පිලිපීනයේ පසුගියදා පැවති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළේදී මීටර් 5000 සහ මීටර් 1500 යන ඉසව්වලදී රන් පදක්කම් දෙකක්, මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමි කර ගත් මුලතිව්, මුල්ලියාවලෙයිහි පදිංචි අකිලා තිරුනායක මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී පෙරේදා (6) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූවාය.

72 වියෙහි පසුවන විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක වන ඇය පාසල් වියේ සිටම මලල ක්‍රීඩාවට දක්ෂතා දක්වා ඇති අතර, මෙරට නියෝජනය කරමින් තායිලන්තය, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව සහ ඉන්දියාව යන රටවල පැවති ප්‍රවීණයන්ගේ තරගාවලි කිහිපයකදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගෙන ඇත. අකිලා තිරුනායක මහත්මියගේ ක්‍රීඩා කටයුතු පිළිබඳ විමසමින් සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා ඇය දිරිගැන්වීමක් ලෙස තිළිණපතක් ද ප්‍රදානය කළේය. එසේම ඇගේ ධෛර්යවන්ත ක්‍රීඩා දිවිය අගය කළ ජනාධිපතිවරයා ඉදිරි කටයුතු වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය.