නවතම පුවත්

අතිගරු ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමනි,
ගරු අමාත්‍යවරුනි,
සම්භාවනීය අමුත්තනි,
නෝනාවරුනි මහත්වරුනි,
ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි,

ආයුබෝවන්, අස්සලාම් අලෙයික්කුම්, සුබ සන්ධ්‍යාවක් වේවා!

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා, සුහද හවුල්කාරිත්වය, සමීප මිත්‍රත්වය සහ අනාගත සහයෝගීතාව සංකේතවත් කරන මාගේ පළමු මාලදිවයින් රාජ්‍ය සංචාරයේදී මාලේ නුවර වෙත පැමිණීමට ලැබීම සැබැවින්ම සතුටක්. මෙම සංචාරය අප දෙරට අතර පවතින සම්බන්ධතාවට නව උද්‍යෝගයක් සහ ශක්තියක් එක් කරන බව මා විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීමේ 60 වැනි සංවත්සරය සමරන මෙම වැදගත් අවස්ථාවේදී මාලදිවයින වෙත කෙරෙන මගේ සංචාරය අමතර වැදගත්කමක් උසුලනවා.

මට සහ මගේ නියෝජිත පිරිසට ලැබුණු ආරාධනය සහ උණුසුම් පිළිගැනීම වෙනුවෙනුත් ආගන්තුක සත්කාරය වෙනුවෙනුත් අතිගරු ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමාට මාගේ අවංක කෘතඥතාව පළ කරනවා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සියවස් ගණනාවක් පුරා දිවෙන දිගුකාලීන සබඳතා පවත්වාගෙන යනවා. ඉන්දියානු සාගරයේ පිහිටි අපගේ රටවල් දෙක, පුරාණ සාමුද්‍රීය වෙළෙඳ මාර්ග සහ පොදු ඉතිහාසයක් සමඟ ඇති අපගේ සම්බන්ධතාවලින් පොහොසත් වී තිබෙනවා.

මීට සුළු වේලාවකට පෙර, ජනාධිපති මුයිසු මැතිතුමා සහ මා අපගේ නියෝජිත පිරිස් හා එක්ව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවා. අප අපගේ සබඳතාවල වර්තමාන තත්ත්වය පිළිබඳව පුළුල් සමාලෝචනයක් කළ අතර අනාගතයේදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍රවල අපගේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ හැකි ආකාරය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තා.

සෑම විටම ශ්‍රී ලංකාවට ලබා දෙන ස්ථිරසාර සහයෝගය වෙනුවෙන් මම ජනාධිපති මුයිසු මැතිතුමාට සහ මාලදිවයින් රජයට ස්තුතිවන්ත වනවා.

අපගේ ජනතාවගේ පොදු යහපත පිණිස අපගේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ සහ අපගේ සම්බන්ධතාව විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම ජනාධිපති මුයිසු මැතිතුමා සහ මා හඳුනාගත්තා.
ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට මාලදිවයිනේ රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් මා ජනාධිපති මුයිසු මැතිතුමාට ස්තූතිවන්ත වනවා.

මාලදිවයින් ආර්ථිකයට සහ සමාජයට ඔවුන්ගේ දායකත්වය ලැබෙනු දැකීම සතුටක්. ඒ හා සමානව, ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයන් ශ්‍රී ලංකා ආර්ථිකයට සහ සමාජයට ලබා දෙන දායකත්වය අප අගය කරනවා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශක්තිමත් හවුල්කාරිත්වයක් තිබෙනවා. වසර ගණනාවක් පුරා මාලදිවයින් සිසුන්ට සහ වෘත්තිකයන්ට අධ්‍යාපනය ලබාදීමේදී අප ශ්‍රී ලාංකිකයන් ලෙස ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. ජනාධිපති මුයිසු මැතිතුමා සහ මා මෙම ක්ෂේත්‍රයේ තවදුරටත් සහයෝගීතාව ප්‍රවර්ධනය කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කළා.

දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව සහ ප්‍රධාන අංශවල ආයෝජන කෙරෙහිද අප අවධානය යොමු කළා.

මාලදිවයින් ආයෝජකයන්ට සැමවිටම තම ආයෝජන සඳහා විශ්වාසදායක ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස බැලිය හැකි බව මා ප්‍රකාශ කරනවා.

