නවතම පුවත්

ගුණධර්ම අගයන සිසු පිරිසක් බිහි කිරීමට ලැබීම ගුරුවරයකු වශයෙන් ලැබිය හැකි ඉහළම ආශ්වාදය බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, නර්තන කලා ශිරෝමනි සම්මානලාභී, ප්‍රවීණ නර්තනාචාරිනි චන්ද්‍රකාන්ති ශිල්පාධිපති මහත්මිය දේශීය නර්තනය පාදක කර ගනිමින් සම්පාදනය කළ ‘හෙළ කලාකෙත’ කෘතිය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

දේශීය නර්තන ඇතුළු සංස්කෘතික අංග රැකසකින් ද වර්ණවත් වූ මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික සම්මානිත මහාචාර්ය ලයනල් බෙන්තරගේ මහතා සිදු කරන ලදි. ශ්‍රී ලාංකීය කලා ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීම සඳහා අනූපමේය දායකත්වයක් දක්වමින් ජන හදවත් තුළ තදින් සනිටුහන් වූ කලා ශිල්පීන් ලෙස පියසාර ශිල්පාධිපති සහ කාන්ති ශිල්පාධිපති යුවළ ඉටුකළ මෙහෙය අතිශය සුවිශේෂී වන බව හෙතෙම කීවේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

කවර අංශයකින් අධ්‍යාපනය හැදෑරුවත් කලා ක්ෂේත්‍රය සඳහා වූ දක්ෂතා කුසලතා සහ නිර්මාණාත්මක හැකියාවන් ඔප් නංවා ගැනීම සඳහා ගෞරවනීය ගුරු පරපුරක මඟ පෙන්වීම ලැබීම ශිෂ්‍යයකුට භාග්‍යයක්. මා තරුණයෙක් වශයෙන් ගත කළ කාලය තුළ රට තුළ පැවති දේශපාලනික, සංස්කෘතික සහ සමාජීය ප්‍රබුද්ධ සංවාද විසංවාද තිබුණා. ඒ පිළිබඳ ආකර්ෂණයකින් යුතුවයි කොළඹ ලුම්බිණි විද්‍යාලයේ රඟහල ආශ්‍රිතව බිහිවූ විවිධ කලා නිර්මාණ කෙරෙහි දැඩිව යොමු වූණේ. ඒ තුළින් ලද අත්දැකීම් අදටද මාගේ නිර්මාණ ජීවිතයට ආලෝකයක් වුණා.

විද්වතුන් සිදු කළ උසස් නිර්මාණ තුළින් මෙන්ම යහපත් ගුරුවරුන්ගේ ආභාසය තුළින් ද මනා ශිෂ්‍ය පරපුරක් බිහි කිරීම සහ ඔවුන් මා පසුකරමින් දක්ෂතා කුසලතා සහිත කෘතවේදී පිරිසක් ලෙස ජීවිතයේ ඉහළ තැනකට ළඟා වීම ගුරුවරයකුට ලැබිය හැකි ඉහළම සතුටුයි. තමන් ලබන ජීවිත අත්දැකීම් ග්‍රන්ථයක් ලෙස කැටිකොට එළිදැක්වීම තුළින් තමන් වෙතට පැමිණෙන ශිෂ්‍යයන්ට වඩා වැඩි පිරිසක් අතරට ඒ අත්දැකීම් බෙදා දීමට හේතු වෙනවා. අද්‍යතන ශ්‍රී ලංකාව තුළ පවතින සංස්කෘතිකමය අපගමනයත් සදාචාරාත්මක පිරිහීම හා මිනිසත්කමේ සිදුව ඇති නාය යෑම හේතුවෙන් මිනිස්කමේ වටිනාකමක් හෝ අගයක් නොදන්නා තාරුණ්‍යයක් බිහිවී සිටිනවා. එබැවින් සෑම දේකම මිල දන්නා නමුත් අගය නොදන්නා මිනිසුන් වෙනුවට, ගුණධර්ම අගයන සිසු පිරිසක් බිහි කිරීමට ලැබීම ගුරුවරයකු වශයෙන් ලැබිය හැකි ඉහළම ආශ්වාදයයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනූෂා ගෝකුළ, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී අජිත් නාරගල මහත්වරුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, විද්වතුන්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්, කලා ශිල්පීන්, ඇතුළු ආරාධිතයන් රැසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

 
 
 
 

අරන්තලා භික්ෂූ ඝාතනය සහ පීඩාවට පත්වූ ජනතාව සිහිකර මෙහි ස්මාරකයක් ඉදිකර දෙන්නැයි කොන්ත්‍රාත් සමාගමෙන් ඉල්ලනවා

සවුදි ණය අරමුදල යටතේ කෝටි 300ක් වැය කර කෙවිලියමඩුව සිට මහඔය දක්වා කි.මී 25ක මාර්ගය අලුත්වැඩියාව ඇරැඹේ

ජනාධිපතිවරයා රටවල් රැසක රාජ්‍ය නායකයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ කළ සාකච්ඡා අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් වාරික දෙකක් ලබාගැනීමට හැකි වී තිබෙනවා
දේශපාලන කතා පැවැත්වීම තරම් ආණ්ඩුකරණය පහසු නැතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.රුපියල් කෝටි 300ක සවුදි ණය අරමුදල යටතේ අම්පාර – උහන – මහඔය මාර්ගයේ (A027) කෙවිලිය මඩුව සිට මහඔය දක්වා කොටස ප්‍රතිසංස්කරණය සහ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුකරණය පිළිබඳ විෂයානුබද්ධ අවබෝධයක් නොමැති පිරිස් සාමාන්‍ය ජනතාව තුළ වෛරය පමණක් ඇති කිරීමට කටයුතු කළ බව පැවැසූ අමැතිවරයා අර්ථ ශාස්ත්‍රය පිළිබඳ දැනුමකින් තොරව මෙම ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකි බව කීවේය.

පසුගිය කාලය තුළම දේශපාලනඥයන් විසින් මහජනතාව බොරුවෙන් රැවටුවා මිස රටක් ආණ්ඩුකරණය පිළිබඳ සැබෑව ගැන දැනුවත් කර නොමැති බවද ඒ මහතා කියා සිටියේය.

සැබෑ යථාර්ථය වන්නේ පැවති සෑම රජයක්ම අධ්‍යාපනය, සෞඛ්‍ය, සංවර්ධනය ඇතුළු සෑම කටයුත්තක් සඳහාම වැය කළේ පුද්ගලික මුදල් නොවන බවත් මහජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල් වන අතර, එම බදු මුදල් දේශපාලන කයිවාරුවලට අනුව බෙදා දිය නොහැකි බවත් ගුණවර්ධන මහතා පැවැසීය.

ඒ සඳහා නිසි ක්‍රමවේදයක්‌ තිබෙන බව පැවැසූ ඇමැතිවරයා එදිනෙදා පවත්වාගෙන යාමට අවශ්‍ය පුනරාවර්ථන වියදම් දැරීමට ප්‍රමාණවත් බදු අදායමක් කිසිම රජයකට ලැබී නැති බව කීවේය.මහඔය 69 මංසන්ධියේ පැවති සමාරම්භක අවස්ථාවේදී ඇමැතිවරයා ප්‍රමුඛ ආරාධිත අමුත්ත්තෝ ඉදිකිරීම් සඳහා මුල්ගල් තැබූහ.

දිගින් කිලෝ මීටර් 58ක් වන අම්පාර – උහන – මහඔය මාර්ගය (A027) අම්පාර සිට උහන හරහා මහඔය නගරය එකිනෙකට යා කෙරෙන ප්‍රධාන මාර්ගයයි. ශ්‍රී ලංකා රජය විසින් අම්පාර සිට කෙවිලියමඩුව දක්වා කිලෝමීටර් 33ක කොටස සංවර්ධන කටයුතු සිදු කර අවසන් කර ඇති අතර, කෙවිලියමඩුව සිට මහඔය දක්වා කිලෝමීටර් 25ක් දිගින් වූ මාර්ග කොටස ඉතා පටු හා ක්‍රමවත් කානු පද්ධතියක් නොමැති ගමනාගමනයට අපහසු මාර්ග කොටසක් වේ.

සංවර්ධනය සඳහා වූ සවුදි අරමුදල යටතේ ක්‍රියාත්මක වන බදුල්ල චෙන්කලාඩි මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය හා මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයන් යටතේ ක්‍රියාත්මක කර ඇත.බිබිල චෙන්කලාඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බිබිල සිට චෙන්කලාඩි දක්වා කිලෝමීටර් 87 මාර්ග කොටස මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති අතර, ඒ සඳහා ණය මුදල් ලෙස අ‍ෙමරිකානු ඩොලර් මිලියන 60ක මුදලක් සංවර්ධනය සඳහා වන සවුදි අරමුදල (SFD) මඟින් ලබා දී ඇත.

ඒ අනුව බිබිල – චෙන්කලාඩි මාර්ගය කි.මී. 87ක් සංවර්ධනය කර එහි ඉතිරි මුදල් භාවිතා කරමින් අම්පාර – උභන මහඔය මාර්ගය (A027) කෙවිලියමඩුව සිට මහඔය දක්වා කොන්ත්‍රාත් පැකේජ 02ක් යටතේ කිලෝමීටර් 25ක් සංවර්ධනය කිරීමට නියමිත වේ. ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කෙරෙන සම්පූර්ණ මුදල රු. ලක්ෂ 2,977,467,150.87කි.

මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත ප්‍රතිලාභ අතර අම්පාර හා මහ ඔය රෝහල් අතර කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාමට හැකි වීම, කෘෂිකාර්මික හා ඒ ආශ්‍රිත කටයුතු සඳහා කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබාදීමට හැකිවීම, මහනුවර හා මහියංගණය ප්‍රධාන නගර අම්පාර නගරය සමඟ සම්බන්ධ කිරීම, මහඔය සිට අම්පාර දක්වා ඇති කුඩා නගර ආශ්‍රිත සංවර්ධනය, පාසිකුඩා, ආරුගම්බේ වැනි ප්‍රදේශ ආශ්‍රිතව සංචාරකයන් සඳහා ලැබෙන ප්‍රවාහනයේ ගුණාත්මක පහසුව, ව්‍යාපෘති කාලය තුළ ඇතිවන ඍජු හා වක්‍ර රැකියා තුළින් සිදු වන ග්‍රාමීය ආර්ථික දියුණුව ඇතිකිරීම ප්‍රධාන වේ.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

නිදහසින් පසු සියලු රජයන් පවත්වාගෙන ගොස් තිබෙන්නේ දිගින් දිගටම ණය ලබා ගනිමින්. එලෙස ලබාගත් ණය පසුගිය වසර දෙකක කාලයක් ගෙවා නැහැ. එලෙස දිගින් දිගටම කටයුතු කළ නොහැකි බැවින් ජනාධිපතිවරයා ලෝකයේ රටවල් රැසක රාජ්‍ය නායකයන් සමඟ සහ ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා පවත්වමින් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස ඉල්ලීම් සිදු කළා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් වාරික දෙකක් ලබාගැනීමට හැකි වී තිබෙනවා. ඉතිරි ණය මුදල් ගෙවීම සඳහා එකඟතාවයකට පැමිණ තිබෙනවා. එම එකඟතාවයන් අනුව කටයුතු නොකළහොත් කවුරුන් විසින් ආණ්ඩු බලය හෙබවූවත් සති දෙකකට වඩා වැඩි කාලයක් රජයක් පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ. ලෝකය අපව අත්හරිනවා. ජාත්‍යන්තරයට බොරු කරමින් රටක් පවත්වාගෙන යෑමට බැහැ. ආණ්ඩුකරණය සහ දේශපාලන කතා පැවැත්වීම යනු දෙකක්.

එවැනි ඉතාමත් අපහසුතාවයන් රාශියක් මධ්‍යයේ වුවත් මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කරන්නේ ද සංවර්ධනය සඳහා වූ සවුදි ණය අරමුදල් යටතේ ලැබෙන ණය මුදලින්. ඒ අනුව මෙම මාර්ගයේ කිලෝමීටර් 25ක් සංවර්ධනය සඳහා රුපියල් කෝටි 300ක ණය මුදලක්‌ ලබාගෙන තිබෙනවා. රටේ ඉදිරි පරම්පරාවන් විසින් මෙම ණය නැවත ගෙවිය යුතුයි.

මෙම තත්ත්වය පිළිබඳ අවබෝධයක් නැති ජනතාවට දේශපාලනඥයන් හොරුන් ලෙස පෙන්වාදෙමින් ජනතාව වෛරයෙන් මුසපත් කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අහිංසක මිනිසුන් විශාල පිරිසක් ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත් වුණා. ඉතිහාසය තුළ එල්ටීටීඊ සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ එලෙස කටයුතු කළා. තමන්ගේ මතයට විරුද්ධව කටයුතු කළ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකු ඝාතනය කර මළ සිරුර දණහිසෙන් පහළට රැගෙන යන ලෙස නියෝග කළා. ප්‍රචණ්ඩත්වය තුළින් රටේ ප්‍රශ්නවලට නිවැරැදි විසඳුම් සොයා ගැනීමට හැකියාවක් නැහැ.

නිදහසින් පසු නොමිලේ ලබාදුන් බොහෝ සේවාවන් ඇතුළු සංවර්ධන කටයුතුවලට විශාල වශයෙන් විදේශ රටවලින් ණය ලබාගෙන තිබෙනවා. විදේශීය රටවල බදු ගෙවන ජනතාවගේ මුදලින් අපේ රටට ලබා දුන් එම ණය මුදල් ගෙවීමේ වගකීම අපට තිබෙනවා. එලෙස ලබාගත් ණය මුදල් නැවත ගෙවනතුරු අපට විදේශ ණය ලැබෙන්නේ නැහැ. රටට විරුද්ධව නඩු තීන්දුවක් ලැබුණහොත් ලෝකයේ කිසිදු රටක් හා ගනුදෙනු කිරීමේ හැකියාව අපට නොමැති වී යනවා. රටක් වශයෙන් සියලු දෙනා සාකච්ඡා කළ යුතු තීරණාත්මක ගැටලුවක් අප හමුවේ තිබියදී අප සාකච්ඡා කරන්නේ වෙනත් දේ පිළිබඳවයි.

මෙම ව්‍යාපෘතිය සඳහාත් ණය ලබා දී තිබෙන්නේ සංවර්ධනය සඳහා වූ සවුද ණය අරමුදල යටතේ. ඉදිකිරීම්කරුවන් සඳහා මුදල් ගෙවීම් සිදු කරන්නේ රජය නොවේ. රජයට පැවරෙන වගකීම වන්නේ අනාගතයේ එම ණය මුදල් ගෙවීමයි.

ගංවතුර හේතුවෙන් නැඟෙනහිර පළාතේ විනාශයට පත් වූ ස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා ජනාධිපතිවරයා හරහා පරිපූරක ඇස්තමේතුවක් සම්මත කර ගත යුතුයි. ජනතාවගේ අවශ්‍යතාවයන් අපට ඉතා හොඳින් වැටහෙනවා. නමුත් ආණ්ඩුකරණය දේශපාලන කතා පැවැත්වීම තරම් පහසු නැහැ. අර්ථ ශාස්ත්‍රය පිළිබඳ දැනුමකින් තොරව මෙම ගැටලුවලට විසඳුම් සෙවිය නොහැකියි. විවිධාකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට ජීවිත කාලය පුරා මුහුණ දුන්, ජීවිත කැප කළ මෙම ප්‍රදේශවල ජනතාව මෙන්ම අරන්තලාව භික්ෂු ඝාතනය සිහිපත් කරමින් මෙම මාර්ගය ඉදිකිරීම් ආරම්භ කරන ස්ථානයේම ස්මාරකයක්‌ ඉදිකිරීමට ද කටයුතු කරන ලෙස ඉදිකිරීම් භාර සමාගමෙන් ඉල්ලීමක් කිරීමට මා බලාපොරොත්තු වෙනවා.මහා සංඝයා වහන්සේ, අම්පාර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති ඩබ්. ඩී. වීරසිංහ, අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජෙගදීෂන්, ටී. එම්. වී. පී. පක්ෂයේ ලේකම් පී. ප්‍රශාන්තන්, අම්පාර ප්‍රාදේශීය ලේකම් තිළිණ ගමගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන්, මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂකවරයා ඇතුළු නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, පළාත් පාලන ආයතන නියෝජිතයන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
 
 
 

 

  • නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය අදට යෝග්‍ය නැහැ.
  • එයින් අසාධාරණයට ලක් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් – G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව අමතමින් ජනපති අවධාරණය කරයි.

ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු වන්නේ පැරිස් සමාජය සහ ලන්ඩන් සමාජය විසින් ගෝලීය ණය විසඳුම් පිළිබඳ ආධිපත්‍යය දැරූ ලෝකය සඳහා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අද වන විට, ගෝලීය ණය මෙන්ම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය, පැරිස් සමාජයේ සාමාජිකයින් නොවන ණය හිමියන් සහ ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොළ විසින් පාලනය කරනු ලබන බවද පෙන්වා දුන්නේය.

පවතින මූල්‍ය සම්පත්, ණය සේවාවක් ලෙස ලබා ගන්නා විට, අත්‍යාවශ්‍ය පොදු සේවා සහ මානව සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය වියදම් වෙනුවෙන් මූල්‍ය පහසුකම් සපයා ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට නොහැකි වන අතර, එය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ද බලපාන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (21) උගන්ඩාවේ කම්පාලා නුවරදි ආරම්භ කෙරුණු “G77 සහ චීනය” කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China) අමතමිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම සන්ධානය ලෙස, ගෝලීය දකුණේ රටවලට සිය සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට, ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර අන්තර් සහයෝගීතාවය ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින ජාත්‍යන්තර ආර්ථික ගැටළු පිළිබඳව එක්ව සාකච්ඡා කිරීම වෙනුවෙන් ඉඩකඩ සලසා දීම G77 සහ චීනය සමුළුවේදී සිදු කෙරේ.

එහි සාමාජික රටවල් 134 අතර වෙළඳාම, ආයෝජන, තිරසාර සංවර්ධනය, දේශගුණික විපර්යාස, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ඩිජිටල් ආර්ථිකය ඇතුළු ක්ෂෙත්‍රයන්හි සහයෝගීතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ‘කිසිවෙකු අත් නොහරිමු’ යන තේමාව යටතේ එහි 3 වැනි දකුණු සමුළුව කැඳවා තිබිණි.

G77 සහ චීනය සමුළුවේ සභාපති ධූරය මෙතෙක් කියුබානු ජනරජය මගින් දැරූ අතර, මෙවර එය උගන්ඩා ජනරජය විසින් භාර ගනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුව අමතා සිදු කළ සම්පූර්ණ කථාව මෙසේය,

3 වැනි දකුණේ සමුළුව සඳහා සත්කාරකත්වය දැක්වීම සහ “G77 සහ චීනය” කණ්ඩායමේ සභාපතීත්වය භාරගැනීම සම්බන්ධයෙන් උගන්ඩා ජනාධිපති යොවේරි මුසෙවේනි මහතාටත්, උගන්ඩා රජයටත් මාගේ සුභපැතුම් පිරිනමනවා.

ඒ වගේම පසුගිය වසර තුළ “G77 සහ චීනය” කණ්ඩායම වෙනුවෙන් ලබාදෙන ලද ඵලදායී සහ ස්ථීර නායකත්වය වෙනුවෙන් මම කියුබාවටද ස්තුති කිරීමට කැමතියි.

කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස්-කැනෙල් මහතා විසින් 2023 සැප්තැම්බර් මාසයේ හවානාහිදී ‘වත්මන් සංවර්ධන අභියෝග’ මැයෙන් කැඳවූ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට මෙන්ම හවානා ප්‍රකාශය සම්මත කර ගැනීමට සහාය වීමට ලැබීම පිළිබඳව ද මම සතුටු වෙනවා.

අප G77 සහ චීනය කණ්ඩායම පිහිටුවාගෙන වසර 60ක් සම්පුර්ණ වීම සමරන මේ මොහොතේ, බහුපාර්ශ්වික සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම කණ්ඩායම ලෙස එක්සත්ව කටයුතු කිරීම සහ අප මුහුණ දෙන බහුවිධ අභියෝග ජය ගැනීමට ගෝලීය දකුණේ ස්ථාවරය අඛණ්ඩව ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍යයි.

G77 සහ චීනය කණ්ඩායමේ ආරම්භක මූලධර්ම වන එකමුතුකම, අනුපූරකත්වය, සහයෝගීතාවය සහ තිරසාර ලෙස බාධක අවම කර ගැනීමට යන සංකල්ප අපට එකට වැඩ කළ හැකි ස්ථිර පදනමක් සකස් කරනු ලබනවා.

අද අපි මෙහි හමුවන්නේ ලෝකය අභියෝග රැසකට මුහුණ දී සිටින අවස්ථාවකයි. ගැටුම් උත්සන්න වීම, වසංගතයේ ප්‍රතිවිපාක, දේශගුණය ආශ්‍රිත ස්වාභාවික විපත් සහ ගෝලීය මූල්‍ය වෙළඳපොළ වෙනස්වීම් මෙන්ම තවත් බොහෝ හේතු නිසා මෙම තත්ත්වයන් නිරන්තරයෙන් වෙනස් වෙනවා. වර්ධනය වන මෙම තත්ත්වයන් G77 සාමාජික රටවල අවදානමට ලක්විය හැකි ආර්ථිකයන් කෙරෙහි අසමාන අන්දමින් මෙන්ම අහිතකර ලෙස ද බලපානු ලබනවා.

එසේම ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙනවා. නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු වන්නේ පැරිස් සමාජය සහ ලන්ඩන් සමාජය විසින් ගෝලීය ණය විසඳුම් ආධිපත්‍යය දැරූ ලෝකය සඳහායි. අද වන විට, ගෝලීය ණය මෙන්ම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය, පැරිස් සමාජයේ සාමාජිකයින් නොවන ණය හිමියන් සහ ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොලවල් විසින් පාලනය කරනු ලබනවා.

පවතින මූල්‍ය සම්පත් ණය සේවාවක් ලෙස ලබා ගන්නා විට, අත්‍යාවශ්‍ය පොදු සේවා සහ මානව සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය වියදම් වෙනුවෙන් මූල්‍ය පහසුකම් සපයා ගැනීමට අපට නොහැකි වන අතර, එය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ද බලපානු ලබනවා.

පවතින පොදු රාමුව ඉක්මන් ණය විසඳුමක් ලබා දීමට ප්‍රමාණවත් වන්නේ නැහැ.මෙම රාමුව සහ යථාර්ථය අතර පවතින නොගැළපීම නිසා මගේ රට ද ඇතුළුව අපගේ රටවල් විශාල සංඛ්‍යාවක මෑත කාලීන රාජ්‍ය ණය අර්බුද විසඳා ගැනීම ප්‍රමාද වීමට හේතු වී තිබෙනවා.

දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කර ගැනීමට සහ ඒවාට අනුවර්තනය වීම සඳහා ගෝලීය දකුණේ රටවල අවශ්‍යතා සපුරාලීමේදී ගෝලීය මූල්‍ය සැලැස්මේ ප්‍රබල අසාර්ථකත්වයක් දක්නට ලැබෙනවා.දේශගුණික මූල්‍ය දායකත්වය පිළිබඳව විවිධ ගෝලීය සංසදවලදී සඳහන් වී ඇති නමුත් මේවා ලබා ගත හැකි මූල්‍ය පහසුකම් බවට පරිවර්තනය වී නැහැ.ෙ

ඩුබායි හී පැවති COP28 සමුළුවේදී ශ්‍රී ලංකාව විසින් නිවර්තන කලාපිය මුලපිරීම ඉදිරිපත් කළා. රාජ්‍ය මූල්‍යකරණයේ ඌනතාවය සැලකිල්ලට ගනිමින්, ජෛව විවිධත්වය මෙන්ම අපගේ සාගර සහ වන සම්පත් ඇතුළු ගෝලීය වශයෙන් පොදු සම්පත් පෝෂණය කිරීම සඳහා පුද්ගලික ආයෝජන උත්ප්‍රේරණය කිරීම එම නිවර්තන කලාපීය මුලපිරීම මගින් අපේක්ෂා කෙරෙනවා.

අද වන විට, ගෝලීය වෙළඳ අනුපිළිවෙල තුළ, ආර්ථික වර්ධනය ඇතිකිරීම සඳහා යොදාගන්නා සම්පත් ප්‍රමාණය අවම කිරීමත් සමගම පාරිසරික හානිය අවම කිරීම මෙන්ම අවදානම ඉවත් කිරීම පිළිබඳ සංකල්ප සමඟින් ආරක්ෂණවාදී ප්‍රවණතාවයෙන්ගේ නැගීමක් අපට දක්නට ලැබෙනවා.

ගෝලීය වෙළෙඳ ව්‍යුහයන් තුළ ඒකපාර්ශ්වීය පදනමක් මත එවැනි වෙනස්වීම් සිදු විය නොහැකියි. එවැනි නීති පිළිබඳ තීරණ ගත යුත්තේ බහුපාර්ශ්වික සංසදවල මිස අගනගර එකක හෝ දෙකක දී නොවෙයි.

අප ගෝලීය වෙළඳාමේ සහ ආයෝජනයේ පහසු බව මෙන්ම උපරිම කාර්යක්ෂමතාව ද සහතික කළ යුතුයි. G77 සංවිධානය මේ ක්‍රියාවලිය බ්‍රික්ස් සංවිධානයේ රටවල් සමග සම්බන්ධීකරණය කළ යුතුයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන් මුහුණ දෙන තවත් අවාසියක් වන්නේ රැකියා නිර්මාණය කිරීමයි. “තාක්ෂණික වෙනස්කම් මගින් නිෂ්පාදන කුසලතා සහ ප්‍රාග්ධනය තීව්‍ර කර ඇති අතර අඩු ශ්‍රමයක් අන්තර්ග්‍රහණය කර ඇත.” යන ජෝසප් ස්ටිග්ලිට්ස්ගේ වචන වලින් මෙය වඩාත් හොඳින් විස්තර කර තිබෙනවා.

එමනිසා, ගෝලීය මූල්‍ය ව්‍යුහයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින අතරම, G77 සහ චීනය කණ්ඩායම අපේ සාමාජික රටවලට, බලශක්ති පරිවර්තනය, ඩිජිටල් පරිවර්තනය, හරිත ආර්ථිකය සහ නව ගෝලීය ආර්ථිකයක් වෙනුවෙන් පුහුණු ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා සූදානම් වීමේ උපාය මාර්ග සකස් කළ යුතු වෙනවා.

ශ්‍රී ලංකාව, G77 සහ චීනය කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් සමඟ එක්වෙමින්, සාධාරණ, නීතිගරුක සහ සමානාත්මතාවයෙන් යුතු ලෝකයක් වෙනුවෙන් වන දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා බහුපාර්ශ්විකත්වය තුළින් සාමූහික අවශ්‍යතා ප්‍රවර්ධනය ඉදිරියට සිදුකරගෙන යාම වෙනුවෙන් නව සභාපතිත්වයට පත් යොවේරි මුසෙවේනි මහතාගේ දැක්ම සහ නායකත්වය පිළිබඳ අප විශ්වාසය තබා සිටිනවා.

උගන්ඩා නිල සංචාරය තුළදී උගන්ඩා ජනාධිපතිතුමා විසින් මම සහ මගේ දුත පිරිස වෙනුවෙන් දැක්වු මිත්‍රශීලි ආගන්තුක සත්කාර පිළිබඳ ස්තූතිය පිරිනමමින් මගේ කතාව අවසන් කරනවා.

 

  • පලස්තීන රාජ්‍යයක් පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ජනපති යළි අවධාරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පලස්තීනයේ විදේශ කටයුතු හා සංක්‍රමණිකයින් පිළිබඳ අමාත්‍ය ආචාර්ය රියාද් මල්කි (Dr. Riyad Malki) මහතා අතර හමුවක් “G77 සහ චීනය” 3 වැනි දකුණු සමුළුවට සමගාමීව අද (21) උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්විණි.

ගාසා තීරයේ අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ඊශ්‍රායල – හමාස් ගැටුමේදි පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

ගැටුම් නවත්වා සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබා දෙන බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වසර 05ක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ යෝජනාව බවද කියා සිටියේය.

එසේම පලස්තීනයේ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සහ ඔවුන්ට ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක් ස්ථාපිත කර ගැනීමට ඇති අහිමි කළ නොහැකි අයිතිවාසිකම සඳහා ඉහළම ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාවය ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයිනේ උප ජනාධිපති හුසෙයින් මොහොමඩ් ලතීෆ් (Hussain Mohamed Latheef) මහතා අතර හමුවක් ද “G77 සහ චීනය” 3 වැනි දකුණු සමුළුවට සමගාමීව අද (21) සිදු විය.

ශ්‍රී ලංකා සහ මාලදිවයින අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම විශේෂයෙන් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා දෙරටට එක්ව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළහ.

තවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් (António Guterres) මහතා අතර හමුවක් ද අද (21) කම්පාලා නුවරදී සිදු විය.

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ශ්‍රී වී. මුරලීධරන් (Shri V. Muraleedharan) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡාවක නිරත වූයේ ඉන් අනතුරුවයි.

එමෙන්ම ලාඕස් ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ෆොක්සේ ඛයිඛම්පිතෝන් (Phoxay Khaykhamphithoune) මහතා සහ පිලිපීනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේකම් ඉවන් ජෝන් උයි (Ivan John Uy) මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවක නිරත විය.

 

  • වැටී තිබූ ශ්‍රී ලංකාව යළි නඟා සිටුවීම සඳහා ජනපති දුන් නායකත්වය උගන්ඩා ජනපතිගේ ඇගයීමට.

උගන්ඩාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවේනි (Yoweri Museveni) මහතා අතර නිල හමුව ඊයේ (20) පස්වරුවේ සිදු විය.

මෙහිදී උගන්ඩා ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා මිත්‍රශීලි ලෙස පිළිගත් අතර නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

තම ආරාධනය අනුව උගන්ඩා නිල සංචාරයට එක්වීම පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සතුට පළ කළ උගන්ඩා ජනාධිපති යොවේරි මුසෙවේනි මහතා වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් නායකත්වය අගය කළ අතර ඊට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු බව ද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී නායකයන් සාකච්ඡා කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට එළැඹීමෙන් පසුව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට යමින් සිටින බවත්, 2024 වසරේ නව වර්ධනයක් සමඟ අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කරමින් සිටින බවයි.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ද මෙහිදී අදහස් දැක්විය.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීම ඉතා සංකීර්ණ කාර්යයක් වූ අතර ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව ලබාදිය යුතු බව ශ්‍රි ලංකාවේ බොහෝ මධ්‍යස්ථ මතධාරීන්ගේ මතය වු බව ඒ මහතා සිහිපත් කළේය. ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපතිවරයා ඉතා කෙටි කලක් තුළ ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාව අද ආර්ථික ස්ථාවරත්වයක් උදා කර ගෙන ඇති බව පෙන්වා දුන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ජනාධිපතිවරයාගේ එම කාර්යභාරය අද බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්ව ඇති බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, උගන්ඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වී. කනන්තන් යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

 

  • ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළ ගෝලීය නායකයන්ගේ පැසසුමට.
  • “අප්‍රිකාව දෙස බලමු” ජනපතිගේ සංකල්පය අප්‍රිකානු නායකන්ගේ අවධානයට – විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී මෙතෙක් අවධානයට ලක් නොවූ, බිලියන 1.3ක පමණ ජනගහනයක් වෙසෙන, එමෙන්ම ඉදිරියේදී ඉතා වේගයෙන් සංවර්ධනය වනු ඇතැයි ලෝකය අපේක්ෂා කරන අප්‍රිකානු රටවල් සමඟ සබඳතා තර කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උගන්ඩා නිල සංචාරය ඉවහල් වු බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.

‘අප්‍රිකාව දෙස බලමු’ (Look Africa) යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ නව ආර්ථික ගමන වෙනුවෙන් අප්‍රිකානු රටවල ආයෝජනය කිරීමට මෙහිදී අඩිතාලම වැටුණු බව ද විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ නොබැඳී ජාතීන්ගේ සමුළුවේ 19 වන රාජ්‍ය නායක සැසියට සහ චීනය සහ ගෝලීය දකුණේ සංවර්ධනය වන රටවල සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උගන්ඩාවේ සිදු කරන නිල සංචාරය පිළිබඳ අද (20) අදහස් දක්වමිනි.

මෙහිදී විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මෙසේද පැවසීය,

ඊයේ දිනයේ දී නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය ප්‍රශ්න පිළිබඳව, විශේෂයෙන්ම ගාසා තීරයේ සිදුවන දේ, ඊශ්‍රායලය-පලස්තීනය පිළිබඳව මෙන්ම සංවර්ධනය වන රටක් අනාගතයේදී ගත යුතු පියවර, එමෙන්ම ණය බරින් මිරිකී සිටින ජාතීන් ඉන් මුදා ගැනීම සඳහා ගත යුතු පියවර, දේශගුණික විපර්යාස ආදි මාතෘකා පිළිබඳව තම අදහස් ප්‍රකාශ කරනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිදු කළ කතාව පිළිබඳව මට මුණ ගැසුණ විදේශ නායකයන් සහ අමාත්‍යවරුන් සිය ප්‍රසාදය පළ කර සිටියා.

මීට සමගාමීව අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කළා. විශේෂයෙන්ම සත්කාරක රට වන උගන්ඩාවේ ජනාධිපතිවරයා සමඟ මෙන්ම ඉතියෝපියාවේ අගමැති, බෙනින් රාජ්‍යයේ උප ජනාධිපතිනි, බහමාස්හි අගමැතිවරයා මෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ ද ජනාධිපතිතුමා සාකච්ඡා පැවැත්වු අතර එම රටවල් සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කර ගැනීමට තවදුරටත් ගත යුතු පියවර පිළිබඳව එහිදී සාකච්ඡා කරනු ලැබුවා.

සාමාන්‍යයෙන් අප ආමන්ත්‍රණය නොකරන, බිලියන 1.3ක ජනගහනයක් වෙසෙන, ඉදිරියේදී ඉතා වේගයෙන් සංවර්ධනය වනු ඇතැයි ලෝකය අපේක්ෂා කරන, අප්‍රිකානු රටවල් සමඟ සබඳතා තර කර ගැනීම සඳහා මෙම සංචාරය ඉවහල් වනු ඇති බව මම විශ්වාස කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‍ගේ නායකත්වය තුළ ශ්‍රි ලංකාව ලබමින් සිටින ආර්ථික වර්ධනය සහ එහිදී ජනාධිපතිතුමා ඉටුකරන කාර්යභාරය මෙම සියලුදෙනාගේ ඇගයීමට ලක් වුණා.

මීට වසර එකහමාරකට පෙර ජනාධිපතිතුමා රට බාර ගැනීමට පෙර තිබූ තත්ත්වය සමඟ සසඳන විට අද ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ එම සියලුදෙනා ප්‍රශංසාව පළ කර සිටියා.

විශේෂයෙන් උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසෙවේනි මහතා ප්‍රකාශ කර සිටියේ වැටී තිබූ රට යළි නගා සිටුවීම සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු බවයි.

ඒ වගේම මෙවර නොබැඳි ජාතීන්ගේ සමුළුව තුළින් අපට ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තරයට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වුණා. එසේම අප්‍රිකානු කලාපයේ රටවල් රැසක් සමඟ ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට ද ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ඉවහල් වු බව කිවයුතුයි.

එසේම ‘අප්‍රිකාව දෙස බලමු’ (Look Africa) යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය යටතේ ශ්‍රී ලංකාවට නව ආර්ථික ගමනක් ආරම්භ කිරීම සඳහා අප්‍රිකානු රටවල ආයෝජනය කිරීමට අඩිතාලම මෙහිදී වැටුණු බව ද සිහිපත් කළයුතුයි.

උදාහරණයක් ලෙස බෙනින් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම තුළින් දෙරටටම ප්‍රතිලාභ ලබා ගැනීම අපේක්ෂා කරනවා.

මීට අමතරව විදේශ අමාත්‍යවරයා ලෙස බංග්ලාදේශ, බහරේන්, ඝානා, ටැන්සානියාව, අසර්බයිජානය ආදි රටවල විදේශ අමාත්‍යවරු සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට මටද අවස්ථාව හිමි වූ අතර, එම රටවල් සමඟ ඇති මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගනිමින් ආර්ථික සබඳතා ගොඩනගා ගැනීම එම සාකච්ඡාවල අරමුණයි.

එම නිසා මෙවැනි සමුළු තුළින් රටක් ලෙස අප අපේකෂා කරන්නේ ජාත්‍යන්තරයේ රටවල් සමඟ ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් රටට ප්‍රතිලාභ උදා කර ගැනීමයි.

පවතින ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත වෙනුවට සකස් කෙරුණු භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්‍ෂා කරලීම පදනම් කර ගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත භාරදෙනු ලැබීය.

මේ වන විට ක්‍රියාත්මක වන 1912දී සම්මත කෙරුණු ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත පරිච්ඡින්න කොට මෙම නව පනත ක්‍රියාත්මක කරලීමට අපේක්‍ෂිතය. මෙම නව කෙටුම්පත සැකසීම සඳහා රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපති සමන් අතාවුදහෙට්ටි මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද කමිටුවට සිනමාවේදී අශෝක හඳගම, නාට්‍යවේදී රාජිත දිසානායක, නිර්මාණවේදිනී අනෝමා රාජකරුණා සහ ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ. චිත්‍රපට, වේදිකා නාට්‍ය හා ප්‍රසංග කලාවට සම්බන්ධ විවිධ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර, ජාත්‍යන්තර නව ප්‍රවණතාවන් සහ ප්‍රමිතීන්ට අනුකූලව මෙම කෙටුම්පත සකස් කර තිබේ. වර්තමානයේ කලා නිර්මාණයන් සම්බන්ධයෙන් මතුවන බොහෝ ගැටලු සඳහා මෙම පනත ඔස්සේ විසඳුම් දී ඇති බවත් මෙය ක්‍රියාත්මක කරලීම සමඟම නිර්මාණ නිදහස පූර්ණ ලෙසම ආරක්‍ෂා වන බවත් කමිටු සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා පැවසීය.

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව සහ G77 සහ චීනය කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුවට (3rd South Summit of the Group of 77 & China) සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පස්වරුවේ උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටෙබේ (Entebbe) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

එහිදී එරට ඉඩම් හා නාගරික සංවර්ධන අමාත්‍ය රුත් නන්කැබෙයර්වා (Ruth Nankabeirwa) මහත්මිය ඇතුළු පිරිස විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි මහතාගේ ආරාධනය අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වෙයි.

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගිතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ ජනවාරි 19 සිට 20 දක්වා උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්වේ.

G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව ජනවාරි 21 සිට 22 වැනිදා දක්වා කම්පාලා නුවරදී පැවැත්වෙන අතර, මෙවර එහි තේමාව වී ඇත්තේ ‘කිසිවකු අත් නොහරිමු’ යන්නයි.

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමුළු ද්විත්වයම ඇමතීමට නියමිත අතර, අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයන් සහ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත වේ.

නොබැඳි ජාතීන්ගේ සංවිධානය මේ වන විට සාමාජික රටවල් 120කින් සමන්විත වන අතර, බැන්ඩුන්ග් මූලධර්ම මත පදනම් වෙමින් සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා ඉටු කිරීම අරමුණු කර ගනිමින් එය ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජිකයකු වන අතර, 1976 සිට 1979 දක්වා එහි සභාපතිත්වය හෙබවීය. 1976 වසරේදී ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ 5 වැනි රජ්‍ය නායක සමුළුව සඳහා සත්කාරකත්වය ද ලබා දුන්නේය.

G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව එහි සාමාජික රටවල් 134 අතර වෙළෙඳාම, ආයෝජන, තිරසර සංවර්ධනය, දේශගුණික විපර්යාස, දරිද්‍රතාව තුරන් කිරීම සහ ඩිජිටල් ආර්ථිකය ඇතුළු ක්ෂෙත්‍රයන්හි සහයෝගිතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් පැවැත්වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම සන්ධානය ලෙස ගෝලීය දකුණේ රටවලට සිය සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට, ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර අන්තර් සහයෝගිතාව ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින ජාත්‍යන්තර ආර්ථික ගැටලු පිළිබඳ එක්ව සාකච්ඡා කිරීම වෙනුවෙන් ඉඩකඩ සලසා දීම මෙම සමුළුවේදී සිදු කෙරේ.

G77 සහ චීනය සමුළුවේ සභාපති ධුරය මෙතෙක් කියුබානු ජනරජය මඟින් ද නොබැඳි ජාතීන්ගේ සමුළුවේ සභාපති ධුරය අසර්බයිජාන ජනරජය මඟින් ද දැරූ අතර, මෙම සමුළු ද්විත්වයෙහිම සභාපති ධුරය මෙවර උගන්ඩා ජනරජය විසින් භාර ගැනීමට නියමිතය.

ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන යන මහත්වරු ද එක්වෙති.

කවුරු ආවත් අයි.එම්.එෆ්. හැර වෙන විකල්පයක් නැති බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (17) රාත්‍රී 10ට ජාතික රූපවාහිනියේ ‘මහජන දිනය’ වැඩසටහනින් විකාශය කෙරේ. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ මහජන දිනය වැඩසටහන මෙහෙයවනු ලබන්නේ රංගන සෙනෙවිරත්න, විජය මාපා ජයසිංහ, නිලංග මල්ෂාන් මහත්වරුය.

මහ බැංකු අධිපතිවරයාගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයට අමතරව, මුදල් සම්බන්ධ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුයි සහ කවුරු ආවත් අයි.එම්.එෆ්. හැර වෙන විකල්පයක් නැද්ද යන්න සම්බන්ධයෙන් ද අද (17) රාත්‍රියේ මහජන දිනයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා අනුව වත්මන් රජය නොව කවුරු රට පාලනය කළ ද එම එකඟතා සමඟ කටයුතු කිරීමට සිදු වන බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉකුත් 10 වැනිදා ප්‍රකාශයක් කළේ මේ වසරට අදාළ මූල්‍ය ප්‍රතිපත්ති පෙරදැක්ම ඉදිරිපත් කරමිනි.

මෙලෙස ඇති කරගත් එකඟතා කෙටිකාලීන ඒවා නොව වසර දහය සහ ඊටත් එහා ගිය ඒවා විය හැකි බව මෙහිදී මහ බැංකු අධිපතිවරයා කීවේය. මහ බැංකු අධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දින තුනක විවාදයක් ලබා දෙන ලෙස ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (11) ඉල්ලා සිටියේය.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් ජාතික සංවාදයක් ගොඩනැඟීම අතිශය වැදගත් බවත් සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන් මෙම ප්‍රකාශය සම්බන්ධව දින තුනක විවාදයක් පැවැත්විය යුතු බවටත් මෙහිදී ඇමැතිවරයා ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමු කරන බව ද කථානායකවරයා ඊට පිළිතුරු දෙමින් පැවසීය

ඇසිදිසි ශිෂ්‍යත්ව දුන්නේ ඉතාම සාධාරණව තෝරාගත් පිරිසකට

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට

මාධ්‍යවේදීන් සඳහා වන වරලත් ජනමාධ්‍යවේදීන්ගේ ආයතනය ස්ථාපිත කිරීමේ කාර්යයෙහි නීතිමය කටයුතු සියයට අනූවකින් අවසන් බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

මාධ්‍යවේදීන්ට ලබා දිය යුතු වෘත්තීයමයභාවය එමඟින් ලබා දෙන බවත් පිළිගත් මාධ්‍යවේදියෙක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානයට එක්වෙමින් ඇමැතිවරයා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මේ බව ඊයේ (16) ප්‍රකාශ කළේය.

ඉලෙක්ට්‍රොනික් හා මුද්‍රිත මාධ්‍යයේ සේවයේ නියුතු මාධ්‍යවේදීන් 39 කට මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි.

එම උත්සවයේදී රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසුවේය.

“අද මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතව සිටියේ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතායි. විශේෂයෙන්ම මාධ්‍යයට අද යම් යම් පරිවර්තනයන් විවිධ දේවල් සමාජගත වීම් දේශීයවත් විදේශීයවත් කරන්න පුළුවන් වෙලා තිබෙනවා. මාධ්‍ය ඉතිහාසයේ රටකට එක පුවත්පතක්, එක ගුවන්විදුලි නාලිකාවක්, එක රූපවාහිනී නාළිකාවක් දෙකක් පැවතියා. අද මේ වන විට ගුවන් විදුලි නාලිකා විශාල ප්‍රමාණයක් ඒ වගේම රූපවාහිනී නාලිකා විශාල ප්‍රමාණයක් බිහිවෙලා තිබෙනවා, ඉදිරියට ඇවිත් තිබෙනවා. තාක්ෂණයත් එක්ක අද විශාල වශයෙන් විශාල පිරිසක් ඉන්න ඒ වගේම විශාල වශයෙන් අවධානයට ලක් වූ ක්ෂේත්‍රයක් බවට මාධ්‍ය ක්ෂේත්‍රය පත් වෙලා තිබෙනවා. ඒ නිසා විශාල තරගකාරීත්වයක් තිබෙනවා. ඒ තරගකාරීත්වය තුළ සමහර දේවල් සමාජගත වීම් රටට යහපත් ජනතාවට යහපත් වගේම අයහපත් දේවලුත් සිදු වෙනවා.

ඒ වගේම මේ මාධ්‍යවේදීන් දන්නවා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා යම් අධ්‍යාපනයක් ලබාගෙන යම් අත්දැකීමක් ලබාගෙන යම්කිසි රාමුවක් තුළ මාධ්‍ය හැසිරීම කරන්න.

නමුත් අද විවිධ අය ස්මාට් ෆෝන් එකක් අතට ගත්තාම ඔවුන් ක්ෂණික මාධ්‍යවේදියෙක් වෙන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඒ නිසා සමහර අවස්ථාවලදී ඉතා හොඳින් යහපත් විදියට කටයුතු කරන මාධ්‍යවේදියාගේ ගෞරවයත් යම් යම් අවස්ථාවලදී ප්‍රශ්නගත වෙන කෙලෙසෙන තත්ත්වයට පත්වෙනවා. හතු පිපෙන්නා වගේ මාධ්‍යවේදීන් මේ ක්ෂේත්‍රයට එකතු වීම ගැටලුවක්.

නමුත් එය නවත්වන්න අපිට අයිතියක් නැහැ. ඒ අවස්ථාව අපිට කිසි වෙලාවක නවත්වන්න, වැට බඳින්න විදියක් නැහැ. අද තිබෙන තාක්ෂණ දියුණුවත් එක්ක විවිධ අය මාධ්‍ය ක්ෂේත්‍රයට සන්නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා තිබෙනවා.

ඉතින් ඒ නිසා අපි විවිධාකාරයෙන් යම් යම් අණපනත් ගෙනෙමින් මාධ්‍ය ක්ෂේත්‍රයට ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතියට කිසිදු හානියක් නොවන ආකාරයේ යම් යම් තීන්දු තීරණ ටිකක් වගේම නීති රීති රැසක් සම්පාදනය කරන්නත් ජනමාධ්‍ය අමාත්‍යාංශය විදියට කටයුතු කරනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මඟ පෙන්වීමත් යටතේ බන්දුල ගුණවර්ධන මැතිතුමාත් අපේ අමාත්‍යාංශයත් ඒ වගේම තවත් අමාත්‍යාංශ රාශියක් ඒකාබද්ධවත් කටයුතු කරගෙන යනවා. ඒ තුළින් මාධ්‍ය ක්ෂේත්‍රයේ අයට කිසිදු කටයුත්තක් එහෙම නැත්නම් යම් කිසි බලපෑමක් ඇතිවන ආකාරයට නෙමෙයි ඒ නීති සම්පාදනය වෙන්නේ.

තවදුරටත් මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින අයගේ ගෞරවය ආරක්ෂා වෙන ආකාරයටයි ඒ කටයුතු වෙන්නෙ. ඒ වගේම මාධ්‍ය ආයතනවල ශක්තිය තවදුරටත් වැඩි කරන්නත් ඒ වගේම අයහපත් දෙයක් රටට ජනතාවට ඒ වගේම පෞද්ගලික ජීවිතයට අසාධාරණයත් අවාසියත් වෙනවා නම් ඒ පැත්තෙන් රටේ නීතිය පැත්තෙන් නීතිය තියෙන්න ඕන. ඒ නිසා සකස් කරනවා මිසක් නැතිව කවදාවත් මාධ්‍ය භාවිතයට ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතියට හානියක් වෙන කිසිදු කාරණයකට රජය අවධානය යොමුකර නැති බව මතක් කරනවා.

ඒ නිසා තමයි අපි ජනමාධ්‍යවේදීන්ගේ අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ගවලින් සියයට අනූවක් මේ වන විට අවසන් කර තිබෙනවා. ඉතුරු ක්‍රියාමාර්ගයන් ක්‍රියාවට නංවලා අපේ රට තුළ ඒ ආයතනය බිහි කිරීමෙන් පස්සේ ඉතා ස්වාධීනව මාධ්‍යවේදියෙක් හැටියට ඒ ආයතනයට ඇතුළු වෙලා උපාධියක් ලබාගෙන මාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙක් විදියට පත්වෙන්න අවශ්‍ය ඒ ක්‍රියාදාමය ඒ වැඩපිළිවෙළ ඒ ආයතනය තුළින් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සම්පූර්ණ කටයුත්ත මේ වර්ෂය තුළදී අපි ආරම්භ කරන්න විශේෂයෙන් බලාපොරොත්තුවෙන් සිටිනවා.

මාධ්‍යවේදීන්ට රජයක් මඟින් ලැබෙන දේ අපේ රටේ ප්‍රමාණවත් නැහැ කියලා කවුරුත් පිළිගන්නවා. විශේෂයෙන්ම රක්ෂණාවරණයන් ලබා දීමට අවශ්‍ය උත්සාහය දරමින් සිටිනවා. නමුත් පැවති සහ පවතින මේ ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් හමුවේ අපට යම් බාධාවන් තිබෙනවා. නමුත් ඒ උත්සාහය අතහැර නැහැ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා

මේ ශිෂ්‍යත්ව ලබා දීම 2006 වසරේදී ආරම්භ කළා. මේ දක්වා ශිෂ්‍යත්ව 1062ක් දීලා තිබෙනවා. අද ශිෂ්‍යත්ව 39ක් දෙනවා. ඉතාම සාධාරණව තෝරාගත් පිරිසකට මේ ශිෂ්‍යත්ව ලබා දීම සිදු කරනවා. මාධ්‍ය ක්ෂේත්‍රයේ ඩිප්ලෝමාවක් හදාරන අයෙකුට ලක්ෂයක ශිෂ්‍යත්වයකුත්, උපාධියක් හදාරන අයෙකුට ලක්ෂ දෙකක මුදලකුත් ලබා දෙනවා. මාධ්‍යවේදීන්ගේ වෘත්තීයමයභාවය වැඩි කිරීම සඳහා අපි මෙසේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම් සිදු කරනවා.

  • ඉදිරි දශක කිහිපය තුළ ආයෝජනවල ප්‍රතිලාභ සියලු දෙනාට නිසැකවම හිමි වෙනවා.
  • දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ග වේගවත් කිරීමේ හදිසි අවශ්‍යතාවයක් මතුව තිබෙනවා.
  • කැපවීම්වලට වඩා ක්‍රියාමාර්ග අවම මට්ටමක පැවතීම කණගාටුවට කරුණක් – ජනපති ස්විස්ටර්ලන්ත හරිත තාක්ෂණ සංසදය අමතමින් අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙය වන බවත්, ඉදිරි දශක කිහිපය තුළ එම පාර්ශ්වකරුවන්ට මෙන්ම ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාවට ද එමගින් සැලකිය යුතු ප්‍රතිලාභ අත්වන බවට කිසිදු සැකයක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඒ සඳහා ඉදිරිපත්වන ආයෝජකයන්ට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉහළ මට්ටමේ සහ වෙනස් නොවන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා රජය සහතික කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර ඊයේ (15) පැවති “හරිත තාක්ෂණ සංසදය” (Green Tech Forum) අමතමිනි. ස්විස් – ආසියානු වාණිජ මණ්ඩලය විසින් මෙය සංවිධානය කර තිබිණි.

“බලශක්තියෙන් සුරක්‍ෂිත ශ්‍රී ලංකාවක් කරා මාවත සැකසීම” යන තේමාව යටතේ සිය දේශනය සිදු කළ ජනාධිපතිවරයා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව තුළ ඇති ඉහළ විභවය මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රශස්ත ආයෝජන සහිත වාතාවරණයක් ඇතිකිරීම වෙනුවෙන් පසුගිය වසර 2 තුළ රජය විසින් ගත් පියවර ද අනාවරණය කළේය.

දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ දී ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි පැවති COP28 සමුළුවට ඉදිරිපත් කළ “නිවර්තන කලාපීය මුලපිරීම” ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග පිළිබඳව ද පැහැදිළි කළේය.

ශ්‍රී ලංකාවට සිය තිරසර, හරිත සංවර්ධන න්‍යාය පත්‍රය ඉටු කර ගැනීම සඳහා බලාපොරොත්තු සහගත සැලසුම් තිබෙන බවත් 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කඩිනම් පුනර්ජනනීය බලශක්ති සැලැස්ම මෙම සමස්ත ප්‍රයත්නයේ ප්‍රධාන අංගයක් වන අතර එය බලශක්ති සුරක්ෂිතභාවය කරා යන මාවතේ ද අත්‍යවශ්‍ය පියවරක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කථාව මෙසේය,

මෙම දේශනය සිදු කිරීම සඳහා මා වෙත ආරාධනා කිරීම පිළිබඳව ස්විට්සර්ලන්ත – ආසියානු වාණිජ මණ්ඩලයට සහ මෙම උත්සවය සංවිධානය කළ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ග වේගවත් කිරීමේ හදිසි අවශ්‍යතාවයක් මතුව තිබෙනවා. මේ සඳහා විවිධ අයුරින් කැපවීම් සිදු කර ඇති ගෝලීය සංසද කිහිපයක් තිබෙනවා. කෙසේ වෙතත් මේ පිළිබඳ කැපවීම්වලට වඩා ක්‍රියාමාර්ග ගැනීම අවම මට්ටමක පවතින බව කිවයුතුයි.

ගෝලීය නායකත්වය තුළ පවතින මෙම අසාර්ථකත්වය හේතුවෙන් ඇතිවන ප්‍රතිවිපාක බොහෝ දුරට ගෝලීය දකුණේ සංවර්ධනය වෙමින් පවතින රටවලට දැරීමට සිදුවී තිබෙනවා.

කෘෂිකාර්මික නිෂ්පාදනය අඩාල කරමින් නියං කාලසීමාව සාමාන්‍ය කාලසීමාවට වඩා දීර්ඝ වන විට අපගේ ආහාර සුරක්ෂිතතාව අනතුරේ වැටෙනවා. එසේම මෝසම් වැසි ප්‍රමාද වීම නිසා ජල විදුලි ජනනයට බාධා ඇතිවන විට අපේ බලශක්ති සුරක්ෂිතතාව අවදානමට ලක්වනවා.

බොහෝවිට නියඟය අවසානයේ ගංවතුර තත්ත්වයන් ඇතිවෙනවා. විශේෂයෙන්ම එය සාමාන්‍ය ජන ජීවිතය මෙන්ම ඔවුන්ගේ ජීවනෝපායන් ද කඩාකප්පල් කරනවා.සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන අහිතකර ප්‍රතිඵල මඟින් සිදුවන බලපෑම අසමානුපාතික බව මෙයින් ඉතා පැහැදිලියි.

මෙමගින් දේශගුණික යුක්තිය පිළිබඳ ප්‍රශ්නය සඳහා මෙන්ම ගෝලීය දකුණේ රටවලට දේශගුණික විපර්යාස සඳහා අනුවර්තනය වීමේ සහ ඒවා අවම කිරීමේ ප්‍රයත්නයන් වෙනුවෙන් දියුණු ආර්ථිකයන්ගෙන් සිදු විය යුතු වඩාත් ප්‍රබල දායකත්වයක අවශ්‍යතාවය පෙන්නුම් කරනවා.

ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා කැපවී සිටින බව අවධාරණය කළ යුතුයි. ඩුබායි හි පැවති COP28 සමුළුවේදී අප “නිවර්තන කලාපීය මුලපිරීම” ද ආරම්භ කළා. මෙමඟින් නිවර්තන කලාපයේ රටවල වනාන්තර, බලශක්තිය, සාගර, කඩොලාන පරිසර පද්ධතින් තුළ පෞද්ගලික ආයෝජන සඳහා උත්ප්‍රේරණයක් ඇති කිරීම සඳහා වැඩපිළිවෙලක් නිර්මාණය කරනවා.

එවැනි ප්‍රයත්නයන්හි එක් ප්‍රධාන අංගයක් වන පුනර්ජනනීය බලශක්තිය සඳහා අපගේ ඇති උත්සාහය පිළිබඳව මම ඔබගේ අවධානයට යොමු කිරීමට කැමතියි.

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇති රටක් බව ඔබ දන්නවා. නිදහසින් පසු ශ්‍රී ලංකාව ජල විදුලි බලය සඳහා පුළුල් ජාලයක් නිර්මාණය කළ අතර 1950 වර්ෂයේදී එහි පළමු ප්‍රධාන ජල විදුලි බලාගාරය ආරම්භ කළා. එය ජලාශ හතරකින් සමන්විත වෙනවා.

රටේ බලශක්ති අවශ්‍යතාවන් සඳහා ඉන් පසුව අපි මහවැලි සංවර්ධන ව්‍යපෘතිය ආරම්භ කළා. එමඟින් ප්‍රධාන ජලාශ පහක් නිර්මාණය කෙරුණු අතර වලවේ ගඟ ව්‍යාපෘතිය හයවන ජලාශය ලෙස එක් කෙරුණා.

මහවැලි ගඟ ව්‍යාපෘතියේ අවසන් අදියර සම්පූර්ණ වුණේ මීට වසර හතකට පෙරයි. මේ අනුව ජල විදුලිය සඳහා අප සතුව ප්‍රවතින ප්‍රභවයන් භාවිතාවට ගෙන තිබෙනවා.

අදටත්, ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදන ධාරිතාවෙන් 40% ක් පමණ පවතින්නේ ජල විදුලියයි. ජල විදුලිය බොහෝ දුරට ප්‍රශස්ත මට්ටමින් යෙදා ගෙන ඇති නිසා සුළං සහ සූර්ය බලශක්ති උත්පාදනය ජාතික විදුලි බල පද්ධතියට එක් කර ගැනීම සඳහා වැඩි උත්සාහයක් ගෙන තිබෙනවා.

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම සහතික කිරීම වෙනුවෙන් රජය මේ වන විට මෙම ක්‍රියාවලිය වේගවත් කරමින් සිටිනවා.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 11.5ක් දක්වා විශාල ආයෝජනයක් අවශ්‍ය වෙනවා. කෙසේ වෙතත්, මෑතක් වන තුරුම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා පැවති රාමුව එතරම් හිතකර තත්ත්වයක පැවතියේ නැහැ.

පසුගිය වසර 2 තුළ රජය විසින් මෙම අඩුපාඩු නිවැරදි කිරීමට සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රශස්ත ආයෝජන සහිත වාතාවරණයක් ඇතිකිරීම සඳහා පියවර කිහිපයක් ගෙන තිබෙනවා.

මූල්‍ය ප්‍රතිසංස්කරණ,

එහි පළමු පියවර පිරිවැය පිළිබිඹු කරන ගාස්තු ක්‍රමයක් ඇති කිරීමයි. 2014 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කර නැහැ. මෙය ලංකා විදුලි බල මණ්ඩලයට මුදල් ගලා ඒම පිළිබඳ ගැටළු ඇති කිරීමට හේතු වූ අතර ඇතැම් අවස්ථාවන්හිදී විදුලි සැපයුම්කරුවන්ට සිදු කළ යුතු ගෙවීම් ප්‍රමාද වීමටද හේතු වුණා.

කෙසේ වෙතත් 2022 අගෝස්තු මාසයේ සිට පිරිවැය පිළිබිඹු කරන මිල සුත්‍රයකට මාරු වුණා. ඒ අනුව, අනාගතයේ විදුලි උත්පාදනය සඳහා පවතින පිරිවැය පිළිබිඹු කරමින් සෑම කාර්තුවකටම වරක් විදුලි ගාස්තු සංශෝධනය කෙරෙනවා.

දිගු කලක් පාඩු ලබන ආයතනයක් වූ ලංකා විදුලිබල මණ්ඩලය, 2023 වසරේ දී ලාභ ලබන ආයතනයක් බවට පත් වූ අතර, එමඟින් අතීතයේ සිට පවතින ණය සැලකිය යුතු මට්ටමකින් පියවා ගැනීමට ද හැකි වුණා.

මෙම ආයතනයට දැන් ශක්තිමත් ශේෂ පත්‍රයක් මෙන්ම වඩා ශක්තිමත් මුදල් ප්‍රවාහ තත්වයක් සහ මූල්‍ය ද්‍රවශීලතාවය සහතික කරනු ලබන ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා. සමවර්ත ගාස්තුව නම්‍යශීලී නොවීම ආයෝජකයින්ගේ කනස්සල්ලට හේතු වී තිබෙනවා. අභ්‍යන්තර ප්‍රතිසංස්කරණවලට අමතරව හරිත මූල්‍යකරණය ආකර්ෂණය කර ගැනීමේ රාමුව ද අපි සකස් කරමින් සිටිනවා.

ශ්‍රී ලංකාව තිරසාර මූල්‍යකරණය සඳහා වන මාර්ග සිතියම, හරිත මූල්‍ය වර්ගීකරණය, තිරසර සංවර්ධන ඉලක්ක (SDG) සඳහා වන ආයෝජක සිතියම සකස් කර ඇති අතර දැනට සකස් කරමින් පවතින හරිත බැඳුම්කර රාමුව සඳහා වන මාර්ග සිතියම යන පියවර මඟින් ශ්‍රී ලංකාවට දේශගුණික මූල්‍යකරණයේ ශක්තිමත් නියැලීමක් සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් පවතිනවා. තිරසර මූල්‍ය පහසුකම් සැපයීම, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා අමතර ශක්තියක් වනු ඇතියි.

නෛතික ප්‍රතිසංස්කරණ,

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ මහා පරිමාණ ආයෝජන සඳහා නීතිමය බාධක තිබෙනවා. 2022 වසරේදී හඳුන්වා දුන් විදුලිබල පනතේ සංශෝධන මඟින් එම නීතිමය බාධා ද ඉවත් කිරීමට කටයුතු කිරීම එහි දෙවන පියවරයි.

ආයතනික ප්‍රතිසංස්කරණ,

තුන්වැන්න, රජය ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිවුහගතකිරීමේ අවසන් අදියරේ සිටීමයි. මෙමගින් විදුලිබල මණ්ඩලයේ බෙදා හැරීම, උත්පාදනය සහ සම්ප්‍රේෂණය සඳහා වැඩි මූල්‍ය සහ මෙහෙයුම් ස්වාධිපත්‍යයක් ඇති වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගකාරීත්වය සහ විනිවිදභාවය ඇති වෙනවා.

විදුලිය උත්පාදනය සඳහා පුද්ගලික අංශයේ සහභාගීත්වය ලබාගැනීම දැනටමත් සිදුවන අතර, මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන හරහා පුද්ගලික අංශයේ සහභාගීත්වය සඳහා වැඩි අවස්ථාවක් සැලසෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද මෙම ප්‍රධාන ප්‍රතිසංස්කරණ මගින් පාරිභෝගිකයින්ට මෙන්ම වඩාත්ම තරගකාරී හා කාර්යක්ෂම විදුලි නිෂ්පාදකයින්ට වඩා ඵලදායී අවස්ථා නිර්මාණය වෙනවා. එමෙන්ම විදුලිබල මණ්ඩලය කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බව එමගින් සහතික කෙරෙනවා. මෙම ප්‍රතිසංස්කරණ සඳහා වන නීති කෙටුම්පත් පසුගිය මාසයේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම,

විශේෂයෙන් 2026 වන විට මෙරට ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ අභිලාෂය වෙනුවෙන් පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීම සඳහා වැඩි දියුණු කිරීම් අවශ්‍ය වෙනවා. එසේම ගබඩා කිරීම, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම සඳහා ආයෝජන අවශ්‍යයි. 2030 දක්වා මෙම ඒකාබද්ධ කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති අතර ඒවා ක්‍රියාත්මක කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

අනාගත දැක්ම,

පසුගිය වසර දෙක තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙම ක්ෂේත්‍රය කෙරෙහි නව උනන්දුවක් ඇති වී තිබෙනවා. දැනටමත් මහා පරිමාණයේ සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා.
ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරයක් මෙගාවොට් 350 ක සුළං විදුලි බලාගාරයක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත්ව සිටින අතර එය 2025දී ආරම්භ කිරීමට අපේක්ෂිතයි. මෙම සමාගම තවත් ඩොලර් මිලියන 750ක් සුළං බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සුළං බලය මඟින් ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක් සැලසෙනවා.

විශේෂයෙන් වෙරළාසන්න සුළං බලයට ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට වඩා වැඩි බලයක් උත්පාදනය කිරීමේ හැකියාව පවතින බව ලෝක බැංකුවේ මෑතකාලීන වාර්තාවක් පෙන්වා දී තිබෙනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අන්තර් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡා ප්‍රගතිශීලී අදියරක තිබෙන බව කිව යුතුයි. විශේෂයෙන් ඉන්දියාවේ දකුණු කොටසෙහි වේගයෙන් වර්ධනය වන කාර්මික කලාපය වෙත ශ්‍රී ලංකාවේ අතිරික්ත විදුලිය අපනයනය කිරීමට එමගින් අවස්ථාව සැලසෙනවා.

සූර්ය බලශක්තිය සඳහා ද ඉහළ විභවයක් පවතිනවා. එය ගිගාවොට් 40ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා. වහලය මත රඳවන සූර්ය පැනල මඟින් උත්පාදනය කරන බලශක්තිය හැරුණු කොට සූර්ය බලශක්තියේ විභවය ගිගාවොට් 200 ක් පමණ වෙනවා. ඒ අනුව මුළු ප්‍රමාණය තවත් වැඩි විය යුතුයි. මෙය ශ්‍රී ලංකාවේ සුළං බලයට වඩා වැඩි ප්‍රමාණයක්. ශ්‍රී ලංකාවේ හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා සතුව පවතින විභවය පිළිබඳව ද අප සොයා බලනවා.

ශ්‍රී ලංකාවට සිය තිරසර, හරිත සංවර්ධන න්‍යාය පත්‍රය ඉටු කර ගැනීම සඳහා බලාපොරොත්තු සහගත සැලසුම් පවතිනවා. 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටිනවා.

කඩිනම් පුනර්ජනනීය බලශක්ති සැලැස්ම මෙම සමස්ත ප්‍රයත්නයේ ප්‍රධාන අංගයක් වන අතර එය බලශක්ති සුරක්ෂිතභාවය කරා යන මාවතේ ද අත්‍යවශ්‍ය පියවරක් වෙනවා.

වර්තමානයේ වියළි කාලවලදී ශ්‍රී ලංකාවට අධික මිල සහිත ඉන්ධන මත යැපීමට සිදු වී ඇති නිසා, මෙම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් ජනන පිරිවැය අඩු කර ගැනීමේ හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස අවම කිරීමේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවීමේ කටයුතු සඳහා මේ වන විට මුලපුරා තිබෙන අතර එමඟින් හරිත බලශක්තිය සඳහා පවතින අවස්ථා තවදුරටත් විවෘත වනු ඇතියි.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ප්‍රතිපත්තියේ දිශානතිය සඳහා විවිධ අභිප්‍රේරණයන් හා පාර්ශ්වකරුවන් විසින් සහාය දක්වන බව පැහැදිලියි.

එබැවින් ආයෝජකයින්ට මෙම ක්ෂේත්‍රය තුළ ඉහළ මට්ටමේ සහ වෙනස් නොවන ප්‍රතිපත්තියක් අපේක්ෂා කළ හැකියි.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට හොඳම කාලය මෙය වන අතර, එවැනි ආයෝජන ඉදිරි දශක කිහිපය තුළ එහි පාර්ශ්වකරුවන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට ද සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබා දෙන බවට මට කිසිදු සැකයක් නැහැ.

 

සශ්‍රිකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව නව ආරම්භයක් පිළිබඳව ද අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමකි.

වසර දෙකක් පුරා සිදු කළ අසීමිත කැපවීම් හමුවේ රට ජයග්‍රහණයේ මාවතට අවතීරණ වෙමින් තිබෙන අවස්ථාවක මෙවර තෛපොංගල් සැමරීමට ලැබීම සතුටට කරුණකි.

මීට වසර දහසකට පමණ පෙරාතුව චෝල රජ සමයේදී වසරේ පළමු අස්‌වනු මංගල්‍යය සැමරීම උදෙසා මෙම උත්සවය ඇරඹුණු බව පැවසෙයි.
අස්‌වනු සරිකර ගැනීමට ඇප උපකාර කළ සියලු දෙනා වෙත එක හා සමාන මෙත් සිතින් තුති පිදීම මෙම උත්සවයේ අරමුණයි.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත නගා සිටුවමින් සශ්‍රීක රටක් ගොඩනැගීමේ දී අප කෘෂිකර්මාන්තය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇත්තෙමු.

කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ රට පුරා කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් වෙනුවෙන් අවශ්‍ය සැලසුම් දැනටමත් රජය ක්‍රියාවට නංවා තිබෙන අතර එම කටයුතු සාර්ථක කර ගැනීමට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

එසේම තෛපොංගල් උත්සවයෙන් අපට පෙන්වා දෙන්නේ සමානාත්මතාවයේ ගරුත්වයයි.

එහෙයින් හෙට දවසේ රට වෙනුවෙන් වූ අලුත් බලාපොරොත්තු සඵල කර ගැනීමට එක මවකගේ දරුවන් මෙන් අධිෂ්ඨානයෙන් පෙරට එන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමින් සියලුම ද්‍රවිඩ ජනතාවට සෞභාග්‍යවත් හා ප්‍රීතිමත් තෛපොංගල් සැමරුමකට ශුභාශිංසන එක් කරමි.

රනිල් වික්‍රමසිංහ,
ජනාධිපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter