නවතම පුවත්

 
ශ්රී ලංකාව අද ආර්ථික වශයෙන් ගැටලුකාරි තත්ත්වයකට පත්ව සිටියද කිසිඳු අවස්ථාවක තනි වී නොමැති බවත් පොදු රාජ්ය මණ්ඩලය නිරතුරුවම ශ්රී ලංකාව සමග සිටින බවත් පොදු රාජ්ය මණ්ඩලයේ මහ ලේකම් පැට්රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ප්රකාශ කළාය.
පොදු රාජ්ය මණ්ඩලීය මහලේකම්වරිය මේ බව සඳහන් කළේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ කොළඹ සිටි සෙන්ටර්හි පැවති භූ දේශපාලන සිතියම් විද්යාව පිළිබඳ මංගල සමුළුවේ ප්රධාන දේශනය සිදු කරමිනි.
“බහු අර්බුද යුගයක පොදුරාජ්ය මණ්ඩලයේ කාර්යභාරය” යන තේමාව යටතේ මෙය සංවිධානය කර තිබිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොදු රාජ්ය මණ්ඩලයේ මහලේකම් පැට්රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය
අද ශ්රි ලංකාව මුහුණ දී සිටින පීඩාකාරි තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් මා තුළ තිබෙනවා. එම පීඩාකාරී තත්ත්වය ශ්රී ලංකාවට දරා ගැනීම අසිරු බව ද මම දන්නවා. එම තත්ත්වය හමුවේ යම් අස්ථාවර භාවයක් සහ හුදකලා බවක් සමග යම්කිසි බියක් ශ්රී ලාංකිය ජනතාව තුළ උද්ගතව ඇති බව ද මම දන්නවා. එහෙත් ඔබ කිසිවිටක තනි වී නැහැ. ශ්රී ලංකාව පොදු රාජ්ය මණ්ඩල පවුලේ සාමාජිකයෙකු බව අමතක නොකළ යුතු බව මම සඳහන් කිරීමට කැමතියි.
පොදුරාජ්ය මණ්ඩලයේ අපි සියලුදෙනා එක පවුලක සාමාජිකයන් ලෙස එකිනෙකා කෙරෙහි වගකීමකින් බැඳි සිටිනවා. එම වගකීම සහ අප අතර ඇති බැඳීම නිසා අභියෝග හමුවේ කිසිවෙකුට තනිවීමට ඉඩ තබන්නේ නැහැ.
පොදු රාජ්ය මණ්ඩලයේ සාමාජික රටවල මෙන්ම ලෝකය පුරා මම සංචාරය කරනවා. එම රටවල් මුහුණදී සිටින අභියෝග වෙනස් වුවද ඒ සියලුදෙනා සමාන පීඩනයකට මුහුණ දී සිටිනවා. අප සියලුදෙනාම විවිධ අභියෝග හේතුවෙන් එකම අර්බුදයක පැටලි සිටින අතර අද අප සියලුදෙනා ජීවත්වන්නේ කොවිඩ් 19 ව්යසනයෙන් පසුව පැන නැගුණු සමාජ, දේශපාලන සහ ආර්ථික ගැටළු සමගයි. අප සියලුදෙනා එක්ව මෙම අභියෝග ජයගත යුතුයි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා
මෙම අවස්ථාවට සහභාගීවන ලෙස පොදුරාජ්ය මණ්ඩලයේ මහලේකම් පැට්රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මියට අපි ආරාධනා කළා. ඇය ශ්රී ලංකාවේ මෙන්ම ආසියාවේ සහ අප්රිකාවේ හොඳ මිතුරියක් වන අතර ඇය අපගේ චින්තනය නියෝජනය කරනවා.
ඒ වගේම ඇයගේ ශ්රී ලංකා සාංචාරයට තවත් විශේෂ හේතුවක් තිබෙනවා. ශ්රී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු පොදු රාජ්ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගත්තා. එදා පටන් අප පොදුරාජ්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවා. එවැනි පසුබිමක අපේ 75 වන නිදහස් දින සැමරුම සමරන අවස්ථාවේ පොදුරාජ්ය මණ්ඩලයේ මහලේකම්වරිය මෙහි සිටීම ඉතා වැදගත් බව අපට හැඟුණා. එම නිසා අපේ 75 වන නිදහස් දින සැමරුමට සහභාගීවන ලෙස අප ඇයට ආරාධනා කළා.
භූ දේශපාලන සිතියම් විද්යා සමුළුවේ මංගල දේශනය සඳහා පොදුරාජ්ය මණ්ඩලයේ මහලේකම් පැට්රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සමඟ අද මෙහි පැමිණීම මට මහත් සතුටක් බව කිව යුතුයි.
භූදේශපාලනික සිතියම් විද්යාව රටේ පර්යේෂණ ආයතන සංඛ්යාව වැඩිකිරීමට දායක වනවා. ජාත්යන්තර කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීම, සමස්ත ජාත්යන්තර කටයුතු ආවරණය කිරීම පමණක් නොව, ඉන්දියන් සාගරයේ අප සිටින ප්රදේශයේ භූ දේශපාලනික අංශ කෙරෙහි අවධානය යොමු කිරීම මෙම සමුළුවේ අරමුණක් වෙනවා.
මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මිය ද, අමාත්ය නසීර් අහමඩ්, හිටපු කථානායක කරු ජයසූරිය, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, විදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජනාධිපති ජ්යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ද විදේශ තානාපතිවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්යාග කළ යතුරුපැදි 150ක්, වෑන් රථ හා කුඩා වර්ගයේ බස් රථ 74ක් සහ සෝදිසි උපකරණ 115ක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත සංකේතාත්මකව භාරදීම ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ සිදු විය.
ජපාන විදේශ කටයුතු රාජ්ය අමාත්ය ටකෙයි ෂුන්සුකේ (Takei Shunsuke) මහතා විසින් මෙම උපකරණ භාරදීමට අදාළ ලියකියවිලි ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
වාහන නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ජපාන විදේශ කටයුතු රාජ්ය අමාත්යවරයා සමග සුහද කතා බහක ද නිරත විය.
ශ්රී ලංකා පොලිසිය සිදුකරන විමර්ශන පහසු කිරීම සඳහා ජපාන රජය මෙම පරිත්යාගය සිදු කර ඇත.
ශ්රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි හිදෙකි මහතා ඇතුළු ජපාන නියෝජිත පිරිස සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක, ජාත්යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය “නමෝ නමෝ මාතා සියවසට පියවරක්” තේමාව යටතේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සහ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ගාලු මුවදොර පිටියේ දී පැවැත්විණි.
අවම වියදමකින් වුව ද ඉතා අභිමානවත් ලෙස මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර ශ්රී ලාංකේය ජාතියේ අභිමානය සහ ශ්රි විභුතිය නැවත ලෝකය හමුවේ ප්රදර්ශනය කිරීම මෙහි අරමුණ විය.
ශ්රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්රාප්තවීම සැල කෙරෙන හොරණෑ වාදනය කිරීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්රධානී, ත්රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයාව උත්සව භූමියේ ප්රධාන කොඩි කණුව අසලට කැඳවාගෙන ඒම සිදු විය.
ඉන් අනතුරුව මඟුල් බෙර වාදන හා සක් හඬ මධ්යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමෙන් පසු උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි.
අනතුරුව ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව අසලට කැඳවාගෙන යාම සිදු වූ අතර එහිදී පාසල් සිසු සිසුවියන් 105 දෙනෙකු ජාතික ගීය ගායනා කළහ. එමෙන්ම පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා සහ “දේවෝ වස්සතු කාලේන” ගාථාව ගායනා කිරීම ද සිදු විය.
ශ්රී ලංකාවේ ස්වාධීනත්වයේත්, ස්වෛරීභාවයේත්, භෞමික අඛණ්ඩතාවයේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලුම ශ්රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි.
ඉන්පසු ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදු කෙරුණු අතර, ශ්රී ලංකාව ස්වෛරී රාජ්යයක් බව ලොවට පසක් කරමින් 75 වන නිදහස් දින සැමරුම් පෙළපාලිය, ත්රිවිධ හමුදාව පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය වර්ණවත් කළහ.
ශ්රි ලාංකික ජාතියේ ශක්තිය සහ උදාරත්වය විදාහ දක්වමින් සිංහ ප්රතිමාව රැගත් රථය පෙරටු කර ගනිමින් යුද, නාවික,ගුවන් පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 100 දෙනෙකු ජාතික ධජ රැගෙන පෙළපාළියේ ගමන් කළහ.
ත්රිවිධ හමුදා සන්නද්ධ රථ ද ඊට ඇතුළත් වූ අතර, රෙජිමේන්තු සහ සන්නද්ධ බලකා නියෝජනය කරන පෙළපාලි ද විශ්රාමික නිලධාරීන් 21 දෙනෙකු සහ ආබාධිත නිලධාරීන් 29 දෙනෙකු එහි ගමන් කරනු ලැබීය. ත්රිවිධ හමුදා තූර්ය වාදක පෙළපාලියක්ද ඊට ඇතුළත් විය.
එමෙන්ම ශ්රී ලංකාව සතු ගුවන් ශක්තිය ප්රදර්ශනය කෙරෙන කෆිර් යානා ඇතුළු ගුවන් සංදර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් වූ අතර ශ්රී ලංකාව සතු නාවුක ශක්තිය ද අභිමානවත්ව ප්රදර්ශනය කෙරිණි.
පැරෂුට් සංදර්ශනයකින් ද මෙම උළෙල වර්ණවත් විය.
මහා සංඝරත්නය සහ සෙසු ආගමික පූජකවරු ද, මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මිය ද, අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කැබිනට් අමාත්යවරු, රාජ්ය අමාත්යවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්රීවරු, 75 වන නිදහස් සැමරුම වෙනුවෙන් මෙරටට පැමිණි ජපාන විදේශ කටයුතු රාජ්ය අමාත්ය ටකෙයි ෂන්සුකේ (Takei Shunsuke), භුතානයේ අධ්යාපන හා නිපුණතා සංවර්ධන අමාත්ය ජායි බිර් රායි (Jai Bir Rai). මාලදිවයිනේ විදේශ අමාත්ය අබ්දුල්ලා ෂහීඩ් (Abdulla Shahid), බංග්ලාදේශ විදේශ අමාත්ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමෙන් (A.K. Abdulla Momen), පාකිස්ථාන විදේශ කටයුතු රාජ්ය අමාත්ය හිනා රබානි ඛා(ර්) (Hina Rabbani Khar), ඉන්දියානු විදේශ කටයුතු රාජ්ය අමාත්ය වී. මුරලිදරන් (Muraleedharan), නේපාලයේ විදේශ අමාත්යාංශයේ ආචාර්ය බිමලා රායි පෞද්යාල් (Bimala Rai Paudyal), පොදු රාජ්ය මණ්ඩලයීය මහලේකම් පැට්රිෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) යන මහත්ම මහත්මීන් ද, විදෙස් තානාපතිවරු, සහ මහකොමසාරිස්වරුන් ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම්, අග්රාමාත්ය ලේකම්, කැබිනට් ලේකම්, ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් ඇතුළු අමාත්යාංශ ලේකම්වරුන් ද, ආරක්ෂක මාණ්ඩලික ප්රධානි සහ ත්රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්රධානීහු, රාජ්ය නිලධාරීහු සහ රණවිරුවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

යුද්ධයකදී නැති වන ජීවිත නැවත ගෙන දිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැති වන ආදායම නැවත උපයා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රටක දේශපාලන හා භෞමික අඛණ්ඩතාව ස්ථාවරව පැවතීම, ආර්ථික යුද්ධය ජය ගැනීමට හොඳම සාධකය බව ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 77 දෙනකුට ‘විශිෂ්ට සේවා විභූෂණ‘ සම්මාන ප්‍රදානය වෙනුවෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ (01) පැවති උත්සවය අමතමිනි. 75 වන නිදහස් දින සැමරුමට සමගාමිව මේ සම්මාන ප්‍රදානය සංවිධානය කර තිබිණි.

විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂි ප්‍රදානයක් වන අතර, එය යුද්ධ හමුදාවේ ලුතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරීන්ට හා නාවික, ගුවන් හමුදාවල ඊට සමාන නිල දරන අවම වශයෙන් වසර 25ක අඛණ්ඩ සේවා කාලයක් හා යහපත් සේවා ඉතිහාසයක් හිමි නිලධාරීන්ට පමණක් ප්‍රදානය කෙරේ.

2019, 2020, 2021 වර්ෂවලට අදාළව යුද්ධ හමුදා නිලධාරීන් 53ක්, නාවික හමුදා නිලධාරීන් 17ක් හා ගුවන් හමුදා නිලධාරීන් 7ක් වෙනුවෙන් මෙහිදී පදක්කම් පිරිනැමිණි.

ත්‍රිවිධ හමුදා නිලධාරීන් 20 දෙනකු සඳහා ‘75 වන නිදහස් සංවත්සර අනුස්මරණ‘ පදක්කම් පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු විය.

මේ අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය:

“අද විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ලැබූ සියලු දෙනාට මා සුබ පතනවා. ඒ වගේම ඔබ කළ සේවය අප අගය කරනවා. ශ්‍රී ලංකාව නිදහස ලබා 75 වසරක් සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන පළමු උත්සවය මෙයයි. ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් මේ උත්සවය පැවැත්වීමට හේතුවක් තිබෙනවා.

“අපේ රටට නිදහස ගෙන දුන්නේ මහාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ප්‍රමුඛ ජාතික නායකයන්. මේ නිදහස නිකම් ලැබුණේ නැහැ. දෙවැනි ලෝක යුද්ධයේදී ආසියාවේ මිත්‍ර රටවලට සහයෝගය දුන් රටවල් 2ක් තිබුණා. ඉන් එකක් චීනය. අනෙක ශ්‍රී ලංකාව. එයින් සර්වජන ඡන්දයෙන් තේරුණු ව්‍යවස්ථාදායක් පැවතියේ ලංකාවට පමණයි.

“දෙවැනි ලෝක යුද්ධය වෙනුවෙන් දුන් සහාය අගය කර, එක් කොන්දේසියක් මත යුද්ධයෙන් පසු ලංකාවට නිදහස පිරිනමන බව බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් මැතිතුමා යුද්ධය ඇති වූ අවස්ථාවේ මන්ත්‍රණ සභාවේ සභානායක ලෙස සිටි ඩී.බී. ජයතිලක මහතාටත්, ඉන් පසු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාටත් පැවසුවා. එනම්: පළමුව ඉන්දියාවට නිදහස දීමයි. ඒ අනුව අපට මේ නිදහස ලැබුණා.

“දෙවැනි ලෝක යුද්ධයේදී මිත්‍ර රටවලට සහාය දුන් තීරණය ගත්තේ රාජ්‍ය මන්ත්‍රණ සභාවයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ නිලධාරීන් ස්වේච්ඡාවෙන් දෙවැනි ලෝක යුද්ධයට සහයෝගය දැක්වූවා. අප නිදහස් ලැබුවායින් පසු ඩී.එස්. සේනානායක මැතිතුමා ඒ සේනාවන්ගෙන් අපේ ත්‍රිවිධ හමුදාව ආරම්භ කළා. අප දෙවැනි ලෝක යුද්ධයට සහාය දී නිදහස ගත්තා නම්, එය සමරන අවස්ථාවේ අපේ ත්‍රිවිධ හමුදාව කළ සේවයත් අගය කළ යුතුයි. අපගේ ආරක්ෂක හමුදාව රටේ ආරක්ෂාව සඳහා දිවි හිමියෙන් සටන් කළා. අප හමුදාව ආරම්භ කළේ ලෝක යුද්ධයකින්. එය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. දෙවැනි යුද්ධය තිබුණේ මේ රටේ ඒකීයභාවයත් භෞමික අඛණ්ඩතාවත් ආරක්ෂා කරගැනීමට. ජනරජයක් ලෙස රටේ නිදහස සමරන අවස්ථාවේ අපේ ආරක්ෂක හමුදාව ඉටු කළ මේ උදාර සේවය සිහිපත් කළ යුතුයි. ඒ නිසා මා තීරණය කළා 75 වැනි නිදහස් සැමරුමේ පළමු උත්සවය ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් පැවැත්වීමට.

“අපගේ ත්‍රිවිධ හමුදාව දැන් ලංකාවේ පමණක් නොවෙයි. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව ලෙසත් කටයුතු කරනවා. මේ සාම සාධක හමුදාවට බඳවාගන්නා පිරිස අනාගතයේදී වැඩි කිරීමට අප බලාපොරොත්තු වනවා.

“අප 50 වන නිදහස සැමරුවේ රටේ යුද්ධයක් තිබියදී. දැන් තවත් යුද්ධයක් පවතින අවස්ථාවක අප 75 වන නිදහස් උත්සවය සමරනවා. ඒ තුවක්කු අරගෙන, එකිනෙකා සමග ගැටුම් ඇති කරගෙන කරන යුද්ධයක් නෙවෙයි. විශාල ආර්ථික යුද්ධයකට අද අප මුහුණ දී තිබෙනවා. අද සම්පූර්ණයෙන්ම රටේ ආර්ථිකය කඩාවැටී තිබෙනවා. අප ඒ ආර්ථිකය යළි ගොඩනඟන්නේ නැත් නම්, මේ ණය උගුලෙන් නිදහස් වන්නේ නැත් නම් අපේ රටේ ආර්ථික නිදහස නැති වෙනවා. රටේ ආර්ථික නිදහස නැති වුණොත් දේශපාලන නිදහසින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අද ලෝකයේ සිටින ආර්ථික බලවතුන්ට අපට යටත් වන්න බැහැ. එසේ නම් අපේ පළමු කටයුත්ත විය යුත්තේ මේ ආර්ථිකය ගොඩනඟා ජනතාව ජීවත් කරවීමයි. ඒ වගේම ඔවුන්ගේ අහිමි වූ ආදායම් මාර්ග නැවත උදා කර දිය යුතුයි.

“අද බොහෝ දෙනෙක් දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. ඒ පිළිබඳ අවබෝධයක් මට තිබෙනවා. ඇතැම් රාජ්‍ය සේවකයන්ට ණයත් ගෙන, බදුත් ගෙවීමට සිදු වීම නිසා ආදායමක් නැති තත්ත්වයකට මුහුණ දී සිටිනවා. අප සියලු දෙනා මේ පීඩනය දරාගන්නවා. අපට මේ පීඩනය නැති කරගන්න පුළුවන්. රටවල් ගණනාවක සහාය අපට හිමි වී තිබෙනවා. එළැඹෙන මාස දෙක-තුන තුළ මේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම ඉන්දියාව සහ චීනය සමග පැවැත්වෙන සාකච්ඡා අවසන් අදියරේ පවතිනවා. ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා වූ එකඟත්වය අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබීමත් සමඟ එය ලෝකය පිළිගන්නවා.

“මේ වසර අවසන් වන විට අපට මෙයට වඩා හොඳ ආර්ථික තත්ත්වයක් ලැබෙයි කියා මා විශ්වාස කරනවා. ඒ සමඟම රාජ්‍ය සේවකයන් සියලු දෙනාට යම් සහනයක් දීමට අපට අවස්ථාව ලැබෙනවා. අප මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. එයින් ඉවත් වීමට අපට හැකියාවක් නැහැ. අප නිවැරදි මාවතක ගමන් කරනවා නම් උපක්‍රමශීලිව කටයුතු කළ යුතුයි. ජයග්‍රහණය උදා කරගත හැකි වන්නේ එවිටයි.

“ත්‍රස්තවාදි යුද්ධය සහ ආර්ථික යුද්ධය අතර ඇත්තේ එක් වෙනසක් පමණයි. එදා ජීවිත නැති වුණා. අද ආදායම් නැති වෙලා. ඒ වෙනස පමණයි තිබෙන්නේ. නැති වූ ජීවිත අපට නැවත ගෙන දිය නොහැකියි. එහෙත් අඩු වූ අදායම නැවත උපයාගත හැකියි. ආණ්ඩුවක් ලෙස අපි සියලු දෙනා කැප වී සිටින්නේ ඒ වැඩපිළිවෙළ සඳහායි. අප එදා දිනාගත් දේශපාලන නිදහස සහ එදා ආරක්ෂා කළ භෞමික අඛණ්ඩතාව සමඟ ආර්ථික නිදහසත් උදා කරගනිමින් අපට ඉදිරියට යා හැකි බව මා විශ්වාස කරනවා.“

ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති වයිස් එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

75 වැනි නිදහස් දිනයට සමගාමිව සියලු ලක්වාසීන්ට සෙත් පතා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සේවක සුබසාධක සංගමය මඟින් සංවිධානය කරන ලද 21 වැනි ‘ඇසිදිසි දහම් සර’ ධර්ම දේශනාව ඊයේ (01) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. කදුරුදූව ශ්‍රී දීපාරාමාධිපති රත්මලාන පරමධම්ම චේතිය මහා පරිවේණාධිපති, ශාස්ත්‍රපති, ලේල්වල තපස්සි ස්වාමීන් වහන්සේ විසින් එහිදී ධර්ම දේශනය පවත්වන ලද අතර, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ලේක්හවුස් සභාපති අනූෂ පැල්පිට, අතිරේක ලේකම් (පාලන) එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර, අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) ඊ.එම්.එස්.බී. ජයසුන්දර යන මහත්වරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය මේ අවස්ථාවට එක් වී සිටියහ.

රජයේ ආයතන වියදම් කළමනාකරණය කරගනිමින්, පාඩු නොලබන ආයතන ලෙස ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හික්කඩුවේදී ඊයේ (01) පැවසීය.

ඇමැතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් අනවසරයෙන් භුක්ති විඳින පිරිස් නියමානුකූල කිරීම සහ ඔවුන්ගෙන් හිමි විය යුතු බදු මුදල් අය කරගැනීම සඳහා වන ජංගම සේවා වැඩසටහනේ තවත් අදියරක් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන යටතේ හික්කඩුව, රත්ගම මාදම්පාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල දුම්රිය ඉඩම් භුක්ති විඳින විශාල පිරිසකගේ දුම්රිය ඉඩම් සම්බන්ධ ගැටලු සඳහා විසඳුම් දීම සිදු විය. එහිදී දුම්රිය සතු ඉඩම් නියමානුකූල කිරීමේ ක්‍රමවේද හඳුන්වා දීම, ඒ පිළිබඳ නෛතික පසුබිම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම, සුදුසුකම් සම්පූර්ණ කරන ලද පිරිස් වෙනුවෙන් තාවකාලික බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු සේවා රැසක් ජංගම සේවය යටතේ ක්‍රියාත්මක විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:

“නිදහස ලැබීමෙන් පසු මුහුණ දී සිටින දැවැන්තම ආර්ථික අර්බුදය හමුවේ විශාල අපහසුතා රැසකට අප මුහුණ පා සිටිනවා. මතුව තිබෙන ආර්ථික අර්බුදය විසඳීම සඳහා ඊට ආර්ථිකමය විසඳුමක් සෙවිය යුතුයි. ඒ සඳහා දේශපාලන මතිමතාන්තරවලින් තොරව මේ තත්ත්වය තේරුම් ගැනීම අවශ්‍යයි. විශේෂයෙන්ම රජයේ ආයතන වියදම් කළමනාකරණය කරගනිමින් හැකිතාක් පාඩු නොලබන ආයතන ලෙස ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි. ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් පාඩු නොලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා මූලික ක්‍රියාමාර්ග රැසක් පසුගිය කාලයේදී ගනු ලැබුවා. නව සංචාරක දුම්රිය සේවාවන් හඳුන්වා දීමෙන්, ගාස්තු සංශෝධනය කිරීමෙන් මෙන්ම විශාල කාලයක් නියමිත බදු නොගෙවා දුම්රියේ ඉඩම් භුක්ති විඳි අනවසර පදිංචිකරුවන් නියමානුකූල කිරීමෙන් දුම්රිය වෙත ලැබිය යුතුව තිබූ විශාල මුදලක් නැවත ලබාගැනීමට අපට හැකියාව ලැබුණා.

“කිසිදු බදු මුදලක් ගෙවීමකින් තොරව දුම්රියේ ඉඩම් භුක්ති විඳින ජනතාවට, පවතින ආර්ථික අපහසුතාද සැලකිල්ලට ගනිමින් රජයට හා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත අය විය යුතු බදු නියමිත පරිදි ගෙවීම සඳහා සහනදායි අවස්ථාවක් මෙම ජංගම සේවය යටතේ සලසා දෙනවා. වසර දහයකට වැඩි කාලයක් අනවසර පදිංචිකරුවන් ලෙස සිටින ජනතාවට අදාළ බදු මුදල් ගෙවා තාවකාලික බදු ගිවිසුම්වලට එළඹීමේ අවස්ථාවත්, බදු ඔප්පු සහිතව වුවත් බදු නොගෙවා සිටින පිරිසට නියමිත බදු මුදල් ගෙවීම් සඳහා සහනදායි වැඩපිළිවෙළක් සහ මාස තුනක සහන කාලයක් දීමටත් මේ යටතේ අප පියවර ගන්නවා.

“දැනට ප්‍රයෝජනයට නොගන්නා දුම්රිය සතු ඉඩම් වඩාත් ඵලදායි ආයෝජන සඳහා යෙදවීමට එහි වත්කම් කළමනාකරණ වැඩපිළිවෙළ යටතේ අප පියවර ගනු ලබනවා. ඒ සඳහා ඉදිරිපත් වීමට කැමැති ඕනෑම අයකුට රජයේ කොන්දේසිවලට යටත්ව එම ආයෝජන සඳහා අවස්ථාව සලසා දීමට ඕනෑම අවස්ථාවක සූදානම්.

“ඉදිරි කාලයේදී දුම්රිය සේවා තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා බහුකාර්ය බළකායෙන් තුන් දහසක පිරිසක් දුම්රිය සේවයේ ස්ථිර පත්වීම් සඳහා ඇතුළත් කරගැනීමට අප පියවර ගන්නවා. එසේම වේයන්ගොඩ සිට පාණදුර දක්වා විදුලි දුම්රිය ව්‍යාපෘතියක් මේ වසර තුළ ආරම්භ කිරීමට සැලසුම් කරනවා.”

මෙහිදී පැමිණ සිටි ජනතාව ඉදිරිපත් කළ ගැටලුවලට ක්ෂණික විසඳුම් දීම සඳහා අවශ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමු කළ අමාත්‍යවරයා හික්කඩුව නාගරික ප්‍රදේශය ආශ්‍රිතව දුම්රිය සංඥා පද්ධතියේ පවතින ගැටලු සඳහා මාස දෙකක් තුළ විසඳුම් දීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය. එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය තවදුරටත් වර්ධනය කළ හැකි ආකාරයේ ආයෝජන ව්‍යාපෘති සඳහා ප්‍රදේශයේ ආයෝජකයන් සහ පළාත් පාලන ආයතන මගින් ඉදිරිපත් කරන යෝජනා සඳහා විශේෂ ප්‍රමුඛතාවක් දීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ජංගම සේවා වැඩසටහනෙන් අනතුරුව හික්කඩුව දුම්රියපොළ ආශ්‍රිතව නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ අමාත්‍යවරයා එහි තත්ත්වය පිළිබඳ ද සොයා බැලීය.

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති නීතිඥ මොහාන් ද සිල්වා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු අංශ නියෝජනය කරන නිලධාරීන්, ප්‍රදේශයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක්‌ මේ වැඩසටහනට සහභාගි වූහ.

ජාතික නිදහස් සැමරුම් මුද්දර දැක්ම සහ කෞතුකාගාර ප්‍රදර්ශනය පෙබරවාරි 06 සිට 12 දක්වා කොළඹ තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී 
 
75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය.
 
සමරු මුද්දරය ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල  ගුණවර්ධන මහතා විසින් ද,  සමරු කාසිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාට පිළිගන්වනු ලැබීය.
 
සම්ප්‍රදායිව තැපැල් දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට අනුකූලව රුපියල් 50ක වටිනාකමකින් යුතුව නිකුත් කර ඇති මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය අද සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාලවලින් අළෙවි කෙරේ.
 
මේ හා සමගාමීව ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය විසින් මහනුවර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ මීගමුව ප්‍රදේශවල ස්ථාපිත කර ඇති විශේෂ මුද්දර කවුළු මගින්  මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය මිලදී ගැනීමට අවස්ථාව සළසා තිබේ. 
 
75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින්  සංවිධානය කළ නිදහස් මුද්දර දැක්ම සහ කෞතුකාගාර ප්‍රදර්ශනය පෙබරවාරි 06 වනදා සිට 12 වනදා දක්වා පෙ.ව 9.00 සිට ප.ව 7.00 දක්වා කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත් වේ.
 
රුපියල් දහසක වටිනාකමකින් යුතු 75 වන නිදහස් දින සමරු කාසිය සංසරණය සඳහා නොවන අතර ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරන ලද 71 වන සමරු කාසිය මෙයයි.
 
“75” අංකය විශාල ඉලක්කමකින් සහ ශ්‍රී ලංකා ජාතික ධජය ඔසවාගෙන සිටින ආකාරය කාසිය මධ්‍යයේ දැක්වේ. කාසිය ඉහළ දාරයේ පරිධියේ ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් “නිදහස් සැමරුම” ලෙස දැක් වේ. “1948 - 2023” වර්ෂ කාසියේ පහළ දාරයේ පරිධියේ දැක් වේ. මුහුණත වටිනාකම “1000” විශාල ඉලක්කමින් කාසිය මධ්‍යයේ දැක්වේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් “රුපියල්” යන වචන මුහුණත වටිනාකමට පහළින් දැක්වෙන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය මුහුණත අගයට ඉහළින් දැක්වේ. ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් “ශ්‍රී ලංකා” යන වචන කාසියේ ඉහළ දාරයේ පරිධියේ දැක්වේ.
 
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, වැඩබලන තැපැල්පති එස්. ආර්. ඩබ්ලිව්.එම්. ආර්. පී. සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත කේ. රණසිංහ, නියෝජ්‍ය තැපැල්පති (මධ්‍යම පළාත්) චමීෂා ද සිල්වා, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ලංකා ද සිල්වා, ජ්‍යෙෂ්ඨ ප්‍රචාරක නිලධාරී චන්න මුණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය

75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විශේෂ සමරු කාසිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (02) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

සමරු මුද්දරය ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ද, සමරු කාසිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වනු ලැබීය.

රුපියල් දහසක වටිනාකමකින් යුතු 75 වන නිදහස් දින සමරු කාසිය සංසරණය සඳහා නොවන අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 71 වන සමරු කාසිය මෙය වෙයි.

මේ අතර 75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ නිදහස් මුද්දර දැක්ම සහ කෞතුකාගාර ප්‍රදර්ශනය පෙබරවාරි 06 වනදා සිට 12 වනදා දක්වා පෙ.ව 9.00 සිට ප.ව 7.00 දක්වා කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වෙයි.

“75” අංකය විශාලව සහ ශ්‍රී ලංකා ජාතික ධජය ඔසවාගෙන සිටින ආකාරය කාසිය මධ්‍යයේ දැක්වෙයි. 

කාසිය ඉහළ දාරයේ පරිධියේ ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් “නිදහස් සැමරුම” ලෙස දැක් වේ. “1948 – 2023” වර්ෂ කාසියේ පහළ දාරයේ පරිධියේ දැක් වේ. මුහුණත වටිනාකම “1000” විශාල ඉලක්කමින් කාසිය මධ්‍යයේ දැක්වේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් “රුපියල්” යන වචන මුහුණත වටිනාකමට පහළින් දැක්වෙන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය මුහුණත අගයට ඉහළින් දැක්වේ. ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් “ශ්‍රී ලංකා” යන වචන කාසියේ ඉහළ දාරයේ පරිධියේ දැක්වේ.

 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අයත් ත්‍රිකුණාමලය කුච්චවේලි හි පවතින, දැනට කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා අක්කර 270 ඉඩම මෙගාවොට් 100 ක සූර්ය බලශක්තිය උත්පාදනය කෙරෙන ව්‍යාපෘතියක් වෙත බදු පදනම යටතේ භාර දීම සිදුවිය.

කැනේඩියානු සමාගමක් 3W බලශක්ති කළමනාකරණ පුද්ගලික ආයතනය මේ වෙනුවෙන් සිදුකරන ලබන ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 150 කි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී පැවැති වැඩසටහනකදී මෙම ව්‍යාපෘතියට අදාළ ඉඩම භාරදීම ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයා:
අප රට මුහුණ දී ඇති වත්මන් ආර්ථික අර්බුදය හමුවේ රට ගොඩ නැගීම වේදිකාවල සිදු කරන කතා වලින් සිදු කළ හැකි වන්නේ නැහැ. මෙම ආර්ථික අර්බුදයට ඇත්තේ ආර්ථිකමය විසඳුමක් පමණයි. එබැවින් මේ මොහොතේ රටක් ලෙස ගත හැකි වැදගත්ම ක්‍රියාමාර්ගය වන්නේ විදේශ විනිමය හා ආයෝජන මෙරටට වැඩිපුර ලබා ගැනීමට හැකි පියවර ගැනීමයි. එහිදී සෘජු විදේශ ආයෝජන පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්.


මෑත කාලීනව වේගයෙන් සංවර්ධනය වූ ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, වියට්නාමය වැනි රටවල් එම ඉලක්කයට ළඟා වූයේ විදේශ ආයෝජන දිරි ගැන්වීම තුළින්. නමුත් අපේ රටට වසරකට බිලියනයක හෝ විදේශ ආයෝජන ලබා ගැනීමට නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයක්. විදේශ ආයෝජකයින් දිරිගන්වන, ඒ සඳහා ආකර්ෂණීය, නිර්ලෝභී වැඩපිළිවෙළක් අපේ රට අනුගමනය කර නැහැ. සෑම දෙයක් දෙසම අප බලන්නට පුරුදු වී තිබෙන්නේ සැකයෙක්. නමුත් ලෝකයේ බොහෝ රටවල් මෙම ආයෝජන දිරි ගැන්වීමේ උපක්‍රමය ඉතාමත් සාර්ථකව ප්‍රයෝජනයට ගනු ලබනවා.


වත්කම් වඩාත් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම තුළින් පාඩු ලබන ආයතන පවා දියුණු කළ හැකි බව මා විශ්වාස කරනවා. වත්මන් රජය විදේශ ආයෝජන සඳහා වඩාත් හිතකාමී පරිසරයක් ගොඩ නගමින් සිටිනවා. ඒ අනුව මෙරට දේශීය ආයතන සහ සංවිධාන ද මෙරටට විදෙස් ආයෝජන ලබාගත හැකි ආකාරයෙන් කටයුතු කිරීමට වඩ වඩාත් උනන්දු විය යුතුයි. මෙවැනි පසුබිමක් යටතේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සිදුකරන මෙම ආයෝජනය රටට වඩාත් ආදර්ශමත් ව්‍යාපෘතියක්‌ ලෙස කඩිනමින් ක්‍රියාත්මක වනු ඇති බව මා විශ්වාස කරනවා.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට,ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ඇතුළු , ව්‍යාපෘතියට ආයෝජනය කරන සමාගමේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය පෙරේදා (28) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැති අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභිනව අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විජිනිපත පිළිගන්වනු ලැබූ අයුරු.

 
• 2019 වසරේදී ආදයම් බදු, වැට් සහ ජාතික සංවර්ධන බදු ලිපිගොණු ලක්ෂ 16 2020 දී ලබාදුන් බදු සහන සමඟ ලක්ෂ හතරකට අඩු වීම නිසා සිදුවූ රාජ්ය ආදායමේ පහත යාම ආර්ථික අර්බුදයට මූලික හේතුවක්.
• 2022 වර්ෂයේ සෘණ11% ක්ව පැවති ආර්ථික වර්ධන වේගය මේ වසරේදී සෘණ 3.5 හෝ සෘණ 4.0% විය හැකියි.
• 2024 වර්ෂයේ සිට රටේ ආර්ථිකය ධනාත්මක වර්ධනයකට ගෙන යනවා.
• මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු රජ්ය සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදීමට අපේක්ෂා කරනවා– ජනපති අනුරාධපුරයේ දී කියයි.
අනුරාධපුර රාජධානී සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟුවා සේ ඉදිරි වසර 05-10 තුළදී කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
රටේ අදායම් තත්ත්වය ස්ථාවර වී ආර්ථික ප්රගතියක් උදාවුවහොත් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු රජ්ය සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්රධාන සංඝනායක අතිපූජ්ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්රී සන්නස් පත්ර පිළිගැන්වීම වෙනුවෙන් අද (28) පස්වරුවේ ඓතිහාසික ජය ශ්රී මහා බෝධි මහ මළුවේදී පැවැති පුණ්යෝත්සවය අමතමිනි.
අද සියලුදෙනා මුහුණ පා ඇති අසීරුතාව පිළිබඳ මනා අවබෝධයක් තමාට ඇති බව පැවසූ ජනාධිපතිවරයා 2024 වසර වන විට අපේක්ෂා කරන ආර්ථික ප්රගතියත් සමග වැටුප් වැඩි කිරීම ඇතුළුව සියලු ජනතාවට සහන ලබාදීමට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.
අභිනව අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්රී සන්නස් පත්රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් සිදු වූ අතර විජිණිපත අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පිළිගන්වනු ලැබීය.
මෙම පුණ්යෝත්සවය ඇමතූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අනුරාධපුර මහා විහාරයේ කැණීම් කටයුතු සහ සංරක්ෂණය පිළිබඳ විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා
පසුගිය වසරේ අප්රේල් මාසයේ දී අපට ණය ගෙවිය නොහැකි බව අපි ජාත්යන්තරයට දැනුම් දුන්නා. අපි ලබාගත් ණය ප්රතිව්යුහගත කිරීම පිළිබඳව මම ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජාත්යන්තර මූල්ය අරමුදලින් ඉල්ලීමක් කළා.
අප ලබාගත් ණය ප්රමාණය ඉතා ඉහළ බැවින් අපට එම ණය ආපසු ගෙවීමට හැකියාවක් නැති බව ඔවුන් දැනුම් දුන්නා. එම ණය ආපසු ගෙවීමට හැකියාවක් ලබා ගැනිමට නම් ජාත්යන්තර මූල්ය අරමුදල සමග සාකච්ඡා කර සැලැස්මක් සකස් කරන ලෙස යෝජනා කළා.
අපට ණය ලබා දුන් චීනය, ජපානය සහ ඉන්දියාව වැනි රටවල් දන්වා සිටියේ පළමුව ජාත්යන්තර මූල්ය අරමුදල සමග සාකච්ඡා කර සැලැස්මක් සකස් කර ගන්නා ලෙසයි. අනතුරුව එම රටවලිනුත් ලබාදිය හැකි ආධාර පිළිබඳ සාකච්ඡා කරන බව දැනුම් දුන්නා.
ඒ නිසා අපි මේ ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා ජාත්යන්තර මූල්ය අරමුදල සමග සාකච්ඡා කිරීමට සිදු වුණා. අපට මෙම අධාර නැතිව ඉදිරියට යන්න බැහැ. මේ අධාර නොලැබුණොත් අපේ ආර්ථිකය කඩා වැටෙනවා. අපේ රටේ තිබෙන අරමුදල් සහ විදේශ විනිමය ප්රමාණවත් වන්නේ නැහැ. පසුගිය වසරේ අපේ ආර්ථික වර්ධන වේගය සෘණ 11යි. මේ වසරේ අපි සැලසුම්සහගත ලෙස කටයුතු කළහොත් එය සෘණ 3.5ක් බවට පත්කරගත හැකියි. ගෝලීය ගැටලු ඇතිවුවහොත් සෘණ 4ක් විය හැකියි. නමුත් අපි අපේක්ෂාකරන ප්රමාණය සෘණ 3.5යි. මේ ආකාරයට බලන විට 2024 වර්ෂයේ සිට අපට ආර්ථිකය ඉදිරියට ගෙන යා හැකියි. අපට ඩොලර් නැති වු අවස්ථාවක අප ගත් පියවර නිසා අපට යම් ආධාර ප්රමාණයක් ලැබී තිබෙනවා. ඉදිරියේ දී මීට වඩා ආධාර අපට ලැබීමට නියමිතව තිබෙනවා.
ඒ වගේම පොහොර ලබාදීම සමග මෙවර මහ කන්නය සාර්ථකවීම නිසා අපට වී අතිරික්තයක් ලැබෙනවා. අපි මේ වැඩපිළිවෙළින් ඈත් වුවහොත් පසුගිය වසරේ මැයි, ජුනි, ජූලිවල තිබුණු තත්ත්වට නැවත රට පත්වෙනවා. එසේ සිදුවුවහොත් තවත් අසීරුතාවකට මුහුණ දීමට සිදු වෙනවා.
එමෙ වුවහොත් අපට සති තුනකටවත් ඖෂධ ලබා ගැනීමට මුදල් ඉතුරු වන්නේ නැහැ.
අපට ණය ලබාදුන් රටවල් දන්වා සිටියේ ඔවුන්ගේ ආදයමත් අඩුවී තිබෙන බවත් තමන්ගේ ජනතාවට මේ ප්රශ්නය විසඳාගැනීමට උපරිම බර දැරීමට නොහැකි නම් ඔවුන්ගේ සහාය ලබාදීම දුෂ්කර බවයි. මොකද ඔවුන් ලබාදෙන මුදල් ඔවුන්ගේ ජනතාවගෙන් බදු අය කරගෙන ලබාගත් මුදල් බව ඔවුන් දන්වා සිටියා.
2019 දී අපේ සම්පුර්ණ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15%යි. ඒත් බදු අඩු කිරීමත් සමග 2022 වන විට සම්පූර්ණ අදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.4%කට අඩු වෙලා තිබෙනවා. ආධාර ලබා දෙනව නම් 2019 තිබූ තත්ත්වයට එනම් සම්පුර්ණ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15%ක මට්ටමකට ඉහළ නංවන්න කියා එම රටවල් අපට දන්වා සිටියා. ඒ කියන්නේ දැන් තිබෙන ආදායම වසර 03ක් තුළ 75%කින් ඉහළ නැංවිය යුතුයි. එයයි අපට තිබෙන අභියෝගය. එසේ නොකළහොත් අපට ආධාර ලැබෙන්නේ නැහැ. එසේ සිදු කරනවා නම් විශාල බරක් දැරීමට සිදුවෙනවා. එහෙත් අපට ඉදිරියට යා හැකියි. ඔවුන් ඉදිරිපත් කරන කරුණු සමග අපට වාද කිරීම අසිරුයි.
මේ තත්ත්වය තවත් පැහැදිළි කරනවා නම් අපට 2019 වර්ෂයේ දී සම්පූර්ණයෙන්ම ආදායම් බදු ගෙවන ලිපි ගොනු ලක්ෂ 15ක් තිබුණා. ඊළගට වැට් බදු, ජාතිය සංවර්ධනය කිරීමේ බදු ගෙවන අය ගත්තොත් ලිපි ගොනු එක්ලක්ෂ විසි දෙදහසක් තිබුණා.
සම්පුර්ණයෙන් ලක්ෂ 16ක ලිපිගොනු තිබුණා. පසුව සිදු වූ මේ බදු ඉවත් කිරීමත් සමග 2021 දෙසැම්බර් මාසය වන විට අපට ආදායම් බදු ගෙවන ලිපි ගොනු ලක්ෂ 04යි තිබුණේ. එය ලක්ෂ 15 සිට ලක්ෂ 04 දක්වා අඩු වී තිබුණා.
ඒ වගේම අනිත් බදු ගෙවන ලිපි ගොනු එක්ලක්ෂ විසි දෙදහසේ සිට නවදහස නවසිය හැත්තෑ හයකට අඩු වුණා. එහෙමනම් අපට තිබු බදු ගෙවන ලිපි ගොනු ලක්ෂ 16 සිට ලක්ෂ 04කට අඩු වුණා. ඒ අනුව ඔවුන් අපට පෙන්වා දුන්නා මේ බදු අය කරන එක අඩු කළහම අපි කොහොමද අපේ ජනතාවගෙන් අය කරගන්න බදු ඔබලට ලබා දෙන්නේ කියලා. ඒ අනුව තමයි අපි බදු අය කිරීම මේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළේ. මෙම පියවර නොගත්තොත් අපට ඉදිරියට යන්න බැහැ.
2023 ජනවාරි 25 වෙනිදා අපට ලැබුණු ආදායම රුපියල් බිලියන 145යි. වැටුප්, විශ්රාම වැටුප්, සමෘද්ධි යන සියලු ප්රාග්ධන වියදම් ගත් විට බිලියන 143යි. එපමණක් නොවෙයි ණය ගෙවීමට තව බිලියන 355ක් අවශ්යයි. ජනවාරි මාසයේ අපේ සම්පූර්ණ වියදම රුපියල් බිලියන 498යි. එහෙත් අපේ ආදායම මිලියන 145යි. විධිමත් වැඩපිළිවෙළක් ක්රියාත්මක කළහොත් කාලයත් සමග අපට මේ තත්ත්වයෙන් ගොඩ ඒමට හැකියාව තිබෙනවා.
ඒ වගේම තවත් ගැටලු තිබෙනවා 2022 වර්ෂයේ රාජ්ය ආයතනවල පාඩුව බිලියන 794යි. අපට ඒවා පියවීමට මේ වසරේ මුදල් නැහැ. ඒ නිසා අපි මේ අලාභය පියවා ගත යුතුයි. අද විදුලිබිල ගැටලුව සියලුදෙනාට බලපා තිබෙනවා.
ජාත්යන්තර මුල්ය අරමුදල අපට දන්වා තිබෙන්නේ බදු ආදායම් ලබා ගන්නේ නැත්නම් අනෙක් රටවල බදු ආදායම ලබා දෙන්නේ නැහැ කියලා. ඒ අය තව කාරණයක් පෙන්වා දුන්නා. අපේ රටේ වැඩිම බදු වියදම් තිබෙන්නේ සාමාන්ය ජනතාවට කියලා. තායිලන්තය වැනි රටවල තීරුබදු වලින් ලැබෙන්නේ රජයේ ආදායමෙන් 2.8%යි. ආදායම් බදුවලින් ලැබෙනවා 30.1%ක්. ඉන්දියාව තීරුබදු වලින් 4.5%ක් ලබන අතර ආදයම් බදුවලින් 45.6%ක් ලබනවා. අපේ රටේ තීරු බදුවලින් 26.3% ලැබෙන අතර ආදායම් බදු වලින් ලැබෙන් 17.7%යි. ඒ නිසා ජාත්යන්තර මූල්ය අරමුදල දැනුම් දුන්නා බදු ඉහළ නංවන විට ආදායම් බදු ඉහළ නංවන්න, වෙනත් බදුවලින් අය කර ගැනීම නිසා අඩු ආදායම්ලාභී ජනතාව අපහසුතාවට පත්වෙනවා කියලා.
අපි සියලුදෙනා අසීරු අවස්ථාවක ඉන්න බව මම පිළිගන්නවා. ගොවි ජනතාවට මෙවර මහ කන්නයේ හොද අස්වැන්නක් ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා. බඩු මිල, ප්රවාහන වියදම්, තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඇතිවී තිබෙන පීඩාව අපි සියලුදෙනා දරාගෙන ඉන්නවා. අපට මෙයින් ඈත් වෙන්න බැහැ.
අපේ අදායම් ස්ථාවර මට්ටමකට පැමිණෙනවා නම්, මීට වඩා දියුණු වෙනව නම් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස රජයේ සේවකයින් සියලුදෙනාට වැඩිපුර දීමනාවක් ලබාදීමට මම බලාපොරොත්තු වෙනවා. අපේ ආර්ථිකය දියුණුවීමත් සමග වැටුප් ඉහළ නැංවිය යුතුයි. අපි ලාභය ඉහළ නංවාගත යුතුයි.
මේ ඇත්ත කතා කිරීම දේශපාලනඥයෙක්ලෙස අසීරු කාර්යයක්. එහෙත් මම පැරදුනත්, දිනුවත් ඇත්ත තත්ත්වය සෑම විටම පෙන්වා දෙනවා. ජනතාවට මේ අසීරු තත්ත්වයෙන් ගොඩඒමට පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන්න කියලා මම සියලුදෙනාගෙන් ඉල්ලනවා.
ජපානය ඇතුළු පැරිස් සමුළුවේ රටවල් එකතුවෙලා අපේ මේ යෝජනා පිළිඅරගෙන සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම ඉන්දියාව සමග සාකච්ඡා කළා.
චීනය දැන් එම යෝජනාව පිළිගෙන තිබෙනවා. පෙබරවාරි මාසය වන විට ඇති වන මෙම තත්ත්වය සමග අපට විදේශ විනිමය ලැබෙනවා. එවිට ක්රමානුකූලව මේ ප්රශ්න විසදා ගත හැකියි. අපි අලුත් ආර්ථිකයක් ඇති කළයුතුයි. අනුරාධපුර රාජධානිය ණය වෙලා හිටියේ නැහැ. ශක්තිමත් රාජධානියක් තිබුණා. අපි එය මතක තබාගෙන ආර්ථිකය ගොඩනැංවිය යුතුයි.
ත්රෛනිකායික මහා නායක සහ අනුනායක හිමිවරුන් ද, අටමස්ථානය නියෝජනය කරන සියලු විහාරාධිකාරී හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය ද , අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු සහ මැති ඇමතිවරු ද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද තානාපතිවරු, රාජ්ය නිලධාරිහු, ත්රිවිධ හමුදාපතිවරු ප්රමුඛ ආරක්ෂක අංශ ප්රධානීහු සහ ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter