නවතම පුවත්

තැපැල් ගාස්තු අද (09) සිට සංශෝ­ධ­නය කිරී­මට තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබේ.ඒ අනුව අවම තැපැල් ගාස්තුව රුපි­යල් 70ක් දක්වා සංශෝ­ධ­නය කිරී­මට තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන ඇති අතර, මේ නව මිල ගණන් අද දිනයේ සිට ක්‍රියා­ත්මක බව ද තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

තැපැ­ල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්. සත්කු­මාර මහ­තාගේ අත්ස­නින් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් මේ බව සඳ­හන් කර තිබේ. සාමාන්‍ය, ව්‍යාපා­රික ලිපි සේවාවේ මූලික බර පන්තිය ග්‍රෑම් 20 සිට 30 ලෙස සංශෝ­ධ­නය කර ඇති අතර, පත්‍රි­කා­වක හෝ පත්‍රිකා කට්ට­ල­යක උප­රිම මිල ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 120 ලෙස ද සංශෝ­ධ­නය කර ඇත.

‘ගොඩ­න­ඟමු ශ්‍රී ලංකා’ තේමා­වෙන් කුලුනු 5ක් මත පද­නම් වූ නව ගමනක් අරඹනවා - 78 වැනි නිද­හස් දින සැම­රුම් උලෙ­ළේදී ජන­පති කියයි

හැත්තෑ අට වැනි (78) ජාතික නිද­හස් දින සැම­රුම ඊයේ (04) නිද­හස් චතු­ර­ස්‍ර­යේදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අභි­මා­න­වත්ව පැවැත්විණි. අව­ස්ථා­වට සහ­භාගි වූ ජනා­ධි­ප­ති­ව­රයා ජාතික ධජය එසවූ අයුරු. උපාලි කරු­ණා­රත්න

අධ්‍යා­පන ක්ෂේත්‍රයේ විශා­ල­තම පරි­ව­ර්ත­නීය යුග­යක් ආරම්භ යුතු බවත්, එයට තමා සූදා­නම් බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පව­සයි.

නව පරි­ව­ර්ත­නීය යුග­යක් කරා වත්මන් ආණ්ඩුව රට මෙහෙය වන බව ද ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කළේය. ජනා­ධි­ප­ති­ව­රයා මේ බව පැව­සුවේ 78 වැනි නිද­හස් දින සැම­රුම් උලෙ­ළට ඊයේ (04) එක්වෙ­මිනි.

“අපේ මානව සම්පත ලෝකයේ ඕනෑම දියුණු ජාති­යක් සමඟ උරින් උර ගැටී සෑම අතින්ම සම්පූර්ණ මානව සම්ප­තක් බවට පරි­ව­ර්ත­නය කළ යුතුයි. නොදැ­නු­ව­ත්කම වෙනු­වට දැනුම, පැරණි අග­තීන් වෙනු­වට ප්‍රග­තිය. බෙදීම වෙනු­වට සම­ඟිය පෙර­දැරි කර­ගත් නව මානව සම්ප­තක් අප නිර්මා­ණය කළ යුතුයි.

එහිදී කලාව, සාහිත්‍ය, ඉති­හා­සය මෙන්ම නව තාක්ෂ­ණය, අධ්‍යා­ප­නය මේ මානව සම්පත දියුණු කිරී­මේදී අති­ශය වැද­ගත්. අපේ රටේ දියුණු මානව සම්ප­තක් ගොඩ­නැ­ඟී­මට දැනු­මෙන්, සහ­ක­ම්ප­න­යෙන්, තෙත­ම­න­යෙන්, නූතන තාක්ෂ­ණ­යෙන් යුත් මානව සම්ප­තක් අප නිර්මා­ණය කළ යුතුයි. ඒ සඳහා අපි අපේ අධ්‍යා­පන ක්ෂේත්‍රයේ විශා­ල­තම පරි­ව­ර්ත­නීය යුග­යක් ආරම්භ කළ යුතුයි. අපි ඒ සඳහා සූදා­නම්. පැරණි අග­තීන් මොන­ත­රම් ප්‍රමා­ණ­යට එම නව මිනිසා ගොඩ­නැ­ඟී­මට දරන ප්‍රය­ත්න­යට බාධා කරන්නේ නම්, ඒ සිය­ල්ලට එරෙ­හිව පරි­ව­ර්ත­නීය කාර්ය­භා­රය ඉටු­කි­රී­මට අප සූදා­නම්. එයට මේ රටේ පොදු ජන­යාගේ සහාය ලැබෙන බව මා විශ්වාස කර­නවාÓ යැයි ද ජනා­ධි­ප­ති­ව­රයා එහිදී පැව­සීය.

‘ගොඩ­න­ඟමු ශ්‍රී ලංකා‘ තේමා­වෙන් මෙවර නිද­හස් දින ජාතික උත්ස­වය කොළඹ නිද­හස් චතු­ර­ස්‍ර­යේදී අභි­මා­න­වත්ව පැවැ­ත්විණි.

එහිදී ජනා­ධි­ප­ති­ව­රයා පැව­සුවේ යට­ත්වි­ජිත පාල­න­යෙන් පසු ලබා ගත් නිද­හස සහ ඒ වෙනු­වෙන් රුධි­රය, කඳුළු, දහ­ඩිය පූජා කළ වීර­යන්ගේ අභි­ම­තාර්ථ ඉටු කිරීම වත්මන් පර­ම්ප­රාවේ වග­කීම බවයි.

ශ්‍රී ලංකාව ගොඩ­නැ­ඟීමේ කුලුනු පහ ගැන අව­ධා­ර­ණය කර­මින් එහි පළ­මු­වැන්න දැනු­මෙන් සන්නද්ධ මානව සම්පත බව කී ජනා­ධි­ප­ති­ව­රයා, රටේ ප්‍රධා­නම ශක්තිය වන්නේ මානව සම්පත බව ද කීවේය. එය ලෝකයේ ඕනෑම දියුණු ජාති­යක් සමඟ උරෙන් උර ගැටිය හැකි මට්ට­මට දියුණු කළ යුතු බව ද අව­ධා­ර­ණය කර සිටි­යේය. පැරණි අග­තීන් වෙනු­වට දැනුම, සහ­ක­ම්ප­නය සහ නූතන තාක්ෂ­ණය ඒකා­බද්ධ වූ නව මානව සම්ප­තක් නිර්මා­ණය කිරී­මට අධ්‍යා­පන ක්ෂේත්‍රයේ විශාල පරි­ව­ර්ත­නීය යුග­යක් ආරම්භ කරන බව ජනා­ධි­ප­ති­ව­රයා පැව­සීය.

දෙවැනි කුලුන ගැන අද­හස් දක්ව­මින් ජනා­ධි­ප­ති­ව­රයා ජාතික සම­ගිය ගැන කරුණු පැහැ­දිලි කළේය. බෙදීම සහ ජාති­වා­දය ශක්තිය දුබල කරන බැවින්, ජාති­වා­දය සහ අන්ත­වා­දය ශ්‍රී ලංකාවේ ශබ්ද­කෝ­ෂ­යෙන් බැහැර කළ යුතු අව­ල­ස්ස­නම වචන ලෙස ඔහු හඳුන්වා දුන්නේය. විවිධ ආගම්, භාෂා සහ සංස්කෘ­තී­න්වල අන­න්‍ය­තා­වන්ට ගරු කර­මින්, ‘ශ්‍රී ලාංකේය ජාතිය’ ලෙස සියලු දෙනා ඒක­රාශී කිරීම රට ගොඩ­නැ­ඟීමේ ප්‍රධා­නම ශක්තිය බව යැයිද හෙතෙම අව­ධා­ර­ණය කළේය. තෙවැනි කුලුන යටතේ නීතියේ ආධි­ප­ත්‍යය ගැන කරුණු කිය­මින් ජනා­ධි­ප­ති­ව­රයා පැව­සුවේ සෑම පුර­වැ­සි­ය­කුම නීතිය ඉදි­රියේ සමාන විය යුතු බවයි. නීතිය සහ විධා­නය පිළි­බඳ මහ­ජන විශ්වා­සය යළි තහ­වුරු කළ යුතු බව ද කීවේය. නීතිය බිඳ දමන ලද පිරිස් ඊට බිය වුව ද, නිවැ­රදි පුද්ග­ල­යන් සැම­වි­ටම නීතියේ ආධි­ප­ත්‍යය අපේක්ෂා කරන බවත්, නව ශ්‍රී ලංකාව තුළ යුක්තිය සහ සාධා­ර­ණ­ත්වය ඉහ­ළින්ම සුර­කින බවත් ජනා­ධි­ප­ති­ව­රයා පැව­සීය.

සිවු­වෙ­නුව පාරි­ස­රික සුර­ක්ෂි­ත­තාව පිළි­බ­ඳව කතා කර­මින් ජනා­ධි­ප­ති­ව­රයා කියා සිටියේ සංව­ර්ධ­නය යනු පරි­ස­රය විනාශ කිරීම නොවන බවයි. විශේ­ෂ­යෙන්ම රටේ ජීවය බඳු මධ්‍යම කඳු­ක­රය සහ ගංගා පද්ධ­තිය ආරක්ෂා කිරීම අත්‍ය­වශ්‍ය බවත් ජනා­ධි­ප­ති­ව­රයා පැව­සීය. අනා­ගත පර­ම්ප­රාව වෙනු­වෙන් ගහ­කොළ සහ සෞන්ද­ර්යය සුර­ක්ෂිත කර දීම ‘ගොඩ­න­ඟමු ශ්‍රී ලංකා’ වැඩ­පි­ළි­වෙළේ ප්‍රමුඛ කාර්ය­යක් බවද ඔහු පෙන්වා දුන්නේය.

පස්වැනි කුලුන ලෙස ශක්ති­මත් ජාත්‍ය­න්තර සහ­යෝ­ගී­තාව පිළි­බ­ඳ­වද අද­හස් පළ කළ ජනා­ධි­ප­ති­ව­රයා ගෝලීය බල අර­ගල හමුවේ අප­ක්ෂ­පා­තීව කට­යුතු කර­මින්, මාතෘ­භූ­මි­යට වැඩිම ජය­ග්‍ර­හණ සහ ආර­ක්ෂාව ගෙන දෙන ගෞර­ව­නීය රාජ්‍ය සබ­ඳතා ගොඩ­න­ඟා­ගත යුතු බව පැව­සු­වේය. ශ්‍රී ලංකාව ජාත්‍ය­න්ත­රය තුළ ශ්‍රේෂ්ඨ සහ ගෞර­ව­නීය රාජ්‍ය­යක් බවට පරි­ව­ර්ත­නය කිරීම රජයේ අපේ­ක්ෂාව බවද කීවේය.

2025 වසර ආර්ථික වශ­යෙන් විශාල ප්‍රග­ති­යක් අත්පත් කර­ගෙන ඇත. අඩුම අය-වැය හිඟය සහ වැඩිම ආදා­යම් බදු ආදා­යම වැනි සාධක මඟින් එය තහ­වුරු වන බවත් මෙම ආර්ථික ජය­ග්‍ර­හණ සංඛ්‍යා­ලේ­ඛ­න­ව­ලට පම­ණක් සීමා නොවී, ගමේ පහ­ළම පුර­වැ­සි­යාගේ ජීවි­තය උසස් කිරී­මට සහ ඔවුන්ගේ මාන­සික නිද­හස තහ­වුරු කිරී­මට යොමු කළ යුතු බවත් ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කළේය.

 

 
 
 
 

“ගොඩනඟමු ශ්‍රී ලංකා” අභිමානවත් ඉතිහාසයේ සාරය මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එක්ව කැප වෙමු, යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 78 වන ජාතික නිදහස් දින උලෙළ අමතමින් අද (04) සදහන් කළේය.

යළි ගොඩනැඟෙන ශ්‍රී ලංකාවේ අභිප්‍රාය ආර්ථිකයේ පහළම ජන කණ්ඩායම දක්වා ආර්ථිකයේ ප්‍රතිලාභ ගලා යාමට සැලැස්වීම බවත් “ගොඩනඟමු ශ්‍රී ලංකා ”යන තේමාවට පණ ලැබෙන්නේ නීතියේ විධානයේ ආධිපත්‍යය නිසි පරිදි තහවුරු කිරීමෙන් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

78 වන ජාතික නිදහස් දින උලෙළ අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව –

අද අප විසින් සමරනු ලබන්නේ 78 වන ජාතික නිදහස් දිනයයි. අවුරුදු 133ක් ඉතා කුරිරු පීඩාකාරී කොල්ලකරුවන්ගේ යටත් විජිත පාලනයෙන් 1948 වසරේදී අපි නිදහස ලැබුවා. ඒ වගේම සියවස් ගණනක් පුරා යටත් විජිතවාදයට එරෙහිව අපේ මුතුන් මිත්තන් තමන්ගේ ලේ කදුළු දහදිය මෙම මාතෘභූමිය වෙනුවෙන් පූජා කළා. එදා ඒ අපේ මුතුන් මිත්තන්ගේ ධෛර්ය සම්පන්න විශ්වාසනීය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස අපට අපගේම වූ ජනතා පරමාධිපත්‍යයක හිමිකාරිත්වය හිමි වුණා. 1948 වසර යනු අනේකවිධ කැපකිරීම් කරන ලද අපේ විරුවන්ගේ, අපේ මුතුන් මිත්තන්ගේ ජයග්‍රහණයේ සහ වීරත්වයේ සංකේතාත්මක වසරයි.

විශේෂයෙන්ම, අපි කවුරුත් දන්නවා අපි ජීවිතයේ විවිධ අවධිවලට මුහුණ දෙනවා. බොහෝ අය තම තමන් වෙනුවෙන් සටන් කරමින් අරගලවල නිරත වෙනවා. එය දුලබ දෙයක් නොවෙයි. එහෙත් යමෙක් මාතෘ භූමිය වෙනුවෙන්, ඒ වගේම අනාගත පරපුර වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරමින් සටන් වදිනවා නම්, ඔවුන් සැබැවින්ම වීරෝධාර විරුවන් බවට පත්වීම වළක්වන්න බැහැ. ඔවුන් යෙදෙන්නේ ඉතාමත් උත්තුංග ක්‍රියාදාමයක.

අද අපි දෙපය තබා සිටින මේ මහපොළොව අපේ මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු, අපේ ජනතාවගේ අභිවෘද්ධිය සහ අනාගතය වෙනුවෙන් සටන් වැදුණු අපේ මුතුන් මිත්තන්, සහෝදර සහෝදරියන්ගේ ලේ, කදුළු දහදියවලින් තෙත් වී තිබෙනවා. එම සියලු දෙනා හැමදාමත් අපේ හදවත්වල වීරත්වයේ ඉහළින්ම සිටිනවා. ඒ නිසා විශේෂයෙන් අද දිනයේ අපේ මව්බිමේ නිදහස සහ ජනතාවගේ උත්තුංග වූ නිදහස වෙනුවෙන් සටන් වැදුණු සියලු වීරවරයන්, වීරවරියන් වෙනුවෙන් අපේ උත්තමාචාරය සහ ගෞරවය පුද කළ යුතුයි.

අපි නිදහසින් පසුව 78 වසරක් ගමන් කර තිබෙනවා. එහෙත් මා හිතනවා අපේ නිදහසේ ඉතාමත් වැදගත් කාර්යභාරය වන්නේ සහ නිදහස පරිපූර්ණත්වයට පත් වන්නේ අපිට ආර්ථික වශයෙන් මොනතරම් ප්‍රමාණයකින් නිදහසක් උදා කර ගත හැකිද යන සාධකය මතයි. මා හිතනවා අපිට නිදහසේ පරිපූර්ණත්වය සඳහා වූ සටනක් සහ අරගලයක් තිබෙනවා. ඒ සටන සහ අරගලය තිබෙන්නේ ඔබ අප සහ මා තුළමයි කියා මම විශ්වාස කරනවා.

විශේෂයෙන් මෙවර නිදහස් දිනයේ අපේ ප්‍රධාන තේමා පාඨය වූයේ “ගොඩනඟමු ශ්‍රී ලංකා” යන්නයි. අපි මේ ශ්‍රී ලංකාව අපේ ස්වාධීනත්වය, ස්වෛරිභාවය සහ නිදහස යන ප්‍රතිමූර්තින් මත යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. එම යළි ගොඩනැඟීමේදී අපේ සාරය බවට පත් කර ගත යුත්තේ කුමක්ද? අපි ඉතා පෞඪ ඉතිහාසයකට හිමිකම් කියනවා. අපේ ආදි මුතුන් මිත්තන් එම යුගයට ගැළපෙන ආකාරයට ඉතාමත් ඉහළ තාක්ෂණ දැනුමකින් හෙබි බව අපේ ඉතිහාසය පෙන්වා දෙනවා. අපි මහා පෞඪත්වයකට, ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක්.

ඒ වගේම මෑත ඉතිහාසයේ අපි බැහැර කළ යුතු කරුණු ගණනාවක් තිබෙනවා. ඒ වගේම අත්පත් කරගත් සාධනීය ලක්ෂණ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාව ගොඩනැඟීමේ මාවත වන්නේ අපේ මාතෘභූමිය සමඟ තිබෙන ඓන්ද්‍රීය සබඳතායි. අපේ ජාතිය ගොඩනැගීමේදී නිදහස විසින් එක් කරනු ලැබ තිබෙන මහා සාරය මේ මහපොළව මත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මාවතක ආර්ථිකය ගොඩනැඟීමයි. එය හුදු මාතෘ භූමියේ අක්මුල් සිඳින ලද, අපේ ජාතියේ සාරය කෙළෙසන ලද ආර්ථික සංවර්ධන මාවතක් නොවෙයි. අපේ මාතෘ භූමියේ, අපේ ජාතියේ සාරය ඒ මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ මාවතට අපි අවතීර්ණ විය යුතුයි.

නිදහසින් පසු, ගෙවණු 78 වසර තුළ ලබාගත් ජය සහ පරාජයන් තිබෙනවා. හොඳ වගේම නරක තිබෙනවා. අපි කිසිසේත්ම නරක දේ බැහැර කිරීමට පැකිළෙන්නේ නැහැ. ඒ වගේම අපි කිසිසේත්ම හොඳ දේ උකහා ගැනීමට බිය වන්නේද නැහැ. ඒ නිසා අතීතයේ සාරවත් දේ මත මේ ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ වගකීම අප ඔබ සතුව තිබෙන බව මම විශ්වාස කරනවා.

අපි පළමුවෙන්ම අපේ ශක්‍යතා සහ හැකියා පෙළගස්වා ගතහොත් අපිට තිබෙන ප්‍රධානම ශක්තිය කුමක්ද? අපි මහා සමුද්‍රීය කලාපයකට හිමිකම් කියන බව කිව හැකියි. ඒ වගේම ඉතාමත් හොද දේශපාලන කලාපයක පිහිටා තිබෙන බව සහ අපි රටක් ලෙස ස්වාභාවික සම්පත්වලින් අනූන බව කිව හැකියි. එහෙත් අප විශ්වාස කරනවා ඒ සියල්ලටම වඩා මහානර්ඝ සම්පත වන්නේ අපේ රටේ මානව සම්පතයි. ඒ නිසා අපේ රට ගොඩනැඟීම සඳහා තිර අධිෂ්ඨානයකට අපි එනවා නම්, අපේ මානව සම්පත ලෝකයේ ඕනෑම දියුණු ජාතියක් සමග උරින් උර ගැටී සෑම අතින්ම සම්පූර්ණ වූ මානව සම්පතක් බවට පරිවර්තනය කළ යුතුයි. නොදැනුවත්කම වෙනුවට දැනුම, පැරණි අගතීන් වෙනුවට ප්‍රගතීන්, බෙදීම වෙනුවට සමගිය පෙරදැරි කර ගත් නව මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි.

විශේෂයෙන්ම කලාව, සාහිත්‍යය, ඉතිහාසය වගේම නව තාක්ෂණය මේ මානව සම්පත දියුණු කිරීමේදී වැදගත් කාර්යභාරයක් උසුළන බව අපි කවුරුත් දන්නවා. එසේ නම් දැනුමෙන්, සහකම්පනයෙන් සහ නූතන තාක්ෂණය ඒකාබද්ධ කර ගැනීමෙන් අනූන මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. එය නිර්මාණය කිරීමට නම් අපි අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගය ආරම්භ කළ යුතුයි. අපි ඒ සඳහා සූදානම්. පැරණි අගතීන් මොන තරම් ප්‍රමාණයක් එම නව මිනිසෙක් ගොඩනැඟීම සඳහා වන ප්‍රයත්නයට බාධා කරනවාද ඒ සියල්ලට එරෙහිව නව දැනුම, නව තාක්ෂණය නව මානවයා නිර්මාණය කිරීමට අවශ්‍ය පරිවර්තනීය කාර්යභාරය ඉටු කිරීමට අපි සූදානම්. ඒ සඳහා මේ රටේ ජනතාවගේ සහාය ලැබෙන බව මම විශ්වාස කරනවා.

ඒ වගේම, අපි සතුව තිබෙන මේ මානව සම්පතේ ශක්තිය රැඳි පවතින්නේ සමගිය මතයි. අපි බෙදුණොත් අපේ ශක්තීන් දුබල වෙනවා. එකිනෙකා කෙරෙහි වෛරය,ක්‍රෝධය, ගැටුම නිර්මාණය වුවහොත් අපේ ප්‍රධාන ශක්තිය දුබල වෙනවා. ශ්‍රී ලංකාව ආගම් කිහිපයක් අදහන ජනතාවක් සිටින රටක්. තමන්ට අනන්‍ය වූ සංස්කෘතින් කිහිපයකින් හෙබි ජනතාවක්. විශ්වාස, සංස්කෘතින්, ඇදහීම්වල වෙනස්කම් තිබෙනවා. මෙම වෙනස්කම් ගැටුම වෙනුවෙන් උපයෝගී කර ගත හැකියි. මේ වෙනස්කම් අපිට අනෙකාට එරෙහිව අවියක් ලෙස ඔසවා තැබිය හැකියි. හැබැයි, එය අපේ ශක්තීන් දුබල කර ගැනීමක්. ඒ නිසා අපේ පරමාර්ථය වන්නේ මේ වෙනස්කම්වලට ගරු කරමින් සියලු ජන කණ්ඩායම්වල අනන්‍යතාව පිළිගනිමින්,එහෙත් ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස අපි අපේක්ෂා කරන නව පරිවර්තනීය යුගය ගොඩනැඟීමයි.

අපේ ශබ්දකෝෂයේ තිබෙන අවලස්සනම වචන දෙක කුමක්ද? ජාතිවාදය සහ අන්තවාදය. ඒ නිසා, අපි විශ්වාස කරනවා ජාතිවාදය සහ අන්තවාදය නිසා සිදු විය හැක්කේ අපි සතුව තිබෙන ශක්තීන් අපම ස්වයංව විනාශ කර ගැනීමයි. ඒ නිසා අපේ රටේ කිසිදු බෙදීමකට, ජාතිවාදයකට, අන්තවාදයකට ඉඩ නොතබන බවත්, අපේ රටේ ජාතික සමගිය අපේ රට ගොඩනැගීමේ ප්‍රධාන ශක්තිය ලෙස ගොඩනඟන බවත් මේ රටේ ජනතාවට මම ප්‍රකාශ කරන්න කැමතියි.

ශක්තිමත් මානව සම්පතක් ගොඩනැඟීම, සමගිය නිර්මාණය කර ගැනීම වගේම, ඒ සියලුදෙනාට නීතියේ විධානයේ ආධිපත්‍යය සමානාත්මතාවෙන් යුතුව සාධාරණව ඉටු කර ගැනීමට අවස්ථාව තිබිය යුතුයි. අපි නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟිය යුතුයි. ඒ වගේම සෑම දෙනාම නීතිය යන රේඛාවට යටින් සිටිය යුතුයි. පොදු පුරවැසියා තුළ නීතියේ විධානයේ ආධිපත්‍යය පිළිබඳව විශ්වාසය තහවුරු කළ යුතුයි. සෑම නිවැරදි පුද්ගලයෙක්ම නීතියේ විධානයේ ආධිපත්‍යය අපේක්ෂා කරන බව අපි දන්නවා. එහෙත් නීතියේ විධානයේ ආධිපත්‍යය නොසලකා හරින, බිඳ දමන ලද අයවලුන් නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වෙනවාට බිය බවත් අපි දන්නවා. ඒ නිසා ශ්‍රී ලංකාව ගොඩනැඟීමේදී ‘ගොඩනඟමු ශ්‍රී ලංකා’ කියන තේමාවට පණ ලැබෙන්නේ අපි අපේ නීතියේ විධානයේ ආධිපත්‍යය නිසි පරිදි තහවුරු කිරීමෙන් බව අපි විශ්වාස කරනවා.

ඒ වගේම, අපේ රට ගොඩනැඟීමේදී වර්තමානයේ ජිවත් වන අපේ පරම්පරාව වෙනුවෙන් සහ අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අවශ්‍ය රාජ්‍යය අපි ගොඩනැඟිය යුතුයි. අපි මෑත කාලයේ අත්විදි සුළි කුණාටුව දෙස බලන්න. නාය යාම් විශාල ප්‍රමාණයක් වාර්තා වුණා. විශේෂයෙන් අපේ රටේ පැවැත්මේ ප්‍රධාන සාධකය මධ්‍යම කඳුකරය. මධ්‍යම කඳුකරය රූරා ගලා හැළෙන ගංගා පද්ධති තමයි මේ මධ්‍යම කඳුකරයට ජීවය කැටුව එන්නේ. මධ්‍යම කඳුකරය වෙත වැටෙන මහා වර්ෂාපතනය මේ මාතෘභුමියට අවශ්‍ය සෞභාග්‍යය ගෙනැවිත් දෙනවා. එහෙත් අපි අපේ ජීවිත කාලය තුළම අත්දකිමින් සිටිනවා මධ්‍යම කඳුකරයට ඇති වී තිබෙන විනාශයේ බරපතළ බව.

සියලු ස්වභාවික සම්පත්, සියලු පරිසර පද්ධති, සතා සිව්පාවන් මුළුමනින්ම විනාශ කරමින් සහ තර්ජනයට ලක් කරමින් ගොඩනැඟෙන ශ්‍රී ලංකාවෙන් ඇති ඵලය කුමක්ද? අපි අපේක්ෂා කරන්නේ පාරිසරික පද්ධතිය ඉතා හොඳින් ශක්තිමත් කෙරෙන සහ අපි ඉපදෙන විට තිබූ ගහකොළ සතා සිව්පාවා සහ සෞන්දර්ය, ඒ වගේම හෝ ඊටත් වඩා වැඩියෙන් අපේ අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කර දීමයි. එය ගොඩනඟමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළෙහි ප්‍රධාන කාර්යභාරයක් විය යුතුයි. ඒ නිසා පරිසර පද්ධතිය මුළුමනින්ම විනාශ කරමින් යන සංවර්ධන මාවතක් අපි අපේක්ෂා කරන්නේ නැහැ. එහි භයානක ප්‍රතිවිපාකවලට මෑතකාලීනව මුහුණ දුන් ජාතියක් ලෙස අපි ඒ ගැන විශාල වශයෙන් කල්පනා කළ යුතුයි.

ඒ වගේම, අපේ රට ගොඩනැඟීමේදී අපිට ඉතා ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවක් අවශ්‍යයි. අපි දන්නවා ලෝකය වෙළෙඳපොළ පිළිබඳ තරගයක සහ බෙදීමක සිටිනවා. ලෝකයේ එක් එක් රාජ්‍යයන් තමන්ගේ බලය, දෘෂ්ටීන්, ආධිපත්‍යය පැතිර වීම සඳහා වූ ගැටුමක් තිබෙනවා. දැන් ලෝකය සැලකිය යුතු ප්‍රමාණයකින් ගැටුම්වලින් සමන්විත සහ නිරන්තරයෙන් සිදුවීම් නිර්මාණය කරන ලෝකයක් බවට පත් වී තිබෙනවා. අපේ මාතෘ භූමියට වඩවඩා ජයග්‍රහණ ගෙන දෙන, අපේ මාතෘ භූමියේ ආරක්ෂාව වඩාත් තහවුරු කරන, අපේ රටේ ජනතාවගේ ජීවිත වඩාත් උසස් කෙරෙන නව මානයකින් වූ ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීම අපේ අපේක්ෂාවයි. අපේ රට යළි ජාත්‍යන්තරය තුළ ඉතාමත් ශ්‍රේෂ්ඨ ජාතියකින් හෙබි ගෞරවනීය රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම අප මේ යන මාවතේ වැදගත් සාධකයක්. මම හිතනවා මේ කුලුනු මත තමයි අපේ රාජ්‍යය ගොඩනැඟිය හැකි වන්නේ.

නීතිය නොමැති තැනක, සමගිය නොමැති තැනක, යහපත් ජාත්‍යන්තර සබඳතා නොමැති තැනක, පරිසර පද්ධතිය විනාශ වූ තැනක සහ සමාජය අයහපත් වූ තැනක සංවර්ධනය යන බීජය, ගොඩනඟමු යන තේමාව යටතේ යථාර්ථයක් කළ නොහැකියි. ඒ නිසා අපේ අධිෂ්ඨානය විය යුත්තේ අපේ රට ගොඩනැඟීම සඳහා අවශ්‍ය වන කුලුනු සහ පදනම් නිර්මාණය කිරීමයි. එය අපි කරමින් තිබෙනවා. එම කුලුනු මත ශක්තිමත් සහ නොසැලෙන ආර්ථිකයක් අපි ගොඩනැඟිය යුතුයි.

2025 වසර වැදගත් ආර්ථික සාධක සියල්ලකින්ම පාහේ ඉහළ ප්‍රගතියක් ලැබූ වසරක්. 1977න් පසු අඩුම අයවැය හිඟය වාර්තා කිරීම, 2026 වසරින් පසු වැඩිම ආදායම ඉපැයීම, ලංකා ඉතිහාසයේ ජංගම ගිනුමේ වැඩිම අතිරික්තය, ඉතිහාසයේම ආදායම බදු දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් ඉපැයූ වසර, බැංකු පොලී අනුපාතය දිගුකාලයක් තනි ඉලක්කමේ පවත්වා ගැනීම, ඒ වගේම ආර්ථික සාධකවල ඉතා ජයග්‍රාහී ස්ථාවරත්වයක් පෙන්නුම් කරමින් තිබෙනවා. හැබැයි, ආර්ථිකයක් රඳා පවතින්නේ ධනාත්මක දත්ත මත පමණක් නොවෙයි. අපි ආර්ථික වශයෙන් අත්පත් කර ගන්නා ජයග්‍රහණ පතුලේම සිටින ජනතාව වෙත ගලා යා යුතුයි. ජනතාවගේ ජීවිත උසස් වන්නේ නැති නම් ජනතාවගේ ජිවිත පහසු කරන්නේ නැති නම් ජනතාවට මානසික නිදහස සහිත ජිවිතයක් උරුම කර දීමට ආර්ථික සාධක සමත් වන්නේ නැති නම් එම ආර්ථිකය සංඛ්‍යා දත්ත මත පමණක් පිනුම් ගහන ආර්ථිකයක් බවට පත් වෙනවා. ඒ නිසා ආර්ථිකයේ ප්‍රධානතම ජයග්‍රාහී හැරවුම වන්නේ අපි ආර්ථිකයේ ඉහළ තලයේ උපයා ගන්නා ශක්‍යතා සහ ජයග්‍රහණ ගමේ පහළම පුරවැසියාගේ ජිවිතය උසස් කිරීමට යෙදවීමයි. ඒ නිසා යළි ගොඩනැඟෙන ශ්‍රී ලංකාවේ අභිප්‍රාය ආර්ථිකයේ පහළම ජන කණ්ඩායම දක්වා ආර්ථිකයේ ප්‍රතිලාභ ගලා යන නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමයි.

ඒ වගේම නිදහස, පූර්ණ නිදහසක් බවට පරිවර්තනය වන්නේ අපි මොන තරම් ප්‍රමාණයකට ආර්ථික වශයෙන් ශක්තිමත්ද යන සාධකය මතයි. ආර්ථික දායකත්වය කාර්යයන් දෙකකින් වැදගත්. එක් පසෙකින් ජනතාවගේ ජිවිතය උසස් කිරීමට මෙන්ම අපේ රටේ ස්වෛරීභාවයේ සහ ස්වාධීනත්වයේ බලය තහවුරු කර ගැනීමට එය වැදගත් වෙනවා. එසේ නම් ඒ සඳහා අවශ්‍ය නව ආර්ථික දැක්මකින් යුතුව අපේ රටේ ආර්ථිකය ගොඩනැංවිය යුතුයි. ඒ සඳහා මේ වන විටත් අපේ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, රාජ්‍ය සේවය සහ ජනතාව සමග පුළුල් සංවාදයක අප නිරතව සිටිනවා.

මේ රට ගොඩනැඟීම අපේ ප්‍රධානම සම්පත වන මානව සම්පත විසින් දෙවුර මත පවරා ගනු ලැබිය යුතු කාර්යයක්. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡාව සහ වැඩසටහන අපි දියත් කර තිබෙනවා. ඒ නිසා අපේ පැරණි ඓතිහාසික උරුමයන්, අත්දැකීම්,මේ සියල්ල කැටි කර මේ ශ්‍රී ලංකාව ගොඩනැඟිය හැකියි. මේ 78 වන නිදහස් දිනයේදී අපි අපේ හදවතට, අපි අපේ ඥානයට එකතු කළ යුතු වන්නේ මේ රට ගොඩනැඟීම පිළිබඳ තිර අධිෂ්ඨානයයි. ඒ නිසා ජනාධිපතිවරයා ලෙස මාද, අපේ කැබිනට් මණ්ඩලයද, විපක්ෂනායකතුමා, රාජ්‍ය සේවය, මහා සංඝරත්නය, ආගමික සංස්ථාවන් අපි සියලුදෙනාද මේ රට සෑම අතින්ම ගොඩනංවමු කියා තිර අධිෂ්ඨානයකට එමු.

අප්‍රිකානු ආප්තෝපදේශයක් තිබෙනවා “ඔබට වේගයෙන් යන්න අවශ්‍ය නම් තනිවම යන්න. හැබැයි, ඔබට වැඩිදුරටත් යාමට අවශ්‍ය නම් එකට යන්න” කියලා. අපිට අවශ්‍ය වී තිබෙන්නේ සෑම ක්ෂේත්‍රයකින්ම වැඩි දුරක් යාමටයි. ආර්ථිකයේ වැඩිදුරක් යා යුතුයි. නීතියේ විධානයේ ආධිපත්‍යය වැඩිදුරටත් තහවුරු කළ යුතුයි. අපේ පරිසර පද්ධතිය වැඩිදුරටත් ආරක්ෂා කළ යුතුයි. එසේ නම් ඒ ගමන යා යුතු වන්නේ තනිව නොවේ. තනිව වේගයෙන් යා හැකි වුවත් අපිට අවශ්‍ය වැඩිදුරක් යාමයි. ඒ වැඩිදුර යාම සඳහා අපි එකට යමු කියා ආරාධනා කරමින් මා නතර වෙනවා.

මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයෝද, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන්, මැති ඇමතිවරුන්, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
 
 
 

78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී තිබේ.

“ගොඩනගමු ශ්‍රී ලංකා” මැයෙන් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද මේ වන විට සහභාගී වී සිටිය

අද උදෑසන 7.50ට පමණ අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේන මහතා නිදහස් චතුරස්‍රය වෙත පැමිණියේය.

මේ අතර, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ද උත්සව පරිශ්‍රය වෙත පැමිණ තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියව පිළිගනු ලැබීය.

78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට විශේෂ ජනාධිපති සමාවක් ප්‍රදානය කර ඇත.

ඒ අනුව මෙම විශේෂ ජනාධිපති සමාව සඳහා රැදවියන් 49 දෙනෙකු 2026.02.04 වන දින නිදහස් වීමට සුදුසුකම් ලබා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ඒ.සී ගජනායක මහතා පැවසීය.

ඒ අනුව පහත සදහන් පරිදි නියමයන් හා කොන්දේසි යටතේ මෙම විශේෂ ජනාධිපති සමාව සිරකරුවන් හට ප්‍රදානය කර ඇත.

• බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට සති 01 ක සමාවක් ප්‍රධානය කිරීම.

• රුපියල් 75,000 ට අඩු දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් රුපියල් මිලියන 15.5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

ඊට අදාළ චෙක්පත සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ස්වර්ණතිලක මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද (02) පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) කසුන් ජයසූරිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වෙළඳ) චානක දොඩංගොඩගේ යන මහත්වරුද එක්වූහ.

78 වැනි නිද­හස් දිනය නිමි­ත්තෙන් ආය­ත­න­වල, නිවෙ­ස්වල සහ වාහ­න­වල ජාතික කොඩිය ප්‍රද­ර්ශ­නය කරන ලෙස රාජ්‍ය පරි­පා­ලන ස්වදේශ කට­යුතු පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලා සිටියි.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් ඒ මහතා මෙලෙස ද කීවේය.

“සිය­ලුම රාජ්‍ය ගොඩ­නැ­ඟි­ලි­වල ජාතික කොඩිය ප්‍රද­ර්ශ­නය කළ යුතු බවට උප­දෙස් දී තිබෙ­නවා. 78 වැනි නිද­හස් සැම­රුම ආරම්භ කර­මින් අද (02) රාත්‍රියේ නිද­හස් මන්දි­ර­යේදී පරි­ත්‍රාණ ධර්ම දේශ­න­යක් පැවැ­ත්වෙ­නවා. එය බුද්ධ­ශා­සන අමා­ත්‍යාං­ශය විසින් සංවි­ධාන කර­නවා. 04 වැනිදා පෙර­ව­රුවේ ප්‍රධාන උත්ස­වය නිද­හස් චතු­රස්‍ර­යේදී පැවැ­ත්වෙ­නවා. මෙහිදී ඩී.එස්. සේනා­නා­යක පිළි­රු­වට පුෂ්පෝ­ප­හාර දක්ව­මින් ආග­මික වතා­වත් සිදු කිරී­මට නිය­මි­තයි. නිද­හස් උත්ස­වය කොළ­ඹට පම­ණක් සීමා නොවී පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල මට්ට­මින් ද සංවි­ධාන කර තිබෙ­නවා.”

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් හා මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රසාවක තනතුරු පිරිනැමීම අද වැනි නවම් පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

එමෙන්ම, බුද්ධ ශාසනයේ මූලික සංඝ නීති ඇතුළත් ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමද අද වැනි නවම් පොහොය දිනක සිදු වූ විශේෂ ධර්මික සිදුවීමක් ලෙස සටහන් වේ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට මාස තුනකට පෙර, විශාලා නුවර චාපාල චේතිය අසලදී අයු සංස්කාරය අත්හැරීම සිදු කළේද අද වැනි නවම් පොහොය දිනක බවද බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.

ප්‍රතිකාර මගින් වළක්වාගත හැකි අක්ෂි රෝගවලින් මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩා විඳින බවත්සැමට සාධාරණ අක්ෂි සත්කාර සහතික කිරීමට රජය කැපවන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සමුළුවේ ආරම්භක සැසිය අමතමින් පවසයි.

ශ්‍රි  ලංකාවේ පළමු ජාත්‍යන්තර සත්කාර දෘෂ්ටිවේදී සමුළුව වන (DIYATARIPPU- EYE CARE 2026 1st International Optometric Conference in Sri Lanka) අද (25) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

කොළඹ මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී ( Monarch Imperial Hotel)  පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුව අද (25) ආරම්භ වූ අතර හෙට (26) දක්වා පුරා දෙදිනක් පැවැත්වේ.

“දේශසීමා ඉක්මවා යන දැක්ම - ගෝලීය අක්ෂි සත්කාරය ඉදිරියට ගෙන යාම” (Vision Beyond Borders – Advancing Global Eye Care) යන්න තේමා කර ගනිමින් මෙම සමුළුව පැවැත්වේ.

මෙම ජාත්‍යන්තර සමුළුව අක්ෂි සෞඛ්‍යයේ සහයෝගීතාවය, ඉගෙනීම සහ නායකත්වය සඳහා සුවිශේෂී වේදිකාවක් සපයනු ලබන අතර, සම්මන්ත්‍රණය තුළින් සායනික දෘෂ්ටිමිතිය සහ දෘෂ්ටි චිකිත්සාව,දෘෂ්ටිමිතික පර්යේෂණවල දියුණුව, ළමා සහ වයෝවෘද්ධ අක්ෂි සත්කාර, මහජන සෞඛ්‍ය සහ ප්‍රජා අක්ෂි සේවා, අඩු දෘෂ්ටිය සහ පුනරුත්ථාපනය, දෘෂ්ටි විද්‍යාවේ තාක්ෂණය, අන්තර් විෂය අක්ෂි සත්කාර ආකෘති, දෘෂ්ටිමිතික අධ්‍යාපනය සහ වෘත්තීයභාවය පහත සඳහන් ක්ෂේත්‍රවල නොමිලේ ඉදිරිපත් කිරීම් සහ සම්මන්ත්‍රණ මෙන්ම වැඩමුළු ද ආවරණය කරයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු  ජාත්‍යන්තර අක්ෂි සත්කාර දෘෂ්ටිවේදී සමුළුව පිළිබඳව මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම ජාත්‍යන්තර සමුළුව අක්ෂි සෞඛ්‍ය සඳහා කැප වූ ගෝලීය වේදිකාවක් නිර්මාණය කිරීමට දායක වන බවත්,  මෙවැනි සමුළුවක් පැවැත්වීමට  පියවර ගැනීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කරන බව ද පැවසීය.

"දියතරිපු" යන නාමය ශ්‍රී ලංකාවේ අභිමානවත් ඉතිහාසය සංකේතවත් කරන බවත්, වසර 700 කට පෙර සිට ශ්‍රී ලංකාවේ දෘශ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා අක්ෂි සත්කාරයේ ඇති වටිනාකම පෙන්වා දෙන මෙම සමුළුව හුදෙක් ශාස්ත්‍රීය රැස්වීමක් නොවන බවත් එය මානව වර්ගයාගේ වටිනාම ඉන්ද්‍රියයන්ගෙන් එකක් වන පෙනීම ආරක්ෂා කිරීම සඳහා සාමූහික කැපවීමක් බව ද පැවසීය.

දෘශ්‍යාබාධිතභාවය සහ වළක්වා ගත හැකි අන්ධභාවය ලොව පුරා ප්‍රධාන මහජන සෞඛ්‍ය අභියෝග ලෙස පවතින බව ද දැනුවත්භාවය නොමැතිකම, ප්‍රතිකාර සඳහා  ප්‍රවේශය නොවීම හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් වළක්වා ගත හැකි හෝ ප්‍රතිකාර කළ හැකි අක්ෂි රෝගවලින් පීඩා විඳින බවද පෙන්වා දුන් අමාත්‍යවරයා පුළුල්, වැළැක්වීමේ සහ පුනරුත්ථාපන දෘෂ්ටි සේවා සමඟ ප්‍රජාවන් සම්බන්ධ කරමින්, අක්ෂි සත්කාර පද්ධතියේ පළමු සම්බන්ධතා ස්ථානය ලෙස මෙම විශේෂඥයින් පෙන්වා දිය හැකි බව ද පැවසීය.

මෙම සමුළුව පවත්වනූ ලබන්නේ සායනික දෘෂ්ටි විද්‍යාව, රෝග විනිශ්චය වැනි ක්ෂේත්‍රයේ වේගවත් දියුණුවක් සිදුවන තීරණාත්මක අවස්ථාවක බව ද අවධාරණය කළ අමාත්‍යවරයා සැමට සාධාරණ අක්ෂි සත්කාර සහතික කිරීමට අත්‍යවශ්‍ය බවද පැවසීය.

රජයක් ලෙස, අක්ෂි සෞඛ්‍යය විශ්වීය සෞඛ්‍ය ආවරණයේ අනිවාර්ය අංගයක් බව  තරයේ විශ්වාස කරන බවත්, අපගේ මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති මගින් අක්ෂි සත්කාර, පාසල් දෘෂ්ටි පරීක්ෂණ වැඩසටහන්, වැඩිහිටි අක්ෂි සෞඛ්‍යය සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා මට්ටම්වල දෘෂ්ටිමිතික සේවා ඒකාබද්ධ කිරීම වැඩි වැඩියෙන් අවධාරණය කරන බව ද පැවසීය.

රෝගීන්ට සහ ප්‍රජාවන්ට අවසානයේ ප්‍රතිලාභ ලබා දෙන ගෝලීය ජාල ශක්තිමත් කිරීම සඳහා රජයක් ලෙස ප්‍රතිපත්ති සම්පාදනය සහ නායකත්වය, සෞඛ්‍ය පද්ධතියට ඒකාබද්ධ වීම සහතික කරමින්, පළාත් සහ දිස්ත්‍රික් මට්ටම් හරහා ජාතික අක්ෂි සත්කාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම, සම්බන්ධීකරණය කිරීම, සම්පත් බෙදාහරිමින් උපකරණ, ඖෂධ සහ පරිභෝජන ද්‍රව්‍ය ඇතුළු අක්ෂි සත්කාර සේවා සඳහා මූල්‍ය, මානව සහ යටිතල පහසුකම් වෙන් කිරීම, ධාරිතා වර්ධනයට පියවර ගනිමින් අක්ෂි සත්කාර සේවකයින් එනම්, අක්ෂි වෛද්‍යවරුන්, හෙදියන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ යෙදවීම සහ අධීක්ෂණය යන කරුණු කෙරෙහි අවධානය යොමු කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අක්ෂි සත්කාර ආයතනය  (Eye Care Institute)  සහ සිලෝන් අක්ෂි දෘෂ්ටිවේදී සත්කාර  සංගමය (Ceylon Eye Care Optometric Association) මෙම ජාත්‍යන්තර සමුළුව සංවිධානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට  කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, ලෝක දෘෂ්ටිවේදී කවුන්සිලයේ සභාපති, ආචාර්ය රජීව් ප්‍රසාද්, අක්ෂි වෛද්‍ය විද්‍යාලයේ හිටපු සභාපති වෛද්‍ය කුසුම් රත්නායක, වෘත්තීය සංගම් සංවිධානයේ සභාපති ජයන්ත ගාල්ලගේ, දෘෂ්ටි විශේෂඥයින්  සහ අක්ෂි වෛද්‍යවරුන්, පර්යේෂකයින්, ශාස්ත්‍රඥයින්, කර්මාන්ත හවුල්කරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා කර්තෘ සංස­දය සහ ශ්‍රී ලංකා පුව­ත්පත් ආය­ත­නය එක්ව ගල්කිස්ස හෝට­ල­යේදී ඊයේ (20) පැවැත්වූ 2024 ජන­මාධ්‍ය විශි­ෂ්ටතා සම්මාන උලෙ­ළේදී ජීවිත කාල­ය­ටම එක් වරක් පම­ණක් පිදෙන සම්මාන හිමි කර ගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේ­දීන් වන උපාලි තෙන්න­කෝන් (වෙනු­වෙන් නිමල් ජය­කොඩි), පුෂ්පා ඉලං­ග­ති­ලක, ආර්.ඒ.ඊ රාමන්, ඩේලි­නි­වුස් හිටපු ක්‍රීඩා කර්තෘ සාදි තව්ෆික්, ඇලෙ­ක්සැ­න්ඩර් බාල­සූ­රිය මහ­ත්වරුන් ඡායා­රූ­ප­ය­කට පෙනී සිටි අයුරු.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

info@media.gov.lk

secretary@media.gov.lk


facebook
twitter