කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ කලා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ 2022, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ දී පැවැත්විණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උලෙළ මෙවර පවත්වනු ලැබුවේ 38 වැනි වරටය.

කලාභූෂණ සම්මානය මෙරට කලාකරුවකු ලබන ඉහළම සම්මානය වන අතර දිවයින පුරා විසිරී සිටින පරිණත කලාකරුවන් 200 දෙනෙක් මෙවර කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව සම්මාන පිළිගැන්වීමට එක් වූ අතර සම්මානලාභී කලාකරුවන් සඳහා කලාභූෂණ ගෞරව නාමය, උපහාර සම්මානය, සහතික පත්‍රය සමඟ රුපියල් පනස් දහසක මුදල් ත්‍යාගයක් ද පිරිනැමිණ. සංගීතය, නර්තන, චිත්‍ර, සාහිත්‍ය, නාට්‍ය, චිත්‍ර හා මූර්ති, අධ්‍යක්ෂණය හා රංගනය ආදී වෙනත් ක්ෂේත්‍ර ගණනාවක් සඳහා කලාභූෂණ සම්මාන මෙහිදී පිරිනැමිණ.

සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන මහත්මිය මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූවාය. කලාකරුවන් පිළිබඳ සමරු කලාපය ද මෙහිදී ජනාධිපතිවරයාට පිළිගන්වන ලදී.

සම්මාන උලෙළ ආරම්භ කිරීමට පෙර, අභාවප්‍රාප්ත කලා ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු කලාකරුවන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා උපහාර පුද කිරීම ද සිදු විය.

රඹුකන සිද්ධාර්ථ හිමි ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරුන් ද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක, රාජ්‍ය ඇමැති ශාන්ත බණඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සී. බී. රත්නායක, මහාචාර්ය තිස්ස විතාරණ මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුන් ද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මහාචාර්ය ජේ. බී. දිසානායක, මහ භාරකාර ගිහාන් පිලපිටිය යන මහත්ම මහත්මීන් සහ විද්වතුන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ටී. එන්. ඩී. එස්. වීරමුණි (නාමෙල් වීරමුණි), ආනන්ද වික්‍රමගේ, ටී. එම්. ජයරත්න, ඉන්ද්‍රානි පෙරේරා, පර්සි ජයමාන්න, මානෙල් වානගුරු, නිරංජලා සරෝජනී, රූපා ගෝමස්, සෝමසිරි ඉලේසිංහ, ඒ. එස්. වික්‍රමසිංහ, සුනිල් සරත් පෙරේරා, වී. සුබ්‍රමනියම්, වී. රාමචන්ද්‍රන්, හිනටිගල ප්‍රේමදාස, ශ්‍රියානි මහවත්ත කලාකරුවන් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් කලාභූෂණ රාජ්‍ය සම්මාන ලබා ගත්හ.

මෙහිදී අදහස් දක්වමින් සංස්කෘතික අධ්‍යක්ෂ යසින්නා ගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කළේ, 1984 වර්ෂයේ මෙම කටයුත්ත ආරම්භ කළ බවයි. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම කලා භූෂණ සම්මාන උලෙළ පසුගිය කාලයේ පැවැත්වීමට නොහැකි වූ බව පැවසූ අධ්‍යක්ෂකවරිය 2022 වසරට අදාළව මෙවර මෙම සම්මාන උලෙළ පැවැත්වෙන බව ද සඳහන් කළාය.

කලාකරුවකුගේ සේවය මැනිය නොහැකි බව ද සඳහන් කළ සංස්කෘතික අධ්‍යක්ෂකවරිය ඔවුන් සතු දැනුම නව පරපුරට පැවරීම වැදගත් බව ද පැවසුවාය. සම්මානයට පාත්‍රවන කලාකරුවන් දශක ගණනාවක් පුරා ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ දක්ෂයින් නිසා යයි ද ඇය සඳහන් කළාය. වයස අවුරුදු 60 ඉක්මවූ කලාකරුවන් සඳහා කලා භූෂණ සම්මානය ලබාදෙන බවද කී අධ්‍යක්ෂවරිය, මෙම සම්මාන උලෙළ යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා විදුර වික්‍රමනායක ඇමැතිවරයා, බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සහ හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තු ලබාදුන් සහාය අගය කරන බව ද සඳහන් කළාය.