නවතම පුවත්

  • සිංගප්පූරු ආරක්ෂක ඇමති සහ තිරසාරත්වය හා පරිසරය පිළිබඳ අමාත්‍යවරිය ද ජනපති හමු වී සාකච්ඡා පවත්වයි.

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යෙකුබ් (Halimah Yacob) මහත්මිය අතර නිල හමුව  (21) පෙරවරුවේ සිදු විය.

සිංගප්පුරුවේ ඉස්තානා මන්දිරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනාධිපතිනිය විසින් ඉතා සුහදශීලිව පිළිගත් අතර සුහද කථා බහකින් අනතුරුව නායක දෙපළ ද්විපාර්වික සාකච්ඡා සඳහා එක් විය.

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වු අතර ආහාර සුරක්ෂිතතාව, පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍රවලට අදාළව ඉදිරියේ දී සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මේ අතර සිංගප්පූරු ජනාධිපතිනිය සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් මෙසේ ද සඳහන් කර තිබිණි.

“අපගේ මිත්‍රත්වයේ ශක්තිමත් බව රඳා පවතින්නේ පුද්ගල සබඳතා මතය. එම බැඳීම් තවදුරටත් ශක්තිමත් කර ගැනීමට පුළුල් ඉඩ ප්‍රස්ථාවක් පවතී. ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු චාරිකාව ඵලදායී මෙන්ම සාර්ථක සංචාරයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි”

මේ අතර සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය ආචාර්ය නෙං එං හෙන් (Ng Eng Hen) මහතා ද (21) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එසේම දකුණු ආසියානු කලාපයේ පොදු ගැටලු නිරාකණය කර ගැනීම වෙනුවෙන් නිරන්තරව තොරතුරු හුවමාරු කර ගැනීමේ සහ නිසි සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරුණු අතර කලාපයේ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් එක්ව කැපවීමට ද දෙපාර්ශ්වයම සහතික විය.

මේ අතර සිංගප්පූරුවේ තිරසරබව හා පරිසරය පිළිබඳ ඇමතිනී ග්‍රේස් ෆු හායි ඉයෙන් (Grace FU Hai yien) මහත්මිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූවාය.

රී ලංකා නාවික හමුදාවේ ස්වේච්ඡා බළ සේනාව වෙත ජනාධිපති වර්ණ ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බූස්ස උසස් නාවික පුහුණු මධ්‍යස්ථානයේදී පසුගිය 18දා සිදු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ස්වේච්ඡා බළ සේනාව වෙත ජනාධිපති වර්ණ ප්‍රදානය කරමින් වර්ණ ධජ පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අවස්ථාව.

ඊට දායකවන සියලු දෙනාට පහසුකම් සැලසීමට රජය සුදානම් – “හිල්ටන් යාල රිසෝර්ට්” අති සුඛෝපභෝගී හෝටලය විවෘත කරමින් ජනපති පවසයි.

මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්‍රමුඛ ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බවත් වැදගත් තීන්දු තීරණ රැසක් ගනිමින් එහි ප්‍රවර්ධනය වෙනුවෙන් රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද උපරිම දායකත්වය ලබා ගැනීම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා ඊට දායකවන සියලු පාර්ශ්වයන්ට පහසුකම් සලසා දීමට රජය කටයුතු කරන බව ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ හිල්ටන් හෝටල් සමූහයේ අති සුඛෝපභෝගී හෝටලය වන හිල්ටන් යාල රිසෝර්ට් (Hilton Yala Resort) හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (19) පස්වරුවේ එක් වෙමිනි.

දෛනිකව දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන අතර ඔවුන් ඉලක්ක කර ගනිමින් එම කලාපය පුළුල් සංවර්ධනයකට ලක් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

අද යාල ප්‍රදේශයේ අලුතින් විවෘත වන මෙම හෝටලය ඉහළ මට්ටමේ සුඛෝපභෝගී හෝටලයක් ලෙස විවෘත කිරීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. මෙමගින් ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයන් ආකර්ෂණය කර ගනිමින් සංචාරක ව්‍යාපාරයේ නව දියුණුවක්ඇති කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ පිළිබඳ මම මෙල්වා සහ හිල්ටන් සමූහයට ස්තුතිවන්ත වෙනවා.

අතීතයේ මේ යාල ප්‍රදේශයේ සිතුල්පව්ව සහ ආකාශ චෛත්‍ය නමින් පැරණි පුදබිම් දෙකක් පැවතියා. ඒ අනුව මෙහි පැවති සශ්‍රීකත්වය සහ සහයෝගීතාව මෙන්ම විශ්මිත ඉදිකිරීම් සිහි ගැන්වෙනවා.

සංචාරක කර්මාන්තයේ නව ප්‍රවර්ධනයක් ඇති කරමින් එය ඉදිරියටට ගෙනයාම අපේ අරමුණයි. ඒ සඳහා සියලුදෙනා දායක කර ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වෙනවා.
මෙම යාල ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවරධනය කිරීමේ දී එක් ප්‍රදේශයක් ලෙස එය සංවර්ධනය කළ යුතුයි. උඩවලව, කුමන මෙම සියලු ස්ථාන එකිනෙකට සම්බන්ධවයි පවතින්නේ. උඩවලව වන අලි මංතීරුව කුමන දක්වා විහිදෙනවා. මේ ප්‍රදේශ එක කලාපයක් ලෙස සංවර්ධනය කළ යුතුයි.

ඒ වගේම මෙම ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ද වැඩිදියුණු කළ යුතු වෙනවා. මෙම යාල කලාපය සංවර්ධනය වෙනුවෙන් සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස මම වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යවරයාගෙන් මෙන්ම සංචාරක අමාත්‍යවරයාගෙනුත් එම අමාත්‍යාංශ දෙකෙහි නිලධාරීන්ගෙනුත් ඉල්ලා සිටිනවා.

අප එයින් තවත් ඉදිරියට ගොස් ගල්ඔය, මාදුරුඔය, සෝමාවතිය, මින්නේරිය, වස්ගමුව වැනි ස්ථාන පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි.

සංචාරකයන්ට කොළඹින් යාත්‍රාවකට නැග, පුත්තලමට පැමිණ දිනක් හෝ දෙකක් විල්පත්තුවේ ගතකර ආපසු යා හැකි අන්දමින් අප එම පහසුකම් වැඩිදියුණු කළයුතුයි. ඒ වගේම සංචාරකයන්ට නව අත්දැකීමක් ලැබෙන අයුරින් වනජීවි රක්ෂිත නිර්මාණය කිරීමේ අවස්ථාව පවතිනවා. ඉන්දියාවට සහ නේපාලයට ගිය විට එවැනි ස්ථාන දැකබලාගත හැකියි. අප මේ පිළිබඳ අවධානය යොමු කරමින් නව සැලැස්මක් සකස් කර ගනිමින් ඉදිරියට යා යුතුයි.

අප මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය දෙගුණයක් බවට පත් කරගතයුතුයි. ඒ වගේම සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් හතර පස් ගුණයකින් වැඩි කර ගත යුතුයි. 1981 දී මම මාලදිවයිනේ සිදු කළ සංචාරයේ දී සංචාරකයින්ගෙන් එම රටට ලැබුණු ආදායම ඩොලර් 25යි. අපේ රටට පැමිණෙන සංචාරකයන්ට වඩා අඩු පිරිසක් තමයි එදා මාලදිවයිනට පැමිණියේ. අද අපේ රටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වන ලක්ෂ 25කට සමාන සංඛ්‍යාවක් මාලදිවයිනට ද පැමිණෙනවා.

අප එක සංචාරකයෙකුගෙන් අය කර ගනු ලබන්නේ ඩොලර් 200ක පමණ මුදලක්. මාලදිවයිනේ ඩොලර් 700ක් පමණ අය කර ගන්නවා. එසේ නම් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව මෙන්ම මිලද ඉහළ නංවා ගත යුතුයි.

මම ජනාධිපති ධූරයේ වගකීම භාර ගැනීමෙන් පසුව ණය අර්බුදයෙන් රට බේරා ගැනීම පමණක් නොව නව ආදායම් උපයා ගැනීමේ මාර්ග සකස් කිරීමේ වගකීම ද මට පැවරී තිබුණා. කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ආදායම් ලබා ගැනීමට කාලයක් ගත වෙනවා. නමුත් සංචාරක ව්‍යාපාරයෙන් අපට කඩිනමින් එම දායකත්වය ලබා ගත හැකියි.

ඒ නිසා අපේ අරමුණ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙන් ආදායම් උත්පාදනය කර ගෙන ජනතා අවශ්‍යතා සපිරිමයි. මේ වසර අවසන් වන විට මෙරට සංචාරක හෝටල්වල කාමර පිරී යන තරමට සංචාරකයන් පැමිණිය හැකියි. එය දැන් සිදු වෙමින් පවතිනවා. ලබන වසර වන විට සංචාරකයන්ගෙන් කාමර පිරී යාම පමණක් නොව ඉන් ලැබෙන ආදායම දෙගුණයක් බවට පත්කරගත යුතුව තිබෙනවා.

මහනුවර ඓතිහාසික දළදා පෙරහර හා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නිසා මෙම වසරේ සැප්තැම්බර් මාසයේ මෙරට සංචාරක හෝටල් වෙන් කර තිබෙනවා. නත්තල් සමයේ දී මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට මෙන්ම ලෝක ප්‍රසිද්ධ කලා කරුවන් මෙන්ම සංගීතවේදීන් කිහිප දෙනෙකු ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටිනවා. බටහිර ලෝකයේ ප්‍රධාන සංගීතඥයෙක් වන ඇන්ඩ්‍රේ බුචෙලි ලබන ජනවාරි මාසයේ මෙරටට පැමිණෙන බව මේ වන විට තහවුරු කර තිබෙනවා.

ඒ වගේම ගාලු සාහිත්‍ය උළෙල ඇතුළු වැඩසටහන් රැසක් රට පුරා පැවැත්වෙනවා. අප මෙයින් අපේක්ෂා කරන්නේ සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගෙන රටට අවශ්‍ය මුදල් උත්පාදනය කර ගැනීමයි. ඒ සමගම මෙය ආදායම් මාර්ගයක් මෙන්ම රැකියා මාර්ගයක් බවට ද පත් කළයුතුව තිබෙනවා. ඒ සඳහා තරුණ තරුණියන් වැඩි වශයෙන් පුහුණු කළයුතුයි. ඇතැම් අවස්ථාවල මෙය විදේශ රැකියා සඳහා ගමන් බලපත්‍රයක් බවට පත් කර ගෙන තිබෙනවා. තමන්ගේ අනාගතය ගොඩනඟා ගන්නා අතරම මෙම කටයුතු සඳහා ද දායකවීමේ වගකීම සියලුදෙනාට තිබෙනවා.

මෙරට සංචාරක ව්‍යාපාරයේ ශීඝ්‍ර දියුණුවක් වෙනුවෙන් නව යෝජනා රැසක් මේ වන විට ඉදිරිපත්ව තිබෙනවා.

ඒ වගේම තමන්ගේ නිවසේ කාමරයක් දෙකක් සංචාරකයන් වෙනුවෙන් වෙන් කර ඉහළ ආගන්තුක සේවාවක් සැපයීමට ජනතාව සුදානම් නම් සහ ඒ සඳහා ඩොලර් සියකකට වැඩිය අය කිරීමක් සිදු කළ හැක නම් එම කටයුතු ඉදිරියට ගෙන යාමට සහාය ලබා දීමට රජය කටයුතු කරනවා.

සංචාරක කර්මාන්තයේ ඉලක්ක ඉටු කර ගැනීමට ප්‍රමුඛ අවධානයක් යොමු කරන අතර කෙටි කාලීන අදායම් සහ රැකියා මාර්ග උදා කිරීම වෙනුවෙන් සම්පත් යෙදවීමට ද අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සියලුදෙනාගේ සහාය ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා,

සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් අප වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. අද සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණීමට පටන් ගෙන තිබෙනවා.

ජනාධිපතිතුමා සිදු කළ ඉන්දීය සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස අද වැඩිම සංචාරයකයන් ප්‍රමාණයක් අපේ රටට පැමිණෙන්නේ ඉන්දියාවෙන්. ඒ වගේම තුන්වනුව ඉහළම සංචාරකයන් ප්‍රමාණයක් චීනයෙන් අපේ රටට පැමිණෙනවා. සියලුම ගුවන් සමාගම් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට පටන්ගෙන තිබෙන අතර කටාර් එයාර්වේස් දැනට දිනකට හය වතාවක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් සිදු කරනවා.

තුර්කි ගුවන් සේවයද ශ්‍රී ලංකාවට ගුවන් ගමන් සිදු කරන අතර සිංගප්පූරු ගුවන් සේවය සතියේ දින හතේම මෙරටට පැමිණෙනවා. ඊශ්‍රායලයේ අකිරා ගුවන් සේවය ඔක්තෝබර් 31 සිට සතියකට දෙවරක් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් සිදු කිරීමට නියමිත බව ප්‍රකාශ කර තිබෙනවා. තවත් බොහෝ ගුවන් ගමන් සේවා ඉදිරියේ දී වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. අපේ ගුවන් සේවා සතියකට 80 වතාවක් පමණ ඉන්දියාවට ගුවන් ගමන් සිදු කරනවා.

අද මෙම අභියෝග ජය ගැනීමට අප සමඟ එක්වීම පිළිබඳ මම සියලුදෙනාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් හිල්ටන් හෝටල් සමූහය නුවරඑළියේ මෙන්ම මීගමුවේ නව සුඛෝපභොගි හෝටල් ළගදීම විවෘත කිරීමට නියමිත බව ඇසීමට ලැබීම සතුටට කරුණක්. මෙම කටයුතු වලින් මෙරට සංචාරක කර්මාන්තයට පුළුල් දායකත්වයක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති මෙරට නව සංචාරක ප්‍රවර්ධන සංකල්පය වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක නොවුවක්. මෙම සංකල්පය මගින් සංචාරක ක්ෂේත්‍රයේ වත්මන් ඉලක්ක සපුරාගත හැකි බව මම විශ්වාස කරනවා.

මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් 31%ක් නැවත නැවත පැමිණෙන සංචාරකයින් බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව සංචාරකයන්ට නිශ්චිත ගමනාන්තයක් සහිත රටක් විය යුතු නැහැ. නමුත් ශ්‍රී ලංකාව සුහදශීලීභාවය සහ අගන්තුක සත්කාර ඉහළින් ඇති රටක් විය යුතුයි. විදේශිකයන් විශාල පිරිසක් අද ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම ආරම්භ කර ඇත්තේ ඔවුන්ට මෙරට රැඳී සිටීමට ඇති කැමැත්ත සහ ආශාව නිසයි. එම නිසා ශ්‍රී ලංකාව තුළ ඇති අපගේ උණුසුම් ආගන්තුක සත්කාරය ඉදිරියටත් පවත්වා ගෙන යාමට අප වග බලා ගත යුතුයි.

ජනාධිපතිතුමාගේ මෙම වැඩපිළිවෙළ සමඟ මෙරට සංචාරක ව්‍යාපාරය ඉහළ සාර්ථකත්වයක් ලබනවා මෙන්ම මෙරට අංක එකේ ආදායම් මාර්ගය බවට පත් කරගත හැකි බව මගේ විශ්වාසයයි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.බී.පී. හේරත්, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් යන මහත්වරුන් ද හිල්ටන් හෝටල් සමූහයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් අධ්‍යක්ෂ (ගිනිකොණ දිග ආසියාව) ජෙමි මීඩ් (Jamie Mead), ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් අධ්‍යක්ෂ (ආසියා සහ ඕස්ටේලියා) ජොශ් රොබර්ට්ස් (Josh Roberts) ශ්‍රී ලංකා හිල්ටන් හෝටල් සමූහයේ ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී මනේෂ් ප්‍රනාන්දු, හිල්ටන් යාල රිසෝර්ට් සාමාන්‍යාධිකාරී ගීතාංජලී චක්‍රිවර්ති යන මහත්ම මහත්මීහු ද Melwa Hotels & Resorts Private Limited හි අධ්‍යක්ෂ මුරුගා පිල්ලෙයි මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාව එක්ව සිටියහ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (19) උදෑසන යාල ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

යාල ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් කෙරෙහි මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

පවතින වියළි කාළගුණය හේතුවෙන් වනෝද්‍යානයේ පිහිටි සිඳී ගොස් ඇති ජල පොකුණු වෙත ජලය මුදාහැරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක අතර එම කටයුතු ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ද ඊට එක්ව සිටියහ.

 
 

ඓතිහාසික බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය වෙනුවෙන්, (18) පස්වරුවේ විහාරස්ථානය වෙත පැමිණි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක ද නිරත විය. කොළඹ හැව්ලොක්සිටි සාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ ද එම අවස්ථාවට වැඩම කර සිටියහ.

හැත්තෑ තුන්වන වරටත් පැවැත්වෙන බෙල්ලන්විල වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ රන් සිවිලි පෙරහර ඊයේ රාත්‍රීයේ වීථි සංචාරය කෙරුණු අතර පෙරහර ආරම්භ කරමින් මංගල හස්ථි රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම ද සාගල රත්නායක මහතා අතින් සිදු විය.
ජූලි 29දා ආරම්භ කෙරුණු බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද වීථි සංචාරය කෙරෙන අතර පෙරහර මංගල්‍ය හෙටින් අවසන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙහිවල, ගල්කිස්ස හිටපු නියෝජ්‍ය නගරාධිපති කේසරලාල් ගුණසේකර, බොරලැස්ගමුව හිටපු නගරාධිපති අරුණ ප්‍රියශාන්ත යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් සහ බැතිමත්හු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් (levan S. Dzhagaryan) මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර සුහද සාකච්ඡාවක් අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සුහදතාවය වර්ධනය කරගනිමින් සංස්කෘතික හා ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානයට ලක්විය.

මෙරට මහාමාර්ග සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ආයෝජන අවස්ථාවන් පිළිබඳව අමාත්‍යවරයා විසින් තානාපතිතුමා දැනුවත් කරන ලදි.

රුසියාව සතු තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ දැනුම මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණය සඳහා දායක කර ගැනීම ඇතුළු ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

මෙම හමුව සඳහා රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් මාරියා එල්. පොපෝවා(Maria L. Popova) මහත්මිය ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 

ඉදිරියේ දී වාර්ෂිකව සංචාරකයන් මිලියන 05ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩපිළි‍වෙළේ ප්‍රගතිය විමසා බැලීමට, ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ සාමාජිකයන් ඇතුළු නිලධාරීන් සමඟ ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

සංචාරකයන්ට ආකර්ෂණීය සහ සුව පහසු ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා වන කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් පිළිබඳ මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙරට සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට අදාළව දැනට සකස් කර තිබෙන සැලසුම් සහ ඒ වෙනුවෙන් පෞද්ගලික අංශයේ භූමිකාව පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසූ අතර ඒ වෙනුවෙන් දැනට ගෙන ඇති පියවර සහ නව ප්‍රවණතා පිළිබඳ ඔවුන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබිණි.

ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ අනුමැතිය ලද ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම්ව සංචාරක අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතන විසින් 2025 වසර දක්වා වූ උපාය මාර්ග සැලැස්මක් සකස් කරමින් සිටින බවත්, මේ වන විට එහි කටයුතු 95%ක් පමණ අවසන් කර ඇති බවත්මෙහිදී සඳහන් කෙරිණ.

පෞද්ගලික අංශයේ ද දායකත්වය ලබා ගනිමින් ඉහළ පෙළේ හෝටල් පාසලක් මෙරට ඉදිකිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා සුදුසු ගොඩනැඟිල්ලක් පිළිබඳ සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙරටට පැමිණෙන සංචාරයකන්ගේ නවාතැන් පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ඓතිහාසික පෙනුමක් සහිත දැනට භාවිතයට නොගන්නා ගොඩනැඟිලි සහ බංගලා පිළිබඳ සොයා බලා වාර්තාවක් සකස් කරන ලෙසත් මෙතෙක් සංචාරක අවධානයට ලක් නොවූ ස්ථාන හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් මෙන්ම සංචාරක කලාපවල ක්‍රියාත්මක කළ හැකි නව ව්‍යාපෘති පිළිබඳ සොයා බලන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

නව ආයෝජන සඳහා හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය කිරීමට ආයෝජන යටිතල පහසුකම් සංස්ථාවක් (Investment Infrastructure corporation) ස්ථාපිත කිරීමටත්, ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට කවුන්සිලයක් පිහිටුවීමටත් සැලසුම් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ආයෝජන කලාප මෙන්ම සංචාරක කලාප සහ තාක්ෂණ කලාප ද ඒ යටතට පත්කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් කළේය.

ඒ අනුව පළාත් 09 ආවරණය වන ආකාරයට පළාත් සංචාරක මණ්ඩල ස්ථාපිත කිරීමටත් එම එක් එක් මණ්ඩල යටතේ ප්‍රාදේශීය කමිටු ස්ථාපිත කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

මෙහිදී අදහස් දැක්වූ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් සැලසුම් කර ඇති බවය.

තවද මධ්‍යම හා ඌව පළාත්වල සංචාරක අවධානය යොමු නොවූ ස්ථාන රැසක් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා විශේෂයෙන් මධ්‍යම පළාත තුළ වායු දූෂණය අවම බැවින් තිරසර සංචාරක කලාපයක් ලෙස එම පළාත සංවර්ධනය කිරීමට ඇති හැකියාව ද පෙන්වා දුන්නේය.

මෙරට ගුවන් තොටුපොළ සහ උද්‍යානවල තදබදය අවම කරමින් සංචාරකයන්ට පහසුකම් සැලසීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.බී.පී. හේරත් යන මහත්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීහු ද, ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැඟීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු එහි සෙසු සාමාජිකයන් මෙන්ම නිලධාරීහු පිරිසක් මෙමඅවස්ථාවට එක්ව සිටියහ.

මූල්‍ය ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දීමට චීනය ශ්‍රී ලංකාවට උපකාර කරන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ( wang hi )මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික, (විදේශ කටයුතු කොමිසම් කාර්යාලයේ අධ්‍යක්ෂ ) චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර හමුවක් ඊයේ(16) පැවැත්විණි.

නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මිං හි 7 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සමගාමීව මෙම හමුව සිදුවිය.

චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ විශ්වාසනීය උපාය මාර්ගික හවුල්කරුවා වන අතර ශ්‍රී ලංකාව සැමවිටම චීනය සමඟ මිත්‍රශීලීව කටයුතු කරන බවද අවධාරණය කළ චීන විදේශ අමාත්‍යවරයා මූලික අවශ්‍යතාවලට අදාළ ප්‍රශ්නවලදී චීනය සමඟ එක්ව සිටීම අගය කරන බව ද පැවසීය.

ශ්‍රී ලංකාවේ ස්වෛරී ස්වාධීනත්වය සහ ජාතික අභිමානය ආරක්ෂා කර ගැනීම සඳහා චීනය ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් සහාය දෙන අතර, ශ්‍රී ලංකාව සමඟ රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් හුවමාරුව මෙන්ම විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාවය ශක්තිමත් කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඔහු සඳහන් කළේය.

ස්වාධීන සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව වැඩිදියුණු කිරීමටත්, “දරිද්‍රතා උගුලෙන්” සහ “නොදියුණුවීමේ උගුලෙන්” මිදීමටත්, එහි කාර්මීකරණ ක්‍රියාවලිය සහ කෘෂිකාර්මික නවීකරණය වේගවත් කිරීමටත් චීනය උපකාර කරන බවට වැන්ග් යී මහතා ප්‍රතිඥා දුන්නේය.

ශ්‍රී ලංකාව එහි තාවකාලික දුෂ්කරතා ජයගෙන, ජාතික තත්ත්වයන්ට අනුකූලව සංවර්ධන මාවතක් සොයා ගන්නා බවටත්, පුනර්ජීවනය සහ සමෘද්ධිය සාක්ෂාත් කරගනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාව චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ වැදගත් සහභාගිවන්නෙකු සහ ප්‍රතිලාභියෙකු බව සඳහන් කළ ඔහු, චීන වෙළඳපොළ තවදුරටත් ගවේෂණය කිරීම සඳහා මෙම වැදගත් වේදිකාව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පාර්ශවය සාදරයෙන් පිළිගනු ලැබුවේය.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ලබාදෙන ස්ථිර සහයෝගය සහ දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාවට කාලෝචිත හා ඵලදායී සහය ලබා දීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී චීනයට ස්තූති කළේය.

කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය වැනි දෙපාර්ශවය අතර ඉදිරි දැක්මක් සහිත ප්‍රමුඛ සහයෝගීතා ව්‍යාපෘති ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙන අතර කලාපීය සම්බන්ධතාව සහ තිරසාර සංවර්ධනය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවට ආහාර ස්වයංපෝෂිතභාවය ළඟා කර ගැනීමට සහ ප්‍රධාන කර්මාන්තවල දියුණුව වේගවත් කිරීමට උපකාර කිරීම සඳහා ආර්ථිකය, වෙළඳාම සහ ආයෝජන, කෘෂිකර්මය, සංචාරක, බලශක්ති සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමට ශ්‍රී ලංකාව චීනය සමඟ කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.”

ඉදිරි ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි හා නවීන තාක්ෂණය සමඟ අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලෝක ආර්ථිකය රඳා පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ අංශ කිහිපයක් මත වන අතර කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, බලශක්ති ගබඩාකරණය, බ්ලොක්චේන් තාක්ෂණය, ජෙනොම් විද්‍යාව වැනි අංශ අද ලෝක ආර්ථිකයට බලපෑම් කරමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තාක්ෂණය සමඟ ඉදිරියට යාමට අපගේ අනාගත පරපුරද සූදානම් කළ යුතු බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, නුගේගොඩ අනුලා විද්‍යාලයේ 2019/2020 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (16) පස්වරුවේ එක්වෙමිනි.

අතීතය ගැන පමණක් සිතන දේශපාලන සම්ප්‍රදායෙන් බැහැරව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරියට යාමට සියලු දෙනා එක්විය යුතු බවත් මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයකින් පමණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

පසුගිය උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම හා කැපවීමෙන් සේවය කළ ගුරුභවතුන් ඇගයීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

නුගේගොඩ අනුලා විද්‍යාලයට ජනාධිපතිවරයෙක් පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් විදුහල්පතිනි වයෝනි විශාඛා රාජපක්ෂ මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

නුගේගොඩ අනුලා විද්‍යාලය අද ලබා තිබෙන ප්‍රගතිය වෙනුවෙන් විදුහල්පතිතුමියගේ සිට ගුරු දෙගුරුන් හා ශිෂ්‍යාවන් සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා. ඊ. ඩබ්ලිව් අදිකාරම් මහතා මෙම පාසල ආරම්භ කිරීමේදී මෙවැනි තත්ත්වයකට පාසල පත්වනු ඇතැයි කිසිදිනක සිතන්නට නැතිව ඇති. නමුත් අද නුගේගොඩ අනුලා විද්‍යාලය මෙරට ප්‍රධාන පාසල් කිහිපය අතරට එක්ව තිබෙනවා.

පාසලක් යනු , අනාගත පරපුර නිර්මාණය කරන ස්ථානයයි. එමගින් රටට සේවය කිරීමට අවශ්‍ය පුරවැසියෙක් නිර්මාණය කිරීමට හැකියාව තිබෙනවා. මීට දශක පහකට පෙර පැවති අධ්‍යාපන ක්‍රමය සහ අද පවතින අධයාපන ක්‍රමය අතර විශාල වෙනසක් පවතිනවා.

එදා තිබුණේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ලබා දුන් පෙළපොත් පමණයි. නමුත් අද අධ්‍යාපනයට ඡංගම දුරකථන සහ පරිගණක භාවිතය එක්ව තිබෙනවා. එදා විදුලි වාහන පිළිබඳ සිතා තිබුණෙ නැහැ. නමුත් අද වන විට ඉලෙක්ට්‍රොනික් වාහන සමාජයට එක්ව තිබෙනවා. පසුගිය කාලය තුළ විද්‍යාව හා තාක්ෂණය වේගයෙන් ඉදිරියට පැමිණ තිබෙන බව එයින් පැහැදිලි වෙනවා. එවැනි පරිසරයකට නව අධ්‍යාපන ක්‍රමයක් අද අවශ්‍යව තිබෙනවා.

සමාජයට ඔබින අධ්‍යාපන ක්‍රමයක් නැතිව රටක් ඉදිරියට යන්නේ නැහැ. රටක් ගොඩනගන්නට නම් හොඳ අනාගත පරපුරක් ගොඩනැඟිය යුතුයි. අභියෝග ජයගත හැකි අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ මූලික පියවර තැබිය හැක්කේ අධ්‍යාපනයට පමණයි.

අනාගතය පිළිබඳ සිතිය හැකි, අනාගතය පිළිබඳ අවබෝධයක් ඇති අධ්‍යාපන ක්‍රමයක් අප රට තුළ නිර්මාණය කළ යුතුයි.

අනාගතයේදී ඇතිවිය හැකි දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝගයන්ට මුහුණ දීමට අප සූදානම් විය යුතුයි. ලෝකයේ ඇතිවන දේශගුණික විපර්යාස හොඳින් අධ්‍යයනය කළයුතුයි. යුරෝපය අද ගිනිගන්න තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. එම නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානය කාළගුණ විපර්යාස පිළිබඳ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන කාලය වසර 10 කින් ආපස්සට ගෙන එය වේගයෙන් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව 2050 වසර වන විට අවසන් කිරීමට නියමිතව තිබූ දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ න්‍යාය පත්‍රය 2040 වන විට අවසන් කිරීමට සියලු රටවල් සූදානම් වෙමින් සිටිනවා.

අනෙක් කරුණ වන්නේ, ලෝක ආර්ථිකය රඳා පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ අංශ කිහිපයක් මත වීමයි. කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, බලශක්ති ගබඩාකරණය, බ්ලොක් චේන් තාක්ෂණය, ජෙනොම් විද්‍යාව වැනි අංශ කිහිපයක් පමණක් අද ලෝක ආර්ථිකයට බලපෑම් කරනවා. ඒ සඳහා අපත් සූදානම් විය යුතුයි.

මෙම තාක්ෂණයන් සමඟ අනුගතවීමෙන් මෙම ශත වර්ෂය මැද භාගය වන විට ගෝලීය ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 300ක් 700ක් අතර විශාල වටිනාකමක් එක් වන බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා. මෙම ආර්ථිකය සමග තමයි ලෝකය ඉදිරියට යන්නේ. ඒ සඳහා අපත් සූදානම් විය යුතුයි.

අපි 1970 සහ 80 දශකයේ ඇඟළුම් කර්මාන්තයට සූදානම් වු අන්දමින් අප දැන් එම තාක්ෂණයන් වැළඳ ගැනීමට සූදානම් විය යුතුයි. ඒ සඳහා සූදානම් වීමට නම් අප පළමුව මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. මෙම විෂයයන් සඳහා හැකි තරම් විශ්වවිද්‍යාල ඇති කළ යුතුයි. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව, චීන භාෂාව හා හින්දි භාෂාව ගැන දැනුමක් ලබා ගත යුතුයි. එසේ නම් මෙම විෂය පිළිබඳ දැනුම ලබාගත හැකි පාසල් හා උසස් අධ්‍යාපන ආයතන බිහි කළ යුතුයි. ඒ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල වලට අමතරව රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මුදල් නිසා අධ්‍යාපනය නවතා දමන්නේ නැතිව සිසුන්ට රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ඇතුළත්වීමට විදේශ රටවල මෙන් සහන ක්‍රමයකට ණය ලබාදිමේ වැඩසටහනක් අප ක්‍රියාත්මක කරනවා.

අද ඔබ Gen Z පරපුරේ දරුවන්. ඊළගට Gen Alpha කණ්ඩායමට සූදානම් විය යුතුයි. එහිදී ජංගම දුරකථනයෙන් අධ්‍යාපනය ලැබිය හැකියි. මෙලෙස අධ්‍යාපන රටාව සම්පූර්ණ වෙනසකට ලක් වෙනවා. ඒ සඳහා අප සූදානම් විය යුතුයි.

දේශපාලනඥයන් බොහෝ විට සිතන්නේ අතීතය ගැන පමණයි. ශිෂ්‍යයන් ලෙස සිතන්නේ වර්තමානය ගැනයි. නමුත් මම සහ රජය සිතන්නේ අනාගතය පිළිබඳවයි. ඉතින් අප මෙය ගළපාගෙන ඉදිරියට යා යුතුයි. අතීතය ගැන සිතන අය කෙසේ හෝ වර්තමානයට ගෙන ආ යුතුයි. වර්තමානයේ සිටින විට අනාගතය ගැන හැදෑරිය හැකියි.

මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකළහොත් අපට අනාගතයක් නැහැ. අපට ඉදිරියට යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයක් සමඟ පමණයි. කර්මාන්ත ශාලා, ගොඩනැඟිලි, මං මාවත් ඉදි කළ හැකි වුවත් අධ්‍යාපන දැනුම නොමැති නම් අනාගතයක් ළගා කර ගත නොහැකියි. ඒ නිසා නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කර රටට හොද අනාගතයක් නිර්මාණය කිරීමට රජයක් ලෙස අප කැපවී සිටිනවා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, මේජර් ප්‍රදීප් උඳුගොඩ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්ම මහත්මීන් සහ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, සිසුවියන් ආදි සිසුවියන් හා දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අවදානම් තත්ත්වයක තිබෙන රට ගලවා ගැනීම උදෙසා, නව උපක්‍රම සහ උපාය භාවිත කරමින් වියදම් සීමා කර ආදායම වැඩිකර ගැනීමේ වැඩපිළිවෙළක් සඳහා කටයුතු කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහන පහසුකම් නඟාසිටුවීම උදෙසා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගත් නව බස් රථයක් ධාවනයට එක් කිරීමට එක්වෙමින් ඇමැතිවරයා එසේ පැවසීය.

මෙය මත්තේගොඩ, කුඩමාදූව ප්‍රදේශයේ දී සිදුවිය. ලංගම – කැස්බෑව ඩිපෝව මඟින් ධාවනයට එක්කළ මෙම බස් රථය මත්තේගොඩ සිට කුඩමාදුව, පොල්ගස්ඕවිට, පිළියන්දල හරහා කොළඹ මාර්ගයේ ධාවනයේ යෙදවෙනු ඇත.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.
වර්තමාන තත්ත්වය තුළ විශාල වියදමක් දරමින් පුද්ගලික ප්‍රවාහන ක්‍රම භාවිත කිරීම ජනතාවට ඉතාමත් අපහසුයි. දිවයිනේ සෑම ප්‍රදේශයකම ජනතාව ප්‍රවාහන අපහසුතාවයන් හේතුවෙන් දුෂ්කරතාවයට පත්ව තිබීම පිළිබඳව විෂයභාර ඇමැතිවරයා ලෙස මට ප්‍රායෝගික අවබෝධයක් තිබෙනවා.

මා අමාත්‍යාංශයේ වගකීම භාරගන්නා විට ලංගම විශාල පාඩුවක් ලබන ආයතනයක් බවට පත්ව තිබුණා. ඊට ප්‍රධානම හේතුව බවට පත්ව තිබුණේ අතළොස්සක පිරිසක් සිදුකරන ලද මූල්‍ය අක්‍රමිකතා සහ වංචාවන්. මේ ගැන දිගින් දිගටම සිදුකරන ලද පරීක්ෂාවන් හේතුවෙන් විශාල පිරිසකගේ සේවය අත්හිටුවීමට සිදු වුණා. පසුගිය සතිය වන විට ලංගම හදිසි වැටලීම් අංශය ද විසුරුවා හැරීමට අපට සිදු වුණේ මෙවැනි අක්‍රමිකතාවලට සම්බන්ධ බවට තොරතුරු තහවුරු වීම හේතුවෙන්.

මේ වන විට ලංකා ගමනාගමන මණ්ඩලය වත්මන් සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ දායකත්වය ද සමඟ නව ක්‍රමවේදයකට අනුව ප්‍රතිසංවිධානය කෙරෙමින් පවතිනවා. 2025 වන විට පාඩු නොලබන තත්ත්වයකට ලංකා ගමනා ගමන මණ්ඩලය ගෙන ඒමේ ඉලක්කය වෙත අප ගමන් කළ යුතු වෙනවා. එසේ නොවුවහොත් ලාබ නොලබන ආයතනයක් ලෙස වෙනත් විකල්පයක්‌ වෙත යෑමට සිදුවනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නව බස්රථ පන්සියයක් ලබාගැනීමේ අරමුණ වන්නේ ද ආයතනය ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමයි. ඉතිහාසය පුරාවටම විදේශ රටවලින් ණය ලබා නොගත් කිසිදු රජයක් පැවතී නැහැ.

රට තුළ සිදු කරන ලද බොහෝ සංවර්ධන කටයුතු සිදුකර තිබෙන්නේ එලෙස ලබාගත් විදේශ ණයවලින්. ජනතාවගෙන් ලබා ගන්නා බදු ආදායම ප්‍රමාණවත් වූයේ වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර සහ ණය පොලී ගෙවීමට පමණයි. අනෙක් සෑම කටයුත්තකටම ණය ගැනීමට සිදු වුණා. අවසානයේ කොවිඩ් වසංගතය, පාස්කු ප්‍රහාරය ඇතුළු තත්ත්වයන්වලින් අනතුරුව ලබාගත් ණය ගෙවීමට නොහැකිව රට නතර වුණා. ඒ හේතුවෙන් ඉන්ධන ගෑස් පෝලිම්, විදුලි බලය සීමා කිරීම් වැනි තත්වයන්ට මුහුණ දීමට ජනතාවට සිදු වුණා. මේ වන විට ඒ අර්බුදයේ යම් තැනකට පැමිණ තිබුණත් සම්පූර්ණයෙන්ම විසඳී අවසන් නැහැ. කවුරු ආණ්ඩු බලය හෙබවූවත් තවත් වසර විස්සක්, විසිපහක් යනතුරු මේ ණය ගෙවීමේ සැලසුමක් අපට තිබිය යුතුයි.

ලෝකයේ පවතින පිළිගත් මුදල් ක්‍රමය හා සම්බන්ධ මේ ආර්ථික ගැටලුවට ආර්ථික විසඳුමක් අවශ්‍යයි. අවදානම් තත්ත්වයක තිබෙන රට ගලවා ගැනීම උදෙසා නව උපක්‍රම සහ උපාය භාවිත කරමින් වියදම් සීමා කර ආදායම වැඩිකර ගැනීමේ වැඩපිළිවෙළක් සඳහා අප කටයුතු කළ යුතුයි. කොතරම් අපහසුතා පැවතුනත් ඉදිරි දරු පරපුර වෙනුවෙන් රට යහපත් තැනකට ගැනීමේ වගකීම අප ඉටු කළ යුතුයි.

මහා සංඝරත්නය, ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණ හංස මහතා, ප්‍රදේශයේ ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රවීණ නිලධාරියකු වූ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂ ධුරයට අගෝස්තු 8 වැනිදා සිට පත් කර තිබේ. නව තනතුරට පත් වූ ඔහුට ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් සුබ පැතූ අයුරුයි මේ.

උසස් අධ්‍යාපන සහ සමෘද්ධි යන අමාත්‍යාංශයන්හි ලේකම් තනතුරු දැරූ ආචාර්ය නවරත්න ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති සහ ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වේ. කෑගල්ල ශා. මරියා සහ හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විදුහලේ අධ්‍යාපනය ලැබූ හෙතෙම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. ඔහු සිය ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි හැදෑරුවේ ජපානයේදීය.
කාගිල්ස් සහ හේලීස් ෆ්‍රැබ්රික්ස් සමාගමේ ද අධ්‍යක්ෂවරයකු ලෙස ආචාර්ය නවරත්න කලක් කටයුතු කර තිබේ

 

  • සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යනවා – ජනපති මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයේ දී කියයි.

පසුගිය සමය තුළ රටටත්, ජනතාවටත් මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කරගත් පමණින් රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් හිමි නොවන බවත්, නිවැරදි තීන්දු තීරණ සමඟ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කළයුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට නොගියහොත් තවත් වසර 10ක් යන තැන රට නැවත ආර්ථික අභියෝගයකට ලක්වීම නොවැළැක්විය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මාතලේ ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ 150වන සංවත්සර උත්සවයට අද (13) පෙරවරුවේ එක් වෙමිනි.

සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යාම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීමට තාක්ෂණ ප්‍රවර්ධන සභාව ද, රටෙහි ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට ඩිජිටල් පරිවර්තන කොමිසම ද ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

අග්‍රාමාත්‍ය විජයානන්ද දහනායක මහතාගෙන් පසුව මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට රාජ්‍ය නායකයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් අද පෙරවරුවේ විද්‍යාලය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විද්‍යාලයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් ස්ථාපිත කර තිබූ සමරු ඵලකය නිරාවරණය කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. එසේම ජනාධිපතිවරයා සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ලබාගත් විද්‍යාලයේ සිසුන් වෙත සහතික පත්‍ර පිළිගැන්වීම ද මේ හා සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය ආරම්භ කර වසර 150ක් ගතව තිබෙනවා. මෙම පාසල ආරම්භ කරන විට මේ රටේ තිබුණේ වැවිලි ආර්ථිකයක්. කෝපි වගාව විශාල ලෙස ව්‍යාප්ත වී තිබුණා. නමුත් වසර කිහිපයක් ගත වන විට කෝපි වගාව සම්පූර්ණයෙන් විනාශ වී ගිය අතර ආර්ථිකය කඩා වැටි ආණ්ඩුවට ආදායමක් නැතිව ගියා.

අනතුරුව වසර 15-20ක පමණ කාලයකින් තේ වගාව ආරම්භ කරන තුරු රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වුණා. නව වැවිලි බෝග ලෙස තේ වගාවත්, රබර් වගාවත් ආරම්භ කිරීමෙන් පසු නැවතත් රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත් වුණා.

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය අද 150 වන සංවත්සරය සමරන අවස්ථාව වන විටත් රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. පසුගිය වසරේ පිපිරී ගිය එම ආර්ථික අර්බුදය නිසා ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් රටට විශාල බලපෑමක් එල්ල වුණා.

මෙම අර්බුදයෙන් අපට ගොඩඒමට හැකිවනු ඇතැයි එදා කිසිවෙක් විශ්වාස කළේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව එම වගකීම භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම එයට හොද උදාහරණයක්. සාමාන්‍යයෙන් වෙනත් අවස්ථාවල අගමැතිකම භාර ගන්න පෝලිමේ එනවා. නමුත් ඒ අවස්ථාවේ කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැහැ.

එවැනි පසුබිමක මම ජනාධිපති ධූරයේ වගකීම භාරගෙන, අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය කර ගනිමින් රටේ ආර්ථික අර්බුදයට කෙටිකාලීන හා දිගු කාලීන විසඳුම් සෙවීම ආරම්භ කළා.

අප ගනු ලැබූ තීන්දු තිරණ නිසා රටේ පෝලිම් යුගය අවසන් කිරීමට හැකි වුණා. එසේම පසුගිය වසරේ සැප්තැම්බර් මෙන්ම මෙම වසරේ ජනවාරි හා අප්‍රේල් යන මාසවල ආණ්ඩුවක් ලෙස ගනු ලැබූ තීන්දුවල ප්‍රතිඵල අද ජනතාව භුක්ති විඳිමින් සිටිනවා.

මෙම වසර අවසන් වන විට ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගනිමින් රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බව අප විශ්වාස කරනවා. නමුත් එය සිදු කිරීමට නම් අප රාජ්‍ය වියදම් පාලනය කළ යුතුයි. ඒ වගේම නිෂ්පාදන ආර්ථියක් බවට පරිවර්තනය වීමටද අවශ්‍යයි. ඒ සඳහා වන වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. අප ගනු ලබන පියවර නිසා “බංකොළොත්” යන ලේබලය ඉවත් කරගන්නට හැකියාව ලැබී ඇති නමුත්, කඩිනමින් ඊළග පියවර නොගතහොත් තවත් වසර 10ක් යන තැන නැවත බංකොළොත් භාවයට පත් වෙනවා. එසේ නම් නව ක්‍රමයක් ඔස්සේ ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. ව්‍යාපාරයක් පවත්වාගෙන යන අන්දමේ මූල්‍ය විනයක් එහිදී තිබිය යුතුයි.

ඒ වගේම සෑම රාජ්‍ය ආයතනයකින්ම උපරිම ප්‍රායෝජන ලබා ගත යුතුයි. මේ වන විටත් අමාත්‍යාංශවල අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම රජයට අයත් ඉඩම්, ගොඩනැඟිලි හා වාහන පිළිබඳ වාර්තාවක් සකස් කිරීම අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙනවා. මේ වසර අවසන් වන විට එම තොරතුරු ලබා ගැනීමට හැකිවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ යෝජනා මේ වන විටත් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. නමුත් අවාසනාවකට අධිකරණයට ගොස් එය නතර කිරීමට ඇතැමුන් උත්සාහ කළා. එහිදී මූලිකව මතු කළ ගැටලුවක් තමයි සේවක අර්ථ සාධක අරමුදලෙහි ප්‍රශ්නය. නමුත් මේ වන විට එහි සියලු සාමාජිකයන්ට 9% ක පොළියක් ලබා දෙන බවට නීති කෙටුම්පතක් ඉදිරිපත් කර එම කටයුතු සිදු කරගෙන යනවා. ඒ නිසා මෙම වැඩපිළිවෙළ නතර කිරීමට කිසිඳු හේතුවක් නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය අනුව මූල්‍ය බලතල පැවරී තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස වෙන කිසිවෙකුට නොවෙයි. ඒ වගේම මීට අදාළව ගොනු කළ සියලු පෙත්සම් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ අවසන් කර ගැනීමෙන් පසු අප නිසි ලෙස ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළයුතුයි. අද බොහෝ දෙනෙක් මේ රට හැර ගොස් තිබෙනවා. එලෙස රටින් පිටව ගිය විශේෂඥයන්, වෘත්තීවේදින්ගේ සංඛ්‍යාව දෙස බලන විට අපට පහසුවෙන් එම හිඩැස පුරවා ගත නොහැකියි. කෙසේ හෝ සියලුදෙනාට ජීවත්විය හැකි හොඳ ආර්ථික පසුබිමක් රට තුළ ගොඩනැගීමට අප දැන් කැපවී සිටින බව කිව යුතුයි.

ආණ්ඩුවට ලැබෙන ආදායම, වියදම් පියවීමට ප්‍රමාණවත් නොවීම සහ ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩිවීම අද මේ රට මුහුණ දී සිටින ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස පෙන්වා දිය හැකියි. හැමදාම මේ සඳහා ණය ගැනීමට අපට හැකියාවක් නැහැ. ණය ප්‍රශ්ස්තකරණයෙන් පසු නැවත මෙම ප්‍රශ්නය මතු වෙනවා. අප එය වළක්වාගත යුතුයි. ඒ සඳහා අප දළ දේශීය නිෂ්පාදනය සීග්‍ර ලෙස ඉහළ නංවාගත යුතුයි. දළ දේශීය නිෂ්පාදිතය වැඩිකළ විට රටට ලැබෙන ආදායම ඉහළ යනවා. අනෙක් පසින් අප අපනයනය ද වැඩි කර ගත යුතුයි. මෙම වැඩපිළිවෙළ ඉදිරි වසර 10දී අප ක්‍රියාත්මක කළයුතුව තිබෙනවා.

අද ආණ්ඩු පක්ෂයේ වුණත්, විපක්ෂයේ වුණත් සාම්ප්‍රදායික දේශපාලන සටන් පාඨවලින් වැඩක් නැහැ. රට මුහුණදී තිබෙන අභියෝගය මනා ලෙස විග්‍රහ කරමින් ඒ සඳහා ඇති විසඳුම් සමග අප ඉදිරියට යා යුතුයි. එම විසදුම් පිළිගන්නේ නැති නම් ප්‍රශ්න විසඳිය හැකි විකල්ප ඉදිරිපත් කළ යුතුයි.

මෙරට ආර්ථිකය දියුණු කිරීමට නම් විදේශ විනිමය ලෙස වසරකට ඩොලර් බිලියනයක් අවම වශයෙන් අවශ්‍ය වෙනවා. පළමුව කළයුතුව තිබෙන්නේ දැනට තිබෙන ක්ෂේත්‍රවලින් විදේශ විනිමය ඉහළ නංවා ගැනීමයි.

අපට ප්‍රධාන වශයෙන් තිබෙන්නේ විදේශ රැකියාවලින් ලැබෙන ආදායමයි. දෙවනුව අපනයන ආදායම. ඇගළුම් කර්මාන්තය ගත් විට විශේෂයෙන් යුරෝපය, ඇමරිකාව වැනි රටවල ආර්ථිකය මේ වන විට යම් පසුබෑමක් පෙන්නුම් කරනවා. ඒ නිසා මෙම වසරේ අපට එම අංශවලින් විශාල මුදලක් බලාපොරොත්තු වෙන්න බැහැ. එසේ නම් අප සංචාරක ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කළයුතුයි. ඒ නිසා මෙම වසරේ සහ එළැඹෙන වසරේ රටේ සංචාරක ව්‍යාපාරයේ විශාල දියුණුවක් ඇති කිරීමට ‍ සැලසුම් කර තිබෙනවා.

එසේම අපට ලැබෙන අපනයන ආදායම දෙගුණයකින් ඉහළ නංවා ගත යුතුයි. අප ආයෝජකයන් ගෙන්වා ගත යුතුයි වගේම ඔවුන්ට අවශ්‍ය පහසුකම් ද සලසා දිය යුතුයි. ඒ සඳහා වරාය නගරය වැනි අලුත් වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික දැනුම සමඟ ඉදිරි වසර 10දී අප වේගයෙන් ඉදිරියට යා යුතුයි. එම වේගය අනුව තමයි අප සාර්ථක ද අසාර්ථක ද යන්න තීරණය වන්නේ.

ඒ වගේම රජයේ සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ගණනාවක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලවලට ඇතුලත්වන සිසුන්ට සහන ණය ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. අවම වශයෙන් ඉංජිනේරුවන් 10,000ක්, වෛද්‍යවරුන් 7500ක් වැනි පිරිසක් වසරකට මෙරට විශ්වවිද්‍යාල තුළින් බිහි විය යුතුයි. ඒ වගේම තොරතුරු තාක්ෂණ විෂයට ද විශාල ඉල්ලුමක් තිබෙනවා. මෙම අවශ්‍යතා අඛණ්ඩව සපයාගත යුතුයි.

අපට අවශ්‍ය අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනඟා දීමටයි. ඒ නිසා පසුගිය වසරේ සිදු වූ දේ නැවත කිසිදා මේ රටේ සිදු නොවන ලෙස ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට කටයුතු කිරීම අප සියලුදෙනාගේ වගකීම වෙනවා.

ඒ සඳහා රජය නව පියවර ගණනාවක් ගෙන තිබෙන බව කිවයුතුයි. ආයෝජන මණ්ඩලය සහ අපනයන මණ්ඩලය යන ආයතන වෙතින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නැහැ. ඒ වෙනුවෙන් ආර්ථික කොමිසමක් පත් කර අදාළ බලතල කේන්ද්‍රගත කිරීමට කටයුතු කරනවා. එවිට ආයෝජන සඳහා එක් එක් අමාත්‍යාංශවලට ගොස් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ආයෝජකයන් හට එක ස්ථානයකින් සියලු කටයුතු සපුරාගත හැකියි.

මීට පෙර 1978 දී ජේ.ආර්. ජයවර්ධන මහතා මහ කොළඹ ආර්ථික කොමිසම ස්ථාපිත කර මහකොළඹ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළේ ද ඒ ආකාරයටයි. ඒ වගේම ආයෝජන සදහා අවශ්‍ය යටිතල පසුකම් සපයා දීමට වෙනම මණ්ඩලයක් ඇති කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.

වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ද, ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම මාතලේ දිස්ත්‍රික්කය ද සංචාරක කර්මාන්තය වෙනුවෙන් විශාල ලෙස දායක කර ගැනීමේ හැකියාවක් තිබෙනවා.

තවද කෘෂිකර්මාන්තය නවිකරණය සඳහා කෘෂි නවීකරණ වැඩසටහනක් ඊළග මාස දෙක තුළදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. වී වගාවේ හෝ අනෙකුත් බෝග වගාවන් තුළ දැනට සිදු කෙරෙන නිෂ්පාදන ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිෂ්පාදන ඉහළ නංවාගත යුතුයි.

ඒ වගේම රටට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීම සඳහා තාක්ෂණ ප්‍රවර්ධන සභාවක් ඇති කිරීමටත්, රටට ඩිජිටල්කරණය ගෙන ඒමට ඩිජිටල් පරිවර්තන කොමිසම ඇති කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. රටේ සියලු ක්ෂේත්‍රයන්හි විශාල නවීකරණයක් එමගින් අපේක්ෂා කරන අතර, 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ඇති කිරීම අපේ අරමුණ බව කිවයුතුයි.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්. යු. ගමගේ, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු එම්.පී.බී. දෙහිදෙණිය, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න, NSBM හරිත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහත්වරුන් ද මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේවාවසම් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසුන්, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ ගමනට සහාය දුන් සැමට ස්තුතියි – ජනපති ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ වාර්ෂික හමුවේ දී පවසයි.

ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟිය යුත්තේ අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක් තුළ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ, කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පසුගියදා (09) පැවැති ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ 36 වන වාර්ෂික හමුවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

පසුගිය වසරේ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ වාර්ෂික සමුළුවට පැමිණෙද්දි රට තිබුණේ අඳුරු තැනකයි. එදා ඔබ බොහෝ දෙනෙකුට ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ප්‍රශ්නාර්ථයක් තිබුණා. නමුත් එය ආපසු හැරවීමට ඔබ සියලු දෙනාගේම සහයෝගයෙන් අපට හැකියාව ලැබුණා. ඒ පිළිබඳ මම ඔබට ස්තුතිවන්ත වෙනවා. පසුගිය වසරට සාපේක්ෂව අපට මේ වනවිට අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. අප නිවැරැදි ආර්ථික කළමනාකරණයක් සිදු කළහොත් අනාගතය සුබවාදීව සැලසුම් කිරීමට හැකියාව ලැබෙනවා.

රටේ ආර්ථිකය කිසිදා නොවූ විරු අභියෝගයකට ලක් වන තුරුම රටක් ලෙස අප ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සොයා බැලුවේ නැහැ. ඒ නිසාම ආර්ථික ප්‍රශ්නය වර්ධනය වුණා. ආර්ථිකයට අදාළ නිවැරැදි තීන්දු ගන්න දේශපලන නායකයන් පසුබට වීම නිසාම තත්ත්වය උත්සන්න වුණා. ඒ වගේම මෙම ආර්ථික අර්බුදය ජනතාවට තදින් දැනුණා.

ඔවුන් මහ පාරේ උද්ඝෝෂණ ආරම්භ කළේ ඉන්පසුවයි. ඇතැම් උද්ඝෝෂණවලට වෙනම මුහුණුවරක් තිබුණු බව අරගලය අවසානයේදී අපට පෙනෙන්නට තිබුණා. මෙම තත්ත්වය තුළ නායකත්වයේ රික්තකයක් ඇති වුණා. එදා පැවැති ආණ්ඩුව බිත්තියට හිරවෙලා තිබුණේ. ඒ නිසාම එවකට අගමැතිවරයා ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉල්ලා අස්විමට සිදු වුණා. එවකට ජනාධිපතිවරයා විපක්ෂනායකවරයා කැඳවා ආණ්ඩුව භාරදීමට උත්සාහ කළා. නමුත් විපක්ෂ නායකයා එම අභියෝගය භාර ගත්තේ නැහැ.

ආණ්ඩු බලය දෙන්න ජනාධිපතිවරයෙක් වෙනත් අයෙකුට එලෙස ආරාධනා කළේ ලෝකයේ පළමු වතාවටයි. විපක්ෂ නායකයාවරයා එය ප්‍රතික්ෂේප කිරීමත් මම හිතන ආකාරයට ගිනිස් වාර්තාවක්.

ඉන්පසුව හිටපු ජනාධිපතිවරයා රට භාරගන්නා ලෙස මට ආරාධනා කළා. මම තනතුරු ඉල්ලුවේ නැහැ. නමුත් එදා රට තිබුනේ අර්බුදයකයි. රට නැවත ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. රට තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමෙන් පසු රට පැවති තැනට නැවත ගෙන ඒමට අවශ්‍ය පියවර ගැනීමට මම කටයුතු කළා. ඒ අනුව මාසයක් ඇතුළත රටේ ආර්ථික අර්බුදයට කෙටි කාලීන විසඳුම් ලබාදීමට හැකි වුණා. පෝලිම් යුගය අවසන්කෙරුණා.

රටේ ආර්ථිකය මෙලෙස වේගයෙන් යථා තත්ත්වයට පත් කර ගැනීමට දායක වූ සහ සහාය දුන් සියලුදෙනාට ස්තූතිවන්ත විය යුතුයි. රටේ ආර්ථිකය ගොඩනැඟීමට ඔවුන් එම අවස්ථාවේ විවිධ අයුරින් උදව් උපකාර කළා. ජනාධිපතිවරයා ලෙස මට රටේ ආර්ථිකය ගොඩගැනීමට හැකිවෙයි කියන විශ්වාසය අනුව ඔවුන් කටයුතු කළා. ඒ අවස්ථාවේ දී මමත් සමඟ අභියෝග භාරගත්ත ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් ද සිටියා. වෘත්තීයවේදීන් එම වැඩපිළිවෙළට සහාය ලබා දුන්නා.

ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තවම අවසන් නැහැ. එම ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට විවිධ පිරිස් උත්සාහ දරමින් ඉන්නවා. මෙම ණය ප්‍රශස්තකරණ වැඩසටහන නතර වුවහොත් සතියක් ඇතුළත බැංකු ඇතුළු සියලුම අංශ කඩාවැටෙනවා.

ණය ප්‍රශස්තකරණය ක්‍රියාවලියෙන් පසුව ආර්ථිකයේ ඉදිරි සැලසුම් සකස් කළ හැකියි. ඒ පිළිබඳ මා දැනටමත් කරුණු අනාවරණය කර තිබෙනවා. ශ්‍රී ලකාවේ ආර්ථිකය දියුණු කිරීමට අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක් අවශ්‍යයි. ආර්ථිකය වේගයෙන් ඉදිරියට ගෙන යාමට නම් මූල්‍ය හා මානව ප්‍රාග්ධනය තිබිය යුතුයි.

ශ්‍රී ලංකාව යනු: වාණිජ යුගයට සම්බන්ධ වූ පළමු රටවලින් එකක්. 1940 සිට වාණිජ යුගයට ඇතුළත්වීමෙන් අපේ රට ප්‍රාග්ධනය ගොඩනගා ගැනීමට කටයුතු කළා. වාණිජ යුගයේදී ආරම්භ කරන ලද ව්‍යාපාර 1970දී රජයට පවරාගත් නිසා ඒ සියල්ල විනාශ වුණා. 1977 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත්වන විට නැවත ගොඩනැඟීමට බැරි තරම් එම ව්‍යාපාර බිඳ වැටී තිබුණා.

උදහාරණයක් ලෙස පෙන්වා දුන්නොත් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආර්ථිකය පිබිදීමට හේතු වුණේ එහි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දියුණුවයි. එම කාලයේදී ලංකාවේ ආර්ථිකය විවෘත කර තිබුණා නම් එවැනි ආයෝජන අපේ රටට පැමිණීමට තිබුණා. වසර 30කින් ප්‍රාග්ධනය ඉපයීම සඳහා ගෙනගිය වැඩපිළිවෙළ වසර 10කින් සාර්ථකව නිම කිරීමට හැකිවීම නිසා මහා භාරතයට විශාල ප්‍රාග්ධනක් උපයා ගැනීමට හැකි වුණා. එම නිසා නව අගනුවර ආරම්භ කර, සංචාරක ව්‍යාපාරය සඳහා විශාල ආයෝජනයක් සිදු කිරීමට මහාභාරතය කටයුතු කළා.

ශ්‍රී ලංකාව 1977 දී ආර්ථිකය විවෘත කර ප්‍රාග්ධනය රැස් කර ගැනීමට කටයුතු කළා. විදේශ ආයෝජන රැසක් එහිදි ලංකාවට ලැබුණා. අවාසනාවකට අපේ රටේ යුද්ධයක් ඇති වුණා. නමුත් 2009 වසරේ යුද්ධය අවසන් වූ පසුව ආර්ථිකය නැවතත් සෙමෙන් ඉදිරියට පැමිණීමට පටන් ගත්තා.

ඉන් අනතුරුව 2021 හා 2022 වසරවල ඇති වූ කොරෝනා වසංගතය හමුවේ ඒ සියල්ල නැවත බිඳ වැටුණා. රටේ ආර්ථිකය බංකොලොත් වුණා. 2019 වසරේදී රටේ ආර්ථිකය තිබූ තැන හා අද තිබෙන තැන අතර විශාල පරතරයක් තිබෙනවා. නමුත් අපේ රට 2019 වසරේ සිටි තැනට නැවත පැමිණෙමින් තිබෙන බව කිව යුතුයි.

තියුණු තරගකාරීත්වයක් සහිත ආර්ථිකයක් අප ගොඩනඟා ගත යුතුයි. ඒ වගේම පෞද්ගලික අංශය පෙරමුණ ගත් ආර්ථිකයක් පැවතියහොත් ආර්ථික කඩා වැටීම් සිදු වන්නේ නැහැ.අපට විදේශ ප්‍රාග්ධනය අවශ්‍යයි. අප විදේශ ප්‍රාග්ධනය උපයා ගන්නා තරමටම අපට දියුණුව කරා ළගා විය හැකියි. ආයෝජනය කරන සෑම ඩොලරයකින්ම, තවත් ඩොලරයක් උපයා ගැනීම අප තහවුරු කරගත යුතුයි.

ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව නව ආර්ථික කොමිසමක් නිර්මාණය කිරීමට පියවර ගෙන තිබෙන්නේ ඒ සඳහායි. අප අනිත් රටවල් හා සංසන්දනය කිරීමේදී ආයෝජනයට ආකර්ශනීය රටක් විය යුතුයි. බංග්ලාදේශය සහ ඉන්දියාව සමඟ තරග කරමින් ඉදිරියට යා යුතුයි. දකුණු ආසියාවේ සියලුම රටවල් සමඟ අපට විශාල තරගකාරීත්වයක් තිබෙනවා. අප ඒ සඳහා සූදානම් නැත්නම් කඩිනම් ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකියි. වේගයකින් දියුණු වන තියුණු තරගකාරීත්වයක් සහිත ආර්ථිකයක් අපට අවශ්‍යයි.

මේ දිනවල විශාල පිරිසක් රට හැර යනවා. ඔවුන් විදේශගත වන්නේ වඩා හොඳ අනාගතයක් ගොඩනඟ ගැනීමේ අරමුණ ඇතිවයි. කෙටි කාලීනව එය හොඳ දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන්. එලෙස රට හැර යන පිරිසෙන් ඇතැම් කොටසක් යමක් උපයාගෙන නැවත රටට පැමිණෙනවා. නමුත් එය එසේ වූ පමණින් ඔබේ ප්‍රශ්න විසඳෙයි කියා නොසිතිය යුතුයි.

අපට තිබෙන තවත් විශාල ප්‍රශ්නයක් වන්නේ මානව ප්‍රාග්ධනය ප්‍රමාණවත් පරිදි නොමැතිවීමයි. අප ඒ වෙනුවෙන් තරුණ තරුණියන් පුහුණු කළ යුතුයි. අපට ඒ වෙනුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙළක් තිබිය යුතුයි.

විශ්වවිද්‍යාලවලත් අද විශාල ප්‍රශ්න රැසක් තිබෙනවා. ඉංජිනේරු, විද්‍යා ඇතුළු අංශවල වැඩි පිරිසක් සීඝ්‍රයෙන් රට හැර යනවා. එම නිසා විශ්වවිද්‍යාලවලට ආචාර්යවරුන්ගේ හිඟයක් ඇතිව තිබෙනවා. ඒ වගේම රෝහල්වලට ප්‍රමාණවත් වෛද්‍යවරුන් නැතිවී තිබෙනවා. ඊට විසඳුමක් ලෙස අප පෞද්ගලික අංශය හෝ වෙනත් නියෝජිත ආයතන සමඟ හෝ ඒකාබද්ධව අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුයි.

රට තුළ නව විශ්වවිද්‍යාල කිහිපයක් ඇති කිරීම පිළිබඳව අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. කුරුණෑගල තිබෙන “යුනිවර්සිටි කොලේජ්“ එක, විද්‍යා සහ තාක්ෂණ විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබෙනවා. පොළොන්නරුවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපට මේ වන විට අයදුම්පත් ලැබී තිබෙනවා. අඩුම තරමින් අප විශ්වවිද්‍යාල 04ක් හෝ 05ක් අදාළ ආයතන සමඟ සම්බන්ධ වී අලුතින් ආරම්භ කළ යුතුයි. ඒ තුළින් මෙම ක්ෂේත්‍රයේ සිදුව තිබෙන හිඟය පියවා ගැනීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා.

ඒ සඳහා නව ආයෝජන අවස්ථා විවර කරදීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබේ සංගමයටද දායකවිය හැකියි. මේ තුළ ලාභ ලබන ව්‍යාපාර ඇති කළ යුතුයි. රටක ආර්ථිකය ගොඩනගන්න තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයේ ආර්ථිකයක්ද තිබිය යුතුයි. මහනුවර ප්‍රදේශයේ නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන ලෙස පසුගිය ඉන්දීය සංචාරයේදී මම චෙන්නායිවල තිබෙන තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයට (IIT) ආරාධනා කළා.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) විශ්වවිද්‍යාල ප්‍රමාණය වැඩි කරමින් තිබෙනවා. හරිත විශ්වවිද්‍යාලයත් එහෙමයි. නමුත් එය ප්‍රමාණවත් නැහැ. නව විශ්වවිද්‍යාල සඳහා අයඳුම්පත් ලැබී තිබෙනවා. වෛද්‍ය විද්‍යාල සඳහා ද ඉල්ලුම් පත්‍ර ලැබී තිබෙනවා. ලොස් ඇන්ජලීස්වල තිබෙන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාල හා ක්වාලාලාම්පූර්වල තිබෙන විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. අවම වශයෙන් විශ්වවිද්‍යාල හතරක් හෝ පහක් ආරම්භ කිරීමට රජයක් ලෙස අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා.

ඒකාබද්ධ සහයෝගීතාවක් තුළ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කළ හැකියි. අපට මානව ප්‍රාග්ධනය ද අවශ්‍ය වෙනවා. මෙහිදී ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධානයට (OPASL) විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා.

පළාත් සභාවලට බලය බෙදීම පිළිබඳව මම පාර්ලිමේන්තුවේ දී කතා කළා. ඒ වගේම පළාත් සභා මට්ටමින් පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට ද නීතියක් ගෙන ආ හැකියි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතට අනුකූල වන තාක් කල් ආණ්ඩුකාරවරයාට අදාළ විශ්වවිද්‍යාල පිළිගෙන ස්ථාපිත කිරීමට හැකි නීතියක් අප ගෙන එනවා.

මූල්‍ය ප්‍රාග්ධනය හා මානව ප්‍රාග්ධනය නොමැතිව රටක සීග්‍ර ආර්ථික වර්ධනයක් ඇති කළ නොහැකියි. එසේම ඉහළ තරගකාරී ආර්ථිකයක් පිළිබඳ අපට සිහින දැකිය නොහැකයි. එබැවින් අපට ඉදිරියට යාමට අවශ්‍ය මානව සම්පතක් ඇති බව සහතික කිරීමට ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධානය (OPASL) මහඟු කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධානයේ (OPASL) නිලධාරීන් කිහිපදෙනකුට සමරු තිළිණ පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධානයේ (OPASL) සභාපති නීතීඥ රුචිරා ගුණසේකර, ලේකම් නීතීඥ සුජීව ලාල් දහනායක, ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධානය (OPASL) සදහා ඉදිරියේදී පත්වීමට නියමිත සභාපති නීතීඥ සරත් ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter