ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා සිදු කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාට ජීවිත තර්ජනයක් එල්ලවී ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.

කවර දේශපාලන පක්ෂයකට අයිති වුවද මාධ්‍යවේදීන්ට සිදු කරන තර්ජන තරයේ හෙළාදකින බවත් මැතිවරණයක් පැවැත්වීමට නියමිත අවස්ථාවක සාමකාමී හා සහජීවනයක් තුළ මැතිවරණයක් පැවැත්වීම උදෙසා තර්ජන ගර්ජන සිදු නොකරන ලෙස අප ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තුවේදී ඊයේ (23) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඇමැතිවරයා අවධාරණය කළේය.

ඡන්දයෙන් ගනුදෙනුව බේරා ගන්නා බවත් රට පනින්න ඉඩ නොදෙන අතර සැඟවෙන්නට ඉඩක් නොලැබෙන බව ද සඳහන් කරමින් වසන්ත සමරසිංහ මහතා සිදුකර ඇති තර්ජනය සමාජ මාධ්‍යයෙහි සැරිසරන බව කී ගුණවර්ධන මහතා යම්කිසි මාධ්‍යවේදියකුට මෙලෙස තර්ජනයක් එල්ල වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසුව ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙරට ප්‍රවීණතම විදත් මාධ්‍ය සන්නිවේදකයකු වන හඩ්සන් සමරසිංහ මහතා ප්‍රවීණ මාධ්‍ය පරිපාලකයකු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන ඒ මහතා ගුවන් විදුලියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ හය වැනි වතාවට බව ද ඇමැතිවරයා සිහිපත් කළේය.

කවර දේශපාලන පක්ෂයකට අයත් වුවද කවර දේශපාලන මතවාදයක් දැරුව ද මාධ්‍යවේදීන්ට නියම් හෝ අනියම් ආකාරයෙන් සිදුවන තර්ජන තරයේ හෙළා දකින බව ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

යකඩ ගැටෙන අමිහිරි ශබ්දය, උණ්ඩවල අමිහිරි සුවඳ, දුක වේදනාව මරළතෝනිය පිළිබඳ අත්දැකීම් රාශියක් ලබා ඇති අතර මීට වසර දෙකකට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු පහරදී තිරස්චීන ලෙස ඝාතනය කළ බව ද ඇමැතිවරයා සිහිපත් කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (23) සිය අමාත්‍යාංශය යටතේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති, හඩ්සන් සමරසිංහ මහතාට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ එල්ල කරන ලද මරණ තර්ජනයක් හේතුවෙන් ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයාට ජීවිතාරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල වී තිබෙනවා.

වසන්ත සමරසිංහ එල්ල කළ මරණ තර්ජනය සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය වෙනවා. එහි අන්තර්ගතය අනුව හඩ්සන් සමරසිංහ මහතාගේ ජීවිතාරක්ෂාව පිළිබඳ ගැටලුවක් නිර්මාණය වී තිබෙනවා. ඡන්දයෙන් මෙම ගනුදෙනුව බේරාගන්නා බවත් සැඟවෙන්නට හෝ රට පනින්නට ඉඩ නොදෙන බව මෙන්ම රට පැන්නොත් එම රටවල වැඩිපුර සිටින්නේ මාලිමාවේ මිනිසුන් බවත් වසන්ත සමරසිංහ විසින් සිය ප්‍රකාශය මඟින් සඳහන් කරනවා. නීතිය ඉදිරියේදී ගැලවීමක් නැති බව සඳහන් කරන වසන්ත සමරසිංහ ලෝකය තුළ සිටින ශ්‍රී ලාංකිකයන් මාලිමාව සමඟ සිටින බැවින් හඩ්ඩලාට නවතින්න වෙන්නෙ හඳේ තමයි යනුවෙන් එහිදී තර්ජනාත්මකව සඳහන් කරනවා.

මෙරට ප්‍රවීණතම විද්‍යුත් මාධ්‍ය සන්නිවේදකයකු වන හඩ්සන් සමරසිංහ මහතා ප්‍රවීණ මාධ්‍ය පරිපාලකයකු ද වෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන ඒ මහතා ගුවන් විදුලියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ හයවන වතාවටයි.

ඒ නිසා අපේ රටේ අපි කුමන දේශපාලන පක්ෂයකට අයිති වුණත් කුමන දේශපාලන මතය දැරුවත් වාද විවාද කරගත්තත් මාධ්‍ය විෂය භාර ඇමැතිවරයා ලෙස මාධ්‍යවේදීන්ට නියම් ආකාරයෙන් හෝ අනියම් ආකාරයෙන් තර්ජනය කිරීම අප හෙළා දකිනවා. මොකද අප කවුරුත් දන්නවා, මාධ්‍යවේදීන් විවිධ තර්ජන ගර්ජනවලට ලක් වෙනවා. ජනාධිපතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක පක්ෂ විපක්ෂ කවර මතවාද දැරුවත් කවර ආකාරයට විවේචනය කළත් ඒ පිළිබඳ දරා ගැනීමේ ශක්තිය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ සිටින දේශපාලකයන්ට තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය එසේ නෙවෙයි.

යකඩ ගැටෙන අමිහිරි ශබ්දය, උණ්ඩවල අමිහිරි සුවඳ, දුක වේදනාව මරළතෝනිය පිළිබඳ අත්දැකීම් රාශියක් ලබා ඇති රටක්. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තුළම මීට වසර දෙකකට පෙර මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු මන්ත්‍රීවරයකු පාරේ තළලා, ඉතාම තිරස්චීන ලෙස මරලා පැය 12ක් ඇතුළත මේ ගරු සභාව නියෝජනය කරන මැති ඇමැතිවරු 72කගේ ගෙවල් ගිනිබත් කරලා උන්හිටි තැන් අහිමි කරලා මහජන නියෝජිතයන් 800කට පමණ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. ලෝක ඉතිහාසයේ කිසිම අවස්ථාවක පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් 72කට හානි කළ අවස්ථාවක් ලෝක ඉතිහාසයෙත් නැහැ. ඒක නිසා ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 17 වැනිදාට පෙර පවත්වන ජනාධිපතිවරණය, ජනාධිපතිවරයකු පත්කර ගැනීම වෙනුවෙන් පවත්වන ජනාධිපතිවරණය වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය සම්පත් වෙන් කිරීම් කටයුතු අවසන් කර ඇති තත්ත්වයක් තුළ සාමකාමී සහජීවනයක් තුළ මැතිවරණයක් පැවැත්වීම උදෙසා තර්ජන ගර්ජන සිදු නොකරන ලෙස අප ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා. ඒ වගේම යම්කිසි මාධ්‍යවේදියකුට තර්ජනයක් තිබෙනවා නම් අප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් පැමිණිල්ලක් සිදු කළ විට ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සඳහා කටයුතු කරනවා. අප සියලු දෙනා එකතු වී ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් එකතු වෙමු කියන යෝජනාවත් මම සිදු කරනවා.