කවුරු ආවත් අයි.එම්.එෆ්. හැර වෙන විකල්පයක් නැති බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (17) රාත්‍රී 10ට ජාතික රූපවාහිනියේ ‘මහජන දිනය’ වැඩසටහනින් විකාශය කෙරේ. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ මහජන දිනය වැඩසටහන මෙහෙයවනු ලබන්නේ රංගන සෙනෙවිරත්න, විජය මාපා ජයසිංහ, නිලංග මල්ෂාන් මහත්වරුය.

මහ බැංකු අධිපතිවරයාගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයට අමතරව, මුදල් සම්බන්ධ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුයි සහ කවුරු ආවත් අයි.එම්.එෆ්. හැර වෙන විකල්පයක් නැද්ද යන්න සම්බන්ධයෙන් ද අද (17) රාත්‍රියේ මහජන දිනයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා අනුව වත්මන් රජය නොව කවුරු රට පාලනය කළ ද එම එකඟතා සමඟ කටයුතු කිරීමට සිදු වන බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉකුත් 10 වැනිදා ප්‍රකාශයක් කළේ මේ වසරට අදාළ මූල්‍ය ප්‍රතිපත්ති පෙරදැක්ම ඉදිරිපත් කරමිනි.

මෙලෙස ඇති කරගත් එකඟතා කෙටිකාලීන ඒවා නොව වසර දහය සහ ඊටත් එහා ගිය ඒවා විය හැකි බව මෙහිදී මහ බැංකු අධිපතිවරයා කීවේය. මහ බැංකු අධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දින තුනක විවාදයක් ලබා දෙන ලෙස ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (11) ඉල්ලා සිටියේය.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් ජාතික සංවාදයක් ගොඩනැඟීම අතිශය වැදගත් බවත් සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන් මෙම ප්‍රකාශය සම්බන්ධව දින තුනක විවාදයක් පැවැත්විය යුතු බවටත් මෙහිදී ඇමැතිවරයා ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමු කරන බව ද කථානායකවරයා ඊට පිළිතුරු දෙමින් පැවසීය