ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ප්‍රතිමා හෝ ස්ථාන සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මින් ඉදිරියට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිත අවසරයක් ගත යුතු බවත් නොඑසේ නම් නීති මඟින් කටයුතු කරන බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවුකන රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට දැනුම් දී තිබේ.

අවුකන ප්‍රතිමාවට සිවුරක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රකාශයක් ද ගෙන තිබේ.

සිවුරක් පැලඳවීම නිසා ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදුව නැතැයි එම සිද්ධිය සම්බන්ධයෙන් කලාප භාර පුරාවිද්‍යා නිලධාරීන් සිදු කළ ස්ථාන පරීක්ෂාවෙන් පැහැදිලි වී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ මහත්මියගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධව ගල්නෑව පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර තිබෙන බවයි.

පසුගිය පොහෝ දින අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැලඳවීම පිළිබඳ සමාජ මාධ්‍යජාලා ඡායාරූප සහිතව ප්‍රවෘත්තියක් පළ කළ අතර එය සමාජයේ මහත් කතාබහට ලක් විය. ප්‍රවෘත්තියට අදාළව අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ වෙතින් ඉතා කඩිනම් වාර්තාවක් කැඳවා තිබේ. ඒ අනුව බුද්ධ ප්‍රතිමාව ආශ්‍රිත ස්ථානීය පරීක්ෂාවක් සිදු කොට ඇති අතර අදාළ සිද්ධිය පිළිබඳ අවුකන රාජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇත. ‘විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින පූජෝත්සවය වෙනුවෙන් පිළිම වහන්සේට පැය කිහිපයක් සිවුරක් අන්දවා පූජා පැවැත්වීමට තමන් වහන්සේ කටයුතු කළේය.’ යනුවෙන් විහාරාධිපති හිමි පවසා තිබුණහ.

උන් වහන්සේ වැඩිදුරටත් පවසා ඇත්තේ ‘තමන් වහන්සේගේ අනුදැනුම මත සිදු වූ මෙම පූජාව කිසිදු ආකාරයකින් බුදු පිළිමයට හෝ අනෙක් පුරාවිද්‍යා ස්මාරකවලට හානියක් කිරීමේ අරමුණින් සිදු නොකළ බවත්ය.’ එමෙන්ම මෙම කඨින පූජාව වෙනුවෙන් සිවුරක් පැලඳවීම පිළිබඳ කල්වේලා ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කිරීමට නොහැකි වූ බවත් පවසා තිබේ.

එමෙන්ම එය අනවබෝධයෙන් සිදු වූ කටයුත්තක් බව උන් වහන්සේ පිළිගත්හ. කලාප භාර පුරාවිද්‍යා නිලධාරීන්ගේ වාර්තා අනුව (ස්ථාන පරීක්ෂාව අනුව) අවුකන ඓතිහාසික බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදුව නැත. මින් ඉදිරියට මෙවැනි ක්‍රියාවක් සිදු කරන්නේ නම් අනිවාර්යයෙන්ම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පූර්ව ලිඛිත අවසරය ලබා ගත යුතු බවත් එසේ නොවුණහොත් නීති මඟින් කටයුතු කරන බවටත් උන් වහන්සේට දන්වා ඇත. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගල්නෑව පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර තිබෙන බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.