ආගමික සහජීවනය ඇති කරමින් රට ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට උතුරේ සර්ව ආගමික නායකයන්ගේ ආශීර්වාදය පළ කෙරිණි. උතුරු පළාතේ සර්ව ආගමික නායකයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පෙරේදා (06) පැවැත්වුණු අවස්ථාවේදී අදහස් දක්වමින් ආගමික නායකයින් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට ආශීර්වාද කළහ. මෙහිදී අදහස් දැක්වූ යාපනය නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ සඳහන් කළේ රට ගොඩනැඟීමේ අභියෝගය භාරගත් ජනාධිපතිතුමා අද එය නිසි අයුරින්ම ඉටු කරමින් සිටින බවයි. එම වැඩපිළිවෙළේදී යාපනයට පැමිණ එහි සියලු ආගමික නායකයන් හමුවී අවවාද අනුශාසනා ලබා ගැනීමට ගත් පියවර අගය කළ උන්වහන්සේ ජනාධිපතිවරයාගේ රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට සියලු දෙනාගේ ආශිර්වාදය හිමිවන බව ද පැවසූහ. පී.ජේ. ජෙබරද්නම් පියතුමා ද මෙහිදී අනුශාසනාවක් සිදු කළ අතර, උන්වහන්සේ පෙන්වා දුන්නේ අතීතයේ සශ්‍රික පළාතක් වූ උතුරට අවශ්‍ය සංවර්ධනය නොව ප්‍රති සංවර්ධනයක් බවයි. යුද්ධයට සහ සංවර්ධනයට වඩා අසීරු කාර්යයක් වන්නේ සහජීවනය ගොඩනැඟීම බව පෙන්වා දුන් උන්වහන්සේ ඒ උදෙසා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ අතර‍, ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාදය පිරිනැමීය.

ශිවා ශ්‍රී කන්දයියා කුරුක්කල්තුමා ද ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කරමින් සඳහන් කළේ සියලු ජනතාව අතර සහජීවනය ඇති කරමින් රටට සමෘද්ධිය උදාකර දීමට දේශපාලන අධිෂ්ඨානයක් අවශ්‍ය බවයි. එම අධිෂ්ඨානය සහ ශක්තිය ජනාධිපතිතුමා සතු බව පෙන්වා දුන් ශිවා ශ්‍රී කන්දයියා කුරුක්කල්තුමා හින්දු ජනතාවගේ අවශ්‍යතා ඉටු කර දීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවද සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් ආර්ථික සංවර්ධනයට, ආගමික සංහිඳියාව ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. උතුරේ යුද්ධයෙන් අහිමිවූ ආදායම් නැවත උතුරට ලබා දීමේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීමට අපේක්ෂා කරන බව පැවසු ජනාධිපතිවරයා එහිදී ආගමික නායකයන්ට සිදු කළ හැකි කාර්යභාරය අති මහත් බවද පෙන්වා දුන්නේය. උතුරු පළාතේ ආරක්ෂක හමුදාව යටතේ පවතින ප්‍රදේශවල ඇති කෝවිල් හා පල්ලි පිළිබඳ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත්, එම ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණ කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේම සර්ව ආගමික නායකයන් සහ නල්ලූර් කෝවිලේ භාරකරුවන් කැමැති නම් නල්ලූර් කෝවිලට වඩා විශාල කෝවිලක් ඉදිකිරීමට කටයුතු කළ හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ක්‍රිස්තියානි පල්ලිවල තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බවත් විශේෂයෙන් මඩු දේවස්ථානයේ ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මුස්ලිම් ජනතාව යුද සමයේ මෙම ප්‍රදේශ අතහැර ගිය බවත්, ඔවුන්ට නැවත පදිංචි වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජාතිවාදී සහ ආගම්වාදී ලෙස බෙදි වෙන්වීමට අවශ්‍ය නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා සියලුම ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරමින් රටක් ලෙස ඉදිරියට යා යුතු බවද කියා සිටියේය. සෑම ආගමක් පිළිබඳවම කටයුතු කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ උපදේශන කමිටු පත් කිරීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවද ජනාධිපතිවරයා පැවසීය. ආර්. ඒ. රලීම් මවුලවිතුමා ඇතුළු සර්ව ආගමික පූජකවරු, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, යාපනය දිස්ත්‍රික් ලේකම් එස්. ශිවබාලසුන්දරන්, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.