• ‘CVCD විශිෂ්ටතා සම්මාන’ උළෙලේදී ජනපති පවසයි
  • ලංකා විශ්වවිද්‍යාලය ‘මනමේ’ සහ ‘සිංහබාහු’ නාට්‍ය දෙක නිෂ්පාදනය කර ලංකාවේ සංස්කෘතිය වෙනස් කර තිබෙනවා

එදා ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින්ම තිබූ මෙරට විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවතත් පෙර තිබූ තත්ත්වයටම පත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එමඟින් විදේශීය සිසුන්ද මෙරට විශ්වවිද්‍යාල කෙරෙහි ආකර්ෂණය කරගත හැකි අතර, එය මෙරට ආර්ථිකය සංවර්ධනයට ඉවහල් වනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාලවලින් සිදු කරන පර්යේෂණ කටයුතු සඳහා ඉදිරියේදී වාර්ෂිකව රුපියල් බිලියනයක පමණ මුදලක් ලබා දීමට අවධානය යොමු කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා (09) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 'CVCD විශිෂ්ටතා සම්මාන' උළෙල අමතමිනි.

මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා සෑම අයකුටම නිසි වයසේදී අධ්‍යාපන කටයුතු අවසන් කර ඉදිරියට යෑමට හැකි පසුබිම නිර්මාණය කළ යුතු බව ද සඳහන් කළේය.

වසර දෙකකට වරක් ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධානය කරනු ලබන 'CVCD විශිෂ්ටතා සම්මාන' උළෙලේදී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ විද්වතුන් පර්යේෂණ, නවෝත්පාදන සහ නව නිපැයුම් වෙනුවෙන් ලබා දෙනු ලබන කැපී පෙනෙන දායකත්වය හා ජයග්‍රහණ ඇගැයීමට ලක් කෙරේ. වඩාත්ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂකයා, වඩාත්ම කැපී පෙනෙන තරුණ පර්යේෂකයා සහ වඩාත්ම කැපී පෙනෙන නව නිපැයුම්කරු යන කාණ්ඩ තුන යටතේ මෙම සම්මාන පිරිනැමිණි.

ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ සභාපති රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා විසින් මෙහි පිළිගැනීමේ කතාව සිදු කළේය. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය විසින් සම්මාන උළෙල පිළිබඳ සවිස්තරාත්මක හඳුන්වා දීමක් සිදු කළාය.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නව්‍ය පර්යේෂණ සංස්කෘතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ලබා දෙන විශිෂ්ට නායකත්වය සහ කැපවීම උදෙසා ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ද ඇගැයීමට ලක් කෙ‍රිණි.

මෙවර සම්මාන උළෙලේදී 2022 වසර සඳහා වඩාත්ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂක සහ වඩාත්ම කැපී පෙනෙන තරුණ පර්යේෂක සම්මාන, සම සෞඛ්‍ය විද්‍යාව සහ දේශීය වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පය සහ තාක්ෂණය, මානව ශාස්ත්‍රය, ජීව විද්‍යාව, කළමනාකරණ අධ්‍යයනය, වෛද්‍ය හා දන්ත වෛද්‍ය විද්‍යාව, ස්වාභාවික විද්‍යාව, සමාජ විද්‍යා සහ නීති අධ්‍යයනය යන අධ්‍යයන ක්ෂේත්‍ර අටක් වෙනුවෙන් පිරිනමනු ලැබීය.

ඒ අනුව මහාචාර්ය බී.ඒ.කේ.එස්. පෙරේරා (මොරටුව විශ්වවිද්‍යාලය), මහාචාර්ය ඩී.එම්. දීප්ති යකන්දාවල (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය අරෝෂා සරංගී අදිකාරම් (කොළඹ විශ්වවිද්‍යාලය), මහාචාර්ය ෂාමන් රජින්ද්‍රජිත් (කොළඹ විශ්වවිද්‍යාලය), එල්.බී.ඩී.ආර්.පී. විජේසුන්දර (කැලණිය විශ්වවිද්‍යාලය) සහ මහාචාර්ය එස්.පී. කරුණානායක (විවෘත විශ්වවිද්‍යාලය) යන මහත්ම මහත්මීහු වඩාත්ම කැපී පෙනෙන ජ්‍යෙෂ්ඨ පර්යේෂක සම්මානයෙන් පිදුම් ලැබූහ.

ආචාර්ය ඒ.එන්. මධුෂංක (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), ආචාර්ය කේ.කේ. අසංක සංජීව (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), ආචාර්ය ඩබ්ලිව්.එච්.එම්. සංජීව සමරතුංග (රජරට විශ්වවිද්‍යාලය) වෛද්‍ය එම්.බී. කාවින්ද චන්දිමාල් දයාසිරි (කැලණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය ඒ. සඳරුවන් රත්නායක (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය) යන මහත්වරු වඩාත්ම කැපී පෙනෙන තරුණ පර්යේෂක සම්මානයෙන් පිදුම් ලැබූහ.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතා වඩාත්ම කැපී පෙනෙන නව නිපැයුම්කරු සම්මානය හිමි කර ගත්තේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

මා උසස් පෙළ විභාගයට පෙනී සිටි කාලය මට මෙහිදී සිහිපත් වුණා. එම කාලයේදී මා මදුරාසියේ පැවති ලන්ඩන් උසස් පෙළ විභාගයෙන් ද සමත් විය යුතු බව මාගේ පියා තරයේ කියා සිටියා. ඒ නිසා මා මදුරාසියට ගොස් ලන්ඩන් උසස් පෙළ විභාගයට පෙනී සිටියා.

නමුත් ඒ වන විට මා මෙරටදී පෙනී සිටි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද නිකුත් වී මා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබුණා. ඒ දවස්වල මෙය සරල ක්‍රියාවලියක්. දැන් වගේ ලකුණු ක්‍රමවේද තිබුණේ නැහැ. විෂය හතරක් සමත් වූ සියලු දෙනා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගත්තා. පසුව විෂයන් තුනක් සමත් අයව ද ඇතුළත් කර ගත්තා. මෙම කාලය තුළදීම මට ලන්ඩන් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද ලැබී තිබුණා. ඉතින් මට තීරණය කිරීමට සිදු වුණා ලංකාවේ ඉන්නව ද එක්සත් රාජධානියට යනව ද කියලා. මා තීරණය කළා ලංකාවේ සිටීමට. මගේ සීයගේ සම්බන්ධකම් මත මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ලෙස අම්මා බල කර සිටියත් මගේ අදහස වුණේ නීතිය හැදෑරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමයි.

මහාචාර්ය ලීගේ අභාවයෙන් පසු රෝමානු ලන්දේසි නීතියේ ඉහළ නිපුණතාවක් තිබුණේ එකල පීඨාධිපති මෙන්ම නීතිය පිළිබඳ මහාචාර්යවරයා වූ නඩරාජා මහතාටයි. ඒ වගේම අපිට තවත් කථිකාචාර්යවරුන් ගණනාවක් සිටියා. ළාබාලම තරුණ සහකාර කථිකාචාර්යවරයකු ලෙස ජී.එල්. පීරිස් මහතාත් කටයුතු කළා. මා ලංකාව තුළ මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් සාර්ථකව අවසන් කළා. ලංකාව තුළ මගේ අධ්‍යයන කටයුතු පිළිබඳ මා බෙහෙවින් සතුටු වෙනවා.

නමුත් අද තරුණ තරුණියන්ගෙන් ඇහුවොත් ලංකාවේ ඉන්න කැමති ද කියලා, ඔවුන් බොහෝ දෙනකුගේ පිළිතුර වන්නේ නැහැ කියලා. ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුවත් ඔවුන් ලංකාවේ ඉන්න කැමති නැහැ.

 

ඒ දවස්වල අප ලංකාවේ විශ්වවිද්‍යාලයකට තේරුණේ නැත්නම් දෙවන විකල්පය ලෙසයි එක්සත් රාජධානිය තෝර ගත්තේ. ඒත් අද මෙය විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලුවක් බවට පත්ව තිබෙනවා. ඉන් රටේ අනාගතයට ද බලපෑමක් එල්ල වන බව කිව යුතුයි. එබැවින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කාර්යභාරය කුමක් ද යන්න පිළිබඳ අප පළමුව අවධානය යොමු කළ යුතුයි.

අපේ රටේ වාර්ෂිකව සිසුන් 1,70,000ක් පමණ උසස් පෙළ සඳහා සුදුසුකම් ලබනවා. එයින් 40,000ක පමණ පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබනවා. තවත් 30,000ක් 40,000ක් පමණ පිටරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. 40,000ක් වන විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන පිරිසට අමතරව තවත් 25,000ක් – 30,000ක් පමණ මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල පද්ධතියක් අපට තිබෙනවා. ඒ සමඟම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අයත් නොවන විශ්වවිද්‍යාල තිබෙනවා. ඒ වගේම ලාභ ලබන සහ නොලබන විශ්වවිද්‍යාල පද්ධතියක් තිබෙනවා. මේ ක්‍රම තුනම ක්‍රියාත්මක කරනවා ද නැත්නම් එක් ක්‍රමයක් නිර්මාණය කරගෙන විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනඟනවා ද කියා අප අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා රජය සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දෙනවා. තවත් සිසුන් පිරිසක් එළියට ගොස් මුදල් ගෙවා උසස් අධ්‍යාපනය ලබනවා. සියලු දෙනාට අධ්‍යාපනයට ප්‍රවේශ වීමට හැකියාවක් තිබිය යුතුය යන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් වගන්තිය අප ආරක්ෂා කළ යුතුයි.

විවිධ රටවල මෙය විවිධ අයුරින් ක්‍රියාත්මක වෙනවා. ඇතැම් රටවල ශිෂ්‍ය ණය ලබා දෙනවා. තවත් රටවල ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට උදවු කරනවා. අප මේ පිළිබඳ අධ්‍යයනයක් සිදු කළ යුතුයි. එහිදී උපරිම ශිෂ්‍ය පිරිසකට අධ්‍යාපනය ලබාදිය හැකි ක්‍රමවේද පිළිබඳ අප සලකා බැලිය යුතුයි. රටක් ලෙස ඉදිරියට යෑමේදී අපට ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, විද්‍යාඥයන් ඇතුළු වෘත්තිකයන් විශාල පිරිසක් අවශ්‍ය වෙනවා.

එසේම අප අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. එදා අපේ රටේ විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින්ම තිබුණා. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා. අප නැවත අපේ විශ්වවිද්‍යාලවල ක්‍රියාකාරිත්ව වැඩිදියුණු කර ගන්නේ කෙසේද කියා අවධානය යොමු කළ යුතුයි. අපේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවත ලෝකය හමුවේ සහතික කරන්නේ කෙසේද කියා සොයා බැලිය යුතුයි. මේ තුළින් ලෝකයේ වෙනත් රටවල සිසුන් අපේ විශ්වවිද්‍යාල සඳහා ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එය අපේ රටේ ආර්ථිකයට ද යහපත් තත්ත්වයක්.

උපකුලපතිවරුන්ට පහර දෙමින් අධ්‍යාපනයට බාධා ඇති කිරීම තුළින් ගුණාත්මක විශ්වවිද්‍යාල පද්ධතියක් පවත්වාගෙන යා නොහැකියි. මෙම ගැටලු සඳහා අප කඩිනම් විසඳුම් සෙවිය යුතුයි කියා මා විශ්වාස කරනවා. ඒ වගේම අපේ අධ්‍යාපන ක්‍රමයේ ගැටලු රැසක් තිබෙනවා. සිසුන් උසස් පෙළ විභාගයට පෙනී සිටින විට වයස අවුරුදු 20ට ආසන්න වෙනවා. විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට අවුරුදු 24ත් පහු වෙනවා. මා උපාධිය ලබා ගන්නා විට මට වයස අවුරුදු 21යි. මා ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥයෙක් වුණේ අවුරුදු 23දි. දැන් සිසුන්ට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔබේ ජීවිතයේ හොඳම කාලය අපතේ යනවා. ඉන් පසුව රැකියාවක් සොයා ගැනීමේ ගැටලුවට ඔබ මුහුණ දෙනවා. අප ඉක්මනින් මෙම ප්‍රශ්න විසඳාගත යුතුයි.

අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට අයත් නොවන විශ්වවිද්‍යාල රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් කටයුතු කරන නිසා සිසුන් විශාල පිරිසක් ඒ සඳහා යොමු වී තිබෙනවා. මෙය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති විශ්වවිද්‍යාලවලට පමණක් නොව, විදේශ විශ්වවිද්‍යාලවලට ද ලොකු ගැටලුවක් වී තිබෙනවා. එබැවින් මේ පිළිබඳ අනෙක් අය විසඳුම් ලබා දෙන තුරු බලා නොසිට අපේම විසඳුමක් සොයාගත යුතුයි.

ඊළඟ ප්‍රශ්නය වැටුප්. එහිදී ඔබේ ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ වත්මන් බදු අය කිරීමයි. තවත් ප්‍රශ්නයක් වන්නේ විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා ගෙවීම් කරන්නේ කෙසේ ද යන්නයි. බටහිර විශ්වවිද්‍යාල මෙවන් අවස්ථාවලදී වෙළෙඳපොළ වටිනාකම අනුව ගෙවීම් සිදු කරනවා. අපත් ඒ ක්‍රමය අනුගමනය කරනවා ද එහෙමත් නැත්නම් මේ තිබෙන ක්‍රමයම අනුගමනය කරනව ද යන්න සැලකිය යුතුයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අයත් නොවන විශ්වවිද්‍යාල පුද්ගල වටිනාකම අනුව ගෙවීම් සිදු කරන බවට සැකයක් නැහැ.

ඒ වගේම අද සිදු කෙරෙන පර්යේෂණවල ප්‍රමිතිය වගේම ඇතැම් පර්යේෂණ පිළිබඳව චෝදනා තිබෙනවා. මේ සියල්ල අප නිරවුල් කරගත යුතුයි. අප රට තුළ ප්‍රමාණවත් පශ්චාත් උපාධි අධ්‍යයනයක් තිබෙනවා ද යන්න පිළිබඳව මා CVCD කමිටුවේ සභාපතිවරයා සහ උපකුලපතිවරුන් සමඟ සාකච්ඡා කළා.

ලංකා විශ්වවිද්‍යාලය 'මනමේ' සහ 'සිංහබාහු' නාට්‍ය දෙක නිෂ්පාදනය කර ලංකාවේ සංස්කෘතිය වෙනස් කර තිබෙනවා. තනි විශ්වවිද්‍යාලයක් ලෙස ඔවුන් ඒ වෙනස ඇති කර තිබෙනවා. ඔවුන් ලංකා ඉතිහාසය වෙළුම් 04කින් නිෂ්පාදනය කර තිබෙනවා. එහි ඇතැම් කොටස් යල් පැන ගොස් තිබිය හැකියි. නමුත් ඔවුන් සිදු කළ දේ පිළිබඳ අවධානය යොමු කළ විට අනෙක් විශ්වවිද්‍යාල ඒ අසලටවත් පැමිණ නැහැ.

මේ වන විට සමාජ මාධ්‍ය හා අන්තර්ජාල පහසුකම් සියලු දෙනාටම තිබෙනවා. AI තාක්ෂණය හෙවත් කෘත්‍රිම බුද්ධිය තිබෙනවා. 'Chat GBT' තිබෙනවා. මේවා විභාග සඳහාත් භාවිත කරන අතර ඇතැම් ඒවා පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා භාවිත කරනවා. යල්පැන ගිය ක්‍රම සමඟ සිටිනවාද නැත්නම් තාක්ෂණය සමඟ ඉදිරියට යනවා ද කියා අප අවධානය යොමු කළ යුතුයි.

ඒ නිසා දැන් තිබෙන විශ්වවිද්‍යාල පද්ධතිය තවදුරටත් මෙලෙසම පවත්වාගෙන යනවද නැත්නම් අවශ්‍ය වෙනස්කම් සිදු කරනවාද කියා අප සිතිය යුතුයි. මෙරට ප්‍රථම නේවාසික විශ්වවිද්‍යාලය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබෙන්නේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් ව්‍යුහයයි. නමුත් දැන් තිබෙන නවීන විශ්වවිද්‍යාලවල එවැනි ව්‍යුහයක් දක්නට ලැබෙන්නේ නැහැ. මෙම සියලු ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතුයි. මෙම ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා අධ්‍යාපනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවක් ද පිහිටුවා තිබෙනවා.

අද සම්මාන ලැබූ ඔබ සියලු දෙනාට මා සුබ පතන අතර, මෙම පර්යේෂණ තුළින් මෙරට විශ්වවිද්‍යාලවල කීර්තිනාමය ඉහළට ඔසවා තැබීමට ඔබ සමත්ව ඇති බව කිව යුතුයි. ඒ වගේම මෙම පර්යේෂණ කටයුතු සඳහා ඉදිරියේදී වැඩි ප්‍රතිපාදන ලබා දීමට අප බලාපොරොත්තු වන අතර ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියනයක පමණ මුදලක් ලබා දීමට අවධානය යොමු කර තිබෙනවා.

වවුනියාව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටී. මංගලේශ්වරන් මහතා විසින් මෙහි ස්තුති කතාව සිදු කළ අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂවරුන්ගේ කමිටු සාමාජිකයන්, සම්මානලාභී විද්වතුන්ගේ පවුල්වල සාමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.