ආර්ථිකය සවිමත් කරගන්න මේ මඟෙහි තවදුරටත් යා යුතුයි

එය මල් ඇතිරූ මඟක් නොවේ

එකිනෙකා සතු වගකීම් ඉටු කොට මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගැනීමට නව වසරේ අදිටන් කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

එහි මෙසේ ද සඳහන් කර තිබේ. 2024 නව වසරට අප පියනඟන්නේ ශ්‍රී ලංකාව යළි නඟාසිටුවීමේ අභියෝගය හා අපේක්ෂාව හදැතිවයදහසකුත් එකක් පුද්ගලික අපේක්ෂාවන් අප සැම තුළ තිබුණ ද, ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් අපගේ මාතෘභූමිය වර්තමානයේ ඇදවැටී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්ය ය. පසුගිය වසර පුරා ඔබ කළ කැපවීම් සහ විඳි දුෂ්කරතා නිසා රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමේ මූලික පදනම සාර්ථක කර ගන්නට අපට හැකි විණි. නමුත් ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා මේ මඟෙහිම තවත් ඉදිරියට යා යුතු වෙයි. එය මල් ඇතිරූ සුමුදු මඟක් නොවේ. අභියෝගාත්මක දුෂ්කර ගමනකි. මෙහි දී සියලු ලාංකිකයන් වෙත වගකීමක් පැවරෙයි. රට යළි ගොඩනැංවීම වෙනුවෙන් ඉටු කළ යුතු ඒ වගකීම නිසි ලෙස හඳුනා ගැනීම අප සතු කාර්යයකි. ජනවාරි මාසයට නම් තැබුණේ ජේනස් නම් දෙවියකුගේ නමිනි. ජේනස් දෙවිඳුන්ට ඉදිරිය පමණක් නොව පසුපස ද බැලීමට මුහුණු දෙකක් වී ලු.

එහෙයින් අනාගතය දෙස පමණක් නොව අතීතය ද විමසා බලා අපි එකිනෙකාගේ වගකීම් හඳුනා ගනිමු. රට වෙනුවෙන් එම වගකීම් ඉටුකොට අපේ මාතෘභූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට මේ නව වසරේ අදිටන් කර ගනිමු. වගකීමෙන් යුතුව වෙහෙසීමෙන් හා කැපවීමෙන් කටයුතු කරමු. එමඟින් නව වසර සෞභාග්‍යවත් කර ගනිමු.

නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගමන් කරවීමට නව වසරේ අදිටන් කරගනිමු

අදින් ඇරඹෙන 2024 වසර බත බුලතින් සරු නව වසරක් වේවායි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා පවසා ඇත්තේ නවෝත්පාදන හා ව්‍යවසාය මානසිකත්වයෙන් හෙබි නවමු සංකල්පයන් තුළින් නව පරපුර සවිබල ගන්වමින්, නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගමන් කරවීමට නව වසරේ අදිටන් කර ගනිමු යන්නයි. අගමැතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ. 2024 බත බුලතින් සරු සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි. ඒ සඳහා වන, අලුත් බලාපොරොත්තු සහිත රටක් ඇති කිරීම සඳහා රජයේ ක්‍රියාදාමය දියත් කිරීමට මෙවර අය වැයෙන් අවශ්‍ය පියවර ගෙන තිබේ. ආර්ථික, දේශපාලන, සාමාජීය හා සංස්කෘතික සෑම ක්ෂේත්‍රයකම නව වකවානුවක් උදාකිරීමේ අභියෝගාත්මක වැඩපිළිවෙළ පෙරදැරිව විනයගරුක, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක් තුළ සශ්‍රීක අනාගතයක් උදෙසා ඉකුත් වසරේ මෙන්ම අප සියලු දෙනා එකාවන්ව කැපවීමෙන් කටයුතු කරමු. පසුගිය වසරේ රට මුහුණ දුන් ආහාර හා ආර්ථික අර්බුදය හමුවේ අපේ ගොවි ජනතාව අභියෝගාත්මකව කළ මෙහෙය මේ නව වසරේ කෘතවේදීත්වයෙන් සිහිපත් කරමි. පසුගිය වකවානුව අපට හිතන්නට බොහෝ දේ ඉතිරිකොට ඇත. මේ සා රෝග, ව්‍යසන, ආර්ථික හා සාමාජයීය අර්බුද මෑත ඉතිහාසයේ අප නුදුටු ඒවාය. ඒවා යළිඳු නොදකින්නට, මතු පරපුරට ඒවා ඉතිරි නොකරන්නට, නවමු සංකල්පයන් තුළින් පෝෂිත නව වසරකට පියනඟමු.

ජනතා අභිලාෂ ඉටු වන වසරක් වේවා

නව වසරේ හෝ ජනතා අභිලාෂයන් ඉටු කර ගැනීමට හැකියාව ලැබේවායි නව වසරට සුබපැතුම් එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මෙසේද කියා තිබේ. 2023 වසර අපට සිතේ සතුටු විය හැකි කිසිවක් නොලද වසරක් වන අතර…ජනතාවට ජයග්‍රහණයක සේයාවක්වත් ඒ වසර තුළ හමුවූයේ නැත. පවත්නා ව්‍යාකූල සහ බලාපොරොත්තු විරහිත අන්ධකාර සමය නිමා කළ හැක්කේ විධිමත් ජනවරමක් සහිත ආණ්ඩුවක් පත් කර ගැනීමෙන් මිස අන් කිසිවකින් නොවේ.

එබැවින් මූලික අරගලය විය යුත්තේ එළඹෙන වසරේ නව මැතිවරණයකට මඟ පාදා ගැනීමය. එය එසේ නොවන්නේ නම්, තවදුරටත් වර්තමාන පාලකයා විසින් වඩා සුරක්ෂිතව රාජපක්ෂවරුන්ව වැල් පාලමෙන් එතෙර කළ තවත් වසරක් බවට 2024 පත් වනු ඇත.

ආර්ථික සහ දේශපාලන වශයෙන් බරපතළ අවදානම් රැසකට රට මුහුණ දී ඇති මේ මොහොතේ රටේ ජනතාවගේ සාමාන්‍ය ජීවන තත්ත්වයට පවා අසාමාන්‍ය ලෙස අභියෝග රාශියක් පැමිණ තිබේ. කෘෂිකර්මාන්තය සහ ව්‍යවසායකත්වය මත පදනම් වූ ස්වයංපෝෂිත ආර්ථික රටාව වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වී තිබේ. මේ තත්ත්වය වෙනස් කිරීමට නම් පාලකයන්ගේ සුඛ විහරණය ගැන නොව ජනතාව ගැන සිතන පාලන ක්‍රමයක් රටට අවශ්‍ය වේ.

75 වසරක ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසය තුළ කිසිදු විපක්ෂයක් නොකරපු ජනතා සේවාවක් පසුගිය වසර 3ක කාලය තුළ රටේ ජනතාවාදී විපක්ෂය වූ සමගි ජන බලවේගය බලයක් නොමැතිව ඉටු කළේය. එකී සේවාව අඛණ්ඩව 2024 වසරටත් ගෙන යාම අපගේ අරමුණ යි.

එසේම ජනතාව තළා පෙළා බදු පිට බදු අය කරමින් ජන ජීවිත විනාශ කිරීමට රජය කටයුතු කර ඇති මේ මොහොතේ රටක් ලෙස අප නැවතත් එකතු විය යුතුය. මේ එළැඹෙන නව වසර ශ්‍රී ලාංකික අපට තීරණාත්මක වර්ෂයකි. එය රටේ අනාගතය තීරණය කරන මැතිවරණ රැසක් පැවැත්වීමට නියමිත වර්ෂයකි. එබැවින් මෙතෙක් අප ලබා ඇති ජයග්‍රහණයන්හි ඵල සාමකාමීව භුක්ති විඳිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගනිමින් ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට සියලු‍ දෙනාම එකට එක්වන ලෙස ඉල්ලා සිටිමි. මේ නව වසරේ හෝ ජනතා අභිලාෂයන් ඉටු කර ගැනීමට හැකියාව ලැබේවා යන්න මාගේ ඒකායන ප්‍රාර්ථනයයි.