චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, චීනයේ නිල සංචාරයක නිරත බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මිය හමුවෙයි. එම හමුව ඊයේ (10) බෙයිජිං අගනුවර දී පැවැත්විණ. චීන-බංග්ලාදේශ සබඳතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට නායක දෙපළ එහිදී එකඟතාව පළකළහ.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව අන්‍යෝන්‍ය ගරුත්වය හා නිසි සහයෝගිතා සහිත මනා පැවැත්මක් සහතික කර ඇති බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. ලබන වසරේ යෙදෙන එම සබඳතාවයේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ සංවර්ධනය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීම චීනයේ අපේක්ෂාව යි.

2025 චීන-බංග්ලාදේශ මානව හුවමාරු වසර ලෙස නම් කර සංස්කෘතික, සංචාරක, මාධ්‍ය හා ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා ප්‍රවර්ධනය කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වයෙන් චීනය ලබා ඇති දැවැන්ත ජයග්‍රහණ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය මෙහිදී ඉහළ පැසසුමට ලක් කළාය. දරිද්‍රතාව පිටුදැකීමට චීනයෙන් ලැබුණු සහාය පිළිබඳව ද ඇය ස්තුතිය පළ කළාය. චීනයේ සංවර්ධන අත්දැකීම් අධ්‍යයනය කරමින් දෙරට ආර්ථික, වෙළඳ, යටිතල පහසුකම් හා දරිද්‍රතාව පිටුදැකීමේ සහයෝගිතා පුළුල් කිරීමට බංග්ලාදේශය සූදානමින් සිටී. එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරන තම රට තායිවාන ප්‍රශ්නය පිළිබඳ චීනයේ ස්ථාවරයට සහයෝගය දක්වන බව ද ෂීක් හසීනා මහත්මිය කියාසිටියාය.