ඇසිදිසි ශිෂ්‍යත්ව දුන්නේ ඉතාම සාධාරණව තෝරාගත් පිරිසකට

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට

මාධ්‍යවේදීන් සඳහා වන වරලත් ජනමාධ්‍යවේදීන්ගේ ආයතනය ස්ථාපිත කිරීමේ කාර්යයෙහි නීතිමය කටයුතු සියයට අනූවකින් අවසන් බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

මාධ්‍යවේදීන්ට ලබා දිය යුතු වෘත්තීයමයභාවය එමඟින් ලබා දෙන බවත් පිළිගත් මාධ්‍යවේදියෙක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානයට එක්වෙමින් ඇමැතිවරයා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මේ බව ඊයේ (16) ප්‍රකාශ කළේය.

ඉලෙක්ට්‍රොනික් හා මුද්‍රිත මාධ්‍යයේ සේවයේ නියුතු මාධ්‍යවේදීන් 39 කට මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි.

එම උත්සවයේදී රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසුවේය.

“අද මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතව සිටියේ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතායි. විශේෂයෙන්ම මාධ්‍යයට අද යම් යම් පරිවර්තනයන් විවිධ දේවල් සමාජගත වීම් දේශීයවත් විදේශීයවත් කරන්න පුළුවන් වෙලා තිබෙනවා. මාධ්‍ය ඉතිහාසයේ රටකට එක පුවත්පතක්, එක ගුවන්විදුලි නාලිකාවක්, එක රූපවාහිනී නාළිකාවක් දෙකක් පැවතියා. අද මේ වන විට ගුවන් විදුලි නාලිකා විශාල ප්‍රමාණයක් ඒ වගේම රූපවාහිනී නාලිකා විශාල ප්‍රමාණයක් බිහිවෙලා තිබෙනවා, ඉදිරියට ඇවිත් තිබෙනවා. තාක්ෂණයත් එක්ක අද විශාල වශයෙන් විශාල පිරිසක් ඉන්න ඒ වගේම විශාල වශයෙන් අවධානයට ලක් වූ ක්ෂේත්‍රයක් බවට මාධ්‍ය ක්ෂේත්‍රය පත් වෙලා තිබෙනවා. ඒ නිසා විශාල තරගකාරීත්වයක් තිබෙනවා. ඒ තරගකාරීත්වය තුළ සමහර දේවල් සමාජගත වීම් රටට යහපත් ජනතාවට යහපත් වගේම අයහපත් දේවලුත් සිදු වෙනවා.

ඒ වගේම මේ මාධ්‍යවේදීන් දන්නවා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා යම් අධ්‍යාපනයක් ලබාගෙන යම් අත්දැකීමක් ලබාගෙන යම්කිසි රාමුවක් තුළ මාධ්‍ය හැසිරීම කරන්න.

නමුත් අද විවිධ අය ස්මාට් ෆෝන් එකක් අතට ගත්තාම ඔවුන් ක්ෂණික මාධ්‍යවේදියෙක් වෙන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඒ නිසා සමහර අවස්ථාවලදී ඉතා හොඳින් යහපත් විදියට කටයුතු කරන මාධ්‍යවේදියාගේ ගෞරවයත් යම් යම් අවස්ථාවලදී ප්‍රශ්නගත වෙන කෙලෙසෙන තත්ත්වයට පත්වෙනවා. හතු පිපෙන්නා වගේ මාධ්‍යවේදීන් මේ ක්ෂේත්‍රයට එකතු වීම ගැටලුවක්.

නමුත් එය නවත්වන්න අපිට අයිතියක් නැහැ. ඒ අවස්ථාව අපිට කිසි වෙලාවක නවත්වන්න, වැට බඳින්න විදියක් නැහැ. අද තිබෙන තාක්ෂණ දියුණුවත් එක්ක විවිධ අය මාධ්‍ය ක්ෂේත්‍රයට සන්නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා තිබෙනවා.

ඉතින් ඒ නිසා අපි විවිධාකාරයෙන් යම් යම් අණපනත් ගෙනෙමින් මාධ්‍ය ක්ෂේත්‍රයට ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතියට කිසිදු හානියක් නොවන ආකාරයේ යම් යම් තීන්දු තීරණ ටිකක් වගේම නීති රීති රැසක් සම්පාදනය කරන්නත් ජනමාධ්‍ය අමාත්‍යාංශය විදියට කටයුතු කරනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මඟ පෙන්වීමත් යටතේ බන්දුල ගුණවර්ධන මැතිතුමාත් අපේ අමාත්‍යාංශයත් ඒ වගේම තවත් අමාත්‍යාංශ රාශියක් ඒකාබද්ධවත් කටයුතු කරගෙන යනවා. ඒ තුළින් මාධ්‍ය ක්ෂේත්‍රයේ අයට කිසිදු කටයුත්තක් එහෙම නැත්නම් යම් කිසි බලපෑමක් ඇතිවන ආකාරයට නෙමෙයි ඒ නීති සම්පාදනය වෙන්නේ.

තවදුරටත් මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින අයගේ ගෞරවය ආරක්ෂා වෙන ආකාරයටයි ඒ කටයුතු වෙන්නෙ. ඒ වගේම මාධ්‍ය ආයතනවල ශක්තිය තවදුරටත් වැඩි කරන්නත් ඒ වගේම අයහපත් දෙයක් රටට ජනතාවට ඒ වගේම පෞද්ගලික ජීවිතයට අසාධාරණයත් අවාසියත් වෙනවා නම් ඒ පැත්තෙන් රටේ නීතිය පැත්තෙන් නීතිය තියෙන්න ඕන. ඒ නිසා සකස් කරනවා මිසක් නැතිව කවදාවත් මාධ්‍ය භාවිතයට ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතියට හානියක් වෙන කිසිදු කාරණයකට රජය අවධානය යොමුකර නැති බව මතක් කරනවා.

ඒ නිසා තමයි අපි ජනමාධ්‍යවේදීන්ගේ අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ගවලින් සියයට අනූවක් මේ වන විට අවසන් කර තිබෙනවා. ඉතුරු ක්‍රියාමාර්ගයන් ක්‍රියාවට නංවලා අපේ රට තුළ ඒ ආයතනය බිහි කිරීමෙන් පස්සේ ඉතා ස්වාධීනව මාධ්‍යවේදියෙක් හැටියට ඒ ආයතනයට ඇතුළු වෙලා උපාධියක් ලබාගෙන මාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙක් විදියට පත්වෙන්න අවශ්‍ය ඒ ක්‍රියාදාමය ඒ වැඩපිළිවෙළ ඒ ආයතනය තුළින් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සම්පූර්ණ කටයුත්ත මේ වර්ෂය තුළදී අපි ආරම්භ කරන්න විශේෂයෙන් බලාපොරොත්තුවෙන් සිටිනවා.

මාධ්‍යවේදීන්ට රජයක් මඟින් ලැබෙන දේ අපේ රටේ ප්‍රමාණවත් නැහැ කියලා කවුරුත් පිළිගන්නවා. විශේෂයෙන්ම රක්ෂණාවරණයන් ලබා දීමට අවශ්‍ය උත්සාහය දරමින් සිටිනවා. නමුත් පැවති සහ පවතින මේ ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් හමුවේ අපට යම් බාධාවන් තිබෙනවා. නමුත් ඒ උත්සාහය අතහැර නැහැ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා

මේ ශිෂ්‍යත්ව ලබා දීම 2006 වසරේදී ආරම්භ කළා. මේ දක්වා ශිෂ්‍යත්ව 1062ක් දීලා තිබෙනවා. අද ශිෂ්‍යත්ව 39ක් දෙනවා. ඉතාම සාධාරණව තෝරාගත් පිරිසකට මේ ශිෂ්‍යත්ව ලබා දීම සිදු කරනවා. මාධ්‍ය ක්ෂේත්‍රයේ ඩිප්ලෝමාවක් හදාරන අයෙකුට ලක්ෂයක ශිෂ්‍යත්වයකුත්, උපාධියක් හදාරන අයෙකුට ලක්ෂ දෙකක මුදලකුත් ලබා දෙනවා. මාධ්‍යවේදීන්ගේ වෘත්තීයමයභාවය වැඩි කිරීම සඳහා අපි මෙසේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම් සිදු කරනවා.