නවතම පුවත්

අලුතෙන් මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බවත් කිසිදු ආකාරයක ණයක් කිසිදු රටකින් කිසිදු විදේශ ආයතනයකින් ලබා ගෙන නොමැති බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, බුද්ධශාසන ,ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා ,සමාජ  ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 භාණ්ඩාගාර බිල්පත් , බැඳුම්කර කල් ඉකුත්වීමේදී ඊට සමානුපාතිකව ඒවා නැවත නිකුත් කිරීම මහ බැංකුවේ සාමාන්‍ය ක්‍රමවේදයක් වන අතර සිදු වී ඇත්තේ මෙලෙස නව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම බවත් හෙතෙම සඳහන් කළේය.

එසේ නොමැතිව අලුතෙන් ණය ගැනීමක් සිදුව නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අලුතෙන් මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බව පවසන අමාත්‍යවරයා එලෙස සිදු කළ නොහැකි බවත් එසේ සිදු කර ඇත්නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ අත්සන අලුතෙන් මුද්‍රණය වන මුදල් නෝට්ටුවල පැවතිය යුතු බවත් අවධාරණය කළේය.

රුපියල් බිලියනයක මුදල් අච්චු ගසා ඇති බවට සංසරණය වන  ප්‍රවෘත්තිය අසත්‍ය බවද  අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මෙහෙයවන මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 11 වන කණ්ඩායමේ සමාරම්භක උත්සවය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මණ්ඩල ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්වුණි.

මාධ්‍යවේදීන් සියවගකීම ඉටුකරනවා මෙන්ම තම වාර්තාකරණය පිළිබඳව වගවීම සිදුකළයුතු බවත් හොද මාධ්‍යකරුවන් බිහිකිරීමට වඩා හොද පුරවැසියන් බිහිකිරීම වැදගත් වනබවත්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මේවනවිට පැවැත්වෙන ළමා හිතකාමී වාර්තාකරණය පිළිබඳව ජනමාධ්‍යවේදීන් වඩාත් සංවේදී කිරීමේ වැඩමුළුවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ප්‍රකාශ කර සිටියේය. මෙරට සමාජ ,ආර්ථික ,දේශපාලන සංස්කෘතික වශයෙන් පරිවර්තනයට  ලක්කිරීමට මාධ්‍යවේදීන් ට මෙන්ම මාධ්‍ය ආයතනවලට හැකියාව පවත්නා බවත් ඒවෙනුවෙන් පෙළගැසෙන ලෙසත් ලේකම්වරයා මාධ්‍යවේදීන් ගෙන් ඉල්ලීමක් කළේය.එමෙන්ම දරුවන් දෙවියන්දුන් පඩුරක් ලෙස සිතිය යුතුබවත් ඔහුකීය.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ජාතික ගුවන් විදුලියේ සභාපති ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පැවසූයේ මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය ප්‍රවේශය විධිමත් වීම විය යුතුබවයි.අප බෙදාහරින තොරතුරු නිවැරදි විය යුතුබවත් එසේ නොවීම හේතුවෙන් රට අහිතක‍ර තැනකට තල්ලුවෙමින් ගොස් ඇතැයිද ඔහුකීය.වගකීම් සහගතභාවය මාධ්‍ය තුළ ඇති කළයුතුබවත් ඔහු අවධාරණය කළේය .

ළමා අපයෝජන වාර්තා කිරීමේදී මාධ්‍යවේදීන් සැළකිලිමත් වීම වැදගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්‍යක්ෂ ශානිකා මලල්ගොඩ මහත්මිය අවධාරණය කරයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මේවනවිට පැවැත්වෙන ළමා හිතකාමී වාර්තාකරණය පිළිබඳව ජනමාධ්‍යවේදීන් වඩාත් සංවේදී කිරීමේ වැඩමුළුවට එක්වෙමින් ඇය මෙම අදහස් පළකළාය .ළමා අපයෝජන වාර්තාකරණයේදී ළමයින් සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් මුදවාගැනීම අරමුණ වියයුතු බවත් ඇයමෙහිදී වැඩිදුරටත් කීය. ළමයා අනාගත සම්පතක් වන බැවින් ළමයාගේ උපරිම යහපත තහවුරු කළයුතු බවත් මහජනයාට නිවැරදි තොරතුරු ලබාදීමට මාධ්‍යවේදීන් ක්‍රියා කළයුතුබවත් ඇය මෙහිදී කීය.එමෙන්ම මෙවැනි සිදුවීම් වාර්තා කිරීමේදී ළමයාගේ පෞද්ගලික තොරතුරු හෙළිකිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් නොවන බවත් ඇයවැඩිදුරටත් ප්‍රකාශ කළාය.එනිසාවෙන් ළමා අපයෝජන වාර්තාකරණයේ බලපෑම කොතෙක්ද යන්න පිළිබඳව අවබෝධයක් මාධ්‍යවේදීන් සතුව  පැවතිය යුතුබවත් ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, පාඨමාලා සමායෝජක සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති උදිත ගයාෂාන් ගුණසේකර මහතා සහ පාඨමාලාවේ සම්පත්දායක විද්වතුන් සහභාගි වූ මෙම අවස්ථාවට පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා ඇතුළු මණ්ඩලයේ නිලධාරින් මෙන්ම පාඨමාලාලාභී සිසු සිසුවියන් හා දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ




 

 

ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස්‌ කළයුතු බවත්‌, පෞද්ගලික ආයතන හා සමඟ තරඟකාරිත්වය ජයග්‍රහණය කරමින්‌ ඉදිරියට යායුතු බවත්‌, බුද්ධ ශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත්‌ මහතා පැවසීය.
 
ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම්‌ ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩලය පත්‌ කරමින්‌ ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද(18) පැවති රැස්වීම්‌ සභාව අමතමින්‌ ඒ මහතා මේ බව පැවසීය.
 
පසුගිය කාලය තුළ චිත්‍රපට නිදහස්‌ කිරීමේදී ඒ සම්බන්ධයෙන්‌ පෞද්ගලික හිතවත්කම්‌ අදාළ වූ බවට චෝදනා තිබූ බවත්,නව අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සම්බන්ධයෙන්‌ මැදිහත්වී සාධාරණව චිත්‍රපට නිදහස්‌ කිරීමේ කටයුතු සිදුකළ යුතු බවත්‌ මෙහිදි අමාතාවරයා පෙන්වා දුන්නේය.
 
2004/2005 කාලය තුළ සිංහල, දෙමළ සහ මුස්ලිම්‌ යන සියලු වර්ග නියෝජනය කරමින්‌ සාමාජිකයන්‌ පත්කිරීමට කටයුතු කළ බවත්‌, දෙමළ සිනමාව කාර්මාන්තයක්‌ ලෙස මෙරට තුළ ඇති කිරීමට මෙතෙක් හැකිවී නොමැති බවත්,දෙමළ සිනමාව ඉදිරියේදී මෙරට තුළ කර්මාන්තයක්‌ ලෙස වර්ධනය විය යුතු බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ශ්‍රී ලංකා පදනම්‌ ආයතනය සම්බන්ධයෙන්‌ අදහස්‌ දක්වමින්‌ අමාත්‍යවරයා පැවසුවේ ඉකුත්‌ කාලය තුළ පදනම්‌ ආයනනයේ තිබූ දුර්වලතා වළක්වා ගනිමින්‌ වත්මන්‌ නිලධාරීන්‌ පදනම්‌ ආයතනය පාලනය කළ යුතු බවත්‌, සෘජු තීන්දු තීරණ ගතයුතු බවත්ය.
 
එහිදී ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙස රාජ්‍ය භාෂා කොමසාරිස්‌ ජනරාල්‌ ඩබ්‌. ප්‍රින්ස්‌ සේනාධිර මහතා පත්වු අතර සෙසු සාමාජිකයන්‌ ලෙස ආචාර්ය සුනිල්‌ විජේසිරිවර්ධන, එම්‌. ඩී. මහින්දපාල, ඩබ්‌. ජී. ටිතිර වික්මල්‌, නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා, එම්‌. එස්‌. කේ. ජේ. බණ්ඩාර, බී. එන්‌. දම්මින්ද කුමාර, වයි. අයි. ඩී.ගුණවර්ධන යන මහත්ම මහත්මින් පත් කළ බව ජනමාධ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
 
ශ්‍රී ලංකා පදනම්‌ ආයතනය වෙනුවෙන්‌ සභාපතිවරයා ලෙස එස්‌.එම්‌. සමන්‌ සමරකෝන්‌ මහතා තේරි පත්වූ අතර මහාචාර්ය කේ. එස්‌. වන්නිආරච්චි, ආචාර්ය ඒ. එම්‌. එස්‌. අතපත්තු, ඉංජිනේරු ඩී. එස්‌. කේ. එස්‌. ජයලත්‌, එම්‌.කේ. ප්‍රසංග චතුරංග, පී.ඩබ්‌. ඩී. නිසරංගනි පෙරේරා, ජී. එච්‌. වයි. මංජුල සිරිසෙංම, ජෙයචන්ද්‍රමූර්ති රජීවන්‌, ආචාර්ය එම්‌.කේ. ද පැස්කුවෙල්‌, අයි. ජී. සුලක්ඛනා කුමාරි යන මහත්ම මහත්මීන් සාමාජිකත්වයට පත්වුහ.
 

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවුඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබාගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබාදී තිබේ.

රජයේ අරමුදල් ලබා ගනිමින් සිදු කරන කාර්යයන් සංවිධානය කිරීමේදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු කිරීම අවශ්‍ය බවද ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය ආයතනවලට වැඩිදුරටත් දැනුම් දී තිබේ.

සියලු අමාත්‍යාංශ ලේකම්වරු, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රජයේ සංස්ථා මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ රජය සතු සමාගම් ප්‍රධානීන් වෙත ලිඛිතව ජනාධිපති ලේකම්වරයා විසින් මෙම දැනුම්දීම සිදු කර ඇත.

ලෝක තැපැල් දිනය නිමිත්තෙන් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ හෝ ඇමැති විජිත හේරත් මහතාගේ රුව ඇතුළත් මුද්දර නිකුත් නොකළ බවත් ඔවුන්ට සිහිවටන තිළිණයක් පමණක් පිරිනැමූ බවත් තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල්පති රුවන් සත්කුමාර මහතාගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව මේ බව කියා සිටියි.

මේ වනවිට මේ සිදුවීම විකෘති කරමින් සමාජ මාධ්‍යවල පුවතක් හුවමාරු වෙමින් පවතින බව තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ලෝක තැපැල් දින ජාතික සැමරුම් උලෙළ අගමැතිනියගේ හා විෂයභාර ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පෙරේදා (09) පැවැත්වුණු අතර එහිදී 2024 ලෝක තැපැල් දින සමරු මුද්දරය සහ විශ්ව තැපැල් සංගමයේ 150 වැනි සංවත්සර සමරු මුද්දරය නිකුත් කළ බව එහි දැක්වේ.

අනතුරුව මෙම ජාතික උත්සවයට සහභාගි වූ ප්‍රධාන ආරාධිතයන් දෙපල වෙත ඔවුන්ගේ රුව සහිත පුද්ගලකාරක මුද්දර ඇතුළත් සමරු තිළිණ දෙකක් ප්‍රදානය කිරීම සිදු කළ බව එම නිවේදනයේ තැපැල්පතිවරයා පෙන්වා දී තිබේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

තැපැල් දෙපාර්තමේන්තුව මඟින් කාණ්ඩ කිහිපයක් යටතේ මුද්දර නිකුත් කරනු ලබන අතර 2024 ලෝක තැපැල් දින සමරු මුද්දරය සහ විශ්ව තැපැල් සංගමයේ 150 වැනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන ලද මුද්දරය සමරු මුද්දර කාණ්ඩයටත් උත්සවයේ ආරාධිතයන් දෙපළ වෙත තිළිණ කරන ලද මුද්දර පුද්ගලකාරක මුද්දර කාණ්ඩයටත් අයත් වේ.

සැමරුම් සඳහා නිකුත් කරන මුද්දර සැමරුම් කාණ්ඩයටත් එදිනෙදා තැපැල් කටයුතු සඳහා භාවිතයට ගැනීම සඳහා විශාල සංඛ්‍යාවන්ගෙන් මුද්‍රණය කරනු ලබන මුද්දර නිත්‍ය කාණ්ඩයටත් අයත් වේ.

තවද පුද්ගලකාරක මුද්දර ඕනෑම පුද්ගලයකුට තමා කැමැති රුවක් යොදා මුද්‍රණය කර ලබා ගැනීමට හැකියාව ඇති අතර තැපැල් දෙපාර්තමේන්තුව සම්ප්‍රදායක් ලෙස විශේෂ අවස්ථාවන්හිදී පුද්ගලකාරක මුද්දර, සිහිවටන ලෙස ලබා දීම සිදුකරනු ලැබේ. 2024 ලෝක තැපැල් දිනය වෙනුවෙන් නිකුත් කරනු ලැබුවේ විශ්ව තැපැල් සංගමය මඟින් සියලු සාමාජික රටවල මුද්දර සඳහා යොදා ගැනීමට නිර්මාණය කරන ලද චිත්‍ර ආකෘති ඇසුරින් නිර්මාණය කරන ලද මුද්දර දෙකක් වන අතර එම මුද්දර සහිත මුල් දින කවර නිකුත් කරන ලදි.

විශිෂ්ට ජනමාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා ජනමාධ්‍යවේදීන් සිදු කරනු ලබන මෙහෙවර ඇගැයීම සහ ඔවුන් දිරිගැන්වීම වෙනුවෙන් ‘ජනාධිපති මාධ්‍ය සම්මාන 2024’ උලෙළ දෙවැනි වරටත් පැවැත්වීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී. පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී, වෙබ් අඩවි, මාධ්‍ය පර්යේෂණ සහ පාසල් මාධ්‍ය යන ක්ෂේත්‍රයන් සඳහා සම්මාන 50ක් ද මාධ්‍ය ක්ෂේත්‍රය උදෙසා සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණයන් 04 දෙනකුට පිදෙන යාවජීව සම්මානය සහිතව මුළු සම්මාන 54ක් 2023 වසරේ නිර්මාණ අගයමින් පිරිනැමීමට සැලසුම් කර ඇත.

2023.01.01 වැනි දින සිට 2023.12.31 වැනි දින දක්වා පළ වූ, විකාශනය කරන ලද නිර්මාණ පමණක් සලකා බලනු ලබන අතර සම්මාන සඳහා ඉදිරිපත් කරනු ලබන නිර්මාණ ස්වතන්ත්‍ර ඒවා විය යුතුය. හැකිතාක් ආයතන ප්‍රධානීන් මඟින් අයදුම්පත් එවීමට කටයුතු කළ යුතු අතර, ස්වාධීනව තමාම සහතික කර වුව ද අයදුම්පත් යොමු කළ හැකිය.

අමාත්‍යාංශය මඟින් පත් කරන ලද වෘත්තීය සහ විෂයානුගත ප්‍රවීණත්වයෙන් යුත් අනු කමිටු මඟින් සම්මාන සඳහා නිර්දේශ කරන නිර්මාණ ප්‍රධාන කමිටුව මඟින් තෝරා ගන්නා අතර, එම තීරණය අවසන් තීරණය වේ. මේ සඳහා 2024.10.08 වැනි දින සිට 2024.10.30 වැනි දින දක්වා නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර, වැඩි විස්තර සහ අයදුම්පත්‍රය www.media.gov.lk වෙබ් අඩවියෙන් හෝ අමාත්‍යාංශයට පැමිණ ලබාගත හැකිය.

අදාළ නිර්මාණ අතිරේක ලේකම් (සංවර්ධන, සැලසුම් හා තොරතුරු), බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 ලිපිනයට එවිය යුතු අතර, නිර්මාණ බහා එවන ලිපි කවරයේ වම් පස ඉහළ කෙළවරේ නිර්මාණය අදාළ වන ක්ෂේත්‍රය සහ තරග අංශය පැහැදිලිව සඳහන් කළ යුතුය.

වැඩිදුර විස්තර 011-2513737, 011-2513459 දුරකතනය ඔස්සේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන අංශය ඇමතීමෙන් ලබාගත හැකිය.

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා පූර්ණ සහාය ලබා දීමට සහතික වෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා අතර හමුවක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනැමූ තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සඳහා චීනය අඛණ්ඩව සහාය දක්වන බවත්, ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් චීන රජය අඛණ්ඩව කැපවී සිටින බවත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සහයෝගීතා ව්‍යාපෘතිවල වැදගත්කම හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සඳහා සහාය දැක්වීම සඳහා චීන සංවර්ධන බැංකුව (CDB) සහ EXIM බැංකුවේ ක්‍රියාකාරී මැදිහත්වීම පිළිබඳව ද මෙහිදී ඔහු විසින් අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා සහාය දැක්වීම වෙනුවෙන් ප්‍රධාන වාණිජ සහ ද්විපාර්ශ්වික ණය ලබා දෙන්නන් ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පූර්ණ සහාය ලබා දෙන බවට ද තානාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහතික විය.

 

ලෝකය ළමයින්ටයි……
ඔවුන්ගේ ලෝකය අපේ දෑතින් ගොඩ නගමු…..

මේ සහශ්‍රකයේ දරුවන් මුහුණ දෙන අභියෝග ලෙස දිළිඳුකම, මන්දපෝෂණය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව, පරිසර විනාශය, අධ්‍යාපනයේ අසමතුලිත බව, සමාජ අවස්ථාවල අසමාන බව, මත්ද්‍රව්‍ය මෙන්ම තාක්ෂණය අනිසි ලෙස භාවිතයේ ගොදුරු බවට පත්වීම යනාදිය අපි හඳුනාගෙන ඇත්තෙමු.

එසේම දරුවන්ගේ මනෝ සමාජයීය සංවර්ධනයට බාධා කරන සමාජයීය සාධක මෙන්ම ආතතියෙන් පිරුණු විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව යනාදී අගතීන් ගෙන් වත්මන් ළමා පරපුර මුදවාගෙන දරුවන්ට හිමි ළමා ලෝකය නැවත දරුවන්ට දිනා දීම අපගේ පුනරුද යුග කාර්යයේ මාහැඟි අරමුණයි.
කයින් මනසින් මෙන්ම අධ්‍යාත්මයෙන්ද නිරෝගී සුපසන් ළමා පරපුරක් බිහිකිරීම මඟින් අනාගත ලොව දිනන නිදහස් පරිකල්පනයකින් යුතු නිවහල් උදාර මිනිසා නිර්මාණය වන බව අපි විශ්වාස කරන්නෙමු.

ඒ සඳහා අවශ්‍ය ආර්ථික නිදහස මෙන්ම මානව දයාව, අන්‍යෝන්‍ය විශ්වාසය, ගරුත්වය සහ පිළිගැනීමෙන් යුක්ත සමාජය නිර්මාණය කිරීම සහ ස්වභාවික සම්පතින් සපිරි පාරිසරික උරුමය රැක දීමටත් අවැසි දේශපාලනික පරිවර්තනය අපි ප්‍රමුඛ කාර්යය සේ සළකා ඉටුකිරීමට කැපවෙමු.
එකී වගකීමට අපි සැම වගවෙමු !

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2024 ඔක්තෝබර් 01 දින

”‍අපේ අනාගතය සඳහා කරන ආයෝජනයන් යනු අපේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීමයි”‍ යන මෙවර ජාත්‍යන්තර ළමා දින තේමාව, පාඨයකට සීමා නොකර යථාර්තයක් කිරීම අප රජයේ අරමුණයි. රටේ සෑම දරුවකුට ම උසස් තත්ත්වයෙන් යුතු නිදහස් අධ්‍යාපනයක් ලබා දීමට අපි කැප වී සිටිමු. ආර්ථික වශයෙන් ශක්තිමත් දේශයක දරුවන් දැනුමෙන් සන්නද්ධ කිරීම අපගේ දැක්මයි.

එමෙන්ම, අධ්‍යාපන ආයතන ද ඇතුළුව සියලු‍ ස්ථානවල ළමයින්ට මුහුණ දීමට සිදු වන කායික හා මානසික හිංසනයන්ට රජයක් ලෙස අපි තරයේ විරුද්ධ වෙමු. ආදරය, කරුණාව, රැකවරණය සහ සතුට පිරුණු පරිසරයක හැදී වැඩෙන දරුවන් දයානුකම්පාව, අවබෝධය සහ අන්‍යෝන්‍ය ගෞරවය සහිත පරම්පරාවක් නිර්මාණය කරයි. සෑමවිටම දරුවන්ගේ උපරිම යහපත වෙනුවෙන් අපගේ ප්‍රමුඛතාවය ලබා දෙන්නෙමු. 
අපි වැඩිහිටි දිනය සමරන මොහොතේ, අපේ රටේ ප්‍රගතියට මෙතරම් දායක වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අපි ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු. 2024 ලෝක වැඩිහිටි දින තේමාව වන “ගෞරවාන්විතව වයස්ගත වීම: ලොව පුරා වැඩිහිටි පුද්ගලයින් සඳහා සත්කාර සහ ආධාරක පද්ධති ශක්තිමත් කිරීමේ වැදගත්කම”, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සමාජ ආරක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා වන අප රජයේ ඇති කැපවීම සමඟ සමපාත වෙයි. වැඩිහිටියන් සඳහා, විශේෂයෙන් ශ්‍රම බලකායට දායක වෙමින් තම ජීවිත ගත කළ අය වෙනුවෙන් විශ්‍රාම ප්‍රතිලාභ වැඩිදියුණු කිරීමටත් සෞඛ්‍ය සේවා සඳහා නොමිලේ සහ සමාන ප්‍රවේශයක් සහතික කිරීමටත් අපගේ රජය කැපවී සිටියි. මේ වන විට නිවෙස් තුළ වැටුප් නොලබන සුරැකුම් කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද වැඩි වැඩියෙන් දායක වීමට සිදු වී ඇතැයි යන කරුණ පිළිබඳව අපි ඉමහත් ලෙස සංවේදී වෙමු. සුරැකුම් කටයුතුවල වගකීම සාධාරණ ලෙස බෙදා ගැනීම සඳහා පවුල්වලට ප්‍රමාණවත් සහයෝගයක් ලැබෙන බවට සහතික කිරීම අප රජයේ වගකීමයි.
අපගේ දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ යහපැවැත්ම සඳහා වැඩ කිරීමට අපි අත්වැල් බැඳ ගනිමු. සියලු‍ ශ්‍රී ලාංකිකයන් සඳහා පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ගොඩනැගීමට අපි දිවිහිමියෙන් කැප වී සිටිමු.

මෙරට යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම නව රජයේ බලාපොරොත්තුව බවත්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය ප්‍රකාරව බුදුදහම ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමට නව රජය  බැඳී සිටින බවත්  ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ජනමාධ්‍ය අමාත්‍යංශයේදී  අද (25) සිය ධූරයේ  රාජකාරි ආරම්භ කරමින්  අමාත්‍යවරයා මේ බව පැවසීය. 

එසේම අනෙකුත් සියලු ආගම් ඇදහීමේ අයිතිය සහ එම නිදහස ආරක්ෂා කිරීම වගකීමක් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා  ආගමික සහජීවනය ඇති කිරීමට ජාතික සමගිය ගොඩනැගීමට මෙරට යහපත් දේශපාලන සංස්කෘතියක්  ඇති කිරීම නව රජයේ බලාපොරොත්තුව බවද,  මෙරට ජනතාව තැබූ විශ්වාසය  ආරක්ෂා කරන බවද පෙන්වා දුන්නේය.

ඒ සඳහා ජනාධිපතිවරයාගේ මග පෙන්වීම අනුව සාමූහික උත්සහයන් තුළින් මෙම අරමුණු ළඟා කර ගැනීමට අවශ්‍ය මාධ්‍ය වගකීම නියමාකාරව ඉටු කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ජනමාධ්‍ය අමාත්‍යංශයට අමතරව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු යන අමාත්‍යාංශවල කැබිනට් අමාත්‍යවරයා වන්නේද  විජිත හේරත් මහතායි.

 
 

 

ස්වාමීන්වහන්ස, පූජකතුමණි, දෙමාපියණි, සහෝදර සහෝදරියණි, දූ දරුවණි,

දශක කිහිපයක් තිස්සේ අප නැගූ හඬට සෙමෙන් සෙමෙන් නමුත්, තිරසාර ලෙස සවන් දී අප ඉදිරිපත් කළ වැඩපිළිවෙලට හුස්ම පෙවූ මේ රටේ සියලු දෙනාට ප්‍රණාමය පුද කරනවා. ඔබ ලබා දුන් මේ ජයග්‍රහණය තවත් ශක්තිමත් වන්නේ අපගේ වැඩපිළිවෙලට එකඟ නොවූ පිරිස් පවා, අප ලබාගත් ජයග්‍රහණයෙන් සතුටට පත්වෙන්නේ නම් පමණක් බව අප විශ්වාස කරනවා. ඒ නිසා මේ ජයග්‍රහණයේ අයිතිය අප රටේ සමස්ත පුරවැසියන්ටම පිරිනැමීමට මා කැමතියි.

අපගේ දේශපාලන ව්‍යාපාරය පිළිබඳව විශ්වාසය තබා, විවිධ අවලාද, අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු බැහැර කරමින්, අලුත් අත්හදා බැලීමකට බිය නොවී, අපගේ දේශපාලන ව්‍යාපාරයට රටේ පාලන බලය ලබා දීමට තරම් සුවිශාල අධිෂ්ඨානයක් තිබූ ජනතාව ඇතුළු සමස්ථ ජනතාවටම අප සමග එක්ව මේ රට ගොඩනැංවීමේ කාර්යභාරයට උරදීමට ශක්තියක් ඇති බව අපගේ විශ්වාසයයි.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් අපට පෙරත් අප සමගත් විවිධ කැපකිරීම් කරමින් සමහර විට ජීවිත පවා පරිත්‍යාග කරමින් කටයුතු කළ පරම්පරා ගණනක වටිනා මිනිසුන් ගැහැණුන් සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනු ලබනවා. මෙම ජයග්‍රහණයත් ඒ සමග ගොඩනගන පොහොසත් රටත්, ඔවුන් වෙනුවෙන් කරන ගෞරවයක් ලෙස මා දකිනවා.

මෙරට ගොඩනැගීමේ කාර්යභාරය සාමූහික ප්‍රයත්නයක් ලෙස ඉටු කිරීමේ හැකියාව අප තුළ තිබෙනවා. ඒ සඳහා ඉතාම දක්ෂ කණ්ඩායමක් අප සතුව ඉන්නවා. අපි සියලු දෙනාට ඒ පිළිබඳව දැඩි අධිෂ්ඨානයක් තිබෙනවා.

සෑම ක්ෂේත්‍රයකම ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමක් දක්වා ඔසවා තැබීම අවශ්‍ය බවට අප විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් දිගු කාලීන හා මධ්‍ය කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර, අනුගමනය කළ යුතු කඩිනම් ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ කෙටි කාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අප කටයුතු කරනවා.

අප අපෙක්ෂා කරන වෙනස සඳහා, සැලකිය යුතු කාලයක් තුළ, පියවර රැසක් ගැනීමට තිබෙනවා. එහෙත් ඒ සියල්ල රැඳී පවතින්නේ වර්තමාන ආර්ථිකය තුළ ස්ථාවරත්වය හා විශ්වාසය ගොඩ නැංවීමෙන් පමණයි. ඒ සඳහා, ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර, විස්තීරණ ණය පහසුකමට අදාල කටයුතු ඉදිරියට ගෙන යාමට අප අදහස් කරනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල ණය පාර්ශව සමග සාකච්ඡා කර, ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මනින් නිම කර, අදාල ණය සහන ලබා ගැනීමට අප කටයුතු කරනවා. ඒ සඳහා මේ රටේ ජනතාව වගේම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයත් ලබා ගතහැකි බවට අප විශ්වාස කරනවා. ඒ සහයෝගය තුළින් අපට සාමූහිකව ජයග්‍රහණය කළ හැකි බව අපි විශ්වාස කරනවා.

අපට බලය ලබා දීමේ දී මහජනතාව තුළ තදින් මුල් බැසගත් සංකල්පයක් වූයේ “වෙනසක්” ඇති කිරීමයි. මෙතුලින්, වෙනසක් යන්නෙන් මෙරට පුරවැසියා අපේක්ෂා කරන ලද වෙනස්කම් අතර එක් ප්‍රධාන කරුණක් වන්නේ දේශපාලන සංස්කෘතියේ පවතින සියලු ආකාරයේ අයහපත් ගති ලක්ෂණ වෙනස් කිරීමයි. අද වන විට එය අප භාවිතයෙන් ඔප්පු කරලා තියෙනවා. මෙරට සියලුම ආකාරයේ මැතිවරණයන් සලකා බැලුවද පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුනු එකම මැතිවරණය පැවැති ජනාධිපතිවරණය ඉතිහාසයට එක් කිරීමට අප සමත්වීම, මෙරට ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සනාථ කිරීමකි. මෙම තත්වය තහවුරු කරමින් ස්ථාවර කිරීම අපගේ අරමුණයි.

දේශපාලනයේදී බලය ලබා ගැනීම වෙනුවෙන් සංවිධානය වීම සහ ඒ වෙනුවෙන් උපාය මාර්ග ගැනීම ඕනෑම කෙනෙකුට තිබෙන අයිතියක්. දේශපාලනය කරන වෙලාවට දේශපාලනය කිරීමත්, රට ගොඩනැගීම උදෙසා කටයුතු කළ යුතු වෙලාවට ඒ වෙනුවෙන් සාමූහිකව එක්වීමේ වැදගත්කමත් මම මේ මොහොතේ අවධාරණය කරනවා. ඒ සඳහා අප නායකත්වය ලබා දෙනවා.

සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා, මැලේ වේවා, මේ සියලු දෙනාටම “අප ශ්‍රී ලාංකික පුරවැසියන්” කියා අභිමානයෙන් ජීවත් විය හැකි ප්‍රායෝගික රටක් නිර්මාණය වන තුරු මේ රට අසමත් වනවා හැර, සමත් වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වන ව්‍යවස්ථාමය, ආර්ථක, දේශපාලනික ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට අප කිසිසේත්ම පැකිලෙන්නේ නෑ.

තමන්ගේ ජාතිය, ආගම, පංතිය, කුලය අනුව මේ රට වෙන් වුනු යුගය සහමුලින්ම අවසන් කර, විවිධත්වයට ගරු කරන ශ්‍රී ලාංකික ජාතියක් හැටියට මේ රට ගොඩනැංවීමේ නොවෙනස්, ස්ථිරසාර වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා.

මේ සියලු කටයුතු සිදු කිරීම වෙනුවෙන් ඒවා මෙහෙයවීමට අවශ්‍ය කාර්යක්ෂම හා අවංක නිලධාරීන් පත් කිරීමේ පියවරයන් රැසක් අප මේ වන විටත් අවසන් කර තිබෙනවා. මහජන සේවාව බිඳ නොවැටෙන හා පුරවැසියන් කෙරෙහි අයහපත් අන්දමේ බලපෑමක් ඇති නෙවෙන පරිදි, අපේක්ෂිත වෙනස්කම් කරා, පියවරෙන් පියවර අප ඉදිරියට යනවා.

නීතිගරුක රටක් නිර්මාණය කරමින් විනය ගරුක සමාජයක් ඇති කරන්න අපි කැපවෙනවා. සියලු පුරවැසියන්ගේ සමාජ ආරක්ෂාව තහවුරු කරනවා. නීතිය ඉදිරියේ සැවොම සමානයි යන සංකල්පයට යළි ජීවය ලබා දෙනවා.

අප රට ගොඩ නැංවීමේ දී රාජ්‍ය සේවයට විශාල කාර්යභාරයක් පැවරෙන බව අප විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මහජනතාවට අභිමානය සැලසෙන, රජයේ ඉලක්ක කරා හඹා යන රාජ්‍ය සේවයක් ඇති කරනවා. කාර්යක්ෂම අවංක සහ ජනතාවාදී රාජ්‍ය සේවයක් සථාපිත කිරීම වෙනුවෙන් අපේ කැප වෙනවා.

මේ රටේ මහ ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම අපගේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් ප්‍රායෝගික වැඩ පිළිවෙලක් අප ක්‍රියාවලට නංවනවා. ජනතාව මත පැටවී ඇති අධික ජීවන බර අවම කිරීම සඳහා අප පියවර ගන්නවා.

මේ රටේ සෑම මවකට සහ පියකුට තමන්ගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් සාංකාවක් ඇතිවෙන්න ඉඩක් තියන්නේ නැහැ. තමන්ගේ දරුවට හොඳ පාසැලක්, හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඒ හැම දෙමාපියකුටම අයිතියක් තියෙනවා. සියලු දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදීමට කැපවෙමින් මතු පරම්පරාව සුරක්ෂිත කරන්න අපි කැප වෙනවා. දැනුම, ආකල්ප හා කුසලතා දියුණු කිරීම මඟින් අප රටේ තරුණ පරම්පරාවට විශ්වාස කළ හැකි අනාගතයක් නිර්මාණය කරනවා.

ඕනෑම රටකට අප ගිය විට ගුවන් තොටුපොළේ ස්වභාවයෙන්ම රට ගැන යම් චිත්‍රයක් මවා ගන්නට පුළුවන්. එහි පිළිවෙල , මිනිසුන්ගෙ හැදියාව, ක්‍රියාකාරිත්වය , හැසිරීම් රටාව මේ ආදී සියල්ල තුළින් ගම්‍ය කරන්නේ ඒ රටේ ස්වභාවය. ඉන් ඔබ්බට පරිසරයේ පිරිසිදු බව, පාරවල් වල වාහන යන ආකාරය, වැඩිහිටියන්ට සලකන ආකාරය, ආගන්තුක සත්කාර ඒ වගේම සත්තුන්ට සලකන ආකාරය පවා එමගින් සනාථ කර ගන්න පුලුවන්. අප රටේ ප්‍රතිරූපයත් ඒ අකාරයෙන්ම පැහැදිලිව පෙනෙන ආකාරයට ගොඩ නැංවීමට අප සැලසුම් සකස් කර අවසන්. ඒ ගොඩනැගීම වෙනුවෙන් කෙටි කාලීන මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග ගන්නවා.

මේ රටේ විදෙස් ගමන් බලපත්‍රයට ලෝකය ගරු කරන තත්වයකට රට ගොඩ නංවන්නට අවශ්‍යයි. මේ රටේ පුරවැසියන්ට ‘මම ශ්‍රීලාංකිකයෙක්’ කියලා අභිමානයෙන් කියන්න පුලුවන් රටක් නිර්මාණය කරන්න අවශ්‍යයි . “මේ රටේ පුරවැසියෙක් වීම අභිමානයක්!” කියලා අපේ රටේ ජනතාවට හිතෙන තැනට මේ රට පත් කරන්න අවශ්‍යයි. ඊට ඔබේ සාමූහික දායකත්වය අවශ්‍යයි.

සියලු පුරවැසියන්ට සමාජ සාධාරණත්වය හිමිවන රාජ්‍යයක් වෙනුවෙන් අපි වඩාත් වගකීම් සහගත ලෙස දායක වෙනවා.

දැනුම කුසලතාවය අධ්‍යාපනය හා ව්‍යවසායකත්වය දිරි ගන්වන වැඩපිළිවෙළක් තුළින් අපගේ ළමා හා තරුණ පරපුරට විහ්වසනීය අනාගතයක් අප විසින් නිර්මාණය කරනවා.

අපේ රටේ ජනගහනයෙන් සියයට පනස් දෙකක් ඉක්මවන කාන්තා ප්‍රජාව මෙරට ආර්ථිකයේ සහ සමාජ ක්‍රියාවලියේ සුවිශාල දායකත්වයක් දක්වන පිරිසක්. කාන්තා නියෝජනය සම්බන්ධව සියලු දෙනාට එක්ව ගතහැකි ක්‍රියාමාර්ග වෙතට අපි යොමු වෙනවා. සියළු ආයතනයන්හි කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමට අප විසින් පියවර ගන්නවා. ඒ සඳහා වන අපගේ කැපවීමේ ආදර්ශය සනාථ කරමින් දැනටමත්, අපගේ අග්‍රාමාත්‍යධූරයට කාන්තාවක් පත් කර තිබෙනවා.

මෙරට ජනගහනයෙන් විශාල පිරිසක් ආබාධ සහිත, සුවිශේෂ සමාජ ආරක්ෂණයක් ලැබිය යුතු පිරිසක්. එම පිරිස වෙනුවෙන් ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් අප විසින් යෝජනා කර තිබෙන අතර එහි කෙටි කාලීන ක්‍රියාමාර්ග කඩිනමින් ආරම්භ කරනවා.

අප යන ගමනේදී මේ සමාජ දේහයේ සියලු කණ්ඩායම් මග නොහරින බවට අප වග කියනවා. එකිනෙකාගේ අනන්‍යතාවයන්ට ගරු කරමින් ඒවා රටේ ප්‍රගතිය උදෙසා සාධනීය ලෙස යොදා ගැනීම වෙනුවෙන් අපේ දායකත්වය අපි ලබාදෙනවා.

මහජන පරමාධිපත්‍යය පිළිබඳව අප ඉතාම දැඩිව විශ්වාස කරන අතර ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැප වෙනවා.

අප පිළිබඳව සැක සංකා හේතුවෙන් අවිනිශ්චිතතාව ඇති අය සිටින බව මා දන්නවා. මාගේ ක්‍රියාවන් තුළින් ඔබගේ විශ්වාසය දිනා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඔබගේ සාධනීය විවේචන මම පිළිගැනීමට සූදානම්. එමෙන්ම අප එක්ව ගොඩනගන අනාගතයේ කොටස්කරුවන් වීමට ඔබව ධෛර්යමත් කරනවා. අප අතර පවතින වෙනස්කම් අතික්‍රමණය කළ හැකි නම්, ඔබ හා අප අතර ඇති ඉලක්ක සමාන බව ඔබ වැටහෙනු ඇතැයි මා විශ්වාස කරනවා. එමගින් රට මුහුණ දී ඇති අර්බුදය පිළිගැනීමටත්, එතුළින් ඉදිරියට යාමට අවශ්‍ය උපාය මාර්ග එක්ව සැලසුම් කිරීමටත් හැකි වෙනවා. මේ රට ගොඩනැගීම උදෙසා සාධනීය ලෙස අවංකව සම්බන්ධ වන සියලු දෙනාට අපගේ දොරටු විවෘතයි.

ජනතාවගේ ජන වරමට අනුරූපී වන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. පවතින පාර්ලිමේන්තුව ජනතාවගේ ජන වරමේ විකෘතියක්. ඒ අනුව මා, ඊයේ දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගත්තා. ව්‍යාවස්තානුකුලව රට ගෙන යාම සදහා අපගේ පාර්ලිමේන්තු නියෝජනයට අනුරූපී වන ආකාරයට කැබිනට් මණ්ඩලයක් ද පත් කර ගත්තා.

අලුත් ඉරක් පායන හැම දවසකම මේ රටේ සියලුම මිනිසුන් දකින සිහිනයක් තිබෙනවා.

ඒ අදට වඩා හොද හෙටක්!

එහෙත්,

දශක ගනනාවක් තිස්සේම එය සිහිනයක් පමණක් වූ බව ඔබත්, මමත් දන්නා කරුණක්.

අවස්‍ථාවාදය, බලලෝභය, ඒකාධිපතිවාදය හා ජාතිවාදය හේතුවෙන් අපේ රට තවමත් ඉහලින් ඔසවා තබන්නට අපට බැරිවෙලා තිබෙනවා..!

එහෙත්, දැන් අපට ඉතිහාසයේ අත්හල නොහැකි අවස්‍ථාව ලැබී තියෙනවා. අපි සියලු දෙනා එකට එක්ව, විවිධත්වයන් දරාගන්නා පොහොසත් ලස්සන රටක් ගොඩනගමු.

ස්තුතියි

තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter