නවතම පුවත්

 

ලෝක කාන්තා දිනය අද (08) යි.
“ඇය දැයේ අභිමානයයි” යන්න තේමා කර ගනිමින් මෙවර කාන්තා දින ප්රධාන සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී අද (08) පෙරවරු 10ට පැවැත්වේ.
ශ්රී ලාංකේය කාන්තාවන්ගේ අභිමානය සහ ප්රෞඪත්වය ජාතික හා ජාත්යන්තර වශයෙන් ඉහළට ඔසවා තැබීමට දායක වූ කාන්තාවන් සිවුදෙනකුට අද (08) මෙම උත්සවයේදී ප්රණාමය පුද කරනු ලැබේ.
ඒ අනුව ආචාර්ය සුජාතා අත්තනායක, කලාසූරී ශ්රියානි අමරසේන, අනුලා ද සිල්වා, රශ්මි නිමේෂා ගුණවර්ධන මහත්මීහු මෙහිදී ප්රණාමයට පාත්ර වේ.
මෙම සැමරුම් උත්සවය රජයේ මුදල් සත පහක් වියදම් නොකර එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ඇතුළු විවිධ බාහිර පාර්ශ්වයන්ගේ පූර්ව දායකත්වයෙන් පැවැත්වෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
දිස්ත්රික්ක මට්ටමින් හොඳම ව්යවසායක කාන්තාවන් බවට පත් වූ 25 දෙනකු තෝරා ත්යාග සහ සහතික පත් ප්රදානය කිරීමට ද කටයුතු යොදා තිබෙන බවත් ඇය කීවාය

විද්‍යුත්  පාපැදි, යතුරුපැදි හා ත්‍රිරෝද රථ එකලස් කරන මින්නේරියේ වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් නව කර්මාන්ත ශාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) විවෘත කළේය. විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට එක් වූ ජනාධිපතිවරයා රිය එකලස් කිරීමේ ක්‍රියාවලියේ මෙහෙයුම් පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු විමසූ අයුරු සේයාරුවෙන් දැක්වේ

2023 මාර්තු 01වැනිදාට යෙදෙන පළමු " ලෝක මුහුදු තෘණ දිනය" සමරමින් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

පරිසර අමාත්‍යංශ ශ්‍රවනාගාර පරිශ්‍රයේ දී පැවති මෙම උත්සවයට පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා , තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, පරිසර අමාත්‍යංශ ලේකම්, තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, දෙස් විදෙස් පරිසර ක්‍රියාකාරීන්, පාසැල් සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ

 
ගොවිජන සංවර්ධන පනත හා කුඹුරු ඉඩම් පනත කාලයට ඔබින පරිදි සංශෝධනය කිරීමේ අවශ්යතාව ජනපති පෙන්වා දෙයි.
ආයෝජන තොරතුරු අවශ්ය ඕනෑම පාර්ශවයක් වෙත පහසුවෙන් හා කඩිනමින් ලබා ගත හැකි වන පරිදි ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා උපදෙස් දුන්නේය.
මෙරට ආයෝජන අවස්ථා දිරි ගැන්වීම සහ ප්රවර්ධනය එහි අරමුණ වන අතර ඒ තුළින් නව ආයෝජන අවස්ථා පහසුවෙන් හඳුනාගැනීමට ආයෝජකයින්ට අවස්ථාව උදාවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.
ආයෝජන ප්රවර්ධනය සඳහා ඉදිරිපත් කර ඇති 2023 අයවැය යෝජනා ක්රියාත්මක කිරීම සහ ඉඩම් කාර්යක්ෂමව භාවිතය පිළිබඳ 2023 අයවැය යෝජනා ක්රියාත්මක කිරීමේ ප්රගතිය සමාලෝචනය සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.
රජයේ ආයතන හා දෙපාර්තමේන්තු සතුව භාවිතයට නොගෙන පවතින රජය සතු ඉඩම් ප්රමාණය කඩිනමින් හඳුනා ගැනීම සහ එම හඳුනාගත් ඉඩම් පිළිබඳව තොරතුරු ඇතුළත් දත්ත බැංකුවක් ස්ථාපිත කිරීමේ අවශ්යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
හඳුනාගත් ඉඩම් කාර්යක්ෂමව භාවිතා කිරීම සඳහා ආර්ථිකමය වශයෙන් ඵලදායී ක්රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමටත්, ඒ සම්බන්ධව අවශ්ය තීරණ ගැනීමට කමිටුවක් පත් කිරීමටත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් උපදෙස් දෙනු ලැබීය.
ගොවිජන සංවර්ධන පනත හා කුඹුරු ඉඩම් පනත කාලයට ඔබින පරිදි සංශෝධනය කිරීමේ අවශ්යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ අනුව වගා කළ හැකි කුඹුරු ඉඩම් නැවත වගා කිරීමටත් අනෙකුත් කුඹුරු ඉඩම්වල වෙනත් භෝග වගාකීරීමට හැකි වන පරිදි අදාල අනපනත් සංශෝධනය කිරීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ක්රමෝපායික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් චාන්දනී විජේවර්ධන යන මහත්ම මහත්මීහු සහ රේඛීය ආයතන ප්රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මැතිවරණයක් පවත්වා අවසන් වන තෙක් ජනාධිපති හෝ අගමැති ධුරවල වෙනසක් සිදුනොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රටේ ප්‍රශ්න නිරාකරණය සඳහා මේ අවස්ථාවේ ප්‍රමුඛතාව ලබාදිය යුතුය. මුදල් පවතින්නේ නම් පළාත් පාලන ඡන්දය පැවැත්වීමට රජය මැලි නොවේ. පවතින රාජ්‍ය මුල්‍ය අර්බුදය පිළිබඳව භාණ්ඩාගාර ලේකම්වරයා දැනටමත් අධිකරණය දැනුවත් කර තිබේ. ඒ අනුව අධිකරණය ලබා දෙන තීන්දුව මත රජය ක්‍රියා කරන බව අමාත්‍යවරයා පැවසුවේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද එක් වෙමිනි.
කොළඹ පසුගියදා පැවති උද්ඝෝෂණයේදී ආරක්ෂක අංශවලට අවම බලය යොදා ගැනීමට සිදු වුයේ අධිකරණය ලබා දී තිබු නියෝගයට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී සඳහන් කළේය.

 

රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, වසර 25කින් “සංවර්ධිත රටක්” ගොඩනැඟීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සියලුදෙනාට ආරාධනා කළේය.
සිය දේශපාලන කටයුතු නවත්වා තමා සමඟ එක්වන ලෙස කිසිවෙකුට නොකියන නමුත් වැටී ඇති රට ගොඩගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එදිරිවාදිකම් අමතක කර සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ රාජකීය විද්යාලයේ අද (22) පෙරවරුවේ පැවති උත්සවයට එක් වෙමිනි.
කොළඹ රාජකීය විද්යාලයේ ආදි සිසුන් වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත උපහාර පිළිගැන්වීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
රාජකීය විද්යාලයේ විදුහල්පති ආර්.ඒ. රත්නායක මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සහ අග්රාමාත්යවරයා වෙත උපහාර තිළිණ පිළිගැන්වීය.
අධිෂ්ඨානශීලි බව සහ අභියෝග භාර ගැනීමේ ශක්තිය තමා රාජකීය සිසුවෙකු ලෙස ලැබූ පන්නරය බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා තමා ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ රටේ ආර්ථිකය යළි ගොඩනඟනවා සේම ශ්රී ලංකාව ලෝකයේ පිළිගත් රටක් ලෙස ඉදිරියට ගෙන යාමේ දැඩි අධිෂ්ඨානය ඇතිව බව ද කියා සිටියේය.
කුමන බාධක හමුවේ වුවද එම වැඩපිළිවෙළ නවතා නොදමන අතර රටේ ආර්ථිකය යළි ප්රකෘතිමත් කර ගැනීම සඳහා අවශ්ය වැඩපිළිවෙළ මේ වන විට ක්රියාවට නංවා ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
රටේ ආර්ථික ප්රකෘතිමත්භාවය ඇති කිරීම මෙන්ම ජාතික සංහිඳියාව ගොඩනැංවීමේ වගකීම ද සියලුදෙනා එක්ව ඉටු කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
රාජකීය විද්යාලයේ ශිෂ්ය නායකයන් විසින් සිදු කළ ආරාධනාව අනුව අද මම මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙම විදුහලේ අධ්යාපනය ලැබූ මාව සහ අග්රමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාව අද මෙම තත්ත්වයට හැඩ ගැස්වීම පිළිබඳව මෙම පාසලේ හිටපු විදුහල්පතිවරුන්ට සහ ආචාර්ය මණ්ඩලයට මම ස්තූතිවන්ත විය යුතුයි. දිසා බණ්ඩාරනායක, එච්.ඩී. සුගතපාල, රාජකීය ප්රාථමික අංශයේ ප්රධානීන් වූ ඩඩ්ලි සිල්වා සහ බෝගොඩ ප්රේමනාත් යන ගුරුවරුන් අපි අදත් සිහිපත් කරන්නේ මහත් ගෞරවයෙන් යුතුවයි.
ඒ වගේම රාජකීය විද්යාලයේ නාමය සුරැකීම වෙනුවෙන් මා සමඟ එක්ව සටන් කළ රාජකීය විද්යාලයේ ආදි ශිෂ්ය සංගමයේ සාමාජිකයකු වන ඩයන් පීරිස් මහතාට සහ අපට සහාය දුන් අනෙකුත් සියලුම සාමාජිකයින්ට මම මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා.
එසේ නොවුනා නම් අද රාජකීය විද්යාලයට වෙනත් නමක් ලැබීමට තිබුණා.
ඒ වගේම මම සහ අග්රාමාත්යතුමා අද මෙම ස්ථානයට සහභාගි වීම තවත් සුවිශේෂි සිදුවීමක් වනුයේ එතුමත්, මමත් රාජකීය විද්යාලයේ එකම පන්තියේ අධ්යාපනය ලැබීම නිසයි.
දේශපාලන කරළියේ රාජකීය විද්යාලයේ ඉතිහාසය ඉතා ඈතට දිව යනවා. කොළඹ ඇකඩමිය ආරම්භ වී වසර කිහිපයකට පසු එහි කැපී පෙනෙන සිසුන් කිහිප දෙනෙකු ව්යවස්ථාදායක සභාවේ සාමාජිකයින් බවට පත් වුණා. සී. ඒ. ලෝරන්ස් සහ ජේම්ස් ද අල්විස් යන දෙදනාම කවුන්සිලයේ වැඩි බලයක් ලැබූ අයයි. නයිට් පදවිය දැරු ප්රථම ආසියාතිකයා වූ ශ්රීමත් රිචඩ් මෝගන් මහතා විධායක කමිටු සාමාජික, වැඩබලන නීතිපති මෙන්ම වැඩබලන අගවිනිසුරු සහ ශ්රීමත් මුතුකුමාරසාමි යන හතර දෙනාම එවකට මෙරට දේශපාලන භූමිකාවේ ආධිපත්ය දැරු අයයි.
ඒ වගේම ශ්රී ලාංකිකයන් විසින් තෝරා පත් කර ගනු ලැබූ පළමු මන්ත්රිවරයා වූ ශ්රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා මෙන්ම ඔහුට පරාජය වු ශ්රීමත් මාකස් ප්රනාන්දු ද රාජකීය විද්යාලයේ ආදි සිසුන් වුණා.
ශ්රී ලංකාව ස්වාධීන ජාතියක් වන බවට තීරණය කරනු ලැබුවේ 1915 කැරැල්ලෙන් පසුවයි. මේ පාසලේ ආදි ශිෂ්යයෙකු වූ හෙන්රි පේද්රිස් මහතා බ්රිතාන්යයන් විසින් මරණ දණ්ඩනයට ලක් කිරීමත් සමඟ ශ්රී ලංකාව ස්වාධීන ජාතියක් බවට පත් කිරීමේ සටන ආරම්භ වුණා. එවකට ශ්රීමත් පොන්නම්බලම් රමනාදන් මහතා ව්යවස්ථාදායක සභාවේදී හෙන්රි පේද්රිස් මහතා වෙනුවෙන් කන්නලව් කළේ ඔහු ද රාජකීය විද්යාලයේ ආදි සිසුවෙකු වූ නිසයි.
ඒ වගේම ඊ.ඩබ්ලිව්.පෙරේරා සහ ශ්රීමත් ජේම්ස් පීරිස් එංගලන්තයට ගියේ සිංහල බෞද්ධ නායකයන් වෙනුවෙන් පෙනී සිටීමටයි. ඔවුන් ද රාජකීය විද්යාලයේ ආදි ශිෂ්යයින් වූ අතර එවිට 1915 කැරැල්ලේ ශ්රී ලංකා පාර්ශ්වයේ ප්රධාන චරිත සියල්ල රාජකීයන් වුණා. අග්රාමාත්ය ශ්රීමත් ජෝන් කොතලාවල මහතා ද මෙම රාජකීය විද්යාලයේ ආදි සිසුවෙක් බව සිහිපත් කළයුතුයි.
අද වන විට මෙම රාජකීය විද්යාලය ජනාධිපතිවරු දෙදෙනෙක් සහ අග්රාමාත්යවරු සිව් දෙනෙක් රටට දායාද කර තිබෙනවා. මෙය පාසලේ කැපී පෙනෙන වාර්තාවක්.
ඊට අමතරව මාලදිවයිනේ සුල්තාන්වරයෙකු වූ මාලදිවයින නවීකරණය කළ මුහම්මද් ෆරීඩ් ඩිඩි මෙම රාජකීය විද්යාලයේ වසරක් පමණ අධ්යාපනය ලැබුවා. ඒ වගේම මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු වූ මවුමුන් අබ්දුල් ගයුම් වසරක් හෝ ඊට වැඩි කාලයක් රාජකීය විද්යාලයේ අධ්යාපනය හදාරා තිබෙනවා. මේ සියලුදෙනාටම තම රට නවීකරණය කිරීමේ පුරුද්ද ඇති වී තිබෙන්නේ මෙම රාජකීය විද්යාලයෙන් බව මම විශ්වාස කරනවා.
ඒවගේම මෙම විද්යාලය තවත් වාර්තාවක් තබා තිබෙනවා. ඒ පළමු ජනරජ ව්යවස්ථා සම්පාදනය කළේද පැරණි රාජකීයයෙකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා වූ නිසයි. ඒ වගේම දෙවන ජනරජ ව්යවස්ථාව සම්පාදනය කළේ ඔහුගේ පන්තියේ මිතුරෙකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතායි.
රාජකීය විද්යාලය කෙතරම් හොඳට එම රාජකාරිය ඉටුකර තිබෙනවාද කිවහොත් එය වෙනස් කිරීමට කිසිවෙකුට හැකි වී නැහැ.
ඒ වගේම අග්රමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා, ඒ වගේම දිවංගත අනුර බණ්ඩාරනායක, මලික් සමරවික්රම සහ මම මෙම පාසලට තවත් වාර්තා එක් කර තිබෙනවා. එනම් අප අතරින් දෙදෙනෙකු ජනාධිපති ධූරය හොඹවා ඇති අතර ඇතැමුන් අග්රාමාත්ය ධූරය හොඹවා තිබෙනවා. එක් අයෙකු කථානායක ධූරය හෙඹ වු අතර තවත් දෙදෙනෙක් සභානායක ලෙස සිට තිබෙනවා. ඒ වගේම තවත් දෙදෙනෙක් විපක්ෂනායක තනතුර හොඹවා තිබෙනවා.
රාජකීය විද්යාලයේ ආදි සිසුන් ලෙස අප මෙම ජයග්රහණ ලබාගත් බව කිව යුතුයි. අද වත්මන් සිසුන් ලෙස ඔබ මීට වඩා ජයග්රහණය ලබාගනු ඇතැයි මම විශ්වාස කරනවා. වාර්තා තිබෙන්නේ ඉදිරියට ගෙන යාම සඳහා නොවෙයි. ඒවා බිඳ දමමින් නව වාර්තා බිහි කළ යුතුයි.
අද මම ඔබ අමතන්නේ අපි රටක් ලෙස ඉතා අසීරුතාවකට පත්ව ඇති මොහොතකයි. පසුගිය වසර 400ටම මෙවන් තත්ත්වයක් රට තුළ උදා වී නැහැ. අද අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටී තිබෙනවා. මම පොදු ආර්ථික කරුණු ගැන මෙතන කථා කරන්නේ නැහැ. නමුත් මෙම තත්ත්වය ඔබ සියලුදෙනාටම බලපානවා. මේ රටේ සෑම නිවසකටම ඉන්ධන හිඟය, විදුලි බලය නැතිවීම සහ ගොවිතැනට අවශ්ය පොහොර නොලැබීම බදු වැඩිවීම වගේම උද්ධමනය ඉහළයාම නිසා ගැටලුවලට මුහුණදීමට සිදුව තිබෙනවා.
මම රට භාරගන්නා අවස්ථාවේ රටේ සමස්ථ ආර්ථිකයම කඩා වැටිලයි තිබුණේ. මම ජනාධිපති ධූරය භාර ගන්නා විට අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්රාමාත්ය ධූරයේ වගකීම භාරගත්තා. අපේ යුතුකම වුණේ පළමුව රට ගැන සිතීමයි. ඒ අනුව රටේ ආර්ථිකය නැවත ගොඩනැඟීමට වගේම ලෝකයේ පිළිගත් රටක් ලෙස ශ්රී ලංකාව ඉදිරියට ගෙන යාමට අවශ්ය ඕනෑම තීරණයක් වසරක් තුළ ගන්නවා කියන අධිෂ්ඨානය මම ඇති කර ගත්තා.
එය අසීරු කාර්යයක්. නමුත් රට බංකොළොත් රටක් ලෙස තවදුරටත් ඉදිරියට ගෙන යාමට මම කැමැති නැහැ. මේ රටේ ජනතාව දුක් විඳිනවා බලා සිටීමට මම කැමති නැහැ. අපි නැවත නැඟි සිටිය යුතුයි, වගේම රටේ ආර්ථික පුනර්ජීවනයක් ඇති කළ යුතුයි. මම මේ සෑම තීරණයක්ම ගනු ලැබුවේ ඒ සඳහායි. අග්රමාත්යවරයාත් ඒ සඳහා මට සහාය ලබා දුන්නා.
නමුත් මම දැනගෙන සිටියා මට ගැනීමට සිදුවන ඇතැම් තීරණ අසීරු තීරණ වෙයි කියලා. එම තීරණ නිසා මට බැණුම් අහන්න වෙයි කියලා. එහෙත් මෙම තීරණ ගන්නේ නැතිව රට ගොඩනැංවීමට නොහැකියි.
අභියෝග භාර ගැනීම මෙන්ම නිවැරදි දේ සහ රටට හිතකර දේ කිරීමට මම මේ රාජකීය විද්යාලයෙන් ඉගෙන ගෙන තිබෙනවා. ඒ වගේම යම් තීරණයක් ගන්න කළින් මම වරක්, දෙවරක් නොව තෙවරක්ම ඒ පිළිබඳ සිතා බලා තිබෙනවා. එයින් ජනතාවට සිදුවන බලපෑම කුමක්ද, ඒ වගේම මම කොපමණ අප්රසාදයට ලක් වෙයිද, ඒ නිසා මේ තීරණය ගතයුතුම ද කියා මම සිතනවා. නමුත් රටේ යහපත වෙනුවෙන් සහ රටේ ආර්ථිකය නැවත ගොඩනැඟීම වෙනුවෙන් එම අසීරු තීරණ ගැනීමට මට සිදු වණා.
අපට බංකොළොත් රටක් ලෙස ඉදිරියට යා නොහැකියි වගේම හිඟන රටක් වෙන්න බැහැ. ඒ නිසා අපිට අසීරු තීරණ ගැනීමට සිදුවුණා. නමුත් මෙම වසර ඇතුළත අපි අපේ රටේ ආර්ථික තත්ත්වයේ යම් ප්රගතියක් ඇති කරගන්නවා කියා මම ඔබට සහතික වෙනවා.
අපි මේ වන විට රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා අවශ්ය අඩිතාලම දමා තිබෙනවා. නමුත් ඒ රට බංකොළොත් කරන පැරණි ක්රමවේදයට අනුව නොවෙයි. රට ගොඩනංවන නව ක්රමවේදයක් අනුවයි.
නිදහසින් පසු ශ්රී ලංකාව දෙවැනි වුණේ ජපානයට පමණයි. ශ්රී ලංකාව මිළග සිවිස්ටර්ලන්තය වන බවට අනවැකි පළ වී තිබුණා. නමුත් අවාසනාවකට අද අපිට පහළින් ඉන්නේ ඇෆ්ගනිස්ථානය පමණයි. අපි අපේ රටේ ඉදිරි සැලසුම් සකස් කළ යුත්තේ ඊළග වසර 25ට සරලින අන්දමිනුයි. ඒ වගේම අපි නව ව්යවස්ථාවක් සකස් කරන විට එය සකස් කළ යුත්තේ තවත් වසර 100කට ගැළපෙන අයුරින්.
අපි රටේ අනාගතය ගොඩනැඟිය යුත්තේ අපි වෙනුවෙන් නොවෙයි. මෙතන සිටින අපි කිසිවෙක් තව වසර 25ක්වත් ජීවත් වන්නේ නැහැ. මේ අනාගතය ගොඩනඟන්නේ ඔබ වෙනුවෙනුයි. මෙහි ඉදිරිපෙළ සිටින බොහෝ දෙනෙකුට තවත් වසර 25ක් යන විට වසර 45ක් වත් සම්පූර්ණ වන්නේ නැහැ. ඉන් පිටුපස අසුන්වල සිටින ඊට වඩා ජ්යෙෂ්ඨ සිසුන්ට තව අවුරුදු 25කින් වසර 40ක් සම්පූර්ණ වෙයි. ඉතින් ඔබ තමයි අනාගතයේ මේ රටේ ජීවත් වන්නේ. ඒ නිසා ඔබ තීරණය කළයුතුයි අපි මොනවගේ රටකද ජීවත් වන්නේ කියා. ඔබ එම අභියෝගය භාර ගෙන රටේ ඉදිරි අනාගතය සැලසුම් කළයුතුයි.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්රකාශ කළා වගේ “ඔබ තීරණය කළයුතුයි මේ රටේ අනාගතය”. නමුත් අද ඔබ අතරින් බොහෝ දෙනෙක් සිටින්නේ පිට රටකට යා යුතුයි කියන අදහස ඇතිවයි. ඔවුන් අනාගතය දකින්නේ රටින් පිටවිය යුතුයි කියන තැන සිට. නමුත් ඔබ රාජකීය සිසුන් බව අමතක නොකළ යුතුයි.
අපි සාර්ථකවත්වය ලබා ගැනීම සඳහා නැවත සටන් කළ යුතුයි. අපේ වටිනාකම් රැක ගැනීමට නම් අපි තනිවමත්, කණ්ඩායමක් ලෙසත් සටන් කළයුතුයි. ඉතින් ඔබෙන් කොටසක් අධ්යාපනය සඳහා පිට රට යයි. තවත් පිරිසක් මෙහි රැඳි සිටි. නමුත් ඔබව පිරිපුන් මිනිසුන් බවට පත් කළේ රාජකීය විද්යාලය බව ඔබ මතක තබාගත යුතුයි.
මම රාජකීය විද්යාලයෙන් අධ්යාපනය ලැබුවා. ඒ වගේම මට උසස් අධ්යාපනය සඳහා පිට රටකට යාමට හැකියාව තිබුණා. මගේ පියාටත් අවශ්ය වුණේ එයයි. නමුත් මම මේ රටේම සිටීමට තීරණය කළේ මට මගේ රට වටින නිසයි. ඉතින් මම පාසලෙන් ඉවත් වූවායින් පසු පිට රටකට ගියේ නැහැ. මම මේ රටේම සිටම උසස් අධ්යාපනය හැදෑරුවා. මම මගේ රටට ණයගැතියි. මගේ අධ්යාපනයට වියදම් කළේ මේ රටයි. ඒ වගේම මම රාජකීය විද්යාලයට ආදරෙයි.
ඒ වගේම අග්රාමාත්යතුමා උසස් අධ්යාපනය සඳහා පිට රට ගියත් රට වෙනුවෙන් ඔහුගේ වගකීම සහ යුතුකම අමතක කළේ නැහැ. ඒ නිසා ඔහු උසස් අධ්යාපනයෙන් පසු නැවත රටට පැමිණියා. ඔබ සියලුදෙනාත් කළ යුත්තේ එයයි.
ඔබ සියලුදෙනා මෙම පාසලට පැමණීමට වරම් ලැබුවත් එම අවස්ථාව අහිමි වූ සිය ගණනක් සිටිනවා. ඒ සියලුදෙනා අතරින් මේ පාසල ඔබව තෝරා ගත්තා. ඒ නිසා ඔබට වගකීමක් තිබෙනවා මේ රටේ සිට රට ගොඩනැඟීමට දායක වීමට.
රාජකීය සිසුන් ලෙස ඔබ එම අභියෝගය භාර ගැනීමට සූදානම් ද ? ඔබගේ කාර්යභාරය එයයි. ඔබ සියලුදෙනාටම රට වෙනුවෙන් ඉටු කිරීමට කාර්යයන් දෙකක් තිබෙනවා. එකක් තමයි රටේ ආර්ථිකය ගොඩනැගීම. අනෙක තමයි ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම.
අපිට ජාති, ආගම් වශයෙන් බෙදිය නොහැකියි. රාජකීයන් එලෙස බෙදෙන්නේ නැහැ. ඔබ සියලුදෙනා උසස් අධ්යාපනය ලබා නැවත මේ රටට පැමිණ ඔබගේ සමාජ වගකීම භාරගෙන රටේ ඉදිරි ගමන වෙනුවෙන් හැකි උපරිමයෙන් දායක විය යුතුයි. ඔබ ඉහළම තනතුරක සිටියත් තමන්ගේ සාමාන්ය ව්යාපාරයක නිරත වුවත් එය ඔබගේ උපරිම කැපවීමෙන් සිදු කළ යුතුයි.
ඒ වගේම මම සියලු ආදි රාජකීයන්ට ආරාධනා කරනවා සියලු එදිරිවාදිකම් අමතක කර මේ රට ගොඩනැඟීමට එක් වන්න කියා. දේශපාලනයේ නිරත කිසිවෙකුට මම කියන්නේ නැහැ තම දේශපාලන ගමන නතර කර මා සමඟ එක්වන ලෙස. එහෙත් දේශපාලනඥයන්, ව්යාපාරිකයන් කෘෂිකර්මාන්තයේ යෙදෙන අය, විද්වතුන්, ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු සියලුදෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ රටේ වැටී ඇති ආර්ථිකය ගොඩඟන තුරු එකට එක්ව කටයුතු කරමු කියලයි.
එමෙන්ම සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන්, පොලිසිය, රාජ්ය සේවකයන්, ගුරුවරුන් සියලුදෙනාගෙන් මේ රට ගොඩනැංවීමට එක්වන ලෙස මම ඉල්ලා සිටිනවා. එය තමයි අපි සියලුදෙනා එක්ව ජයගත යුතු අභියෝගය වන්නේ.
මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව රාජකීය විද්යාලයේ විදුහල්පති ආර්.ඒ. රත්නායක මහතා විසින් සිදු කළ අතර ස්තූති කතාව ප්රධාන ශිෂ්ය නායක කවීෂ රත්නායක විසින් සිදු කරනු ලැබීය.
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන, අමාත්යවරුන් වන විදුර වික්රමනායක, කංචන විජේසේකර, රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන රවුෆ් හකීම්, ගෙවිදු කුමාරතුංග, ප්රියංකර ජයරත්න, දුමින්ද දිසානායක, මහින්දානන්ද අලුත්ගමගේ, ඩිලාන් පෙරේරා, යදාමනි ගුණවර්ධන, කාවින්ද ජයවර්ධන, නිපුන රණවක යන මහත්වරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සඳහා ඩීසල් සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන 46 ක මානුෂීය ප්රදානයක් සිදුකිරීමට ජපාන රජය කටයුතු කර තිබේ.
ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද (22) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ සිදු විය.
මුදල් අමාත්යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) යන මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ.
මෙම ගිවිසුම අනුව ජපාන රජය ඩීසල් ලීටර් මිලියන 20ක් ශ්රී ලංකාවට ලබාදීමට නියමිත අතර වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ්රී ලංකාවේ වෛද්ය සේවා පහසු කිරීම උදෙසා මෙම මානුෂීය ආධාරය සිදු කර තිබේ.

 
මෙරට පළමු විදෙස් පක්ෂි උද්යානය සහ පාරිසරික සංචාරක කලාපය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් අද විවෘත වුණා.
ඒ මහනුවර හන්තාන ප්රදේශයේදීයි.
මෙම විදෙස් පක්ෂි උද්යානය සහ පාරිසරික සංචාරක කලාපය මෙම මස 23 වනදා දක්වා මහජනතාව සඳහා විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මෙය රුපියල් මිලියන 490 ක වියදමකිනුයි සාදා ඇත්තේ.
විදෙස් රට වලට ආවේණික හා සංචාරක පක්ෂි වර්ග සියයකට අධික සංඛ්යාවක් මෙම ස්ථානයේදී දැක ගැනීමට හැකියාව තිබෙනවා

 
ඓතිහාසික මහනුවර නගරය විධිමත් ලෙස පුර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.
කටුගස්තොට දක්වා දිවෙන මධ්යම අධිවේගී මාර්ග ව්යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා ඒ අනුව පියවර ගැනෙනු ඇත.
කටුගස්තොට, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්රදේශ කේන්ද්ර කරගනිමින් විශේෂ සංවර්ධන සැළැස්මක් සකස් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, මහනුවර දිස්ත්රික් සංවර්ධන කමිටුව, දිස්ත්රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ නගර නිර්මාණ ක්ෂේත්රය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට ද නියමිතය.
මෙම කමිටුව සෑම මාස දෙකකටම වරක් රැස්වී ව්යාපෘතියේ ප්රගතිය සමාලෝචනය කිරීමට නියමිත බව කැබිනට් ප්රකාශක, ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඊයේ (19) රාත්රියේ වීථි සංචාරය කෙරුණු “ජනරජ පෙරහර” අවසන් වීමෙන් අනතුරුව අද (20) උදෑසන මහනුවර ජනාධිපති මන්දිරයේදී කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්විණි.

 

මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාළිගාවේ වසර තිස් හතරකට පසුව පවත්වන ලද ජනරජ පෙරහර අද (19) මහනුවර නගරයේ දී වීථි සංචාරය කෙරිණි.
එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සහ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණ.
මෙම පෙරහර සංවිධානය කර තිබුණේ 75 වන නිදහස් දින සැමරුමට සමගාමීවය.
අද පස්වරු 6.45ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වූ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට පිවිස, නැවත මාළිගාවට ගෙවදීමෙන් පෙරහරේ කටයුතු අවසන් විය.
අලි ඇතුන් සහ දළදා මාළිගාවේ මෙන්ම සතර මහ දේවාලවල නර්තන කණ්ඩායම් ඇතුළු සියලු පෙරහර සංස්කෘතිකාංගවලින් මෙම ජනරජ පෙරහර විචිත්රවත් විය.
සංචාරක ක්ෂේත්රයේ ප්රවර්ධනය ද අරමුණු කර ගනිමින් මෙය සංවිධානය කෙරුණු අතර පෙරහර නැරඹීම සඳහා අති විශාල ජනකායක් වීථි දෙපස රැස්ව සිටියහ .
රටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධානය කෙරේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ආචාර්ය බන්දුල ගුණවර්ධන, විදුර වික්රමනායක, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද අමරවීර, ආචාර්ය විජයදාස රාජපක්ෂ, අලි සබ්රි, මනුෂ නානායක්කාර, ජීවන් තොන්ඩමන්, රාජ්ය ඇමතිවරුන් දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න, ජාතික ආරක්ෂාව පිළිබඳව ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් ජනරාල් (විශ්රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්රධානී ජෙනරාල් ශවේන්ද්ර සිල්වා, යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරුන් ද තානාපතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter