රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සියවස් සැමරුමට එක් වෙමින් ජනපති කියයි

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 1 වැනිදා ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යෑමෙන් රටට හෙට දවසක් නැති බැවින් නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ ඉදිරියට යනවා හැර වෙනත් විකල්පයක් රටට නැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සමඟ සියලු දෙනා එක් විය යුතු බවද අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ ඊයේ (6) පැවති රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සියවස් සැමරුමට එක් වෙමිනි.

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් කැප වීමෙන් සේවය කළ සේවක පිරිසකට තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ අතර, සියවස් සැමරුම වෙනුවෙන් රු. 25ක සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීමද සිදු කෙරිණි.

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ගීතය හා ධජය එළිදැක්වීම සහ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම සඳහා ‘ඊ තක්සේරු’ ක්‍රමවේදය හඳුන්වා දීමද මෙහිදී සිදු විය.

මේ අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:

“තක්සේරු දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය පෘතුගීසි සමය දක්වා ඈතට දිව යනවා. බ්‍රිතාන්‍ය යුගයේදී මිනින්දෝරු සහ තක්සේරු ක්‍රියාවලිය ඉදිරියට ගෙනාවා. 1923දී තක්සේරුකරු තනතුර ඇති කළා. 1972දී හඳුන්වා දුන් ඉඩම් ප්‍රතිපත්තිය මඟින් තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය තවදුරටත් පුළුල් වුණා. ඒ අනුව මේ වන විට තක්සේරු දෙපාර්තමෙන්තුව නව යුගයකට පත්ව තිබෙනවා. එහිදී ඩිජිටල්කරණය ඉතා වැදගත්. ඩිජිටල් ආර්ථිකයේදී තක්සේරුව වෙනුවෙන් පිරිස් බලය අවශ්‍යයි. ඒ සඳහා තක්සේරුකරුවන් නිර්මාණය කිරීමට විශ්වවිද්‍යාලවල සිසුන් බඳවාගැනීම වැඩි කළ යුතුයි.

“ඒ වගේම ඉදිරියේදී වසර පහෙන් පහට දේපළ තක්සේරු කිරීමද කළ යුතුයි. බදු එකතු කිරීමේ ක්‍රමවේදය සඳහාද තක්සේරුකරණයේ දායකත්වය ඉතා වැදගත්. එනිසා තක්සේරු ක්‍රියාවලිය ඩිජිටල් කිරීම මේ වසරේ සිට ආරම්භ කිරීම මා ඉතා අගය කරනවා.

පසුගිය වසරේදී අප රටක් ලෙස විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. ඒ අර්බුදයෙන් රට ගොඩ ගැනීමේදී රාජ්‍ය නිලධාරීන් හා රටේ සමස්ත ජනතාව විශාල කැප කිරීමක් කළා. ඒ වෙනුවෙන් අප ඔවුන්ට ස්තුති කළ යුතුයි. මේ මාසයේ මැද භාගයේදී පමණ අප රට බංකොලොත්භාවයෙන් මිදී ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි. එහෙත් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අප නව ආර්ථික ක්‍රමවේද අනුව ඉදිරියට යා යුතුයි. එසේ නැතිව පැරණ ආර්ථික ක්‍රමවේද ක්‍රියාත්මක කළ හොත් ඉදිරි වසර 10 ඇතුළත නැවත මේ රටේ ආර්ථික අර්බුදයක් ඇති වීම වැළැක්විය නොහැකියි.

“මහ බැංකුව මඟින් මුදල් මුද්‍රණය කිරීම මේ වන විට නවතා තිබෙනවා. ඒ වගේම සංවර්ධනය සඳහා රාජ්‍ය බැංකුවලින් ණය දීමත් නවතලා. මේ කොන්දේසි නැතිව ආර්ථික වර්ධනයක් අත් කරගන්න බෑ. රටට මූල්‍ය විනයක් අවශ්‍යයි. මූල්‍ය විනයක් සහිතව ආර්ථිකය කළමනාකරණය කළ හොත් ඉදිරියේදී ජනතාවට මීට වඩා සහන සැලසිය හැකියි.

“ආනයන අපනයන පරතරය මෙන්ම අයවැය හිඟය මෙරට ආර්ථික අර්බුදයට හේතු වී තිබෙනවා. ඒ නිසා අපනයන ආදායම වැඩි කිරීමටත්, රාජ්‍ය වියදම් අඩු කර රාජ්‍ය ආදායම් වැඩි කිරීමටත් අප නව සැලසුම් සම්පාදනය කර තිබෙනවා. සංචාරක කර්මාන්තයෙන් විශාල විදේශ විනිමයක් උපයාගැනීමට හැකියාව තිබෙනවා. ලබන වසරේදී වසරකට සංචාරකයන් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වා ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ සංචාරකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 50 දක්වා වැඩි කරගත හොත් මෙරට ආර්ථික ප්‍රශ්නයට කඩිනම් විසඳුම් සොයාගැනීමට හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා.

“ඉඩම් අක්කර ලක්ෂ 3ක ප්‍රමාණයක් වගා කටයුතු සඳහා ජනතාවට පිරිනමන්න මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. ඒ අරමුණ ඉටු කරගැනීමේදී තක්සේරු දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරෙනවා. තක්සේරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම නිසා ඒ කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස සිදු කරගත හැකි වනු ඇති.

“බලශක්ති ක්ෂේත්‍රයේත් නව ප්‍රවේශයක් අවශ්‍යයි. එහිදී අප පුනර්ජනනීය බලශක්තිය කෙරේ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සුළං බලයෙන් ගිගාවොට් 35ක්ද, සූර්ය බලයෙන් ගි.වො. 200ක්ද නිපදවීමට හැකියාව තිබෙනවා. මෙරට පරිභෝජනයට අවශ්‍ය වන්නේ ගි.වො. 50කට අඩු ප්‍රමාණයක්. ඒ නිසා එම බලශක්ති ක්ෂේත්‍රය මඟිනුත් විශාල විදේශ විනිමයක් උපයාගත හැකියි. කෘත්‍රිම බුද්ධිය කෙරෙත් වැඩි අවධානයක් යොමු කරමින් ඩිජිටල් ආර්ථිකයට එය යොදාගැනීමට සැලසුම් සකස් කළ යුතුයි. එමඟින් රට තුළ ඉතා කෙටිකාලයකදී ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කළ හැකියි.”

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය, ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර, රජයේ ප්‍රධාන තක්සේරුකරු පුෂ්පා මුතුකුමාරණ, තැපල්පති රුවන් සත්කුමාර මහත්ම මහත්මීහු සහ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සේවක මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.