නවතම පුවත්

රටේ ආර්ථිකය නිවැරදි මඟට යොමු කිරීමට ජනප්‍රිය නොවන ඕනෑම තීරණයක් ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා සහ යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික් එක්සත් ජාතික පාක්ෂිකයන් අතර හමුවක් යාපනය, වාලම්පුරි හෝටලයේදී ඊයේ (7) පැවැත්වුණු අවස්ථාවේදීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෙසේද පැවසීය:

“උතුරු පළාතේ ගැටලු අතුරින් ඉඩම් ප්‍රශ්නය හා අතුරුදන් වූවන් පිළිබඳ ප්‍රශ්නය ප්‍රමුඛතාවක් ගෙන තිබුණා. ආණ්ඩුවක් ලෙස ඒ ගැටලුවලට කඩිනම් විසඳුම් දීමට මේ වන විටත් සැලසුම් කර තිබෙනවා. උතුරේ ඉඩම් ප්‍රශ්නය සහ අතුරුදහන් වූවන් පිළිබඳ ගැටලුවට 2025 අවසන් වීමට පෙර විසඳුම් දීමට බලාපොරොත්තු වනවා. ඒ වගේම අවතැන් වූවන්ට නිවාස දීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරනවා. උතුරු පළාතේ සුළං සහ සූර්ය බලය යන බලශක්ති සඳහා තිබෙන අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් අපනයන බලශක්තියක් කරා බලශක්ති නිෂ්පාදනය වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. හරිත හයිඩ්‍රජන් හරිත ඇමෝනියා නිෂ්පාදනය කෙරෙහිද අවධානය යොමු කර තිබෙනවා.

“උතුරු පළාතේ තිබෙන සරු ගොවිබිම්වලට නවීන තාක්ෂණය එකතු කර අපනයන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමටත් සැලසුම් කර තිබෙනවා. ඉදිරි දශකයේ ලෝකයේ ජනගහනය දෙගුණයක් බවට පත් වීමත් සමඟ ඔවුන්ටද අවශ්‍ය ආහාර නිපදවීමෙන් අපනයන කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමටත් අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම යාපනය දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. යාපනයේ පවත්වන වේල් පෙරහර ලෝකයේ හින්දු බැතිමතුන්ට නැරඹීමට අවස්ථාව සලසා දීමට අවශ්‍ය පහසුකම් සකසමින් තිබෙනවා. අගෝස්තු මාසයේ ඇසළ පෙරහර, කතරගම පෙරහර වගේම යාපනයේ වේල් පෙරහරත් සංචාරක ආකර්ෂණයට ලක් කිරීමට ඒ අනුව සැලසුම් සහගතව කටයුතු කරනවා.

“උතුරේ සෞඛ්‍යය සහ අධ්‍යාපනය දියුණු කිරීමේ නව ආයෝජන අවස්ථා වෙනුවෙන් ඩයස්පෝරාවට අවස්ථාව දීමටත් කටයුතු කරනවා. මෙවැනි නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ උතුරු පළාතේ නව රැකියා අවස්ථා මෙන්ම ආයෝජන අවස්ථාද ඇති වනවා. මේ අනුව උතුරේ තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදා වන අතර, එමඟින් ඔවුන්ගේ ජීවන තත්ත්වයද උසස් කිරීමට හැකියාව ලැබෙනවා.

“රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ගැනීමට සිදු වන තීරණ ජනප්‍රිය නොවන්න පුළුවන්. එහෙත් රටේ ආර්ථිකය නිවැරදි ම‍ඟට යොමු කිරීම සඳහා ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට මම කටයුතු කරනවා. අපි සියලු දෙනා එකතුව උතුරු පළාත සංවර්ධනය කර රටම දියුණු කරමු.”

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් රජිත කීර්ති තෙන්නකෝන්, චුන්නාකම් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුරේෂ් කුමාර් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපතිවරයා සහ උතුරු පළාතේ තල් කර්මාන්තකරුවන් අතර හමුවක්ද යාපනය, තන්දෙයි චෙලවා ශ්‍රවණාගාරයේ පෙරේදා (7) පැවැත්වුණු අතර,

උතුරේ ඇති සමාජ ප්‍රශ්න හා තල් කර්මාන්තයේ ප්‍රශ්න සොයා බැලීමට කමිටු දෙකක් පත් කරන බවද, අදාළ කමිටු වාර්තාව ලැබීමෙන් පසු උතුරේ තල් කර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය තීන්දු ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරු සහ තල් ආශ්‍රිත කර්මාන්තකරුවෝ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ජනාධිපතිවරයා සහ උතුරු පළාතේ නීතිඥ සංගමය හා ව්‍යාපාරිකයන් අතර හමුවක් උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවෙසේදී පෙරේදා (6) රාත්‍රියේ පැවැත්විණි. නීති ක්ෂේත්‍රයට අදාළව උතුරු පළාතේ පවතින ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

 

පිලිපීනයේ පසුගියදා පැවති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළේදී මීටර් 5000 සහ මීටර් 1500 යන ඉසව්වලදී රන් පදක්කම් දෙකක්, මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමි කර ගත් මුලතිව්, මුල්ලියාවලෙයිහි පදිංචි අකිලා තිරුනායක මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී පෙරේදා (6) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූවාය.

72 වියෙහි පසුවන විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක වන ඇය පාසල් වියේ සිටම මලල ක්‍රීඩාවට දක්ෂතා දක්වා ඇති අතර, මෙරට නියෝජනය කරමින් තායිලන්තය, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව සහ ඉන්දියාව යන රටවල පැවති ප්‍රවීණයන්ගේ තරගාවලි කිහිපයකදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගෙන ඇත. අකිලා තිරුනායක මහත්මියගේ ක්‍රීඩා කටයුතු පිළිබඳ විමසමින් සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා ඇය දිරිගැන්වීමක් ලෙස තිළිණපතක් ද ප්‍රදානය කළේය. එසේම ඇගේ ධෛර්යවන්ත ක්‍රීඩා දිවිය අගය කළ ජනාධිපතිවරයා ඉදිරි කටයුතු වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය.

ආගමික සහජීවනය ඇති කරමින් රට ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට උතුරේ සර්ව ආගමික නායකයන්ගේ ආශීර්වාදය පළ කෙරිණි. උතුරු පළාතේ සර්ව ආගමික නායකයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පෙරේදා (06) පැවැත්වුණු අවස්ථාවේදී අදහස් දක්වමින් ආගමික නායකයින් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට ආශීර්වාද කළහ. මෙහිදී අදහස් දැක්වූ යාපනය නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ සඳහන් කළේ රට ගොඩනැඟීමේ අභියෝගය භාරගත් ජනාධිපතිතුමා අද එය නිසි අයුරින්ම ඉටු කරමින් සිටින බවයි. එම වැඩපිළිවෙළේදී යාපනයට පැමිණ එහි සියලු ආගමික නායකයන් හමුවී අවවාද අනුශාසනා ලබා ගැනීමට ගත් පියවර අගය කළ උන්වහන්සේ ජනාධිපතිවරයාගේ රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට සියලු දෙනාගේ ආශිර්වාදය හිමිවන බව ද පැවසූහ. පී.ජේ. ජෙබරද්නම් පියතුමා ද මෙහිදී අනුශාසනාවක් සිදු කළ අතර, උන්වහන්සේ පෙන්වා දුන්නේ අතීතයේ සශ්‍රික පළාතක් වූ උතුරට අවශ්‍ය සංවර්ධනය නොව ප්‍රති සංවර්ධනයක් බවයි. යුද්ධයට සහ සංවර්ධනයට වඩා අසීරු කාර්යයක් වන්නේ සහජීවනය ගොඩනැඟීම බව පෙන්වා දුන් උන්වහන්සේ ඒ උදෙසා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ අතර‍, ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාදය පිරිනැමීය.

ශිවා ශ්‍රී කන්දයියා කුරුක්කල්තුමා ද ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කරමින් සඳහන් කළේ සියලු ජනතාව අතර සහජීවනය ඇති කරමින් රටට සමෘද්ධිය උදාකර දීමට දේශපාලන අධිෂ්ඨානයක් අවශ්‍ය බවයි. එම අධිෂ්ඨානය සහ ශක්තිය ජනාධිපතිතුමා සතු බව පෙන්වා දුන් ශිවා ශ්‍රී කන්දයියා කුරුක්කල්තුමා හින්දු ජනතාවගේ අවශ්‍යතා ඉටු කර දීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවද සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් ආර්ථික සංවර්ධනයට, ආගමික සංහිඳියාව ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. උතුරේ යුද්ධයෙන් අහිමිවූ ආදායම් නැවත උතුරට ලබා දීමේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීමට අපේක්ෂා කරන බව පැවසු ජනාධිපතිවරයා එහිදී ආගමික නායකයන්ට සිදු කළ හැකි කාර්යභාරය අති මහත් බවද පෙන්වා දුන්නේය. උතුරු පළාතේ ආරක්ෂක හමුදාව යටතේ පවතින ප්‍රදේශවල ඇති කෝවිල් හා පල්ලි පිළිබඳ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත්, එම ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණ කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේම සර්ව ආගමික නායකයන් සහ නල්ලූර් කෝවිලේ භාරකරුවන් කැමැති නම් නල්ලූර් කෝවිලට වඩා විශාල කෝවිලක් ඉදිකිරීමට කටයුතු කළ හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ක්‍රිස්තියානි පල්ලිවල තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බවත් විශේෂයෙන් මඩු දේවස්ථානයේ ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මුස්ලිම් ජනතාව යුද සමයේ මෙම ප්‍රදේශ අතහැර ගිය බවත්, ඔවුන්ට නැවත පදිංචි වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජාතිවාදී සහ ආගම්වාදී ලෙස බෙදි වෙන්වීමට අවශ්‍ය නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා සියලුම ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරමින් රටක් ලෙස ඉදිරියට යා යුතු බවද කියා සිටියේය. සෑම ආගමක් පිළිබඳවම කටයුතු කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ උපදේශන කමිටු පත් කිරීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවද ජනාධිපතිවරයා පැවසීය. ආර්. ඒ. රලීම් මවුලවිතුමා ඇතුළු සර්ව ආගමික පූජකවරු, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, යාපනය දිස්ත්‍රික් ලේකම් එස්. ශිවබාලසුන්දරන්, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උතුරු පළාතේ සිව් දින සංචාරක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් මහතා අතර හමුවක් පෙරේදා (6) පස්වරුවේ යාපනයේදී සිදු විය.

කුල ප්‍රශ්නය ඇතුළු උතුරේ සිවිල් සමාජයේ පවතින ගැටලු මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, ඒ ගැටලු නිරාකරණය කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. උතුරේ කුමන දේශපාලන පක්ෂයක්, කුමන අයුරින් කටයුතු කළද කුල ප්‍රශ්නය නිසා ජනතාව පිඩාවට පත් වී සිටින බවත්, යාපනය මඟහැර කොළඹ ජීවත් වන දේශපාලනඥයන් ඒ ගැටලුව පිළිබඳ හඬක් අවදි නොකිරීම කනගාටුවට කරුණක් බවත් අරුන් සිධාර්ථ් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. උතුරු පළාතේ කුල පාසල් රැසක් පවතින නමුත් ඒවායේ අවම පහසුකම් පවා නැති බැවින් ගැටලු මතු වී ඇති බවද පැවසූ අරුන් සිද්ධාර්ථ් මහතා ඒවා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

එවැනි පාසල් 100ක් නම් කරන ලෙස පැවසූ ජනාධිපතිවරයා ඒ පාසල් 100 ඉදිරි මාස 6 තුළ සංවර්ධනයට පියවර ගන්නා බව මෙහිදී යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයට පොරොන්දු විය. කුල ප්‍රශ්න ඉදිරියට දමමින් මහජන ප්‍රශ්නවලට විසඳුම් නොදෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධයෙන් සොයා බලන බවද ජනාධිපතිවරයාැ සඳහන් කළේය.

යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ අතුරුදන් වූවන්ගේ පවුල් බව පවසමින් සංගම් නිර්මාණය කරගෙන සිටින බහුතරයකගේ අතුරුදන් වූවන් සිටින්නේ විදේශ රටවල බවයි. ඒ සම්බන්ධයෙන් අතුරුදන් වූවන්ගේ සංගමයේ ඕනෑම අයකු සමඟ විවාදයකටද තමා සූදානම් බවත්, ඔවුන් අතුරුදන් වූවන්යැයි පවසමින් විදේශගතව සුඛෝපභෝගි ජීවිත ගත කරමින් සිටින බවත් සිද්ධාර්ථ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. යාපනය ජනතාව මුහුණ දී සිටින එහෙත් කතා බහට ලක් නොවන ගැටලු කිහිපයක් ඇතුළත් ලිපියක්ද යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ ක්‍රියාකාරීහු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

 
 
 
 

ගෙවී ගිය වසරේ ළඟා වීමට නොහැකි වූ ඉලක්කයන් සම්පූර්ණ කර ගැනීමට වැඩිපුර වැඩ කරන වසරක් බවට නව වසර පත් කර ගත යුතු යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

නව වසරේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිල රාජකාරි කටයුතු ආරම්භ කරමින් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අභිනව ලේකම්වරයා ලෙස පත් කරන ලද ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීම අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී සිදු විය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

පසුගිය වසර තුළ සැලසුම් කළ ඇතැම් ව්‍යාපෘතිවල සපුරා ගත නොහැකි වූ ඉලක්කයන් සම්පූර්ණ කර ගැනීම සඳහා අමාත්‍යාංශය සහ ඒ යටතේ ක්‍රියාත්මක සියලුම ආයතනවල නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතුයි. ඒ සඳහා නව ශක්තියක් ලබාදීමට හැකි ඉංජිනේරුමය කාර්යයන් සහ පරිපාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද බොහෝ අත්දැකීම් සහ මනා පළපුරුද්දක්‌ සහිත නිලධාරියකු වන ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා නව අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත්ව තිබෙනවා.

ඒ අනුව නව වසරේ වඩාත් කාර්යක්ෂමව කටයුතු කිරීම සඳහා කඩිනම් තීරණ ගැනීම ඉතාමත් අවශ්‍යයි. එසේ නොවුවහොත් මෙම අමාත්‍යාංශයට අනෙකුත් අමාත්‍යාංශ ඉක්මවා යා හැකි ආකාරයේ අලුත් දෙයක් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. අපේ සේවා කාලය අවසන් වන විට රටට ඉතිරි කර ඇත්තේ මොනවාද යන්න පිළිබඳව කල්පනා කිරීමට මෙය අවස්ථාවක් කර ගත යුතුයි. අමාත්‍යාංශ රාශියක කටයුතු කිරීමේදී බොහෝ නව සංකල්පයන් ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබුණා. වෙළෙඳ ඇමැතිවරයා ලෙස ආරම්භ කරන ලද සතොස වෙළෙඳ සල්,කෝප් සිටි, දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන අප එම ඇමැති ධුරවලින් ඉවත් වීමෙන් අනතුරුවත් රටට සේවය කරමින් පවතිනවා. ඒ අනුව යමින් අනුරාධපුරයේ මිහින්තලය දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් මේ වන විට කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඉතාමත් අභියෝගාත්මකව ගෙවුණු පසුගිය වසර තුළ අප සැලසුම් කළ සියලු ඉලක්කයන්ට ළඟා වීමට නොහැකි වුවත් මේ වසර ඊට වඩා වැඩිපුර වැඩ කොටසක් රට වෙනුවෙන් ඉටු කරන වසරක් බවට පත් කර ගැනීමට සියලු දෙනා අදිටන් කර ගත යුතුයි.

ඉතිහාසයේ අප මුහුණදුන් දරුණුතම ආර්ථික අභියෝගයන් පසු කරමින් සිටින මේ අවස්ථාවේ රටට ලැබීමට නියමිත විදේශීය ණය ආධාර නිවැරැදි ආකාරයෙන්, ඵලදායි ලෙස භාවිත කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් කර ගත යුතුයි. අප මෙම අමාත්‍යාංශයේ වගකීම භාරගන්නා අවස්ථාවේ පැවති තත්ත්වයට වඩා බොහෝ ආයතනවල ආදායම් මේ වන විට වර්ධනය වී තිබීම සතුටට කරුණක්. තවදුරටත් කාර්යක්ෂමව කටයුතු කරමින් මේ වසර අවසාන වන විට සියලු ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර ගැනීම සියලු දෙනාගේම ඉලක්කය විය යුතුයි. ඒ වෙනුවෙන් සිදුවන සොරකම්, වංචාව, දූෂණ, අක්‍රමිකතා මැඬ පැවැත්විය යුතුයි. ආයතන ප්‍රධානීන්, කාර්ය මණ්ඩල, වෘත්තීය සමිතිය ඇතුළු සියලුම පාර්ශ්වයන්ගේ ඵලදායි යෝජනාවලට සහ අදහස්වලට අවස්ථාව ලබා දෙමින් කටයුතු කිරීම තුළින් මෙම වර්ෂය වඩාත් සාර්ථක වර්ෂයක් බවට පත් කර ගැනීමට සියලු දෙනාට හැකියාව ලැබෙනු ඇති.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා, අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සියලුම ආයතනවල ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජනපති කියයි

අභියෝග නිවැරැදිව අවබෝධ කර ගනිමින් 2024 රට ජයග්‍රහණයේ මාවතේ ගෙන යෑමට සුබවාදී ආකල්පයන්ගෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව සියලු දෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

උදා වූ 2024 නව වසරේ රාජකාරි ආරම්භ කරමින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (01) පෙරවරුවේ මැති ඇමැතිවරුන් සහ සිය කාර්ය මණ්ඩලය හමුවේ මේ බව සඳහන් කෙළේය.

නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ජාතික ධජය එසවීමෙන් පසු රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහි කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්ද පැවැත්විණි.

අනතුරුව ජනාධිපති කාර්යාලයේ සියලු කාර්ය මණ්ඩලය එක්ව රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දුන්හ.

නව වසර වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලයට සුබ පැතූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කතා බහකටද එක් විය.

මින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමැතිවරු සහ කාර්ය මණ්ඩලය සමඟ තේ පැන් සංග්‍රහයකටද එක් විය.

ඇමැති බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ඇමැතිවරුන් වන රංජිත් සියඹලාපිටිය, ශෙහාන් සේමසිංහ, කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්වරුන්ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශු මාරසිංහ, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද, රජයේ ඉහළ නිලධාරී පිරිසක් සහ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

“ඔබ කථා කරන දෙය මැනිය හැකි විට සහ එය සංඛ්‍යාවලින් ප්‍රකාශ කළ හැකි විට, 

ඔබ ඒ ගැන යමක් දනියි, ඔබට එය සංඛ්‍යාවලින් ප්‍රකාශ කළ නොහැකි වූ විට, 
ඔබේ දැනුම සොච්චම් සහ සෑහීමකට පත් නොවන ආකාරයේ ය; 
එය දැනුමේ ආරම්භය විය හැකිය, නමුත් ඔබ යන්තම් හෝ ඹබගේ සිතුවිලි විද්‍යාත්මක තලයකට  ගෙන ගොස් නොමැත.“
 
 

ආර්ථිකය සවිමත් කරගන්න මේ මඟෙහි තවදුරටත් යා යුතුයි

එය මල් ඇතිරූ මඟක් නොවේ

එකිනෙකා සතු වගකීම් ඉටු කොට මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගැනීමට නව වසරේ අදිටන් කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

එහි මෙසේ ද සඳහන් කර තිබේ. 2024 නව වසරට අප පියනඟන්නේ ශ්‍රී ලංකාව යළි නඟාසිටුවීමේ අභියෝගය හා අපේක්ෂාව හදැතිවයදහසකුත් එකක් පුද්ගලික අපේක්ෂාවන් අප සැම තුළ තිබුණ ද, ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් අපගේ මාතෘභූමිය වර්තමානයේ ඇදවැටී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්ය ය. පසුගිය වසර පුරා ඔබ කළ කැපවීම් සහ විඳි දුෂ්කරතා නිසා රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමේ මූලික පදනම සාර්ථක කර ගන්නට අපට හැකි විණි. නමුත් ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා මේ මඟෙහිම තවත් ඉදිරියට යා යුතු වෙයි. එය මල් ඇතිරූ සුමුදු මඟක් නොවේ. අභියෝගාත්මක දුෂ්කර ගමනකි. මෙහි දී සියලු ලාංකිකයන් වෙත වගකීමක් පැවරෙයි. රට යළි ගොඩනැංවීම වෙනුවෙන් ඉටු කළ යුතු ඒ වගකීම නිසි ලෙස හඳුනා ගැනීම අප සතු කාර්යයකි. ජනවාරි මාසයට නම් තැබුණේ ජේනස් නම් දෙවියකුගේ නමිනි. ජේනස් දෙවිඳුන්ට ඉදිරිය පමණක් නොව පසුපස ද බැලීමට මුහුණු දෙකක් වී ලු.

එහෙයින් අනාගතය දෙස පමණක් නොව අතීතය ද විමසා බලා අපි එකිනෙකාගේ වගකීම් හඳුනා ගනිමු. රට වෙනුවෙන් එම වගකීම් ඉටුකොට අපේ මාතෘභූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට මේ නව වසරේ අදිටන් කර ගනිමු. වගකීමෙන් යුතුව වෙහෙසීමෙන් හා කැපවීමෙන් කටයුතු කරමු. එමඟින් නව වසර සෞභාග්‍යවත් කර ගනිමු.

නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගමන් කරවීමට නව වසරේ අදිටන් කරගනිමු

අදින් ඇරඹෙන 2024 වසර බත බුලතින් සරු නව වසරක් වේවායි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා පවසා ඇත්තේ නවෝත්පාදන හා ව්‍යවසාය මානසිකත්වයෙන් හෙබි නවමු සංකල්පයන් තුළින් නව පරපුර සවිබල ගන්වමින්, නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගමන් කරවීමට නව වසරේ අදිටන් කර ගනිමු යන්නයි. අගමැතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ. 2024 බත බුලතින් සරු සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි. ඒ සඳහා වන, අලුත් බලාපොරොත්තු සහිත රටක් ඇති කිරීම සඳහා රජයේ ක්‍රියාදාමය දියත් කිරීමට මෙවර අය වැයෙන් අවශ්‍ය පියවර ගෙන තිබේ. ආර්ථික, දේශපාලන, සාමාජීය හා සංස්කෘතික සෑම ක්ෂේත්‍රයකම නව වකවානුවක් උදාකිරීමේ අභියෝගාත්මක වැඩපිළිවෙළ පෙරදැරිව විනයගරුක, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක් තුළ සශ්‍රීක අනාගතයක් උදෙසා ඉකුත් වසරේ මෙන්ම අප සියලු දෙනා එකාවන්ව කැපවීමෙන් කටයුතු කරමු. පසුගිය වසරේ රට මුහුණ දුන් ආහාර හා ආර්ථික අර්බුදය හමුවේ අපේ ගොවි ජනතාව අභියෝගාත්මකව කළ මෙහෙය මේ නව වසරේ කෘතවේදීත්වයෙන් සිහිපත් කරමි. පසුගිය වකවානුව අපට හිතන්නට බොහෝ දේ ඉතිරිකොට ඇත. මේ සා රෝග, ව්‍යසන, ආර්ථික හා සාමාජයීය අර්බුද මෑත ඉතිහාසයේ අප නුදුටු ඒවාය. ඒවා යළිඳු නොදකින්නට, මතු පරපුරට ඒවා ඉතිරි නොකරන්නට, නවමු සංකල්පයන් තුළින් පෝෂිත නව වසරකට පියනඟමු.

ජනතා අභිලාෂ ඉටු වන වසරක් වේවා

නව වසරේ හෝ ජනතා අභිලාෂයන් ඉටු කර ගැනීමට හැකියාව ලැබේවායි නව වසරට සුබපැතුම් එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මෙසේද කියා තිබේ. 2023 වසර අපට සිතේ සතුටු විය හැකි කිසිවක් නොලද වසරක් වන අතර…ජනතාවට ජයග්‍රහණයක සේයාවක්වත් ඒ වසර තුළ හමුවූයේ නැත. පවත්නා ව්‍යාකූල සහ බලාපොරොත්තු විරහිත අන්ධකාර සමය නිමා කළ හැක්කේ විධිමත් ජනවරමක් සහිත ආණ්ඩුවක් පත් කර ගැනීමෙන් මිස අන් කිසිවකින් නොවේ.

එබැවින් මූලික අරගලය විය යුත්තේ එළඹෙන වසරේ නව මැතිවරණයකට මඟ පාදා ගැනීමය. එය එසේ නොවන්නේ නම්, තවදුරටත් වර්තමාන පාලකයා විසින් වඩා සුරක්ෂිතව රාජපක්ෂවරුන්ව වැල් පාලමෙන් එතෙර කළ තවත් වසරක් බවට 2024 පත් වනු ඇත.

ආර්ථික සහ දේශපාලන වශයෙන් බරපතළ අවදානම් රැසකට රට මුහුණ දී ඇති මේ මොහොතේ රටේ ජනතාවගේ සාමාන්‍ය ජීවන තත්ත්වයට පවා අසාමාන්‍ය ලෙස අභියෝග රාශියක් පැමිණ තිබේ. කෘෂිකර්මාන්තය සහ ව්‍යවසායකත්වය මත පදනම් වූ ස්වයංපෝෂිත ආර්ථික රටාව වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වී තිබේ. මේ තත්ත්වය වෙනස් කිරීමට නම් පාලකයන්ගේ සුඛ විහරණය ගැන නොව ජනතාව ගැන සිතන පාලන ක්‍රමයක් රටට අවශ්‍ය වේ.

75 වසරක ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසය තුළ කිසිදු විපක්ෂයක් නොකරපු ජනතා සේවාවක් පසුගිය වසර 3ක කාලය තුළ රටේ ජනතාවාදී විපක්ෂය වූ සමගි ජන බලවේගය බලයක් නොමැතිව ඉටු කළේය. එකී සේවාව අඛණ්ඩව 2024 වසරටත් ගෙන යාම අපගේ අරමුණ යි.

එසේම ජනතාව තළා පෙළා බදු පිට බදු අය කරමින් ජන ජීවිත විනාශ කිරීමට රජය කටයුතු කර ඇති මේ මොහොතේ රටක් ලෙස අප නැවතත් එකතු විය යුතුය. මේ එළැඹෙන නව වසර ශ්‍රී ලාංකික අපට තීරණාත්මක වර්ෂයකි. එය රටේ අනාගතය තීරණය කරන මැතිවරණ රැසක් පැවැත්වීමට නියමිත වර්ෂයකි. එබැවින් මෙතෙක් අප ලබා ඇති ජයග්‍රහණයන්හි ඵල සාමකාමීව භුක්ති විඳිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගනිමින් ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට සියලු‍ දෙනාම එකට එක්වන ලෙස ඉල්ලා සිටිමි. මේ නව වසරේ හෝ ජනතා අභිලාෂයන් ඉටු කර ගැනීමට හැකියාව ලැබේවා යන්න මාගේ ඒකායන ප්‍රාර්ථනයයි.

 

2024 නව වසරට අප පිය නගන්නේ ශ්‍රී ලංකාව යළි නගා සිටුවීමේ අභියෝගය හා අපේක්‍ෂාව හදැතිව ය.

දහසකුත් එකක් පුද්ගලික අපේක්‍ෂාවන් අප සැම තුළ තිබුණ ද, ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් අපගේ මාතෘ භූමිය වර්තමානයේ ඇද වැටී ඇති අර්බුදකාරී තත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්යය.

පසුගිය වසර පුරා ඔබ කළ කැපවීම් සහ විඳි දුෂ්කරතා නිසා රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමේ මූලික පදනම සාර්ථක කර ගන්නට අපට හැකි විණි.

නමුත් ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා මේ මගෙහිම තවත් ඉදිරියට යා යුතු වෙයි. එය මල් ඇතිරූ සුමුදු මගක් නොවේ. අභියෝගාත්මක දුෂ්කර ගමනකි.

මෙහිදී සියළු ලාංකිකයන් වෙත වගකීමක් පැවරෙයි. රට යළි ගොඩ නැංවීම වෙනුවෙන් ඉටු කළ යුතු ඒ වගකීම නිසි ලෙස හඳුනා ගැනීම අප සතු කාර්යයකි.

ජනවාරි මාසයට නම් තැබුණේ ජේනස් නම් දෙවියෙකුගේ නමිනි. ජේනස් දෙවිඳුන්ට ඉදිරිය පමණක් නොව පසුපස ද බැලීමට මුහුණු දෙකක් වී ලූ.

එහෙයින් අනාගතය දෙස පමණක් නොව අතීතය ද විමසා බලා අපි එකිනෙකාගේ වගකීම් හඳුනා ගනිමු. රට වෙනුවෙන් එම වගකීම් ඉටුකොට අපේ මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට මේ නව වසරේ අදිටන් කර ගනිමු.

වගකීමෙන් යුතුව වෙහෙසීමෙන් හා කැපවීමෙන් කටයුතු කරමු. එමගින් නව වසර සෞභාග්‍යවත් කර ගනිමු.

රනිල් වික්‍රමසිංහ,
ජනාධිපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki 2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ජපාන මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි

ජපාන මුදල් අමාත්‍යවරයා ජනවාරි 09 සිට 12 දක්වා කාම්බෝජ සංචාරය සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය පවසයි

ජපාන මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාවය අවධාරණය කිරීමට නියමිත බවයි වාර්තා වෙයි

ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද ඔහු සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි

එළඹෙන 2024 වසරට අදාළ රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 2024 වසරේ නිවාඩු දින 25ක් ඇතුළත් ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අතර එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

 

මෙවර සිරිපා වන්දනා සමය උඳුවප් පුන් පොහොය දිනයත් සමඟ ඊයේ (26) ආරම්භ විය.

මෙහිදී පැල්මඬුල්ල ගල්පොත්තාවෙල රාජමහා විහාරයේ සිට සමන්ත කූටය කරා චිරාගත සම්ප්‍රදායානුකූලව ඊයේ අලුයම වැඩමවනු ලැබූ සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ඇතුළු පූජා භාණ්ඩ සිරිපා මළුවේ තැන්පත් කිරීමේ සහ ශ්‍රීපාද පද්මය සැදැහැවතුන්ගේ වන්දනාමානයට පිළියෙල කිරීමේ වතාවත් අතරතුර අවස්ථා සේයාරූවලින් දැක්වේ

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter