ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මඟින් රුපියල් මිලියන 5278ක වියදමින් කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවැනි අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (11) විවෘත කෙරිණි. විවෘත කිරීමෙන් පසුව ජනාධිපතිවරයා සමඟ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිස මාර්ගය නිරීක්ෂණය කළ අයුරු.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මඟින් රුපියල් කෝටි 528ක (රු. මිලියන 5278ක) වියදමින් කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවැනි අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (11) විවෘත කෙරිණි.

දෛනික දුම්රිය ගමන්වාර 109ක් සඳහා දුම්රිය ගේට්ටු වසා තැබීම නිසා සිදුවන ප්‍රමාදය හා මාර්ග තදබදය මඟහරවා ගැනීම ඉලක්ක කර මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සිදු කරන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කළේ මාගා ඉංජිනේරු සමාගම (Maga Engineering) මඟිනි.

රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, චිත්‍රපට ශාලා ඇතුළු විවිධ ආයතනයන්ගෙන් සමන්විත ඉතා කාර්යබහුල වාණිජ නාගරික ප්‍රදේශයක් වන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දෛනිකව පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බව නිරීක්ෂණය වී තිබිණි.

ඒ අනුව මෙම ගුවන් පාලම් ව්‍යාපෘතිය නිම වීමත් සමඟ කොම්පඤ්ඤවීදියේ සිට ගාලුමුවදොර දෙසට හා ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට රථ වාහන තදබදයකින් තොරව ගමන් කිරීමේ හැකියාව හිමි වන අතර වාහන තදබදය නිසා නිකරුණේ මහමඟට වැයවු‍ණු ජනතාවගේ කාලය ජාතික ආර්ථිකයට එක්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.