නවතම පුවත්

කුරුණෑගල, මැල්සිරිපුර, ‘උමංදාව‘ බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර නායක ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් මත දේශීය වශයෙන් කාබනික ලෙස වගා කරන ලද බිත්තර වී ප්‍රදේශයේ ගොවීන් වෙත බෙදාදීම වාර්ෂිකව සිදු කරනු ලැබූ අතර, ඊට අමතරව කාලය හා ශ්‍රමය අවම වශයෙන් වැය කර වැඩි බිම් ප්‍රමාණයක් වගා කළ හැකි නවීන වගා ක්‍රම පිළිබඳ ගොවීන්ට ප්‍රායෝගිකව හඳුන්වා දීම ද මෙවර වැඩසටහන යටතේ සිදු විය. ඒ යටතේ පැරෂුට් ක්‍රමවේදයට අනුව කෙටි කාලයක් තුළ වැඩි බිම් ප්‍රමාණයක පැළ සිටුවීමේ ක්‍රමය ගොවීන්ට ප්‍රායෝගිකව හඳුන්වා දීම ද මේ අවස්ථාවේ සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය ආගමික හා ආධ්‍යාත්මික වශයෙන් රටට මඟ පෙන්වන අතරම දැවැන්ත ජාතික මෙහෙවරක නිරත වන ආගමික ස්ථානයක් බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා:

“සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගමන් කරමින් කෘෂි කර්මාන්තයේ නිෂ්පාදනය ඉහළ නංවන්නට උමංදාවෙන් සිදු වන මෙහෙවර අගය කළ යුතුයි. රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින මේ මොහොතේ සාම්ප්‍රදායිකව සිදු කළ අපනයන මත පමණක් පදනම්ව විදේශ විනිමය ඉපයීමේ හැකියාවක් නැහැ. ඒ හේතුවෙන්ම සිතනවාට වඩා යමක් සිතමින් විදේශීය වෙළෙඳපොළ සඳහා නව නිෂ්පාදන හඳුන්වාදීම ඉතා වැදගත්. මේ සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් දේශපාලන පක්ෂ පාට බෙදීම්වලින් තොරව බිඳවැටුණු රට යළි ගොඩනඟන්න අප සියලු දෙනා කැප විය යුතුයි. අපේ භූමියේ නිපදවන දේ නවෝත්පාදන ලෙස ජාත්‍යන්තරය වෙත ඉදිරිපත් කරන්න හැකි නම් ඒ මඟින් පවතින අර්බුද රැසකට විසඳුම් සපයාගැනීමේ හැකියාව පවතිනවා. එලෙස සියලු දෙනා සතු ශක්තිය, හැකියාව යොදාගනිමින් රට යළි ගොඩනඟන්න එක්ව කටයුතු කරන්න අත්වැල් බැඳගන්නා ලෙස මම සැමට ආරාධනා කරනවා.“

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත්, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ නිරත වන විශාල පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

 

 

කාලාන්තරයක් පුරා සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රශ්න රාශියකින් පීඩා විඳින සමාජයක් බවට ලාංකීය සමාජය පත්ව ඇත. ආර්ථික අපහසුතා, අඩු සමාජ තත්ත්ව, විරැකියාව, සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීමට දැනුම්වත්කමක් නොමැතිවීම, මානසික අසහනයන් ඇතුළු මනෝ විද්‍යාත්මක සාධක සහ සමාජ විද්‍යාත්මක කරුණු ගණනාවක් මෙම පීඩාවට හේතු වී ඇත. එහෙත් මෙම ප්‍රශ්න ගැටලු‍ හමුවේ ඒ සියල්ල දරාගනිමින්, ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙන පිරිසක් මෙන්ම එයට ඔරොත්තු නොදෙන තවත් විශාල පිරිසක් ජිවිතය, ජීවත් කිරීම වෙනුවට ජිවිතයෙන් පලායාම තෝරා ගෙන සිටිති.  

ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් හෝ 075 5551926 වට්ස්ඇප් අංකය ඇමතීමෙන් නොමිලේ ලබාගත හැකිව ඇත.

1995-96 කාලයේ සිය දිවි නසා ගැනීම් සම්බන්ධව ලෝකයේම පළමුවෙනි හා දෙවැනි ස්ථානවල සිටි ශ්‍රී ලාංකීය සමාජය, අද වන විට රට තුළ සිය දිවි නසා ගැනීම් වර්ධනය අඩුවුව ද, ලෝකයේ අනික් රටවලට සාපේක්ෂව තවමත් ඉහළ අගයක පවතී.

ලාංකේය සමාජය තුළ වර්ෂයකට අවම වශයෙන් සිය දිවි නසා ගැනීම් තුන් දහසක් පමණ නිල වශයෙන් වාර්තාවන බව මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රොහාන් රත්නායක මහතා ඊයේ (16දා) පැවැසීය. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ ශ්‍රි ලංකා පරිපාලන ආයතනයේ පැවති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින්.

ශ්‍රී ලංකාව සියදිවි නසාගැනීම් අතින් ලෝකයේ 30 වැනි ස්ථානයේ සිටියද පළමු රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ඇතුළත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වැරදි දත්ත සකස් කර තිබූ බවට ද අධ්‍යක්ෂවරයා චෝදනා කළේය. ඒ අනුව කඩිනමින් නිවැරදි කිරීම් සිදුකරන ලෙසට දැනුම් දුන් බව පැවැසූ හෙතෙම ලෝකයේ රටවල් අතර ලංකාවේ ස්ථානයේ වෙනසක් ඇතිවුවද සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව අඩුවී නොමැති බවද ප්‍රකාශ කළේය.

මෙරට පැය හතරකට වරක් දිවිනසා ගැනීමක් වාර්තා වන බව පැවැසූ අධ්‍යක්ෂවරයා, 2022 වසරේදී පුරුෂයන් 2833ක් හා කාන්තාවන් 574 දෙනකු සියදිවි නසාගෙන තිබෙන බවයි. එම වර්ෂයේදී ආර්ථික අවපීඩනය හේතුවෙන් ඇඟලුම් කම්හල් ආශ්‍රිතව සියදිවි නසාගැනීම් වැඩිවීමක් සිදුව ඇති බවත්, ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සියදිවි නසාගැනීම්වල වැඩිවීමක් පෙන්නුම් කරන බවත් හෙතෙම සඳහන් කළේය. සියදිවි නසාගැනීම්වලින් 66%ක් හැඟීම්වලට යටවීමෙන් ඊට පෙලඹී ඇතැයි පැවැසූ හෙතෙම කෘමිනාශක භාවිතයෙන් 18%ක් ජීවිත හානි කරගෙන තිබෙන බව ද සඳහන් කළේය.

පසුගිය වසරේදී සියදිවි නසාගැනීමට උත්සාහ කළ පුද්ගලයන් 90,000ක් අවසන් මොහොතේ එම තීරණය වෙනස් කරගෙන තිබෙන බවද අධ්‍යක්ෂවරයා පැවැසීය. ලෝකයේ දැනට තත්පර 40කට එක් පුද්ගලයෙක් වශයෙන් සියදිවි නසාගැනීම් වාර්තා වන බව පැවැසූ හෙතෙම එය වසරකට පුද්ගලයන් ලක්ෂ 08ක් වන බවත් පැවැසීය.

මිනිසුන් ජිවිතයෙන් පලා යන්නේ ඇයි? සියදිවි නසා ගැනීම්වලට හේතු සාධක වර්ග 2 ක් තිබේ. එනම් මනෝ විද්‍යාත්මක කරුණු සහ සමාජ විද්‍යාත්මක කරුණු ය.  

විශේෂයෙන්ම මානසික රෝග සහ මානසික අසහනය. මානසික රෝග ගත්විට විශාදය, පෞරුෂත්ව ඌණතා රෝග, මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය, භින්නෝන්මාදය, ද්විද්‍රව උන්මාදය නැතහොත් බයිපොල රෝගය වැනි ප්‍රබල මානසික රෝග වැනි මනෝ විද්‍යාත්මක කරුණු සහ මානසික අසහනය, ප්‍රේම සම්බන්ධතාවන් බිඳ වැටීම, රැකියාව අහිමි වීම, තම දරුවකුගේ ලෙඩ රෝග නිසා තාවකාලිකව මතුවෙන මානසික අසහනය කෙනෙකුට ජීවිතය එපා කරවන පීඩාවන් අතර වෙයි.  

එසේම ආර්ථික අපහසුතා, අඩු සමාජ තත්ත්ව, විරැකියාව, වෛද්‍ය උපදෙස් ගැනීම පිළිබඳව අනවබෝධය මෙන්ම විශේෂ අවස්ථාවන් වන එක් රටක සිට වෙනත් රටකට ගොස් රැකියාවක් කිරීම වැනි සමාජ විද්‍යාත්මක කරුණු ද ජීවිතය ප්‍රබල ලෙස කලකිරවන දේ බවට ඇතැම් සිත් තුළ හේතු සාධක වී ඇත. කෙසේ වුවද මනෝ විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක කරුණු දෙකම එකට එක්වීමෙන් සියදිවි නසා ගැනීම් ඇතිවෙන බව ද හෙතෙම සඳහන් කළේය.

මවක් තම දරුවාට වස පොවා සිය දිවි නසා ගැනීමේ පුවත්, ප්‍රේමවන්තිය හෝ ප්‍රේමවන්තයා අහිමි වීම නිසා දරාගත නොහැකිව සිය දිවි නසා ගත් පුවත්, පාසලේදී ගුරුවරුන්ගේ අවවාදයකට, සම වයසේ වුන්ගේ කෙළි කවට බසක් දරාගත නොහැකිව සියදිවි නසා ගත් දරු දැරියන් ගැන පුවත්, ගොවි ණය ගෙවා ගැනීමට නොහැකිව ජීවිතය නසා ගත් පුවත් මේ ආදී සිත මහත් සේ පීඩාවට පත්කරන පුවත් අපි කොතෙකුත් අසා ඇත්තෙමු.  

සියදිවි නසාගැනීම පිළිබදව සාමාන්‍යයෙන් අප ගොඩක් දේවල් ඇතුළත් කළාත් අප මනෝ වෛද්‍ය විද්‍යාවේ දී ඒක කොටස් තුනකට බෙදෙනවා. එකක් තමයි සම්පූර්ණ කරන ලද සියදිවි නසා ගැනීම. ඒ කියන්නේ මරණයකින් කෙළවර වන සියදිවි නසා ගැනීම. දෙවැන්න. සියදිවි නසාගැනීමට උත්සාහ කළා, හැබැයි මැරුණේ නැහැ. තුන්වැන්න, තමාම තමාට හානි කරගැනීම, පළිගන්න, අවධානය දිනා ගන්න, ඒක ගොඩක් වෙලාවට මෙහිදී කරන්නේ. අත කපා ගන්නවා, වේදනා නාශක පෙති ගණනාවක් එකවර බොනවා. සියදිවි නසා ගන්නවා කියලා කියන්නේ කාලයක් තිස්සේ ප්ලෑන් කරලා, බෙල්ලේ වැල දා ගන්නවා හෝ අතිවිශාල කෘෂි රසායනිකයක් පානය කරනවා වගේ දෙයක්. මේ තුනට බලපාන සාධක එකිනෙකට ටිකක් වෙනස්.  

විද්‍යාත්මකව තහවුරු කරගත් කරුණක් වන්නේ අවිධිමත් මාධ්‍යවාර්තාකරණය මෙයට ප්‍රධාන හේතුවක් බවයි. සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා සියදිවි නසාගැනීම් සමිබන්ධව වගකීමෙන් වාර්තා කිරීම අත්‍යාවශ්‍යය සාධකයකි.

මනෝජා සමරනායක

"ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ජන්ම දිනයට සමගාමීව සංවිධානය කෙරුණු " සතරාව දීපනී" කෘතගුණ දැක්වීමේ උළෙල  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස අද (16) කොළඹ ,බණ්ඩාරනායක,ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් එක්වූහ.

උත්සවයේ ප්‍රධාන අංගයක් ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ දායකත්වයෙන් නිර්මාණය කළ කලා කෘති උදෙසා දායක වූ කලාකරුවන් පිරිසකට උපහාර දැක්වීම අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මහාචාර්ය ආරියරත්න ඇතුගල, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල,ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්‍රම නිරිඇල්ල, සිරිල් වික්‍රමගේ යන ප්‍රවීණ නිර්මාණ ශිල්පීන් මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.
මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, ඇ ඪ් රන්ජිත් කුමාර, අරුණ ගුණරත්න, දිනුෂ කුඩාගොඩගේ යන ප්‍රවීණ මාධ්‍යවේදීන් විසින් ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ සිනමා දිවිය අළලා රචිත "සුබන්ධු සිනමා වත" කෘතිය එළිදැක්වීමද මීට සමගාමීව සිදු කෙරිණි.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  මහතාගේ සංකල්පයක් අනුව පාසල් සිසු දරු දැරියන් උදෙසා ක්‍රියාත්මක කෙරෙන ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මෙවර උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව හදාරණ දූ දරුවන් 251 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ සුරතින් සිදු කෙරිණි.
විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, මැති ඇමැතිවරුන් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්, කලාකරුවන්, වෘත්තිකයින් ඇතුළු දහසකට අධික ආරාධිතයින් පිරිසක් මෙම උත්සව සදහා එක්ව සිටියහ.

නීති ක්ෂේත්‍රයට වසර 50ක සේවයක් ඉටු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ “අභිනන්දන සම්මාන උළෙල” ඊයේ (12) රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.

වෘත්තීය නීතිඥ දිවියේ වසර 50ක් සම්පූර්ණ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එහිදී ඇගයීමට ලක් වූ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත “අභිනන්දන සම්මානය” පිරිනැමීය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ඊයේ (12) ආරම්භ කෙරුණු“ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජාතික වාර්ෂික සමුළුව - 2023” ට සමගාමීව මෙය සංවිධානය කර තිබූ අතර කාණ්ඩ 03ක් යටතේ සම්මාන පිළිගැන්විණි.


ජුලියානා මාග්‍රට් කොස්වත්ත, වෝල්ටර් ලෙස්ලි ද සිල්වා, රත්නසභාපති ආරුමුගම් ජෙගතීසන්, ජනාධිපති නීතිඥ උපාලි ඒ. ගුණරත්න, කනගරත්නම් ගනේෂයෝගන්, ජනාධිපති නීතිඥ එම්.එම්. සුහයිර්, විනිසුරු අශෝක නිහාල් දි සිල්වා, විනිසුරු ඩී.ජේ. ද එස්. බාලපටබැදි, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නීතිඥවරුන් 26 දෙනෙක් මෙහිදී සම්මාන ලැබූහ.


අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති සංජේ රාජරත්නම්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස්, “අභිනන්දන” කමිටුවේ සභාපති ජනප්‍රිත් ප්‍රනාන්දු, කැඳවුම්කරු චමත් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කඩාවැටුණු මෙරට ආර්ථිකය නැවත නඟාසිටුවීමට ජනාධිපතිවරයා නිසි මාර්ග සිතියමක් සකසා ඇති බවත්, එම මාර්ග සිතියම අනුව කටයුතු කිරීමෙන් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්වී ඇති බවත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

මෙරට ආර්ථික තත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට ඊයේ (09) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ වනවිට ආනයනය හැකිතාක් අඩු කිරීමට ක්‍රියාකර අපනයන හැකිතාක් වැඩි කිරීමට ක්‍රියාකළ බවත්, ආර්ථිකය ශක්තිමත් හා ප්‍රකෘති මට්ටමට පැමිණෙන තෙක් පමණක් බදු වැඩිවීම වැනි දේ දරා ගැනීමට සිදුවනු ඇති බවත්, මේ සියලු උපක්‍රම හේතුවෙන් ආර්ථිකය අද තිබෙන මට්ටමට පැමිණ ඇති බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් උපදෙස් අනුව ක්‍රියාකිරීමද මෙම තත්වයට හේතු වූ බවත්, මේ වන විට මෙරටට ඉන්දියාව, චීනය, ජපානය සහ ඇමරිකාව වැනි රටවල සහය ලැබී ඇති බවත්,රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි අංක 2 - " මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් " නමින් නම් කිරීමේ අවස්ථාව ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය අමත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (09) සිදුවිය. මෙම උත්සවයට සමගාමීව නව SLBC වෙබ් අඩවිය එළිදැක්වීම සහ SLBC දුරකථන යෙදවුම ජනගත කිරීමද අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අපේ රටේ සමාජ, සංස්කෘතික හා කලාවේ ප්‍රගමනය උදෙසා අනූපමේය සේවාවක් සිදුකරමින් කලා ක්ෂේත්‍රයේ ඉතිහාසයේ ගමන්මග වෙනස් කිරීම උදෙසා නිර්ව්‍යාජ දායකත්වයක් දැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නමින් ගුවන් විදුලි මැදිරිය සංකීර්ණයක් නම් කිරීම ඓතිහාසික අවස්ථාවක්.

මහාචාර්ය සරච්චන්ද්‍ර අපේ රටට බර වැඩි යුග පුරුෂයෙක්. නව යොවුන් තරුණයන් ලෙස අප ‍පොත පත ඇසුරු කරන විට " මළවුන්ගේ අවුරුදු දා", " මළගිය ඇත්තෝ" ආදී කෘති වලින් එතුමා මානව සමාජයට දැක්වූ දයාව, කරුණාව,ප්‍රේමය බෞද්ධ දර්ශනය තුලින් ලැබූ තියුණු ජීවිත අවබෝධය ආදී ගුණාංග හඳුනා ගැනීමට හැකිවුණා. එතුමන් දැක්වූ මානව දයාව, මෘදු ගුණය, බැදීම් අත් හැරීම හා ජීවිතය පිළිබඳ සිතන්නට අපට හුරු කළේ "මළගිය ඇත්තෝ" හා "මළවුන්ගේ අවුරුදු දා"යන කෘති වලින්.

එතුමා සිය කලා කෘති තුළ ප්‍රචණ්ඩත්වය හා හිංසනය වෙනුවට ලාංකීය සමාජය සුවපත් කිරීමට විශාල මානව දයාවක්, සෙනෙහසක්‌, ආදරය පිළිබඳව තියුණු මතවාදයක් ලොවට කාන්දු කළ මහ ඇදුරුතුමෙක්‌. කිසිදාක ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ නොවූ එතුමාට ප්‍රචණ්ඩත්වය විසින් සංග්‍රහ කිරීම පිළිබඳව අත්දැකීම් ජීවත්ව සිටියදී ම අත්දකින්නට ලැබුණා.

කෙනෙකු ජීවත්ව සිටියදී ඔහුගේ දක්ෂතා, කුසලතා හා නිර්මාණ ශක්තිය ඇගයීමට බොහෝ දෙනා කිසිදු කැමැත්තක් නොදැක්වූවත් මහාචාර්ය සරච්චන්ද්‍රයන් අන් අය අගය කීරීම ජීවිත කාලය තුළදීම පුරුදුව සිටියා. එවැනි මහා සත්පුරුෂයෙක්, යුගපුරුෂයෙක් මේ පොළොවට බර වැඩියි. එවැනි පුද්ගලයෙක් පිළිබඳව අනාගතයට කතිකාවතක් ගොඩනගන්නට ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි සංකීර්ණයක් එතුමන්ගේ නමින් නම් කිරීම ඒ උතුම් මිනිසාට ගරු කරන්නට අනාගත පරපුරටද ලබාදෙන භාග්‍යයක් ලෙස මා සලකනවා.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා, අධ්‍යක්ෂ ජනරාල් නලීන් කුමාර නිශ්ශංක මහතා, සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, ලලිතා සරත්චන්ද්‍ර මැතිණිය ඇතුළු ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.

අභිනව තැපැල්පති එස්.ආර් .ඩබ්.එම් .ආර්.පී සත්කුමාර මහතා සිය ධූරයේ රාජකාරී කටයුතු අද (09) කොළඹ තැපැල් මූලස්ථානයේ දී ආරම්භ කරන ලදී

 
මෙම අවස්ථාවට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ,ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා ඇතුළු පිරිසක් සහභාගී විය

රටට ආදායම් ගෙන දෙන දෙපාර්තමේන්තුවල සිදුවන අක්රමිකතා වළක්වා ගැනීමට නම් එම දෙපාර්තමේන්තුවලට ඩිජිටල්කරණය හඳුන්වා දිය යුතු බව ජනමාධ්ය, ප්රවාහන සහ මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවැසීය.
මෝටර් වාහන පනත ය‍‍ටතේ නියෝග තුනක් විවාදයට ගනිමින් ඇමැතිවරයා පැවසුවේ රටට ආදායම් ගෙන දෙන දෙපාර්තමේන්තු අතරින් ප්රධාන දෙපාර්තමේන්තුවක් වන ප්රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ අක්රමිකතා විශාල සංඛ්යාවක් සිදු වන බවත්, එම අක්රමිකතා වළක්වා ගත හැක්කේ ඩිජිටල් ක්රමයට ලියාපදිංචිය සහ අනෙකුත් කටයුතු සිදු කිරීමෙන් බවත් සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේදී ප්රවාහන දෙපාර්තමේන්තුව මුළුමනින්ම ඩිජිටල්කරණය කරන බවත් හෙතෙම කීවේය. ඉදිරියේදී දුම්රිය සහ බස්රිය සදහා ඊ- ටිකටින් ක්රමයක් හඳුන්වා දෙන බවද ගුණවර්ධන මහතා පැවසුවේය.
ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට මේ රටේ නිෂ්පාදනය කළ විදුලියෙන් ක්රියා කරන ත්රිරෝද රථ ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති බව පැවැසූ ඇමැතිවරයා රිචඩ් පීරිස් ඇතුළු තවත් දේශීය සමාගම් රැසක් මේ වන විටත් විදුලියෙන් ක්රියාකරන වාහන නිෂ්පාදනය ආරම්භ කර තිබෙන බව කීවේය. ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට ඕනෑම පුද්ගලයකු මෙලෙස නිෂ්පාදනය කරන විදුලි වාහන ලියාපදිංචි කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නේය. එවැනි නිෂ්පාදන සිදු කරන තරුණයන්ට ජාතියේ ප්රණාමය හිමි වන බවත් එවැනි තරුණ ව්යවසායකයන් සමඟ එක්වී විදුලි මොටර් රථ, විදුලි ත්රිරෝද රථ නිෂ්පාදනය කර පරිසරය ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
පොදු ප්රවාහනය වැඩි දියුණු කර ගැනීම සඳහා අවශ්ය මඟ පෙන්වීම දෙන ලෙසත් නව සිස්ටම් චේන්ජ් එකකට යාමට රජය සෑම විටම සූදානම් බවද සඳහන් කළේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
ඇති වී තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ බැංකු පොලී අනුපාතය ඉහළ ගොස් තිබෙනවා. ලෝක මූල්ය ක්රමය රජයට හසුරවන්න බැහැ. අන්තර් ජාතික වශයෙන් අපි ගෙවීම් පියවන්න ඕන. ලෝකයේ සියලුම සංවර්ධිත රටවල ණය පොලී අනුපාතය තනි ඉලක්කමේ සංඛ්යාවක් නමුත් පොලී අනුපාතය තීරණය කිරීමේ බලය තිබෙන්නේ ශ්රී ලංකා මහ බැංකුවටයි. දේශපාලනඥයන්ට පොලිය හදන්න බැහැ. ජාත්යන්තර මූල්ය අරමුදල මෙරට ණය පොලී අනුපාතය තවත් 2 1/2%ක් වැඩි කරන්න කිව්වත් අපි ඊට එකඟ වුණේ නැහැ. මෙය පාර්ලිමේන්තුවට පාලනය කළ හැකි දෙයක් නෙවෙයි. අද වන විට විදේශ රටවලින් ගත්ත ණය තවදුරටත් ගෙවන්න බැරි වුණා. මේ නිසා ප්රවාහන අමාත්යාංශය යටතේ තිබෙන ව්යාපෘති රැසක් නතර වී තිබෙනවා. අපි කැමැති නැති වුවත් ජාත්යන්තර මූල්ය ක්රමය මෙයයි. ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ණය ලබා ගැනීමේදී, ජාත්යන්තර මූල්ය අරමුදලෙන් කරන්න කිවු යෝජනා දුෂ්කරයි. නමුත් අකමැත්තෙන් වුවද ඒවා ඉටු කිරීමට සිදු වෙනවා. මේකට දේශපාලන අර්ථකථන දෙන්න එපා. මුදල් අච්චු ගහන්නේ ශ්රී ලංකා මහ බැංකුවයි. ශ්රී ලංකා මහ බැංකුව වඩාත් ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණෙන් නව මුදල් පනතක් ගෙනාවේ. ඒ වගේම මහ බැංකුව තවත් ස්වාධීන වෙනවා. මෙමඟින් කිසිම දේශපාලනඥයකුට මේ සඳහා මැදිහත් වීමට නොහැකියි. මේ වන විට එම පනත පාර්ලිමේන්තුවට පිළිගන්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් යම් ගැටලු තිබේ නම් අධිකරණයට යා හැකියි

 

ලෝක කාන්තා දිනය අද (08) යි.
“ඇය දැයේ අභිමානයයි” යන්න තේමා කර ගනිමින් මෙවර කාන්තා දින ප්රධාන සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී අද (08) පෙරවරු 10ට පැවැත්වේ.
ශ්රී ලාංකේය කාන්තාවන්ගේ අභිමානය සහ ප්රෞඪත්වය ජාතික හා ජාත්යන්තර වශයෙන් ඉහළට ඔසවා තැබීමට දායක වූ කාන්තාවන් සිවුදෙනකුට අද (08) මෙම උත්සවයේදී ප්රණාමය පුද කරනු ලැබේ.
ඒ අනුව ආචාර්ය සුජාතා අත්තනායක, කලාසූරී ශ්රියානි අමරසේන, අනුලා ද සිල්වා, රශ්මි නිමේෂා ගුණවර්ධන මහත්මීහු මෙහිදී ප්රණාමයට පාත්ර වේ.
මෙම සැමරුම් උත්සවය රජයේ මුදල් සත පහක් වියදම් නොකර එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ඇතුළු විවිධ බාහිර පාර්ශ්වයන්ගේ පූර්ව දායකත්වයෙන් පැවැත්වෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
දිස්ත්රික්ක මට්ටමින් හොඳම ව්යවසායක කාන්තාවන් බවට පත් වූ 25 දෙනකු තෝරා ත්යාග සහ සහතික පත් ප්රදානය කිරීමට ද කටයුතු යොදා තිබෙන බවත් ඇය කීවාය

විද්‍යුත්  පාපැදි, යතුරුපැදි හා ත්‍රිරෝද රථ එකලස් කරන මින්නේරියේ වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් නව කර්මාන්ත ශාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) විවෘත කළේය. විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට එක් වූ ජනාධිපතිවරයා රිය එකලස් කිරීමේ ක්‍රියාවලියේ මෙහෙයුම් පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු විමසූ අයුරු සේයාරුවෙන් දැක්වේ

2023 මාර්තු 01වැනිදාට යෙදෙන පළමු " ලෝක මුහුදු තෘණ දිනය" සමරමින් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

පරිසර අමාත්‍යංශ ශ්‍රවනාගාර පරිශ්‍රයේ දී පැවති මෙම උත්සවයට පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා , තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, පරිසර අමාත්‍යංශ ලේකම්, තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, දෙස් විදෙස් පරිසර ක්‍රියාකාරීන්, පාසැල් සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter