මාධ්‍ය ආයතනවලට නිකුත් කරන බලපත්‍ර විකාශන අධිකාරී පනත යටතේ අහෝසි වීමක් සිදු නොවන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එවැනි කිසිදු වගන්තියක් පනතේ සඳහන් නොවන බව ද ඇමැතිවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ (13) ප්‍රකාශ කළේය.

විකාශන අධිකාරි පනත ඉදිරිපත් කළ පසුත් මාධ්‍ය ආයතනයන්ගේ බලපත්‍රය ආපසු ලබා දීමේ ප්‍රතිඥාව ලබා දෙන බව ද හෙතෙම කීවේය.

මාධ්‍ය මර්දනය කිරීමේ කිසිම අවශ්‍යතාවක් විෂය භාර ඇමැතිවරයා ලෙස තමාට හෝ ජනාධිපතිවරයාට නැති බවත් රට තුළ දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය නියාමනයන් ඇති කළ යුතු අතර ඒ සඳහා අන්තර්ජාතික වශයෙන් සම්මත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය‍.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ජනාධිපතිවරයාට මාධ්‍ය මර්දනයේ කිසිම අවශ්‍යතාවක් නැහැ. එතුමා මාධ්‍ය පවුලක උරුමය සහිත නායකයෙක්. සාපරාධී අපරාධ නීතිය ඉවත් කළේ එතුමා විසින්. මාධ්‍ය විසින් ඇතැම් අවස්ථාවල පුද්ගලයන්ගේ පුද්ගලිකත්වයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් සාපරාධී අපරාධ නීතිය යටතේ මාධ්‍යකරුවන් බන්ධනාගාරගත කිරීමේ සහ දඬුවම් දීමේ හැකියාව සහ නීති රීති රටේ තිබුණා. එය ඉවත් කිරීමට කටයුතු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එම නිසා ඇතැම් අවස්ථාවල මාධ්‍යට වැඩි නිදහසක් දීම ගැන ජනාධිපතිවරයා දෝෂදර්ශනයට පවා ලක්වුණා. මේ පිළිබඳ බිල්ලෙක් මවන එක සාධාරණ නැහැ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැබිනට් අනුකාරක සභාවේ සාමාජිකයන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානින් පසුගියදා පාර්ලිමේන්තුවට කැඳවූවා.

මෙම පනත් කෙටුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් නැහැ කිව්වා. ඒ අනුව පරිවර්තන සිදු කරලා ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කර මාධ්‍ය සංවිධානවලට දීල තිබෙනවා. තව සති දෙකක් තුළ සාධනීය යෝජනා ඉදිරිපත් කළොත් ඒවා සාකච්ඡා කළ හැකියි. තර්ජන ගර්ජන අපහාස උපහාසවලින් තොරව ශිෂ්ටසම්පන්න සමාජයක දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය නියාමනයන් ඇති කළ යුතුයි. මෙය කෙටුම්පතක් විතරයි. අවශ්‍ය ඕනෑම අවස්ථාවක සංශෝධන කළ හැකියි.

මේ සඳහා බලතල තිබෙන්නේ විෂය භාර ඇමැතිවරයා වශයෙන් මට. මට පුළුවන් ඕනෑම මාධ්‍ය ආයතනයකට බලපත්‍රයක් දෙන්න. ඒ වගේම අවලංගු කරන්නත් පුළුවන්. ඒත් මම එහෙම කටයුතු කර නැහැ. මේ සම්බන්ධයෙන් යම් කිසි අනතර්ජාතික වශයෙන් සම්මත ක්‍රමයක් ඇති කර ගැනීම දියුණු මාධ්‍ය සංස්කෘතියක් සඳහා අවශ්‍යයි.