025 ජූලි 14 දින රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහත්වරුන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (15) පැවති මාධ්‍ය හමුවට එක් වූයේ මෙලෙසිනි.
ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය
ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය – 2025 – 2029 ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය හිමි වී තිබේ.
ඩිජිටල් ආර්ථික ඇමැතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ යෝජනාව ඉදිරිපත් කර තිබිණි.
ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් වන සිවිල් ක්ෂේත්‍රයන් පමණක් ආවරණය වන පරිදි, නෛතික හා නියාමන රාමු වැඩිදියුණු කිරීම, දැනුම වැඩි කිරීම, සයිබර් ආරක්ෂණ සූදානම වැඩිදියුණු කිරීම හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ සහයෝගිතාව වැඩි කිරීම යන තේමා ක්ෂේත්‍ර පදනම් කරගෙන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ලෝක බැංකුවේ සහාය ඇතිව මෙම මූලෝපාය කෙටුම්පත් කර ඇත.
තැලසීමියා එන්නත් ප්‍රසම්පාදනය M/s. ABC Pharma Services (Pvt) Ltd. වෙත
රක්තහීනතාවෙන් පෙළෙන රෝගීන්ගේ හෝ තැලසීමියා රෝගීන්ගේ ශරීරයෙන් අතිරික්ත යකඩ ඉවත් කිරීමට භාවිත කරනු ලබන ඩෙස්ෆෙරිඔක්සමින් මෙසිලේට් එන්නත් බීපී මිලි ග්‍රෑම් 500න් වයල් 400,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය ශ්‍රී ලංකාවේ M/s. ABC Pharma Services (Pvt) Ltd. වෙත පිරිනැමීමට අනුමැතිය හිමි වේ.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ යෝජනාව ඉදිරිපත් කර තිබේ.
මල අපජල සහ මල අපද්‍රව්‍ය කළමනාකරණයට ප්‍රතිකර්ම පද්ධති
පළාත් පාලන ආයතනවලින් සිදු කරන මල අපජල සහ මල අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිකර්ම පද්ධති ස්ථාපනය කිරීමට පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ඒ.එච්.එන්.එච්. අබේරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය පළ වේ.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 200ක් මේ සඳහා වැය කිරීමට නියමිතය.
ද්විතීයික සත්කාර රෝහල්වල ධාරිතාව වැඩිදියුණු කෙරේ
ද්විතීයික සත්කාර රෝහල්වල ධාරිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදාළව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වේ.
මේ වැඩසටහන සඳහා ප්‍රතිඵල පාදක අය-වැය සහාය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘතිය 2025 සිට 2030 දක්වා ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
සාප්පු හා කාර්යාල සේවක පනත සංශෝධනයට
1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනතේ නියෝග සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව තිබේ.
දැනට බලාත්මකව පවතින නියෝග යටතේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ යම් සේවිකාවක් නේවාසික හෝටලයක පිළිගැනීමේ නිලධාරිනියකගේ, කාන්තා කබා කාමර සේවිකාවකගේ, කාන්තා ඇඳුම් කාමර සේවිකාවකගේ හෝ කාන්තා වැසිකිළි සේවිකාවකගේ කාර්යයෙහි පස්වරු 6.00ට පසුව සහ පෙරවරු 6.00ට පෙර සේවයෙහි නියුක්ත කරනු ලැබිය හැකිය.
එසේ වුවද, නේවාසික හෝටල් සහ අවන්හල්වල සේවයේ යෙදී සිටින ආහාර හා පාන පිළිගන්වන සේවිකාවන් සේවයේ යෙදවිය හැක්කේ රාත්‍රී 10.00 දක්වා පමණක් වන බැවින්, ඒවායේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑමේදී විවිධ ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වන බව පෙන්වාදී ඇත.
ඒ අනුව, නේවාසික හෝටල් සහ අවන්හල්වල සේවයේ යෙදී සිටින ආහාර හා පාන පිළිගන්වන්නියන්ගේ කාර්යයන්හි නියැළෙන වයස අවුරුදු 18ට වැඩි සේවිකාවන්ට පස්වරු 6.00ට පසුව සහ පෙරවරු 6.00ට පෙර සේවයේ යෙදීමට හැකි වන පරිදි 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති 3 වන නියෝගය සංශෝධනය කිරීමට නියමිතය. කම්කරු ඇමැති සුනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මේ යෝජනාව ඉදිරිපත් කර තිබිණි.


