ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඊයේ (18) සහ පෙරේදා (17) ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙහි සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්වරුන් සහභාගි වූ අතර, ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවෝ 131 දෙනෙක් එක්ව සිටියහ. තරුණ පාර්ලිමේන්තුවේ කථානායකතුමිය කැටුව වේත්‍රධාරි සෙංකෝලය රැගෙන සභා ගර්භයට පිවිසීමෙන් අනතුරුව පස්වැනි ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ කෙරිණි. එහිදී යෝජිත තරුණ පාර්ලිමේන්තු පනත විවාදයට ගැනිණි. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා සැසිවාරය අමතමින් මෙසේ කීය:

“1967දී එවකට කැබිනට් අමාත්‍යවරයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා තරුණ අසහනය සම්බන්ධයෙන් යම් යෝජනාවලියක් සම්පාදනය කළ යුතු බවට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් 1967දී ඊශ්‍රාලයේ විශේෂඥයකු වූ බ්‍රිගේඩියර් ආර්ය ලෙවි මහතා ලංකාවේ පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කළා. මේ වාර්තාවේ ප්‍රධාන අරමුණ වූයේ ලංකාවේ තරුණයන්ගේ දැනුම මෙන්ම තරුණ ශ්‍රමය ජාතික සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නේ කෙසේද යන්නයි. ඒ සම්බන්ධයෙන් 1967 අංක 11 දරන පාර්ලිමේන්තු පනත එවකට කැබිනට් ඇමැතිවරයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සභාගත කළා. ඒ පනත තරුණ ශක්තිය ජාතික සංවර්ධනයට යොමු කිරීමට ඉදිරිපත් කළ යෝජනා සහිත ස්වෙච්ඡා තරුණ සේවා පනතයි. මේ පනත ක්‍රියාත්මක කිරීම සදහා 1977දී බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් තෝරාගනු ලැබුවේ එවකට ළාබාලම කැබිනට් ඇමැතිවරයා වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එතුමා 1979දී ජාතික තරුණ සේවා පනත බලගැන්වීමට පියවර ගත්තා. එතුමා මේ පනත සක්‍රීය කර, ජපන් මහජන ආධාර මත මහරගම ජාතික තරුණ සේවා සභාව නිර්මාණය කළා. එදා සිට මේ දක්වා 1985 යොවුන් පුරයෙන් පටන් ගත් සංකල්පය ක්‍රමිකව වෙනස් වෙමින් ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන ශාලාවේ කථානායකවරයකු මූලිකව, අග්‍රාමාත්‍යවරයකුගෙන් සැදුම්ලත් ආණ්ඩුවක්, ඒ වගේම පක්ෂ, ප්‍රතිපක්ෂ අදහස් යෝජනා සාකච්ඡා කරන ව්‍යූහයකට ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා විසින් එය ගොනු කරනු ලැබුවා. වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තරුණ මානව සම්පත වැඩිදියුණු කිරීම වෙනුවෙන් රටේ අධ්‍යාපනය අනාගතයට උචිත වන ආකාරයට ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය වන වැපිළිවෙළ සම්පාදනය කිරීමට වැඩි නැඹුරුවක් දක්වමින් 2048දී ශ්‍රී ලංකාව වත්මන් තරුණයන්ට වගේම අනාගත තරුණයන්ටත් අංගසම්පූර්ණ රාජ්‍යයක් බවට පත් කිරීමේ විශාල කාර්යභාරයක නිරත වෙමින් සිටිනවා. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමේදී පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තරුණ නියෝජනයක් අත්‍යවශ්‍යයි. මේ රටට වෘත්තීය දේශපාලනඥයකු තරුණ පාර්ලිමේන්තුවෙන් බිහි කරගැනීමේ අවශ්‍යතාව තිබෙනවා. ඒ සඳහා දැන් සිටම සූදානම් විය යුතුයි. ඒ වෙනුවෙන් දායකත්වය දීමටත් සහ අද සාකච්ඡාවට ගැනෙන තරුණ පාර්ලිමේන්තු පනත විධිමත්ව සම්පාදනය කරගැනීමටත් ඔබ සියලු දෙනාගේ සහාය අත්‍යවශ්‍ය වෙනවා.”

ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා: “රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති සම්පාදනය කිරීමේදී තරුණයන්ගේ දායකත්වය පිළිබඳ කතා කරනවා. එහිදී අප අතින් සිදු වන ලොකුම අතපසුවීම තමන්ගේ පනත වත් තමන්ට සකස් කරගැනීමට අවස්ථාවක් නොදීම. ඒ නිසා මා තීරණය කළා මේ යෝජිත තරුණ පාර්ලිමේන්තු පනතට අනිවාර්යයෙන්ම අපේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ඇතුළත් විය යුතුයි කියලා. ඉතිහාසයේ අප කළ වැරැද්ද තමයි තරුණයන් කැමති, ඔවුන්ට අවශ්‍යයි කියා සිතන දේ තරුණයන් නොවන පිරිසක් තීරණය කර ක්‍රියාත්මක කිරීම. ඒ නිසා තරුණයන්ගේ අවශ්‍යතා ඉටු වුණේ නැහැ. නැවත වතාවක් වරදින්න අප ඉඩ තබන්නේ නැහැ. මීළඟ පාර්ලිමේන්තුවේ සිට නියමිත නීති රාමුවක් යටතේ ස්වාධීනව කටයුතු කිරීමට හැකි බලවත් ආයතනයක් බවට පත් කිරීමේ ‍‍ඓතිහාසික ක්‍රියාන්විතයට දායක වන පිරිස බවට ඔබ අද පත් වෙනවා.”

 

පස්වැනි ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය පැතුම් රණසිංහ මහතා: ශ්‍රී ලංකාවේ උන්නතියට පසුගිය වසර 113 පුරා අප ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මඟින් අපේ උන්නතියට, ප්‍රගතියට අවශ්‍ය මඟපෙන්වීම සහ ඒ ශක්තිය අපට ලැබී නැහැ. එසේ නම් අපේ වත්මන් වගකීම බවට පත් වන්නේ අපට වඩාත් ගැළපෙන ක්‍රමවේදයක් මේ.

ඇසුරෙන් සකස් කරගැනීමයි. ඒ කාර්යභාරය ඉටු කිරීමේදී වඩා පුළුල් වැඩකොටසක් කිරීමේ හැකියාව සහ ශක්‍යතාව ජාතික තරුණ පාර්ලිමේන්තුවට තිබෙන බවට සැකයක් නැහැ.”

පස්වැනි ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ කථානායක නිපුනි ෂෙහෙනි අබේධීර, විපක්ෂ නායක සිතිජ මිහිරංග ඇතුළු මන්ත්‍රීවරු මීට එක්ව සිටියහ.