එඩ්මන්ඩ් රණසිංහ මහතා, ජනපති, අගමැති, ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සමඟ

අගමැතිතුමන්ගෙන් එඩ්මන්ඩ් රණසිංහ මහතාට උණුසුම් සුබ පැතුම්

දිවයින හා රිවිර පුවත්පත්වල හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා ප්‍රධාන දේශනය පවත්වමින්…

මෙරට පුවත්පත් කලාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ජාතියේ උපහාර පිදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව දියත් කෙරෙන වැඩසටහනේ සමාරම්භය සලකුණු කරමින් මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වන එඩ්මන්ඩ් රණසිංහ සූරීන්ට උපහාර පිදීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (3) පැවැත්විණි.

එඩ්මන්ඩ් රණසිංහ මහතා ලේක් හවුස් ආයතනයේ ‘දිනමිණ’ සහ ‘සිළුමිණ’ පුවත්පත්වල ප්‍රධාන කර්තෘ ධුරයන් දැරූ අතර, ‘දිවයින’ පුවත්පතේ සමාරම්භක කර්තෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයාද විය. මේ වන විට 93 වැනි වියේ පසු වන රණසිංහ මහතාගේ දශක හතක මාධ්‍ය මෙහෙවර අගයමින් සම්පාදිත ‘එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය’ කෘතිය දොරට වැඩීමද මේ හා සමගාමිව සිදු කෙරිණි. මේ කෘතිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතාගේ උපදේශකත්වයෙන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ. විජයබණ්ඩාර මහතා සහ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ දීප්ති ප්‍රමිතා අධිකාරි මහත්මිය විසින් සංස්කරණය කර ඇත.

මේ උපහාර උලෙළේ ප්‍රධාන දේශනය දැනට ඇමෙරිකාවේ වෙසෙන දිවයින හා රිවිර පුවත්පත්වල හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා පැවැත්වීය. නාමල් උයනේ වනවාසි රාහුල හිමි, අගමැති දිනේෂ් ගුණවර්ධන, ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.