ජනා­ධි­පති පරි­සර සම්මාන උලෙ­ළේදී පරි­සර වාර්තා­ක­ර­ණය වෙනු­වෙන් සිළු­මිණ පුව­ත්පතේ මාධ්‍ය­වේ­දිනී සුරේකා නිල්මිණි ඉලං­කෝන් හා විශේ­ෂාංග කර්තෘ සුභා­ෂිණී ජය­රත්න රන් හා රිදී සම්මාන ද්විත්ව­යෙන් පිදුම් ලැබූහ. ලෝකඩ සම්මා­නය මව්බිම පුව­ත්පතේ මාධ්‍ය­වේ­දිනී සවනි ශේශා­ධිට හිමි විය.

මෙම පරි­සර සම්මාන උලෙළ පසු­ගි­යදා (28) ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැති අතර දේශ­ගු­ණික විප­ර්යා­ස­ව­ලට මුහු­ණ­දී­මේදී කලා­පීය නාය­ක­ත්වය ගැනී­මට ශ්‍රී ලංකාව සූදා­නම් බවත් මේ වන විට ඒ වෙනු­වෙන් ශ්‍රී ලංකාව ජාත්‍ය­න්ත­රය තුළ පුළුල් වැඩ කොට­සක් ඉටු කර­මින් සිටින බවත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා එහිදී ප්‍රකාශ කර සිටි­යේය.

අද වන විට දේශ­ගු­ණික විප­ර්යාස ගෝලීය ප්‍රශ්න­යක් බවට පත්ව ඇති අතර එය ආර්ථික ප්‍රශ්න­යක් බවට පත්ව ඇති බව ද ජනා­ධි­ප­ති­ව­රයා පැවැ­සීය. එබැ­වින් අද වන විට සෑම ක්ෂේත්‍ර­ය­ක­ටම පරි­ස­ර­යත් දේශ­ගු­ණික විප­ර්යා­සත් බල­පෑම් එල්ල කර ඇති බැවින් සියලු දෙනා එක්ව කට­යුතු කිරීමේ අව­ශ්‍ය­තාව මතුව ඇති බව ද ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කළේය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ බව සඳ­හන් කළේ කොළඹ බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ ශාලා­වේදී පසු­ගි­යදා (28) පැවැති 2024 ජනා­ධි­පති පරි­සර සම්මාන උලෙළ අම­ත­මිනි.

 

එහිදී අද­හස් දැක්වූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සඳ­හන් කළේ ආර්ථික ගැට­ලු­කාරී තත්ත්වය හේතු­වෙන් කෙන්යාව අද විශාල අර්බු­ද­ය­කට මුහු­ණදී සිටින අතර මිනිස් ඝාතන ද සිදු වන බවයි. රටක ආර්ථි­කය සකස් කිරීම අත්‍ය­වශ්‍ය බවත් රට තුළ ආර්ථික ස්ථාව­ර­ත්ව­යක් ඇති කිරී­මට ශ්‍රී ලංකාව සමත් නොවූවා නම් අද ශ්‍රී ලංකාවේ තත්ත්වය ද එය බව ජනා­ධි­ප­ති­ව­රයා පැවැ­සීය.

මෙහිදී අද­හස් දැක්වූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේ දේශ­ගු­ණික විප­ර්යා­ස­ව­ලට මුහු­ණ­දී­මට ආර්ථික ශක්තිය නොමැති අප්‍රි­කානු කලා­පයේ රට­වල ණය සම්පූ­ර්ණ­යෙන් අහෝසි කළ යුතු බවට ගෝලීය හඬක් නැඟීම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රති­ප­ත්තියේ කොට­සක් වන බවයි.

ශ්‍රී ලංකාව එවන් සහ­න­යක් අපේක්ෂා නොක­රන අතර ණය කළ­ම­නා­ක­ර­ණය කර ගනි­මින් ඉදි­රි­යට යෑමට ශ්‍රී ලංකා­වට ශක්තිය සහ ඥානය ඇති බව ද ජනා­ධි­ප­ති­ව­රයා එහිදී කියා සිටි­යේය.

පරි­සර සංර­ක්ෂ­ණය වෙනු­වෙන් විශිෂ්ට මෙහෙ­ව­රක් සිදු කළ කර්මාන්ත, ව්‍යාපාර ආය­තන හා පුද්ග­ල­යන් අග­ය­මින් රාජ්‍ය ගෞරව ලබා­දීම සඳහා මධ්‍යම පරි­සර අධි­කා­රිය මඟින් ජනා­ධි­පති පරි­සර සම්මාන උලෙළ වාර්ෂි­කව සංවි­ධා­නය කරනු ලබන අතර කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති ආය­තන, ජන­මාධ්‍ය ආය­තන සහ සමාජ යන ප්‍රධාන අංශ යටතේ 124දෙනකු වෙනු­වෙන් කුස­ලතා, රන්, රිදී සහ ලෝකඩ පද­ක්කම් හා සම්මාන ප්‍රදා­නය කිරීම මෙවර සිදු කෙරිණි.

 

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා රන් සම්මාන ප්‍රදා­නය කිරී­මට එක් වූ අතර මධ්‍යම පරි­සර අධි­කා­රියේ සභා­පති වෙනුර ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂ ජන­රාල් හේමන්ත ජය­සිංහ යන මහ­ත්ව­රුන් විසින් ජනා­ධි­ප­ති­ව­රයා වෙත විශේෂ සිහි­ව­ටන තිළි­ණ­යක් ද පිළි­ගැ­න්වී.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මෙසේ ද පැවැ­සීය.

“මධ්‍යම පරි­සර අධි­කා­රිය වාර්ෂි­කව සංවි­ධා­නය කරනු ලබන ජනා­ධි­පති පරි­සර සම්මාන උලෙළ මෙම වස­රේදී ද උත්ක­ර්ෂ­වත් ලෙස සංවි­ධා­නය කිරීම මම ඉතා අගය කර­නවා. පසු­ගිය වස­රේදී පරි­ස­රය වෙනු­වෙන් විශාල සේවා­වක් කළ අය අද මෙහිදී සම්මා­න­යට පාත්‍ර වුණා.

මධ්‍යම පරි­සර අධි­කා­රිය ආරම්භ කරනු ලැබුවේ 1981 වස­රේදී. එය සකස් කළේ රණ­සිංහ ප්‍රේම­දාස අග­මැ­ති­ව­ර­යාගේ ලේකම් ලෙස කට­යුතු කළ විජ­ය­දාස මහතා. ඒ කාලයේ සිදු­වූයේ පරි­ස­රය පිළි­බඳ අව­ධා­නය ඇති වීම පම­ණයි. ඊට පෙර දශ­කයේ පරි­ස­රය පිළි­බඳ අව­ධා­න­යක් යොමුව තිබුණේ නැහැ. නමුත් රණ­සිංහ ප්‍රේම­දාස මහතා මෙම සංක­ල්පය ඉදි­රි­යට ගෙන ආ අව­ස්ථාවේ මෙම අධි­කා­රිය ඇති කිරී­මට කැබි­නට් මණ්ඩ­ලය එකඟ වුණා. එදා අව­ධා­නය යොමු වුණේ පරි­ස­ර­යට හානි වන කරුණු පිළි­බඳ පම­ණයි. ඒ අනුව එම වැඩ­ක­ට­යුතු ඒ වෙනු­වෙන් සීමා වුණා.

අද වන විට පරි­ස­රය කියන විෂ­යය ඊට වඩා ඉදි­රි­යට පැමිණ තිබෙ­නවා. පරි­ස­ර­යෙන් ආරම්භ වී දේශ­ගු­ණික විප­ර්යාස දක්වා එය පුළුල් වී තිබෙ­නවා. ඒ වගේම දේශ­ගු­ණික විප­ර්යාස අද ගෝලීය ප්‍රශ්න­යක් බවට පත්ව තිබෙ­නවා. ඒ වගේම එය ආර්ථික ප්‍රශ්න­යක් බවට ද පත්ව තිබෙ­නවා. ඒ නිසා අද සෑම ක්ෂේත්‍ර­ය­ක­ටම පරි­ස­ර­යත් දේශ­ගු­ණික විප­ර්යා­සත් බල­පෑම් එල්ල කර­නවා.

1981 සකස් කළ නීතිය පිළි­බඳ අපට අලු­තින් සිතී­මට සිදුව තිබෙ­නවා. ඒ පිළි­බඳ සංශෝ­ධන ඉදි­රි­පත් කරන ලෙස මම ලේක­ම්තු­මාට දැනුම් දුන්නා. ලෝකයේ සෑම පරි­සර අධි­කා­රි­යක්ම තමන්ගේ නීති සංශෝ­ධන සිදු කර තිබෙ­නවා. ඒ නිසා ලංකාව ද එය සිදු කළ යුතුයි. එහිදී තවත් ඉදි­රි­යට යමින් දේශ­ගු­ණික විප­ර්යාස පිළි­බඳ නීති­යක් ඇති කිරී­මට ද අප කට­යුතු කර­නවා. ඒ වගේම දේශ­ගු­ණික විප­ර්යාස මධ්‍ය­ස්ථා­නය ඇති කර ඒ සඳහා උප­දේ­ශ­ක­ව­ර­යකු පත් කිරී­මට අප කට­යුතු කළා.

ඒ වගේම දේශ­ගු­ණික විප­ර්යා­ස­ව­ලට මුහු­ණ­දී­මේදී අප ජාත්‍ය­න්ත­රයේ ද යම් වැඩ කොට­සක් භාර­ගෙන තිබෙ­නවා. ඒ අනුව දේශ­ගු­ණික විප­ර්යාස පිළි­බඳ ජාත්‍ය­න්තර විශ්ව­වි­ද්‍යා­ලය ආරම්භ කිරී­මට පිය­වර ගෙන තිබෙන අතර ඊට අදාළ නීති සකස් කර තිබෙ­නවා. අප මෙම කට­යු­තු­ව­ලට පම­ණක් සීමා වන්නේ නැහැ. අප තවත් ඉදි­රි­යට පැමිණ තිබෙ­නවා. ශුද්ධ ශුන්‍ය කාබන් විමෝ­ච­නය කරා ළඟා වීම රටේ ජාතික ආර්ථික ප්‍රති­ප­ත්ති­යට ඇතු­ළත් කර තිබෙ­නවා.

ඒ වගේම ඩිජි­ටල් සහ හරිත ආර්ථි­ක­යක් වෙනු­වෙන් අප කැපවී සිටි­නවා. ඒ සමඟ කෘෂි නවී­ක­රණ වැඩ­ස­ට­හන ද අප ක්‍රියා­ත්මක කර තිබෙ­නවා. එම වැඩ­පි­ළි­වෙළ දැන් සිටම ආරම්භ කර 2048 වන විට ඉල­ක්කය සපු­රා­ගත යුතුයි. සාමාන්‍ය ලෝකය පිළි­ගෙන තිබෙන්නේ 2050 වන විට මෙම ඉලක්ක සපු­රා­ගත යුතු බවයි. නමුත් 2050 වස­රට පෙර අපට මෙම ඉල­ක්ක­යට ගමන් කළ හැකි බව දැනුම් දී තිබෙ­නවා.

ඒ වගේම මෙම වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­යට ගෙන යෑමේදී හරිත මූල්‍ය­ක­ර­ණය සහ හරිත බැඳු­ම්කර අව­ශ්‍යයි. එසේ­නම් මෙය ආර්ථික වැඩ­පි­ළි­වෙ­ළට ඇතු­ළත් වෙනවා. අප මෙම ඉලක්ක සපු­රා­ගත යුතුයි. අද අප මුළු ලෝකය දෙසම අව­ධා­නය යොමු කර­මින් මෙම වැඩ­ක­ට­යුතු සිදු කර­ගෙන යනවා.

දේශ­ගු­ණික විප­ර්යා­ස­ව­ලට මුහු­ණ­දීම රට­කට තනිව සිදු කළ නොහැ­කියි. එහිදී සියලු රට­වල් එක්ව කට­යුතු කළ යුතුයි. නමුත් අප මෙම වැඩ­පි­ළි­වෙළ ආරම්භ කළත් මේ වන විට බට­හිර ලෝකයේ ඇතැම් රට­වල් එයින් ඈත් වෙලා. එදා එක්සත් රාජ­ධා­නියේ අග­මැති බොරිස් ජොන්සන් මහතා ග්ලාස්ගෝ ප්‍රකා­ශය ඇති කර ගත්තා. නමුත් අද බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඉන් ඉවත් වීමට උත්සාහ කිරීම ඊට හොඳම නිද­සුන ලෙස පෙන්වා­දිය හැකියි. කෙසේ නමුත් අමෙ­රි­කාව මේ සම්බ­න්ධව ගනු ලබන තීර­ණය අපට දැන ගන්න ලැබෙන්නේ නොවැ­ම්බර් මාසයේ පැවැ­ත්වෙන මැති­ව­ර­ණ­යෙන් පසු­වයි.

පළාත් සභා, පළාත් පාලන සහ පරි­සර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කු­ඹුර මහතා,  

“මේ රටේ පරි­ස­රය ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය ආය­ත­නය සහ පුර­වැ­සි­යන් ලබා­දෙන දාය­ක­ත්වය අගය කිරී­මට වාර්ෂි­කව මෙම සම්මාන උලෙළ සංවි­ධා­නය කර­නවා. කර්මා­න්ත­ව­ලින් පරි­ස­ර­යට සිදු­වන හානිය අවම කර ගැනී­මට ඔබ දක්වන උන­න්දු­වත් උත්සා­හ­යත් මෙලෙස ඇගැ­යී­මට ලක් කරන්නේ තවත් පිරි­ස­කට ඒ වෙනු­වෙන් උත්තේ­ජ­න­යක් ලබා දෙමින් බව කිව යුතුයි.

හෙට උප­දින දරුවා වෙනු­වෙන් යහ­පත් පරි­සර පද්ධ­ති­යක් නිර්මා­ණය කිරී­මට පරි­සර අමා­ත්‍ය­ව­රයා ලෙස ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඉතා කැප­වී­මෙන් කට­යුතු කර­නවා. වසර 2032 වන විට වන ඝන­ත්වය ඉහළ නංවා ගැනීම ඉලක්ක කර ගනි­මින් පසු­ගිය පරි­සර දින­යට සම­ගා­මීව පැළ දස ලක්ෂ­යක් සිටු­වීමේ වැඩ­ස­ට­හන අප දියත් කරනු ලැබුවා.

අභි­යෝග රැසක් හමුවේ රට භාර­ගත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා කඩා­වැටී තිබූ කර්මාන්ත යළි නඟා­සි­ටු­වී­මට විශාල වෙහෙ­සක් දැරූ බව අමු­තු­වෙන් කිව­යුතු නැහැ. අපේ රට නැව­තත් ලෝකයේ පිළි­ගත් රටක් බවට පත්වුණේ ඒ නිසයි. කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදු­වන මෙම දියු­ණු­වත් සමඟ පරි­ස­ර­යට සිදු­වන හානිය අවම කර ගැනීම අපේ වග­කී­මක් වෙනවා.”

පරි­සර අමා­ත්‍යාං­ශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර­කීර්ති මහතා ද මෙහිදී අද­හස් දැක්වීය.  

පරි­සර රාජ්‍ය අමාත්‍ය එස්. වියා­ලේ­න්ද්‍රන්, පරි­සර අමා­ත්‍යාං­ශයේ ලේකම් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර­කීර්ති යන මහ­ත්ව­රුන් සහ තානා­ප­ති­ව­රුන්, පරි­සර ක්ෂේත්‍රයේ විද්ව­තුන්, රාජ්‍ය නිල­ධා­රීන්, මාධ්‍ය­වේ­දීහු ඇතුළු ආරා­ධිත පිරි­සක් මෙම අව­ස්ථා­වට සහභාගි වූහ.