ආයෝජකයන්ට සහය වීම සඳහා ශ්‍රී ලංකාව දැනට සකස් කරමින් පවතින එකම වහළක් යටින් සියල්ල ඉටු කර ගැනීමේ යාන්ත්‍රණය සහ ආයෝජකයන් තවදුරටත් දිරිමත් කිරීම සඳහා ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන දිරිගැන්වීමේ යෝජනා ක්‍රම පිළිබඳව මා ජනාධිපති මුයිසු මැතිතුමා දැනුම්වත් කළා. ශ්‍රී ලංකාවේ නවීන තාක්ෂණික උද්‍යාන පිළිබඳවද මා එතුමාට විස්තර කළා. ඒවා ආයෝජකයන්ට හිතකර සහ නිෂ්පාදන-විශේෂිත කාර්මික කලාප වන අතර, මාලදිවයින් ආයෝජකයන්ට එම කලාපවල ආයෝජනය කිරීමට කටයුතු කළ හැකියි.

තවද, මාලදිවයින් ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් තොරතුරු තාක්ෂණ/කෘත්‍රිම බුද්ධිය, ධීවර හා කෘෂි සැකසුම්, සංචාරක හා විවේක, දේපළ වෙළෙඳාම් සහ නාගරික යටිතල පහසුකම් යනාදි අංශවල ආයෝජනය කරන ලෙසට මා ආරාධනා කළා.

සංචාරක ව්‍යාපාරය අපේ රටවල් දෙකේම ප්‍රධාන ආර්ථික සාධකයක්. මෙම පසුබිම තුළ, සංචාරක අංශයේ සහයෝගීතාව පිළිබඳවද අප අදහස් හුවමාරු කර ගත්තා. විශේෂයෙන්ම ගුවන් සම්බන්ධතාව වැඩි දියුණු කිරීමෙහිලා ගුවන් සේවා සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ මාර්ගද අප සාකච්ඡා කළා.

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ මෙන්ම තරුණ බලගැන්වීම සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව අප අදහස් හුවමාරු කරගත්තා.

ඉන්දියානු සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයන් ලෙස, ධීවර හා සාගර අංශයේ ඇති විශාල විභවය අප හඳුනා ගත්තා. නව්‍ය හා තිරසර ධීවර පිළිවෙත්වල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව අප සාකච්ඡා කළා. මාලදිවයින් මුහුදු සීමාව ඔස්සේ ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවලට බාධාවකින් තොරව අරාබි මුහුදට ප්‍රවේශ වීම සඳහා සංක්‍රමණ මාර්ග ඇතිකර ගැනීම පිළිබඳවද අප අදහස් හුවමාරු කරගත්තා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින පරිසරය ආරක්ෂා කරගැනීමට දැඩි ලෙස කැපවී සිටිනවා. ශ්‍රී ලංකාව සහ සමස්ත ශ්‍රී ලාංකික සමාජය තිරසර ලෙස ඉහළ මට්ටමකට ඔසවා තැබීම සඳහා සමාජ සංවර්ධනය, පාරිසරික සංවර්ධනය සහ සදාචාරාත්මක සංවර්ධනය යන ප්‍රධාන අංග තුන හරහා ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන මගේ රජය විසින් ආරම්භ කර තිබෙනවා.

මා ඒ පිළිබඳව ජනාධිපති මුයිසු මැතිතුමා දැනුම්වත් කළා. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන ‘Maldives Clean Environment’ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මා ජනාධිපති මුයිසු මැතිතුමාට ප්‍රශංසා කළා.

දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළ යෑමේ අභියෝගයට මුහුණ දීම සඳහා දැරිය යුතු පොදු උත්සාහයන්වල වැදගත්කම අප හඳුනාගත්තා. 2030 වසර වන විට සිය විදුලියෙන් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමට ශ්‍රී ලංකාව ඉලක්ක කරනවා. මෙම ඉලක්කය සාක්ෂාත් කරගැනීමේ අරමුණින්, අප දෙරට අතර පුනර්ජනනීය බලශක්ති අංශයේ ශක්තිමත් සහයෝගීතාවක් ඇති කර ගැනීමට මා යෝජනා කළා.

ආරක්ෂක, ආරක්ෂණ සහ ත්‍රස්ත විරෝධී යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කරගැනීම පිළිබඳවද අප අදහස් හුවමාරු කර ගත්තා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ශක්තිමත් සංස්කෘතික බැඳීම් තිබෙනවා. අපගේ භාෂාවල කැපී පෙනෙන සමානකම් ඇති අතර, සිංහල සහ දිවෙහි යන භාෂා දෙකම එකම මූලයකින් උපන් භාෂා. පුද්ගල-පුද්ගල සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින්, අපගේ සාකච්ඡා සංස්කෘතිය හා උරුමය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළා.

කලාපීය සහ බහුපාර්ශ්වික සහයෝගීතා ක්ෂේත්‍රය තුළ, මාලදිවයින ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය මා අගය කළ අතර, මාලදිවයිනට ශ්‍රී ලංකාවේ සහයෝගය ලබාදෙන බවට සහතික වුණා. අපගේ රටවල් දෙකම විවිධ ජාත්‍යන්තර සංවිධානවල නිරන්තරයෙන් එකිනෙකාට සහය දක්වා තිබෙනවා. එම සහයෝගීතාව අඛණ්ඩව පවත්වා ගෙන යෑමට අප කැපවී සිටිනවා.

දෙපාර්ශ්වයටම පහසු දිනයක ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට මා අතිගරු ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමාට ආරාධනාවක්ද කළා.

මාගේ සංචාරය අතරතුරදී මා ව්‍යාපාරික සංසදයක් ඇමතීමටද මාලදිවයිනේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද නියමිතයි.

අතිගරු ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමනි, මට සහ මගේ දූත පිරිසට ලබාදුන් උණුසුම් ආගන්තුක සත්කාරවලට නැවත වරක් ඔබටතුමාට ස්තුති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

මාලදිවයින සමඟ ඇති සහයෝගීතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන බව මා යළිත් කියා සිටිනවා. ඉදිරි වසරවලදී එම සහයෝගය තවදුරටත් ශක්තිමත් වන බව නිසැකයි.

ස්තුතියි!

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ බෝ නොවන රෝග අංශය මඟින් මාධ්‍ය­වේ­දීන් සඳහා වූ හදිසි අන­තු­රු­ව­ලින් සිදු වන තුවාල වීම් වැළැ­ක්වීම හා ප්‍රථ­මා­ධාර පිළි­බඳ “Injury prevention and First aid” පුහුණු වැඩ­ස­ට­හන ශ්‍රී ලංකා පද­නම් ආය­ත­න­යේදී පසු­ගි­යදා (22) පැවැ­ත්විණි. මේ පුහුණු වැඩ­ස­ට­හන සඳහා මෙරට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආය­තන නියෝ­ජ­නය කර­මින් මාධ්‍ය­වේ­දීන් රැසක් සහ­භා­ගිව සිටි අතර, එම මාධ්‍ය­වේ­දීන්ට සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ ජ්‍යෙෂ්ඨ සහ­කාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචා­රණ) ලක්ෂ්මේන්ද්‍ර දම­ය­න්ත්කු­මාර තෙන්න­කෝන් මහතා අතින් සහ­තික පත්‍ර ප්‍රදා­නය කළ අයුරු.

මේ අව­ස­ථා­වට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ බෝ නොවන රෝග ඒක­කයේ විශේ­ෂඥ වෛද්‍ය සමිත සිරි­තුංග, ‌ජ්‍යෙෂ්ඨ ප්‍රථ­මා­ධාර පුහුණු නිල­ධාරී ෂකුන් කෘස් (Shakun Croos) මහ­ත්වරු ද සහ­භාගි වූහ.

ශ්‍රී ලාංකේ මාධ්‍ය සංස්කෘතිය දියුණු ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් බවට පරිවර්තනය කිරීම සඳහා මාධ්‍ය සාක්ෂරතාව උපයෝගී කර පාසල් දරුවන් අතර මානව දයාව රෝපණය කිරීමේ අරමුණින්  අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙහෙයවන පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ  උපදේශනාත්මක සන්නිවේදන මාධ්‍ය සාක්ෂරතා වැඩසටහනක් ආරම්භ කර තිබේ.

"මානව දයාවෙන් පරිපූර්ණ පාසල් සිසු ප්‍රජාවක්" තේමා කරගෙන වර්තමානයේ පාසල් පද්ධතියේ මතුවී ඇති සමාජ ගැටලු හඳුනාගෙන, ඊට අධ්‍යාපන මනෝ විද්‍යාත්මක හා උපදේශනාත්මක සන්නිවේදන ප්‍රවේශය යටතේ සිසුන් දැනුවත් කිරීම මෙහි අරමුණ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට පාසල් පද්ධතිය තුළ මතු වී තිබෙන සිසුන්ගේ මානසික පීඩනය, මානසික සංකූලතාවය, ආතතිය, හුදකලාව හා ගුරු-ශිෂ්‍ය සබඳතාව දුරස්වීම, දෙමව්පිය දරුවන් අතර සමීපතාවය බිඳ වැටීම, තාක්ෂණික බලපෑම, අපේක්ෂා භංගත්වය, ලිංගික ගැටලු, ළමා අපයෝජන, දඬුවම්, මත්ද්‍රව්‍ය භාවිතය හා වෙනත් මානසික ගැටලු, පාසල් පද්ධතිය තුළ  දියුණු මනෝ විද්‍යාත්මක හා සන්නිවේදන කුසලතා තුළ කළමනාකරණය කර සමබර මානසික ක්‍රියාවලියක් තුළ පෝෂණය වූ සබුද්ධික පාසල් දරුවන්  බවට පත් කිරීමට  පාසල් මාධ්‍ය සමාජ හරහා පුළුල් උපදේශනාත්මක සන්නිවේදන වැඩසටහනක් දියත් කිරීම මෙම නව වැඩපිළිවෙල යටතේ සිදු කෙරේ.

මෙම අරමුණ යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙහෙයවන පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ ආරම්භ කළ නියමු ව්‍යාපෘතිය පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත් වූ අතර, ඊට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම  නියෝජනය වන පරිදි  මාධ්‍ය සමාජ ක්‍රියාකාරීන් තුන්සිය දෙනෙකු හා පාසල් මාධ්‍ය සමාජ භාර ගුරු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වුණි.

සාර්ථක ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාවලියක් අපේක්ෂාවෙන් අධ්‍යාපන විෂය සමගාමී වැඩසටහන් පුළුල් කරමින් සිසුන්  මුහුණ දෙන මානසික ගැටලු, කලාව, සෞන්දර්ය ක්‍රීඩාව හා වෙනත් විෂය භාහිර ක්‍රියාවලියක් තුළ සාර්ථකව කළමනාකරණය කරමින් සිසුන්ගේ නිර්මාණාත්මක දක්ෂතා කුසලතා හඳුනාගෙන ඒ සඳහා නායකත්ව හා සන්නිවේදන කුසලතා සඳහා ජාතික වේදිකාවක් නිර්මාණය කිරීම ද මෙම වැඩසටහනේ තවත් අරමුණක් වී තිබේ.  

ජනාධිපති ලේකම් කාර්යාලයේ ද උපදෙස් අනුව පැවැත්වුණු මෙම ජාතික වැඩසටහනේ සන්නිවේදන කුසලතා හා නායකත්ව වැඩසටහන ජනාධිපති මාධ්‍ය උපදේශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා විසින් මෙහෙය  වූ  අතර, මනෝවිද්‍යා දේශන වැඩසටහන ජාතික ළමාරක්ෂණ අධිකාරිය, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය අධ්‍යාපන අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන සිදු කරනු ලැබිණි.

පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සමාරම්භක නියමු වැඩසටහනේ දී ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ දැනට සක්‍රීයව ක්‍රියාත්මක වන පාසල් මාධ්‍ය සමාජ 300කට ආසන්න ප්‍රමාණයක උතුරු නැගෙනහිර පළාත ඇතුළුව සම්බන්ධ වූ අතර මෙහිදී පාසලේ මානව ධර්මතා ප්‍රචලිත කිරීම, මානව ධර්මතා ව්‍යාප්ත කිරීම සහ පාසල් ප්‍රජාවේ සෑම දරුවෙක්ම මෙම වැඩසටහනට සම්බන්ධ කර ගැනීම පාසල් මාධ්‍ය සමාජ හරහා සිදු කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  පවසයි.

මානව ධර්මතා සම්ප්‍රේෂණය සඳුන් ගසක් සංකේතවත් කරමින් සෑම පාසල් මාධ්‍ය සමාජයකම සඳුන් පැළ රෝපණ ව්‍යාපෘතියක් ද මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

සමාරම්භක නියමු වැඩසටහනට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර එක් වූ අතර, ජනාධිපති මාධ්‍ය උපදේශක ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා මෙහිදී, සන්නිවේදන හා නායකත්ව පුහුණු වැඩසටහන් මෙහෙය විය.

කැලණිය විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ, වෛද්‍ය අධ්‍යාපන අංශයේ අංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පවිත්‍රාගොඩමුන්නේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශන හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහනේ අධික්ෂණ නිලධාරී  සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හර්ෂ බී. අබේකෝන් යන මහත්ම මහත්මීන් මෙහෙදී විශේෂ දේශන හා ප්‍රයෝගික වැඩසටහන් පැවැත්වුහ.

මෙහිදී පාසල් මාධ්‍ය සමාජ සඳහා සඳුන් පැල බෙදා දීම, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මේ සඳහා ප්‍රවීණ මාධ්‍යවේදීන් ඇතුලු, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සදහා අද (28) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාලදිවයින මාලේ නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද තවත් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීප දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ද දූත පිරිසට එක් වී සිටියහ.

ඔවුහු උදෑසන 07.30 ට මාලදිවයින මාලේ නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ.

මෙම පිරිස ලබන 30 වන දින මෙම සංචාරය නිමා කර ආපසු පැමිණීමට නියමිතය.

කාම්බෝ­ජයේ, සියම් රීප් හි පැවති 20 වැනි ආසි­යානු මාධ්‍ය සමු­ළුවේ සමාප්ති උත්ස­ව­යේදී සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා අන්කෝර් මුල­පි­රීම 2.0 (Angkor Initiative 2.0) ප්‍රකා­ශ­න­යට අත්සන් තැබීය.

කාම්බෝ­ජයේ තොර­තුරු ඇමැති නෙත් පීක්ට්‍රා (H.E. Neth Peaktra) සහ ආසියා ශාන්ති­කර විකා­ශන ආය­ත­නයේ ප්‍රධාන විධා­යක නිල­ධාරි ෆිලෝ­මේනා ඥාන­ප්‍ර­ගා­සම් (Ms Philomena Gnanapragasam) මහ­ත්මි­යගේ දේශන සම­ඟින් පසු­ගිය 22 වැනිදා මේ සමු­ළුව කාම්බෝ­ජ­යේදී ආරම්භ විය.

මේ ප්‍රකා­ශ­න­යෙන් ආසියා ශාන්ති­කර කලා­පයේ සිටින ඇමැ­ති­ව­රුන්, මාධ්‍ය ප්‍රධා­නීන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් සාවද්‍ය තොර­තු­රු­ව­ලට එරෙ­හිව කලා­පීය උත්සා­හ­යන් ශක්ති­මත් කිරී­මට සහ තොර­තුරු අඛ­ණ්ඩ­තාව ප්‍රව­ර්ධ­නය කිරී­මට කට­යුතු කරනු ලබයි.

විකා­ශන සංව­ර්ධ­නය සඳහා වන ආසියා ශාන්ති­කර විකා­ශන ආය­ත­නය (AIBD) විසින් සංවි­ධාන කරන ලද සහ කාම්බෝ­ජයේ තොර­තුරු අමා­ත්‍යාං­ශය විසින් පව­ත්වන ලද ආසි­යානු මාධ්‍ය සමු­ළු­වට කලා­පයේ රට­වල මාධ්‍ය විෂය භාර ඇමැ­ති­ව­රුන්, මාධ්‍ය ආය­තන ප්‍රධා­නීන් සහ වෘත්ති­ක­යන් ඇතුළු විදේ­ශීය නියෝ­ජි­තයෝ සහ­භාගි වූහ.

ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පෙරේදා (23) කාම්බෝ­ජයේ සියම් රීප් වෙත පැමිණි අතර, එහිදී ද්විපා­ර්ශ්වික සාකච්ඡා කිහි­ප­ය­කට ද සහ­භාගි විය. කාම්බෝජ රජයේ තොර­තුරු ඇමැති, ජනා­ධි­පති කාර්යා­ලයේ ප්‍රධාන ප්‍රකා­ශිකා සහ රාජ්‍ය ඇමැති හීනා වලීඩ් මහ­ත්මිය (H.E. Heena Waleed), මාල­දි­ව­යින් දූත පිරිස, ආසියා ශාන්ති­කර විකා­ශන ආය­ත­නයේ විධා­යක ප්‍රධානි ෆිලො­මිනා ඥාණ­ප්‍ර­ගා­සම් මහ­ත්මිය (Ms Philomena Gnanapragasam) ඇතුළු ආය­ත­නයේ නිල­ධා­රීහු ද, ජාත්‍ය­න්තර විදුලි සංදේශ සංග­මයේ අධ්‍යක්ෂ ඇතුළු පිරි­සක් සමඟ ඇමැ­ති­ව­රයා එම ද්වි-පාර්ශ්වික සාකච්ඡා පැවැ­ත්වූහ.

ජන­මාධ්‍ය ක්ෂේත්‍ර­යට සිදු කරන ලද මහඟු සේවය සහ කැප­වීම අගය කර­මින් ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා විසින් කාම්බෝජ රජයේ ජන­මාධ්‍ය ඇමැ­ති­ව­රයා වන නෙත් පීක්ට්‍රා මහ­තාට (H.E. Neth Peaktra)’තොර­තුරු පරි­පූ­ර්ණ­ත්ව­යෙන් බෙදා හැරීමේ අඛ­ණ්ඩ­තාව වෙනු­වෙන් වන “විශේෂ නියෝ­ජිත” නම් වූ ඇග­යීම පිරි­නැ­මී­මට කට­යුතු කරන ලදි.

2026දී මාල­දි­ව­යිනේ දී 21 වැනි ආසි­යානු මාධ්‍ය සමු­ළුව පව­ත්වන බවට නිවේ­ද­නය කිරී­මත් සමඟ මේ සමු­ළුව සමාප්ත විය.

සයිබර් තර්ජන හඳුනා ගැනීම සහ අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණ පර්යේෂණ ඒකකයක් (Threat Hunting and Malware Analysis Lab) පිහිටුවීමේ ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙමගින් අපේක්ෂා කරනු ලබන්නේ ශ්‍රී ලංකා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය, ජාතික දත්ත හුවමාරු කිරීමේ ඩිජිටල් වේදිකාව සහ ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud) වැනි ප්‍රධාන ව්‍යාපෘති සහ අනෙකුත් රාජ්‍ය ආයතන තුළ සිදු වන ඩිජිටල්කරණ ව්‍යාපෘති මඟින් ශ්‍රී ලංකාව සිය ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමයි.

එවැනි ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම ඉතාමත් වැදගත් අවශ්‍යතාවක් ලෙස හඳුනාගනු ලැබ තිබෙන අතර  ඒ සඳහා සයිබර් තර්ජන හඳුනා ගැනීම හා ඒවාට සාර්ථකව මුහුණදීමේ හැකියාව වැඩිදියුණු කිරීම, අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණය කිරීමේ හැකියාව සහ මානව සම්පත් ධාරිතාව ප්‍රවර්ධනය හා සයිබර් පර්යේෂණ සිදු කිරීම අරමුණු කර ගනිමින් පර්යේෂණ ඒකකයක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) තුළ පිහිටුවීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර තිබේ.

යෝජිත සයිබර් තර්ජන සහ අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණ පර්යේෂණ ඒකකය පිහිටුවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ඩිජිටල් අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

කෘත්‍රිම බුද්ධිය ( AI ) සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පරමාර්ථයන්ට දායක විය හැකි සජීවී හවුල්කාරිත්වය සහ දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථාවන් සොයා බැලීම සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය යටතේ ක්‍රියාත්මක “සිංගප්පූරු කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහන” (AI Singapore) සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

ඒ සඳහා දෙරට අතර සහයෝගිතාව විධිමත් කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

දේශීය හා ගෝලීය අභියෝගවලට මුහුණ දීමට හැකි වන පරිදි කෘත්‍රීම බුද්ධි තාක්ෂණයන් සංවර්ධනය කිරීම සඳහා වන පර්යේෂණ ඇරඹුම් සිදු කිරීම, කෘත්‍රීම බුද්ධිමය වැඩසටහන් පැවැත්වීම හා අන්‍යෝන්‍ය සහයෝගය ඇති කර ගැනීම ආදිය එමගින් අරමුණු කරගෙන ති‌බේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ සිංගප්පුරුවේ ජාතික විශ්වවිද්‍යාලය අතර යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පිණිස ඩිජිටල් අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය කටයුතු කළේය.

මෙරට ඉතිහාසය සහ අනාගතය එක් කරන ප්‍රධාන මාධ්‍ය ලෙස මෙන් ම ආරක්ෂිත හා අඩුම වියදමකින් සේවා සපයන ස්ථානයක් බවට ශ්‍රී ලංකා තැපැල් සේවාව පත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ඉදිරි දැක්ම කරගත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව ප්‍රධාන තැපැල් කාර්යාලය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) ජනතා අයිතියට පත් කෙරිණි.

පොළොන්නරුව ප්‍රධාන තැපැල් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව මුද්දර උප කවුළුව විවෘත කිරීම, උප කාර්යාලය මගින් නිකුත් කරන ලද පුද්ගලකාරක මුද්දරය පිරිනැමීම සහ ප්‍රථම ගණුදෙණුව සිදු කිරීම ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සුරතින් සිදු විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී කියා සිටියේ වසර 228 පමණ ඉතිහාසයක් සහිත මෙරට තැපැල් සේවාව සැලසුම් සහගතව සංවර්ධනය කරන බවයි.

ලංකාවේ ඉතිහාසය සහ අනාගතය එක් කරන ප්‍රධාන මාධ්‍ය ලෙස මෙන් ම ආරක්ෂිත හා අඩුම වියදමකින් සේවා සපයන ස්ථානයක් බවට ශ්‍රි ලංකා තැපැල් සේවාව පත් කරන බවත් ඊට තැපැල් කාර්යාල 4000 කින් සහ 22,000 පමණ වන තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය දායකත්වය ලබා දිය යුතු බව ද පැවසී ය.

එමෙන්ම දැනට භාණ්ඩාගාරයෙන් යැපෙන තැපෑල නවීන තාක්ෂණික සේවාවන්, නව මුහුණුවරක් ද සමගින් ලාභ ලබන ආයතනයක් මෙන්ම ජනතාවට එන්න හිතෙන තැනක් බවට පත් කරන බව ද පැවසී ය.

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා කියා සිටියේ රජය රටේ ජනතාවට පොදු පහසුකම් සපයන සියළු මධ්‍යස්ථාන උපරිම පොදු පහසුකම් සහිතව සංවර්ධනයට පියවර ගන්නා බවයි.

අරමුණ පැහැදිලි කරමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා කියා සිටියේ රජය තැපැල් සේවාවේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 1300 ක් වෙන් කර ඇති බවයි. ඒ අනුව වසර ගණනාවක් ඉල්ලීම් සිදු කළ නව ගොඩනැගිලි සහ වාහන අවශ්‍යතා සපුරා ගත හැකි වනු ඇති බවත්, තැපැල් සේවාවේ ඉදිරි ඉලක්ක ජය ගැනීමට කටයුතු කරමින් මෙම තැපැල් කාර්යාලය හරහා ජනතාවට අත්‍යාවශ්‍ය නව සේවාවන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද පැවසී ය.

2017 වර්ෂයේ දී “පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව තැපැල් සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද නමුත් 2019 වර්ෂය අවසානය වන විට ඉදිකර ගැනීමට හැකි ව ඇත්තේ මෙම අළුතින් ඉදි කළ තැපැල් කාර්යාල ගොඩනැගිල්ලට පිටුපසින් පිහිටා ඇති පරිපාලන සංකීර්ණය පමණි.

ඒ අනුව 2024 වර්ෂයේ දී ඉදිරිපස තිබූ පැරණි අබලන් ගොඩනැගිල්ල කඩා ඉවත් කර රුපියල් මිලියන 69 ක් වියදමෙන් ගොඩනැගිලි දෙපාර්තමේන්තුව මගින් පොළොන්නරුව නව තැපැල් කාර්යාලය සඳහා මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත.

පොළොන්නරුව ප්‍රදේශයේ තැපැල් සේවාව තැපැල් කාර්යාල 12 කින් හා උප තැපැල් කාර්යාල 91 කින් සමන්විත වේ.

මෙම අවස්ථාවට නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, පොළොන්නරුව මහ නගර සභාවේ සභාපති ලලිත් තිස්ස කෝරලගේ, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එන්.ආර්.පි බණ්ඩාර, බී.එම්.එස් රත්නසිරි, තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (උතුරු මැද) සංජීව ප්‍රනාන්දු යන මහත්වරුන් මෙන්ම නව තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සිංහලයේ අවසන් රාජධානිය හා බැඳුණු ප්‍රතාපවත් චරිත 36ක ගේ ජීවමාන ප්‍රමාණයේ අනුරූ ප්‍රතිනිර්මා-ණය කරමින්, සෙංකඩගල ඇහැලේපොළ වලව්ව පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු මෙරට ප්‍රථම ඓතිහාසික ඉටි රූ කෞතුකාගාරය අද ( 17) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් විවෘත කෙරිණි.

ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමාගේ සංකල්පයක් මල්ඵල ගන්වමින් ඉදි වූ මේ කෞතුතාගාරය, මහනුවරට පැමිණෙන දහස් ගණනක් වූ දෙස් විදෙස් සංචාරකයින් වෙත නවමු අත්දැකීමක් තිලින කිරීමට සූදානම් බව වාර්තා වෙයි.

පොත-පතට, ඉතිහාස කතාන්දරවලට සීමා වූ කන්ද උඩරට රාජධානියේ සුවිශේෂී තතු විත්ති, ඇහැලේපොල ඉටි රූ කෞතුකාගාරය තුල ද ජීවමාන වී තිබීම සුවිශේෂත්වයකි

මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ,අමාත්‍ය ලාල්කාන්ත මහතා ඇතුළු ආරාධිතයන් පිරිසක් සහභාවිය .

විද්‍යුත් මාධ්‍ය ආයතනවල හා මාධ්‍ය සංවිධානයන්හී ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශවල සේවය කරන මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ කෙටි කාලීන පුහුණු වැඩසටහනක් ඊයේ(15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. බණ්ඩාර මහතාගේ  උපදෙස් මත, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය හා පර්යේෂණ අංශයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන පැවැත්විණි.  මාධ්‍යවේදියාගේ කාර්යභාරය,මාධ්‍යයේ වගකීම  සහ  මාධ්‍යෙය් විශ්වාසනීයත්වය සම්බන්ධයෙන්  සහ  මාධ්‍යවේදීන් සිය  වෘත්තීය අභියෝග ජයගන්නේ කෙසේ ද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ලාල් හේමන්ත,උපේන්ද්‍ර හේරත්,අනිල් ද සිල්වා යන ප්‍රවීණ මාධ්‍යවේදීන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැත් වුණු මෙම වැඩසටහන සඳහා පෞද්ගලික සහ රජයේ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් සහ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ඉදිරි දැක්ම කර ගනිමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව ප්‍රධාන තැපැල් කාර්යාලය හෙට (17) පෙරවරු 10.00ට ජනතා අයිතියට පත් කෙරේ. ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, තැපැල්පති රුවන් සත්කුමාර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පොලොන්නරුව ප්‍රධාන තැපැල් කාර්යාලයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමට නියමිතය. 2017 වර්ෂයේදී “පිබිදෙමු පොලොන්නරුව” ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුව තැපැල් සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද නමුත් 2019 වර්ෂය අවසානය වන විට ඉදිකර ගැනීමට හැකිව ඇත්තේ මෙම අලුතින් ඉදිකළ තැපැල් කාර්යාල ගොඩනැඟිල්ලට පිටුපසින් පිහිටා ඇති පරිපාලන සංකීර්ණය පමණි. ඒ අනුව 2024 වර්ෂයේදී ඉදිරිපස තිබූ පැරණි අබලන් ගොඩනැඟිල්ල කඩා ඉවත් කර රුපියල් මිලියන 69ක වියදමෙන් ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව මඟින් පොලොන්නරුව නව තැපැල් කාර්යාලය සඳහා මෙම ගොඩනැඟිල්ල ඉදිකර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීම මත පත්කරන ලද විශේෂඥයන්ගෙන් සැදුම් ලත් ස්වාධීන කමිටුවක් විසින් කෙටුම්පත් කරන ලද ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ පාසල් සිසුන්ගේ අදහස් යෝජනා ලබාගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

ඒ යටතේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මඟින් සංවිධානය කරන ලද වැඩමුළුවක් එම සංවිධානයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා මහතාගේ මෙහෙය වීමෙන් වැලිමඩ ජාතික පසෙලේදී පැවැත්විණි. වැලිමඩ ජාතික පාසලේ මාධ්‍ය කවය මඟින් කළ ඉල්ලීමකට අනුව මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණ. එහිදී ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සඳහා ඇතුළත් විය යුතු කරුණු සම්බන්ධව පාසල් සිසුහු අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.

වැලිමඩ ජාතික පාසලේ විදුහල්පති ආර්.එම්. තුසිතා රත්නායක, පාසලේ මාධ්‍ය අංශය භාර ආචාර්ය ප්‍රදීප් ජයලත් පීරීස් යන මහත්ම මහත්මීන් ඇතුළු ගුරු මණ්ඩලයේ සාමාජිකයන් ද මාධ්‍ය කවයේ සිසු දරු දැරියෝ පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter