නරඹන්නන්ගෙන් කෝටි 102ක ආදායමක

දෙස් විදෙස් සංචාරකයන්ට නවමු අත්දැකීමක් එක් කරමින් කොළඹ, නෙළුම් කුලුනේ පිහිටි කැරකෙන අවන්හල අනිද්දා (09) විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

දකුණු ආසියාවේ උසම ස්ථානයේ පිහිටි මෙම අවන්හල තුළ එක් වරකදී 225ත් – 250ත් අතර පිරිසකට රැඳී සිටීමේ හැකියාව පවතින අතර එය අනිද්දා (09) රාත්‍රී 7.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.

මෙම අවන්හල දිවා සහ රාත්‍රි ආහාර පාන ලබා ගැනීම වෙනුවෙන් විවෘත වන අතර ඒ අනුව දිවා ආහාරය සඳහා පෙරවරු 11.00 සිට පස්වරු 3.30 දක්වාත් රාත්‍රි ආහාරය සඳහා පස්වරු 6.30 සිට රාත්‍රි 11.30 දක්වා ද කැරකෙන අවන්හල විවෘතව පවතී. නෙළුම් කුලුන ඉදිකිරීම වෙනුවෙන් ලබාගත් ණය මුදල මේ වන විට නිසි පරිදි කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ සමාගම මඟින් ගෙවා තිබෙනවා. මේ ව්‍යාපෘතිය සුදු අලියෙක් කියා අර්ථකථනය කරන්න ඇතැමුන් උත්සාහ කළා. නමුත් අද වන විට මෙහි තත්ත්වය අපිට දකින්න ලැබෙනවා යැයි දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය. මාස 14ක කාලයක් තුළ කොළඹ, නෙළුම් කුලුන නැරඹීමට පැමිණි නරඹන්නන්ගෙන් රුපියල් මිලියන 1,025.9ක (කෝටි 102) ආදායමක් උපයා ගැනීමට හැකිව තිබෙන බව කොළඹ, නෙළුම් කුලුන කළමනාකරණ සමාගම ප්‍රකාශ කරයි. ඒ අනුව පසුගිය 2022 වසරේ සැප්තැම්බර් මස 15දා සිට පෙරේදා (05) දක්වා කාලය තුළ මේ ආදායම උපයා ගැනීමට හැකිව තිබෙන අතර එම කාලය තුළ දේශීය පුද්ගලයන් 1,352,324ක් සහ විදේශිකයන් 38,597 දෙ‍ෙනකු මෙය නැරඹීමට පැමිණ තිබෙන බව නෙළුම් කුලුන කළමනාකරණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ‍ෙජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි. මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ද සහභාගී විය