නවතම පුවත්

ශ්‍රී ලංකාවට දී ඇති ණය ආපසු ගෙවීමට වසර දෙකක සහන කාලයක් දීමට සුදානම් බව චීන එක්සිම් බැංකුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියකින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම සඳහා ඇපකරයක් වශයෙන් චීනය විසින් මෙරටට දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ශ්‍රී ලංකාව පසුගිය සැප්තැම්බර් මාසයේ සිට චීනයෙන් කළ ඉල්ලීමට එක්සීම් බැංකුව මෙලෙස ප්‍රතිචාර දක්වා තිබේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන චීනයේ ස්ථාවරය IMF වෙත ඊයේ දැනුම් දීමට නියමිතව තිබිණි. සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සලකා බලන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීම සම්බන්ධයෙන් සුබ ආරංචියක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන බව ගිය සතිය මුලදී ශ්‍රී ලංකාවට පැමිණි චීනයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂෝ ද ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සුදානම් බව ඉන්දියාව පසුගිය 18 දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී තිබිණි. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඉන්දියාව එම සහතිකය ලබා දීමෙන් පසු ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ලෙස ඉන්දියානු විදේශ ඇමැති එස්. ජයිශංකර් මහතා අනෙකුත් ණය හිමි රටවලින් ඉල්ලා තිබිණි. ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමේ ප්‍රයත්නයන් සඳහා ඉන්දියාව සම්පූර්ණයෙන්ම සහාය දීමට කැමැත්තෙන් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ණය හිමි පැරිස් ක්ලබ් රැස්වීම ලබන සතියේ පැවැත්වීමට නියමිතය. අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකම් ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන අතර ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කරන බවට ලබා දෙන සහතිකය අනුව එම පහසුකම ලබා දීම පිළිබඳ එකඟතාවකට එළැඹීමට නියමිතය.

චීනය, ඉන්දියාව සහ ජපානය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් වේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමඟ පැවැත්වූ සාකච්ඡා මේ වන විට අවසන් වන අතර චීනයේ ප්‍රතිචාරය සුබවාදී වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සුබවාදී සහායක් ලබා දෙනු ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා විශ්වාසය පළ කළේය.

IMF මූල්‍ය ආධාර සඳහා අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සපුරාලිය යුතු තවත් ප්‍රධාන නිර්ණායකයක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සමාජ ආරක්ෂණ ජාලයක් හඳුන්වා දෙන ලෙස රජයෙන් ඉල්ලා තිබුණු බව කී ඇමතිවරයා

රජය දැනටමත් දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට සහන ලබා දීම සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර ඒවා ඇගයීමට ලක් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කර ඇති බවත් අවසන් වාර්තාව ලබන මාසය වන විට ලැබෙනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

මෙරට සිනමාවට අමිල මෙහෙවරක් ඉටු කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ආදරණිය බිරිඳ වන ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් ජනමාධ්‍ය ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද(19) සිය ශෝකය ප්‍රකාශ කළේය.

ඇය අවසන් මොහොත දක්වා ම සිනමාවට ආදරය කරමින්, සිනමාවේ ප්‍රගතිය සහ උන්නතිය වෙනුවෙන් තමාගේ ශ්‍රමය ධනය සහ හැකියාව කැප කළ බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය.

51 වන චිත්‍රපට සංස්ථාව පිහිටුවා 51වන සංවත්සරය සැමරීම වෙනුවෙන් පසුගිය සති කිහිපයේදී සුමිත්‍රා පීරිස් මහත්මිය තමා සමග සාකච්ඡා කළ බවත් එළඹෙන 20 වන දින රේඛාව චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට තමා සමග සාකච්ඡා කරමින් සිටි බවද අමාත්‍යවරයා පැවසීය.

හෙළ සිනමා වංශ කතාවේ නිම් වළලු පුළුල් කිරීම සඳහා පුරෝගාමී සේවයක් ඉටු කළ ලෙස්ටර ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ ලෙස ඇය සිනමාව ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමට කටයුතු කළ බව ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය. සියලු කලාකරුවන් සහ ජනතාව වෙනුවෙන් එතුමියගේ අභාවයට ශෝකය පළ කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

සීතාවක පුරවරයේ සංචාරයට නව මඟක් විවර කරමින් "සීතාවක ඔඩිසි " ගමන් අරඹයි.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක්‌ අනුව සීතාවක ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයින් අතර ජනප්‍රිය කලාපයක් බවට පත් කිරීමේ අරමුණින් ආරම්භ කෙරුණු "සීතාවක ඔඩිසි" සුඛෝපභෝගී සංචාරක දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (15) උදෑසන ගමන් ආරම්භ කළේ ය.

කොළඹ කොටුව සිට වග දක්වා ගමන් කෙරෙන මෙම දුම්රියේ ගමන් ගන්නා සංචාරකයින්ට ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන ගණනාවක් නැරඹීම සඳහා වැඩසටහනක්‌ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය හා ඒකාබද්ධව සැලසුම් කර ඇත.

දුම්රිය ගමන් ආරම්භ කිරීමේ සමාරම්භ අවස්ථාව ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යාදමිණී ගුණවර්ධන මහතා, මධුර විතාන මහතා, මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා ඇතුළු පළාත් පාලන ආයතන නියෝජිතයින්, දුම්රිය සාමාන්‍යාධිකාරි ඇතුළු නිලධාරීන්, අමාත්‍යංශයේ නිලධාරීන් සහ දෙස් විදෙස් සංචාරකයින් පිරිසක්ද එක්ව සිටියහ.

සීතාවක සංචාරක කර්මාන්තය නංවන්නට සති අන්ත විශේෂ සංචාරක දුම්රිය සේවයක් ජනවාරි පහළොස් වැනිදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සීතාවකපුර සංචාරක කලාප ප්‍රවර්ධනය වැඩසටහන පිළිබඳව පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. සීතාවකපුර උද්භිද උද්‍යාන ශ්‍රවණාගාරයේදී මේ සාකච්ඡාව පැවැත්විය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළේය.

 කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ඉතාමත් සුන්දරම පරිසර පද්ධතිය වන්නේ කැලණි මිටියාවත ආශ්‍රිතව පවතින සීතාවක නිම්නයයි. සීතාවක රාජධානි ප්‍රදේශය සතුව විශාල ඓතිහාසික වැදගත්කමක් මෙන්ම පාරම්පරික සටන් කලා, පුරාවිද්‍යාත්මක ස්ථාන වැනි සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන රාශියක් ද පවතිනවා. එම නිසා මේ වැදගත්කම පිළිබඳව කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල ජනතාව තවදුරටත් දැනුම්වත් කිරීමත් ඉතාමත් වැදගත්. එවිට ඔවුන් තුළ මේ ප්‍රදේශයේ නැරඹීම සඳහා වැඩි උනන්දුවක් ඇති කළ හැකියි. ප්‍රදේශය තුළ දැනට පවතින සංචාරක කර්මාන්තය තුළින් අලුත් ආයෝජන ක්ෂේත්‍රයක් බිහි වී තිබෙනවා.

එම සංචාරක කර්මාන්තය වඩාත් ක්‍රමානුකූලව වර්ධනය කිරීම වෙනුවෙන් කැලණි මිටියාවතේ දුම්රිය මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් නව ව්‍යාපෘතියක් එළඹෙන පහළොස් වැනිදා සිට ආරම්භ කිරීමට අප කටයුතු කරනවා.

දැනට දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන ඇල්ල ඔඩිසි, කැන්ඩි ඔඩෙසි වැනි සංචාරක දුම්රිය මේ වන විට සපුරාගත නොහැකි ඉල්ලුමක් ඇති තත්ත්වයට වර්ධනය වී තිබෙනවා. එවැනිම ආකාරයේ සතිඅන්ත සංචාරක දුම්රිය සේවයක් සීතාවක ඔඩෙසි නමින් ආරම්භ කරනවා. කොළඹ සිට වග දක්වා එම දුම්රියෙන් පැමිණෙන මගීන්ට එතැන් සිට ලංගම හා පුද්ගලික ඒකාබද්ධ ප්‍රවාහන සේවයක් මඟින් සංචාරක සේවය සැපයීමට කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ නියෝජිතයින්, දුම්රිය දෙපාර්තමේන්තුවේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ ව්‍යාපෘතියට අදාළ අනෙකුත් ආයතන රැසක නියෝජිතයින්, ප්‍රදේශීය පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ලංකාවේ වන ආවරණය 16%ක් දක්වා අඩු වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව වන සංරක්ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර මහතා සඳහන් කළේය.

අදාළ මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙන අතර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ උපදෙස් පරිදි කළ විමසීමකදී වන සංරක්ෂක ජනරාල්වරයා මේ බව අවධාරණය කළේය.

වන ආවරණය පිළිබඳ තක්සේරුව සිදු කරනු ලබන්නේ වසර පහකට වරක් වන අතර 2020 වර්ෂයේ සිදු කළ සංගණනය මෙම වසරේ ජූනි මාසයේදී අවසන් කිරීමට නියමිත බවත් 2015 වර්ෂයේ දී සිදුකළ සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර මුළු භූමි ප්‍රමාණයෙන් 29.15%ක් (හෙක්ටයාර් 1,912,970) වූ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රට තුල ක්‍රියාත්මක වන නොයෙකුත් සංවර්ධන කටයුතු සහ වෙනත් මානව ක්‍රියාකාරකම් නිසා වනාන්තර ප්‍රමාණයේ යම් අඩු වීමක් සිදුව ඇති නමුත් මාධ්‍ය වාර්තාවල සඳහන් පරිදි වනාන්තර ප්‍රමාණය 16% ක් දක්වා අඩුවීමක් කිසිසේත් සිදුවී නොමැති බව ද වන සංරක්ෂක ජනරාල්වරයා පැවසිය.

මාධ්‍ය වාර්තා අනුව අද වන විට ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය මුළු භූමි ප්‍රමාණයෙන් 16% ක් නම් රටෙහි පවතින වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 1,040,000 විය යුතු බවත්, එනම් 2015 සිට වසර හත තුල වනාන්තර හෙක්ටයාර 872,970 ක් විනාශ වී තිබිය යුතු බවත් පෙන්වා දෙන ඒ මහතා එය වසරකට හෙක්ටයාර 124,710 ක් වන අතර දිනකට හෙක්ටයාර 341ක වන විනාශයක් වියයුතු බව ද සඳහන් කළේය.

වනාන්තර පිළිබඳ දත්ත ඉදිරිපත් කිරිමේ දී වනාන්තර තක්සේරු කරන ලද ආකාරය විස්තර කළ යුතු අතර එහිදී වනාන්තර නිර්වචනය, වනාන්තර ප්‍රමාණය තක්සේරු කිරීමේ ක්‍රමවේදය, වනාන්තර ප්‍රමාණය තක්සේරුව යන මූලික කරුණු දැක්විය යුතු වුවත් වන ආවරණය අඩුවී ඇති බව සඳහන් කර තිබූ මාධ්‍ය වාර්තාවල අදාළ දත්ත ලබාගත් කිසිදු මූලාශ්‍රයක් දක්වා නොමැති බවත් වන සංරක්ෂක ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

තවද මාධ්‍ය වාර්තාවල දැක්වෙන අන්දමේ විශාල වන විනාශයක් සිදුවේ නම් එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම ගුවනින් වනාන්තර නිරීක්ෂණය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආදී ආයතන මගින් නිරීක්ෂණය කළ යුතුය. නමුත් මෙවැනි විශාල වන විනාශයන් මෙම කිසිඳු ආයතනයක් වෙත වාර්තා වී නොමැත. තවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනාන්තර සිතියම් යාවත්කාලීන කරමින් සිටින බවත් එම කටයුතු වලදී ද මෙවැනි වන විනාශයක් නිරීක්ෂණය වී නොමැති බවත් වන සංරක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

විදේශිය ආක්‍රමණ හේතුවෙන් රටට ඔරොත්තු නොදෙන ආර්ථික සමාජ ක්‍රමයක් බිහි වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. 75 වන නිදහස් දිනයට සමගාමිව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. පාසල් සිසුන් හා ගුරුවරුන් දැනුවත් කිරිම එහිදි සිදු කෙරිණ. රටේ අනාගතය භාර ගත යුත්තේ දරුවන්ය. අධ්‍යාපනය පමණක් නොව අනෙකුත් කුසලතා ද දරුවන් තුළ පවතී. තමා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි කාලයේදි තාක්ෂණික විෂය ධාරාව පාසල් වලට හදුන්වා දුන් බව අමාත්‍යවරයා කීවේය. නිදහසින් පසු රටට හිමිවූයේ දේශපාලන නිදහසයි. එමගින් ආර්ථික නිදහස ගොඩනගා ගත යුතුව තිබිණි. එහෙත් යටත්විජිත සමයේ බිහි වූ වැවිලි ආර්ථික ක්‍රමයෙන් මිදිමට අපට නොහැකි වූ බව ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.
මෙහිදි අදහස් දැක්වු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා සදහන් කළේ ඉදිරි වසර විසිපහක කාලය තුළදී රට ගොඩනැගීමේ කාර්යභාර්ය වත්මන් දරු පරපුර වෙත පැවරී ඇති බවයි. රට ඉදිරියට ගෙනයාමට නම් විනය. කැපවීම ආකල්ප හා ශ්‍රී ලාංකිකයන් ලෙස නැගී සිටිීමේ ඇති වැදගත්කමද ඒ මහතා පෙන්වා දුන්නේය.

2023 වර්ෂයේ සිදුකෙරෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ අනුරාධපුරය ජයශ්‍රී මහා බෝ සමිදුගේ ආශිර්වාදයත්,රුවන්වැලි මහ සෑ රඳුන්ගේ ආශිර්වාදය ලබාගැනීම සිදු විය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබන මහව සිට ඕමන්ත දක්වා උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් අනුරාධපුර රුවන්වැලි සෑ වෙහෙර පරිශ්‍රයේ පැවති ආගමික වතාවත් වලට ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු පිරිස අනුරාධපුර රුවන්වැලි මහා සෑ චෛත්‍යරාමාධිකාරී, ශාස්ත‍්‍රපති පණ්ඩිත පූජ්‍ය ඊතල වැටුනු වැවේ ඥානතිලකාභිධාන නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශීර්වාද ලබා ගත්තේ ය.

එමෙන් ම උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තේ දක්වා කොටස නවීකරණය කිරීමේ අවස්ථාවට සෙත් පතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි රාජයනනන්වහන්සේ අභියස ද උදැසන ආශීර්වාද පුජාවක් සිදු කළේ ය. ඉන් අනතුරුව ප්‍රවාහන අමාත්‍යවරයා, ඉන්දීය මහකොමසාරිස් ප්‍රමුඛ පිරිස අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි බැහැදැක ආශිර්වාද ලබාගත්තේ ය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ, ඉන්දීය IRCON සමාගම මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ උදෙසා සිදුකෙරෙන ආයෝජනයෙහි වටිනාකම ඇ. ඩොලර් මිලියන 91.27කි. මෙහි අනුරාධපුර සිට වව්නියාව දක්වා කි. මී.48ක කොටසක් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර මීළඟ අදියර ලෙස වව්නියාව සිට ඕමන්ත දක්වා කි. මී.13ක කොටසක් ප්‍රතිසංස්කරණය කෙරේ. ව්‍යාපෘති අවසන් කිරීමෙන් අනතුරුව පැයට කිලෝ මීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි වන අතර, කොළඹ සිට යාපනය කන්කසන්තුරේ දක්වා දැනට දුම්රිය මගින් ගමන් කිරීමට ගතවන කාලය පැයකින් අවම කරගත හැකිවේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්,අමාත්‍ය ඩග්ලස් දේවානන්ද,රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු , ඉන්දීය ඉර්කෝන් සමාගමේ ඉහළ කළමනාකරණයේ නියෝජිතවරු ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්, දුම්රිය සාමාන්‍යාධිකාරිතුමා ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශවාසින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

රටේ ආර්ථික අර්බුදය හමුවේ බොහෝ ආයතන කඩා වැටීමකට ලක්ව තිබියදී ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සේවක පිරිසෙහි කැපවීම මත පසුගිය මාස හතර තුළදී යම් ලාභයක් ආයතනයට උපයා ගැනීමට හැකි වූ බව ලේක්හවුස් ආයතනයේ සභාපති, කළමනාකරණ අධ්‍යක්ෂ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා ප්‍රකාශ කෙළේය.

වර්ෂ 2023ට සුබ ප්‍රාර්ථනා කරමින් ලේක්හවුස් ආයතන පරිශ්‍රයේ පැවැති උත්සවයට සහභාගී වෙමින් සභාපතිවරයා මේ බව ඊයේ (02) ප්‍රකාශ කෙළේය. සර්ව ආගමික වතාවත් සිදු කරමින් සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සේවක පිරිසට ආශිර්වාද කිරීමක් ද මෙහිදී සිදු කෙරිණි.

සභාපති අනූෂ පැල්පිට මහතා එහිදී මෙසේ පැවසීය.

ආයතනයේ සේවක සුබසාධනය වැඩිදියුණු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරනවා. ආයතනයේ මුද්‍රණ කටයුතු තවදුරටත් වර්ධනය කර ගැනීමට නවීන පන්නයට ගැළපෙන මුද්‍රණ උපකරණ කිහිපයක් මේ වර්ෂයේ දී මිලදී ගැනීමට කටයුතු කරනවා. ඉතාම දුෂ්කර කාලයක මම මේ ආයතනයේ සභාපතිවරයා බවට පත් වුණා. 2022 ඉතාම නරක වර්ෂයක් මේ ආයතනයට.

පළමුවන මාස අටේ මෙහෙයුම් අලාභය මිලියන 290යි. එය මිලියන 230දක්වා අඩු කර ගැනීමට අපට හැකි වුණා. මොකද, සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා රුපියල් මිලියන 60ක මෙහෙයුම් ලාභයක් ලැබුවා.

පසුගිය වසරේ අවසන් මාස හතරේදී ආයතනයට ලාභයක් උපයා දීමට හැකි වුණා. වසර දහයකට වැඩි සේවා කාලයක් තිබූ සේවකයන් 10ක් ස්ථිර සේවයට බඳවා ගත්තා. අවුරුදු 6කට වඩා සේවය කළ 25 ක් කොන්ත්‍රාත් පදනමේ දැනට මෙහි සේවය කරනවා. ඔවුන්ගේ කාර්යක්ෂමතාව කමිටුවක් මඟින් අපි පරීක්ෂාවට ලක් කළා. ඒ 25න් දෙදෙනකු වයස අවුරුදු 45ට වැඩියි. 16 දෙනකුට මාස හයක පරිවාස කාලයකට යටත්ව අද ස්ථිර පත්වීම් ප්‍රදානය කරනවා. 2022 වර්ෂයේදී ආයතනයේ පාඩු අවම කිරීම සඳහා තීරණ රැසක් ගත්තා. පාඩු ලබන අධ්‍යාපන ප්‍රකාශන මුද්‍රණය නැවැත්වීමට එහිදී අපි තීරණය කළා. සරසවිය, සුබසෙත ඩිජිටල්කරණය කළා. ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමය යටතේ සේවකයන් 149ක් විශ්‍රාම යැව්වා. ඒ සඳහා රුපියල් මිලියන 334ක් වැය වුණා. සමාගමේ කොටස් විකිණීමෙන් මිලියන 210ක් උපයා ගත්තා. මේ වසර තුළ තවත් 100දෙනකු මේ ක්‍රමය යටතේ විශ්‍රාම ගැන්වීමට අපි තීරණය කර තිබෙනවා. ආයතනයේ දියුණුව සඳහා යන්ත්‍ර කිහිපයක් ගැනීමට මේ වසරේදී මගේ අරමුණ වෙනවා. ස්ථිර සේවක සංඛ්‍යාව 700 දක්වාත් කොන්ත්‍රාත් සේවකයන් සංඛ්‍යාව 150 දක්වාත් අවම කිරීමට පියවර ගන්නවා. ඒ අනුව ආයතනයේ සේවක සංඛ්‍යාව 850ක් දක්වා සීමා කිරීමට පාලනාධිකාරිය සහ භාණ්ඩාගාරය ගිවිසුමකට අත්සන් තබනවා. රටේ තත්ත්වයත් සමඟ ආයතනයට ඉදිරියට යාමට අපහසුයි. කඩදාසි ඉතාම මිල අධිකයි. කඩදාසි ටොන් එකක් මේ වන විට රුපියල් ලක්ෂ පහක් හයක් පමණ වෙනවා. පසුගිය පාලනාධිකාරිය කොළ ටොන් 1000 ක් පමණ අරගෙන තිබුණා. ඒ නිසා තමයි මේ අමාරු කාලයේ අපට පත්තර මුද්‍රණය කළ හැකි වුණේ. එසේ නොවුණා නම් මේ වන විට ආයතනය ගොඩාක් අමාරු තත්ත්වයකට වැටිලා. පසුගිය පාලනාධිකාරියට මේ සම්බන්ධයෙන් ස්තුතිවන්ත විය යුතුයි. සේවකයන් 975ක් සිටිනවා. වැඩ කරන කැප වෙන කිසිදු අයෙක් ආයතනයෙන් ඉවත් කරන්නේ නැහැ. ආයතනයට සාධාරණයක් කරන පුද්ගලයන්ට ආයතනයෙනුත් සාධාරණයක් ඉටු කරනවා. ලංකාවේ ආර්ථිකය හොඳ තත්ත්වයකට පැමිණියහොත් අපේ ආයතනයත් යහපත් වෙනවා. දැන්වීම්වලින් අපට ආදායම් ලැබෙනවා. ඒ සඳහා රටේ ආර්ථිකයෙත් දියුණුවක් තිබිය යුතුයි. දැන්වීම්වලින් ලැබිය යුතු ණය මිලියන 600 ක් තිබෙනවා. මාසයකට මිලියන 150ක් 200ක් පමණ ණය එකතු කරනවා. ණය කපා හැරීමක් නම් කිසිසේත් කරන්නේ නැහැ. ණය නොගෙවන අයට එරෙහිව නඩු දානවා. ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය ආයතනයට මුදල් උපයන තැනක් බවට පත් කරනවා. ආයතනයේ පුස්තකාලය සතුව වටිනා සම්පත් අපට තිබෙනවා. මගේ නායකත්වය යටතේ ආයතනයට ලබාදිය හැකි උපරිම සේවාව මම ලබා දෙනවා. යම් ස්ථාවර මට්ටමකට ආයතනය ගෙනැවිත් තිබෙනවා. එය කිසියම් හැරවීමක් පමණයි.

මේ හැරවීම යටතේ ආයතනයේ දියුණුවට අවශ්‍ය සියල්ල අවසන් කර නැහැ. ආයතනයේ දියුණුව සඳහා මට සහ අධ්‍යක්ෂ මණ්ඩලයට තනිව කටයුතු කළ නොහැකියි. මේ සේවකයන් ද එක්ව එකම කණ්ඩායමක් විදියට ඉදිරියට යා යුතුයි. හැමෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ. රටේ ආර්ථික මට්ටම මේ සඳහා බලපෑමක් අනිවාර්යයෙන්ම එල්ල කරනවා.

දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක, කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියෝ ද අනුශාසනාවක් කළහ.

ලේක්හවුස් ආයතනයේ නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, මුදල් අධ්‍යක්ෂ මහාචාර්ය ඒ.එච්.එන්. කාරියවසම්, මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ මංජුල මාකුඹුර, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි, සාමාන්‍යාධිකාරී වරලත් ගණකාධිකාරී සුමිත් කොතලාවල, සමාගම් ලේකම් නීතිඥ එච්.ඩබ්ලිව්.එස්. ප්‍රසංගා, අතිරේක සාමාන්‍යාධිකාරී වරලත් ගණකාධිකාරී වී.එස්. බොයිස්, දැන්වීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චින්තක ප්‍රසන්න යාපා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ආයතනික කටයුතු චන්දන බණ්ඩාර ඇතුළු මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
නව වසරේ රාජකාරි ඇරඹු සමස්ත රාජ්ය සේවකයින්ට ජනපතිගෙන් ආරාධනයක්.
මෙරට ආර්ථිකයේ තීරණාත්මක වසරක් වූ 2023 වසරේ රට වෙනුවෙන් වූ වගකීම් කිසිවෙකුට පැහැර හැරිය නොහැකි බව පැවසූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමෘද්ධිමත් ශ්රී ලංකාවක් වෙනුවෙන් නව වසරේ එක්ව කැපවෙමු යැයි සමස්ත රාජ්ය සේවකයින්ට ආරාධනා කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2023 නව වසරේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක් වෙමිනි.
නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ජාතික ධජය එසවීමෙන් පසු සියලු කාර්ය මණ්ඩලය එක්ව රාජ්ය සේවා ප්රතිඥාව ලබා දුන්හ.
නව වසර වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලයට සුබ පැතූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ තේ පැන් සංග්රහයකට ද එක් විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා.
සියලුදෙනාටම සුබ නව වසරක් වේවා ! කියා මම ප්රාර්ථනා කරනවා.
මාස පහ හමාරකට පෙර මේ කාර්යාලයේ සිට අපි ඓතිහාසික වැඩකොටසක් භාරගත්තා. ආණ්ඩු පාලනය කඩා වැටුණු අවස්ථාවකදී, ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවකදී රට තුළ සාමාන්ය තත්ත්වයක් ඇතිකරන්න අපි ඒ මාස පහ හමාර තුළදී පියවර ගත්තා. අපේ ආර්ථික ප්රශ්න සියල්ලම විසඳී නැහැ. නමුත් අද ඉන්ධන, ගෑස්, ආහාර ද්රව්ය, පොහොර අවශ්ය පරිදි ලබාදීමට අපට හැකියාව ලැබී තිබෙනවා.
එම කටයුතු සඳහා මේ මාස පහ හමාර තුළ ඔබ සියලුදෙනා ලබාදුන් සහායට පළමුව මම මගේ ස්තූතිය පළ කරනවා. අපේ මෙම වැඩසටහන මෙතනින් අවසන් වී නැහැ. එහි වැදගත්ම වසර වන්නේ මෙම 2023 වසරයි. අපේ රට ණය බරින් නිදහස් කර ගනිමින් ණය ප්රතිව්යුහගතකරණ වැඩසටහන ක්රියාත්මක කර අප ඉදිරියට යා යුතු වෙනවා.
ඒ වගේම අපි නව ලෝකය සමග තරඟකළ හැකි ආර්ථිකයක් ගොඩනැඟිය යුතුව තිබෙනවා. මේ රටේ දේශපාලන ක්රමවේදයේ වෙනසක් අවශ්යයි යන්න බහුතරයගේ මතයයි. මේ කරුණු දෙකම අප විසින් ඉටුකළ යුතුව තිබෙනවා.
ඒ වගේම අද තිබෙන දේශපාලන ක්රමයේ ගැටලු විසඳිය හැකි නව ක්රමවේදයක් අප ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. මෙහිදී පසුගිය වසරට වඩා අප සියලුදෙනා සාමුහිකව එක්විය යුතුයි.
අපි මේ ආණ්ඩුව දෙස බලන්නේ එක් යාන්ත්රණයක් ලෙස. මෙය අමාත්යාංශ අනුව වැඩසටහන් ගනණාවකට බෙදි නැහැ. එක් යාන්ත්රණයක අනු කොටස් ලෙසයි සියල්ල ක්රියාත්මක වන්නේ. ඒ නිසා කිසිවෙක් අතර තරඟකාරිත්වයක්, කඹ ඇදිල්ලක් සිදුවිය නොහැකි වගේම තමන්ගේ වගකිම් සීමා කළ නොහැකියි. ඔබ සියලුදෙනා රටේ මුලික ප්රතිපත්ති මාලාව ක්රියාත්මක කිරීමට බැඳි සිටිය යුතුයි. එම වැඩපිළිවෙළේදි කේන්ද්රස්ථානය වන්නේ මෙම ජනාධිපති කාර්යාලය, ඒ වගේම කැබිනට් කාර්යාලය සහ අග්රාමාත්ය කාර්යාලය. මෙම ආයතනවලින් තමයි මේ කටයුතු ඉදිරියට ක්රියාත්මක කෙරෙන්නේ.
තමන්ගේ වැඩකටයුතු දවසේ පැය 08කට සීමා වන්නේ නැහැ. ඒ වගේම සතියේ දවස් 05කට සිමා වන්නේ නැහැ. අපි සියලුදෙනා කැපවී වැඩ කරමු. 2023 අවසන් වනවිට මේ රටේ සාමාන්ය තත්ත්වයක් ඇති කරමින් ඔබ සියලුදෙනාගේ සහය ඇතිව මේ රට ඉදිරියට ගෙන යාමට මම බලාපොරොත්තු වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ ජනාධිපති කාර්යාලයේ ජ්යෙෂ්ඨ නිලධාරීහු ද, සියලු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2023 වසරේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ රාජකාරී ආරම්භ කිරීමේ උත්සවය අද (02) පෙරවරුවේ  අමාත්‍යංශ පරිශ්‍රයේදී ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

ලේකම්වරයා විසින් ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කළ නිලධාරීන් රණවිරුවන් ඇතුළු දේශය වෙනුවෙන් දිවි කැපකළ සියලුදෙනා සිහිකිරීම වෙනුවෙන් විනාඩි 02ක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කිරීමද සිදු කෙරිණි.

රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලයේ සියලු නිලධාරීන් සහභාගී විය.

උත්සවයේ වැඩ කටයුතු නිම වීමේන් අනතුරුව ජනමාධ්‍ය අමාත්‍යවරයා,ලේකම්වරයා, අමාත්‍යංශ නිලධාරීන් සමග සුහඳ හමුවකට එක්විය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter