මෙරට මාධ්‍ය සමාජයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඉහළ නැංවීමට නිපුණතාවෙන් යුත් පිරිපුන් විද්වත් මාධ්‍ය වෘත්තිකයන් පිරිසක් බිහිකිරීමේ අරමුණින් පිහිටුවීමට යෝජිත ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයේ මධ්‍යස්ථාන කොළඹ, කොත්මලේ සහ සීගිරිය ප්‍රදේශවල පිහිටුවීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
ඊට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අභ්‍යාස ආයතනය සහ කොත්මලේ මාධ්‍ය ඇකඩමිය ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආයතනවල පවත්වාගෙන යන පුහුණු ආයතන නවීනත්වයට අදාළ වන අයුරින් මානව සහ භෞතික සම්පත්වලින් සමන්විතව වැඩිදියුණු කරන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයට අනුබද්ධ කොත්මලේ මාධ්‍ය ඇකඩමියේ පනහ සහ පනස් එක්වැනි පාඨමාලා කණ්ඩායම්වල පුහුණුව ලැබූ සිසු,සිසුවියන්ට සහතිකපත් පිරිනැමීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. සහතික පිරිනැමීමේ උත්සවය පසුගියදා (18) ගම්පොළ, මාවතුර, රිවසයිඩ්හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයට අනුබද්ධ කොත්මලේ මාධ්‍ය ඇකඩමියේදී පැවැත්විණි.
මාධ්‍ය ආයතනයේ නිරීක්ෂණ චාරිකාවට ද එක් වූ නියෝජ්‍ය ඇමැතිවරයා, එම ඇකඩමිය කේන්ද්‍ර කර මාධ්‍ය ගම්මානයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, මාධ්‍ය පුහුණු ආයතනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට ජාතික මට්ටමින් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් අවධාරණය කළේය.මාධ්‍ය ක්ෂේත්‍රයේ, නියැළෙන ඇතැම් අයගේ වෘත්තිමයභාවය සඳහා පාදක වන අධ්‍යාපන සුදුසුකම්, පළපුරුද්ද සහ ආචාර ධර්ම වැනි අංග සපුරා නැතිකමින් තොරතුරු වාර්තා කිරීමේ සාක්ෂරතාව පිළිබඳ ගැටලු මතු වී ඇති බවත් කියා සිටියේය.
ජනමාධ්‍යයේ වගකීම ප්‍රජාව හා බැඳී පවතින බැවින්, එම කාර්යය නිසි ලෙස ඉටු කළයුතු බවත් සමාජයට නියම තොරතුරු සැපයීම ස්වයං ශික්ෂණයකින් කළයුතු බවත්, ජනමාධ්‍යවේදියාගේ වගකීම සහ වගවීම නිසි ලෙස ඉටු කිරීමට මනා පුහුණුවක් අවශ්‍ය බවත් පිහිටුවීමට යෝජිත ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තීකයන්ගේ ආයතනය එයට මනා පිටිවහලක් වනු ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.ජනමාධ්‍යවේදියා රටක සිවුවැනි බලකණුව විය යුත්තේ ගෞරවනීය පැවැත්මක් සකසා ගැනීමෙන් පසුව බව ද පැවසීය. පාඨමාලාවල පුහුණුව ලැබූ සිසු දරුවෝ ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ සහකාර අධ්‍යක්ෂ මංජුල වීරසිංහ, හිටපු සහකාර අධ්‍යක්ෂ සමන් ජයරත්න, පාඨමාලා සම්බන්ධීකාරක කපිල කුමාර අරත්තන සහ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදක එම්. ඉස්වාන් මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ.


