ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ඒකාබද්ධව සංවිධානය කරන ‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන -2022’ උලෙළ ගල්කිස්ස මහ හෝටලයේදී අද (12) සවස 6 ට පැවැත්වේ. ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය එක්ව සංවිධාන කරන මෙම උලෙළේදී ජනමාධ්‍යවේදීන් 36 දෙනෙකුට සම්මාන පිරිනැමේ.

ඊට අමතරව ජනමාධ්‍යවේදීන් 16 දෙනෙකුට කුසලතා ඇඟයීම් සහතික පත් පිරිනැමේ. විසි හතර වැනි වරට පැවැත්වෙන මෙම සම්මාන උලෙළ මෙරට විශාලතම ජනමාධ්‍ය සම්මාන උලෙළ වන අතර සිංහල, දෙමළ, ඉංග්‍රීසි පුවත්පත් වෙතින් මේ සඳහා අයදුම්පත් 354 ක් ඉදිරිපත්ව තිබේ. සම්මාන ලභීන් තෝරා ගැනීම සඳහා සාමාජිකයන් 13 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මුද්‍රිත මාධ්‍යය සඳහාද මාර්ග ගත පුවත් සදහා සිවු සාමාජික ස්වාධීන විනිශ්චය මණ්ඩලයක්ද කටයුතු කරනු ලබයි.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පස්දෙනෙකුට දීර්ඝ සේවා සම්මාන මෙහිදී පිරිනැමෙන අතර ස්ටැන්ලි සමරසිංහ, එච්.එල්.ඩී මහින්දපාල, සීතා රංජනී, එස්. තිලෙයිනාදන් සහ ඒ.එල්.එම් නිලාම් මහත්ම මහත්මීන් මෙවර එම සම්මානයෙන් පිදුම් ලබති. ජෝන්කීල්ස් හෝල්ඩින්ග්ස්, එයිට්කන් ස්පෙන්ස්, ඩයලොග් ආසියාටා, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ලංකා බැංකුව, මහජන බැංකුව සහ ඕලු වෝටර් බෙට්ල්ස් යන ආයතන මෙවර සම්මාන උළෙල සඳහා දායකත්වය දක්වන අතර සත්කාරක අනුග්‍රහය ගල්කිස්ස මහ හෝටලය ලබාදී තිබේ.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය මඟින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා ඊට සම්බන්ධ වෘත්තීය සමිති, ශ්‍රී ලංකා පුවත්පත් සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යන සංගම්වල සහයෝගය ඇතිව ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල සංවිධානය කරයි. මෙහිදී වසරේ තරුණ ජනමාධ්‍යවේදියා සම්මානය හිමිකර ගන්නා අයට ලක්ෂ්මන් කදිරගාමර් පදනම විසින් පිරිනමන ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ ශිෂ්‍යත්වය හිමිවන අතර එම ශිෂ්‍යත්වලාභියාට ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මනෝරාමා සමූහය විසින් පාලනය කරන ප්‍රමුඛ ජනමාධ්‍ය විද්‍යායතනයක් වූ මාස්කොන් (Mascon) හි උසස් මට්ටමේ පුහුණු පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව හිමිවේ. මෙහිදී මුද්‍රිත මාධ්‍ය සඳහා සම්මාන 16 ක් පිරිනැමෙන අතර වසරේ ජනමාධ්‍යවේදී මර්වින් ද සිල්වා සම්මානය, වසරේ හොඳම උණුසුම් පුවත, වසරේ ගවේෂණශීලී ජනමාධ්‍යවේදියා, වසරේ හොඳම පරිසර වාර්තාකරු, සමාජ ගැටළු වාර්තාකරණය පිණිස වූ සුබ්‍රමනියම් චෙට්ටියාර් සම්මානය, වසරේ හොඳම ක්‍රීඩා ජනමාධ්‍යවේදියා, වසරේ හොඳම තරුණ ජනමාධ්‍යවේදියාට හිමි (අවුරුදු 26න් පහළ) ඩෙන්සිල් පීරිස් සම්මානය, වසරේ හොඳම ජනමාධ්‍ය ඡායාරූප ශිල්පියා, වසරේ හොඳම නිර්මාණශීලී පුවත්පත, වසරේ හොඳම ව්‍යාපාර සහ මූල්‍ය කටයුතු පිළිබඳ ජනමාධ්‍යවේදියා, වසරේ හොඳම විශේෂාංග රචනය සඳහා වූ උපාලි විජයවර්ධන සම්මානය, වසරේ හොඳම කාටුන් ශිල්පියා, හොඳම තීරුලිපි රචනය සඳහා වූ බී.ඒ සිරිවර්ධන සම්මානය, විශේෂ වාතාවරණයන් යටතේ වාර්තාකරණය වෙනුවෙන් පිරිනැමෙන මහාචාර්ය කේ. කෛලාසපති සම්මානය, තොරතුරු දැන ගැනීමේ අයිතිය භාවිතා කරමින් රචනා වූ වසරේ හොඳම පුවත් විශේෂාංගය, වසරේ හොඳම වෛද්‍ය කටයුතු සහ සෞඛ්‍යය රැකවරණ වාර්තාකරු ඒ අතර වෙයි. ඊට අමතරව මාර්ගගත පුවත්පත් අංශයන් සඳහා සම්මාන දෙකක් පිරිනැමෙන අතර හොඳම නිර්මාණශීලී සැලසුමෙන් යුත් පුවත් වෙබ් අඩවිය සහ හොඳම වීඩියෝ කතා පුවත පැවසීම එම සම්මාන අතර වෙයි.