ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදවාගෙන තරගකාරී ආර්ථිකයක් කරා ගෙන යාමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතු බවත්, අභියෝග හමුවේ රට හැර යනවාද නැද්ද යන්න උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි වසර පහ තුළ ලෝකයේ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි බව ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන බව සඳහන් කළ ජනාධිපතිවරයා සංවර්ධිත රටවල් පවා ඉදිරියේ දී ආර්ථික අභියෝගවලට ලක්විය හැකි බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (04) පැවති ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 246 දෙනෙකු මෙහිදී උපාධි ලබා ගත්හ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

අද මෙම උපාධි ලබා ගන්නා පිරිස මේ රටේ සංවර්ධනයට දායක වනවා ද නැද්ද කියා තමන්ම තීරණය කළ යුතුයි. අවශ්‍ය නම් මෙම උපාධිය සමග විදේශ ගත වීමේ හැකියාව ඔබට තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව මෙම ආර්ථික තත්ත්වයෙන් මුදවා ගැනීමට නම් තරගකාරී ආර්ථිකයක් කරා රට ගෙන යා යුතුයි. ඒ වගේම රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතුයි.

ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 450කට වඩා තිබෙනවා. එම පුහුණු මධ්‍යස්ථාන විශ්වවිද්‍යාල හා විද්‍යායතන බවට පත් කළයුතුයි. එමගින් වෘත්තීය නිපුනත්වයක් ඇති පුරවැසියන් රට තුළ නිර්මාණය කළ හැකියි. වෘත්තීය නිපුනත්වයක් ඇති පුරවැසියා සමග ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණ දැනුමින් සන්නද්ධ පිරිසක් ලෙස අනාගත පරපුර ගොඩනැගිය යුතුයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ලබන වසර වන විට රට තුළ යහපත් ආර්ථික තත්ත්වයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනු ඇති බව අප විශ්වාස කරනවා. එසේම ඉදිරි වසර 5 තුළදී ලෝකයේ ඕනෑම දෙයක් සිදුවිය හැකියි. ඇතැම් සංවර්ධිත රටවල ආර්ථික අර්බුද නිර්මාණය විය හැකි බව ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ දී අද පෙනී යනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවත් ශක්තිමත් විය හැකියි. එම නිසා උපාධිධාරී ඔබ නිවැරදි තීරණයක් ගනු ඇතැයි මම විශ්වාස කරනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලූතිනන් ජනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යන මහත්වරුන්ද, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති විශ්‍රාමික ජෙනරාල් එස්.එච්.එස් කෝට්ටේගොඩ , උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර යන මහත්වරුන් සහ පීඨාධිපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.