ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ 50 වෙනි සංවත්සර උත්සවයේදී ඇමැති ආචාර්ය බන්දුල කියයි

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සහතික පත් පිරිනමමින්. ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට, පාඨමාලා සමායෝජක සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ, මහාචාර්ය දිනේෂ් සමරසිංහ, පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට, මහත්වරුද මෙහි වෙති

ජාතිය සුවපත් කිරීමට නම් මාධ්‍යකරුවා වඩාත් විචක්ෂණශීලී, ප්‍රබුද්ධ මාධ්‍ය භාවිතයක් සිදු කළ යුතු යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ 50 වෙනි සංවත්සර උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

කොළඹදී ඉකුත් 8දා පැවැති මේ සංවත්සරයට සමගාමීව Òමාධ්‍ය සමීක්ෂා – VÓ ග්‍රන්ථය එළිදැක්වීම, ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවේ – IX වන කණ්ඩායමේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සහ අඩු ආදායම්ලාභී ජනමාධ්‍යවේදීන්ගේ දරුවන් සඳහා ප්‍රකාශන කට්ටල බෙදාදීම, ආයතනයේ කාර්ය මණ්ඩලය ඇගයීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

මාධ්‍ය ප්‍රගමනය සහ තාක්ෂණය: නව ප්‍රවණතාÓ මැයෙන් වැඩසටහනේ මුඛ්‍ය දේශනය මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ පීඨාධිපති, මහාවාර්ය දිනේෂ් සමරසිංහ මහතා විසින් සිදු කරන ලදි.

එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය.

ලෝකයේ අන් සියලු රටවල්වල සේම ශ්‍රී ලංකාවේද අධ්‍යතන යුගයේ පුවත්පත්වලට විශාල වගකීමක් පැවරෙනවා. අප ශිෂ්‍යයන් අවදියේ පුවත්පත් දුටුවේ විශ්වවිද්‍යාලයක් ලෙසයි. මෙරට පුවත්පත් මහගෙදර ලෙස සැලකෙන ලේක්හවුස් ආයතනය රටට නිදහස ලබා ගැනීමටත්, ඉන් අනතුරුව සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික හැඩගැස්මක් ඇති කිරීම සඳහාත් විශාල මතවාදී දායකත්වයක් දී තිබෙනවා. එවකට ලේක්හවුස් ආයතනයේ මුල්පුටු හෙබවූයේ මහා ප්‍රාඥයන්. මාර්ටින් වික්‍රමසිංහ වැනි වියතුන් කතුවරුන් ලෙස ස්වකීය කතු වැකි මඟින් සමාජයට විශාල මඟ පෙන්වීමක් කළා. Daily news පුවත්පතින් ඉංග්‍රීසි භාෂාව නිසි ලෙස හැසිරවීමට නොහැකි විශාල පිරිසකට භාෂා ගුරුවරයකු ලෙස විශාල කාර්යභාරයක් ඉටුකර ඇති බව අප අසා තිබෙනවා. සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම රට පුරා මේ දැනුම බෙදා හරින්න එවකට පුවත්පත් විශාල කාර්යභාරයක් ඉටු කළා. රටේ පැවති ප්‍රධාන විශ්වවිද්‍යාල හැරුණුවිට පුවත්පත සහ ගුවන් විදුලිය ද විශ්වවිද්‍යාල තරමටම සේවයක් කළා. අදාළ විෂයන් පිළිබඳව මනා අවබෝධයක්, පරිචයක් සහිත පිරිස් ඒ ආයතනවල සේවයේ නියුක්තව සිටීම එවැනි තත්ත්වයකට ළඟාවීමට හේතු වී තිබෙනවා.

රටේ දැනට පවතින ප්‍රධානම ජාතික ගැටලුව අප සතුව ප්‍රමාණවත් මුදල් නොමැතිවීමයි. මේ වන විට ඉතා අබලන් වී ඇති මාර්ග සංවර්ධනය කිරීමට ද මහාමාර්ග විෂය භාර ඇමැතිවරයා ලෙස මට ඇති ගැටලුව ඒ සඳහා යෙදවීමට මුදල් නැතිකමයි. මෙතෙක් කළ සියලු සංවර්ධන කටයුතු කර තිබෙන්නේ විදේශ ණය සහ ආධාර ගැනීමෙන්. මේ වන විට ඒ කිසිම ණයක් හෝ ආධාර මුදලක් අපට ලැබෙන්නේ නැහැ. ගත් ණය ප්‍රතිව්‍යුහගත කරනතුරු කවුරුන් කවදාක රජයක් ලබා ගත්තත් කිසිදු ණය මුදලක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් මෙය සරල වශයෙන් ගෙන මුදල් මුද්‍රණය කිරීමෙන් මේ ගැටලුවට විසඳුමක් ලබාදීමට හැකියාවකුත් නැහැ. නිදහසින් පසු පැවති කිසිම රජයකට රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සහනාධාර මුදල්, ණය සඳහා පොලී ඇතුළු පුනරාවර්තන වියදම් කිරීම සඳහා ප්‍රමාණවත් ආදායමක් පැවතී නැහැ. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සහනාධාර ගෙවීමෙන් පසු භාණ්ඩාගාරයේ වෙනත් කිසිදු මුදලක් ඉතිරි වන්නේ නැහැ. ණය පොලී ඇතුළු අනෙකුත් කටයුතු සඳහා විදේශ ණය ගැනීමට සිදු වී තිබෙනවා.

දේශපාලන වෙනසක් කිරීමෙන් මේ තත්ත්වය මීට වඩා වෙනස් කළ හැකි ක්‍රමයක් තිබෙනවා ද යන්න පිළිබඳ මාධ්‍යවල සංවාදයක් ඇති වී තිබෙනවා ද? මෙය අප සියල්ල විසින් පිළිගත යුතු ශාස්ත්‍රයක්. මේ පිළිබඳ අර්ථ ශාස්ත්‍රමය සත්‍යය ප්‍රකාශ කළොත් විශාල ජනතා විරෝධයක් මතු වෙනවා. මේ පිළිබඳ විෂයානුබද්ධ අවබෝධයක් නැති පිරිස් විසින් සත්‍යය යටපත් කොට විකෘතියක් මතු කිරීම සඳහා මාධ්‍ය භාවිත කිරීමේ ප්‍රතිඵල භුක්ති විඳීමට මට ද සිදුවුණා.

මා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ ගුරු විද්‍යා පීඨවල පුහුණුව ලබන විද්‍යාර්ථින් වෙනුවෙන් ආහාරපාන ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා දිනකට වෙන්වූයේ රුපියල් 83ක මුදලක්. මසකට රුපියල් 2500ක්. මේ තත්ත්වය පිළිබඳ එම ගුරු ශිෂ්‍යයන් විසින් මා වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කෙනකුට නොමැරී ජීවත්වීමට මේ 2500 ප්‍රමාණවත් වුවත් එය තවත් රුපියල් 500කින් වැඩි කරන ලෙස මා එවකට කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා . එදා පටන් මේ වනතුරුත් රු. 2500කින් කෙනෙකුට ජීවත් විය හැකි බව ප්‍රකාශ කළ බව පවසමින් වෙනම මුද්‍රා තැබීමක් සියලු මාධ්‍ය විසින් සිදු කරනු ලැබුවා. මැයි නව වැනිදා සිදුවූ ඉතා අවාසනාවන්ත සිදුවීම් මාලාවේදී මගේ නි‍ෙවසට ගිනි තැබීමට පැමිණි පිරිස් ප්‍රකාශ කළේ ද එලෙස හුවා දැක්වූ කරුණයි.

ඉතිහාසයේ කිසිදු දිනයක මා ඇමැති නිල නිවසක් භාවිත කර නැහැ. ගෙවල් කුලී, විදුලි බිල්, ජල බිල් ලබාගෙන නැහැ. වැටුප් ලබාගෙන නැහැ. හොරකම්වලට, කොමිස් ලබා ගැනීමට සම්බන්ධ වී නැහැ. ගුරුවරයකු ලෙස මා උපයා ගත් වත්කම්වලට ගිනි තැබීම සඳහා සමාජ වෛරය නිර්මාණය කිරීම සඳහා රුපියල් 2500කින් කෙනෙකුට ජීවත් විය හැකි බවට වූ ප්‍රචාරය ඒ ආකාරයෙන් බලපෑවා.

මාධ්‍යකරුවන් ලෙස කටයුතු කරන සියලුදෙනා මනුෂ්‍යත්වය පෙරදැරි කරගනිමින්, මානව දයාවෙන් යුතුව මාධ්‍ය භාවිත කිරීම අතිශයින් වැදගත්. වෛරයෙන් මුසපත්ව තමන් දන්නා දේ පමණක් නිවැරදි බව විශ්වාස කරමින් කටයුතු කිරීම කිසිසේත් සාධාරණ වන්නේ නැහැ. එම නිසා මාධ්‍යයට එක්වන නව තරුණ පරපුර වැඩි වැඩියෙන් කියවීමට යොමු විය යුතුයි. අධ්‍යයනයට යොමු විය යුතුයි. බහුශ්‍රැත පිරිසක් බවට පත්ව මාධ්‍ය මෙහෙයවීම සූකිරි බටිල්ලන්ගේ මාධ්‍ය කලාව වෙනුවට අවශ්‍ය බව මා විශ්වාස කරනවා.

අපි දශක ගණනාවක් පුරාවට ජාති, ආගම්, කුල, පන්ති වශයෙන් ඇති කළ වෛරය තුළ, යකඩ ගැටෙන අමිහිරි ශබ්දය, උණ්ඩයේ අමිහිරි සුවඳ, දුක, වේදනාව අත්විඳීමට සිදු වූ ජාතියක්. ජාතිය සුවපත් කිරීමට නම් මාධ්‍යකරුවා වඩාත් විචක්ෂණශීලී, ප්‍රබුද්ධ මාධ්‍ය භාවිතාවක් කළ යුතු බව මා විශ්වාස කරනවා. ඇතැම් අවස්ථාවල ලෝකය පුරාමත් මානුෂීය මෙහෙයුමක් වෙනුවට දමිළ සංහාරයක් කළ බවට මතයක් රැගෙන යමින් ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ චෝදනා පවා එල්ල කළා.

මාධ්‍ය භාවිතය තුළ පුද්ගල ජීවිතවල ඇතිවන ඛේදවාචක සම්බන්ධයෙන් අප විසින් නිෂ්පාදනය කළ ‘ද නිවුස් පේපර්’ චිත්‍රපටය දේශීය හා විදේශීය වශයෙන් විශාල ලෙස සම්මානයට හා ඇගයීමට පාත්‍ර වුණා. මෙලෙස සිතනවාට වැඩිපුර යමක් සිතමින්, පෙනෙනවාට වඩා වැඩිපුර යමක් දකින්නට හැකිනම්, ඇසෙනවාට වඩා යමක් අසමින් නිර්මාණාත්මක අලුත් යමක් ලෝකයට දිය හැකිනම් ලෝකය දිනන්නට හැකියාව ලැබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ, පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට, පාඨමාලා සමායෝජක, සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්වරුන් ද, පුවත්පත් මණ්ඩලයේ හිටපු සභාපතිවරුන් ඇතුළු හිටපු නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