පොසොන් පුන් පොහෝ දිනය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කරන හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපය මෙවරත් මෙම 21, 22 සහ 23 දිනවල පැවැත්වේ. දියගම, පිටිපන, දාම්පේ, මීගොඩ, ගොඩගම, පනාගොඩ, හෝමාගම ආවරණය වන පරිදි කිලෝමීටර 13ක් පුරා පැතිරෙන පරිදි මෙවර පොසොන් කලාපය සංවිධානය කර ඇත. වැඩිහිටියන් මෙන්ම පාසල් හා දහම් පාසල් සිසුන් සඳහා මෙහිදී පහන් කූඩු තරග පැවැත්වෙන අතර සියලු දෙනාටම සහභාගි විය හැකි පරිදි වැඩිහිටි පහන් කූඩු තරගය පැවැත්වේ. පාසල් හා දහම් පාසල් දරුවන් වෙනුවෙන් ශිෂ්‍ය පහන් කූඩු තරගය සංවිධානය කෙරේ. පොසොන් කලාපය සඳහා මුද්‍රිත හා ඩිජිටල් අනුග්‍රාහකත්වය ලේක්හවුස් ආයතනය මඟින් සපයනු ලැබේ.

විදත් මාධ්‍ය අනුග්‍රහය ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය සහ ජාතික ගුවන් විදුලිය මඟින් සපයනු ලැබේ. මේ පහන් කූඩු තරගයේ ජයග්‍රාහකයන් සඳහා රුපියල් ලක්ෂ 40ක මුදල් තෑගි පිරිනැමීමට කටයුතු යොදා තිබේ. හෝමාගම ශාසනාරක්ෂක බලමණ්ඩලය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම ප්‍රාදේශීය සභාව, හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව ධර්ම රශ්මි පොසොන් කලාපය සංවිධානය කරයි.

වැඩිහිටියන් සඳහා වන පහන් කූඩු තරගයේ ප්‍රථම ස්ථානයට රුපියල් ලක්ෂ 10කුත් දෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂ 5කුත් තෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂ 2කුත් වශයෙන් මුදල් ත්‍යාග පිරිනැමේ. ඊට අමතරව 4 වැනි ස්ථානයේ සිට 14 වැනි ස්ථානය දක්වා රුපියල් 50,000ක් බැගින් ද 15 වැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය දක්වා රුපියල් 25,000ක් බැගින් ද හිමි වේ.

ශිෂ්‍ය පහන් කූඩු තරගයේ ප්‍රථම ස්ථානයට ලක්ෂ 5ක්, දෙවැනි ස්ථානයට ලක්ෂ 2ක් හා තෙවැනි ස්ථානයට ලක්ෂයක් බැගින් හිමි වන අතර 4 වැනි ස්ථානයේ සිට 14 වැනි ස්ථානය දක්වා රුපියල් 30,000ක් හිමි වේ. 15 වැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය දක්වා රුපියල් 20,000ක් හිමි වේ. පොසොන් කලාපය නැරඹීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් පිටිපන දැනුම කේන්ද්‍රීය නගරයේදී බත් දන්සලක් පැවැත්වෙන අතර හරිත සරසවි භූමියේදී සෑම දිනකම රාත්‍රී 7 සිට භක්ති ගීත ප්‍රසංගයක් පැවැත්වෙයි. ජාතික රූපවාහිනිය හා ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්සේ මෙම ප්‍රසංගය දෛනිකව විකාශය කෙරේ. ලේක්හවුස් පුවත්පතවල පළ වන කූපනය පුරවා එවීමෙන් ධර්ම රශ්මි පොසොන් පහන් කූඩු තරගය සඳහා ඉදිරිපත් විය හැකිය. වැඩි විස්තර 077-5448485- දර්ශ හෝ 0777207371 – ජයමහ ඇමතීමෙන් ලබාගත හැකිය.