රටේ ආර්ථිකය නිවැරදි මඟට යොමු කිරීමට ජනප්‍රිය නොවන ඕනෑම තීරණයක් ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා සහ යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික් එක්සත් ජාතික පාක්ෂිකයන් අතර හමුවක් යාපනය, වාලම්පුරි හෝටලයේදී ඊයේ (7) පැවැත්වුණු අවස්ථාවේදීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෙසේද පැවසීය:

“උතුරු පළාතේ ගැටලු අතුරින් ඉඩම් ප්‍රශ්නය හා අතුරුදන් වූවන් පිළිබඳ ප්‍රශ්නය ප්‍රමුඛතාවක් ගෙන තිබුණා. ආණ්ඩුවක් ලෙස ඒ ගැටලුවලට කඩිනම් විසඳුම් දීමට මේ වන විටත් සැලසුම් කර තිබෙනවා. උතුරේ ඉඩම් ප්‍රශ්නය සහ අතුරුදහන් වූවන් පිළිබඳ ගැටලුවට 2025 අවසන් වීමට පෙර විසඳුම් දීමට බලාපොරොත්තු වනවා. ඒ වගේම අවතැන් වූවන්ට නිවාස දීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරනවා. උතුරු පළාතේ සුළං සහ සූර්ය බලය යන බලශක්ති සඳහා තිබෙන අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් අපනයන බලශක්තියක් කරා බලශක්ති නිෂ්පාදනය වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. හරිත හයිඩ්‍රජන් හරිත ඇමෝනියා නිෂ්පාදනය කෙරෙහිද අවධානය යොමු කර තිබෙනවා.

“උතුරු පළාතේ තිබෙන සරු ගොවිබිම්වලට නවීන තාක්ෂණය එකතු කර අපනයන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමටත් සැලසුම් කර තිබෙනවා. ඉදිරි දශකයේ ලෝකයේ ජනගහනය දෙගුණයක් බවට පත් වීමත් සමඟ ඔවුන්ටද අවශ්‍ය ආහාර නිපදවීමෙන් අපනයන කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමටත් අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම යාපනය දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. යාපනයේ පවත්වන වේල් පෙරහර ලෝකයේ හින්දු බැතිමතුන්ට නැරඹීමට අවස්ථාව සලසා දීමට අවශ්‍ය පහසුකම් සකසමින් තිබෙනවා. අගෝස්තු මාසයේ ඇසළ පෙරහර, කතරගම පෙරහර වගේම යාපනයේ වේල් පෙරහරත් සංචාරක ආකර්ෂණයට ලක් කිරීමට ඒ අනුව සැලසුම් සහගතව කටයුතු කරනවා.

“උතුරේ සෞඛ්‍යය සහ අධ්‍යාපනය දියුණු කිරීමේ නව ආයෝජන අවස්ථා වෙනුවෙන් ඩයස්පෝරාවට අවස්ථාව දීමටත් කටයුතු කරනවා. මෙවැනි නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ උතුරු පළාතේ නව රැකියා අවස්ථා මෙන්ම ආයෝජන අවස්ථාද ඇති වනවා. මේ අනුව උතුරේ තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදා වන අතර, එමඟින් ඔවුන්ගේ ජීවන තත්ත්වයද උසස් කිරීමට හැකියාව ලැබෙනවා.

“රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ගැනීමට සිදු වන තීරණ ජනප්‍රිය නොවන්න පුළුවන්. එහෙත් රටේ ආර්ථිකය නිවැරදි ම‍ඟට යොමු කිරීම සඳහා ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට මම කටයුතු කරනවා. අපි සියලු දෙනා එකතුව උතුරු පළාත සංවර්ධනය කර රටම දියුණු කරමු.”

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් රජිත කීර්ති තෙන්නකෝන්, චුන්නාකම් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුරේෂ් කුමාර් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපතිවරයා සහ උතුරු පළාතේ තල් කර්මාන්තකරුවන් අතර හමුවක්ද යාපනය, තන්දෙයි චෙලවා ශ්‍රවණාගාරයේ පෙරේදා (7) පැවැත්වුණු අතර,

උතුරේ ඇති සමාජ ප්‍රශ්න හා තල් කර්මාන්තයේ ප්‍රශ්න සොයා බැලීමට කමිටු දෙකක් පත් කරන බවද, අදාළ කමිටු වාර්තාව ලැබීමෙන් පසු උතුරේ තල් කර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය තීන්දු ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරු සහ තල් ආශ්‍රිත කර්මාන්තකරුවෝ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ජනාධිපතිවරයා සහ උතුරු පළාතේ නීතිඥ සංගමය හා ව්‍යාපාරිකයන් අතර හමුවක් උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවෙසේදී පෙරේදා (6) රාත්‍රියේ පැවැත්විණි. නීති ක්ෂේත්‍රයට අදාළව උතුරු පළාතේ පවතින ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.