මෙරට මන්ද පෝෂණය, දුප්පත්කම සහ විරැකියාව යනාදී ගැටලුවලට උරුමය වැඩපිළිවෙළ යටතේ පිළිතුරු ලැබී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී  (02) පැවැසීය.

මන්ද පෝෂණය, දුප්පත්කම සුබද අසුබද, පිටරට සංචාර ගණනාවක නිරත වූ ජනාධිපතිවරයාට ආයෝජකයන් සමඟ ගිවිසුම් ලබා ගැනීමට අවස්ථාව පැවැතියේ යැයි ද ජනාධිපතිවරයා වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එල්ල කළ චෝදනාවන්ට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරයා මෙසේ ද පැවැසුවේය.

මන්දපෝෂණය, දුප්පත්කම, විරැකියාව යනාදී කාරණා අසුබ නිසා රට සංවර්ධනය කරා ගෙන යෑමේ වැඩපිළිවෙළ සැලසුම් කර තිබෙනවා. මෙරට ආර්ථිකය සුනුවිසුනුව ජනතාව හාමතේ සිටින විට අගමැතිකම ගන්නේ නැතිව බයේ දුවන එක සුබද අසුබද යැයි විපක්ෂ නායකවරයාගෙන් අසනවා.

මන්දපෝෂණය සුබද අසුබද කියලා විපක්ෂ නායකවරයා ඇහුවා. එය අසුබයි. ඒ නිසා තමයි අස්වැසුම ගෙනාවේ. ඒ නිසා තමයි හාල් කිලෝ දහය බැගින් මාස දෙකක් දුන්නේ. ඒ නිසා තමයි ඇමැතිතුමා ආහාර දෙන්න පටන් ගත්තේ. දුප්පත්කම සුබද අසුබද කියලත් ඇහුවා. දුප්පත්කම අසුබයි. ඒකයි ලක්ෂ 20ක ජනතාවට උරුමය අයිතිය දෙන්නේ. ඒකයි ලක්ෂ දෙකහමාරකට අපි ගෙයක් දෙන්නේ. තව මොනවාද ඕනෑ. මේක සුබද අසුබද. විරැකියාව සුබද අසුබද. විරැකියාව අසුබ නිසා තමයි කර්මාන්ත ශාලා ආරම්භ කළේ. දැන් ආයෝජන ගේන්නේත් ඒ නිසයි. මම තව එකක් අහනවා. මේ රටේ ආර්ථිකය කැඩිලා මිනිස්සු හාමතේ සිටින විට අගමැතිකම ගන්නේ නැතිව බයේ දුවන එක සුබද අසුබද කියලා මම අහනවා.

ඉදිකිරීමේ කොන්ත්‍රාත්වරුන්ට හිඟ වූ රුපියල් බිලියන 200 ක් ගෙවා අවසන්. දැන් ආපසු ආධාර එන විට නුවර පාර යනාදී කටයුතු සියල්ලම ආරම්භ කරන්න පුළුවන්. දුකද. හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් මහත්වරුන්ට මම කිව්වේ මේ ගිවිසුම් දෙක දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික බැඳුම්කරුවන් සමඟ සාකච්ඡා කරන්න අපිට දැන් අවස්ථාව ලැබිලා තිබෙනවා. ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම කීවා මේ දේ දැන්ම හෙළි කරන්න එපා කියලා. මොකද එතකොට ඒ අය දන්නවා අපි අනික් අයත් එක්ක ඇති කර ගත්ත කොන්දේසි. ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා තුනම ඉදිරිපත් කරන්න කියලා කීවා. ඒ විතරක් නොවෙයි ඝානාවේ කොන්දේසිවත් තවම පිට කරලා නැහැ. කොහෙන් ගන්නවාද මම දන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ කරුණු සියල්ලම හර්ෂ ද සිල්වා මහතාගේ කමිටුවට දෙන්න. එතැනදී හැමෝම සාකච්ඡා කරලා වෙනම වාර්තාවක් ලියන්න. ඔබතුමා හර්ෂ ද සිල්වා මහතාට ඊර්ෂ්‍යා කරනවාද. එයා මේක කරන එකට අකමැතිද? දැන් මෙතෙන්ට ඇවිත් මෙහෙම කතා කරන්නේ ඇයි? අපි දෙපැත්තම එකඟයි හර්ෂ ද සිල්වා මහතාගේ කමිටුවට. ඒ කමිටුවෙන් මොනවා ලියයි ද කියලා අපි දන්නේ නැහැ. අපිට එකඟව ලියයිද. විරුද්ධව ලියයිද අපි දන්නේ නැහැ. හර්ෂ ද සිල්වා ආචාර්යතුමා ගැන මෙතැන ප්‍රශ්නයක් තිබෙනවාද. ඒ සඳහා විවාදයක් ඕනෑ නම් කියන්න. අපි ඒක ලබා දෙන්නම්. විපක්ෂයේ උපදේශක විදියට නාලක ගොඩහේවා දාන්න ඕනද. එක සැරයක් වැටුණු වළේ ආයේ වැටෙනවාද?

ගුස්මාන් ගැන මම අලුතෙන් කියන්න හොඳ නැහැ. ගුස්මාන් කොච්චර හොඳට වැඩ කළාද කීවොත් එයාගේ පක්ෂය පැරදිලා විපක්ෂයේ කෙනෙක් දිනලා එයාගේ පක්ෂය කොංග්‍රස් එකේ පාලනය කළාට අලුත් ජනාධිපතිවරයාගේ යෝජනා සියල්ලම අනුමත කළා. ඒක තමයි ගුස්මාන් කළේ. තව මේ පැත්තේ ඕන තරම් ගුස්මාන්ලා ඇති. මම දන්නේ නැහැ ගුස්මාන්ලා ගැන. මට නම් වැඩක් නැහැ. ලංකාවට එන්නේ කතාවක් කරන්න, එතැන කතා කරන්න බැරි නිසා. ආර්ජන්ටිනා ජනාධිපතිවරයා ඉතා දරුණු ලෙස වියදම් කප්පාදු කරලා තිබෙනවා. ආර්ථිකය හරියට ඇවිත් තිබෙනවා. දැන් එතුමා කියන්නේ ඩොලර් එක දාන්න කියලා. ඩබල් කරන්සි දාලා ඩොලරයිස් කරන්න කියලා එතුමා කියනවා. ඒකට අයි.එම්.එෆ්. එකත් විරුද්ධයි. දැන් එතැන ඝට්ටනයක් යන්නේ. ඝානා එක ගැන කතා කරනවා නම් නානා ඇඩෝ ඩන්කාන් තමයි සියල්ලම කළේ. මුදල් ඇමැතිවරයා නොවේ ඒක අපේ රාජ්‍ය ඇමැතිවරයා කතා කරලා කළා. අපේ මුදල් රාජ්‍ය ඇමැතිවරයාට කතා කරලා ඉගෙන ගන්න. නානා ඇඩෝ ජනාධිපතිවරයා සමඟ කතා කරන්න ඕනෑ නම් මට කියන්න. මම ඒ අවස්ථාව හදලා දෙන්නම්. ඒ මහතා ව්‍යාපාරිකයෙක්. ඒ නිසා එතුමා අතට අරගෙන ඒ දේ කළා. මුදල් ඇමැතිවරයා හා අගමැතිවරයා එතුමා කීව දේ කළා. හර්ෂ ද සිල්වා මහතාට මේක දෙන්න කැමැති නැත්නම් විපක්ෂ නායකවරයා අගමැතිවරයාට කියලා ඒ ගැන විවාදයක් දා ගන්න. මට ප්‍රශ්නයක් නැහැ.