නවතම පුවත්

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රවීණ නිලධාරියකු වූ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂ ධුරයට අගෝස්තු 8 වැනිදා සිට පත් කර තිබේ. නව තනතුරට පත් වූ ඔහුට ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් සුබ පැතූ අයුරුයි මේ.

උසස් අධ්‍යාපන සහ සමෘද්ධි යන අමාත්‍යාංශයන්හි ලේකම් තනතුරු දැරූ ආචාර්ය නවරත්න ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති සහ ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වේ. කෑගල්ල ශා. මරියා සහ හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විදුහලේ අධ්‍යාපනය ලැබූ හෙතෙම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. ඔහු සිය ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි හැදෑරුවේ ජපානයේදීය.
කාගිල්ස් සහ හේලීස් ෆ්‍රැබ්රික්ස් සමාගමේ ද අධ්‍යක්ෂවරයකු ලෙස ආචාර්ය නවරත්න කලක් කටයුතු කර තිබේ

 

  • සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යනවා – ජනපති මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයේ දී කියයි.

පසුගිය සමය තුළ රටටත්, ජනතාවටත් මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කරගත් පමණින් රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් හිමි නොවන බවත්, නිවැරදි තීන්දු තීරණ සමඟ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කළයුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට නොගියහොත් තවත් වසර 10ක් යන තැන රට නැවත ආර්ථික අභියෝගයකට ලක්වීම නොවැළැක්විය හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මාතලේ ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ 150වන සංවත්සර උත්සවයට අද (13) පෙරවරුවේ එක් වෙමිනි.

සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යාම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීමට තාක්ෂණ ප්‍රවර්ධන සභාව ද, රටෙහි ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට ඩිජිටල් පරිවර්තන කොමිසම ද ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

අග්‍රාමාත්‍ය විජයානන්ද දහනායක මහතාගෙන් පසුව මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට රාජ්‍ය නායකයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් අද පෙරවරුවේ විද්‍යාලය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විද්‍යාලයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් ස්ථාපිත කර තිබූ සමරු ඵලකය නිරාවරණය කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. එසේම ජනාධිපතිවරයා සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ලබාගත් විද්‍යාලයේ සිසුන් වෙත සහතික පත්‍ර පිළිගැන්වීම ද මේ හා සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය ආරම්භ කර වසර 150ක් ගතව තිබෙනවා. මෙම පාසල ආරම්භ කරන විට මේ රටේ තිබුණේ වැවිලි ආර්ථිකයක්. කෝපි වගාව විශාල ලෙස ව්‍යාප්ත වී තිබුණා. නමුත් වසර කිහිපයක් ගත වන විට කෝපි වගාව සම්පූර්ණයෙන් විනාශ වී ගිය අතර ආර්ථිකය කඩා වැටි ආණ්ඩුවට ආදායමක් නැතිව ගියා.

අනතුරුව වසර 15-20ක පමණ කාලයකින් තේ වගාව ආරම්භ කරන තුරු රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වුණා. නව වැවිලි බෝග ලෙස තේ වගාවත්, රබර් වගාවත් ආරම්භ කිරීමෙන් පසු නැවතත් රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත් වුණා.

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය අද 150 වන සංවත්සරය සමරන අවස්ථාව වන විටත් රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. පසුගිය වසරේ පිපිරී ගිය එම ආර්ථික අර්බුදය නිසා ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් රටට විශාල බලපෑමක් එල්ල වුණා.

මෙම අර්බුදයෙන් අපට ගොඩඒමට හැකිවනු ඇතැයි එදා කිසිවෙක් විශ්වාස කළේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව එම වගකීම භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම එයට හොද උදාහරණයක්. සාමාන්‍යයෙන් වෙනත් අවස්ථාවල අගමැතිකම භාර ගන්න පෝලිමේ එනවා. නමුත් ඒ අවස්ථාවේ කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැහැ.

එවැනි පසුබිමක මම ජනාධිපති ධූරයේ වගකීම භාරගෙන, අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය කර ගනිමින් රටේ ආර්ථික අර්බුදයට කෙටිකාලීන හා දිගු කාලීන විසඳුම් සෙවීම ආරම්භ කළා.

අප ගනු ලැබූ තීන්දු තිරණ නිසා රටේ පෝලිම් යුගය අවසන් කිරීමට හැකි වුණා. එසේම පසුගිය වසරේ සැප්තැම්බර් මෙන්ම මෙම වසරේ ජනවාරි හා අප්‍රේල් යන මාසවල ආණ්ඩුවක් ලෙස ගනු ලැබූ තීන්දුවල ප්‍රතිඵල අද ජනතාව භුක්ති විඳිමින් සිටිනවා.

මෙම වසර අවසන් වන විට ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගනිමින් රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බව අප විශ්වාස කරනවා. නමුත් එය සිදු කිරීමට නම් අප රාජ්‍ය වියදම් පාලනය කළ යුතුයි. ඒ වගේම නිෂ්පාදන ආර්ථියක් බවට පරිවර්තනය වීමටද අවශ්‍යයි. ඒ සඳහා වන වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. අප ගනු ලබන පියවර නිසා “බංකොළොත්” යන ලේබලය ඉවත් කරගන්නට හැකියාව ලැබී ඇති නමුත්, කඩිනමින් ඊළග පියවර නොගතහොත් තවත් වසර 10ක් යන තැන නැවත බංකොළොත් භාවයට පත් වෙනවා. එසේ නම් නව ක්‍රමයක් ඔස්සේ ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. ව්‍යාපාරයක් පවත්වාගෙන යන අන්දමේ මූල්‍ය විනයක් එහිදී තිබිය යුතුයි.

ඒ වගේම සෑම රාජ්‍ය ආයතනයකින්ම උපරිම ප්‍රායෝජන ලබා ගත යුතුයි. මේ වන විටත් අමාත්‍යාංශවල අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම රජයට අයත් ඉඩම්, ගොඩනැඟිලි හා වාහන පිළිබඳ වාර්තාවක් සකස් කිරීම අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙනවා. මේ වසර අවසන් වන විට එම තොරතුරු ලබා ගැනීමට හැකිවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ යෝජනා මේ වන විටත් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. නමුත් අවාසනාවකට අධිකරණයට ගොස් එය නතර කිරීමට ඇතැමුන් උත්සාහ කළා. එහිදී මූලිකව මතු කළ ගැටලුවක් තමයි සේවක අර්ථ සාධක අරමුදලෙහි ප්‍රශ්නය. නමුත් මේ වන විට එහි සියලු සාමාජිකයන්ට 9% ක පොළියක් ලබා දෙන බවට නීති කෙටුම්පතක් ඉදිරිපත් කර එම කටයුතු සිදු කරගෙන යනවා. ඒ නිසා මෙම වැඩපිළිවෙළ නතර කිරීමට කිසිඳු හේතුවක් නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය අනුව මූල්‍ය බලතල පැවරී තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා මෙම කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස වෙන කිසිවෙකුට නොවෙයි. ඒ වගේම මීට අදාළව ගොනු කළ සියලු පෙත්සම් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ අවසන් කර ගැනීමෙන් පසු අප නිසි ලෙස ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළයුතුයි. අද බොහෝ දෙනෙක් මේ රට හැර ගොස් තිබෙනවා. එලෙස රටින් පිටව ගිය විශේෂඥයන්, වෘත්තීවේදින්ගේ සංඛ්‍යාව දෙස බලන විට අපට පහසුවෙන් එම හිඩැස පුරවා ගත නොහැකියි. කෙසේ හෝ සියලුදෙනාට ජීවත්විය හැකි හොඳ ආර්ථික පසුබිමක් රට තුළ ගොඩනැගීමට අප දැන් කැපවී සිටින බව කිව යුතුයි.

ආණ්ඩුවට ලැබෙන ආදායම, වියදම් පියවීමට ප්‍රමාණවත් නොවීම සහ ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩිවීම අද මේ රට මුහුණ දී සිටින ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස පෙන්වා දිය හැකියි. හැමදාම මේ සඳහා ණය ගැනීමට අපට හැකියාවක් නැහැ. ණය ප්‍රශ්ස්තකරණයෙන් පසු නැවත මෙම ප්‍රශ්නය මතු වෙනවා. අප එය වළක්වාගත යුතුයි. ඒ සඳහා අප දළ දේශීය නිෂ්පාදනය සීග්‍ර ලෙස ඉහළ නංවාගත යුතුයි. දළ දේශීය නිෂ්පාදිතය වැඩිකළ විට රටට ලැබෙන ආදායම ඉහළ යනවා. අනෙක් පසින් අප අපනයනය ද වැඩි කර ගත යුතුයි. මෙම වැඩපිළිවෙළ ඉදිරි වසර 10දී අප ක්‍රියාත්මක කළයුතුව තිබෙනවා.

අද ආණ්ඩු පක්ෂයේ වුණත්, විපක්ෂයේ වුණත් සාම්ප්‍රදායික දේශපාලන සටන් පාඨවලින් වැඩක් නැහැ. රට මුහුණදී තිබෙන අභියෝගය මනා ලෙස විග්‍රහ කරමින් ඒ සඳහා ඇති විසඳුම් සමග අප ඉදිරියට යා යුතුයි. එම විසදුම් පිළිගන්නේ නැති නම් ප්‍රශ්න විසඳිය හැකි විකල්ප ඉදිරිපත් කළ යුතුයි.

මෙරට ආර්ථිකය දියුණු කිරීමට නම් විදේශ විනිමය ලෙස වසරකට ඩොලර් බිලියනයක් අවම වශයෙන් අවශ්‍ය වෙනවා. පළමුව කළයුතුව තිබෙන්නේ දැනට තිබෙන ක්ෂේත්‍රවලින් විදේශ විනිමය ඉහළ නංවා ගැනීමයි.

අපට ප්‍රධාන වශයෙන් තිබෙන්නේ විදේශ රැකියාවලින් ලැබෙන ආදායමයි. දෙවනුව අපනයන ආදායම. ඇගළුම් කර්මාන්තය ගත් විට විශේෂයෙන් යුරෝපය, ඇමරිකාව වැනි රටවල ආර්ථිකය මේ වන විට යම් පසුබෑමක් පෙන්නුම් කරනවා. ඒ නිසා මෙම වසරේ අපට එම අංශවලින් විශාල මුදලක් බලාපොරොත්තු වෙන්න බැහැ. එසේ නම් අප සංචාරක ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කළයුතුයි. ඒ නිසා මෙම වසරේ සහ එළැඹෙන වසරේ රටේ සංචාරක ව්‍යාපාරයේ විශාල දියුණුවක් ඇති කිරීමට ‍ සැලසුම් කර තිබෙනවා.

එසේම අපට ලැබෙන අපනයන ආදායම දෙගුණයකින් ඉහළ නංවා ගත යුතුයි. අප ආයෝජකයන් ගෙන්වා ගත යුතුයි වගේම ඔවුන්ට අවශ්‍ය පහසුකම් ද සලසා දිය යුතුයි. ඒ සඳහා වරාය නගරය වැනි අලුත් වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික දැනුම සමඟ ඉදිරි වසර 10දී අප වේගයෙන් ඉදිරියට යා යුතුයි. එම වේගය අනුව තමයි අප සාර්ථක ද අසාර්ථක ද යන්න තීරණය වන්නේ.

ඒ වගේම රජයේ සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ගණනාවක් ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලවලට ඇතුලත්වන සිසුන්ට සහන ණය ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. අවම වශයෙන් ඉංජිනේරුවන් 10,000ක්, වෛද්‍යවරුන් 7500ක් වැනි පිරිසක් වසරකට මෙරට විශ්වවිද්‍යාල තුළින් බිහි විය යුතුයි. ඒ වගේම තොරතුරු තාක්ෂණ විෂයට ද විශාල ඉල්ලුමක් තිබෙනවා. මෙම අවශ්‍යතා අඛණ්ඩව සපයාගත යුතුයි.

අපට අවශ්‍ය අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනඟා දීමටයි. ඒ නිසා පසුගිය වසරේ සිදු වූ දේ නැවත කිසිදා මේ රටේ සිදු නොවන ලෙස ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට කටයුතු කිරීම අප සියලුදෙනාගේ වගකීම වෙනවා.

ඒ සඳහා රජය නව පියවර ගණනාවක් ගෙන තිබෙන බව කිවයුතුයි. ආයෝජන මණ්ඩලය සහ අපනයන මණ්ඩලය යන ආයතන වෙතින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නැහැ. ඒ වෙනුවෙන් ආර්ථික කොමිසමක් පත් කර අදාළ බලතල කේන්ද්‍රගත කිරීමට කටයුතු කරනවා. එවිට ආයෝජන සඳහා එක් එක් අමාත්‍යාංශවලට ගොස් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ආයෝජකයන් හට එක ස්ථානයකින් සියලු කටයුතු සපුරාගත හැකියි.

මීට පෙර 1978 දී ජේ.ආර්. ජයවර්ධන මහතා මහ කොළඹ ආර්ථික කොමිසම ස්ථාපිත කර මහකොළඹ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළේ ද ඒ ආකාරයටයි. ඒ වගේම ආයෝජන සදහා අවශ්‍ය යටිතල පසුකම් සපයා දීමට වෙනම මණ්ඩලයක් ඇති කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.

වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ද, ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම මාතලේ දිස්ත්‍රික්කය ද සංචාරක කර්මාන්තය වෙනුවෙන් විශාල ලෙස දායක කර ගැනීමේ හැකියාවක් තිබෙනවා.

තවද කෘෂිකර්මාන්තය නවිකරණය සඳහා කෘෂි නවීකරණ වැඩසටහනක් ඊළග මාස දෙක තුළදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. වී වගාවේ හෝ අනෙකුත් බෝග වගාවන් තුළ දැනට සිදු කෙරෙන නිෂ්පාදන ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිෂ්පාදන ඉහළ නංවාගත යුතුයි.

ඒ වගේම රටට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීම සඳහා තාක්ෂණ ප්‍රවර්ධන සභාවක් ඇති කිරීමටත්, රටට ඩිජිටල්කරණය ගෙන ඒමට ඩිජිටල් පරිවර්තන කොමිසම ඇති කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. රටේ සියලු ක්ෂේත්‍රයන්හි විශාල නවීකරණයක් එමගින් අපේක්ෂා කරන අතර, 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ඇති කිරීම අපේ අරමුණ බව කිවයුතුයි.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්. යු. ගමගේ, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු එම්.පී.බී. දෙහිදෙණිය, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න, NSBM හරිත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහත්වරුන් ද මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේවාවසම් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසුන්, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ ගමනට සහාය දුන් සැමට ස්තුතියි – ජනපති ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ වාර්ෂික හමුවේ දී පවසයි.

ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟිය යුත්තේ අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක් තුළ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ, කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පසුගියදා (09) පැවැති ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ 36 වන වාර්ෂික හමුවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

පසුගිය වසරේ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ වාර්ෂික සමුළුවට පැමිණෙද්දි රට තිබුණේ අඳුරු තැනකයි. එදා ඔබ බොහෝ දෙනෙකුට ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ප්‍රශ්නාර්ථයක් තිබුණා. නමුත් එය ආපසු හැරවීමට ඔබ සියලු දෙනාගේම සහයෝගයෙන් අපට හැකියාව ලැබුණා. ඒ පිළිබඳ මම ඔබට ස්තුතිවන්ත වෙනවා. පසුගිය වසරට සාපේක්ෂව අපට මේ වනවිට අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. අප නිවැරැදි ආර්ථික කළමනාකරණයක් සිදු කළහොත් අනාගතය සුබවාදීව සැලසුම් කිරීමට හැකියාව ලැබෙනවා.

රටේ ආර්ථිකය කිසිදා නොවූ විරු අභියෝගයකට ලක් වන තුරුම රටක් ලෙස අප ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සොයා බැලුවේ නැහැ. ඒ නිසාම ආර්ථික ප්‍රශ්නය වර්ධනය වුණා. ආර්ථිකයට අදාළ නිවැරැදි තීන්දු ගන්න දේශපලන නායකයන් පසුබට වීම නිසාම තත්ත්වය උත්සන්න වුණා. ඒ වගේම මෙම ආර්ථික අර්බුදය ජනතාවට තදින් දැනුණා.

ඔවුන් මහ පාරේ උද්ඝෝෂණ ආරම්භ කළේ ඉන්පසුවයි. ඇතැම් උද්ඝෝෂණවලට වෙනම මුහුණුවරක් තිබුණු බව අරගලය අවසානයේදී අපට පෙනෙන්නට තිබුණා. මෙම තත්ත්වය තුළ නායකත්වයේ රික්තකයක් ඇති වුණා. එදා පැවැති ආණ්ඩුව බිත්තියට හිරවෙලා තිබුණේ. ඒ නිසාම එවකට අගමැතිවරයා ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉල්ලා අස්විමට සිදු වුණා. එවකට ජනාධිපතිවරයා විපක්ෂනායකවරයා කැඳවා ආණ්ඩුව භාරදීමට උත්සාහ කළා. නමුත් විපක්ෂ නායකයා එම අභියෝගය භාර ගත්තේ නැහැ.

ආණ්ඩු බලය දෙන්න ජනාධිපතිවරයෙක් වෙනත් අයෙකුට එලෙස ආරාධනා කළේ ලෝකයේ පළමු වතාවටයි. විපක්ෂ නායකයාවරයා එය ප්‍රතික්ෂේප කිරීමත් මම හිතන ආකාරයට ගිනිස් වාර්තාවක්.

ඉන්පසුව හිටපු ජනාධිපතිවරයා රට භාරගන්නා ලෙස මට ආරාධනා කළා. මම තනතුරු ඉල්ලුවේ නැහැ. නමුත් එදා රට තිබුනේ අර්බුදයකයි. රට නැවත ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. රට තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමෙන් පසු රට පැවති තැනට නැවත ගෙන ඒමට අවශ්‍ය පියවර ගැනීමට මම කටයුතු කළා. ඒ අනුව මාසයක් ඇතුළත රටේ ආර්ථික අර්බුදයට කෙටි කාලීන විසඳුම් ලබාදීමට හැකි වුණා. පෝලිම් යුගය අවසන්කෙරුණා.

රටේ ආර්ථිකය මෙලෙස වේගයෙන් යථා තත්ත්වයට පත් කර ගැනීමට දායක වූ සහ සහාය දුන් සියලුදෙනාට ස්තූතිවන්ත විය යුතුයි. රටේ ආර්ථිකය ගොඩනැඟීමට ඔවුන් එම අවස්ථාවේ විවිධ අයුරින් උදව් උපකාර කළා. ජනාධිපතිවරයා ලෙස මට රටේ ආර්ථිකය ගොඩගැනීමට හැකිවෙයි කියන විශ්වාසය අනුව ඔවුන් කටයුතු කළා. ඒ අවස්ථාවේ දී මමත් සමඟ අභියෝග භාරගත්ත ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් ද සිටියා. වෘත්තීයවේදීන් එම වැඩපිළිවෙළට සහාය ලබා දුන්නා.

ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තවම අවසන් නැහැ. එම ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට විවිධ පිරිස් උත්සාහ දරමින් ඉන්නවා. මෙම ණය ප්‍රශස්තකරණ වැඩසටහන නතර වුවහොත් සතියක් ඇතුළත බැංකු ඇතුළු සියලුම අංශ කඩාවැටෙනවා.

ණය ප්‍රශස්තකරණය ක්‍රියාවලියෙන් පසුව ආර්ථිකයේ ඉදිරි සැලසුම් සකස් කළ හැකියි. ඒ පිළිබඳ මා දැනටමත් කරුණු අනාවරණය කර තිබෙනවා. ශ්‍රී ලකාවේ ආර්ථිකය දියුණු කිරීමට අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක් අවශ්‍යයි. ආර්ථිකය වේගයෙන් ඉදිරියට ගෙන යාමට නම් මූල්‍ය හා මානව ප්‍රාග්ධනය තිබිය යුතුයි.

ශ්‍රී ලංකාව යනු: වාණිජ යුගයට සම්බන්ධ වූ පළමු රටවලින් එකක්. 1940 සිට වාණිජ යුගයට ඇතුළත්වීමෙන් අපේ රට ප්‍රාග්ධනය ගොඩනගා ගැනීමට කටයුතු කළා. වාණිජ යුගයේදී ආරම්භ කරන ලද ව්‍යාපාර 1970දී රජයට පවරාගත් නිසා ඒ සියල්ල විනාශ වුණා. 1977 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත්වන විට නැවත ගොඩනැඟීමට බැරි තරම් එම ව්‍යාපාර බිඳ වැටී තිබුණා.

උදහාරණයක් ලෙස පෙන්වා දුන්නොත් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආර්ථිකය පිබිදීමට හේතු වුණේ එහි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දියුණුවයි. එම කාලයේදී ලංකාවේ ආර්ථිකය විවෘත කර තිබුණා නම් එවැනි ආයෝජන අපේ රටට පැමිණීමට තිබුණා. වසර 30කින් ප්‍රාග්ධනය ඉපයීම සඳහා ගෙනගිය වැඩපිළිවෙළ වසර 10කින් සාර්ථකව නිම කිරීමට හැකිවීම නිසා මහා භාරතයට විශාල ප්‍රාග්ධනක් උපයා ගැනීමට හැකි වුණා. එම නිසා නව අගනුවර ආරම්භ කර, සංචාරක ව්‍යාපාරය සඳහා විශාල ආයෝජනයක් සිදු කිරීමට මහාභාරතය කටයුතු කළා.

ශ්‍රී ලංකාව 1977 දී ආර්ථිකය විවෘත කර ප්‍රාග්ධනය රැස් කර ගැනීමට කටයුතු කළා. විදේශ ආයෝජන රැසක් එහිදි ලංකාවට ලැබුණා. අවාසනාවකට අපේ රටේ යුද්ධයක් ඇති වුණා. නමුත් 2009 වසරේ යුද්ධය අවසන් වූ පසුව ආර්ථිකය නැවතත් සෙමෙන් ඉදිරියට පැමිණීමට පටන් ගත්තා.

ඉන් අනතුරුව 2021 හා 2022 වසරවල ඇති වූ කොරෝනා වසංගතය හමුවේ ඒ සියල්ල නැවත බිඳ වැටුණා. රටේ ආර්ථිකය බංකොලොත් වුණා. 2019 වසරේදී රටේ ආර්ථිකය තිබූ තැන හා අද තිබෙන තැන අතර විශාල පරතරයක් තිබෙනවා. නමුත් අපේ රට 2019 වසරේ සිටි තැනට නැවත පැමිණෙමින් තිබෙන බව කිව යුතුයි.

තියුණු තරගකාරීත්වයක් සහිත ආර්ථිකයක් අප ගොඩනඟා ගත යුතුයි. ඒ වගේම පෞද්ගලික අංශය පෙරමුණ ගත් ආර්ථිකයක් පැවතියහොත් ආර්ථික කඩා වැටීම් සිදු වන්නේ නැහැ.අපට විදේශ ප්‍රාග්ධනය අවශ්‍යයි. අප විදේශ ප්‍රාග්ධනය උපයා ගන්නා තරමටම අපට දියුණුව කරා ළගා විය හැකියි. ආයෝජනය කරන සෑම ඩොලරයකින්ම, තවත් ඩොලරයක් උපයා ගැනීම අප තහවුරු කරගත යුතුයි.

ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව නව ආර්ථික කොමිසමක් නිර්මාණය කිරීමට පියවර ගෙන තිබෙන්නේ ඒ සඳහායි. අප අනිත් රටවල් හා සංසන්දනය කිරීමේදී ආයෝජනයට ආකර්ශනීය රටක් විය යුතුයි. බංග්ලාදේශය සහ ඉන්දියාව සමඟ තරග කරමින් ඉදිරියට යා යුතුයි. දකුණු ආසියාවේ සියලුම රටවල් සමඟ අපට විශාල තරගකාරීත්වයක් තිබෙනවා. අප ඒ සඳහා සූදානම් නැත්නම් කඩිනම් ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකියි. වේගයකින් දියුණු වන තියුණු තරගකාරීත්වයක් සහිත ආර්ථිකයක් අපට අවශ්‍යයි.

මේ දිනවල විශාල පිරිසක් රට හැර යනවා. ඔවුන් විදේශගත වන්නේ වඩා හොඳ අනාගතයක් ගොඩනඟ ගැනීමේ අරමුණ ඇතිවයි. කෙටි කාලීනව එය හොඳ දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන්. එලෙස රට හැර යන පිරිසෙන් ඇතැම් කොටසක් යමක් උපයාගෙන නැවත රටට පැමිණෙනවා. නමුත් එය එසේ වූ පමණින් ඔබේ ප්‍රශ්න විසඳෙයි කියා නොසිතිය යුතුයි.

අපට තිබෙන තවත් විශාල ප්‍රශ්නයක් වන්නේ මානව ප්‍රාග්ධනය ප්‍රමාණවත් පරිදි නොමැතිවීමයි. අප ඒ වෙනුවෙන් තරුණ තරුණියන් පුහුණු කළ යුතුයි. අපට ඒ වෙනුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙළක් තිබිය යුතුයි.

විශ්වවිද්‍යාලවලත් අද විශාල ප්‍රශ්න රැසක් තිබෙනවා. ඉංජිනේරු, විද්‍යා ඇතුළු අංශවල වැඩි පිරිසක් සීඝ්‍රයෙන් රට හැර යනවා. එම නිසා විශ්වවිද්‍යාලවලට ආචාර්යවරුන්ගේ හිඟයක් ඇතිව තිබෙනවා. ඒ වගේම රෝහල්වලට ප්‍රමාණවත් වෛද්‍යවරුන් නැතිවී තිබෙනවා. ඊට විසඳුමක් ලෙස අප පෞද්ගලික අංශය හෝ වෙනත් නියෝජිත ආයතන සමඟ හෝ ඒකාබද්ධව අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුයි.

රට තුළ නව විශ්වවිද්‍යාල කිහිපයක් ඇති කිරීම පිළිබඳව අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. කුරුණෑගල තිබෙන “යුනිවර්සිටි කොලේජ්“ එක, විද්‍යා සහ තාක්ෂණ විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කිරීමට සැලසුම් කර තිබෙනවා. පොළොන්නරුවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපට මේ වන විට අයදුම්පත් ලැබී තිබෙනවා. අඩුම තරමින් අප විශ්වවිද්‍යාල 04ක් හෝ 05ක් අදාළ ආයතන සමඟ සම්බන්ධ වී අලුතින් ආරම්භ කළ යුතුයි. ඒ තුළින් මෙම ක්ෂේත්‍රයේ සිදුව තිබෙන හිඟය පියවා ගැනීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා.

ඒ සඳහා නව ආයෝජන අවස්ථා විවර කරදීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබේ සංගමයටද දායකවිය හැකියි. මේ තුළ ලාභ ලබන ව්‍යාපාර ඇති කළ යුතුයි. රටක ආර්ථිකය ගොඩනගන්න තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයේ ආර්ථිකයක්ද තිබිය යුතුයි. මහනුවර ප්‍රදේශයේ නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන ලෙස පසුගිය ඉන්දීය සංචාරයේදී මම චෙන්නායිවල තිබෙන තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයට (IIT) ආරාධනා කළා.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) විශ්වවිද්‍යාල ප්‍රමාණය වැඩි කරමින් තිබෙනවා. හරිත විශ්වවිද්‍යාලයත් එහෙමයි. නමුත් එය ප්‍රමාණවත් නැහැ. නව විශ්වවිද්‍යාල සඳහා අයඳුම්පත් ලැබී තිබෙනවා. වෛද්‍ය විද්‍යාල සඳහා ද ඉල්ලුම් පත්‍ර ලැබී තිබෙනවා. ලොස් ඇන්ජලීස්වල තිබෙන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාල හා ක්වාලාලාම්පූර්වල තිබෙන විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. අවම වශයෙන් විශ්වවිද්‍යාල හතරක් හෝ පහක් ආරම්භ කිරීමට රජයක් ලෙස අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා.

ඒකාබද්ධ සහයෝගීතාවක් තුළ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කළ හැකියි. අපට මානව ප්‍රාග්ධනය ද අවශ්‍ය වෙනවා. මෙහිදී ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධානයට (OPASL) විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා.

පළාත් සභාවලට බලය බෙදීම පිළිබඳව මම පාර්ලිමේන්තුවේ දී කතා කළා. ඒ වගේම පළාත් සභා මට්ටමින් පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට ද නීතියක් ගෙන ආ හැකියි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතට අනුකූල වන තාක් කල් ආණ්ඩුකාරවරයාට අදාළ විශ්වවිද්‍යාල පිළිගෙන ස්ථාපිත කිරීමට හැකි නීතියක් අප ගෙන එනවා.

මූල්‍ය ප්‍රාග්ධනය හා මානව ප්‍රාග්ධනය නොමැතිව රටක සීග්‍ර ආර්ථික වර්ධනයක් ඇති කළ නොහැකියි. එසේම ඉහළ තරගකාරී ආර්ථිකයක් පිළිබඳ අපට සිහින දැකිය නොහැකයි. එබැවින් අපට ඉදිරියට යාමට අවශ්‍ය මානව සම්පතක් ඇති බව සහතික කිරීමට ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධානය (OPASL) මහඟු කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධානයේ (OPASL) නිලධාරීන් කිහිපදෙනකුට සමරු තිළිණ පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධානයේ (OPASL) සභාපති නීතීඥ රුචිරා ගුණසේකර, ලේකම් නීතීඥ සුජීව ලාල් දහනායක, ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධානය (OPASL) සදහා ඉදිරියේදී පත්වීමට නියමිත සභාපති නීතීඥ සරත් ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජාතික රූපවාහිනියේ සම්භාව්‍ය සිනමා කෘති ජනගත කිරීමේ ‘සිනෙ ඡායා’ වැඩසටහන යටතේ අද (11) රාත්‍රි 10ට වම් ඉවුරේ ප්‍රමුඛතම සිනමාකරු වන, ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටය විකාශය කෙරේ. ඊට පෙරාතුව සොල්දාදු උන්නැහේ චිත්‍රපටය පිළිබඳ රාත්‍රි 9.30ට පැවැත්වෙන චිචාරයට ප්‍රවීණ සිනමා විචාරකයන් වන ගාමිණී වේරගම සහ චතුර ජයතිලක එක්වෙති.

මෙරට දේශපාලන සිනමාවේ වැදගත් සන්ධිස්ථානයක් වන මේ චිත්‍රපටය විචාරක දර්ශකයේ එකොළොස් වන තැන දිනා ගන්නා ලදි.

එච්. ඒ සෙනෙවිරත්නගේ ‘සොල්දාදුවා’ නමැති කෙටිකතාව කියවීමෙන් ලද පන්නරයෙන් මේ චිත්‍රපටයට පෙලඹීමක් ඇති වූ බවත් නිදහස් දිනය තුළ වන සිදුවීම් පෙළක් වටා ගෙතෙන මෙහි කතාව පිළිබඳ ආචාර්ය ධර්මසේන පතිරාජයන් අදහස් දක්වා ඇත.

ජෝ අබේවික්‍රම, මාලනී ෆොන්සේකා, හෙන්රි ජයසේන, නීල් අලස්, සිරිල් වික්‍රමගේ, දයා තෙන්නකෝන්, ක්‍රිෂ් ග්‍රීට්, රත්මලී ගුණසේකර ආදීහු රඟති.

සහාය අධ්‍යක්ෂණයෙන් ඩබ්ලිව් ජයසිරි, ගාමිණී දෑළ බණ්ඩාර ද කැමරාවෙන් ජයනාත් ගුණවර්ධන ද සහාය කැමරාකරණයෙන් එම්. ඩී. සුමතිපාල ද අංග රචනයෙන් ඊබට් විජේසිංහ ද සහාය අංග රචනයෙන් රංජිත් මතඟවීර ද සංස්කරණයෙන් සෙක්ස්ටස් අපොන්සු ද සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය, ප්‍රේමසිරි කේමදාස ද නිෂ්පාදන කළමනාකරණයෙන් දයා තෙන්නකෝන් ආදිහු ඊට දායක වූහ. වර්ෂ 1981 අප්‍රේල් 10 දින සොල්දාදු උන්නැහේ තිරගත විය.

දෙස් විදෙස් සම්මාන රැසකින් ඇගයුම් ලැබීමට සමත් වූ ආචාර්ය ධර්මසේන පතිරාජයන් ලාංකේය සිනමාවේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් සිදු කළ සිනමාකරුවෙකි. එමෙන්ම සිනමා අධ්‍යක්‍ෂවරයෙකු පමණක් නොව තිර රචකයෙකු, නාට්‍යකරුවෙකු, සිනමාව පිළිබඳ ආචාර්යවරයෙකු මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ ප්‍රථම අංශාධිපතිවරයා ලෙසද අපිරිමිත සේවයක් කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් ඉටු කළේය. සොල්දාදු උන්නැහේ චිත‍්‍රපටය ගැන ධර්මසේන පතිරාජයන්ම වරක් පැවසුවේ,

” එච්. ඒ. සෙනෙවිරත්නගේ ‘සොල්දාදුවා’ නමැති කෙටිකතාව කියැවීමෙන් ලැබූ උත්තේජනය තමයි සොල්දාදු උන්නැහේ චිත‍්‍රපටය කරන්න මට පෙළඹවීමක් වුණේ. ඒ කෙටිකතාව මා තුළ ඇති කළ කම්පනය විසින් එහි එන චරිත සහ කතා පුවත යම් ආකාරයකට සිනමා නිර්මාණයකට උචිත බව මම හිතුවා. පස්සෙ එච්. ඒ. එක්කත් කතා කරලා වෙනම තිර පිටපතක් අපි සකස් කළා.’කෙටිකතාවේ චරිත සියල්ලම චිත‍්‍රපටයට ගත්තා. නමුත් කෙටිකතාවෙ ඉන්න සොල්දාදුවා වැඩවර්ජනයකදී ඒක මැඩපවත්වන්න එන සෙබළෙක්. ඒ විදියටම චිත‍්‍රපටය නිර්මාණය කළා නම් චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කරන්න වෙන්නෙ නෑ. ඒ කාලෙ තිබුණෙ වැඩවර්ජනවලට ලොකු ප‍්‍රතිරෝධයක් තිබුණා. ඉතින් අපි හිතුවා දෙවන ලෝක යුද්ධෙට ගිය සෙබළෙක් හැටියට මේ සොල්දාදු චරිතය ප‍්‍රතිනිර්මාණය කරන්න. මොකද දෙවන ලෝක යුද්ධෙට ගිය සොල්දාදුවෝ ලංකාවෙ හිටියා. ඒ චරිතය තුළින් සොල්දාදුවා විසින් ධනපතියන් කරන යුද්ධ පිළිබඳ කරන විවේචනයක් ඉදිරිපත් කරන්න හැකි වෙනවා. මර්දනය වෙනත් ආකාරයකින් සංකේත කරන්න ඒකෙන් හැකි වෙනවා. චිත‍්‍රපටියේ වැඩවර්ජනයත් තියෙනවා. නමුත්, සොල්දාදුවාගේ භූමිකාව එන්නෙ මර්දනකාරී හමුදා සෙබළෙක් හැටියට නෙවෙයි. ඒක තමයි අපි කරපු එකම වෙනස. ඒ වෙනස්කම කළෙත් වාරණයෙන් රිංගලා යන්න.”

එමෙන්ම, දොළොස්වැනි සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනිමින් මෙරටට අතිශය කීර්තියක් ගෙන දුන් ප්‍රවීණ රංගධර ජෝ අබේවික්‍රමයන් වර්ෂ 2001 ජනවාරි 11 වැනිදා සරසවිය පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සොල්දාදු උන්නැහේ චිත්‍රපටයේ වියපත් සෙබළාගේ චරිතය ගැන කතා කළේ මෙසේය.

‘ඇත්තටම යුද්දෙට යන කොයි සෙබළාගේත් මානසික තත්ත්වය එහෙම තමයි. මේ සොල්දාදුවාගේ මිතුරා සටන් බිමේදී ඔහු ඉදිරියේම මිය යනවා. ඒ හේතුව නිසා ඔහුගේ මනස ව්‍යාකූල වෙලා පිස්සකුගේ තත්ත්වයට පත් වෙනවා. මේ චරිතය තුළ ඊට යටින් විශාල සමාජ යථාර්ථයක් පෙන්නුම් කරනවා…’

  • ආසියාන් සාමාජිකත්වය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා – ජනපති.

ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමටත් “ආසියාන්” සංවිධානයේ අනෙකුත් රටවල් සමග ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ‘ආසියාන්’ සංවිධානයේ ඉදිරි දැක්ම සමඟ එකඟ වන අතර එම දැක්ම ඉදිරියට ගෙන යාමට පූර්ණ සහාය දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගිය 08වනදා කොළඹ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ පැවති 56 වන “ආසියාන්” දින සැමරුම් උත්සවයේදීය.

1967 අගෝස්තු 08 වන දින, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවල විදේශ අමාත්‍යවරු පස් දෙනෙක්ගේ අත්සනින් යුතුව තායිලන්තයේ බැංකොක්හි විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැඟිල්ලේ දී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) පිහිටුවා ගත්හ. අද වන විට එය බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕ‍සය, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් 10ක් සාමාජිකත්වය දරණ අන්තර් රාජ්‍ය සංවිධානයක් ලෙස පුළුල් වී තිබේ.

ආසියාන් සංවිධානයේ සාමාජික රටවල් විසින් සෑම වසරකම අගෝස්තු 08 වන දින ආසියාන් “ASEAN දිනය” සමරනු ලබයි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ආසියාන් (ASEAN) සංවිධානයේ 56 වන සංවත්සරය වෙනුවෙන් මගේ සුබ පැතුම් පිරිනමනවා. මෙම සංවිධානය සෙමින් නමුත් ක්‍රමික සහ පුළුල් අනාගතයක් සමඟ ලෝකයේ විශාලතම ආර්ථික හවුල්කාරිත්වවලින් එකක් ලෙස වර්ධනය වී ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. ආසියාව තුළ ඔබේ ක්‍රියාවලිය පහසු කටයුත්තක් නොවූවත් ඔබේ සාර්ථකත්වයේ කතාව නම් එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි වීමයි.

මෙය සුබ පැතීමට මෙන්ම පසුතැවීමටද අවස්ථාව බව මම කියන්න කැමතියි. ඒ ඇයිද කිව්වොත් ආරම්භයේදීම ආසියාන් සංවිධානයට සම්බන්ධ වන ලෙස ශ්‍රී ලංකාවට ආරාධනා කෙරුණා. අප එය පිළිගත්තේ නැහැ. එම සිදුවීම පිළිබඳ මම සාක්ෂිකරුවෙක් වෙනවා මෙන්ම මගේ පියා ඊට සම්බන්ධ වූ එක් අයෙක් බව කියන්න කැමතියි.

1965 වසරේදී එක්සත් ජාතික පක්‍ෂය බලයට පත්වීමෙන් පසු රටේ ආර්ථිකය විවෘත කළ යුතු බවට යෝජනාවක් වගේම ඉල්ලීමකුත් පැවතුණා. පළමුවෙන්ම එවකට අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමා විසින් හරිත විප්ලවය නමින් ව්‍යාපාරයක් එළිදක්වනු ලැබුවා. එය සාර්ථක වුණා. එමඟින් එළිදැක්වුණු ෂෙනෝයි වාර්තාව, එවකට යුනිවර්සිටි කොලිජියේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ මහාචාර්ය ෂෙනෝයි විසින් ශ්‍රී ලංකාවට පැමිණ සකස් කරන ලද වාර්තාවක්.

මගේ පියා යුනිවර්සිටි කොලීජියේ අධ්‍යාපනය ලබන අවධියේ දී මහාචාර්ය ෂෙනෝයි එහි ආචාර්වරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. එවකට අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව තමයි මහාචාර්ය ෂෙනෝයි ශ්‍රී ලංකාවට පැමිණියේ. මහාචාර්ය ෂෙනෝයි විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලිබරල්කරණය සහ සමාජ සුභසාධනය පිළිබඳ රජයේ වගකීම සහතික කිරීමට හැකි වුණා.

දෙවනුව තමයි ශ්‍රී ලංකාවට ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ආරාධනාව ලැබෙන්නේ. දෙවන ලෝක යුද්ධ සමයේදී අප සියලු දෙනා එක්ව අග්නිදිග ආසියානු විධානය පිහිටුවා ගෙන තිබුණු නිසා එලෙස ආරාධනාවක් ලැබීම සාමාන්‍ය තත්ත්වයක්.

ඒ වන විට අග්නිදිග ආසියාවක් සැබවින්ම පැවතුණේ නැහැ. කෙසේ නමුත්, මෙම විවාදය ඉදිරියට ගියා. ඒ නිසා අපට අමතර කාලයක් ලැබුණා. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා, ආමාත්‍ය මණ්ඩලයේ ඇතැම් ඇමතිවරුන්, ආමාත්‍ය මණ්ඩලයෙන් පිටස්තරව පාර්ලිමේන්තුවේ සිටි මගේ පියා වැනි පුද්ගලයන් සියලුදෙනාම ෂෙනෝයි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසත් ආසියාන් සංවිධානය සමඟ එක්වන ලෙසත් රජයට බල කරනු ලැබූවා.

නමුත් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ ඩඩ්ලි සේනානායක මහතාට අවාසනාවන්ත ලෙස මහා භාණ්ඩාගාර නිලධාරීන් උපදෙස් දී තිබුණේ ආර්ථිකය විවෘත කිරීමේ අවදානම නොගන්නා ලෙසයි. නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය හිමි නොවන නිසා ආසියාන් සංවිධානය සමඟ එකතු නොවන ලෙසටත් විදේශ කටයුතු නිලධාරීන් එතුමාට පවසා තිබුණා.

අපි දැන් වසර 56කට පසුව ආසියාන් සංවිධානයේ සිටිනවා. ආසියාන් සංවිධානයේ සාමාජිකත්වය දරන බොහෝමයක් රටවල් මේ වන විට සමෘද්ධිමත් රටවල් බවට පත්ව තිබෙනවා. අප මොකක්ද කළේ? වසර 3කට පසු එනම් 1970දී ශ්‍රී ලංකාව සමාජවාදී ආර්ථික ක්‍රමයකට පරිවර්තනය වූණා. අපි අපේ ප්‍රාග්ධන ව්‍යුහයන් බිඳ දමා ඉදිරියට ගියා. ඒ ආර්ථිකයේ විලංගුවලින් අප සම්පූර්ණයෙන්ම නිදහස් වී නැහැ.

මේ වන විට ඔබ සංවිධානය ලෝකයේ 5 හෝ 4 වන විශාලතම ව්‍යාප්ත වීමේ හැකියාව ඇති ආර්ථිකයන්ගෙන් එකක් බවට පත්ව තිබෙනවා. අපි වසර 55ක් අවසානයේ බංකොලොත් වී සිටිනවා. ඉතින් මෙය තමයි අපගේ පසුතැවීමට හේතුව.

නමුත් අපි මේ වන විට ඒ බංකොලොත්භාවයට මුහුණ දී එය පූර්ණ වශයෙන් පාලනයකට නතු කරගෙන තිබෙනවා. දැන් අපි වේගයෙන් ඉදිරියට යාමට අපේක්ෂා කරනවා. එහිදී අප ආසියාන් සංවිධානය පැමිණි ගමන් මඟ ආදර්ශයට ගෙන, ආසියාන් සංවිධානය සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

එය තමයි මගේ රජයේ ප්‍රතිපත්තිය. අනෙක් රජයන්ගේ ප්‍රතිපත්තිය ද එයම වෙයි කියා මම විශ්වාස කරනවා. අග්නිදිග ආසියාව සමඟ අපට ඇති සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් එකක් බව කිවයුතුයි. ඉන්දියාව සහ මාලදිවයින හැරුණුකොට අග්නිදිග ආසියාව සමඟ වඩාත්ම සමීප රට ශ්‍රී ලංකාවයි.
මහාවිහාර බුදුදහමේ ඉගැන්වීම් සමග ලාඕසය, කාම්බෝජය සහ වියට්නාමයේ කොටස් සමඟ පවතින ඉතාමත්ම සමීප සම්බන්ධතාවය සහ රටවල් අතර දීර්ඝ කාලීනව

සිදුව ඇති අන්තර්ක්‍රියා දෙස බලන්න. සියලුම වර්ගවල මැලේ ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. අනුරාධපුර රාජධානියේ ශ්‍රී විජය රජුගේ රාජ්‍ය සමයේ පැවත ඇති සම්බන්ධතා ඉතා වැදගත් සන්ධිස්ථානයක්.

අප රටවල් අතර අතීතයේ සිට පවතින සම්බන්ධතාවන් මේ හරහා මැනවින් පිළිබිඹු කරනවා. අපට අපගේ සංස්කෘතික, ආර්ථික සහ දේශපාලන සම්බන්ධතා තවදුරටත් ගොඩනැඟිය යුතුව තිබෙනවා. එනිසා තමයි මම අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේදී අත්‍යවශ්‍ය කරුණක් වන සිංගප්පූරුව සමඟ පළමුවෙන්ම නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට කටයුතු සම්පාදනය කළේ. අපට එය නැවත අලුත් කිරීමට හැකි වී තිබෙනවා.

ඒවගේම තායිලන්තය සහ අනෙකුත් ආසියාන් සංවිධානයේ රටවල් සමඟ ද මෙය ව්‍යාප්ත කිරීමට අප සාකච්ඡා සිදුකරමින් සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකාව කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වනවා. එහි චීනය, ජපානය, දකුණු කොරියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් සමාජිකතවය දරනවා. එය ලෝකයේ බලවත්ම රටවල් වලින් කොටසක් නියෝජනය කරනවා. කලාපයේ වෙනත් රටවල් කිසිවක් තවමත් මෙයට අයදුම් කර නැහැ. නමුත් ශ්‍රී ලංකාව එම සංවිධානය සමඟ එක් වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමටත්, ආසියාන් සංවිධානයේ අනෙකුත් රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහාත් සාකච්ඡා ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වනවා.

මෙය තමයි අපට සම්පූර්ණයෙන්ම ආසියාන් සංවිධානය වෙත ප්‍රවේශ වීම සඳහා ගත හැකි වඩාත් ඵලදායී ක්‍රියාමාර්ගය වන්නේ. අපි ආසියාන් සංවිධානයේ ආරාධනය ප්‍රතික්ෂේප කළ නිසා අපට එයට ඇතුළු වීමට නොහැකි වුණා. දැන් අප කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) සමඟ සම්බන්ධ වී ඉදිරියට යා යුතුයි. එය ප්‍රතික්ෂේප කිරීමට අපට හේතුවක් නැහැ.

අප නැගෙනහිරත් සමඟ ආර්ථිකය දෙස බැලිය යුතුයි. සංවර්ධනය වන්නේ නැගෙනහිරයි. කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) සමඟ ගිවිසුම්ගතවීමට සාකච්ඡා කරන අතරතුරම ඉන්දියාව, බංගලාදේශය සමඟ ද ගිවිසුම්ගතවීම සඳහා සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වනවා. එමගින් බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ සිට නැගෙනහිර දෙසින් ජපානය දක්වා පවතින සියලුම රටවල් සමඟ තවදුරටත් සමීප සම්බන්ධතා ගොඩනඟා ගැනීමට අපට හැකියාව ලැබෙනවා.

අප විසින් අනුගමනය කරනු ලබන ආර්ථික හා දේශපාලනික උපායමාර්ගය මෙයයි. ඒ වගේම දේශපාලනික වශයෙන් ඉතාම සමීප සම්බන්ධතා පැවැත්වීම ඉතාම වැදගත්. අමාත්‍යාංශ මට්ටමින් මේ සන්නිවේදන සම්බන්ධතා පවත්වාගැනීම තහවුරු කරන ලෙස මම මගේ විදේශ කටයුතු අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන්නා.

ඒ වගේම මේ තත්ත්වයන් පිළිබඳව නිතරම විමසා බලා, නිතරම හමුවී සාකච්ඡා පවත්වා ගැටඵ පවතින්නේ නම් ඒවා විසඳා ගනිමින් ඉදිරියට යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මම උපදෙස් ලබාදුන්නා. අපට ආපසු හැරී යා නොහැකියි. අප යා යුත්තේ ඉදිරියටයි. අප දැනට ජාත්‍යන්තරය තුළ පවතින තත්ත්වය පිළිබඳව ද අවධානයෙන් පසුවෙනවා. ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් සංවිධානයේ ඉදිරි දැක්ම සමඟ අපි එකඟ වනවා. එම දැක්ම ඉදිරියට ගෙන යාමට සහ ඒ හා අනුගත වෙමින් ඉදිරියට යාමට අපගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා.

සමුද්‍ර මර්මස්ථානයක් ලෙස ඉන්දුනීසියාවට අපේ සහයෝගය ලබා දෙනවා. අපි එයින් ඉවත්ව ගොස් නැහැ. අපි මේ අර්බුද ජයගැනීම සඳහා එක්ව ඉදිරියට යමු. ආසියාන් සංවිධානයේ දැක්ම විසින් එහි එක් අන්තයක් ලෙස ඉන්දියානු සාගර කලාපයත් අනෙක් අන්තය ලෙස පැසිෆික් සාගර කලාපයත් හඳුනාගෙන තිබෙනවා.

අපි ඉන්දීය සාගරයේ සිටින රාජ්‍යයක් වශයෙන් එය හමුදා මැදිහත්වීම්වලින් තොර කලාපයක් ලෙස ඉදිරියට ගෙනයාමට හැකි බව සහතික කිරීමට අපට පුළුවන්. එනිසා සාමාජිකයන් ලෙස අපගේත් ආසියාන් සංවිධානයේත් දැක්ම සහ ඉලක්ක එක ලෙස පවතිනවා. මෙම යෝජනාවට සහාය දැක්වීම සඳහා සෑම ක්ෂේත්‍රයකම අපි එකට වැඩ කළයුතුව තිබෙනවා.

මෙම මහා සාගරයේ අප සහ ආසියාන් රටවල් කුඩා මාළුන් බව මතක තබා ගන්න. පොඩි මාලුන් ලෙස වෙන වෙනම ඉන්න විට අපව ඩැහැගන්නට ඉතාම පහසුයි. එනිසා සෑම දෙනා සමඟම ගනුදෙනු කිරීම, සෑම දෙනා සමගම මිත්‍රතාවයන් පැවැත්වීම ඉතාමත්ම වැදගත්.ඒවගේම ඔබට ඉදිරියෙන් යාමට හෝ ඔබ අපගේ පසුපසින් තැබීමට අපට කිසිඳු තරගයක් නොමැති බව ද පැවසිය යුතුයි.

දේශගුණික විපර්යාස පිළිබඳව ද අප ඉතා සහයෝගයෙන් කටයුතු කළ යුතු වෙනවා. දේශගුණික න්‍යාය පත්‍රය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් සිදු කර ඇති කැඳවීම අනුව දේශගුණික විපර්යාසයන්හි අර්බුදයේ බරපතළකම ඔබට අවබෝධකරගත හැකියි.

දේශගුණික න්‍යායපත්‍රය පිළිබඳව අප එක්ව වැඩ කිරීම ඉතා අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම නීල ආර්ථිකයේ විභවය අවබෝධ කර ගනිමින් ආසියාන් සංවිධානයේ අනෙකුත් රටවල් සහ ශ්‍රී ලංකාවට දේශගුණික න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් එක්ව කටයුතු කළ හැකි වෙනවා. එනිසා අපට එකට එක්ව සිදු කිරීමට බොහෝ වැඩකටයුතු පවතිනවා. මම එයින් කොටසක් මෙහි දක්වා තිබෙනවා. එනිසා අපට අත්වැල් බැඳගෙන ආසියාන් සංවිධනය සමඟ එකට වැඩ කිරීමට තිබෙනවා.

මෙහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ඩිවි ගුස්ටිනා ටෝබිං මහත්මිය,

මිලියන 670කට අධික ජනගහනයක් සහිත, ලෝක ජනගහනයෙන් ආසන්න වශයෙන් 8.8%ක් වන ආසියාන් සංවිධානය යනු ගෝලීය වශයෙන් තුන්වන විශාලතම වෙළඳපොළ යි. ආසියාන් සංවිධානය ශ්‍රී ලංකාව දෙස බලන්නේ වැදගත් කලාපීය හවුල්කරුවෙකු ලෙසයි.

ශ්‍රී ලංකාවේ ආසියාන් දූත මණ්ඩල විවිධ පාර්ශ්වකරුවන් ද සම්බන්ධ කරගනිමින් සාමූහිකව ක්‍රියාකාරකම් කිහිපයක් සිදු කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතාවක් ඇති කර ගැනීමට සහ ජනතාව අතර සබඳතා වැඩිදියුණු කිරීමටත් ආසියාන් සංවිධානය කැමැත්තෙන් සිටිනවා.ආසියාන් සංවිධානයේ අපේක්ෂාව වන්නේ සාමකාමී, ස්ථාවර සහ සමෘද්ධිමත් ඉන්දු – පැසිෆික් කලාපයක් ඇති කිරීමයි.

ඉන්දු- පැසිෆික් කලාපයේ අන්තර්ක්‍රියා ශක්තිමත් කිරීමට කැමති රටවල් සඳහා ආසියාන් සෑම විටම විවෘත බව කිව යුතුයි. ආසියාන් සංවිධානයේ සංවර්ධනයේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා අප ශ්‍රී ලංකාව සමඟ ද අඛණ්ඩව කටයුතු කරන බවත් ගතික සහ බහුවිධ හවුල්කාරිත්වයන් අත්‍යවශ්‍ය බව හඳුනා ගෙන ඇති බව මෙහිදී සඳහන් කිරීමට කැමතියි.

ආර්ථිකය, ආරක්‍ෂාව, සෞඛ්‍යය, පාරිසරික සහ සමාජ සංස්කෘතික සහ දේශගුණික විපර්යාස ඇතුළු පොදු අභියෝගවලට මුහුණ දීම සඳහා රීති මත පදනම් වූ ජාත්‍යන්තර ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ඇතුළු හවුල් වටිනාකම්, මූලධර්ම සහ අවශ්‍යතා, ලොව පුරා රටවල් සමඟ සබඳතා කළමනාකරණය කිරීමේ පදනම සකස් කරනු ලබනවා.

ඒ පදනම මත ශ්‍රී ලංකාව සමඟ ගොඩනැඟී ඇති හවුල්කාරිත්වය වසර ගණනාවක් සහ දශක ගණනාවක් පුරා අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි අප සැවොම දැඩිව බලාපොරොත්තු වෙනවා. ආසියාන්හි වසර 57 තුළ, පොදු අභියෝග එකට එක්ව ආමන්ත්‍රණය කිරීමට සහ සැමට වැඩි අවස්ථා ගෙන ඒම සඳහා එකිනෙකා අතර සහයෝගීතා‍වයේ ප්‍රතිඥාව අලුත් කරමු.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, විදුර වික්‍රමනායක, නසීර් අහමඩ්, ජීවන් තොණ්ඩමන්, නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය යන මහත්වරුන් ඇතුළු ඇමතිවරුන් ද, මැලේසියානු මහ කොමසාරිස් බඩ්ලි හිෂාම් ඇඩම්, තායිලන්ත තානාපති පොජ් හාර්න්පොල්, වියට්නාම තානාපති හෝ ති තන් ට්‍රක්, මියන්මාර තානාපති යූ හන් තු යන මහත්ම මහත්මීන් ඇතුළු තානාපතිවරුන් ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ‍ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

"වෘත්තීය ප්‍රමිතියකට අත්වැලක් " යන තේමාව ඔස්සේ අනාගත රැකියා ඉල්ලුමට ගැලපෙන තොරතුරු තාක්ෂණ, නිදහස් තොරතුරු තාක්ෂණික, සහ කාර්මික ක්ෂේත්‍රයේ නිරත වන පිරිස් සඳහා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විධිමත් මගපෙන්වීමක් සහ වෘත්තිය තත්ත්වයක් ලබා දීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මොරටුව විශ්ව විද්‍යාල සහ අනෙකුත් විශ්වවිද්‍යාල, ICTA ආයතනය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ පුද්ගලික අංශයේ ආයතන රැසකද දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පාසැල් හැරගිය තරුණ තරුණියන්, විශ්වවිද්‍යාල සිසු සිසුවියන්, මේ වන විටත් නිදහස් තොරතුරු තාක්ෂණිකයින් ලෙස කටයුතු කරන පිරිස්, විදුලි කාර්මික ඇතුලු වෘත්තීය ක්ෂේත්‍ර වල නිරත වන පිරිස් වලට අදාල විධිමත් මගපෙන්වීම් සහ වෘත්තීය පිළිගැනීම ලබාදීම තුළින් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමට නව මාවතක් හඳුන්වාදීම මෙම වැඩ සටහනේ අරමුණයි.

වැඩසටහන අමතමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"ශ්‍රී ලංකාව තුළ විධිමත් ලෙස පුහුණු ශ්‍රම බලකායක් බිහි කිරීම සඳහා ඒ වෙනුවෙන් වෙහෙසෙන ආයතන දරණ උත්සාහයට උත්තේජකයක් සැපයීම කාලීන අවශ්‍යතාවයක්‌. රටක් ලෙස වසර 75 ක ඉතිහාසයේ වැඩිම වේගයකින් ආර්ථිකය ආපස්සට ගමන් කළ කාලයක් පසු කරමින් මේ වන විට යළිත් ආර්ථිකයට හුස්ම ගැනීමට හැකි අවස්ථාවක් උදා වී තිබෙනවා. නමුත් රට මුහුණ දී ඇති අභියෝගයේ,අර්බුදයේ ප්‍රමාණය අති විශාලයි. දැනට රටක් ලෙස අප ගෙවිය යුතු ණය ප්‍රමාණය අනුව නිදහස ලබා වසර සියයක් සපිරෙන 2048 වසර දක්වාත් අනිවාර්යෙන් ගෙවිය යුතු ණය ප්‍රමාණයක් තිබෙනවා. එය කිසිසේත්ම රුපියල් වලින් කිරීමට හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා අනිවාර්යෙන්ම විදෙස් ආයෝජන මගින් විදේශ විනිමය රට තුළට ගෙන ආ යුතුයි.

වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට හැකි වන්නේ රට තුළ තිබෙන සම්පත් වඩාත් ප්‍රශස්ත ආකාරයට, කාර්යක්ෂම ලෙසත් ඵලදායි ලෙසත් කළමනාකරණය කිරීම තුළින් පමණයි. පවතින සම්පත් අතරින් විශ්වවිද්‍යාල පද්ධතිය සහ අධ්‍යාපන ක්‍රමය තුළින් බොහෝවිට බිහිවන්නේ විභාග සමත් ජීවිතය අසමත් ශ්‍රම සම්පතක්.

විභාග සහතික විශාල ප්‍රමාණයක් සහිත බොහෝ දෙනාට ජීවනෝපාය සලසා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික දැනුම නැහැ. බොහෝවිට ප්‍රචණ්ඩත්වය ඇති වන්නේත් රට ඉදිරියට නොයෑමේ අර්බුදය ඇතිවන්නේත් පවතින මානව සම්පත ඵලදායි ලෙස පුහුණු දැනුමක් සහිත නවෝත්පාදන බිහි කරන පිරිසක් බවට පත් නොවීම හේතුවෙන්.

නමුත් අසල්වැසි ඉන්දියාව ක්‍රමවත් ලෙස මේ අභියෝගය ජයගෙන තිබෙනවා. ඉන්දියාව තොරතුරු තාක්ෂණ අපනයනය තුලින් වර්ෂයකට ඇමරිකානු ඩොලර් බිලියන 200කට වඩා වැඩි ප්‍රමාණයක් උපයනවා. නමුත් අපේ රටේ තොරතුරු තාක්ෂණ අපනයන තුළින් උපයනු ලබන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.7ක පමණ ප්‍රමාණයක්.

අපේ රටේ මානව සම්පත මේ ආකාරයට පුහුණු කිරීමේ අවශ්‍යතාවය මා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස එවකට හඳුනා ගත්තා. ඒ අනුව උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දුන්නා. ඒ වෙනුවෙන් ලංකාව පුරා මහින්දෝදය තාක්ෂණ පීඨ 251ක්‌ පිහිටවූවා.එය අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ හැරවුම් ලක්ෂයක් බවට පත් වුවත් බොහෝ දෙනෙක් ආරම්භයේ දී ඊට විරුද්ධ වුණා.

නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට දිවයින පුරා විශ්වවිද්‍යාලවල 13ක තාක්ෂණ පීඨ බිහිවී තිබෙනවා. බොහෝ දෙනෙක් පුහුණු ශ්‍රමිකයන්, වෘත්තිකයන් බවට පත්ව තිබෙනවා. ඌව වෙල්ලස්ස ඇතුළු බොහෝ ඈත ප්‍රදේශවල පවා අති විශාල සිසු සිසුවියන් පිරිසක් තාක්ෂණික විෂයන් හදාරා, විශ්ව විද්‍යාල වරම් දිනාගෙන, බොහෝ දෙනෙක් සාර්ථක ව්‍යවසායකයින් පත්ව තිබෙනවා.

මෙම වගකීම ඉටු කිරීම උදෙසා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කිරීමේ හැකියාවක් පවතිනවා. ලෝකයේ බොහෝ රටවල් රූපවාහිනි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් යොදා ගන්නවා.

ඉදිරියේදී මේ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශවයන් එක් කරගනිමින්, පවතින සම්පත් උපයෝගී කරගනිමින් රාජ්‍ය සහ පෞද්ගලික විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන ඒකාබද්ධව මේ වෑයම වෙනුවෙන් දායක විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය අනුග්‍රහය පුද්ගලික අංශයෙන් ලබාගත හැකි බව මා විශ්වාස කරනවා.

මේ වන විටත් රට තුළ නවෝත්පාදන කරමින් ක්ෂේත්‍රය තුල රැඳී සිටින ආයතන රැසක් පවතිනවා. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මරදාන ප්‍රදේශයේ පවතින විශාල භූමි ප්‍රදේශයක් වෙන්කර දී තිබෙනවා. විශාල තරුණ තරුණියන් ප්‍රමාණයක් එම ආයතනවල නව තාක්ෂණික ඉසව් සොයා යමින් නව නිපැයුම් සිදු කරනවා.

පවතින මහින්දෝදය විද්‍යාගාරවල පහසුකම් ද අධ්‍යාපන අමාත්‍යාංශය දායකත්වයෙන් ඒ සඳහා භාවිතා කළ හැකි වනු ඇති බව මා විශ්වාස කරනවා. අධ්‍යාපන අමාත්‍යවරයා ද ඒ වෙනුවෙන් දායකත්වය ලබාදීමට සූදානම් බව දන්වා තිබෙනවා.

විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් ඔබ්බට යමින් තාක්ෂණය පිළිබඳ දැනුම මාධ්‍ය ඔස්සේ දරුවන්ට ලබා දිය හැකි නම් අපගේ වගකීම වන්නේ එයයි. ඒ වෙනුවෙන් දායකත්වය සපයන සියලුම ආයතන වලට මා ස්තුතිවන්ත වෙනවා. සියලුම ආයතන අතර අන්තර් සහයෝගීතාවයෙන් යුක්තව මෙම නව සංකල්පය තුළින් රටට ආඩම්බරයක් විය හැකි මානව සම්පතක් නිර්මාණය කිරීමට හැකිවනු ඇති බව මා විශ්වාස කරනවා."

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතා, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම වැඩසටහන සඳහා එක්ව සිටියහ.

  • ආර්ථිකය ගොඩනැඟීමේ ක්‍රියාවලියේ දී ඩිජිටල්කරණය උපරිමයෙන් දායක කරගත යුතුයි – ජනපති.


යල්පැන ගිය ආර්ථික ක්‍රමවේද භාවිතා කිරීම තුළින් මෙරට ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ‍‍ගොඩනැගීමට නම් 21 වන සියවස‍ට ආදාළ ආර්ථික ක්‍රමවේදයන් භාවිතා කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම තුළින් සීඝ්‍ර සංවර්ධනයක් ළඟා කර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා නව නීති සම්පාදනය කළ යුතු බව ද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (08) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ පහසුකම් සැලසීම සඳහා මුලපිරීමේ (Launch of Key Trade Facilitation Initiatives in Sri Lanka) උත්සවයට එක්වෙමිනි.

Trade Facilitation Initiatives in Sri Lanka වෙබ් අඩවිය ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

රට බංකොළොත් භාවයෙන් මුදවා ගැනීම සඳහා තරගකාරී ආර්ථිකයකට අප යොමු විය යුතුයි. එසේම අපනයන මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමට ද කටයුතු කළ යුතුයි.

ආර්ථිකය ප්‍රතිව්‍යුගත කිරීම හරහා පෞද්ගලික අංශයටත් ආර්ථිකයේ වැඩි අවස්ථාවක් ලබා දිය යුතු බව අප විශ්වාස කරනවා. මෙහිදී පෞද්ගලික අංශයට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය සැම විටම සූදානමින් සිටිනවා.

මෙම වෙළඳ පහසුකරණ වැඩසටහන දියත් කිරීම තුළින් ලෝක වෙළඳාමට ශ්‍රි ලංකාවේ දායකත්වය ඍජු ලෙස සැපයීමට අවස්ථාව හිමි වනවා.

ඒ වගේම ආර්ථිකය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරිම තුළින් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළඟා කර ගත හැකියි. අද ශ්‍රී ලංකාවට අවශ්‍ය 21 වන සියවසට ඔබින ආර්ථික ක්‍රමවේදයක්. 20 වන සියවසේ ආර්ථික ක්‍රමවේද තවදුරටත් මෙරට ආර්ථිකය ගොඩනැඟීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිසා 20 වන සියවසේ ක්‍රමවේද වෙනස් කරමින් සියලු ක්‍රියා පටිපාටි සඳහා ගතවන කාලය අවම කරන, ව්‍යාපාරික ප්‍රජාවට උපකාරී වන නව ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ සඳහා ඩිජිටල්කරණය ඉතාම වැදගත් වෙනවා.

ආයෝජන, වෙළෙඳ මේ සියලු ක්ෂේත්‍ර තුළ නව ආර්ථික කොමිෂන් සභා නීතිය අනුව නිශ්චිත කාල සීමාවක් තුළ එම කටයුතු කඩිනමින් අවසන් කිරීමට සැලසුම් සකස් කළ යුතුයි. ඊට අනුරූපීව අප ද වෙනස් විය යුතුයි. එසේ නොමැති වුව‍හොත් රටක් හෝ ආර්ථිකයක් ඉදිරියට යන්නේ නැහැ. ආර්ථිකය ඩිජිටල්කරණයට යොමුවන විට සියලු ක්ෂේත්‍ර ඊට අනුගත විය යුතුයි.

රටක් ලෙස අප නව වෙළෙඳපොළ අවස්ථා සොයා බලා තිබෙනවා. නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් තබා තිබෙනවා. එසේම කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වය (RCEP) සමඟ සම්බන්ධවීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන තිබෙනවා. එය විශාල වෙළෙඳපළ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. නමුත් වෙළඳ පහසුකම් සහ ඩිජිටල් පරිවර්තනයකින් තොරව එම වෙළඳපොළට පිවිසීමට අවස්ථාවක් නැහැ.

ඒ වගේම අප ඉන්දියාව සමඟ වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට ද මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. ‍

අප යුරෝපීය සංගමය සමඟ හෝ ඇමරිකානු වෙළෙපොළ සමඟ ගනුදෙනු කරන විට වෙළඳ පහසුකම් සහ ඩිජිටල්කරණය මහත් ලෙස උපකාරී වනවා. එබැවින් මෙය අත්‍යාවශ්‍ය අනුගතවීමක් බව කිවයුතුයි.

ශ්‍රී ලංකාව රටක් ලෙස වෙළෙඳ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කරන අතර, වෙළඳ පහසුකම් ලබාදීම සහ ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා.

මෙම සියලු කටයුතු සඳහා ගෝලීය වෙළෙඳ පද්ධතියක් අවශ්‍ය වනවා. ලෝකයේ රටවල ආර්ථිකය ගොඩනැඟීමට ස්ථාපිත කළ ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) නීති රෙගුලාසි පිළිපැදීම ආර්ථිකය ගොඩනැඟිම සඳහා ඉතා වැදගත්. දකුණු ආසියාවේ රටවල් මෙම ආර්ථික නීති රෙගුලාසි පිළිපදිමින් කටයුතු කරනවා. මෙහිදී වෙළෙඳ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීමේදී අපට උපකාර කරන ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) වෙතද විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතුයි.

ගෝලීය ආර්ථික නීති වෙනස් කිරීමට අවශ්‍ය නම්, සියලු දෙනාගෙන් විමසා ඒ පිළිබඳ සියලු දෙනාගේ කැමැත්ත ලබා ගත යුතුයි. මන්ද, එම නීති ශ්‍රී ලංකාව ලෙස අපට ද බලපාන එක් ප්‍රශ්නයක් වන නිසයි. අලි රණ්ඩු වෙනකොට තණකොළ තමයි පෑගෙන්නේ. ඒ නිසා ලෝක වෙළෙඳ සංවිධානය නීති සම්පාදනය කළ යුත්තේ සියලුදෙනාට භාවිතා කළ හැකි ආකාරයටයි. දකුණු ආසියාව මෙන්ම ශ්‍රී ලංකාවද ලෝක වෙළෙඳ සංවිධානයේ නීති රීතිවලට අනුගතවිමට කැමැත්තෙන් පසු වෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජර්මනියේ නියෝජ්‍ය තානාපති ඕලාෆ් මල්ෂෝ (Olaf Malchow) යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථවට එක්ව සිටියහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව වර්ෂ 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ මෙරට පොදු මඟී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවත්, ඊට අදාළ මූලික පියවර ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ දීර්ඝකාලීනව පවතින ගැටලුවලට විසඳුම් දෙමින් ජාතික ගමනාගමන ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සහ පොදු ප්‍රවාහන සේවාව තුළ ඒකාබද්ධ කාලසටහන් හා විද්යුත් ටිකට් පත් හඳුන්වා දීමේ වැඩපිළිවෙළක්ද සැලසුම් කර ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ඇමැතිවරයා මේ බව අනාවරණය කළේ ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ යන මහත්වරුන් සහ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (7) පැවැත්වුණු සාකච්ඡාවකදීය.

මේ වන විට මඟී ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින කළමනාකාරිත්ව ගැටලු හා අකාර්යක්ෂමතා හේතුවෙන් මඟී ජනතාව සහ බස් රථ හිමියන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, නවීන තාක්ෂණය භාවිත කරමින් මඟී ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය ඇති කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි. මඟී ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීම සම්බන්ධව සියලු පාර්ශ්වයන්ට ඇති වන ගැටලු මඟහරවාගැනීම සඳහා ඊ-ටිකටින් ක්‍රමය යෝජනා වී ඇති බවත්, මේ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බවත් ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය. ජාතික බස් සංගම් 7ක්ද මේ වන විට ඒ සඳහා එකඟතාව පළ කර ඇති බවත්, පළාත් මට්ටමින්ද ඒ පිළිබඳ අදහස් රැස් කිරීම කඩිනමින් සිදු කරන බවත් රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා මෙහිදී ප්‍රකාශ කළේය. එසේම මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් 9ට අදාළව නියෝජිතයන් 9 දෙනකු පත් කර, ජාතික ගමනාගමන කොමිෂන් සභාවට දැනුම් දෙන ලෙසද රාජ්‍ය ඇමැතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.

ඉදිරියේදී බස් රථ සඳහා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේදී ජීපීඑස් තාක්ෂණය සහ ඊ-ටිකටින් සේවාව ක්‍රියාත්මක වීම ප්‍රධාන නිර්ණායකයක් ලෙස සලකා බලන බවද මෙහිදී සඳහන් කෙරුණු අතර, කොට්ටාව බස් නැවතුම්පොළ, මාකුඹුර බහුවිධ මඟී ප්‍රවාහන මධ්‍යස්ථානය හා ඒකාබද්ධ කිරීම සඳහා කටයුතු කිරීමටද යෝජනා විය. ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා සහ පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන ආධිකාරිවල නිලධාරීහුද මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

රුවන්මැලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි මෙරට විශිෂ්ට නිර්මාණ මඟින් අතීතයේ ගෘහ නිර්මාණ ශිල්පය අත් කරගෙන සිටි විශිෂ්ටත්වය හා ප්‍රමිතිය යළි ඇති කරලීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම අනාගත දේශගුණික විපර්යාසවලට ගැළපෙන ගෘහ නිර්මාණකරණයක අවශ්‍යතාව ශ්‍රී ලංකාව තුළ පවතින බවද ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කරළේ පෙරේදා (5) කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමිනි.

‘ගෘහ නිර්මාණ ශිල්පය: කල් පවත්නා බලපෑමක්‘ තේමාව යටතේ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය (RIBA) ශ්‍රී ලංකාවේ අමෙරිකානු වාස්තු විද්‍යා ආයතනය (AIA) ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය සමඟ එක්ව මේ සම්මන්ත්‍රණය සංවිධානය කර තිබූ අතර, ශ්‍රී ලංකාවේ සහ දකුණු හා අග්නිදිග ආසියා කලාපයේ ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු 350කට ආසන්න පිරිසක් මීට එක්ව සිටියහ.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:

“ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස බැලූ විට ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයේ සාඩම්බර සිහිවටන අපට තිබෙනවා. රුවන්මැලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි නිර්මාණ ශ්‍රී ලංකාව ලෝකයට ගෙන ගිය ඉදිකිරීම් බව කිව හැකියි. මෙරට විස්මිත නිර්මාණයන් පිළිබඳ හොඳම වාස්තු විද්‍යාත්මක උදාහරණය සීගිරියයි. පොලොන්නරුවේ දකින්න තිබෙන විස්මිත ඉදි කිරීම්වලට වසර 2000කට වඩා පැරණි ඉතිහාසයක් තිබෙනවා. දහනව වැනි සියවසේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ චැපල් ශාලාව, කැලණි විහාරය, ලේක්හවුස් ගොඩනැඟිල්ල, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නිදහස් චතුරස්‍රය, ජෙෆ්රි බාවා නිර්මාණය කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෑත ඉතිහාසයේ සිදු කළ විස්මිත නිර්මාණ අතරට ගැනෙනවා.

“පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යම් කඩාවැටීමක් සිදු වුණා; ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දහස් ගණනකට රැකියා අහිමි වුණා. මේ ආර්ථික කඩාවැටීමට පෙර අපේ රටේ විශාල ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වුණා. කොන්ක්‍රීට් මාර්ග ඉදිකිරීම් ඇතුළු දැවැන්ත ව්‍යාපෘති රැසක් ඊට ඇතුළත්. ඒත් පසුගිය කාලයේ ගෙන ගිය අවිධිමත් ක්‍රියාවලිය නිසා රටට ණය අර්බුදයකට මුහුණ දීමට සිදු වුණා. කෙසේ වෙතත් ඉදිකිරීම් ක්ෂේත්‍රය ප්‍රතිව්‍යූහගත කිරීමකට ලක් විය යුතු බව මා විශ්වාස කරනවා. රජය ගෙන යන ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ අවසන් වීමෙන් පසු ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නැවත අවස්ථා රැසක් නිර්මාණය වනු ඇති. මීට පෙර ඉදිකිරීම් ක්ෂේත්‍රය ලබා තිබූ ප්‍රගතිය අපට වේගයෙන් අත් කරගත නොහැකි වුවත් යම් යහපත් මට්ටමකට ළඟා වීමේ හැකියාව තිබෙනවා. එසේම විදේශ ආයෝජන මෙරටට ගලා ඒමට පටන් ගැනීමත් සමඟ මේ කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව පවතිනවා.

“කොළඹ නගරයේ තිබෙන වටිනා ඉඩම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් වන ව්‍යාපෘති සඳහා දිය යුතුයි. අඩු හා මධ්‍ය ආදායම්ලාභි නිවාස ව්‍යාපෘති නගරයෙන් පිටත ඉදි කර, නගරයේ වටිනා ඉඩම් ආයෝජන සඳහා දෙනවා නම්, එමඟින් මෙරට ආර්ථිකයට ඉහළ ප්‍රතිලාභ අත් කරගත හැකියි. ඒ වගේම කොළඹ නගරයේ ඇති වැලිකඩ බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන ගොස් එම ස්ථානය වාණිජ අවස්ථාවක් සඳහා දුන හොත් මෙරට ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභය පිළිබඳ ඔබ සිතා බලන්න. එතැන් සිට දුම්රිය මාර්ගය දක්වා තිබෙන ඉඩම විශාල ආයෝජනයක් සඳහා යෙදවිය හැකියි. එය ශ්‍රී ලංකා ආර්ථිකයට ඍජුව බලපාන ව්‍යාපෘතියක් වනු ඇති බව අපේ විශ්වාසයයි.

“සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් අප මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරයකයන්ගේ ප්‍රමාණය මිලියන 2.5 සිට මිලියන 5 දක්වා වැඩි වනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ නිසා මෙරට හෝටල් ගොඩනැඟිලි නවීකරණය අවශ්‍ය වෙනවා. එහිදී මෙරට ගෘහ නිර්මාණ ශිල්පය ඉතා වැදගත්. වරාය නගරයේ රජයට අයත් කොටසේ ඉදිකිරීම් සඳහා අපේ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ උපදෙස් ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා රට තුළ මෙන්ම රටින් පිටත හොඳ අවස්ථා නිර්මාණය වී තිබෙනවා. ඉන්දියාවේ ඒ සඳහා පුළුල් අවස්ථාවන් පවතින අතර, දැනටමත් ඒ වෙනුවෙන් ආරාධනා ලැබී තිබෙනවා. ඒ නිසා ගෘහ නිර්මාණ ශිල්පීන් සහ වාස්තු විද්‍යඥයන් තම දියුණුව වෙනුවෙන් මේ අවස්ථා භාවිත කළ යුතු අතර, හොඳ නාමයක්ද ගොඩනඟාගත යුතුයි.

“කොළඹ ඉතා සුන්දර නගරයක් බවට පත් කිරීමට ඔබට හැකියාව තිබෙනවා. ත්‍රිකුණාමලය නගර සංවර්ධන සැලැස්ම මේ වන විටත් අප ඉදිරිපත් කර තිබෙනවා. ත්‍රිකුණාමලය, මඩකලපුව, වේරුගල්ආරු දක්වා සංචාරක පුරයක් ඇති කිරීමට එමඟින් බලාපොරොත්තු වනවා. එහි නිර්මාණ සැලසුම් සඳහා ඔබටත් දායක විය හැකියි. එසේම රාජ්‍ය නොවන විශ්විද්‍යාල නිර්මාණය කිරීමටද ඉදිරියේදී සැලසුම් කර තිබෙනවා.

“විධිමත් නගර සැලසුම් ව්‍යාපෘති ඔස්සේ සෑම නගරයක්ම අලංකාර නගර බවට පත් කිරීම සඳහා නව පනතක් ගෙන ඒමටද ඉදිරියේ දී කටයුතු කරනවා. ඒ නගර සංවර්ධන කටයුතු සඳහා අවම වශයෙන් ඉංජිනේරුවන් 10,000ක ප්‍රමාණයක් අපට අවශ්‍යයි. එසේම ගෘහ නිර්මාණ ශිල්පීන් වගේම තොරතුරු තාක්ෂණ විශේෂඥයන් අවශ්‍යයි.

මහනුවර නගරය තුළ විධිමත් නගර සංවර්ධන සැලැස්මක් නැවත ක්‍රියාත්මක කිරීමට අප ජපාන රජය සමඟ සාකච්ඡා කරනවා. ඒ නව නගර සැලැස්ම සහ පාලම පේරාදෙණිය දක්වා දීර්ඝ කළ යුතුයි. ඒ වගේම නැවත විධිමත් සංවර්ධනයකට ලක් කළ යුතු තවත් නගර තිබෙනවා. මේ සියලු කටයුතු අප සිදු කළ යුතුයි. එම අභියෝගය භාර ගැනීමට ඔබ සූදානම් වන්න.

“දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැප වී සිටිනවා. මා 2016 වසරේ එම වගකීම භාර ගෙන ඒ වෙනුවෙන් කැප වී කටයුතු කළා. දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ න්‍යාය පත්‍රය වේගවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සැසියේදී මහලේකම්වරයා සියලු සාමාජික රටවල් වෙත දැනුම් දුන්නා. අද යුරෝපයේ විශාල ළැව් ගිනි ඇතිව තිබෙනවා. ඒ නිසා 2050ට පෙර මේ අරමුණු ජය ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව සොයා බලමින් සිටිනවා. ඒ වගේම අපේ ගෘහ නිර්මාණ ශිල්පීන් දේශගුණික විපර්යාස පිළිබඳ නිර්ණායකවලටද අනුකූල විය යුතුයි. අනාගත දේශගුණ විපර්යාසවලට ගැළපෙන නිර්මාණ කිරීමට මෙරට ගෘහ නිර්මාණ ශිල්පීන් හැඩගැස්විය යුතුයි. ඒ සඳහා නිසි ප්‍රමිතියක් ඇති කිරීමේ වගකීම ඔබට පැවරෙනවා. මෙරට ඉදිකිරීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයට ඇතුළත් කළ යුතු අංශ කිහිපයක්ද අප මේ වන විට හඳුනාගෙන සිටිනවා.

“මෑත යුගයේ මෙරට ඉදි කර තිබෙන ඇතැම් ගොඩනැඟිලි වසර 1000ක් 2000ක් පවත්වා ගෙන යන්න බැහැ. එබැවින් අතීතයේ මෙරට ගෘහ නිර්මාණ ශිල්පය අත් කරගෙන සිටි ප්‍රමිතිය සහ විශිෂ්ටත්වය යළි ගෘහ නිර්මාණ ශිල්පයට එක් කරගත යුතුව තිබෙනවා. එම වගකීම ඔබ භාර ගත යුතුයි.“

අමෙරිකානු ‍නියෝජ්‍ය තානාපති ඩග්ලස් ‍‍ සොනෙක්, බ්‍රිතාන්‍ය වැඩබලන මහ කොමසාරිස් ලීසා වොන්ස්ටොල් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ගල්කිස්ස සිට යාපනය හා කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන යාල් නිලා දුම්රියේ මංගල ගමන පසුගියදා (04) රාත්‍රීයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරිණි. එම අවස්ථාවට එක් වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය, බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය ගමනට එක්ව සිටි මඟින් සමඟ සුහද කතාබහක නිරත වූ අයුරු.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මත මිණුම් සලකුණු 4 වන මට්ටමේ රසායනාගාර පහසුකම් ස්ථාපිත කිරීම සඳහා යෝජනා කෙටුම්පත් කිරීමට උපදෙස්.

වෛද්‍ය සැපයුම් සඳහා රුපියල් බිලියන 30ක අතිරේක ප්‍රතිපාදන....

ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව පවතින වෛද්‍ය අඥා පනතේ සිදු කළ යුතු කාලීන වෙනස්කම් අධ්‍යයනය කරමින් යෝජිත නව වෛද්‍ය පනත සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, නීති කෙටුම්පත් සම්පාදක සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිගෙන් සමන්විත ඉහළ මට්ටමේ කමිටුවක් මගින් සිදුකිරීමට නියමිත ය.

යෝජිත වෛද්‍ය පනත මඟින් දැනට පවතින වෛද්‍ය ආඥාපනතේ අඩුපාඩු මග හැර ගනිමින් මහජන හිතකාමී සෞඛ්‍ය සේවාවක් තහවුරු කල හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, (02) ජනාධිපති කාර්‍යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සහ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවර පසු විපරම් කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව කැඳවා තිබිණ.

ඉදිරි මාස තුන සඳහා ප්‍රමාණවත් වන පරිදි කඩිනම් වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් බිලියන 30 ක අතිරේක ප්‍රතිපාදන ලබා දීමට ද මෙහිදී තීරණය කෙරිණ.

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) අනුමත වෙනත් රටවල ඖෂධ සහ නිර්දේශිත ඖෂධ මෙරටදී අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබා දුන්නේය.

ඒ වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ අවශ්‍ය සංශෝධන සිදු කොට අත්‍යාවශය ඖෂධ ක්‍රමවත්ව සහ කඩිනමින් ලබා ගැනීම නිශ්චය කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

වෛද්‍ය නිෂ්පාදන නියාමනය කිරීම සහ මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) කාර්යභාරය ශක්තිමත් කිරීම වෙනුවෙන් සවිස්තර වාර්තාවක් සපයන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.

ඖෂධ බෙදාහැරීම සහ ලේඛනගත කිරීම කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා වන ප්‍රයත්නයන් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු අතර, සති දෙකකට පෙර පැවති සාකච්ඡාවේදී තීන්දු කළ පරිදි පවතින ඖෂධ සහ ඒවා රෝහල් අතර බෙදා හැරීම පිළිබඳ එසැණ තොරතුරු ලබා දීමට වෙබ් පාදක ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගුණාත්මක ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා සරල සහ විනිවිද භාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ද මෙහිදී පත් කරනු ලැබීය.

මීට අමතරව හෙද සේවය සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් වත්මන් සෞඛ්‍ය සේවා අවශ්‍යතා සමඟ සමපාත වන පරිදි සේවා ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබිණ.

ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කලා විෂය ධාරාවේ සුදුසුකම් ඇති පුද්ගලයින් හෙද සේවයට බඳවා ගැනීම සහ පුහුණු කිරීම පිළිබඳව සලකා බලන ලෙස සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කළේය.

මීට අමතරව, වෛද්‍ය නිෂ්පාදනවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තක්සේරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මත 4 මිණුම් දණ්ඩ සහිත රසායනාගාර පහසුකම් ස්ථාපිත කිරීමේ යෝජනා ඉදිරිපත් ක‍රන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත උපදෙස් දුන්නේය.

මෙහිදී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සඳහන් කර සිටියේ , භාවිතයට ගත නොහැකි රෝහල් උපකරණ සහ වසර දෙකක් ඇතුළත කල් ඉකුත් වන හෝ , ඉවත් කරන උපකරණ හෝ, ඒ ආශ්‍රිත ද්‍රව්‍ය – භාණ්ඩ, ලැයිස්තුවක් වහාම ඉදිරිපත් කරන ලෙස ය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පැවති සේවක හිඟය මේ වන විටත් විසඳා ඇති බව මෙහිදී අනාවරණය විය.

එසේම සියලුම පුරවැසියන් වෙනුවෙන් ශක්තිමත්, කාර්‍යක්ෂම සහ ගුණාත්මක සෞඛ්‍ය සේවා පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින් යෝජිත ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණ .

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා , ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී ඒකනායක මහතා, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට සහභාගි වූහ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ජනමාධ්‍ය අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරන ‘වාර්තාකරණයේ මුල මැද සහ අග’ (Unlocking the Power of Media) වැඩමුළුව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන
මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා එම අවස්ථාවට එක්ව සිටි අයුරු.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter