙන් සුබ පැතුම්.

76 වන ජාතික නිදහස් දින සැමරුම “හදමු අලුත් රටක්” යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව පැවැත්විණි.

මෙහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තාවීසින් මහතා එක්ව සිටි අතර ලොව සියලුදෙනාගේ සහාය ඇතිව යළි ගොඩනැඟෙමින් සිටින ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලොවට විදහා දැක්වීම මෙහි අරමුණ විය.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්තවීම සැල කෙරෙන හොරණෑ වාදනය කිරීමෙන් පසු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ වැඩබලන පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයාව උත්සව භූමියේ ප්‍රධාන කොඩි කණුව අසලට කැඳවාගෙන ඒම සිදු විය.

ඉන් අනතුරුව මඟුල් බෙර වාදන හා සක් හඬ මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමෙන් පසු උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි.

අනතුරුව ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව අසලට කැඳවාගෙන යාම සිදු වූ අතර එහිදී පාසල් සිසු සිසුවියෝ 100 දෙනෙක් ජාතික ගීය ගායනා කළහ. එමෙන්ම පාසල් සිසුවියන් 25 දෙනෙකු විසින් ජයමංගල ගාථා සහ “දේවෝ වස්සතු කාලේන” ආශීර්වාදාත්මක ගාථා ගායනා කිරීම ද සිදු විය.

මාතෘ භූමියේ ස්වාධීනත්වයේත්, ස්වෛරීභාවයේත්, භෞමික අඛණ්ඩතාවයේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලුම ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා නිශ්ශබ්දතාවක් පැවැත්විණි.

ඉන්පසු ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදු කෙරුණු අතර, ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බව ලොවට පසක් ‍කරමින් 76 වන නිදහස් දින සැමරුම් පෙළපාළිය, ත්‍රිවිධ හමුදාව පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික ශිෂ්‍ය භට බළකාය විසින් වර්ණවත් කළහ.

ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිය සහ උදාරත්වය විදහා දක්වමින් සිංහ ප්‍රතිමාව රැගත් රථය පෙරටු කර ගනිමින් යුද, නාවික, ගුවන් පොලිස් සහ සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික ශිෂ්‍යභට බළකායට අයත් නිලධාරීහු ජාතික ධජ රැගෙන පෙළපාළියේ ගමන් කළහ.

ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ද ඊට ඇතුළත් වූ අතර විශ්‍රාමික නිලධාරීන් 22 දෙනකු සහ ආබාධිත නිලධාරීන් 29 දෙනෙකු එහි ගමන් කරනු ලැබීය. ත්‍රිවිධ හමුදා තූර්ය වාදක පෙළපාළියක්ද ඊට ඇතුළත් විය.

ආචාර පෙළපාළිය අවසන් වන තුරුම පීඨිකාව මත රැදී සිටි ජනාධිපතිවරයා එහි ගමන් කළ සියලු රණවිරුවන් වෙත සිය ගෞරවය පිරිනැමීම ද විශේෂත්වයකි.

එමෙන්ම ශ්‍රී ලංකාව සතු ගුවන් ශක්තිය ප්‍රදර්ශනය කෙරෙන කෆිර් යානා ඇතුළු ගුවන් සන්දර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් වූ අතර ශ්‍රී ලංකාව සතු නාවික ශක්තිය ද අභිමානවත්ව ප්‍රදර්ශනය කෙරිණි.

ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරන පැරිෂුට් භටයන් තිස් දෙනකුගේ සහභාගිත්වයෙන් පැවති පැරෂුට් සන්දර්ශනයකින් සහ සංස්කෘතිකාංග රැසකින් මෙම උළෙල වර්ණවත් විය.

මේ අතර ශ්‍රී ලංකාවේ අභිමානවත් 76 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් වතිකානුවේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු, ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා, ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩ්න්, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, චීන ජනාධිපති ෂී ජිංපින්, දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල්, ඉන්දීය ජනාධිපති ද්‍රෟපදි මුර්මු, ලිබියානු ජනාධිපති ආචාර්ය මොහොමඩ් වයි. අල්-මෙන්ෆි, සිංගප්පූරු ජනාධිපති තර්මන් ශන්මුගරත්නම්, ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාර ජෙනරාල් ඩේවිඩ් හර්ලි යන මහත්වරු මෙන්ම පාකිස්ථාන ජනාධිපති, බංග්ලාදේශ ජනාධිපති සහ කුවේට් රාජ්‍යයේ එමීර්වරයා ඇතුළු රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහ ශ්‍රී ලංකා රජය වෙත සිය සුබපැතුම් පළ කර තිබිණි.

මහා සංඝරත්නය සහ සෙසු ආගමික පූජකවරු ද, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, 76 වන නිදහස් සැමරුම වෙනුවෙන් මෙරටට පැමිණි තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට වාණිජ අමාත්‍ය ෆුම්තාම් වෙචයචායි මහතා ඇතුළු තායිලන්ත දූත පිරිස සහ විදෙස් තානාපතිවරු හා මහකොමසාරිස්වරුන් ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම්, කැබිනට් ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු, රාජ්‍ය නිලධාරීහු සහ රණවිරුවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සකස් කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මේ පනත මඟින් සමාජ මාධ්‍ය පාලනය සඳහා කිසිදු සීමා පැනවීමක් සිදු වන්නේ නැතැයි හෙතෙම කීවේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මාර්ගගත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ, ද්වේෂ සහගතව, පටු අරමුණුවලට සමාජ මාධ්‍ය රෞද්‍ර ලෙස භාවිත කිරීම හා පොදු සමාජයට හානිකර ලෙස යොදාගැනීම වැළක්වීම බවද හෙතෙම කියා සිටියේය. ඕනෑම සමාජ මාධ්‍යයක් වෙනත් අයට ආරවුල් ගැටුම් ඇති නොවන ලෙස භාවිත කිරීම පිළිබඳ කිසිඳු සීමා පැනවීමක් නැති බවත්, ආගමික හැඟීම් පෑරවීම්, ආගම් අතර ගැටුම් ඇති කිරීම්, ළමා අපයෝජන, පුද්ගලයන් බිය වැද්දීම්, ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරීම් හා ලිංගික අතවර කිරීම් යනාදිය සිදු කරන පුද්ගලයන්ට දැඩි දඬුවම් පැනවීමට ලොව සෙසු දියුණු රටවල් අනුගමනය කරන පිළිවෙත් හා සම්මතයන්ට අනුව මේ පනත් කෙටුම්පත සකසා ඇති බවද හෙතෙම පැවසීය.

ඒ අනුව, ජාත්‍යනතර වශයෙන් ඉදිරිපත් වූ ඇතැම් අදහස් අනුව අවශ්‍ය සංශෝධන කිරීම‍ටද මේ මාර්ගගත ආරක්ෂණ පනත පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමින් මහජන ආරක්ෂක ඇමැතිවරයා එකඟ වී තිබෙන බවත්, පනත සම්මත වී ඇති අතර පනත ක්‍රියාත්මක කිරීම කඩිනමින් ඉටු කිරීමට අවශ්‍ය විධිවිධාන යොදන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මෙමඟින්, මෙරට නිරායුධ යහපත් ඇවතුම් පැවතුම් ඇති සියලු මිනිසුන්ට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමට හා නිදහසේ වැඩ කටයුතු කරගෙන යෑමට අවශ්‍ය ඉඩ ප්‍රස්තාව සලසා දීමට හැකි බව පැවැසූ ඒ මහතා සදාචාර සම්පන්න සමාජයක යහපත් දේ වැඩි වශයෙන් යොදාගැනීමට මේ පනතෙන් බාධාවක් නැති බව පැවසීය.

ගුණධර්ම අගයන සිසු පිරිසක් බිහි කිරීමට ලැබීම ගුරුවරයකු වශයෙන් ලැබිය හැකි ඉහළම ආශ්වාදය බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, නර්තන කලා ශිරෝමනි සම්මානලාභී, ප්‍රවීණ නර්තනාචාරිනි චන්ද්‍රකාන්ති ශිල්පාධිපති මහත්මිය දේශීය නර්තනය පාදක කර ගනිමින් සම්පාදනය කළ ‘හෙළ කලාකෙත’ කෘතිය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

දේශීය නර්තන ඇතුළු සංස්කෘතික අංග රැකසකින් ද වර්ණවත් වූ මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික සම්මානිත මහාචාර්ය ලයනල් බෙන්තරගේ මහතා සිදු කරන ලදි. ශ්‍රී ලාංකීය කලා ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීම සඳහා අනූපමේය දායකත්වයක් දක්වමින් ජන හදවත් තුළ තදින් සනිටුහන් වූ කලා ශිල්පීන් ලෙස පියසාර ශිල්පාධිපති සහ කාන්ති ශිල්පාධිපති යුවළ ඉටුකළ මෙහෙය අතිශය සුවිශේෂී වන බව හෙතෙම කීවේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

කවර අංශයකින් අධ්‍යාපනය හැදෑරුවත් කලා ක්ෂේත්‍රය සඳහා වූ දක්ෂතා කුසලතා සහ නිර්මාණාත්මක හැකියාවන් ඔප් නංවා ගැනීම සඳහා ගෞරවනීය ගුරු පරපුරක මඟ පෙන්වීම ලැබීම ශිෂ්‍යයකුට භාග්‍යයක්. මා තරුණයෙක් වශයෙන් ගත කළ කාලය තුළ රට තුළ පැවති දේශපාලනික, සංස්කෘතික සහ සමාජීය ප්‍රබුද්ධ සංවාද විසංවාද තිබුණා. ඒ පිළිබඳ ආකර්ෂණයකින් යුතුවයි කොළඹ ලුම්බිණි විද්‍යාලයේ රඟහල ආශ්‍රිතව බිහිවූ විවිධ කලා නිර්මාණ කෙරෙහි දැඩිව යොමු වූණේ. ඒ තුළින් ලද අත්දැකීම් අදටද මාගේ නිර්මාණ ජීවිතයට ආලෝකයක් වුණා.

විද්වතුන් සිදු කළ උසස් නිර්මාණ තුළින් මෙන්ම යහපත් ගුරුවරුන්ගේ ආභාසය තුළින් ද මනා ශිෂ්‍ය පරපුරක් බිහි කිරීම සහ ඔවුන් මා පසුකරමින් දක්ෂතා කුසලතා සහිත කෘතවේදී පිරිසක් ලෙස ජීවිතයේ ඉහළ තැනකට ළඟා වීම ගුරුවරයකුට ලැබිය හැකි ඉහළම සතුටුයි. තමන් ලබන ජීවිත අත්දැකීම් ග්‍රන්ථයක් ලෙස කැටිකොට එළිදැක්වීම තුළින් තමන් වෙතට පැමිණෙන ශිෂ්‍යයන්ට වඩා වැඩි පිරිසක් අතරට ඒ අත්දැකීම් බෙදා දීමට හේතු වෙනවා. අද්‍යතන ශ්‍රී ලංකාව තුළ පවතින සංස්කෘතිකමය අපගමනයත් සදාචාරාත්මක පිරිහීම හා මිනිසත්කමේ සිදුව ඇති නාය යෑම හේතුවෙන් මිනිස්කමේ වටිනාකමක් හෝ අගයක් නොදන්නා තාරුණ්‍යයක් බිහිවී සිටිනවා. එබැවින් සෑම දේකම මිල දන්නා නමුත් අගය නොදන්නා මිනිසුන් වෙනුවට, ගුණධර්ම අගයන සිසු පිරිසක් බිහි කිරීමට ලැබීම ගුරුවරයකු වශයෙන් ලැබිය හැකි ඉහළම ආශ්වාදයයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනූෂා ගෝකුළ, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී අජිත් නාරගල මහත්වරුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, විද්වතුන්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්, කලා ශිල්පීන්, ඇතුළු ආරාධිතයන් රැසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

 
 
 
 

අරන්තලා භික්ෂූ ඝාතනය සහ පීඩාවට පත්වූ ජනතාව සිහිකර මෙහි ස්මාරකයක් ඉදිකර දෙන්නැයි කොන්ත්‍රාත් සමාගමෙන් ඉල්ලනවා

සවුදි ණය අරමුදල යටතේ කෝටි 300ක් වැය කර කෙවිලියමඩුව සිට මහඔය දක්වා කි.මී 25ක මාර්ගය අලුත්වැඩියාව ඇරැඹේ

ජනාධිපතිවරයා රටවල් රැසක රාජ්‍ය නායකයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ කළ සාකච්ඡා අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් වාරික දෙකක් ලබාගැනීමට හැකි වී තිබෙනවා
දේශපාලන කතා පැවැත්වීම තරම් ආණ්ඩුකරණය පහසු නැතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.රුපියල් කෝටි 300ක සවුදි ණය අරමුදල යටතේ අම්පාර – උහන – මහඔය මාර්ගයේ (A027) කෙවිලිය මඩුව සිට මහඔය දක්වා කොටස ප්‍රතිසංස්කරණය සහ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුකරණය පිළිබඳ විෂයානුබද්ධ අවබෝධයක් නොමැති පිරිස් සාමාන්‍ය ජනතාව තුළ වෛරය පමණක් ඇති කිරීමට කටයුතු කළ බව පැවැසූ අමැතිවරයා අර්ථ ශාස්ත්‍රය පිළිබඳ දැනුමකින් තොරව මෙම ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකි බව කීවේය.

පසුගිය කාලය තුළම දේශපාලනඥයන් විසින් මහජනතාව බොරුවෙන් රැවටුවා මිස රටක් ආණ්ඩුකරණය පිළිබඳ සැබෑව ගැන දැනුවත් කර නොමැති බවද ඒ මහතා කියා සිටියේය.

සැබෑ යථාර්ථය වන්නේ පැවති සෑම රජයක්ම අධ්‍යාපනය, සෞඛ්‍ය, සංවර්ධනය ඇතුළු සෑම කටයුත්තක් සඳහාම වැය කළේ පුද්ගලික මුදල් නොවන බවත් මහජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල් වන අතර, එම බදු මුදල් දේශපාලන කයිවාරුවලට අනුව බෙදා දිය නොහැකි බවත් ගුණවර්ධන මහතා පැවැසීය.

ඒ සඳහා නිසි ක්‍රමවේදයක්‌ තිබෙන බව පැවැසූ ඇමැතිවරයා එදිනෙදා පවත්වාගෙන යාමට අවශ්‍ය පුනරාවර්ථන වියදම් දැරීමට ප්‍රමාණවත් බදු අදායමක් කිසිම රජයකට ලැබී නැති බව කීවේය.මහඔය 69 මංසන්ධියේ පැවති සමාරම්භක අවස්ථාවේදී ඇමැතිවරයා ප්‍රමුඛ ආරාධිත අමුත්ත්තෝ ඉදිකිරීම් සඳහා මුල්ගල් තැබූහ.

දිගින් කිලෝ මීටර් 58ක් වන අම්පාර – උහන – මහඔය මාර්ගය (A027) අම්පාර සිට උහන හරහා මහඔය නගරය එකිනෙකට යා කෙරෙන ප්‍රධාන මාර්ගයයි. ශ්‍රී ලංකා රජය විසින් අම්පාර සිට කෙවිලියමඩුව දක්වා කිලෝමීටර් 33ක කොටස සංවර්ධන කටයුතු සිදු කර අවසන් කර ඇති අතර, කෙවිලියමඩුව සිට මහඔය දක්වා කිලෝමීටර් 25ක් දිගින් වූ මාර්ග කොටස ඉතා පටු හා ක්‍රමවත් කානු පද්ධතියක් නොමැති ගමනාගමනයට අපහසු මාර්ග කොටසක් වේ.

සංවර්ධනය සඳහා වූ සවුදි අරමුදල යටතේ ක්‍රියාත්මක වන බදුල්ල චෙන්කලාඩි මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය හා මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයන් යටතේ ක්‍රියාත්මක කර ඇත.බිබිල චෙන්කලාඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බිබිල සිට චෙන්කලාඩි දක්වා කිලෝමීටර් 87 මාර්ග කොටස මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති අතර, ඒ සඳහා ණය මුදල් ලෙස අ‍ෙමරිකානු ඩොලර් මිලියන 60ක මුදලක් සංවර්ධනය සඳහා වන සවුදි අරමුදල (SFD) මඟින් ලබා දී ඇත.

ඒ අනුව බිබිල – චෙන්කලාඩි මාර්ගය කි.මී. 87ක් සංවර්ධනය කර එහි ඉතිරි මුදල් භාවිතා කරමින් අම්පාර – උභන මහඔය මාර්ගය (A027) කෙවිලියමඩුව සිට මහඔය දක්වා කොන්ත්‍රාත් පැකේජ 02ක් යටතේ කිලෝමීටර් 25ක් සංවර්ධනය කිරීමට නියමිත වේ. ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කෙරෙන සම්පූර්ණ මුදල රු. ලක්ෂ 2,977,467,150.87කි.

මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත ප්‍රතිලාභ අතර අම්පාර හා මහ ඔය රෝහල් අතර කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමට හැකි වීම, කෘෂිකාර්මික හා ඒ ආශ්‍රිත කටයුතු සඳහා කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබාදීමට හැකිවීම, මහනුවර හා මහියංගණය ප්‍රධාන නගර අම්පාර නගරය සමඟ සම්බන්ධ කිරීම, මහඔය සිට අම්පාර දක්වා ඇති කුඩා නගර ආශ්‍රිත සංවර්ධනය, පාසිකුඩා, ආරුගම්බේ වැනි ප්‍රදේශ ආශ්‍රිතව සංචාරකයන් සඳහා ලැබෙන ප්‍රවාහනයේ ගුණාත්මක පහසුව, ව්‍යාපෘති කාලය තුළ ඇතිවන ඍජු හා වක්‍ර රැකියා තුළින් සිදු වන ග්‍රාමීය ආර්ථික දියුණුව ඇතිකිරීම ප්‍රධාන වේ.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

නිදහසින් පසු සියලු රජයන් පවත්වාගෙන ගොස් තිබෙන්නේ දිගින් දිගටම ණය ලබා ගනිමින්. එලෙස ලබාගත් ණය පසුගිය වසර දෙකක කාලයක් ගෙවා නැහැ. එලෙස දිගින් දිගටම කටයුතු කළ නොහැකි බැවින් ජනාධිපතිවරයා ලෝකයේ රටවල් රැසක රාජ්‍ය නායකයන් සමඟ සහ ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා පවත්වමින් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස ඉල්ලීම් සිදු කළා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් වාරික දෙකක් ලබාගැනීමට හැකි වී තිබෙනවා. ඉතිරි ණය මුදල් ගෙවීම සඳහා එකඟතාවයකට පැමිණ තිබෙනවා. එම එකඟතාවයන් අනුව කටයුතු නොකළහොත් කවුරුන් විසින් ආණ්ඩු බලය හෙබවූවත් සති දෙකකට වඩා වැඩි කාලයක් රජයක් පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ. ලෝකය අපව අත්හරිනවා. ජාත්‍යන්තරයට බොරු කරමින් රටක් පවත්වාගෙන යෑමට බැහැ. ආණ්ඩුකරණය සහ දේශපාලන කතා පැවැත්වීම යනු දෙකක්.

එවැනි ඉතාමත් අපහසුතාවයන් රාශියක් මධ්‍යයේ වුවත් මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කරන්නේ ද සංවර්ධනය සඳහා වූ සවුදි ණය අරමුදල් යටතේ ලැබෙන ණය මුදලින්. ඒ අනුව මෙම මාර්ගයේ කිලෝමීටර් 25ක් සංවර්ධනය සඳහා රුපියල් කෝටි 300ක ණය මුදලක්‌ ලබාගෙන තිබෙනවා. රටේ ඉදිරි පරම්පරාවන් විසින් මෙම ණය නැවත ගෙවිය යුතුයි.

මෙම තත්ත්වය පිළිබඳ අවබෝධයක් නැති ජනතාවට දේශපාලනඥයන් හොරුන් ලෙස පෙන්වාදෙමින් ජනතාව වෛරයෙන් මුසපත් කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අහිංසක මිනිසුන් විශාල පිරිසක් ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත් වුණා. ඉතිහාසය තුළ එල්ටීටීඊ සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ එලෙස කටයුතු කළා. තමන්ගේ මතයට විරුද්ධව කටයුතු කළ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකු ඝාතනය කර මළ සිරුර දණහිසෙන් පහළට රැගෙන යන ලෙස නියෝග කළා. ප්‍රචණ්ඩත්වය තුළින් රටේ ප්‍රශ්නවලට නිවැරැදි විසඳුම් සොයා ගැනීමට හැකියාවක් නැහැ.

නිදහසින් පසු නොමිලේ ලබාදුන් බොහෝ සේවාවන් ඇතුළු සංවර්ධන කටයුතුවලට විශාල වශයෙන් විදේශ රටවලින් ණය ලබාගෙන තිබෙනවා. විදේශීය රටවල බදු ගෙවන ජනතාවගේ මුදලින් අපේ රටට ලබා දුන් එම ණය මුදල් ගෙවීමේ වගකීම අපට තිබෙනවා. එලෙස ලබාගත් ණය මුදල් නැවත ගෙවනතුරු අපට විදේශ ණය ලැබෙන්නේ නැහැ. රටට විරුද්ධව නඩු තීන්දුවක් ලැබුණහොත් ලෝකයේ කිසිදු රටක් හා ගනුදෙනු කිරීමේ හැකියාව අපට නොමැති වී යනවා. රටක් වශයෙන් සියලු දෙනා සාකච්ඡා කළ යුතු තීරණාත්මක ගැටලුවක් අප හමුවේ තිබියදී අප සාකච්ඡා කරන්නේ වෙනත් දේ පිළිබඳවයි.

මෙම ව්‍යාපෘතිය සඳහාත් ණය ලබා දී තිබෙන්නේ සංවර්ධනය සඳහා වූ සවුද ණය අරමුදල යටතේ. ඉදිකිරීම්කරුවන් සඳහා මුදල් ගෙවීම් සිදු කරන්නේ රජය නොවේ. රජයට පැවරෙන වගකීම වන්නේ අනාගතයේ එම ණය මුදල් ගෙවීමයි.

ගංවතුර හේතුවෙන් නැඟෙනහිර පළාතේ විනාශයට පත් වූ ස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා ජනාධිපතිවරයා හරහා පරිපූරක ඇස්තමේතුවක් සම්මත කර ගත යුතුයි. ජනතාවගේ අවශ්‍යතාවයන් අපට ඉතා හොඳින් වැටහෙනවා. නමුත් ආණ්ඩුකරණය දේශපාලන කතා පැවැත්වීම තරම් පහසු නැහැ. අර්ථ ශාස්ත්‍රය පිළිබඳ දැනුමකින් තොරව මෙම ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකියි. විවිධාකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට ජීවිත කාලය පුරා මුහුණ දුන්, ජීවිත කැප කළ මෙම ප්‍රදේශවල ජනතාව මෙන්ම අරන්තලාව භික්ෂු ඝාතනය සිහිපත් කරමින් මෙම මාර්ගය ඉදිකිරීම් ආරම්භ කරන ස්ථානයේම ස්මාරකයක්‌ ඉදිකිරීමට ද කටයුතු කරන ලෙස ඉදිකිරීම් භාර සමාගමෙන් ඉල්ලීමක් කිරීමට මා බලාපොරොත්තු වෙනවා.මහා සංඝයා වහන්සේ, අම්පාර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති ඩබ්. ඩී. වීරසිංහ, අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජෙගදීෂන්, ටී. එම්. වී. පී. පක්ෂයේ ලේකම් පී. ප්‍රශාන්තන්, අම්පාර ප්‍රාදේශීය ලේකම් තිළිණ ගමගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන්, මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂකවරයා ඇතුළු නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, පළාත් පාලන ආයතන නියෝජිතයන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
 
 
 

 

  • නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය අදට යෝග්‍ය නැහැ.
  • එයින් අසාධාරණයට ලක් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් – G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව අමතමින් ජනපති අවධාරණය කරයි.

ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු වන්නේ පැරිස් සමාජය සහ ලන්ඩන් සමාජය විසින් ගෝලීය ණය විසඳුම් පිළිබඳ ආධිපත්‍යය දැරූ ලෝකය සඳහා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අද වන විට, ගෝලීය ණය මෙන්ම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය, පැරිස් සමාජයේ සාමාජිකයින් නොවන ණය හිමියන් සහ ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොළ විසින් පාලනය කරනු ලබන බවද පෙන්වා දුන්නේය.

පවතින මූල්‍ය සම්පත්, ණය සේවාවක් ලෙස ලබා ගන්නා විට, අත්‍යාවශ්‍ය පොදු සේවා සහ මානව සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය වියදම් වෙනුවෙන් මූල්‍ය පහසුකම් සපයා ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට නොහැකි වන අතර, එය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ද බලපාන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (21) උගන්ඩාවේ කම්පාලා නුවරදි ආරම්භ කෙරුණු “G77 සහ චීනය” කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China) අමතමිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම සන්ධානය ලෙස, ගෝලීය දකුණේ රටවලට සිය සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට, ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර අන්තර් සහයෝගීතාවය ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින ජාත්‍යන්තර ආර්ථික ගැටළු පිළිබඳව එක්ව සාකච්ඡා කිරීම වෙනුවෙන් ඉඩකඩ සලසා දීම G77 සහ චීනය සමුළුවේදී සිදු කෙරේ.

එහි සාමාජික රටවල් 134 අතර වෙළඳාම, ආයෝජන, තිරසාර සංවර්ධනය, දේශගුණික විපර්යාස, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ඩිජිටල් ආර්ථිකය ඇතුළු ක්ෂෙත්‍රයන්හි සහයෝගීතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ‘කිසිවෙකු අත් නොහරිමු’ යන තේමාව යටතේ එහි 3 වැනි දකුණු සමුළුව කැඳවා තිබිණි.

G77 සහ චීනය සමුළුවේ සභාපති ධූරය මෙතෙක් කියුබානු ජනරජය මගින් දැරූ අතර, මෙවර එය උගන්ඩා ජනරජය විසින් භාර ගනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුව අමතා සිදු කළ සම්පූර්ණ කථාව මෙසේය,

3 වැනි දකුණේ සමුළුව සඳහා සත්කාරකත්වය දැක්වීම සහ “G77 සහ චීනය” කණ්ඩායමේ සභාපතීත්වය භාරගැනීම සම්බන්ධයෙන් උගන්ඩා ජනාධිපති යොවේරි මුසෙවේනි මහතාටත්, උගන්ඩා රජයටත් මාගේ සුභපැතුම් පිරිනමනවා.

ඒ වගේම පසුගිය වසර තුළ “G77 සහ චීනය” කණ්ඩායම වෙනුවෙන් ලබාදෙන ලද ඵලදායී සහ ස්ථීර නායකත්වය වෙනුවෙන් මම කියුබාවටද ස්තුති කිරීමට කැමතියි.

කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස්-කැනෙල් මහතා විසින් 2023 සැප්තැම්බර් මාසයේ හවානාහිදී ‘වත්මන් සංවර්ධන අභියෝග’ මැයෙන් කැඳවූ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට මෙන්ම හවානා ප්‍රකාශය සම්මත කර ගැනීමට සහාය වීමට ලැබීම පිළිබඳව ද මම සතුටු වෙනවා.

අප G77 සහ චීනය කණ්ඩායම පිහිටුවාගෙන වසර 60ක් සම්පුර්ණ වීම සමරන මේ මොහොතේ, බහුපාර්ශ්වික සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම කණ්ඩායම ලෙස එක්සත්ව කටයුතු කිරීම සහ අප මුහුණ දෙන බහුවිධ අභියෝග ජය ගැනීමට ගෝලීය දකුණේ ස්ථාවරය අඛණ්ඩව ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍යයි.

G77 සහ චීනය කණ්ඩායමේ ආරම්භක මූලධර්ම වන එකමුතුකම, අනුපූරකත්වය, සහයෝගීතාවය සහ තිරසාර ලෙස බාධක අවම කර ගැනීමට යන සංකල්ප අපට එකට වැඩ කළ හැකි ස්ථිර පදනමක් සකස් කරනු ලබනවා.

අද අපි මෙහි හමුවන්නේ ලෝකය අභියෝග රැසකට මුහුණ දී සිටින අවස්ථාවකයි. ගැටුම් උත්සන්න වීම, වසංගතයේ ප්‍රතිවිපාක, දේශගුණය ආශ්‍රිත ස්වාභාවික විපත් සහ ගෝලීය මූල්‍ය වෙළඳපොළ වෙනස්වීම් මෙන්ම තවත් බොහෝ හේතු නිසා මෙම තත්ත්වයන් නිරන්තරයෙන් වෙනස් වෙනවා. වර්ධනය වන මෙම තත්ත්වයන් G77 සාමාජික රටවල අවදානමට ලක්විය හැකි ආර්ථිකයන් කෙරෙහි අසමාන අන්දමින් මෙන්ම අහිතකර ලෙස ද බලපානු ලබනවා.

එසේම ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙනවා. නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු වන්නේ පැරිස් සමාජය සහ ලන්ඩන් සමාජය විසින් ගෝලීය ණය විසඳුම් ආධිපත්‍යය දැරූ ලෝකය සඳහායි. අද වන විට, ගෝලීය ණය මෙන්ම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය, පැරිස් සමාජයේ සාමාජිකයින් නොවන ණය හිමියන් සහ ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොලවල් විසින් පාලනය කරනු ලබනවා.

පවතින මූල්‍ය සම්පත් ණය සේවාවක් ලෙස ලබා ගන්නා විට, අත්‍යාවශ්‍ය පොදු සේවා සහ මානව සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය වියදම් වෙනුවෙන් මූල්‍ය පහසුකම් සපයා ගැනීමට අපට නොහැකි වන අතර, එය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ද බලපානු ලබනවා.

පවතින පොදු රාමුව ඉක්මන් ණය විසඳුමක් ලබා දීමට ප්‍රමාණවත් වන්නේ නැහැ.මෙම රාමුව සහ යථාර්ථය අතර පවතින නොගැළපීම නිසා මගේ රට ද ඇතුළුව අපගේ රටවල් විශාල සංඛ්‍යාවක මෑත කාලීන රාජ්‍ය ණය අර්බුද විසඳා ගැනීම ප්‍රමාද වීමට හේතු වී තිබෙනවා.

දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කර ගැනීමට සහ ඒවාට අනුවර්තනය වීම සඳහා ගෝලීය දකුණේ රටවල අවශ්‍යතා සපුරාලීමේදී ගෝලීය මූල්‍ය සැලැස්මේ ප්‍රබල අසාර්ථකත්වයක් දක්නට ලැබෙනවා.දේශගුණික මූල්‍ය දායකත්වය පිළිබඳව විවිධ ගෝලීය සංසදවලදී සඳහන් වී ඇති නමුත් මේවා ලබා ගත හැකි මූල්‍ය පහසුකම් බවට පරිවර්තනය වී නැහැ.ෙ

ඩුබායි හී පැවති COP28 සමුළුවේදී ශ්‍රී ලංකාව විසින් නිවර්තන කලාපිය මුලපිරීම ඉදිරිපත් කළා. රාජ්‍ය මූල්‍යකරණයේ ඌනතාවය සැලකිල්ලට ගනිමින්, ජෛව විවිධත්වය මෙන්ම අපගේ සාගර සහ වන සම්පත් ඇතුළු ගෝලීය වශයෙන් පොදු සම්පත් පෝෂණය කිරීම සඳහා පුද්ගලික ආයෝජන උත්ප්‍රේරණය කිරීම එම නිවර්තන කලාපීය මුලපිරීම මගින් අපේක්ෂා කෙරෙනවා.

අද වන විට, ගෝලීය වෙළඳ අනුපිළිවෙල තුළ, ආර්ථික වර්ධනය ඇතිකිරීම සඳහා යොදාගන්නා සම්පත් ප්‍රමාණය අවම කිරීමත් සමගම පාරිසරික හානිය අවම කිරීම මෙන්ම අවදානම ඉවත් කිරීම පිළිබඳ සංකල්ප සමඟින් ආරක්ෂණවාදී ප්‍රවණතාවයෙන්ගේ නැගීමක් අපට දක්නට ලැබෙනවා.

ගෝලීය වෙළෙඳ ව්‍යුහයන් තුළ ඒකපාර්ශ්වීය පදනමක් මත එවැනි වෙනස්වීම් සිදු විය නොහැකියි. එවැනි නීති පිළිබඳ තීරණ ගත යුත්තේ බහුපාර්ශ්වික සංසදවල මිස අගනගර එකක හෝ දෙකක දී නොවෙයි.

අප ගෝලීය වෙළඳාමේ සහ ආයෝජනයේ පහසු බව මෙන්ම උපරිම කාර්යක්ෂමතාව ද සහතික කළ යුතුයි. G77 සංවිධානය මේ ක්‍රියාවලිය බ්‍රික්ස් සංවිධානයේ රටවල් සමග සම්බන්ධීකරණය කළ යුතුයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් මුහුණ දෙන තවත් අවාසියක් වන්නේ රැකියා නිර්මාණය කිරීමයි. “තාක්ෂණික වෙනස්කම් මගින් නිෂ්පාදන කුසලතා සහ ප්‍රාග්ධනය තීව්‍ර කර ඇති අතර අඩු ශ්‍රමයක් අන්තර්ග්‍රහණය කර ඇත.” යන ජෝසප් ස්ටිග්ලිට්ස්ගේ වචන වලින් මෙය වඩාත් හොඳින් විස්තර කර තිබෙනවා.

එමනිසා, ගෝලීය මූල්‍ය ව්‍යුහයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින අතරම, G77 සහ චීනය කණ්ඩායම අපේ සාමාජික රටවලට, බලශක්ති පරිවර්තනය, ඩිජිටල් පරිවර්තනය, හරිත ආර්ථිකය සහ නව ගෝලීය ආර්ථිකයක් වෙනුවෙන් පුහුණු ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා සූදානම් වීමේ උපාය මාර්ග සකස් කළ යුතු වෙනවා.

ශ්‍රී ලංකාව, G77 සහ චීනය කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් සමඟ එක්වෙමින්, සාධාරණ, නීතිගරුක සහ සමානාත්මතාවයෙන් යුතු ලෝකයක් වෙනුවෙන් වන දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා බහුපාර්ශ්විකත්වය තුළින් සාමූහික අවශ්‍යතා ප්‍රවර්ධනය ඉදිරියට සිදුකරගෙන යාම වෙනුවෙන් නව සභාපතිත්වයට පත් යොවේරි මුසෙවේනි මහතාගේ දැක්ම සහ නායකත්වය පිළිබඳ අප විශ්වාසය තබා සිටිනවා.

උගන්ඩා නිල සංචාරය තුළදී උගන්ඩා ජනාධිපතිතුමා විසින් මම සහ මගේ දුත පිරිස වෙනුවෙන් දැක්වු මිත්‍රශීලි ආගන්තුක සත්කාර පිළිබඳ ස්තූතිය පිරිනමමින් මගේ කතාව අවසන් කරනවා.

 

  • පලස්තීන රාජ්‍යයක් පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ජනපති යළි අවධාරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පලස්තීනයේ විදේශ කටයුතු හා සංක්‍රමණිකයින් පිළිබඳ අමාත්‍ය ආචාර්ය රියාද් මල්කි (Dr. Riyad Malki) මහතා අතර හමුවක් “G77 සහ චීනය” 3 වැනි දකුණු සමුළුවට සමගාමීව අද (21) උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්විණි.

ගාසා තීරයේ අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ඊශ්‍රායල – හමාස් ගැටුමේදි පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

ගැටුම් නවත්වා සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබා දෙන බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වසර 05ක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ යෝජනාව බවද කියා සිටියේය.

එසේම පලස්තීනයේ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සහ ඔවුන්ට ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක් ස්ථාපිත කර ගැනීමට ඇති අහිමි කළ නොහැකි අයිතිවාසිකම සඳහා ඉහළම ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාවය ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයිනේ උප ජනාධිපති හුසෙයින් මොහොමඩ් ලතීෆ් (Hussain Mohamed Latheef) මහතා අතර හමුවක් ද “G77 සහ චීනය” 3 වැනි දකුණු සමුළුවට සමගාමීව අද (21) සිදු විය.

ශ්‍රී ලංකා සහ මාලදිවයින අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම විශේෂයෙන් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා දෙරටට එක්ව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළහ.

තවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් (António Guterres) මහතා අතර හමුවක් ද අද (21) කම්පාලා නුවරදී සිදු විය.

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ශ්‍රී වී. මුරලීධරන් (Shri V. Muraleedharan) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡාවක නිරත වූයේ ඉන් අනතුරුවයි.

එමෙන්ම ලාඕස් ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ෆොක්සේ ඛයිඛම්පිතෝන් (Phoxay Khaykhamphithoune) මහතා සහ පිලිපීනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේකම් ඉවන් ජෝන් උයි (Ivan John Uy) මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවක නිරත විය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter