නවතම පුවත්

ඩෙංගු පාලනය සඳහා බස්නාහිර පළාත තුළ ආයතන හා පරිශ්‍ර පරීක්ෂා කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

ඒ අනුව සතියේ සෑම සඳුදා දිනකම පෞද්ගලික පාසල්, රජයේ පාසල්, පෙර පාසල්, පෞද්ගලික අධ්‍යාපන ආයතන, උසස් අධ්‍යාපන ආයතන (විශ්ව විද්‍යාල,පිරිවෙන්) පරීක්ෂාවට ලක් කෙරේ.

අඟහරුවාදා දින කර්මාන්ත ශාලාත්, බදාදා දින ඉදිකිරීම් සිදුවන වැඩ බිම්වලත්, බ්‍රහස්පතින්දා දින අනෙකුත් පෞද්ගලික ආයතනවලත්, සිකුරාදා අනෙකුත් රාජ්‍ය ආයතනවලත්, සෙනසුරාදා සහ ඉරිදා නිවාස හා ගෙවතු ආශ්‍රිතවත්, ඉරිදා ආගමික සිද්ධස්ථානත් පරික්ෂාවට ලක් කෙරෙනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ බස්නාහිර පළාත් අනු කමිටුව පසුගියදා රැස් වූ අවස්ථාවේ දී යෝජනා කෙරුණු පරිදි මෙම තීරණයන්ට එළැඹ තිබේ. එසේම, කිසියම් ආයතනයකට නියමිත දිනට පරිබාහිර දිනයක් යොදා ගැනීමට සිදුවන අවස්ථාවකදී ඒ පිළිබඳව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමට උපදෙස් දී ඇත.

මෙම පරීක්ෂාවන් අදාළ ආයතන විසින් පත් කර ගන්නා ස්වේච්ඡා කණ්ඩායමක් විසින් සතිපතා නියමිත දිනවලදී සිදු කර එම වාර්තා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත මාසිකව ලබා දිය යුතුය. දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පාලනය වනතෙක්, ඩෙංගු මදුරු දෂ්ටනය අවම කිරීම සඳහා පෙර පාසල් සහ පාසල් සිසුන් සඳහා දෙමව්පියන්ට අමතර පිරිවැයක් නොයෙදවන පරිදි හැකිතාත් ශරීර ආවරණය වන ඇඳුමක් ඇඳීම සුදුසු බව ද යෝජනා කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය

 
 

ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඊයේ (18) සහ පෙරේදා (17) ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙහි සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්වරුන් සහභාගි වූ අතර, ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවෝ 131 දෙනෙක් එක්ව සිටියහ. තරුණ පාර්ලිමේන්තුවේ කථානායකතුමිය කැටුව වේත්‍රධාරි සෙංකෝලය රැගෙන සභා ගර්භයට පිවිසීමෙන් අනතුරුව පස්වැනි ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ කෙරිණි. එහිදී යෝජිත තරුණ පාර්ලිමේන්තු පනත විවාදයට ගැනිණි. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා සැසිවාරය අමතමින් මෙසේ කීය:

“1967දී එවකට කැබිනට් අමාත්‍යවරයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා තරුණ අසහනය සම්බන්ධයෙන් යම් යෝජනාවලියක් සම්පාදනය කළ යුතු බවට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් 1967දී ඊශ්‍රාලයේ විශේෂඥයකු වූ බ්‍රිගේඩියර් ආර්ය ලෙවි මහතා ලංකාවේ පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කළා. මේ වාර්තාවේ ප්‍රධාන අරමුණ වූයේ ලංකාවේ තරුණයන්ගේ දැනුම මෙන්ම තරුණ ශ්‍රමය ජාතික සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නේ කෙසේද යන්නයි. ඒ සම්බන්ධයෙන් 1967 අංක 11 දරන පාර්ලිමේන්තු පනත එවකට කැබිනට් ඇමැතිවරයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සභාගත කළා. ඒ පනත තරුණ ශක්තිය ජාතික සංවර්ධනයට යොමු කිරීමට ඉදිරිපත් කළ යෝජනා සහිත ස්වෙච්ඡා තරුණ සේවා පනතයි. මේ පනත ක්‍රියාත්මක කිරීම සදහා 1977දී බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් තෝරාගනු ලැබුවේ එවකට ළාබාලම කැබිනට් ඇමැතිවරයා වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එතුමා 1979දී ජාතික තරුණ සේවා පනත බලගැන්වීමට පියවර ගත්තා. එතුමා මේ පනත සක්‍රීය කර, ජපන් මහජන ආධාර මත මහරගම ජාතික තරුණ සේවා සභාව නිර්මාණය කළා. එදා සිට මේ දක්වා 1985 යොවුන් පුරයෙන් පටන් ගත් සංකල්පය ක්‍රමිකව වෙනස් වෙමින් ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන ශාලාවේ කථානායකවරයකු මූලිකව, අග්‍රාමාත්‍යවරයකුගෙන් සැදුම්ලත් ආණ්ඩුවක්, ඒ වගේම පක්ෂ, ප්‍රතිපක්ෂ අදහස් යෝජනා සාකච්ඡා කරන ව්‍යූහයකට ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා විසින් එය ගොනු කරනු ලැබුවා. වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තරුණ මානව සම්පත වැඩිදියුණු කිරීම වෙනුවෙන් රටේ අධ්‍යාපනය අනාගතයට උචිත වන ආකාරයට ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය වන වැපිළිවෙළ සම්පාදනය කිරීමට වැඩි නැඹුරුවක් දක්වමින් 2048දී ශ්‍රී ලංකාව වත්මන් තරුණයන්ට වගේම අනාගත තරුණයන්ටත් අංගසම්පූර්ණ රාජ්‍යයක් බවට පත් කිරීමේ විශාල කාර්යභාරයක නිරත වෙමින් සිටිනවා. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමේදී පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තරුණ නියෝජනයක් අත්‍යවශ්‍යයි. මේ රටට වෘත්තීය දේශපාලනඥයකු තරුණ පාර්ලිමේන්තුවෙන් බිහි කරගැනීමේ අවශ්‍යතාව තිබෙනවා. ඒ සඳහා දැන් සිටම සූදානම් විය යුතුයි. ඒ වෙනුවෙන් දායකත්වය දීමටත් සහ අද සාකච්ඡාවට ගැනෙන තරුණ පාර්ලිමේන්තු පනත විධිමත්ව සම්පාදනය කරගැනීමටත් ඔබ සියලු දෙනාගේ සහාය අත්‍යවශ්‍ය වෙනවා.”

ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා: “රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති සම්පාදනය කිරීමේදී තරුණයන්ගේ දායකත්වය පිළිබඳ කතා කරනවා. එහිදී අප අතින් සිදු වන ලොකුම අතපසුවීම තමන්ගේ පනත වත් තමන්ට සකස් කරගැනීමට අවස්ථාවක් නොදීම. ඒ නිසා මා තීරණය කළා මේ යෝජිත තරුණ පාර්ලිමේන්තු පනතට අනිවාර්යයෙන්ම අපේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ඇතුළත් විය යුතුයි කියලා. ඉතිහාසයේ අප කළ වැරැද්ද තමයි තරුණයන් කැමති, ඔවුන්ට අවශ්‍යයි කියා සිතන දේ තරුණයන් නොවන පිරිසක් තීරණය කර ක්‍රියාත්මක කිරීම. ඒ නිසා තරුණයන්ගේ අවශ්‍යතා ඉටු වුණේ නැහැ. නැවත වතාවක් වරදින්න අප ඉඩ තබන්නේ නැහැ. මීළඟ පාර්ලිමේන්තුවේ සිට නියමිත නීති රාමුවක් යටතේ ස්වාධීනව කටයුතු කිරීමට හැකි බලවත් ආයතනයක් බවට පත් කිරීමේ ‍‍ඓතිහාසික ක්‍රියාන්විතයට දායක වන පිරිස බවට ඔබ අද පත් වෙනවා.”

 

පස්වැනි ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය පැතුම් රණසිංහ මහතා: ශ්‍රී ලංකාවේ උන්නතියට පසුගිය වසර 113 පුරා අප ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මඟින් අපේ උන්නතියට, ප්‍රගතියට අවශ්‍ය මඟපෙන්වීම සහ ඒ ශක්තිය අපට ලැබී නැහැ. එසේ නම් අපේ වත්මන් වගකීම බවට පත් වන්නේ අපට වඩාත් ගැළපෙන ක්‍රමවේදයක් මේ.

ඇසුරෙන් සකස් කරගැනීමයි. ඒ කාර්යභාරය ඉටු කිරීමේදී වඩා පුළුල් වැඩකොටසක් කිරීමේ හැකියාව සහ ශක්‍යතාව ජාතික තරුණ පාර්ලිමේන්තුවට තිබෙන බවට සැකයක් නැහැ.”

පස්වැනි ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ කථානායක නිපුනි ෂෙහෙනි අබේධීර, විපක්ෂ නායක සිතිජ මිහිරංග ඇතුළු මන්ත්‍රීවරු මීට එක්ව සිටියහ.

 

ජූනි 21 වැනිදාට යෙදී ඇති 9 වැනි ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව සංවිධාන කළ යෝගා වැඩසටහනක් පසුගියදා නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි. අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන, විදේශ කටයුතු ඇමැති, නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි, දේශීය ආයුර්වේද රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි, අධ්‍යාපන රාජ්‍ය ඇමැති අරවින්ද් කුමාර්, උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන් සහ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහත්වරු ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් ඇතුළුව පාසල් සිසු සිසුවියන්, පොලිස් නිලධාරීන්, මෙරට සිටින ඉන්දීය ප්‍රජාව, දේශීය ආයුර්වේද වෛද්‍යවරු සහ යෝගා සම්බන්ධව උනන්දුවක් දක්වන දහසකට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති එම වැඩසටහන සංවිධාන කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දායකත්වය ද ලැබී තිබිණි.

රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනේ විහාරාධිපති ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ආගමික වතාවත්වලින් ආරම්භ වූ මිනිත්තු 20ක යෝගා සහ භාවනා වැඩසටහනට මෙරට යෝගා මධ්‍යස්ථාන 25ක නියෝජිත පිරිසක් ද එක් වී සිටියහ. මෙවර ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව ශ්‍රී ලංකාව පුරා පළාත් රැසක විවිධ වයස් කාණ්ඩයේ අය සහ වෘත්තිකයන් සහභාගි වන මෙවැනි වැඩසටහන්, දේශනා සහ වැඩමුළු 90කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

නිදහස් චතුරස්‍රයේ පැවැති යෝගා වැඩසටහනට අමතරව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ මස 21 වැනිදා කොළඹ වරාය කේන්ද්‍ර කරමින් ද තවත් එවැනි වැඩසටහනක් සංවිධාන කර ඇති අතර, මේ වසරේ ජාත්‍යන්තර යෝගා දිනය සමරනු ලබන්නේ මේ වන විට ඉන්දියාවේ සභාපතිත්වයෙන් යුතුව එරට පැවැත්වෙන ජී20 සමුළුවේ එක් පෘථිවියක්, එක් පවුලක් සහ එක් අනාගතයක් යන තේමාව යටතේය. වසර 2014දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල රැස්වීමේදී ඉන්දියාව විසින් කරනු ලැබූ යෝජනාවක් අනුව සෑම වසරකදීම ජූනි මස 21 වැනිදා ජාත්‍යන්තර යෝගා දිනය ලෙස නම් කර තිබේ. මේ යෝජනාවට ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 170කට වැඩි සංඛ්‍යාවක සහයෝගය ලැබී තිබිණි.

මාර්ගගත ක්‍රමවේදය ඕස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේවැඩපිළිවෙළ ඇරඹේ.

  • ඩිජිටල්කරණය සෑම රාජ්‍ය අංශයකටම හඳුන්වා දෙනවා – ජනපති

කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත මගින් සිදු වන්නේ විද්‍යුත් මාධ්‍යයක් මගින් කිසියම් පාර්ශ්වයකට අගතියක් සිදු වහොත්, එම අගතියට පත් පාර්ශ්වයට සහනයක් ලබාගැනීම සඳහා අවස්ථාව සැලසීම පමණක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ලෝකයේ සෑම රටකම විද්‍යුත් මාධ්‍ය පිළිබඳ කටයුතු කිරීමට එවැනි ක්‍රමවේදයක් භාවිත වන අතර ශ්‍රී ලංකාව තුළ එය ක්‍රියාත්මක කිරීමේ දී එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය සඳහා තිබෙන මාර්ගෝපදේශන එලෙසින්ම ඇතුළත් කිරීමට තමා උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ඊයේ (15) පස්වරුවේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ආරම්භ කරමිනි.

විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩාත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් හරහා අයදුම් කිරීමට මේ සමඟ අවස්ථාව සැලසේ.

ඩිජිටල්කරණය සෑම රාජ්‍ය අංශයකටම හඳුන්වාදී උපතේ සිට මරණය දක්වා මහජනතාවට අවශ්‍ය සියලුම ලිපි ලේඛන එක් වහලක් යටදී ලබාගැනීමට අවශ්‍ය පහසුකම් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

විදේශ ගමන් බලපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ නිකුත් කිරීමේ වැඩසටහන අද අපි ආරම්භ කරනවා. මේ සමග රටේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යමින්. ඊළග වසර කිහිපය තුළ රටේ සෑම ක්ෂේත්‍රයකම ඩිජිටල්කරණය ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි.

අපි දියුණු රටක් ලෙස ඉදිරියට ගමන් කරනවා නම් ඩිජිටල්කරණය අත්‍යාවශ්‍යයි. එහි ආරම්භය අද මෙම ස්ථානයේ දී සිදුවනවා. ඇතැම් දෙපාර්තමේන්තු තුළ මෙය ක්‍රියාත්මක වෙනවා. ඇතැම් ඒවායෙහි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඇතැම් දෙපාර්තමේන්තු මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යාමට කැමතියි, කුමන හෝ හේතුවක් නිසා ඇතැම් දෙපාර්තමේන්තු සහ ආයතන මේ කටයුත්තට අකමැතියි. නමුත් මේ සියලුදෙනා එක මට්ටමකට ගෙන ඒමයි අපේ අපේක්ෂාව වන්නේ. මේ වගකීම මුලින්ම ආරම්භ කළ ටිරාන් අලස් මැතිතුමාට සහ එම අමාත්‍යාංශයට මම ස්තූතිවන්ත වෙනවා.

මාතෘ නිවාසයේ සිට සුසාන භූමිය දක්වා තිබෙන ලියකියවිලි කටයුතු එක අමාත්‍යාංශයකට මම භාරදී තිබෙනවා. ආගමන, විගමන බලපත්‍ර, ජාතික හැදුනුම්පත් ලබාදීම මේ සියල්ල අපේ ජීවිතයට අදාළ කරුණු. ඒ නිසා ටිරාන් අලස් අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යාංශය ඒ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

මෙම කටයුත්ත පැවැත්වෙන්නේ හෝමාගම ප්‍රදේශයේ නිසා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සහභාගිවෙලා සිටිනවා. මම හිතුවා මාධ්‍යවේදීන් මෙතනට ඇවිත් “අපේ මාධ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය නැති කරන්න යනවා, උතුරු කොරියාව වගේ තත්ත්වයක් ඇති කරන්න යනවා” කියලා විරෝධය දක්වයි කියලා.

මම දන්නේ නැහැ ඇයි මාධ්‍ය මෙවැනි වැඩපිළිවෙළක් ගෙනියන්නේ කියලා. අපේ දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී අපහාස නීතිය තිබුණා. මම එය ඉවත් කළා. මම හිතන්නේ නැහැ ආසියානු කලාපයේ කිසිදු රටක එය ඉවත් කර තිබෙනවා කියලා.

අපි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කළා නම් ඇයි දැන් ඒක නැති කරන්න හදන්නේ. කිසිවෙකුට එය ඉවත් කිරීමට අවශ්‍ය නැහැ. මේ සියලුදෙනාට වඩා මට තිබෙනවා මාධ්‍ය සමග සම්බන්ධතාවක්. ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය නැති කරන්න අපි කාටවත් අවශ්‍ය නැහැ.

නමුත් මෙතැන තිබෙන්නේ වෙනත් ගැටලුවක්. ලෝකයේ සෑම රටකම මාධ්‍ය මගින් යම් අගතියක් සිදු වූ විට ඒ අයට සහනයක් ලබා ගැනීමට වැඩපිළිවෙළක් තිබෙනවා.
මෙතන රාජ්‍ය සේවකයෝ සිටිනවා. කී දෙනෙකුට විද්‍යුත් මාධ්‍ය මගින් දොස් නගා තිබෙනවද, ඇතැම්විට කරුණු රහිතව කී දෙනෙක් ගැන විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රකාශ සිදු කරනවද. දැන් ඒ අයට තිබෙන සහනය මොකක්ද, සාමාන්‍ය අයට පමණක් නෙවෙයි මටත් එම ගැටලුව තිබෙනවා.

දැන් කුරුන්දි විහාරය ගැන එක එක ප්‍රකාශ සිදු කරනවා. මම එහි දෙමළ ජනතාව පදිංචි කරන්න යනවා කියලත් කියනවා. මම එල්ලාවල මේධානන්ද ස්වාමින් වහන්සේට දැනුම් දුන්නා මේ රජයේ ඉඩම්. ඒවායේ අපි දෙමළ, සිංහල හෝ මුස්ලිම් ජනතාව පදිංචි කරවන්නේ නැහැ කියලා ඔවුන්ට දැනුම් දෙන්න කියලා.

අනිත් පැත්තෙන් කෑ ගහනවා තිරියාය කඩලා එතන ගොඩනැගිල්ලක් හදන්න යනවා කියලා. එලෙස කිසිවක් නැහැ. ඒ ගැන ටිකක් හොයලා බැලුවොත් 2018 පාර්ලිමේන්තු කමිටුවකින් මේ පිළිබඳ තීන්දුවක් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මේ ඉඩම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට කමිටුවක් පත් කරන ලෙස මම උපදෙස් දුන්නා.

විශේෂයෙන් මට මේ ගැන සොයා බලන්න බැරි නම් කොහොමද සාමාන්‍ය පුද්ගලයෙක් එම සහනය ලබා ගන්නේ. එම සහනය ලබාදීමට පමණයි අපි කටයුතු කරන්නේ. තවම මෙම කෙටුම්පත් එකක්වත් අවසන් කර නැහැ. මම උපදෙස් දී තිබෙන්නේ එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය සඳහා තිබෙන මාර්ගෝපදේශන මේ සදහා ඇතුළත් කිරීමට.

තමන් ගැන අසත්‍යයක් ප්‍රකාශ කළොත්, එයින් තමන්ගේ චරිතයට හානියක් සිදු වුණොත් කී දෙනෙක්ට නඩු කියන්න පුළුවන්ද, ඉතින් මේ ආයතනය පිහිටුවීමෙන් එම ආයතනයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහිදී මාධ්‍යයට අවාසියක් සිදු නොවීමට අවශ්‍ය මාර්ගෝපදේශන තිබෙනවා. එම මාර්ගෝපදේශන අනුව කටයුතු කළ යුතුයි.

මම නීතිපතිතුමාට දැනුම් දී තිබෙන්නේ මේක එක්සත් රාජධානියේ වචනවලින්ම සඳහන් කරන්න කියලා. මොකද තීරණ ලබාදීමේදී පූර්වාදර්ශයන් එහිදී අපට ලබාගත හැකියි.

ඒ වගේම ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඇතැම් මාධ්‍යවලට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමටවත් බලපත්‍ර ලබාදී නැහැ. ඇතැම් අයට තිබෙන්නේ අධ්‍යාපන බලපත්‍ර. මේ සියල්ල නිවැරදි කිරීම තමයි අපේ අරමුණ. එසේ නැතිව වෙන කිසිවක් නැහැ.

දැනටමත් විකාශන බලපත්‍ර අහෝසි කිරීමට අමාත්‍යවරයාට බලයක් තිබෙනවා. මේ පනතින් යෝජනා කරන්නේ ඕනෑම කෙනෙකුට අධිකරණය වෙත ගොස් සහනයක් ලබා ගන්න අවස්ථාව සැලසීමයි. අධිකරණයට යන යෝජනාව විරුද්ධ නම් ඇමතිතුමාට ඒ බලය තියා ගන්න කියන්න. අපි උත්සාහ කරන්නේ යම් කිසි ක්‍රමවේදයක් අනුව මෙය ඉදිරියට ගෙන යාමටයි.

ඇතැම් රටවල වසර දහයෙන් දහය බලපත්‍රය අලුත් කරනවා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි අදායමක් ලබා ගැනීම සඳහායි. අපි මේ හැම බලපත්‍රයක්ම නොමිලේ ලබාදුන්නා. එය ලබාගත් ඇතැම් අය එය විකිණුවා. ලාභය ලැබුණේ රටට නෙවෙයි ඔවුන්ගේ සාක්කුවටයි.

මෙම ක්‍රමවේදය ගැන කිසිවෙකු බිය විය යුතු නැහැ. විද්‍යුත් මාධ්‍ය මගේ ගෙදර ගිනි තැබුවා පමණක් නෙවෙයි වටිනා පොත් 3000ක් විතර නැති කළා. ඒක මට වුණු පාඩුවක්. දැන් මේ ඉල්ලා සිටින්නේ ගෙවල් ගිනි තියන බලපත්‍රය ඕන කියලද ?

අද මෙම ස්ථානයට අපේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා සහභාගී වී සිටිනවා. මම විශේෂයෙන් එතුමාට ස්තූති කළ යුතුයි මේ හෝමාගම දියුණු කිරීමට එතුමා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව. මාධ්‍යයට මම කියනවා කිසිදු බියක් තබා ගන්න එපා. ඕනෑම ගැටලුවක් ජනමාධ්‍ය අමාත්‍යවරයා සමඟ කතා කරන්න කියලා.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ,

ජනාධිපතිතුමා මට මේ අමාත්‍යංශය භාර දෙනවිට ආයතන හතරක් භාර දුන්නා. ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පිළිබඳ අධිකාරිය, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ අධිකාරිය එම ආයතන හතර වෙනවා.

එම ආයතන ලබා දීමේදී ජනාධිපතිවරයා මට උපදෙස් ලබා දුන්නේ මහජනතාවට හරිහමන් සේවාවක් සැපයීම විධිමත් කරන්න කියලයි. මීට මාස ගණනකට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුව ගාව විශාල පෝලිම් තිබුණා. ඩිජිටල්කරණය හඳුන්වාදීම මඟින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මීට මාසෙකට පෙර සිට පෝලිං නැති කිරීමට අපට හැකි වුණා.අද අප මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම ආරම්භ කර තිබෙනවා. මෙම මාර්ගත ක්‍රමය ඔස්සේ දවස් තුනෙන් බලපත්‍ර ලබාගන්නා අය සඳහා රුපියල් 15,000කටත්, දින 14න් ගමන් බලපත්‍ර ලබාගන්නා අයට රුපියල් පන් දාහකටත් බලපත්‍ර නිකුත් කිරීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඉදිරියේ දී සුහුරුපාය ගොඩනැගිල්ල තුළ ජනතාවට උපතේ සිට මරණය දක්වා අවශ්‍ය ලිපි ලේඛන එක වහලක් යටින් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.

ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක, ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් ඩී.ඒ.ඩී. චින්තක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රාජ්‍ය, පෞද්ගලික පාසල් පද්ධතියේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමට යාන්ත්‍රණයක් අවශ්‍යයි- ජනපති අවධාරණය කරයි 

ලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
එබැවින් 2048 දියුණු රටක් පිළිබඳ අරමුණු සාක්ෂාත්  කර ගැනීමේ දී නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් මෙන්ම පුහුණු ශ්‍රම බලකායක් රටට අවශ්‍ය බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ  ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහාය වීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.
මෙරට මානව සම්පත පෙළගැස්වීමත්, අධ්‍යාපන ක්‍රමයෙන් දැනුම කුසලතා හා හැකියාවන්ගෙන් සමන්විත ශ්‍රම බලකායක් ගොඩනැගීම සහ ශ්‍රී ලංකාව කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමත් අරමුණු කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව දස දෙනෙකුගෙන් සමන්විත ‘අධ්‍යාපන අමාත්‍ය කමිටුව’ පත් කර තිබේ.
ඊට සහාය වීම සඳහා පත් කර ඇති මෙම විශේෂඥ කමිටුව මගින් පූර්ව ළමාවිය සහ පෙරපාසල් අධ්‍යාපනය, ප්‍රථමික හා ද්විතියීක අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර 05 ඔස්සේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ සොයා බලා සකස් කරන ලද වාර්තාව නියමිත කාල සීමාව තුළ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය. 
ඉදිරි අභියෝග ජය ගත හැකි අනාගත පරපුරක් ගොඩනැඟිම සහ පුහුණු ශ්‍රම බලකායක් රට තුළ ගොඩනැඟීමට අධ්‍යාපන ක්‍රමයේ සිදු කළ යුතු කඩිනම් සංශෝධන පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි. 
විභාග නියමිත කාලසීමාවන් තුළදී පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අ.පො.ස (උසස් පෙළ) විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බවත්, එය වෙනස්කරනවා නම් ඒ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු අතර  අතිශය බරපතළ තත්ත්වයක හැර එය වෙනස් කිරීමට නොහැකි වන අන්දමින් නීති සකස් කරන බවත් අවධාරණය කළේය.
වසර 13ක කාලයක් ළමුන් පාසැල් අධ්‍යාපනයයේ රඳවා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදි ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළ අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ අවශ්‍යතාව පිළිබඳ කඩිනමින් සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බව ද සඳහන් කළේය.
එසේම අධ්‍යාපනය තාක්ෂණය සමඟ බද්ධව ඉදිරියට යාමේ අවශ්‍යතාවත්, පාසල් පද්ධතියේ ප්‍රමිතිය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා අවධාරණය කළ අතර පාසල් ළමුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි ද අවධානය යොමු කළේය. 
 
රජයේ සහ පෞද්ගලික පාසල්වලද ගුණාත්මක අධ්‍යාපන තත්ත්වයක් තහවුරු විය යුතු බවත් ඒ සඳහා පරීක්ෂක කාර්යාල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා පැහැදිළි කළේය. 
වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය ද කඩිනම් වෙනස්කම්වලට ලක් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුහුණු ශ්‍රම බලකායක් සිටින රටක් නියත වශයෙන් සංවර්ධනය කරා ගමන් කරන බැවින් ඉදිරි ශ්‍රම වෙළෙඳපොළට අවශ්‍ය පුහුණ ශ්‍රමිකයින් බිහි කිරීම සඳහා මෙරට වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය ද කඩිනම් වෙනස්කම්වලට ලක් කළ යුතු බව පැවසීය. 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය
 
අධ්‍යාපනය ගැන කතා කිරීමට පෙර අපේ දීර්ඝ කාලීන ආර්ථික දර්ශනය පිළිබඳ කථා කළයුතුයි.  අධ්‍යාපනය ඊට සමගාමීව ගමන් කරනවා  මිස පාරවල් දෙකක යා නොහැකියි. අපි කෙටිකාලීනව උත්සහා කරන්නේ ණය ප්‍රශ්නයෙන් නිදහස් වීමට. ඉන් පසුව රට ඉදිරියට ගෙන යාමට නම් සමස්තයක් ලෙස අවුරුදු තුනකින් පමණ 8% ක 9% ක ආර්ථික වර්ධන වේගයක් ළගා කරගෙන එය අවුරුදු දහයක් වත් පවත්වාගෙන යා යුතුයි.  එලෙස කිරීමෙන් පමණයි අපට දියුණුවීමට හැකියාව ලැබෙන්නේ.
 
ආර්ථික වර්ධන වේගයට බලපාන කරුණු කිහිපයක් තිබෙනවා. නිෂ්පාදන ඉහළ නංවා ගත හැකි නම් එය විශාල දියුණුවක්. එහිදී අපි අවම වශයෙන් මැලේසියාව, චීනය දෙස අවධානය යොමු කළ යුතුයි.  ඉන් අනතුරුව  සිංගප්පූරුව වැනි විශාල දියුණු තත්ත්වයකට අපට යා හැකියි . එය එක්වර සිදු කළ නොහැකියි.  
 
මේ සඳහා අපට තිබෙන ප්‍රධාන සම්පත මානව සම්පතයි. අද දකුණු කොරියාව, සිංගප්පූරුව, ජපානය දියුණු වෙලා තිබෙන්නේ මිනිස් බලය යෙදවීමෙනුයි. ඉන්දියාවත් බලාපොරොත්තු වෙනවා එම ඉලක්ක කරා ළගා වීමට. අපිත් එතැනට ගමන් කරනේ කොහොමද කියා තීරණය කළ යුතුයි. 
 
ඒ වගේම ඉදිරි වසර 10 තුළ ආසියානු කලාපයේ රටවල අවශ්‍යතා අනුව පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයක් ඇති වෙනවා. ඊට මුහුණදීම සඳහා ස්වයංක්‍රීයකරණයට  අප යොමුවිය යුතුව තිබෙන අතර ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යන ගමනේදී දියුණු ස්වයංක්‍රීය නිෂ්පාදන ක්‍රියාවලියක් පිළිබඳව ද අපගේ කඩිනම් අවධානය යොමු විය යුතුයි.
 
ඒ නිසා පළමුව ම අධ්‍යාපනය, ආර්ථික රාමුව, දේශගුණ විපර්යාස, යන ක්ෂේත්‍ර තුන එකට එක් විය යුතුයි.  අප තරගකාරී වුවහොත් පමණයි ඉදිරියට යා හැකි වන්නේ. අපේ අරමුණ වන්නේ ඉතාම තරගකාරී ආර්ථිකයක් ගොඩනැගීමයි.
 
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු සහ අධ්‍යාපන විශේෂඥ කමිටුවේ සාමාජිකයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
 
 
 

ඇඟිලි සලකුණු ගන්නප්‍රා/ලේකම් කාර්යාල 51ක්

ජනපති ප්‍රධානත්වයෙන් අන්තර්ජාලයෙන් පාස්පෝට් නිකුත් කිරීම අද

විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ නිකුත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද (15) සිට ආරම්භ කිරීමට නියමිත බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය. විධිමත් හා කාර්යක්ෂම ආකාරයෙන් මහජනතාවට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි වන ලෙස මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් භාර ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ සඳහා සියලු කටයුතු සැලසුම් කර තිබෙන අතර, එසේ මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ට ඔවුන්ගේ ඇඟිලි සලකුණු, දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවලට ලබාදීම සිදු කළ හැකි බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසයි.

නව වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් පසුව කිසිවකුට හෝ අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙතත් පැමිණ අයදුම්පත් භාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ඇති අතර, විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි සිදු කරන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

මෙම නව වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කළ පසු අයදුම්කරුවන්ට දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවකට ලබාදෙන බවත් ඉන් අනතුරුව විදේශ ගමන් බලපත්‍රය නිවෙසටම ගෙන්වාගත හැකි බවත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා කියයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කදී ඇඟිලි සලකුණු ලබාදිය හැකි අතර සමන්තුරේ, පොතුවිල්, නුවරගම් පළාත මධ්‍යම, කැකිරාව, හොරොව්පොතාන, මහියංගණය, හපුතලේ, කෝරළෙයිපත්තු (වාලච්චේනයි), කාත්තන්කුඩි, සීතාවක, හෝමාගම, කරන්දෙණිය, අක්මීමන, නෙළුව, මීගමුව, මීරිගම, ගම්පහ, තංගල්ල, තිස්සමහාරාමය, චාවකච්චේරි, පේදුරුතුඩුව, ඉංගිරිය, මතුගම, පාණදුර, ගම්පොළ, කුණ්ඩසාලේ, පූජාපිටිය, ගලිගමුව, රුවන්වැල්ල, කරච්චි, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් ප්‍රාදේශීය කාර්යාලය, කුලියාපිටිය, නිකවැරටිය, මන්තායි බටහිර, නාවුල, අතුරලිය, දෙවිනුවර, බුත්තල, මුලතිව්, අඹගමුව, වලපනේ, ඇළහැර, දිඹුලාගල, හිඟුරක්ගොඩ, පුත්තලම, හලාවත, බළන්ගොඩ, කුරුවිට, ඇඹිලිපිටිය, කින්නියා සහ වෙංගලසෙට්ටිකුලම ඒ අතර වෙයි.

මාධ්‍ය ආයතනවලට නිකුත් කරන බලපත්‍ර විකාශන අධිකාරී පනත යටතේ අහෝසි වීමක් සිදු නොවන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එවැනි කිසිදු වගන්තියක් පනතේ සඳහන් නොවන බව ද ඇමැතිවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ (13) ප්‍රකාශ කළේය.

විකාශන අධිකාරි පනත ඉදිරිපත් කළ පසුත් මාධ්‍ය ආයතනයන්ගේ බලපත්‍රය ආපසු ලබා දීමේ ප්‍රතිඥාව ලබා දෙන බව ද හෙතෙම කීවේය.

මාධ්‍ය මර්දනය කිරීමේ කිසිම අවශ්‍යතාවක් විෂය භාර ඇමැතිවරයා ලෙස තමාට හෝ ජනාධිපතිවරයාට නැති බවත් රට තුළ දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය නියාමනයන් ඇති කළ යුතු අතර ඒ සඳහා අන්තර්ජාතික වශයෙන් සම්මත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය‍.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ජනාධිපතිවරයාට මාධ්‍ය මර්දනයේ කිසිම අවශ්‍යතාවක් නැහැ. එතුමා මාධ්‍ය පවුලක උරුමය සහිත නායකයෙක්. සාපරාධී අපරාධ නීතිය ඉවත් කළේ එතුමා විසින්. මාධ්‍ය විසින් ඇතැම් අවස්ථාවල පුද්ගලයන්ගේ පුද්ගලිකත්වයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් සාපරාධී අපරාධ නීතිය යටතේ මාධ්‍යකරුවන් බන්ධනාගාරගත කිරීමේ සහ දඬුවම් දීමේ හැකියාව සහ නීති රීති රටේ තිබුණා. එය ඉවත් කිරීමට කටයුතු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එම නිසා ඇතැම් අවස්ථාවල මාධ්‍යට වැඩි නිදහසක් දීම ගැන ජනාධිපතිවරයා දෝෂදර්ශනයට පවා ලක්වුණා. මේ පිළිබඳ බිල්ලෙක් මවන එක සාධාරණ නැහැ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැබිනට් අනුකාරක සභාවේ සාමාජිකයන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානින් පසුගියදා පාර්ලිමේන්තුවට කැඳවූවා.

මෙම පනත් කෙටුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් නැහැ කිව්වා. ඒ අනුව පරිවර්තන සිදු කරලා ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කර මාධ්‍ය සංවිධානවලට දීල තිබෙනවා. තව සති දෙකක් තුළ සාධනීය යෝජනා ඉදිරිපත් කළොත් ඒවා සාකච්ඡා කළ හැකියි. තර්ජන ගර්ජන අපහාස උපහාසවලින් තොරව ශිෂ්ටසම්පන්න සමාජයක දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය නියාමනයන් ඇති කළ යුතුයි. මෙය කෙටුම්පතක් විතරයි. අවශ්‍ය ඕනෑම අවස්ථාවක සංශෝධන කළ හැකියි.

මේ සඳහා බලතල තිබෙන්නේ විෂය භාර ඇමැතිවරයා වශයෙන් මට. මට පුළුවන් ඕනෑම මාධ්‍ය ආයතනයකට බලපත්‍රයක් දෙන්න. ඒ වගේම අවලංගු කරන්නත් පුළුවන්. ඒත් මම එහෙම කටයුතු කර නැහැ. මේ සම්බන්ධයෙන් යම් කිසි අනතර්ජාතික වශයෙන් සම්මත ක්‍රමයක් ඇති කර ගැනීම දියුණු මාධ්‍ය සංස්කෘතියක් සඳහා අවශ්‍යයි.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ලෝක නායකයින්ට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් ආරාධනා කර තිබේ.

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව ‘වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම’ යන තේමාව යටතේ ජුනි මස 22 සහ 23 යන දෙදින ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත් වේ.
ගෝලීය ප්‍රජාව පීඩාවට පත් කර ඇති බහුවිධ අර්බුදවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතය.

දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමිවීමේ සිට කොවිඩ්-19 වසංගතයේ බලපෑම, යුද ගැටුම් ඇතුළු ගැටලු රැසකට ගෝලීය ප්‍රජාව මුහුණ දෙමින් සිටිති. මෙම අභියෝගවලට මුහුණදීම සඳහා නව මූල්‍ය ගිවිසුමක අවශ්‍යතාව හඳුනාගෙන ඇති ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සාමූහික ක්‍රියාකාරීත්වයේ වැදගත්කම අවධාරණය කරමින් සමුළුව සඳහා සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල ආරාධනාවක් සිදුකර තිබේ.

බහුපාර්ශ්වික මූල්‍ය අංශය ප්‍රතිසංස්කරණය කිරීම සහ තිරසර සංවර්ධන ඉලක්ක සමඟ සමපාත වන කාබන්වලින් තොර, ගෝලීය ආර්ථිකයකට මාවතක් තැනීම සඳහා හවුල් දැක්මක් ස්ථාපිත කිරීම සමුළුවේ තවත් අරමුණකි.

නවදිල්ලියේ පැවැත්වීමට නියමිත G-20 නායකයින්ගේ 18 වන සමුළුව, නිව්යෝර්ක්හි පැවැත්වීමට නියමිත තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව සහ ඩුබායි හි පැවැත්වීමට නියමිත COP-28 සමුළුව ඇතුළු ඉදිරි වසරේ ජාත්‍යන්තර දින දර්ශනයේ ප්‍රධාන සාකච්ඡා සහ සමුළු සමඟ බ්‍රිජ්ටවුන් මුලපිරීම (Bridgetown Initiative) ඇතුළු විවිධ න්‍යායපත්‍ර ගණනාවක් සම්බන්ධ කිරීමට සත්කාරක රට ලෙස ප්‍රංශය ප්‍රයත්න දරයි.

රාජ්‍ය නියෝජිතයන්, ජාත්‍යන්තර සංවිධාන, සිවිල් සමාජයේ සහ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන්ගේ සන්ධානයක් ගොඩනඟමින්, සාමූහික දැක්මක් තුළ තිරසාර අනාගතයක් සඳහා අවශ්‍ය වෙනස්කම් ක්‍රියාවට නැංවීම මෙම සමුළුවෙන් අවධාරණය කෙරේ.

ඉදිරි පරම්පරාවන් සඳහා යහපත් අනාගතයක් ගොඩනැගීමේ දී සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වය පිළිබඳ ප්‍රංශ ජනාධිපතිවරයා සිය ප්‍රසාදය පළ කරන අතර අතීත ජයග්‍රහණ අභිබවායමින් ආර්ථික, සමාජීය සහ පාරිසරික ප්‍රාග්ධනය පෝෂණය කිරීමේ අභිලාෂය සාක්ෂාත් කර ගැනීමට මෙම සමුළුව මනා පිටිවහලක් වනු ඇත.

  • ‘CVCD විශිෂ්ටතා සම්මාන’ උළෙලේදී ජනපති පවසයි
  • ලංකා විශ්වවිද්‍යාලය ‘මනමේ’ සහ ‘සිංහබාහු’ නාට්‍ය දෙක නිෂ්පාදනය කර ලංකාවේ සංස්කෘතිය වෙනස් කර තිබෙනවා

එදා ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින්ම තිබූ මෙරට විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවතත් පෙර තිබූ තත්ත්වයටම පත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එමඟින් විදේශීය සිසුන්ද මෙරට විශ්වවිද්‍යාල කෙරෙහි ආකර්ෂණය කරගත හැකි අතර, එය මෙරට ආර්ථිකය සංවර්ධනයට ඉවහල් වනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාලවලින් සිදු කරන පර්යේෂණ කටයුතු සඳහා ඉදිරියේදී වාර්ෂිකව රුපියල් බිලියනයක පමණ මුදලක් ලබා දීමට අවධානය යොමු කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (09) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 'CVCD විශිෂ්ටතා සම්මාන' උළෙල අමතමිනි.

මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා සෑම අයකුටම නිසි වයසේදී අධ්‍යාපන කටයුතු අවසන් කර ඉදිරියට යෑමට හැකි පසුබිම නිර්මාණය කළ යුතු බව ද සඳහන් කළේය.

වසර දෙකකට වරක් ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධානය කරනු ලබන 'CVCD විශිෂ්ටතා සම්මාන' උළෙලේදී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ විද්වතුන් පර්යේෂණ, නවෝත්පාදන සහ නව නිපැයුම් වෙනුවෙන් ලබා දෙනු ලබන කැපී පෙනෙන දායකත්වය හා ජයග්‍රහණ ඇගැයීමට ලක් කෙරේ. වඩාත්ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂකයා, වඩාත්ම කැපී පෙනෙන තරුණ පර්යේෂකයා සහ වඩාත්ම කැපී පෙනෙන නව නිපැයුම්කරු යන කාණ්ඩ තුන යටතේ මෙම සම්මාන පිරිනැමිණි.

ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ සභාපති රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා විසින් මෙහි පිළිගැනීමේ කතාව සිදු කළේය. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය විසින් සම්මාන උළෙල පිළිබඳ සවිස්තරාත්මක හඳුන්වා දීමක් සිදු කළාය.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නව්‍ය පර්යේෂණ සංස්කෘතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ලබා දෙන විශිෂ්ට නායකත්වය සහ කැපවීම උදෙසා ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ද ඇගැයීමට ලක් කෙ‍රිණි.

මෙවර සම්මාන උළෙලේදී 2022 වසර සඳහා වඩාත්ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂක සහ වඩාත්ම කැපී පෙනෙන තරුණ පර්යේෂක සම්මාන, සම සෞඛ්‍ය විද්‍යාව සහ දේශීය වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පය සහ තාක්ෂණය, මානව ශාස්ත්‍රය, ජීව විද්‍යාව, කළමනාකරණ අධ්‍යයනය, වෛද්‍ය හා දන්ත වෛද්‍ය විද්‍යාව, ස්වාභාවික විද්‍යාව, සමාජ විද්‍යා සහ නීති අධ්‍යයනය යන අධ්‍යයන ක්ෂේත්‍ර අටක් වෙනුවෙන් පිරිනමනු ලැබීය.

ඒ අනුව මහාචාර්ය බී.ඒ.කේ.එස්. පෙරේරා (මොරටුව විශ්වවිද්‍යාලය), මහාචාර්ය ඩී.එම්. දීප්ති යකන්දාවල (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය අරෝෂා සරංගී අදිකාරම් (කොළඹ විශ්වවිද්‍යාලය), මහාචාර්ය ෂාමන් රජින්ද්‍රජිත් (කොළඹ විශ්වවිද්‍යාලය), එල්.බී.ඩී.ආර්.පී. විජේසුන්දර (කැලණිය විශ්වවිද්‍යාලය) සහ මහාචාර්ය එස්.පී. කරුණානායක (විවෘත විශ්වවිද්‍යාලය) යන මහත්ම මහත්මීහු වඩාත්ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂක සම්මානයෙන් පිදුම් ලැබූහ.

ආචාර්ය ඒ.එන්. මධුෂංක (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), ආචාර්ය කේ.කේ. අසංක සංජීව (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), ආචාර්ය ඩබ්ලිව්.එච්.එම්. සංජීව සමරතුංග (රජරට විශ්වවිද්‍යාලය) වෛද්‍ය එම්.බී. කාවින්ද චන්දිමාල් දයාසිරි (කැලණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය ඒ. සඳරුවන් රත්නායක (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය) යන මහත්වරු වඩාත්ම කැපී පෙනෙන තරුණ පර්යේෂක සම්මානයෙන් පිදුම් ලැබූහ.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතා වඩාත්ම කැපී පෙනෙන නව නිපැයුම්කරු සම්මානය හිමි කර ගත්තේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

මා උසස් පෙළ විභාගයට පෙනී සිටි කාලය මට මෙහිදී සිහිපත් වුණා. එම කාලයේදී මා මදුරාසියේ පැවති ලන්ඩන් උසස් පෙළ විභාගයෙන් ද සමත් විය යුතු බව මාගේ පියා තරයේ කියා සිටියා. ඒ නිසා මා මදුරාසියට ගොස් ලන්ඩන් උසස් පෙළ විභාගයට පෙනී සිටියා.

නමුත් ඒ වන විට මා මෙරටදී පෙනී සිටි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද නිකුත් වී මා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබුණා. ඒ දවස්වල මෙය සරල ක්‍රියාවලියක්. දැන් වගේ ලකුණු ක්‍රමවේද තිබුණේ නැහැ. විෂය හතරක් සමත් වූ සියලු දෙනා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගත්තා. පසුව විෂයන් තුනක් සමත් අයව ද ඇතුළත් කර ගත්තා. මෙම කාලය තුළදීම මට ලන්ඩන් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද ලැබී තිබුණා. ඉතින් මට තීරණය කිරීමට සිදු වුණා ලංකාවේ ඉන්නව ද එක්සත් රාජධානියට යනව ද කියලා. මා තීරණය කළා ලංකාවේ සිටීමට. මගේ සීයගේ සම්බන්ධකම් මත මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ලෙස අම්මා බල කර සිටියත් මගේ අදහස වුණේ නීතිය හැදෑරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමයි.

මහාචාර්ය ලීගේ අභාවයෙන් පසු රෝමානු ලන්දේසි නීතියේ ඉහළ නිපුණතාවක් තිබුණේ එකල පීඨාධිපති මෙන්ම නීතිය පිළිබඳ මහාචාර්යවරයා වූ නඩරාජා මහතාටයි. ඒ වගේම අපිට තවත් කථිකාචාර්යවරුන් ගණනාවක් සිටියා. ළාබාලම තරුණ සහකාර කථිකාචාර්යවරයකු ලෙස ජී.එල්. පීරිස් මහතාත් කටයුතු කළා. මා ලංකාව තුළ මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් සාර්ථකව අවසන් කළා. ලංකාව තුළ මගේ අධ්‍යයන කටයුතු පිළිබඳ මා බෙහෙවින් සතුටු වෙනවා.

නමුත් අද තරුණ තරුණියන්ගෙන් ඇහුවොත් ලංකාවේ ඉන්න කැමති ද කියලා, ඔවුන් බොහෝ දෙනකුගේ පිළිතුර වන්නේ නැහැ කියලා. ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුවත් ඔවුන් ලංකාවේ ඉන්න කැමති නැහැ.

 

ඒ දවස්වල අප ලංකාවේ විශ්වවිද්‍යාලයකට තේරුණේ නැත්නම් දෙවන විකල්පය ලෙසයි එක්සත් රාජධානිය තෝර ගත්තේ. ඒත් අද මෙය විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලුවක් බවට පත්ව තිබෙනවා. ඉන් රටේ අනාගතයට ද බලපෑමක් එල්ල වන බව කිව යුතුයි. එබැවින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කාර්යභාරය කුමක් ද යන්න පිළිබඳ අප පළමුව අවධානය යොමු කළ යුතුයි.

අපේ රටේ වාර්ෂිකව සිසුන් 1,70,000ක් පමණ උසස් පෙළ සඳහා සුදුසුකම් ලබනවා. එයින් 40,000ක පමණ පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබනවා. තවත් 30,000ක් 40,000ක් පමණ පිටරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. 40,000ක් වන විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන පිරිසට අමතරව තවත් 25,000ක් – 30,000ක් පමණ මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල පද්ධතියක් අපට තිබෙනවා. ඒ සමඟම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අයත් නොවන විශ්වවිද්‍යාල තිබෙනවා. ඒ වගේම ලාභ ලබන සහ නොලබන විශ්වවිද්‍යාල පද්ධතියක් තිබෙනවා. මේ ක්‍රම තුනම ක්‍රියාත්මක කරනවා ද නැත්නම් එක් ක්‍රමයක් නිර්මාණය කරගෙන විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනඟනවා ද කියා අප අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා රජය සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දෙනවා. තවත් සිසුන් පිරිසක් එළියට ගොස් මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබනවා. සියලු දෙනාට අධ්‍යාපනයට ප්‍රවේශ වීමට හැකියාවක් තිබිය යුතුය යන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් වගන්තිය අප ආරක්ෂා කළ යුතුයි.

විවිධ රටවල මෙය විවිධ අයුරින් ක්‍රියාත්මක වෙනවා. ඇතැම් රටවල ශිෂ්‍ය ණය ලබා දෙනවා. තවත් රටවල ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට උදවු කරනවා. අප මේ පිළිබඳ අධ්‍යයනයක් සිදු කළ යුතුයි. එහිදී උපරිම ශිෂ්‍ය පිරිසකට අධ්‍යාපනය ලබාදිය හැකි ක්‍රමවේද පිළිබඳ අප සලකා බැලිය යුතුයි. රටක් ලෙස ඉදිරියට යෑමේදී අපට ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, විද්‍යාඥයන් ඇතුළු වෘත්තිකයන් විශාල පිරිසක් අවශ්‍ය වෙනවා.

එසේම අප අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. එදා අපේ රටේ විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින්ම තිබුණා. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා. අප නැවත අපේ විශ්වවිද්‍යාලවල ක්‍රියාකාරිත්ව වැඩිදියුණු කර ගන්නේ කෙසේද කියා අවධානය යොමු කළ යුතුයි. අපේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවත ලෝකය හමුවේ සහතික කරන්නේ කෙසේද කියා සොයා බැලිය යුතුයි. මේ තුළින් ලෝකයේ වෙනත් රටවල සිසුන් අපේ විශ්වවිද්‍යාල සඳහා ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එය අපේ රටේ ආර්ථිකයට ද යහපත් තත්ත්වයක්.

උපකුලපතිවරුන්ට පහර දෙමින් අධ්‍යාපනයට බාධා ඇති කිරීම තුළින් ගුණාත්මක විශ්වවිද්‍යාල පද්ධතියක් පවත්වාගෙන යා නොහැකියි. මෙම ගැටලු සඳහා අප කඩිනම් විසඳුම් සෙවිය යුතුයි කියා මා විශ්වාස කරනවා. ඒ වගේම අපේ අධ්‍යාපන ක්‍රමයේ ගැටලු රැසක් තිබෙනවා. සිසුන් උසස් පෙළ විභාගයට පෙනී සිටින විට වයස අවුරුදු 20ට ආසන්න වෙනවා. විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට අවුරුදු 24ත් පහු වෙනවා. මා උපාධිය ලබා ගන්නා විට මට වයස අවුරුදු 21යි. මා ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥයෙක් වුණේ අවුරුදු 23දි. දැන් සිසුන්ට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔබේ ජීවිතයේ හොඳම කාලය අපතේ යනවා. ඉන් පසුව රැකියාවක් සොයා ගැනීමේ ගැටලුවට ඔබ මුහුණ දෙනවා. අප ඉක්මනින් මෙම ප්‍රශ්න විසඳාගත යුතුයි.

අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට අයත් නොවන විශ්වවිද්‍යාල රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් කටයුතු කරන නිසා සිසුන් විශාල පිරිසක් ඒ සඳහා යොමු වී තිබෙනවා. මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාලවලට පමණක් නොව, විදේශ විශ්වවිද්‍යාලවලට ද ලොකු ගැටලුවක් වී තිබෙනවා. එබැවින් මේ පිළිබඳ අනෙක් අය විසඳුම් ලබා දෙන තුරු බලා නොසිට අපේම විසඳුමක් සොයාගත යුතුයි.

ඊළඟ ප්‍රශ්නය වැටුප්. එහිදී ඔබේ ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ වත්මන් බදු අය කිරීමයි. තවත් ප්‍රශ්නයක් වන්නේ විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා ගෙවීම් කරන්නේ කෙසේ ද යන්නයි. බටහිර විශ්වවිද්‍යාල මෙවන් අවස්ථාවලදී වෙළෙඳපොළ වටිනාකම අනුව ගෙවීම් සිදු කරනවා. අපත් ඒ ක්‍රමය අනුගමනය කරනවා ද එහෙමත් නැත්නම් මේ තිබෙන ක්‍රමයම අනුගමනය කරනව ද යන්න සැලකිය යුතුයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අයත් නොවන විශ්වවිද්‍යාල පුද්ගල වටිනාකම අනුව ගෙවීම් සිදු කරන බවට සැකයක් නැහැ.

ඒ වගේම අද සිදු කෙරෙන පර්යේෂණවල ප්‍රමිතිය වගේම ඇතැම් පර්යේෂණ පිළිබඳව චෝදනා තිබෙනවා. මේ සියල්ල අප නිරවුල් කරගත යුතුයි. අප රට තුළ ප්‍රමාණවත් පශ්චාත් උපාධි අධ්‍යයනයක් තිබෙනවා ද යන්න පිළිබඳව මා CVCD කමිටුවේ සභාපතිවරයා සහ උපකුලපතිවරුන් සමඟ සාකච්ඡා කළා.

ලංකා විශ්වවිද්‍යාලය 'මනමේ' සහ 'සිංහබාහු' නාට්‍ය දෙක නිෂ්පාදනය කර ලංකාවේ සංස්කෘතිය වෙනස් කර තිබෙනවා. තනි විශ්වවිද්‍යාලයක් ලෙස ඔවුන් ඒ වෙනස ඇති කර තිබෙනවා. ඔවුන් ලංකා ඉතිහාසය වෙළුම් 04කින් නිෂ්පාදනය කර තිබෙනවා. එහි ඇතැම් කොටස් යල් පැන ගොස් තිබිය හැකියි. නමුත් ඔවුන් සිදු කළ දේ පිළිබඳ අවධානය යොමු කළ විට අනෙක් විශ්වවිද්‍යාල ඒ අසලටවත් පැමිණ නැහැ.

මේ වන විට සමාජ මාධ්‍ය හා අන්තර්ජාල පහසුකම් සියලු දෙනාටම තිබෙනවා. AI තාක්ෂණය හෙවත් කෘත්‍රිම බුද්ධිය තිබෙනවා. 'Chat GBT' තිබෙනවා. මේවා විභාග සඳහාත් භාවිත කරන අතර ඇතැම් ඒවා පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා භාවිත කරනවා. යල්පැන ගිය ක්‍රම සමඟ සිටිනවාද නැත්නම් තාක්ෂණය සමඟ ඉදිරියට යනවා ද කියා අප අවධානය යොමු කළ යුතුයි.

ඒ නිසා දැන් තිබෙන විශ්වවිද්‍යාල පද්ධතිය තවදුරටත් මෙලෙසම පවත්වාගෙන යනවද නැත්නම් අවශ්‍ය වෙනස්කම් සිදු කරනවාද කියා අප සිතිය යුතුයි. මෙරට ප්‍රථම නේවාසික විශ්වවිද්‍යාලය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබෙන්නේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් ව්‍යුහයයි. නමුත් දැන් තිබෙන නවීන විශ්වවිද්‍යාලවල එවැනි ව්‍යුහයක් දක්නට ලැබෙන්නේ නැහැ. මෙම සියලු ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතුයි. මෙම ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා අධ්‍යාපනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවක් ද පිහිටුවා තිබෙනවා.

අද සම්මාන ලැබූ ඔබ සියලු දෙනාට මා සුබ පතන අතර, මෙම පර්යේෂණ තුළින් මෙරට විශ්වවිද්‍යාලවල කීර්තිනාමය ඉහළට ඔසවා තැබීමට ඔබ සමත්ව ඇති බව කිව යුතුයි. ඒ වගේම මෙම පර්යේෂණ කටයුතු සඳහා ඉදිරියේදී වැඩි ප්‍රතිපාදන ලබා දීමට අප බලාපොරොත්තු වන අතර ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියනයක පමණ මුදලක් ලබා දීමට අවධානය යොමු කර තිබෙනවා.

වවුනියාව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටී. මංගලේශ්වරන් මහතා විසින් මෙහි ස්තුති කතාව සිදු කළ අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂවරුන්ගේ කමිටු සාමාජිකයන්, සම්මානලාභී විද්වතුන්ගේ පවුල්වල සාමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපයේ පැවැති ලේක්හවුස් පොසොන් පහන් කූඩු තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (05) රාත්‍රියේ පැවැත්විණි. ලේක්හවුස් පොසොන් පහන් කූඩු තරගයේ ප්‍රථම ස්ථානය දිනාගත් නාරාහේන්පිට ඩබ්ලිව්. විසල් ශ්‍රී බිනර තමන්ට හිමි ලක්ෂ 5ක චෙක්පත ඇමැතිවරයා අතින් ලබාගත් අයුරු. රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර, ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ මංජුල මාකුඹුර, මූල්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි, නීති අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල මහත්වරු ද මෙහි වෙති

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මුලිකත්වයෙන් ජගත් පරිසර දින ජාතික සැමරුම අද( 05 වන දින ) පෙ.ව 9.00 ට පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.


පරිසර පවිත්‍රතා දිනය 2023.06.01

මෙවර ජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය 50 වන වරට (ඹේට් ඵ්ලස්ටිc ඵොල්ලුටිඔන්) “ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණය පිටු දකිමු” යන තේමාව යටතේ සැමරීමට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විසින් කටයුතු සුදානම් කර ඇත. ඒ අනුව මෙම අමාත්‍යාංශය විසින් එම තේමාවට අනුරූපීව වඩාත් අර්ථවත් ලෙස පරිසර දින සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා කටයුතු කරමින් සිටී.

ජගත් පරිසර දිනට සමගාමීව මැයි 30 සිට ජූනි 05 දක්වා සතිය “ජාතික පරිසර සතිය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ජාතික පරිසර සතියෙහි 2023 ජුනි 01 දින පරිසර පවිත්‍රතා දිනය ලෙස නම් කර තිබුණි.

එම දිනය මුලික කර ගෙන ප්ලාස්ටික් හා පොලිතීන් අවධිමත් ආකාරයෙන් පරිසරයට බැහැර කිරීම හා මේ දිනවල රටේ පවතින ඩෙංගු වසංගත තත්වයේ සීඝ්‍ර ව්‍යාප්තියද සැලකිල්ලට ගෙන පරිසර අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත හා රොබට් ගුණවර්ධන මාවත දෙපස ඇති සියළු රාජ්‍ය ආයතන පරිශ්‍රයන් තුළ ඉවත දමන ලද ප්ලාස්ටික් පොලිතීන් ඉවත් කිරීමේ වැඩසටහන පරිසර අමාත්‍යාංශයේ දි ක්‍රියාත්මක කෙරිණ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter